ප්‍රවාහන ඇමතිවරයා දුම්රිය නිලධාරීන්ට බුරා පනී

ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය ආන්ඩුව රාජ්‍ය සේවයේ කම්කරුවන් හා නිලධාරීන් ඉලක්ක කොට ගෙන යමින් පවතින අවලාද ව්‍යාපාරයේ මෑත ම ඉලක්කය වූයේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ය.

සැප්තැම්බර් 17දා කලුතර පැවති දිස්ත්‍රික් ප්‍රවාහන හා මහාමාර්ග කමිටු රැස්වීමේ දී, ප්‍රවාහන ඇමති බිමල් රත්නායක දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහි ව කඩා පැනීම, හුදෙක් අදාල නිලධාරීන්ට පමනක් නොව, සෑම දුම්රිය කම්කරුවෙකුට ම අනතුරු ඇඟවීමකි. 

ප්‍රවාහන ඇමති බිමල් රත්නායක [Photo: Facebook/Bimal Rathnayake]

විශේෂයෙන් ම දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවරයාගේ නම සඳහන් කරමින් රත්නායක මෙසේ සඳහන් කලේ ය: “කාර්යාල දුම්රිය මගීන්ගෙන් පැමිනිලි එනවා. වැස්සොත් තෙමෙනවා. ජනෙල් වැහුවොත් දාඩිය දානවා. ෆෑන් කැඩිලා. වැසිකිලියට යන්න බැහැ. වතුර නැහැ. මේවා හිරගෙවල් වගේ. මාසයක් ඇතුලත මේවා හදන්න බැරි නම් ගෙදර යන්න. මේ අවසාන අවවාදය.”

ප්‍රවාහන ඇමති මෙ ලෙස අවසන් නියෝග පනවන්නේ, දුම්රිය සේවයේ පවතින එකී අඩුපාඩු නිසා මගීන්ට සිදුවන අපහසුතා පිලිබඳ සැබෑ උත්සුකතාවකින් නොව, ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු විධානයන් යටතේ ක්‍රියාවට දමමින් සිටින පුද්ගලීකරන වැඩපිලිවෙලට, ශතවර්ෂ එකහමාරකට අධික කාලයක් මහජන සේවාවක් ලෙස පවත්වා ගෙන ගිය දුම්රිය සේවය යටත් කිරීම යුක්ති යුක්ත කිරීමේ අරමුනෙනි.

අයිඑම්එෆ් විධානයන්ට අනුව, දුම්රිය දෙපාර්තමේන්තුව ද ඇතුලු රජයට අයත් ව්‍යවසායයන් 400ට අධික ප්‍රමානයක් පුද්ගලීකරනය, වානිජකරනය, වසා දැමීම ආදිය හරහා ප්‍රතිව්‍යුහකරනය කිරීමට නියමිත ය. මේ වන විට මේ වැඩපිලිවෙල, විදුලිබල, තැපැල්, සෞඛ්‍ය ඇතුලු ක්ෂේත්‍රයන් හි කම්කරු පන්තියේ ප්‍රතිරෝධය අවුලුවා ඇත. මෑත පැවති තැපැල් කම්කරු වැඩ වර්ජනයේ දී ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කල බුරාපැනීමත්, දැනට පවතින විදුලිබල කම්කරුවන්ගේ විරෝධයේ දී විදුලිබල ඇමති කුමාර ජයකොඩි කල තර්ජනයත් ආන්ඩුව තම කප්පාදු ක්‍රියාවට දැමීමේ දී කොතරම් නිර්දය ද යන්න පෙන්වා තිබේ.

ප්‍රවාහන ඇමති රත්නායක ඉහත රැස්වීමේ දී වැඩි දුරටත් මෙසේ කීවේ ය: “... මාසයක් ඇතුලත කුමන හෝ වර්ධනයක් පෙන්වන්න. ඒ කරන්න යන්නෙ කුමක් ද කියල දින තුනක් ඇතුලත මගේ වට්ස්ඇප් එකට කෙලින් ම පනිවිඩයක් එවන්න. බැරි නම් අස්වෙලා යන්න. මේවා නොකලොත් මම දුම්රිය මගීන් සමග රත්මලානට එනවා.”

ජවිප ඇමැති මෙහිලා “දුම්රිය මගීන්” ලෙස අදහස් කරන්නේ, තමන්ගේ දෛනික කටයුතු කරගැනීමට දුම්රිය සේවාව ලබාගන්නා සුවහසක් වැඩකරන ජනයා නොවේ. ඒ වෙනුවට රත්නායක මේ සඳහන් කරන්නේ, ආන්ඩුවේ උමනාව පරිදි දුම්රිය කම්කරුවන්ට එරෙහි ව යොදාගත හැකි මැර කල්ලි ගැන ය.  

මෙම තර්ජනය දුරදිග යන ඇඟවුම් සහිත එකකි. පසුගිය වසරේ දෙසැම්බර් මුල පැවති පාසල් සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවක දී, ආන්ඩුව පොලිස් ඔත්තු බලන්නෙකු ප්‍රකෝපකාරියෙකු ලෙස යෙද වී ය. මෙම වසර මුල දී හම්බන්තොට ගොවි සම්මේලනයක් කඩාකප්පල් කිරීමට ද එවැනි ජවිපෙ මැරකල්ලියක් යොදවා තිබිනි. දුම්රිය කම්කරුවන්ට එරෙහි ව ද අවශ්‍ය නම් එවන් මැරකල්ලි යොදා ගැනීමට ආන්ඩුව සූදානම් බව මෙම තර්ජනයේ ඇඟවුම යි. 

1977 දී බලයට පැමිනි ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව, විවෘත වෙලඳපොල ආර්ථිකය හඳුන්වා දුන් තැන් සිට, බලයට පත් අනුප්‍රාප්තික ආන්ඩු විසින් කරන ලද පිරිවැය කප්පාදුව හේතුවෙන්, රාජ්‍ය දුම්රිය සේවය ඇතුලු ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය පිරිහී ගොස් ඇත. 

රජයට අයත් ව්‍යවසායයන් බුරුතු පිටින් පුද්ගලික අංශයට පැවරීම ජයවර්ධන ආන්ඩුව ඇතුලු ධනපති පාලක පන්තියේ අභිලාෂය වුව ද, එයට එරෙහි ව කම්කරු-පීඩිත මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ, එය ක්‍රියාවට දැමීම පහසු නොවී ය; නමුත්, 1983 දී ජයවර්ධන ආන්ඩුව දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධය ආරම්භ කල තැන් පටන් එයට වැය කෙරුනු දැවැන්ත මුදල් කන්දරාව හමුවේ, එම න්‍යාය පත්‍රය මුලුමනින් ම ක්‍රියාවට දැමීම කල්පමා කිරීමට පාලකයන්ට බල කෙරී තිබිනි.

වාර්ෂික ව අයවැය ප්‍රතිපාදන කපා දැමීමේ ප්‍රතිඵලය ලෙස, අදවන විට, දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 360 කට අඩු කෙරී ඇත. එයිනුදු ගමන් වාර 10-15ක් අවලංගු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇත. සේවක පුරප්පාඩු නො පුරවා සිටීම නිසා, දුම්රිය ස්ථාන, දුම්රිය මාර්ග සහ කර්මාන්තශාලාවල මෙන් ම කාර්යාලවල ද දැවැන්ත සේවක හිඟයක් නිර්මානය වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පලකර ඇති 2023 පරිපාලන වාර්තාවට අනුව, දැනට සිටින සමස්ත දුම්රිය සේවක ප්‍රමානය 14,629කි. මෙම සංඛ්‍යාව 2023 දෙසැම්බර් 31දාට පැවති සංඛ්‍යාව වන බැවින්, මේ වන විට මෙය ඊටත් අඩු වී තිබිය හැකි ය. සාමාන්‍ය පරිදි දුම්රිය සේවය පවත්වාගෙන යාමට කම්කරුවන් 21,500ක් පමන අවශ්‍ය වේ. එම වාර්තාවට ම අනුව, 2022 දී මිනිත්තු 1-10ත් අතර දුම්රිය ප්‍රමාද වීමේ ප්‍රතිශතය සියයට 14.4ක් ද 2023 දී එය සියයට 14.25ක් ද විය. මිනිත්තු 10ට වැඩි දුම්රිය ප්‍රමාදයන්ගේ ප්‍රතිශතයන් 2022 දී හා 2023 දී පිලිවෙලින් සියයට 55.2ක් හා 51.26ක් විය.

මීට වගකිව යුත්තේ දුම්රිය නිලධාරීන් ඇතුලු දුම්රිය කම්කරුවන් නොව, බලයේ සිටි හා සිටින ධනපති ආන්ඩු ය. දුම්රිය නිලධාරීන්ට ප්‍රවාහන ඇමතිවරයා කඩා පැනීමේ සැබෑ ඉලක්කය වන්නේ, දුම්රිය මගීන් හා අවශේෂ මහජනයා අතර, පුද්ගලීකරනයට පක්ෂ මනෝගතියක් නිර්මානය කර ගැනීමයි.

පසුගිය ජූලි මාසයේ දී, නියෝ ඉංජිනියරින් නම් වූ පුද්ගලික සමාගමේ නියෝජිතයින් ද සමග රත්මලාන දුම්රිය වැඩපොලට පැමිනි ඇමති රත්නායක, කම්කරුවන්ගේ කරවටා අත යවමින්, තමා ඇතුලු ආන්ඩුවේ මැති-ඇමතිවරුන් කම්කරුවන්ගේ මිතුරන් ලෙස මවා පෙන්වීමට උත්සාහ කලේ ය. 

දුම්රිය කම්කරුවන් මෙවන් මවාපෑම්වලින් මුලා නො විය යුතු ය. ජවිපෙ/ජාජබ ආන්ඩුව කම්කරුවන් කෙරෙහි දක්වන සැබෑ ආකල්පය, තැපැල්, විදුලිබල, දුම්රිය කම්කරුවන් වෙත ජනාධිපතිගේ පටන් අදාල ක්ෂේත්‍රවල ඇමතිවරුන් දක්වා සිදු කරන විවෘත තර්ජන හරහා පෙන්වා දී තිබේ.

දුම්රිය කම්කරුවන් අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවංක කෝපයක් වැඩුනි. එය ආන්ඩුව කෙරෙහි කම්කරුවන් අතර වැඩෙන කෝපයේ දර්ශකයකි. එහෙත් කම්කරුවන් මත ලැග සිටින වෘත්තීය සමිති එකක් වත් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත. දුම්රිය ඉංජිනේරු සංගමය ද එයට අයත් වේ. 

ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත්වීමෙන් පසු ගෙවී ගිය කාලය තුල, ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල නිසා ඇති ව තිබෙන දැරිය නො හැකි ජීවන කොන්දේසිවලට විරෝධය පෑම සඳහා දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකයන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුලු කම්කරුවෝ කිහිප වරක් ම වැඩ වර්ජනවලට පිවිසුනහ. වෘත්තීය සමිති නිලධරයන්ට එම ක්‍රියාවන් කැඳවීමට බලකෙරුන ද, ඒ සියල්ල ආන්ඩුවෙන් හෝ දුම්රිය පාලනාධිකාරයෙන් සාධනීය ප්‍රතිචාර ලැබුනේ යයි කියමින් යටපත් කිරීමට ඔවුහු ක්‍රියා කලහ.

එසේ කියමින්, ආරම්භ කිරීමටත් පෙර අවලංගු කල වැඩ වර්ජන සංඛ්‍යාව දුසිම් ගනනකි. එබැවින්, දුම්රිය කම්කරුවන් ආන්ඩුවේ ප්‍රහාර හා තර්ජනවලට එරෙහි ව සටන් කිරීමේ දී, ද්‍රෝහී වෘත්තීය සමිති නිලධරයන් කෙරෙහි කිසිදු විශ්වාසයක් නො තැබිය යුතු ය. ආන්ඩුව තරමට ම වෘත්තීය සමිති ද ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට කැප වී සිටිති. 

දුම්රිය කම්කරුවන්ට ද තැපැල්, විදුලිබල වැනි අනෙකුත් කම්කරුවන්ට මෙන් සටන් කිරීමේ නව සංවිධාන අවශ්‍ය වේ. වෘත්තීය සමිති නිලධරයන් හා ධනපති දේශපාලන පක්ෂ වැද්ද නො ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටු එම නව සංවිධාන රූපය යි. දැනට තිබෙන,  110ක් පමන වන ශ්‍රේනි මත පදනම් වන වෘත්තීය සමිති වෙනුවට සමස්ත දුම්රිය කම්කරුවන්ට ශ්‍රේනි හා අනෙකුත් භේද කපා ගෙන එකමුතු විය හැකි ක්‍රියාකාරී කමිටු අවශ්‍ය කරයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මග පෙන්වීම යටතේ, දුම්රිය කම්කරුවන් කන්ඩායමක් පිහිටුවා ඇති දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුවට බැඳී, ආන්ඩුවේ කප්පාදුවටත්, එහි මූලය වන ධනපති ක්‍රමයටත් විරුද්ධ ව සමාජවාදය සඳහා සටන් කිරීමට එකතු වන ලෙස දුම්රිය කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු.

Loading