ශ්‍රී ලංකාවේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධාන අනුව ඊලඟ අයවැය සකස් කරයි

[මෙය Sri Lankan government prepares next IMF-dictated budget යන මැයෙන් 2025 ඔක්තෝබර් 12 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මේ වන විට සකස් කරමින් සිටින තම ආන්ඩුවේ 2026 අයවැය ලේඛනය නොවැම්බර් 7 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. පසුගිය දිනවල ලංකාවට පැමින සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කන්ඩායම නිශ්චිත ව ප්‍රකාශ කලේ මීලඟ අයවැය සිය කප්පාදු විධානවලට සම්පූර්නයෙන්ම අනුකූල විය යුතු බවයි. 

ජාමූඅ නියෝජිතයින් 2025 ඔක්තෝබර් 7 වන දින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා කරමින් [Photo: Facebook/Anura Kumara Dissanayake]

ආන්ඩුව තමන්ට ලබාදුන් අතීත ඉලක්කයන් සපුරා ඇත්තේ ද යන්න සහ නව අයවැය යෝජනා සකස් කරන්නේ කෙසේ ද යන්න ගැන සමාලෝචනය කිරීම සඳහා ජාමූඅ නිලධාරීන් පිරිසක් සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 9 දක්වා කොලඹට පැමින සිටියහ.

ඔක්තෝබර් 9 වන දින මාධ්‍ය අමතමින් ජාමූඅ දුත පිරිසේ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මෙසේ පැවසී ය: “ජාමූඅ, ආන්ඩුවේ වියදම්වල ප්‍රමානය සහ ගුනාත්මකභාවය යන දෙක ම නිරීක්ෂනය කරනු ඇති.”

ජාමූඅ සිය ඩොලර් බිලියන 3 ක ඇපකර නය මුදලේ පස්වන වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 347 ක් නිදහස් කිරීමට කාර්ය මන්ඩල මට්ටමේ එකඟතාවයකට පැමින තිබුන ද, ජාමූඅ විධායක මන්ඩලය විසින් එම වාරිකය අනුමත කිරීම 2026 අයවැය ලේඛනය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන තෙක් එය ලැබීම “අවිනිශ්චිත” බවට පැපජෝර්ජියෝ අනතුරු ඇඟවීය.

ලබන වසරේ අයවැය, බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ නය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රගතිය තක්සේරු කිරීම ඇතුලු “[ජාමූඅ] ක්‍රියාමාර්ගයේ පරාමිතීන්ට ද මූල්‍ය සමාලෝචනය සම්පූර්න කිරීමට” ද අනුකූල විය යුතු බව ඔහු තවදුරටත් පැවසුවේ ය.

මෙම “පරාමිතීන්” අතරට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක ප්‍රාථමික ගිනුම් අතිරික්තයක් පෙන්වීම සඳහා අයවැයේ මූල්‍ය හිඟය අඩු කිරීම සහ 2022 දී රට පැහැර හැර ඇති විදේශ නය ආපසු ගෙවීම 2028 දී ආරම්භ වන බව සහතික කිරීම ඇතුලත් වේ. 2021 දී ශ්‍රී ලංකාවේ ප්‍රථමික ගිනුමේ පැවතුනේ විශාල හිඟයකි. එය රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් විය.

“බදු අනුකූලතාව වැඩි දියුනු කිරීම, බදු පදනම පුලුල් කිරීම… සහ රාජ්‍ය වියදම් කාර්යක්ෂමව සිදු කිරීම සහතික කිරීම” සඳහා පියවර හඳුන්වා දෙන ලෙස ජාමූඅ  කාර්ය මන්ඩල සමාලෝචනය ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

ප්‍රායෝගික ව, මෙයින් අදහස් කරන්නේ නව බදු පැනවීම්, රාජ්‍ය සහනාධාර කප්පාදු කිරීම, රාජ්‍ය ව්‍යවසායන් 400 ක් පමන “ප්‍රතිව්‍යූහගත කිරීම” හෝ පුද්ගලීකරනය කිරීම සහ අනෙකුත් කප්පාදු පියවර පැනවීම හරහා වැඩ කරන ජනතාවගෙන් වැඩි ආදායමක් සූරා ගැනීමයි.

පසුගිය සතියේ පාර්ලිමේන්තු කමිටුවකට එවන ලද නිල වාර්තාවකින් දැනුම් දී තිබුනේ ශ්‍රී ලංකාව 2028 සිට ඩොලර් බිලියන 37 ක විදේශ නය ආපසු ගෙවීම ආරම්භ කල යුතු බවත්, ඊලඟ දශකය තුල ඩොලර් බිලියන 4ක් බැගින් වාර්ෂික ව නය ආපසු ගෙවීම් සිදු කල යුතු බවත්‍ ය.

පසුගිය වසරේ ජනාධිපතිවරන සහ මහ මැතිවරන අතරතුර, දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලය (ජේවීපී/එන්පීපී) කලින් ආන්ඩුව සිදුකල කප්පාදු පියවර ලිහිල් කරන බවට ඡන්දදායකයින්ට ව්‍යාජ ලෙස පොරොන්දු විය. බලයට පත්වූ වහා ම දිසානායක මෙම පොරොන්දු අත හැර දැම්මේ ය.

ඔක්තෝබර් 7 වන දින ජාමූඅ නියෝජිත පිරිස සමග හමුවේ දී දිසානායක පැවසුවේ තම රජය “ජාමූඅ සහාය ගැන සලකන්නේ හුදෙක් බාහිර ආධාරයක් ලෙස නොව, එහි [ආන්ඩුවේ] විස්තීර්න උපාය මාර්ගයේ අනිවාර්ය අංගයක් ලෙස” සලකන බවයි.

“ජාමූඅ, ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව කරා යන අඛන්ඩ ගමනේ ප්‍රධාන මූලෝපායික සහකරුවෙකු” වන බව සඳහන් කල දිසානායක “ශ්‍රී ලංකාව ජාමූඅ විසින් නියම කරන ලද ඉලක්ක ඉක්මවා යාම අත්‍යවශ්‍ය” බව කියා සිටියේ ය. මෙයින් අදහස් කරන්නේ, දැනටත් වඩා කුරිරු සමාජ ප්‍රහාර එල්ල කිරීමට ආන්ඩුව සුදානම් බවයි. 

වියදම් අඩු කිරීමේ ජාමූඅ ක්‍රියාමාර්ගයේ ප්‍රධාන අංගයක් වන්නේ රාජ්‍ය අංශය කැබලි කිරීම සහ රැකියා දහස් ගනනක් විනාශ කිරීමයි. රාජ්‍ය සතු ව්‍යවසායන් “ප්‍රතිව්‍යූහකරනය පද්ධතිමය මූල්‍ය අවදානම් පාලනය කිරීම” සඳහා අවශ්‍ය බව ජාමූඅ දුත මන්ඩල ප්‍රධානී පැපජෝර්ජියෝ අවධාරනය කලේ ය.

මෙම න්‍යාය පත්‍රයේ කුරිරු ස්වභාවය, සේවකයින් 22,000 ක් පමන සේවයේ යොදවා ඇති ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) ප්‍රතිව්‍යූහගත කිරීමේ දී දක්නට ලැබේ. එය සමාගම් හතරකට කඩා ඇති අතර, ඒවා කොලඹ කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත කිරීමට සැලසුම් කර ඇත.

“විදුලිය සමාගම ඕනෑ ම පෞද්ගලික සමාගමක් මෙන් වානිජමය පදනමක් මත ක්‍රියාත්මක වන බවත්, හොඳ සහ ක්‍රියාකාරී ව නිවැරදි මූල්‍ය තීරන ගන්නා බවත්” සහතික කිරීම සඳහා මෙම පියවර අවශ්‍ය බවත් පැපජෝර්ජියෝ පැවසී ය.

මූල්‍ය විනය සහතික කිරීම සඳහා බලශක්ති අංශ ප්‍රතිසංස්කරනය සහ පිරිවැය-ප්‍රතිසාධනය සදහා මිල නියම කිරීම  ඉතා වැදගත් බව ඔහු තව දුරටත් සඳහන් කලේ ය. වෙනත් වචන වලින් කිව හොත්, විදුලි ගාස්තු ඉහල දැමීමයි. ජාමූඅ බලපෑම යටතේ, ආන්ඩුව ඉදිරි දිනවල දී විදුලි ගාස්තු සියයට 7 කින් ඉහල නැංවීමට අපේක්ෂා කරයි.

පැපජෝර්ජියෝ ලංවිම පිලිබඳව කල ප්‍රකාශ, සැප්තැම්බර් 4 වන දින සිට නව සමාගම් යටතේ තම රැකියා, වැටුප් මට්ටම්, විශ්‍රාම වැටුප් අරමුදල් සහ අනෙකුත් අයිතිවාසිකම් අඛන්ඩ ව සහතික කරන ලෙස ඉල්ලා කාර්මික ක්‍රියාමාර්ග ගෙන ඇති ලංවිම සේවකයින්ට එරෙහි ව එල්ල කරන ලද වක්‍ර තර්ජනයකි.

සැප්තැම්බර් 21 වන දින දිසානායක ලංවිම සේවකයින්ගේ සියලු ම කාර්මික ක්‍රියාමාර්ග තහනම් කරමින් අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි පැනවී ය. මෙම කුරිරු නීතිවලට අනුකූල නොවන සේවකයින්ට සිර දඬුවම් ඇතුලු දැඩි දඬුවම් පැනවීමට හැකිවේ.

පසුගිය මාසයේදී රජය මිහින් ලංකා, ලංකා සිමෙන්ට් සහ මාගම්පුර වරාය කලමනාකරන සමාගම ඇතුලු “ක්‍රියාකාරී නොවන සහ මූල්‍යමය වශයෙන් තිරසාර නොවන” රාජ්‍ය ව්‍යවසාය 33ක් ඈවර කිරීමට තීරනය කලේය. “මූල්‍ය විනය වැඩිදියුනු කිරීම” සහ “නාස්තිය ඉවත් කිරීම” යන මුවාවෙන් මෙම ඈවර කිරීම් යුක්ති සහගත කරනු ලැබේ. මෙම ආයතනවල සේවකයින් දහස් ගනනක් සේවයෙන් පහකර සොච්චම් වන්දියක් ගෙවනු ඇත.

ලෝක බැංකුව ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ප්‍රමානය අඩු කරන ලෙස ඉල්ලා තිබේ. එහි ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය සමාලෝචනය 2025 වාර්තාව සඳහන් කර ඇත්තේ මිලියන 1.21 ක රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය “සුදුසු ප්‍රමානයකට” ගෙන ඒම සඳහා ආන්ඩුව “හොඳින් ඉලක්ක කරගත් ඉවත් කිරීමේ ප්‍රතිපත්ති මගින්, පලල් වී ඇති  රාජ්‍ය අංශය කපා දැමිය යුතු” බවයි. 

“මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව” සඳහා ජාමූඅ ශ්‍රී ලංකාවේ “මූලෝපායික හවුල්කරුවෙකු” වන බවට දිසානායක කල ප්‍රකාශයන් මහා ව්‍යාපාර සහ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ කන්වලට සංගීතයක් මෙන් වනු ඇත; එය කම්කරුවන්ට සහ දුප්පතුන්ට නම් තවදුරටත් දුක්ඛිත කොන්දේසි ගෙන ඒමට නියමිත ය.

වත්මන් ජාමූඅ කප්පාදු පියවර නිසා දැනටමත් වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය විනාශ වී ඇත. ලෝක බැංකුව වාර්තා කරන්නේ ජනගහනයෙන් සියයට 22 ක් දැන් මසකට රුපියල් 16,397 (ඩොලර් 54) ක දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වන බවත් තවත් සියයට 10 ක් මෙම සංඛ්‍යාවට මඳක් ඉහලින් සිටින බවත් ය. ජනගහනයෙන් සියයට 55 කට වැඩි පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙති.

මෙම වසරේ රට රුපියල් ට්‍රිලියන 4.5 ක ආදායම් ඉලක්කය ඉක්මවා යන බවට අගෝස්තු 7 වන දින පාර්ලිමේන්තුවේ දී දිසානායක පම්පෝරි ගැසුවේ ය. අනෙකුත් සෑම රටක් මෙන් ම, ශ්‍රී ලංකාව ද මුහුන පා සිටින ගැඹුරු වන ජාත්‍යන්තර ආර්ථික අර්බුදය සහ ගෝලීය වෙලඳ යුද්ධය තුල ලංකාවේ ආර්ථික ප්‍රකෘතියක් පිලිබඳ දිසානායකගේ වාචාල ප්‍රකාශ පුස්සක් වීමට නියමිත ය. 

ආසියානු සංවර්ධන බැංකුව (එඩිබී) සැප්තැම්බර් 30 වන දින වාර්තා කලේ, ශ්‍රී ලංකාව මත ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පැන වූ  සියයට 20 ක තීරුබදු අපනයන අංශයේ “කා දැමීමක්” පටන් ගෙන ඇති බවයි. ලංකාවේ හා ගෝලීය වශයෙන්, සමස්ත සඵල සාමාන්‍ය තීරුබදු අනුපාතයේ වැඩි වීම සියයට 17.4 ක් බව ඇස්තමේන්තු කර ඇත. ලංකාවට අත්විය හැකි වාර්ෂික අපනයන පාඩුව ඩොලර් මිලියන 634 ක් විය හැකි යයි ද ප්‍රධාන කොට ඇඟලුම් අංශයේ රැකියා 16,000 ක් තර්ජනයට ලක් විය හැකි යයි ද දැනට ගනන් බලා ඇත.

පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ නවත ම ජාමූඅ සාකච්ඡා ගැන කට පියා ගෙන සිටිති. රාජ්‍ය අංශයේ සේවකයින්ට ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමේ දී එල්ල කෙරෙන දරුනු ප්‍රහාර වල දී ඔවුන්ගෙන් දැඩි  සහයෝගයක් ආන්ඩුවට ලැබෙන බව සැප්තැම්බර් 25 වන දින පාර්ලිමේන්තුවේ දී අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි පැනවීමේ නියෝගය ඒකමතික ව අනුමත කිරීමට ඔවුන් දුන් සහයෝගයෙන් පෙන්නුම් කෙරුනි.

ඒ හා සමාන ව, ලංවිම වෘත්තීය සමිති නිලධරයන් සහ අනෙකුත් රාජ්‍ය අංශයේ සේවා ස්ථාන සහ ආයතනවල ඔවුන්ගේ වෘත්තීය සමිති නිලධාරි සගයෝ, ජාමූඅ හි ඉල්ලීම්වලට සම්පූර්නයෙන් ම සහාය දක්වන අතර දිසානායක විසින් මර්දනකාරී අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි භාවිතා කිරීම ගැන නරුම ලෙස නිහඬ තාවයක සිටිති.

රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට දිසානායක ජාමූඅ නියෝග මත එල්ල කරන ප්‍රහාර පරාජය කිරීමට කම්කරු පන්තියට ඇති එක ම මාර්ගය වන්නේ මෙයයි:  එය ධනේශ්වරයේ සෑම කොටසකින් ම බිඳී වෙන් ව ස්වාධීන ව සංවිධානය වී, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරන සහ සියලු ප්‍රධාන සමාගම්, බැංකු සහ වතු ජනසතු කරන, ඒවා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තබන සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමයි.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා ක්‍රියාමාර්ගය සහ මුලෝපාය වර්ධනය කිරීමට කම්කරුවන්ගේ හා ගම්බද මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම අවශ්‍ය ය. ඒ සඳහා අත්තිවාරම් දැමීමට සෑම වැඩපොලක ම සහ ග්‍රාමීය ජනතාව අතර ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පියවර ගැනීම අවශ්‍ය වේ.

Loading