කම්කරු පවුල් 54ක් නිවාසවලින් ඉවත් කරන බවට තලවකැලේ සීඩබ්ලිව්එම් වත්තේ හිමිකරුවා තර්ජනය කරයි

තලවාකැලේ සීඩබ්ලිව්එම් වත්තේ පවුල් 54ක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කරන බවට තර්ජනය කෙරී ඇත. කාන්තාවන් හා ලමුන් ඇතුලු 300ක් පමන ජනයා එම වත්තේ නිවාස 30ක ජීවත් වෙති.

අක්කර 12කින් යුත් මෙම ඉඩම, මධ්‍යම කඳුකරයේ තලවාකැලේ නගරයේ සිට කිලෝමීටර 7ක් දුරින් පිහිටා ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නිලධාරියෙකු ද සමග පසුගිය මාසයේ වත්තට පැමිනි සන්නාසි ශාන්තකුමාර් නමැති වත්තේ හිමිකරු, වහා ම නිවාසවලින් ඉවත් වන ලෙස ඔවුන්ට තර්ජනය කල බව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසූහ.

තලවාකැලේ සීඩබ්ලිව්එම් වත්තේ ලයින් නිවාස

ශාන්තකුමාර්ගේ බෑනා හා ආගරපතන ප්‍රාදේශීය සභාවේ සීඩබ්ලිව්සී මන්ත්‍රීවරයෙකු වන කිෂෝර් ද මාස දෙකකට පෙර වත්තට පැමින තමන්ට නිවාසවලින් ඉවත් වන ලෙස කී බව ඔවුහු කීවෝ ය. වත්තේ පැරනි හිමිකරුවා විසින් ඔවුන්ට දුන් “වසර 10ක සහන කාලය“ ඉකුත් වී ඇති බව ඔහු කියා සිටියේ ය. එහෙත්, මෙය සනාථ කිරීමට ඔහු කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකල බව කම්කරුවෝ සඳහන් කලහ.

මීට පෙර, සීඩබ්ලිව්එම් යනු හසන්ත ප්‍රනාන්දු පවුලට අයත් වූ තේ වත්තක් විය. එවිට එහි සමස්ත වපසරිය අක්කර 112ක් විය. 2008 දී වසා දමන ලද එය, කොටස් හතරකට බෙදා වෙන් වෙන් පුද්ගලයන්ට විකුනා දැමුනි.

කම්කරුවන්ගේ ලයින් කාමර, අත්හැර දමන ලද ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක්, ගුරු නිවාස සහ පන්සලක් පිහිටා ඇති අක්කර 12 කොටස ශාන්තකුමාර් මිල දී ගත් බව කියයි. එහෙත්, එම කොටසේ ඔහුගේ හිමිකාරීත්වය ඔප්පු කිරීමට ඔහු කිසිදු ලේඛනයක් හෝ ඔප්පුවක් පෙන්නුවේ නැත.

පැරනි හිමිකරු වත්ත විකිනීම ගැන කිසිවක් තමන් දැන සිටියේ නැති බව කම්කරුවෝ ලෝසවෙඅට කීවෝ ය. “අපි ඒ ගැන දැන ගත්තෙ, වත්තෙ කෝවිල ලියාපදිංචි කිරීමට ග්‍රාම සේවක හම්බවෙන්න ගිය වෙලාවෙදි. වත්ත ශාන්තකුමාර්ට විකුනා ඇති බවත්, ඔහුගෙන් ලියාපදිංචි ලිපිය ලබාගන්නා ලෙසත් ග්‍රාම සේවක අපට කිවුවා. ඒක අහපුවහම අපි කම්පනයට පත් වුනා.”

ශාන්තකුමාර් යනු තලවාකැලේ නගරයේ ස්වර්නාභරන සාප්පුවක් හිමි කුඩා ව්‍යාපාරිකයෙකි. සීඩබ්ලිව්සී සහයෝගය ද  ඔහුගේ බෑනාට ජවිපෙ/ජාජබ ආන්ඩුව සමග තිබෙන දේශපාලන සබඳතා ද යොදාගෙන මෙම කම්කරුවන් වත්තෙන් එලවා දැමීමට ඔහු උත්සාහ කරමින් සිටී.

කුකුල් ගොවිපොලක් ආරම්භ කිරීම සහ එලවලු වගා කිරීමට ඔහු සැලසුම් කර ඇත. මේ සඳහා සිය නිවාසවලට ඉහලින් පිහිටි ඉඩම් කොටස සමතලා කර ඇති බව කම්කරුවෝ කී හ. “මෙතන කුකුල් ගොවිපොලක් පටන් ගත්තොත්, එයින් එන අපජලයෙන් පානීය ජලය අපිරිසිදු වීමේ අනතුර තිබෙනවා. ඒ එක්ක ම, අපේ ලයින් කාමරවලටත්, ප්‍රධාන පාරටත් සමීප ව, එලවලු වත්තට ජලය ලබා ගැනීමට විශාල ජලාශයක් කනිමින් තිබීමත් තර්ජනයක්.”

කම්කරුවන් මෙය ජාජබ හා සීඩබ්ලිව්සී සභාගයක් විසින් පාලනය කරන කොටගල ප්‍රාදේශීය සභාවටත්, ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරටත් වාර්තා කල ද එය වැලැක්වීමට කිසිවක් කර නැත.

“මේ අඛන්ඩ කරදර කිරීම් සමගින් අප ඉවත් කිරීමට ඔවුන් උත්සාහ කලා. අපි වත්තෙන් යාමට සූදානම් නැහැ; පරම්පරා ගනනක් තිස්සේ අපි මෙහි ජීවත් වෙනවා. අපි ශාන්තකුමාර්ගේ නීති-විරෝධී නියෝගයට විරුද්ධ යි, ඒත් අප ආරක්ෂා කිරීමට කිසිම වෘත්තීය සමිතියක් ආවේ නැහැ. මෙය පුද්ගලික වත්තක් සම්බන්ධ කරුනක් බව කියමින්, ශක්ති ටීවී ඇතුලු මාධ්‍ය ආයතනත් අපේ ප්‍රශ්නය වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරනවා.”

ඔවුන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් වීම ගැන ඔවුහු ලෝසවෙඅට හා සමාජවාදී සමානතා පක්ෂයට (සසප) ස්තුති කලහ.

වත්ත වසා දමන විට කම්කරුවන් 60ක් පමන එහි සේවය කල අතර, ඔවුන්ට රැකියා අහිමි විය. ඔවුන් සීඩබ්ලිව්සීයේ හා කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) සාමාජිකයින් වූ නමුත් එම වෘත්තීය සමිති වත්ත වැසීමට විරුද්ධ නොවූ අතර, කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කරගැනීමට කිසිවක් කලේ නැත.

වත්ත වසා දැමීමට විරුද්ධ ව කම්කරුවෝ යූපීඑෆ් හරහා හැටන් කම්කරු උසාවියේ නඩුවක් පැවරූ හ. එහෙත් ඔවුන් යලි සේවයේ පිහිටුවනු නො ලැබූ අතර, වසර 7කට පසු වන්දියක් ගෙවනු ලැබී ය.

දැන්, සමහර කම්කරුවන් රැකියා අපේක්ෂාවෙන් කොලඹට ගොස් ඇත්තේ, අනෙකුත් කම්කරුවන් ජීවිත ගැට ගසා ගැනීමට ආසන්න තේ වතුවල අනියම් පදනමින් කඹුරද්දී ය. සෞඛ්‍යය, අධ්‍යාපනය හා ප්‍රවාහන වැනි මූලික පහසුකම් ඔවුන්ට නැත. තලවාකැලේ නගරයට යාම සඳහා ඔවුන්ට ත්‍රීරෝද රථවලට රුපියල් 1,000ක් ගෙවීමට සිදු වේ.

පොහොර හා කෘෂි-රසායනවල ඉහල නැගි මිල නිසා නිෂ්පාදන පිරිවැය ඉහල යාම හේතුවෙන්, ප්‍රනාන්දු වැනි කුඩා ඉඩම් හිමියෝ ඉඩම් විකුනා දැමූහ. වෙලඳපොලේ දී විශාල වතු සමාගම් සමග තරඟ කිරීමට ද ඔවුහු අසමත් වූ හ.

වත්මන් ජවිපෙ/ජාජබ පාලන තන්ත්‍රය ඇතුලු පැවති ආන්ඩු හා විවිධ වතු සමාගම් යටතේ, වතු කම්කරුවන්ට එරෙහි ව ක්‍රියාවට දැමුනු මර්දනීය පියවරයන්වල ගොදුරු වූවෝ මෙම කම්කරුවෝ ය. සීඩබ්ලිව්එම් වත්තේ කම්කරුවන්ගේ ප්‍රශ්න මෙම තත්ත්වයේ කොටසකි. 

එහෙත්, යහපත් රැකියා, නිවාස සහ ජලය, විදුලිය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි මූලික පහසුකම් ලැබීමට ඔවුන්ට අයිතියක් ඇත.

සමාගම් සඳහා ලාභදායී ලෙස වතු කර්මාන්තය පවත්වා ගෙන යාමටත්, රාජ්‍ය භාන්ඩාගාරයට ආදායම් ලබාගැනීමටත්, දශක ගනනාවක් තිස්සේ, කොලඹ ආන්ඩු විවිධ පියවර ගත්තේ, ශිෂ්ට සම්පන්න ජීවිතයක් සඳහා වතු ජනතාවට පවතින මූලික අයිතියට වල කපමිනි. 

වහල් ශ්‍රම කොන්දේසි යටතේ වැඩ කිරීම සඳහා, බ්‍රිතාන්‍ය විජිත පාලන සමයේ මෙම කම්කරුවෝ දකුනු ඉන්දියාවේ සිට ගෙනෙන ලදහ. එකල පැවති කොන්දේසිවල ගති ලක්ෂන වතු දිස්ත්‍රික්කය තුල දැනටත් පවතී. 

මූලික පහසුකම්වලින් තොර ව, අඩි 10X12 වපසරියක් සහිත බැරැක්ක වැනි ලයින් කාමරවල ඔවුන්ගෙන් බහුතරයක් තවමත් ජීවත් වෙති. කිලෝග්‍රෑම් 18 සිට 22 දක්වා වන දෛනික දලු ඉලක්ක සපුරාලිය යුතු ඔවුන්ට රුපියල් 1,350ක සොච්චමක් දිනකට ගෙවනු ලැබේ. තවමත් ඔවුන් සැලකෙන්නේ දෙවැනි ගනයේ පුරවැසියන් ලෙස ය. අතීතයේ දී අරගල හරහා ඔවුන් දිනා ගත් සීමිත සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ද එක්කෝ දැනටමත් අහිමි කර ඇත; නැතහොත් අහිමි කෙරෙමින් පවතී. 

1948 දී, ඉන්දියානු සම්භවයක් සහිත මෙම දෙමල කම්කරුවන්ට එරෙහි ව පුරවැසි අයිතීන් අහෝසි කරමින් වාර්ගික ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ කම්කරු පන්තිය බෙදීම සඳහා ප්‍රධාන දේශපාලන ප්‍රහාරයක් එල්ල කරමිනි. 1964 දී , සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ, මිලියන බාගයකට අධික වතු කම්කරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඉන්දියාවට යවන ලදහ.

1972 දී, අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ආන්ඩුව බ්‍රිතාන්‍යයට අයත් ව තිබූ වතු සමාගම් පවරා ගත් විට, එම වතු අසරේ පදිංචි ව සිටි ධනවත් පවුල් සමහර ඉඩම් මිල දී ගත්තේ, ඉඩම් හිමිකාරීත්වය සඳහා උපාමාරුවල යෙදෙමිනි. දෙමල පීඩිතයින් එලවා දමමින් ඉඩම් නැත්තන්ට ගම්මාන නිර්මානය කිරීම සඳහා සමහර වතු බෙදා වෙන් කරන ලදී.

1993 දී, විශාල ප්‍රාදේශීය සමාගම් යටතේ වතු පුද්ගලීකරනය කලේ, සමාගම් විසින් මිලට ගැනීමට මැලිකමක් දැක්වූ සමහර වතු ජනතා වතු සංවර්ධන මන්ඩලය යටතට පවරමිනි. මෙහි ඉලක්කය වූයේ ක්‍රමානුකූල ව වතු විනාශ කිරීම යි. මෙම වතුවලින් බොහොමයක් දැනට මත් කඩා දමා හෝ ගරාවැටුනු කොන්දේසි යටතේ පවතී. 

මෙහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ කම්කරුවන්ට ඔවුන්ගේ රැකියා හා ජීවත් වන ප්‍රදේශ අහිමි විය. වෘත්තීය සමිති අඛන්ඩ ව නිශ්ශබ්ද ව සිටිමින් මෙම විනාශයන් සිදුවීමට ඉඩහැරියෝ ය.

පුද්ගලික පවුල්වලට අයත් වූ තේ, රබර් හා පොල් ඉඩම් ඇතුලු සමහර ඉඩම් මෑත අවුරුදුවල දී, විකුනා දැමිනි. රත්නපුර දිස්ත්‍රික්කයේ රම්බොඩ, මහනුවර දිස්ත්‍රික්කයේ හන්තාන සහ කුරුනෑගල දිස්ත්‍රික්කයේ බතලෙගොඩ මේවාට උදාහරන වෙති. එහි ප්‍රතිඵලයක් ලෙස කම්කරුවන්ට රැකියා අහිමි වී අධික දුෂ්කරතාවන්ට මුහුන දීමට සිදු විය.

සීඩබ්ලිව්සී, යූපීඑෆ්, ජාතික කම්කරු සමිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය ඇතුලු වතු වෘත්තීය සමිති ඍජු ව හෝ වක්‍ර ව මෙම ප්‍රහාරයන්ට සහයෝගය දුන්නේ ය.

මෙම කම්කරුවෝ එක්කෝ වාටියේ පිහිටි වතුවල ජීවත් වෙති, නැතහොත් සීඩබ්ලිව්එම් වැනි ඉඩම් කට්ටිවල ජීවත් වීමට ඔවුන්ට බලකෙරී ඇත. ජීවත් වීමට වාසස්ථානයක් හා රැකියාවක් සඳහා කම්කරුවන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉඩම් හිමියන් විසින් උල්ලංඝනය කර ඇත්තේ ඔවුන් අන්ත අසරන තත්ත්වයකට පත් කරමිනි. 

මෙම කම්කරුවන්ගේ ගැටලු සියලු වතු කම්කරුවන් ද සමස්තයක් ලෙස කම්කරු පන්තිය ද මුහුන දෙන ගැටලුවල කොටසකි. මෙම සහෝදර සහෝදරියන් ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ අයිතීන් තම අරගලවල කොටසක් ලෙස ගන්නා ලෙසත් අපි සියලු කම්කරුවන්ගෙන් ඉල්ලමු.

වතු කම්කරුවන් වේවා කම්කරු පන්තියේ වෙනත් කොටසක් වේවා, ඔවුන්ට ධනවාදය යටතේ සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත නොහැක. ඒවා ජයගත හැක්කේ වතු තුලත් අනෙකුත් වැඩපොලවල් තුලත්, ධනපති පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් ධනවාදයට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් දියත් කිරීම මගින් පමනි.

Loading