[මෙය Sri Lanka: Electricity board union leaders suspend industrial action after meeting with government minister මැයෙන් 2025 ඔක්තෝබර් 17 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සමඟ පසුගිය සඳුදා සාකච්ඡාවක යෙදුනු ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) වෘත්තීය සමිති නායකයෝ රජයට අයත් මෙම ප්‍රධාන ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව මාසයක් පුරා පැවති විරෝධතා ක්‍රියාමාර්ග තාවකාලික ව අත්හිටුවන බව නිවේදනය කලහ.
වෘත්තීය සමිති විසින් කලින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් 24 ක් විසඳන බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව ද ඒ පිලිබඳ ව ලිඛිත සහතිකයක් නිකුත් කල පසු කාර්මික ක්‍රියාමාර්ග සම්පූර්නයෙන් ම නතර කරන බව ද වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.
ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ අමාත්‍යවරයා “අර්ථදායි සහ ධනාත්මක” වීම ගැන ප්‍රශංසා කල අතර, ඔහු ගැටලු සාමකාමී ව විසඳීමට “අව්‍යාජ කැපවීමක්” පෙන්නුම් කල බව ද කියා සිටියේ ය. වෘත්තීය සමිති ඉක්මනින් ම ලිඛිත සහතිකයක් අපේක්ෂාවෙන් සිටින බව පරාක්‍රමසිංහ මාධ්‍යයට පැවසුව ද, අමාත්‍යවරයා විසින් මේ දක්වා එවන් ප්රකාශනයක් නිකුත් කර නැත. ඇත්ත වශයෙන් ම, වෘත්තීය සමිති නිලධරය විරෝධතා ක්‍රියාමාර්ගය අත්හිටුවා ඇත්තේ කිසිදු විසඳුමක් නොමැතිවයි.
බොහෝ ලංවිම සේවකයින් මෙම තීරනය පිලිබඳව තම කෝපය ප්‍රකාශ කලහ. ඔවුන් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට පැවසුවේ විරෝධතා ක්‍රියාමාර්ග අත්හිටුවන බව තමන් දැන ගත්තේ මාධ්‍යයෙන් බවත්, නායකයන් විසින් ඒ පිලිබඳව වෘත්තීය සමිති සාමාජිකයින්ට කිසිවක් දැනුම් නොදුන් බවත් ය.
සැප්තැම්බර් මුල සිට ලංවිම සේවකයින් 20,000 ක් “අකුරට වැඩ කිරීමේ” විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියහ. එහි කොටසක් ලෙස සැප්තැම්බර් 17-18 දිනවල ඔවුහු දින දෙකක අසනීප නිවාඩු වාර්තා කර කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට බලගතු විරෝධතා උද්ඝෝෂනයක් පැවැත්වූහ.
මෙම ක්‍රියාමාර්ග ඉදිරියේ දී වේගවත් කරන බවට ප්‍රකාශ දෙමින් විරෝධතා කැඳවූයේ වෘත්තීය සමිති 25 ක් නියෝජනය කරන ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසිනි. සමිති පෙරමුනේ නායකයන්ගේ අරමුන වූයේ, ජනාධිපති දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව ඒකාබද්ධ ජාතික ව්‍යාපාරයක් වර්ධනය කිරීම නොව, කම්කරුවන්ගේ කෝපය විසුරුවා හැරීමයි.
2023 දී එකඟ වූ ඩොලර් බිලියන 3 ක ඇපකර නයක් නිකුත් කිරීමේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටින පුලුල් වියදම් කප්පාදු කිරීමේ සහ පුද්ගලීකරන වැඩසටහනේ කොටසක් ලෙස ලංවිම සමාගම් හතරකට බෙදීමට ආන්ඩුව ගත් තීරනයට විරෝධය පලකරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා ලදී.
හිටපු ජනාධිපති වික්‍රමසිංහ විසින් අනුමත කරන ලද සහ දිසානායකගේ ජවිපෙ/ජාජබ පරිපාලනය විසින් දැන් වේගවත් කරනු ලබන මෙම වැඩපිලිවෙල යටතේ රජය සතු ව්‍යවසායන් 400 කට වැඩි ප්‍රමානයක් ප්‍රතිව්‍යූහගත කෙරේ. මෙයට “ශක්‍ය නොවන” ආයතන වසා දැමීම සහ අනෙකුත් ආයතන වානිජකරනය හෝ පුද්ගලීකරනය කිරීම ඇතුලත් වන අතර එමඟින් දස දහස් ගනනක් රැකියා විනාශ වේ.
ලංවිම සේවකයින්ට එක්කෝ නව සමාගම්වලට සම්බන්ධ වන ලෙස ද නැතහොත් ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය (වීආර්එස්) පිලිගෙන අස් වී යා හැකි බව ද කියමින් ද මන්ඩලයේ බලධාරීන් හා ඇමති විසින් දැනුම් දී ඇත. ඊට එරෙහි ව ක්‍රියාමාර්ග ගන්නා ලෙස තම සාමාජිකයින් අතරින් පැන නැගුනු ඉල්ලීම්වලට බිය වූ වෘත්තීය සමිති නිලධරය, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට කියා සිටිමින් ඉල්ලීම් 24ක් කෙටුම්පත් කලේ ය.
මෙයට කම්කරු පනත යටතේ සහතික කර ඇති වෘත්තීය සමිති අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, විනිවිද පෙනෙන මාරු කිරීමේ ක්‍රියා පටිපාටි, කම්කරු අධ්යක්ෂ ජනරාල් හරහා රැකියා ආරවුල් විසඳීම, විදුලිබල අංශ ප්රතිසංස්කරන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරයා ඉවත්කර අලුතින් නිලධාරියෙක් පත්කිරීම, රාජකාරි සහ රැකියා සුරක්ෂිතභාවය ගෙනහැර දක්වන පැහැදිලි පැවරුම් ලිපි සහ වෘත්තීය සමිති විසින් යෝජනා කරන ලද වීආර්එස් සූත්‍රයක් ඊට ඇතුලත් විය.
වත්මන් සහ කලින් ආන්ඩු විසින් දෙන ලද බොහෝ සහතික කිරීම්, කම්කරු අරගල ක්‍රියාමාර්ග නතර කිරීමට වෘත්තිය සමිති නායකයන් යොදාගන ඇතිවා සේ ම, විදුලිබල අමාත්‍යවරයාගේ වාචික “සහතිකය” කාර්මික ක්‍රියාමාර්ග නතර කිරීමට ලංවිම සමිති නායකයෝ වහා ම ඩැහැ ගත්හ.
සැප්තැම්බර් 15 වන දින ජයකොඩි තර්ජනාත්මක ව ප්‍රකාශ කලේ ප්‍රතිව්‍යූහගත කිරීම පිලිගැනීමට අකමැති ලංවිම සේවකයින් සිටින්නේ නම් ඔවුන්ට ඉල්ලා අස්වීමට හැකි බවයි. ආන්ඩුවේ සැලැස්මට “කිසිවෙකුට බාධා කල නොහැකි” බවට ඔහු අනතුරු ඇඟවී ය. සැප්තැම්බර් 24 වන දින, ජනාධිපති දිසානායක ලංවිම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතට පත් කරමින් සියලු කාර්මික ක්‍රියාමාර්ග තහනම් කලේ ය.
ආන්ඩුව සමඟ මුහුනට මුහුන ලා කෙරෙන විවෘත දේශපාලන හා කාර්මික ගැටුමක් ඇතිවීම වලක්වා ගැනීමට මංමුලා සහගත වූ ලංවිම සමිති ඒකාබද්ධ සන්ධානයේ නායකත්වය කලින් නිකුත් කර තිබු වැඩවර්ජනය කිරීමේ තර්ජන වහා ම අතහැර දැමූහ.
වෘත්තීය සමිතිවල ඉල්ලීම් 24 ඉටු වුවද, ඉන් ලංවිම සේවකයින් ප්රතිව්යූහකරනය නිසා මුහුන දෙන කිසිදු මූලික ගැටලුවකට විසඳුම් නොලැබේ. ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට සැලසුම් කර ඇත්තේ වියදම් අඩු කිරීම, ලාභදායිතාවය වැඩි කිරීම සහ ලංවිම සහ අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරනය සඳහා සූදානම් කිරීමේ කොටසක් ලෙසය.
ජාමූඅ “ලංවිම විසුරුවා හැරීම සහ 2026 සහ ඉන් ඔබ්බට බලශක්ති අංශයේ සිදුවන විකාශය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන” බව ශ්‍රී ලංකාව සඳහා වන ජාමූඅ දූත මන්ඩලයේ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පසුගිය සතියේ මාධ්‍ය වෙත පැහැදිලි කලේ ය.
ලංවිම හෝ එහි අනුප්‍රාප්තික සමාගම් “මූල්‍ය පාඩු නොලැබිය යුතු” බව ද ඔහු සඳහන් කලේ ය. වෙනත් වචන වලින් කිවහොත්, රැකියා, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් ප්රතිලාභ කපා හැරිය යුතු ය.
ලංවිම සේවකයින් විසින් තේරුම් ගත යුත්තේ, වෘත්තීය සමිති නායකත්වය තමන් ප්‍රපාත අන්තයකට තල්ලු කරගෙන ගොස් ඇති බව ය; තමන් ඉදිරියේ ඇත්තේ ස්වාධීනව සංවිධානය වී ආපසු හැරී සටන් කිරීමේ අවශ්‍යතාවයයි.
වෘත්තීය සමිති නායකයෝ ධනවාදය ආරක්ෂා කරන අතර ජාමූඅ වැඩසටහනට විවෘත ව සහාය දක්වති. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවකුගේ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මෙසේ කිවේය: “අපි තවමත් දුප්පත් රටක්, [නමුත්] අපි ජාමූඅ හි සහාය ඇති ව ඉදිරියට යමින් සිටිනවා. විශාල විදුලි ව්‍යාපෘති සඳහා විදේශ ආයෝජන අවශ්‍ය වෙනවා.”
නව විදුලි සමාගම්වලට බැඳීමට දැන් බල කෙරී ඇති කම්කරුවන්ට ඉක්මනින් ම ඔවුන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි මත එල්ලවන ප්‍රහාරවලට මුහුන දීමට සිදුවනු ඇත. මෙයට එරෙහි ව සටන් කිරීමට නම්, ඔවුන් දිසානායක ආන්ඩුවේ ජාමූඅ කප්පාදු වැඩසටහන සම්පූර්නයෙන් ම ප්‍රතික්ෂේප කල යුතු අතර ප්‍රහාරයට ලක්වන අනෙකුත් රාජ්‍ය ව්‍යවසාය සේවකයින් සමඟ ඒකාබද්ධ විය යුතු ය.
ලංවිම වෘත්තීය සමිති සාමාජිකයින් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඇඟවුම් සාකච්ඡා කිරීමට සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට වහා ම සාමාජිකයන්ගේ මහා සභා රැස්වීමක් ඉල්ලා සිටිය යුතු ය. ජාමූඅ-ගැති වෘත්තීය සමිති නිලධරය අව්‍යාජ ප්රජාතන්ත්රවාදී විවාදයක් වැලැක්වීමට උත්සාහ කරනු ඇත. විදුලිබල සේවකයින් කල යුත්තේ තමන්ගේ ම ක්රියාමාර්ගයකින් සන්නද්ධ ව ක්‍රියාකිරීමට සුදානම් වීමයි.
එසේ කල හැකි වන්නේ, වෘත්තීය සමිති නායකත්වයෙන් සහ සියලු ම ධනපති හා ධනපති ගැති දේශපාලන පක්ෂවලින් ස්වාධීන ව සෑම වැඩබිමක ම ක්‍රියාකාරී කමිටු පිහිටුවමින් සංවිධානය වීමයි. එවැනි කමිටු හරහා පමනක් කම්කරුවන්ට ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කර තමන්ගේ රැකියා සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අව්‍යාජ කාර්මික හා දේශපාලනික ව්‍යාපාරයක් වර්ධනය කල හැකිය.
ලංවිම වෘත්තීය සමිති නිලධරයන් විසින් කරන ලද පාවාදීම සමස්ත කම්කරු පන්තියට ම පාඩමකි. ලංවිම සේවකයින් අනෙකුත් අංශවල - බැංකු, දුම්රිය, විදුලි සංදේශ, ප්‍රවාහන, විශ්ව විද්‍යාල, සෞඛ්‍ය, අධ්‍යාපනය, වතු සහ පෞද්ගලික අංශයේ නිෂ්පාදන හා සේවා මත කම්කරුවන්ගේ පාලනය යටතට ගන්නා සහ සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කිරීමට එක්සත් විය යුතු ය.
මෙයට ප්‍රධාන සංස්ථා, බැංකු සහ වතු ප්රජාතන්ත්රවාදී සේවක පාලනය යටතේ ජනසතු කිරීම සහ එවැනි පියවර ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම ඇතුලත් විය යුතු ය.
ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ දී, ශ්‍රී ලංකාවේ කම්කරුවෝ දිසානායක ආන්ඩුවට පමනක් නොව ජාමූඅ සහ ගෝලීය මූල්‍ය ප්රාග්ධනයට මුහුන දෙති. ඔවුන්ගේ අරගලය කම්කරු පන්තියේ එක්සත් ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් ලෙස වර්ධනය කල යුතු ය. ශ්‍රී ලංකාවේ ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ ක්‍රියාකාරී කමිටුවල තම සහෝදර සහෝදරියන් සමඟ සම්බන්ධ විය යුතු ය.
මෙම ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරන එක ම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂයයි. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට කැමති ලංවිම සේවකයින්ට, කම්කරුවන්ට සහ තරුනයින්ට අපි සසපට එක්වන ලෙස ඉල්ලා සිටිමු.