නාසිවාදය, මහ ව්‍යාපාරිකය සහ කම්කරු පන්තිය: ඓතිහාසික අත්දැකීම් සහ දේශපාලන පාඩම්

[මෙය Nazism, big business and the working class: Historical experience and political lessons මැයෙන් 2025 ඔක්තෝබර් 21දා පල කල ලිපියේ පරිවර්තනයයි.]

නාසිවාදය, මහ ව්‍යාපාරිකය සහ කම්කරු පන්තිය අතර ඓතිහාසික සබඳතාව විභාග කරනු වස්, 2025 ඔක්තෝබර් 16දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සත්කාරකත්වයෙන් වෙබිනාර් රැස්වීමක් පැවැත් වූ අතර, එය, හදිසි සමකාලීන අදාලත්වයක් සහිත සාකච්ඡාවක් විය.

ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙම සාකච්ඡාවේ මුලසුන දැරුවේ ය. “වයිමාර් සමූහාන්ඩුවේ බිඳවැටීම: දේශපාලන ආර්ථිකය හා අර්බුදය” යන කෘතියේ කර්තෘ, මියාමි විශ්ව විද්‍යාලයේ නීතිය පිලිබඳ සම්මානිත මහාචාර්ය ඩේවිඩ් ඒබ්‍රහම්; “මහ ව්‍යාපාරිකය හා හිට්ලර්” යන කෘතියේ කර්තෘ, කැනේඩියානු ඉතිහාසඥ ජැක් පෝවෙල්ස්; සහ ජර්මානු කොමියුනිස්ට් පක්ෂය සහ යුරෝපීය කම්කරු ව්‍යාපාර පිලිබඳ ශාස්ත්‍රඥයෙකු වන ජර්මනියේ පොට්ස්ඩෑම්හි අද්‍යතන ඉතිහාස කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ සාමාජික මාරියෝ කෙස්ලර් යන කීර්තිමත් ඉතිහාසඥයින් තිදෙනා නෝර්ත් සමග එම සාකච්ඡාවට සහභාගි වූ හ.

1980 ගනන්වල දී, ඒබ්‍රහම්ගේ ඉතිහාසඥ වෘත්තීය ජීවිතය විනාශ කල දුෂ්ට ශාස්ත්‍රාලික උද්ඝෝෂනය, නෝර්ත් විසින් යලි මතකයට නගනු ලැබීම සමගින් ඔන්ලයින් රැස්වීම ආරම්භ විය. ජර්මානු ධනවාදය ඇතුලත පැවති ගැටුම් හිට්ලර්ගේ නැගීමට තුඩු දුන්නේ කෙසේදැයි යන්න පිලිබඳ සිය මාක්ස්වාදී විශ්ලේෂනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ඒබ්‍රහම්ට ප්‍රෝඩාකාරී යයි චෝදනා කල ගතානුගතික ඉතිහාසඥයන් වූ ජෙරල්ඩ් ෆෙල්ඩ්මාන් සහ හෙන්රි ඈෂ්බි ටර්නර් යන දෙදෙනාගේ ප්‍රහාරයන්ට හෙතෙම මුහුන දුන්නේ ය. “දෘෂ්ටිවාදාත්මක වෛරය, පුද්ගලික කෝපය සහ බුද්ධිහීනභාවයෙන්” එම ප්‍රහාරය පැනනැගුනු බව ඒබ්‍රහම් විස්තර කලේ ය.

මෙම සාකච්ඡාවේ දී, හිට්ලර්ගේ නැගීම අහම්බයක් හෝ ධනවාදී අවශ්‍යතාවන්ට අසම්බන්ධිත බවට වන කියාපෑමට ජැක් පෝවෙල්ස් පහර දුන්නේ ය. “හිට්ලර්ගේ ඊනියා බලය අල්ලාගැනීම, හුදෙක් බලය මාරු කිරීමක් හෝ යටත් වීමක්” යැයි ඔහු සඳහන් කලේ ය. “කර්මාන්තකරුවන්ගේ හා මූල්‍ය සමාගම්වල, මූල්‍යමය හා අනෙකුත් වර්ගවල සහයෝගය නොමැති ව, වෙනත් වචනවලින් කියන්නේ නම් මහ ව්‍යාපාරිකයේ හා ජර්මානු ප්‍රභූවේ අනෙකුත් කොටස්වල සහයෝගය නොමැති ව, හිට්ලර්ට කිසිදා ආධිපත්‍යය කරා නැගගත නොහැකිවනු ඇත.” ෆැසිස්ට්වාදය යනු “සියලු කාලයන්හි දී නො වුනත්, නිශ්චිත ව සහ සෑම විට ම දොරමුල්ලේ තබාගෙන සිටින ධනවාදයේ කෙවිට” ලෙස පෝවෙල්ස් විස්තර කලේ ය.

මධ්‍යම පන්තීන්ගේ, සමාජවාදය දෙසට වන වාමාංශික රැඩිකලීකරනය වලක්වා, හිට්ලර්, එම පන්තීන් බලමුලුගන්වා ගත් ආකාරය මාරියෝ කෙස්ලර් පැහැදිලි කලේ ය. නාසි පක්ෂය, “කම්කරු පන්තිය තුලට අඛන්ඩ ව කා වැදීමේ ලා කිසිදා සාර්ථක නො වූ“ බවත්, කිසිදු වයිමාර් මැතිවරනයක දී, “නිරපේක්ෂ බහුතරයක් දිනා නොගත්” බවත් ඔහු සටහන් කලේ ය. “රැකියා විරහිතයන්ගේ සහ “පද්ධතිය” තුල තමා පරාජිතයන් බවට පත්ව ඇතැයි සලකන ලද සියල්ලන්ගේ නො මනාපය රැස්කිරීම” හිට්ලර්ගේ කාර්යය විය. “හිට්ලර්ට හා ෆැසිස්ට්වාදීන්ට, යුදෙව්වන් සමූලඝාතනය කිරීම හැකි වීමට පෙර, ඔවුන්ට ජර්මානු හා යුරෝපීය කම්කරු ව්‍යාපාරය විනාශ කිරීමට සිදු වූ” බව කෙස්ලර් අවධාරනය කලේ ය.

“නාසි පාලනය යටතේ සංගත ලාභ පිම්බෙද්දී, ජර්මානු කම්කරුවන්ගේ සැබෑ වැටුප් නාටකාකාර ලෙස ඇදවැටුනේ” කෙසේදැයි ලේඛනගත කල පෝවෙල්ස්, හිට්ලර් කම්කරුවන්ගේ ජීවන කොන්දේසි වැඩිදියුනු කල බවට වපුරන ලද මිථ්‍යාව කුඩුකර දැමුවේ ය. “ඉහල ලාභ හා පහල වැටුප් වර්ගයේ පිලිවෙතක්” ලෙස නාසි පිලිවෙත හඳුන්වා දෙමින්, 1933 දී 930,000ක් වූ වැඩපොල හදිසි අනතුරු හා රෝග සංඛ්‍යාව, 1939 දී මිලියන 2.2ක් වූ බව ඔහු හෙලිදරවු කලේ ය. ඩාචෝහි පලමු වධක කඳවුර ස්ථාපනය කරන ලද්දේ ප්‍රමුඛ වසයෙන් යුදෙව්වන්ට නොව, “බොහෝ සෙයින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා කොමියුනිස්ට්වාදීන් වූ දේශපාලන සිරකරුවෙන්ගෙන් සාමාන්‍ය බන්ධනාගාර පිරී පැවති” නිසා ය.

සාකච්ඡාව අද්‍යතන සමාන්තරයන් කරා හැරුනි. 1971 දී ඩොලර් 35ක් වූ රන් අවුන්සය, අද දින ඩොලර් 4,000ට ඉහල මට්ටමක් කරා රත්තරන් මිලේ නැගීම “ඇමරිකානු ආර්ථික පද්ධතියේ සැබෑ අර්බුදයක වෛෂයික දර්ශකය” බව සටහන් කරමින්, වයිමාර් සමූහාන්ඩුවේ බිඳවැටීම හා ෆැසිස්ට්වාදී ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමරිකාවේ වර්තමාන ගමන් මග අතර පැහැදිලි සබඳතාව නෝර්ත් ගෙනහැර දැක්වී ය.

“ෆොසිල ඉන්ධන කර්මාන්තයේ පැරනි දක්ෂිනාංශිකයන්” සහ සිලිකන් නිම්නයේ “අරාජික සල්ලාලයන්” අතර ඉස්මතු වන සන්ධානය ගැන ඒබ්‍රහම් විස්තර කලේ ය. නාසි නීති න්‍යායඥ කාල් ශ්මිට්ගේ සරන යමින් පීටර් තියෙල් මෑත දී කල දේශන වල දී, කම්කරුවන්, වාමාංශිකයින්, සුලුතරයන් සහ පරිසරවේදීන්, ශිෂ්ටාචාරයේ “බාධකය” ලෙස, නැතහොත් “නව වර්ගයක යුදෙව්-බොල්ශෙවික්වරු” ලෙස හඳුනාගත් බව ඒබ්‍රහම් පැවසීය.

නෝර්ත් තීරනාත්මක ප්‍රශ්නයක් නැගුවේ ය: “වෛෂයික කොන්දේසි විප්ලවවාදී දිශානතියක් සඳහා ශක්‍යතාව නිර්මානය කරන්නේ ද? ෆැසිස්ට්වාදය අනිවාර්යය ද?” පලමු වැනි ලෝක යුද්ධය, විනාශය සහ ඔක්තෝබර් විප්ලවය යන දෙක ම නිෂ්පන්න කල බව ගෙනහැර දැක් වූ ඔහු, ප්‍රතිගාමීත්වයට ධාවනය කරන එම පරස්පර-විරෝධයන් ම විප්ලවවාදී විභවය ද නිර්මානය කරන බවට තර්ක කලේ ය.

ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර්, ජර්මානු ශාස්ත්‍රාලිකය ඇතුලත හිට්ලර් හා නාසීන් පුනරුත්ථාපනය කිරීම ගැන කතා කලේ ය. හොලෝකෝස්ටය “රුසියාවේ සිවිල් යුද්ධය සමයේ වෙඩිතැබීම්වලින් සාරභූත ලෙස වෙනස් නො වූ” බව කියා සිටිමින්, ඉතිහාසඥ ජෝජ් බාබරොව්ස්කි ඩර් ස්පීගල් පුවත්පතට “හිට්ලර් කෲර නො වූ” බවත්, “ඔහු මානසික රෝගියෙකු නො වූ” බවත් ප්‍රකාශ කලේ කෙසේ ද යන්න ඔහු විස්තර කලේ ය. “ජර්මනියේ සමස්ත ශාස්ත්‍රාලික ලෝකය විසින් ම පාහේ බාබරොව්ස්කිට සහයෝගය දෙන” බවත්, ජර්මනියේ යුරෝ ට්‍රිලියනයක යලි සන්නද්ධ කිරීමේ වැඩසටහන සමග සමපාත වෙමින්, එවන් ආස්ථානයන් අද දින “ප්‍රධාන ධාරාවේ කොටසක්” වී ඇති බවත්, වැන්ඩ්‍රියර් සටහන් කලේ ය.

ඓතිහාසික මුසාකරනයට එරෙහි අරගලය දේශපාලන අරගලයෙන් වෙන් කල නොහැකි බවට, රැස්වීමට සහභාගි වූ ඉතිහාසඥයෝ එකඟ වූ හ. “ඉතිහාසය පෙරලිකාරී” වන බවත්, “මෙම කරදරයට අප පත් වූයේ කෙසේ ද යන්න ගැන අප විසින් අවබෝධ කර ගැනීම, බලයේ සිටින්නවුන්ට, සැබැවින්ම, අනවශ්‍ය” බවත්, පෝවෙල්ස් අවධාරනය කලේ ය. “දක්ෂිනාංශය වොෂින්ටනය අල්ලාගනිද්දී වාමාංශය ඉංග්‍රීසි අධ්‍යයන අංශය අල්ලාගත්” දශක ගනනාවකට පසු ව දේශපාලන ආර්ථික අධ්‍යයනයන්ගේ මධ්‍යස්ථ පුනර්ජීවනයක් ගැන ඒබ්‍රහම් සටහන් කලේ ය.

ඉහත මූලික පරස්පර විරෝධයන්ගේ අඛන්ඩ පැවැත්ම අවධාරනය කරමින්, නෝර්ත් රැස්වීම සමාප්ත කලේ ය: “අපි හුදෙක් අතීතය පිලිබඳව කතා කරනවා නෙවෙයි, අපි සැබෑ ලෙස ම වර්තමානය සාකච්ඡා කරනවා. එම ප්‍රශ්න ම, එම සමාජ බලවේග ම අදත් පවතිනවා.”

“වෛෂයික යථාර්ථය අවබෝධ කරගත හැකි එක ම න්‍යායික රාමුව වන මාක්ස්වාදය දෙසට කම්කරු පන්තියේ සහ තරුන ජනයාගේ හා කම්කරු පන්තියේ වඩාත් ම වැඩිදියුනු කොටස්වල පුපුරනසුලු හැරීමක් ගැනීමක් සහ එම පදනම මත විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම” සම්බන්ධයෙන් ඔහු පුරෝකථනය කලේ ය.

මේරිං බුක්ස් වෙතින් මිල දී ගත හැකි සාහිත්‍යය සඳහා සබැඳි:
Loading