කුහකකම සහ බොරු: ශ්‍රී ලංකා ජනාධිපති දිසානායක එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ

[මෙය Hypocrisy and lies: Sri Lankan President Dissanayake at the UN General Assembly යන මැයෙන් 2025 ඔක්තෝබර් 09 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සැප්තැම්බර් 25 වන දින නිව්‍ යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය අමතමින් ශ්‍රී ලංකා ජනාධිපති දිසානායක, දරිද්‍රතාවයට එරෙහි ව සටන් කරන්නෙකු සහ ලෝක සාමයේ උද්ඝෝෂකයෙකු ලෙස හාස්‍යජනක ව පෙනී සිටියේ ය.

ඔහුගේ අසත්‍ය ප්‍රකාශ තිබියදී ම, දිසානායකගේ කතාවේ සාරය වූයේ, ඔහුගේ ආන්ඩුව අධිරාජ්‍යවාදී බලවතුන්ට, විශේෂයෙන් එක්සත් ජනපදයට සහ අපරාධකාරී ඊශ්‍රායල තන්ත්‍රයට දක්වන සහයෝගය කෙරෙහි පවතින යටහත්පහත්කම නැවත තහවුරු කිරීමයි.

එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ 80 වන සැසිවාරය අතරතුර රාත්‍රී භෝජන සංග්‍රහයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ [ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය] [Photo: President’s Media Division]

ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග පාලනයේ ප්‍රධානියා ලෙස වසරකට පෙර බලයට පත්වීමෙන් පසු, දිසානායක, එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල සැසිවාරයට සහභාගී වීම, ඔහුගේ පලමු එක්සත් ජනපද සංචාරය විය. එක්සත් ජනපද ජනාධිපතිවරයා සමඟ ඡායාරූපයක් ගැනීමට ඔහු පැහැදිලි ව ම උනන්දු වූ අතර, ඔහු එසේ කලේ, ට්‍රම්ප්, නීති විරෝධී ලෙස වොෂින්ටනය තුල ෆෙඩරල් හමුදා බලමුලු ගන්වමින් සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි තම ආන්ඩුවේ ප්‍රහාරය තීව්‍ර කරමින් සිටිය දී ය.

දරිද්‍රතාවය යනු “මානව ශිෂ්ටාචාරය තරම් ම පැරනි, [සහ] කාලය හරහා මානව වර්ගයාගේ ගමනේ දී එය සමඟ පැමින ඇති ඛේදවාචකයක්” බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහා මන්ඩලයට පැවසී ය. රැස් ව සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් ඔහු නරුම ලෙස ඉල්ලා සිටියේ, “අන්ත දරිද්‍රතාවය තුරන් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසට” ය.

දිසානායකගේ ප්‍රකාශයන්, වික්‍රමසිංහ ආන්ඩුව විසින් ආරම්භ කරන ලද සහ දැන් ඔහුගේ ම ජවිපෙ/ජාජබ පරිපාලනය විසින් පුලුල් කරනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවර යටතේ, ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය තියුනු ලෙස නරක අතට හැරී ඇති බවට වන යථාර්ථය වසන් කිරීමේ ශෝචනීය උත්සාහයකි.

2022 දී ශ්‍රී ලංකාවේ නය පැහැර හැරීමේ සිට, පෞද්ගලික අංශයේ සැබෑ වැටුප් සියයට 14 කින් සහ රාජ්‍ය අංශයේ වැටුප් සියයට 24 කින් අති විශාල ලෙස පහත වැටී ඇත. මීට අමතරව, දිසානායකගේ පෞද්ගලීකරන වැඩසටහන රාජ්‍ය අංශයේ රැකියා දස දහස් ගනනින් අහෝසි කරනු ඇත. ඒ සමඟ ම, ආන්ඩුව සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අරමුදල් කපා හැර ඇති අතර, වැඩ කරන ජනතාව දරාගත නොහැකි ජීවන තත්වයන්ට ඇද දමා ඇත.

දිවයිනේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අරගල කරමින් සිටිති. නවතම ලෝක බැංකු සංඛ්‍යාලේඛනවලට අනුව, ජනගහනයෙන් සියයට 22 ක් දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වන අතර තවත් සියයට 10 ක් ජීවත් වනුයේ ඊට යන්තම් ඉහලිනි.

ශ්‍රී ලාංකික ජනතාව දැඩි දරිද්‍රතාවයකට මුහුන දෙන අතරතුර, මහා ව්‍යාපාරික සමාගම් තම ලාභ වැඩි වන බව වාර්තා කරයි. මීට දින කිහිපයකට පෙර කොලඹ කොටස් වෙලඳපොලේ සමස්ත කොටස් මිල දර්ශකය 22,000 ට ලඟා වූ අතර එය පෙර නොවූ විරූ ඉහල ම අගයකි.

නමුත් දිසානායකට නම්—දැන් ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් ආන්තික මට්ටම්වල පවතින—දරිද්‍රතාවය සහ ආන්තික සමාජ අසමානතාවය, ධනවාදී සූරාකෑමේ සහ නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතියේ ප්‍රතිඵලයක් නොව, මානව ශිෂ්ටාචාරයේ සදාතනික ලක්ෂනයකි.

මහා සභා රැස්වීමේ දී අධිරාජ්‍යවාදී බලවත්තු සහ ඔවුන්ගේ ප්‍රතිගාමී සේවාදායක පාලකයෝ, තම තමන්ගේ ජාතික ප්‍රකෝටිපතියන් වෙනුවෙන් කතා කල අතර, දරිද්‍රතාවය “මුලිනුපුටා දැමීම” සඳහා ඔවුන් කෙසේ හෝ දානපතියන් බවට පරිවර්තනය විය යුතු බව කියා සිටියහ. ධනවතුන් සහ දුප්පතුන් අතර ගැඹුරු පරතරය, ඔවුන් සියලු දෙනා ආරක්ෂා කරන ධනවාදී ලාභ ක්‍රමයට එරෙහි මහජන අරගල ලෙස පුපුරා යනු ඇති බවට, මහා සභා රැස්වීමට සහභාගී වූවන් තුල පවතින බිය, දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව තුල ද පවතී.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් [Photo: President’s Media Division]

ශ්‍රී ලාංකික ඡන්දදායකයින්, තම පක්ෂයේ “සමෘද්ධිමත් ජාතියක්, ලස්සන ජීවිතයක්” මැතිවරන ප්‍රකාශනය අනුමත කර ඇති බව දිසානායක මහා සභාවට පැවසී ය. නමුත් ජීවන තත්වයන් වැඩි දියුනු කිරීම ගැන හිස් පොරොන්දු ගොන්නක් ඇතුලත් ජවිපෙ/ජාජබ උද්ඝෝෂනය බොරු පොදියකි.

බලයට පත්වීමෙන් පසු තම පක්ෂයේ හිස් පොරොන්දු කුනු කූඩයට දැමූ දිසානායක, ජාමූඅ කප්පාදු පියවර අනුකම්පා විරහිත ව ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේ ය.

2024 දී රුපියල් බිලියන 410 ක් වූ සෞඛ්‍ය වියදම් 2025 දී බිලියන 383 දක්වා අඩු කර ඇති අතර, එය, ශ්‍රී ලාංකිකයන් ඖෂධ, වෛද්‍ය කාර්ය මන්ඩල සහ උපකරන හිඟයකටත්, පොදු රෝහල් පද්ධතියේ බරපතල පිරිහීමකටත් මුහුන දීම සහතික කරයි.

ඒ හා සමානව, රාජ්‍ය අධ්‍යාපනය සඳහා බරපතල අරමුදල් හිඟයක් පවතින අතර, ප්‍රමානවත් ලෙස ගුරුවරුන් හෝ පහසුකම් නොමැත.

ජාමූඅ හි කප්පාදු පියවරයන්ට සම්පූර්නයෙන් ම කැප වී සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඉහල බදු, රාජ්‍ය සහනාධාර සහ සංස්ථා කප්පාදු සහ රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය හෝ වසා දැමීම ඇතුලු තවත් දැඩි සමාජ පියවර රාශියක් පනවා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත රැකියා විනාශයක් ද, වැටුප් සහ වෙහෙස මහන්සි වී දිනාගත් සේවා කොන්දේසි කප්පාදුවක් ද සිදු විය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) අහෝසි කරන බවට මැතිවරන ව්‍යාපාරයේ දී පොරොන්දු වූ දිසානායක ආන්ඩුව, රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කිරීමට සටන් කරන ලංකා විදුලිබල මන්ඩල සේවකයින්ට සහ ඊශ්‍රායල ජන සංහාරයට විරුද්ධ වන ක්‍රියාකාරීන්ට එරෙහි ව මෙම මර්දනකාරී නීතිය භාවිතා කලේ ය. තැපැල් සේවකයින්ගේ ජාතික වැඩවර්ජන ක්‍රියාමාර්ගය බිඳ දැමීමට ද එය හමුදාව යොදා ගත්තේ ය.

1980 දශකයේ අග භාගයේ සිට ජනතා විමුක්ති පෙරමුනේ සහ එහි සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ නියෝජිතයෙකු වූ දිසානායක, දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව කොලඹ පාලනය කල දශක තුනකට ආසන්න වාර්ගික යුද්ධයට උපරි ම සහයෝගය දැක්වී ය. කෙසේ වෙතත්, දිසානායක මහා සභාවට, “මානව හිමිකම් සහ නිදහස ආරක්ෂා කිරීම සඳහා වර්ගවාදයට සහ ආගමික අන්තවාදයට විරුද්ධ වීමට අප අපගේ හෘදය සාක්ෂිය අවදි කල යුතු බව මා විශ්වාස කරනවා,” යැයි නරුම ලෙස පැවසී ය.

වාර්ගික සමගිය ප්‍රවර්ධනය කරන බවට හඬ තලමින්, සිවිල් යුද්ධයේ දී හමුදාව විසින් අල්ලා ගෙන වාඩිලා සිටින ඉඩම්, ඒවායේ මුල් හිමිකරුවන්ට ආපසු ලබා දෙන බවට, දිසානායක, සිය මැතිවරන ව්‍යාපාරය අතරතුර, උතුරු නැගෙනහිර දෙමල ප්‍රජාවට පොරොන්දු විය. ජවිපෙ/ජාජබ බලයට පත්වීමෙන් පසුව එම පොරොන්දු කුනු කූඩයට දමන ලද අතර දෙමල බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර හමුදා වාඩිලා ගැනීම දිගට ම පවත්වා ගෙන යනු ලැබේ.

දශක තුනකට ආසන්න යුද්ධයේ දී ශ්‍රී ලංකා හමුදාව කිසිදු යුද අපරාධයක් සිදු නොකල බව, ජවිපෙ/ජාජබ ආන්ඩුව අවධාරනය කරයි. එහි විදේශ අමාත්‍යවරයා මෑතක දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැවසුවේ, යුද්ධය අතරතුර හමුදාවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂනයක් පැවැත්වීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව විරුද්ධ වූ බවයි.

“නිෂ්ඵල යුද්ධ සඳහා මිලියන සිය ගනනක් වියදම් කරද්දී” සහ “තවෙකෙකුගේ දේශය ආක්‍රමනය කිරීමට මිලියන ගනනක් වියදම් කරද්දී, ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කරද්දී,” ප්‍රමානවත් සෞඛ්‍ය පහසුකම් නොමැති වීමෙන් කෝටි සංඛ්‍යාත ජනතාවක් මිය යාම ගැන දිසානායක තවදුරටත් ශෝක විය.

දිසානායක, කවරෙකු හෝ විරසක නොවන පරිදි කල මේ වැලපුම අතරතුර එකදු ආන්ඩුවක් හෝ දේශපාලන නායකයෙකු ගැන හෝ සඳහන් නොකල අතර, “ලෝකය තවත් ව්‍යසනයකට ගෙන යාමට නොව” ඊලඟ පරම්පරාව සඳහා ලෝකය වඩා හොඳ ස්ථානයක් බවට පත් කිරීමට කැපවන ලෙස, රැස් ව සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් ඉල්ලා සිටියේ ය.

මෙම මවා පෑම ප්‍රෝඩාවකි. ඇත්ත වශයෙන් ම, ශ්‍රී ලංකා ආන්ඩුව චීනයට එරෙහි යුද්ධය සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සූදානම සමඟ ඒකාබද්ධ වෙමින් සිටී. දිසානායක, එක්සත් ජනපද පැසිෆික් බලඇනියේ අනදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහෙලර් සහ දකුනු සහ මධ්‍යම ආසියාව සඳහා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ඇතුලු ජ්‍යෙෂ්ඨ ඇමරිකානු සහ ඉන්දියානු නිලධාරීන් ගනනාවක් කොලඹට සාදරයෙන් පිලිගෙන තිබේ. අප්‍රේල් මාසයේදී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ කොලඹ සංචාරය අතරතුර, ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉන්දියාව සමඟ පලමු නිල ආරක්ෂක ගිවිසුම අත්සන් කලේ ය.

ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි ව, ඊශ්‍රායලයේ මිනීමරු වාර්ගික අතුගා දැමීමේ යුද්ධය ගැන සඳහන් කරමින්, දිසානායක, තම පාලන තන්ත්‍රයේ ඊශ්‍රායල-හිතවාදී සහ ඇමරිකානු-හිතවාදී දේශපාලන පෙලගැස්ම තහවුරු කලේ ය. ඔහු තම කතාව අතරතුර, “ජන සංහාරය” හෝ “ජනවාර්ගික පවිත්‍රකරනය” යන වචන ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කල අතර, ඒ වෙනුවට “ඊශ්‍රායලයේ සහ පලස්තීන ජනතාවගේ නීතිමය, ආරක්ෂක සහ මානුෂීය උත්සුකයනුත්” බංකොලොත් සහ ප්‍රතිගාමී ද්වි-රාජ්‍ය විසඳුමත් පිලිගැනීමට ඉල්ලා සිටියේ ය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහා මන්ඩලය අමතා කල ෆැසිස්ට්වාදී කතාව අතරතුර, රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් විරෝධය පලකිරීම සඳහා සභාගැබෙන් ඉවත් ව යන විට, ශ්‍රී ලංකා දූත කන්ඩායමේ සාමාජිකයෙකු, වොෂින්ටනයටත්, මැද පෙරදිග එහි මිලිටරිවාදී න්‍යාය පත්‍රයටත් පැහැදිලි අනුමැතියක් දක්වමින් එක්සත් ජනපද නියෝජිතයින් සමඟ අසුන් ගෙන සිටියේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්වගාමියා වූ ජාතීන්ගේ සංගමය, අධිරාජ්‍යවාදී බලවතුන්ට සහ ඔවුන්ගේ ගෝල බාලයින්ට ඔවුන්ගේ භූ දේශපාලනික අරමුනු ඉටු කර ගැනීම සඳහා වේදිකාවක් ලෙස සේවය කරන බව පෙන්වා දෙමින්, ලෙනින්, නිවැරදි ලෙස ම එය හැඳින්වූයේ, “සොරුන්ගේ තිප්පොලක්” කියා ය. දිසානායකගේ කතාව, ඔහුගේ ආන්ඩුව මෙම අවශ්‍යතා සඳහා සේවය කරනු ඇති බවට තවත් සාධනයක් පමනි.

Loading