ගංවතුරෙන් පීඩාවට පත් කොලඹ නගරයේ දුගී ජනයා සුරක්ෂිත නිවාස ඉල්ලා සිටිති

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත වායුගෝලයේ පැවති අඩු පීඩන තත්වය නිසා, පසුගිය සති දෙක තිස්සේ, ලංකාවේ සියලු ම ප්‍රදේශ වලට අධික වැසි සහ සුලං ඇති විය. මෙම තත්වය, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුනු පලාත් වලට තදින් ම බල පෑ අතර, ඇති වූ ජල ගැලීම් හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක පවුල් 2,395 කට අයත් පුද්ගලයින් 9,542 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානය, ඔක්තෝබර් 23 දා, ප්‍රකාශ කලේ ය. අයහපත් කාලගුනික තත්ත්වය හේතුවෙන්, සිවු දෙනෙකු මිය ගොස් ඇති අතර, නිවාස 422 ක් අර්ධ වශයෙන් හානි වී ඇත.

ඔක්තෝබර් 21 සිට 27 දක්වා කාලය තුල, කොලඹ දිස්ත්‍රික්කයට, දිනකට සාමාන්‍යය මිලිමීටර් 75ක් පමන වූ ඉහල වැසි ලැබුනි. මෙය මෙම මස තුල ලැබෙන සාමාන්‍යට වඩා විශාල ඉහල යාමකි. කොලඹ නගරය තුල නිතර ජල ගැලීමට ලක් වන වනාතමුල්ලේ හල්ගහවත්ත ප්‍රදේශය පසුගිය 20 වැනි දා සිට ජලයෙන් යට වූ අතර, එය නිවාස 400කට පමන බලපෑවේ ය. ඒ අතරින් බෙහෝ පවුල්වලට, අසල්වැසි හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ නිවාසවල තාවකාලික ව ලැගුම් ගැනීමට සිදු විය. 

ඔක්තෝබර් 24 දා, හල්ගහවත්ත ප්‍රදේශයට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට, ගංවතුර හේතුවෙන් අවතැන් ව, එම්.එච්.මොහොමඩ් ප්‍රජා ශාලාවේ තාවකාලික ව ලැගුම් ගෙන සිටින පවුල් කීපයක සාමාජිකයන් හමුවීමට හැකි විය. අවුරුදු පහට අඩු ලමයි තුන්දෙනෙකු සහ කාන්තාවන් විසිදෙනෙකු ඇතුලු, පවුල් අටක සාමාජිකයන් 30 දෙනෙක් පමන පිරිසක් එහි රැඳී සිටියහ.

එම්.එච්.මොහොමඩ් ප්‍රජා ශාලාවේ රැඳී සිටින අවතැන්වූවන්

අවුරුදු 48ක්  වයසැති අනුෂා පීරිස් පැවසුවේ, ඇය දින තුනක් මෙසේ ප්‍රජා ශාලාවේ රැඳී සිටින බවයි. මෙතෙක් ඔවුන්ට කොලඹ මහනගර සභාවෙන් පිසූ ආහාර ලබාදුන් බවත් අදින් පසුව එම ආහාර ලබා දීම නවත්වන බව නිවේදනය කර ඇති බවත් ඇය කීවා ය. තවමත් ගංවතුර නැගෙමින් පවතින බව පැවසූ ඇය, ග්‍රාමසේවා නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුලු රාජ්‍ය සේවකයන්, ඉතා සීමිත රාජ්‍ය ප්‍රතිපාදන සහ පහසුකම් යටතේ, තම අවශ්‍යතා සපුරාලීමට ගන්නා උත්සාහය අගය කලාය. ඇය පැවසුවේ ආන්ඩුවෙන් ප්‍රතිපාදන නොලැබී තිබෙන තත්වයක් හමුවේ ප්‍රදේශයේ හිතවතුන්ගෙන් ආහාර සපයා දීමට පවා නිලධාරීන් ඉදිරිපත් වූ බවයි. 

“යන්න තැනක් තිබුනේ  නැති නිසා ලමයි ටිකත් අරගෙන මෙතැනට ආවා. ජීවත් වන්නේ ලෑලි වලින් තැනූ ඉතා ම කුඩා ගෙවල්වල. අපි ආන්ඩුවෙන් ඉල්ලන්නෙ ජීවත් වෙන්න පුලුවන් ගෙයක් ලබා දෙන්න කියල. හැම අවුරුද්දෙ ම දෙපාරක් අපට මෙතනට එන්න සිද්ධ වෙනවා. ගං වතුර බැස්සට පස්සේ නැවත කැඩුනු බිඳුනු ගෙවල් වලට යනවා. කවුරුත් ඒවා හදලා දෙන්නේ නෑ. අපි ම ඒවා හදාගන්න ඕන.” 

තම රැකියා සහ ලමුන්ගේ අධ්‍යාපනය සංකේන්ද්‍රිත ව ඇත්තේ එම ප්‍රදේශය තුල බැවින්, ජල ගැලීම් ඇතුලු දුෂ්කරතා විඳ දරා ගෙන රැඳී සිටීමට සිදු වී ඇති බව පැවසූ ඇය, පසුගිය ආන්ඩු නිවාස ලබා දෙන බවට තමන් රැවටූ බව කෝපයෙන් පැවසුවා ය. තමා රැකියාවක් නොකරන බවත්, තම දියනියගේ මාස තුනක් වයසැති, උන සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙලෙන දරුවා බලා ගනිමින් ප්‍රජා ශාලාවේ රැඳීසිටින බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලා ය.

අවතැන් වූ ඔවුන්ට, තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ දී පවත්නා දුෂ්කරතා ඇය මෙසේ පැහැදිලි කලාය: “මේ ප්‍රජා ශාලාවේ අපි ඔක්කොටම තියෙන්නෙ වැසිකිලි දෙකයි. පොඩි ලමයි ඔක්කොම ඉන්නේ අසනීපෙන්. නිදා ගන්නේ බිම එලා ගත්තු පැදුරුවල. පිරිමි සහ ගැහැනු හැටියට දෙපැත්තක. අපේ ගැටලුවලට රජයේ නිලධාරීන්ට කරන්න පුලුවන් දේවල් සීමා සහිතයි. අපි මේ පාර අනුර කුමාරට ඡන්දෙ දුන්නෙ මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙයි කියලා. මෙතෙන්ට එන ආන්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ ඒ පිලිබඳව කතා කරන්නේවත් නැහැ. අපිට ඕනේ ගංවතුර ආවහ ම තාවකාලික නවාතැන්වලට ගිහින් ආන්ඩුවෙන් දෙන කෑම කාලා ආපහු ගෙදර යන්න නෙවෙයි. මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක්.”

ප්‍රදේශයේ අයට ස්ථිර රැකියා නොමැති බවත් තාවකාලික රැකියා පවා සෑම දා ම නොලැබෙන බවත් එම තත්වය යටතේ “ඉතාම අමාරුවෙන් ජීවත්වන මිනිස්සුන්ට”, බඩුමිල ඉහලයාම නිසා ජීවත්වීම වඩාත් දුෂ්කර වී තිබෙන බවත් ඇය ප්‍රකාශ කලා ය. “පොල් ගෙඩියක් රුපියල් 200 යි. හාල් කිලෝ එකක් රුපියල් 200යි. අනෙක් බඩුත් හැම දෙයක් ම ගනන්. දවසකට රුපියල් 1200ක් වගේ පඩියකින් කෑම බීම, ගමන් වියදම්, ලමුන්ගේ අධ්‍යාපනය මේ සියලු දේවල් කරන්න පුලුවන්ද?” ආදී වශයෙන් ඇය ප්‍රශ්න කරගෙන ගියා ය.  

“මිනිස්සු, (මත්) කුඩු බීමට, හොරකම් වලට සහ වෙනත් වැරදි වැඩවලට යොමුවෙන්නෙ මේ තත්වය නිසා” යැයි ඇය කීවා ය.

ප්‍රජා ශාලාවේ රැඳී සිටින මනෝජ් පුෂ්පකුමාර මෙසේ පැවසුවේ ය. “පසුගිය ආන්ඩු තුනක් අපිව රවට්ටලා තියෙනවා. සහස්‍රපුර ඉදි කරන කොට.අපට ගෙවල් දෙනවා කිව්වා. ඒව අපට ලැබුනේ නැහැ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව කිව්වා සිංහපුර නිවාස හදන්නේ අපට කියලා. අවසානයේ අපට කිව්වා හේනමුල්ල ප්‍රදේශයේ ගෙවල් දෙනවා කියලා. නමුත් ලැබුනෙ නෑ. මේ ආන්ඩුව ගෙවල් දීම ගැන  කතා කරන්නෙ ම නෑ. අපි ගංවතුරෙන් කරදර විඳිමින් ජීවත්වෙනවා.”

ගංවතුර හේතුවෙන් තාවකාලිකව අත්හැර දැමූ හල්ගහවත්ත ප්‍රදේශයේ නිවාස පේලියක්

ගුවන් පාලමක් සඳහා ඉඩ ලබාගනුවස් තම නිවාස ඉවත් කොට වෙනත් ස්ථානයකින් නිවාස ලබාදෙන බව පසුගිය ආන්ඩුව පැවසූ නමුදු, දැන් එම ව්‍යාපෘතිය නතර කොට ඇති බව පුෂ්පකුමාර පැවසී ය. “ඒ නිසා අපට ගෙවල් දෙන්න ආන්ඩුවට උවමනාවක් නැහැ. ආන්ඩු ගෙවල් දෙන්නේ, දුප්පත් මිනිස්සු විඳින දුක් කරදර නැති කරන්න නෙවෙයි. අපේ ඉඩම් වෙනත් වැඩවලට යොදා ගන්න.”

ප්‍රජා ශාලාවේ රැඳීසිටින සහ තම නිවාස පවතින ප්‍රදේශයේ කිසිවෙකුට ස්ථිර රැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කලේ ය. පුෂ්පකුමාරට අනුව, ඔහුගේ අසල්වැසියන්ගේ ජීවන වෘත්තීන් වනුයේ, ධනවතුන්ගේ නිවාසවල වයෝවෘද්ධ අය බලා ගැනීම, නිවාස පිරිසිදු කිරීම, ඉදිකිරීම් ස්ථානවල අත් උදව්දීම සහ පිටකොටුවෙන් ගත් එලවලු මහමග වෙලඳාම ආදිය යි. බහුතරයකගේ දෛනික ආදායම “රුපියල් 100-1200 වැනි සුලු මුදලක්” බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

“වැස්ස වහිනකොට මේ රස්සා කරන්න අමාරුයි. ලමයින්ට පාසල් යන්න විදියක් නැහැ. අපි ප්‍රජා ශාලාවේ ඉන්නේ බයෙන්. මිනිස්සු ගෙවල්වල නැති උනහම බඩු හොරු ගන්නවා. හැම තැන ම  පොලිස් ඒකක පිහිටුවලා තිබුනත්, අපේ බඩු ආරක්ෂා කරගන්න පිලිසරනක් ලැබෙන්නේ නැහැ. පොලිසිය ඉතා ම දරුනු විදියට ගමේ මිනිස්සුන්ට සලකන්නෙ. පාරෙ යන මිනිස්සුන්ට ගහනවා. කුඩු ගහනවා කියලා බොරුවට අල්ල ගෙන යනවා. හැඳුනුම්පත නැත්නම් ඒත් අල්ල ගෙන යනවා. පිට ගමකින් ඥාතියෙක් ආවොත් ඒ අය පොලිසියට අල්ලාගෙන යනවා. ගම්වල ජීවිතය දුෂ්කර නිසා නගරයට එන අය, හොරු අපරාධකාරයො කියලා පොලීසිය සිතන්නෙ. කාන්තාවන්ට කතා කරන්න දන්නේ නැහැ. සල්ලිකාරයන්ට එක විදිහට සලකන පොලිසිය අපට සලකන්නේ සතුන්ට වගේ.”

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව දෙන බවට පොරොන්දු වූ රැකියා ලක්ෂයෙන් කිසිවක් තම ප්‍රදේශ වාසීන්ට නොලැබුන බවත්, එයට හේතු වූයේ, එම රැකියා සඳහා අවම සුදුසුකම ලෙස සැලකූ “අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් සම්මාන හතරක් සහිත ව විෂයයන් හයකින් සමත්වීම සපුරාලීමට, ප්‍රදේශයේ පවත්නා දුෂ්කර ජීවන තත්වයන් තුල නොහැකි වීම බවත් ඔහු පැවසී ය. “ලමයි ඉක්මනින් ම පාසැල් අධ්‍යාපනයෙන් ඉවත් වෙනවා. ආන්ඩුවේ පාසැල් වැහිමේ වැඩකටයුතු නිසා වෙන්නෙ මේ ප්‍රදේශ වල අධ්‍යාපනය තවදුරටත් අඩාලවීම” යැයි ඔහු කීවේ ය.

ෆාතිමා රිස්නා මෙසේ පැවසුවා ය: “පාසැල් නොයන පොඩි ලමයි පස් දෙනෙක් පමන මෙතන ඉන්නවා. එකට ඉන්න නිසා ඒ හැමෝට ම හෙම්බිරිස්සාව බෝවෙලා. මගේ දුවගේ පොඩි ලමයත් අසනීපෙන් ඉන්නෙ. දුව ක්ලීනින් (පිරිසිදු කිරීමේ) වැඩපොලක වැඩට ගිහින්. මම දරුව බලා ගන්නව.”

ජලයෙන් යට වූ හල්ගහවත්ත ප්‍රදේශයේ පටු මාවතක්

තම නිවස පිිහිටා තිබෙන්නේ කොලොන්නාව තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානය අසලින් ගමන්කරන ඇල මාර්ගය අසල බවත්, “පොඩි වැස්සටත් ඇල උතුරා” මල අපද්‍රව්‍ය නිවෙස් තුලට ගලාඑන බවත්, ෆාතිමා කීවාය. “අපි ජීවත් වෙන පොඩි ලෑලි ගේ ඇතුලෙ පහලොස් දෙනෙක් ජීවත් වෙනවා. මට ලමයි දෙන්නෙක් ඉන්නවා. මගේ අක්කට පාසල් යන වයසේ ලමයි දෙන්නෙක් ඉන්නවා. මේ දිනවල ලොකු අය වැඩට යන්නෙත් නෑ. ලමයි පාසල් යන්නෙත් නැහැ.”

තවත් කාන්තාවක් පැවසුවේ, “ඡන්ද කිට්ටු වෙනකොට හැම ආන්ඩුවක් ම ගෙවල් දෙන බවට පච කිවුව. දැන්  ආන්ඩුව ඊට වෙනස් නෑ.”

අසල පිහිටි “සිරිසර උයන” මහල් නිවාසයේ පදිංචි කම්කරුවකු, ආන්ඩුව පීඩිතයන්ට සලකන ආකාරය ගැන සිය අප්‍රසාදය පල කලේ, ආන්ඩුව, ගංවතුරෙන් අනාථ වූවන්ගේ සුභ සාධනයට කිසිවක් කර නොමැති බව ප්‍රකාශ කරමිනි. 

“මේ ආන්ඩුව ආව ම අපි හිතුව කම්කරුවන් බලය ගත්තා කියලා. ආන්ඩුව බොරු කියලා තියෙන බව දැන් පැහැදිලියි. ඉස්සර ආන්ඩු මිනිස්සු රවට්ටන්න හරි මහල් නිවාස හදලා දුන්නා. ඒවායේ ජීවත් වෙන්න හරි අමාරුයි. වතුර බිල රුපියල් 3000කට වැඩියි. ලයිට් බිල්, වරිපනම් ගෙවන්න ඕන. මේ ආන්ඩුව ඒ ප්‍රශ්න ගැන කතාවක් ඇත්තෙ ම නැහැ. මම මෙතනට ආවෙ  විපතට පත් මගේ ඥාතීන් සහ මිතුරන් නිසා ඔවුන්ට උදව් කරන්න පුලුවන්ද බලන්න.”

තම නිවස අසලට ම ජලය ගලා පැමිනිය ද නිවසින් ඉවත් නොවී එහි ම රැඳී සිටි සුනිල් නම් කම්කරුවෙකු ප්‍රකාශ කර සිටියේ කුඩා වැස්සකට පවා නිවස තුලට, අපජලය ගලා එන බවයි. එයට හේතුව අසල ඇති දෙමටගොඩ ඇල මාර්ගය පිලිසකර නොකිරීම බව ඔහු වැඩි දුරටත් කීවේ ය. 

“ධනපතියන්ට ක්‍රීඩා විනෝදාංශ සඳහා ආන්ඩුව ජොගින් පාත් (ව්‍යායාම මංතීරු) නඩත්තු කරනවා. ඒවාට අවශ්‍ය මුදල් වියදම් කරනවා නමුත්  දුප්පතුන්ගේ අවශ්‍යතා ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ” යැයි ඔහු පැවසී ය.

කොලඹ නගරය නිරන්තර ව ජලයෙන් යටවීම, අති මූලික වශයෙන් ම, තාර්කික නගර සැලසුම්කරනයක් නොමැතිවීමේ ප්‍රතිඵලයකි. එහි, ජලය, විදුලිය, ප්‍රවාහනය හා අපද්‍රව්‍ය කලමනාකරනය වැනි පොදු පහසුකම් ඒකාබද්ධ සැලසුමකට අනුව සිදු කොට නොමැත. පවත්නා සීමිත ජල කලමනාකරන පද්ධතීන් පවා නිසි පරිදි නඩත්තු නොකෙරේ. පරිපාලනය සහ නිෂ්පාදනය යන අංශ දෙක ම නගරය තුල සම්මිශ්‍රනය වී පවතී. 

අනුප්‍රාප්තික ආන්ඩු, ජාතික සහ ජාත්‍යන්තර ආයෝජකයන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන්, සුඛෝපභෝගී සහ සුවිසල් මහල් නිවාස, සංචාරක හෝටල්, සාප්පු සහ සිනමාහල් ඇතුලු විනෝදාස්වාද සංකීර්නයන්, ඉවබව නොමැතිව ඉදිකිරීම සඳහා අවකාශ ලබා දී ඇත.  

අනෙක් අතට, මෙම ආන්ඩු, දස දහස් සංඛ්‍යාත දුගී ජනයාගේ නිවාස ප්‍රශ්නය විසඳීමේ තිරසාර වැඩපිලිවෙලක් ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස, නගරයේ ජලය අවශෝෂනය කරගැනීමට පවත්නා ඉතා සීමිත වගුරුබිම්වල සහ ඇල මාර්ග දෙපස පැල්පත් අටවා ගැනීමට නිවාස අහිමි දුගීහු වඩ වඩාත් පෙලැඹී සිටිති. 

ආයෝජකයන්ට පැවරීම සඳහා එම බිම් නිදහස් කරගනුවස්, ඉතා සීමිත ඉඩකඩ සහ පහසුකම් සහිත ඊනියා මහල් නිවාසවලට මෙම දුගීන් බලහත්කාරයෙන් තල්ලු කෙරෙන අතර, “සුදුසුකම් සපුරා නැතැ” යි කියමින් තවත් දහස් ගනනක් මහමගට ඇද දමනු ලැබෙති. 

ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් කැපවී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු අකුරට ම ක්‍රියාත්මක කරමින් සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ, මෙම ප්‍රශ්න වඩ වඩාත් උග්‍රවනු ඇත.

මෙය ජයගත හැක්කේ, බැංකු, මහා කම්හල් සහ දැවැන්ත වතු යායන් කම්කරු පංති පාලනය යටතේ ජනසතු කරමින් සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. එවන් ආන්ඩුවකට, බැංකුවල තැන්පත් කොට තිබෙන මහධනපතියන්ගේ බිලියන සංඛ්‍යාත ධනය ඉහත මහජන අවශ්‍යතා වෙනුවෙන් යොදාගත හැකිවනු ඇත. විවිධ කප්පාදු සහ බදු අය කිරීම් හරහා මහාභාන්ඩාගාරයට උරා ගැනෙන බිලියන සංඛ්‍යාත මුදල් වලින් විදේශ නය ගෙවීම නවතා දමා, එම මුදල් මහජන අවශ්‍යතා සඳහා යොදාගත හැක්කේ ද එවන් ආන්ඩුවකට පමනි. 

Loading