සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු අප මුහුන දී සිටින ප්‍රධාන ගැටලුවයි - යාපනය ශික්ෂන රෝහලේ හෙදියක්

ජනාධිපති අනුර කමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත ගෙන යන කප්පාදු හේතුවෙන් තීව්‍ර කෙරී ඇති සෞඛ්‍ය සේවයේ කඩා වැටීම, රෝගීන් සහ සෞඛ්‍ය සේවකයන්ට බල පා ඇති ආකාරය සහ එම සේවය ඉහල නංවා රැක ගැනීමට ගත යුතු මග සම්බන්ධයෙන්, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එකී පාර්ශ්වයන් සමග සාකච්ඡා මාලාවක් ගෙන යමින් පවතී.

2025 මාර්තු 17දා මහනුවර ශික්ෂන රෝහලේ හෙදියෝ විරෝධය පලකරති

යාපනය ශික්ෂන රෝහලේ සේවය කරන, වසර 10ක සේවා කාලයක් සපුරා ඇති හෙද නිලධාරිනියක්, සෞඛ්‍ය සේවයේ කප්පාදු තමන් අත් දකින්නේ කෙසේ දැයි ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් සමග විස්තර කලා ය.

ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින්, සෞඛ්‍ය සේවකයන්ගෙන් සිදුවන අඩුපාඩු සම්බන්ධයෙන් පැමිනිලි යොමු කිරීමට, ක්ෂනික ඇමතුම් අංකයක් හඳුන්වාදීම අයුක්ති සහගත බව පවසමින් ඇය මෙසේ කීවාය:

“හෙදියන්, වෛද්‍යවරුන්, ඖෂධවේදීන් මොන අංශයෙන් ගත්තත් බරපතල පිරිස් හිඟයකට අපි මුහුන දීලා ඉන්නේ. ප්‍රධාන ම ගැටලුව ඒකයි. වාට්ටුවල, සායනවල සහ බාහිර ප්‍රතිකාර අංශවල ඉන්න විශාල රෝගීන් පිරිස කලමනාකරනය කර ගන්න දැනට ඉන්න පිරිස් බලයෙන් බෑ.”

“උදාහරනයක් විදියට ගත්තොත්, අද උදේ මම වැඩ කල වාට්ටුවේ ඇඳන් තියෙන්නේ 30යි. නමුත් රෝගීන් 47 දෙනෙක් හිටියා. මේ හැම වාට්ටුවක ම දකින්න පුලුවන් සාමාන්‍ය තත්ත්වය. වැඩිපුර රෝගීන්ට සිදු වෙන්නේ මොනව හරි එලා ගෙන බිම නිදියන්න. දැනටමත් තදබදයෙන් යුතු මේ වාට්ටු තවත් තදබද වෙනවා වගේ ම හදිසියකට එහා මෙහා යන්නත් අමාරුයි.”

ඒ සා විසාල රෝගීන් පිරිසක් ආවරනය කිරීමට සිටින්නේ සෞඛ්‍ය සේවකයන් සුලු පිරිසක් බවත්, උදාහරනයක් ලෙස වාට්ටුවක සේවයට සාමාන්‍යයෙන් යෙදවිය හැක්කේ හෙදියන් තුන් දෙනෙක් පමනක් බවත් ඇය පැවසුවාය.

'එක් කෙනෙකුට හදිසියේ නිවාඩු ගන්න වුනොත් හෙදියන් දෙ දෙනෙකුට විශාල බරක් පැටවෙනවා. එවැනි අවස්ථා නිතර ම එනවා. මම තනිය ම සේවය කල අවස්ථාත් තියෙනවා. ඒ වගේ වෙලාවලට හෙද සොයුරියට පවා, ඇය සිටිනේනේ පරිපාලනමය වගකීම් සඳහා වුනත්, හෙදියකගේ සේවය කරමින් උදවු වන්නට සිදු වෙනවා. අපි උදේ 11ට ලෙඩුන්ට බේත් ලබා දීම ආරම්භ කලොත් ඉන්න සෙනඟ නිසා ලෙඩුන් පැමිනීමට අමුත්තන් පැමිනෙන දවල් 12 පසු වී ද බේත් ලබා දීමේ යෙදෙන්නට වෙනවා. අමුත්තනුත් පැමිනෙද්දී තවත් තදබදය වැඩි වෙනවා.”

මෙ බඳු කොන්දේසි යටතේ රෝගියෙකුට ලැබිය යුතු නිසි සැලකිල්ල ලබා දීමට අපහසු බව පැවසූ ඇය, විශේෂ සැලකිල්ලක් ලබා දිය යුතු රෝගීන් සම්බන්ධයෙන් වැඩිපුර කාලයක් ගත කිරීමට සිදු වුව ද, ඉහවහා ගිය වැඩ කොන්දේසි නිසා සමහර අවස්ථාවන්හි දී එවැනි රෝගීන් කරදරයක් ලෙස දැකීමට හෙදියන් පෙලඹෙන බව කීවාය. “අපි පමා වුනොත් අනික් අයගෙන් දොස් එල්ල වෙනවා.”

“සාත්තු කිරීම්, ඖෂධ ලබා දීම කඩිමුඩියේ කල හැකි දෙයක් නෙවෙයි. එක් අවස්ථාවක දී යෝනි මාර්ගය ඔස්සේ ලබා ගත යුතු ඖෂධයක් පානය කිරීමෙන් අමාරු වූ තැනැත්තියක් පැමිනියා. ඖෂධවල ලේබල තියෙන්නේ ඉංග්‍රීසි බසින්. මේ දේවල් ඖෂධවේදීන්ට හෝ අපට වේලා අර ගෙන ඔවුන්ට පැහැදිලි කරන්න වෙනවා. ඖෂධවේදීනුත් දිගු පෝලීම් කලමනාකරනය කර ගැනීමට පොර බදමින් සිටින්නේ. සේවක පුරප්පාඩු එම අංශයෙත් දැඩි ලෙස පවතින බව ඔවුන් පවසනවා.”

“ගුනාත්මක සේවයක් ලබා දෙන්න නම් හෙදියකට සිටින රෝගීන් ගනන සීමා විය යුතුයි. නමුත් සේවක හිඟයක් පවත්වා ගනිමින් අපෙන් පමන ඉක්මවා වැඩ ප්‍රමානයක් මිරිකා ගන්නවා. මෙයින් අපත් රෝගීනුත් පීඩාවට පත් වෙනවා.” 

රෝගීන් තදබදයෙන් යුතු වාට්ටු තුල තෙරපෙද්දි හෙද කාර්ය මන්ඩලය සඳහා නිසි විවේක කාමරයක් හෝ වැසිකිලි පහසුකම් නැති බව ඇය සඳහන් කලා ය. තමන්ට බොහෝ විට රාත්‍රී කාලයේ නිදා ගැනීමට සිදු වෙන්නේ මේස මත බව ද ඇය සඳහන් කලා ය. 

නේවාසික රෝගීන්ට තුන් වේලට නොමිලයේ ලබා දෙන ආහාර වේල් ද දැන් කප්පාදුවට ලක් වී ඇති බව ඇය සඳහන් කලා ය. “යාපනය නගර සීමාව තුල රෝගීන්, ආහාර වේල් සඳහා ලියාපදිංචි නොකරන ලෙස අපට උපදෙස් තී තිබෙනවා. යාපනය නගර සීමාව තුල සිටියා කියලා රෝගියෙකුට ලබා දිය යුතු ආහාර වේල කපා හරින්න පුලුවන් ද?! මම දැකලා තියෙනවා තමුන් බලන්නට කිසි කෙනෙකු එන්නේ නැති ව තනියම ඉන්න රෝගීන්. ඔවුන් අතේ මුදල් නෑ. හරි හමන් කෑමක් නෑ. පිරිසිදු ඇඳුම් ලැබෙන්නේ නෑ. දෛනික ව උපයා ගෙන ජීවත් වෙන මිනිසුන් නේවාසික රෝගීන් බවට පත් වුනා ම ඉතා ම අසරන තත්ත්වයකට පත් වෙනවා. ඔවුන්ගේ හිතවතුනුත් එම කොන්දේසිවලට ම මුහුන දෙන දුගීන් නම් දෛනික ව වේල් තුනට ම කෑම අර ගෙන පැමිනිය නොහැකියි. බස් ගාස්තු ම කොච්චර ගනන්ද?”

හෙදියන්ගේ ගුනාත්මක බව ඉහල නැංවීමට නිසි ක්‍රමවේදයක් නොමැති බව සඳහන් කල ඇය පෙන්වා දුන්නේ වැඩි දුර අධ්‍යාපන අවස්ථා සඳහා යොමු වීමට සිදු ව ඇත්තේ තම අතින් වියදම් කර ගනිමින් අධ්‍යාපන නිවාඩු ද ඉතා අමාරුවෙන් ලබා ගනිමින් බවයි.

“මට හෙද විද්‍යාවේදී උපාධිය නිම කරන්න රුපියල් ලක්ෂ 8ක් වැය වුනා. නමුත් එයට ආයෝජනය කල මුදල නැවත උපයා ගැනීම දුෂ්කර වී තිබෙනවා. දැන් මට පශ්චාත් උපාධිය හැදෑරීමට අවශ්‍ය වුනත් අවශ්‍ය නිවාඩු ලබා ගැනීම දුෂ්කර වී තිබෙන්නේ සේවක හිඟය නිසා. වෛද්‍ය විද්‍යාව නිරතුරු ව වර්ධනය වන කේෂ්ත්‍රයක්. මේ නිසා මේ කේෂේත්‍රයේ නව ත ම වර්ධනයන් සෞඛ්‍ය සේවකයන්ට උගැන්වීමට වැඩමුලු පැවැත්වීම ඉතා වැදගත්. නමුත් පැවැත් වෙන වැඩමුලු පවා කොලඹ නගර සීමා කර ගනිමින්, දිවයින පුරා රෝහල්වල කාර්ය මන්ඩලවලින් එක් කෙනෙක් හෝ දෙ දෙනෙක් ගෙන්වා ගනිමින් සිදු කරන්නේ. එම දැනුම සෙසු පිරිසට සන්නිවේදනය කිරීමට නිසි ක්‍රමවේදයක් නෑ.”

ඇගේ මූලික වැටුප රුපියල් 60 000ක් වන අතර, වියදමට සරිලන වැටුපක් ලබන්න නම් අනිවාර්යෙන් ම නිවාඩු ලබා නොගෙන අතිකාල වැඩ කිරීමට සිදුවේ. 'අපිට අපේ පවුල් සමග ගත කිරීමට කාලයක් නැති වෙලා තියෙනවා. බෝඩිමට රුපියල් 10 000ක් ගෙවන්න වෙනවා. නිල ඇඳුම්වලටත් අපි ගෙවිය යුතුයි.”

මාර්තු මාසයේ දී හෙදියන් ඇතුලු සෞඛ්‍ය කම්කරුවෝ, අතිකාල රේට්ටු, දීමනා, උසස්වීම් සඳහා සලකා බැලෙන කාලය 2025 අයවැයෙන් දීර්ඝ කිරීමට එරෙහිව විරෝධතා සහ වැඩවර්ජන වලට පැමිනියහ. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන වෘත්තීය සමිති මෙම වර්ජන විරෝධතාවලට සහභාගී වූයේ නැත. මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව නායකත්වය දෙන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වැටුප් වැඩි වීම් ලබා දීම සම්බන්ධයෙන් ආන්ඩුවට ප්‍රශංසා කරමින් කප්පාදු අයවැය හෙදියන් මත පැටවී ය. 

සෞඛ්‍ය සේවකයන්ගේ පීඩනය යටතේ සහ විරෝධය ගසා කෑමේ අරමුනින් එක්සත් ජාතික පක්ෂයේ සමන් රත්නප්‍රිය විසින් මෙහෙය වනු ලබන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමති සහ ජනාධිපති සමග සාකච්ඡා ඉල්ලා, සීමිත විරෝධතා කැඳවමින්, සෞඛ්‍ය සේවකයන් අතර කැකෑරෙන කෝපය දියකර හැරීමට කටයුතු කලේය.

හැල්මේ ඉහල යන ජීවන වියදම සහ බදු බර, මෙම අවුරුදු තුනක් ඔස්සේ පියවර තුනකින් කෙරෙන වැටුප් වැඩි කිරීම් අර්ථ විරහිත කර ඇති බව ඇය පෙන්වා දුන්නා ය.

“දැන් අපට වත්කම් බැරකම් ප්‍රකාශයක් පිරවීමට ලබා දී තිබෙනවා. තවත් මොකක් හෝ බද්දක් අපට පැටවීමට යනවාද යන සැකයයි තියෙන්නේ.” යැයි ඇය පැවසුවා ය.

කෙසේ නමුත් ඇගේ කල්පනාව වූයේ වෙනත් රටකට සංක්‍රමනය වීමෙන් තම වෘත්තීයට සරිලන වැටුප් සහ සේවා කොන්දේසි ලබා ගැනීමට හැකි වනු ඇති බවයි. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ අර්බුදය හුදෙක් මෙම රටට පමනක් ආවේනික ගැටලුවක් නොවන අතර එය ලෝක පරිමාන සමාජ ප්‍රතිවිප්ලවයක ප්‍රතිඵලයකි. 

කම්කරු පන්තිය, සමාජවාදී ඉදිරිදර්ශනයක් යටතේ සටන් වැදුනු කාල පරිච්ඡේදයක දී, සමාජවාදී විප්ලවයේ තර්ජනයෙන් මිදීම සඳහා, මෙම සමාජ සහන ලබා දීමට ලෝක ධනපති පන්තියට සිදු විය. මහජන සෞඛ්‍යය සහ මහජන අධ්‍යාපනය ඇතුලු සමාජ සහන දෙ වැනි ලෝක යුද්ධයෙන් පසු ගොඩ නැගූ පශ්චාත් යුද සමථයේ අංගයන් වූ නමුත්, 1980 දශකයේ සිට ධනපති පන්තිය ඔවුන් මුහුන දී සිටින අර්බුදයෙන් ගොඩඑනුවස්, තම ලාභයෙන් සමාජ සහන සඳහා වෙන් කෙරෙන කොටස නැවත උදුරා ගැනීමක යෙදී සිටියි. 1980 දශකය ආරම්භයේ දී ලංකාවේ ක්‍රියාවට දැමීමට පටන් ගැනුනු මෙම ආර්ථික ප්‍රතිපත්ති කූටප්‍රාප්තියකට ගෙන ඒමට ජවිපෙ ආන්ඩුව අධිෂ්ඨාන කර ගෙන සිටියි. 

ගෝලීය පරිමාන මෙම ප්‍රහාරයේ තීව්‍රතම ප්‍රකාශනය, ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආන්ඩුව විද්‍යා පර්යේෂන සහ සෞඛ්‍ය සේවාවන්ට එල්ල කරමින් යන දැවැන්ත කප්පාදු ප්‍රහාරයන් තුල අත්කර ගෙන ඇත. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය තුල දැකිය හැකි කොන්දේසි ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ගේ අත්දැකීමෙන් කිසිසේත් ම වෙනස් නොවේ.

අප මුහුන දී සිටින්නේ ගෝලීය සෞඛ්‍ය අර්බුදයකට බැවින්, මේ අර්බුදය හුදෙක් ශ්‍රී ලංකාව තුල පමනක් ජය ගත නොහැකි අතර එය ජය ගැනීමට නම්, කම්කරු පංතිය, සමාජවාදී පිලිවෙත් මත ජාත්‍යන්තර පරිමානයේ අරගලයකට අවතීර්න විය යුතු වෙයි. 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටුවල ජාලයක සාමාජිකයෙකු වශයෙන් උර දී සිටින්නේ එම අරගලයටයි. මේ අරගලය සඳහා එක් වීමට සහ ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතරු දැන ගැනීමට පහත පෝරමය පුරවා හෝ 0773562327 යන දුරකතනයෙන් අප හා සම්බන්ධ වන්න.