[මෙය Alan Gelfand: July 28, 1949–October 29, 2025 යන මැයෙන් 2025 ඔක්තෝබර් 31 පල කෙරුනු දැන්වීමේ පරිවර්තනයයි.]
සමාජවාදී සමානතා පක්ෂය, අපගේ ආදරයට සහ අපරිමිත ගෞරවයට පාත්‍ර වූ ඇලන් ගෙල්ෆාන්ඩ් සහෝදරයා, බදාදා (29) අලුයම අභාවප්‍රාප්ත වීම නිවේදනය කරන්නේ ඉමහත් සංවේගයෙනි. 76 හැවිරිදි වියේ පසු වූ ඔහුගේ මරනයට හේතුව පිලිකාවකි.
1986 දී ඇලන්ට නන්-හොජ්කින් ලිම්ෆෝමා (වසා පද්ධතියට බලපාන පිලිකා විශේෂයකි) රෝගය වැලඳී ඇති බව හඳුනා ගන්නා ලදී. ප්‍රභල විකිරන ප්‍රතිකාර මගින් ඔහුගේ රෝගය සුව විය. කෙසේ වෙතත්, විකිරනවල දිගුකාලීන ප්‍රතිවිපාක ලෙස මෙම වසර මුල දී නැවත පිලිකාව මතු විය. ඇලන්ගේ ශාරීරික තත්වය නරක අතට හැරෙන විට, ඔහුගේ ආයු කාලය දීර්ඝ කිරීමට ගන්නා සියලු උත්සාහයන් නතර කරන ලෙස ඔහු පසුගිය සතියේ උපදෙස් දුන්නේ ය.
ඔහුගේ අවසන් මොහොත දක්වාම ඇලන් සම්පූර්න පැහැදිලි මනසකින් සිටියේය. සන්සුන්ව හා ගෞරවාන්විතව මරනය පිලිගනිමින්, ඇලන් සමාජවාදය සඳහා අරගලය වෙනුවෙන් වසර 50 ක් කැප කල තම ජීවිත කාලය ගැන තෘප්තිමත් විය.
අයුක්තිය කෙරෙහි ඇලන්ගේ වෛරය සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සහ සමානාත්මතාවය පිලිබඳ දැවුනු උද්යෝගය, ඔහුගේ දේශපාලනය තුල පමනක් නොව, ලොස් ඇන්ජලීස් හි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥයෙකු (public defender) ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය තුල ද ප්‍රකාශ විය. නීතිඥයෙකු ලෙස ඇලන්ගේ අසාමාන්‍ය කුසලතාව හේතුවෙන්, අප්‍රමාන විත්තිකරුවන් සංඛ්‍යාවක් අසාධාරන ලෙස වරදකරුවන් බවට පත්වීමෙන් බේරා ගැනීමට හැකි විය. මරන දඬුවමේ දෘඩතර විරුද්ධවාදියෙකු වූ ඔහු, කැලිෆෝනියා ප්‍රාන්ත අලුගෝසුවන්ට එක් විත්තිකරුවෙකු හෝ ලබා නොදී සිටීමට හැකි වීම පිලබඳ ආඩම්බර විය.
මීට මාස කිහිපයකට පෙර සමාජවාදී සමානතා පක්ෂය පැවැත් වූ ජාත්‍යන්තර ගිම්හාන පාසල ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ අධ්‍යයනයක් වෙනුවෙන් කැප වුනි. හතර වන ජාත්‍යන්තරයට එරෙහිව ස්ටැලින්වාදයේ සහ අධිරාජ්‍යවාදයේ කුමන්ත්රන හෙලිදරව් කිරීමේ සටනේ දී ඇලන්ගේ කේන්ද්‍රීය භූමිකාව, ඔහුගේ නම දරන නීතිමය සහ දේශපාලන අරගල වීරාඛ්යානයේ සටහන් ව තිබේ. ගෙල්ෆාන්ඩ් නඩුවිභාගයත්, ඓතිහාසික සත්‍යය කෙරෙහි තම ධෛර්යය සහ සම්මුති විරහිත කැපවීමට ආභාෂය ලබා දුන් මිනිසා සහ සටන්කරුවාත්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ නොමැකෙන කොටසකි.
සමාජවාදී සමානතා පක්ෂය, ඇලන්ගේ බිරිඳ රොසැනාට සහ ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයින්ට තම හද පිරි සංවේගය පල කර සිටී.
ඩේවිඩ් නෝර්ත්
සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකා එක්සත් ජනපදය) ජාතික සභාපති
***
ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉදිරි දිනවල දී ඇලන් ගෙල්ෆාන්ඩ් පිලිබඳ ඇගැයීමක් ප්‍රකාශයට පත් කරනු ඇත
