ශ්‍රී ලංකා අගමැතිනිය යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයට විරුද්ධ වෙයි

[මෙය Sri Lankan prime minister opposes international inquiry into war crimes මැයෙන් නොවැම්බර් 4දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳව, “ජාත්‍යන්තර මැදිහත්වීම් සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින්... (වාර්තාවේ) නිගමන සහ නිර්දේශ සමඟ එකඟ නොවන” බව තම ආන්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් කාර්යාලයට (ඔඑච්සීඑච්ආර්) වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා අගමැතිනිය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 24දා පාර්ලිමේන්තුවට පැවසුවා ය.

2025 ඔක්තෝබර් 14 අඟහරුවාදා, චීනයේ බීජිං හි මහජන මහා ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (පින්තූරයේ පෙනෙන්ට නැත) සමඟ පැවති හමුවක දී ශ්‍රී ලංකා අගමැතිනි හරිනි අමරසූරිය කතා කරයි  [AP Photo/Ichiro Banno/Pool]

“බාහිර ක්‍රියාමාර්ග, බෙදීම් උග්‍ර කරමින්[මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ] දැන් කෙරී ගෙන යන ජාතික ක්‍රියාමාර්ග අනතුරේ හෙලනු ඇතැයි අපි විශ්වාස කරමු,” යැයි ඇය ප්‍රකාශ කලා ය.

අමරසූරිය සඳහන් කලේ, ජූලි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ කල සංචාරයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් පිලිබඳව යි. අගෝස්තු මාසයේ දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කර, සැප්තැම්බර් 7දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ (යූඑන්එච්ආර්සී) 60 වන සැසිවාරයට ඉදිරිපත් කරන ලද ඔහුගේ වාර්තාව, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන සවිස්තරාත්මකව ගෙනහැර දක්වා තිබේ. බිහිසුනු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) අඛන්ඩව භාවිතා කිරීම, සැකකරුවන් අත්අඩංගුවේ සිටිය දී මරනයට පත්වීම සහ ඉලක්කගත අත්අඩංගුවට ගැනීම් ද ඊට ඇතුලත් ය.

වාර්තාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කලේ, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව පූර්වයෙන් ගෙනආ යූඑන්එච්ආර්සී යෝජනා යටතේ “වගවීම හා සම්බන්ධ කටයුතු” කෙරෙහි ය. වගවීම හා සම්බන්ධ කටයුතු යන්නෙන් අදහස් කරන්නේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් දියත් කරන ලද, වසර 26 ක දෙමල විරෝධී වාර්ගික යුද්ධයේ දී සිදු කරන ලද යුද අපරාධ සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක අවශ්‍යතාව යි.

2009 මැයි මාසයේ අවසන් වූ යුද්ධයේ අවසන් මාසවලදී දෙමල සිවිල් වැසියන් 40,000 කට වැඩි පිරිසක් ඝාතනය කෙරුනු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගනන් බලා තිබේ. හමුදාවට යටත් වූ දහස් ගනනක් දෙමල තරුනයින් සරලවම “අතුරුදහන්” විනි. නිරායුධ එල්ටීටීඊ නායකයින් ගනනාවක් යටත් වන අවස්ථාවේ දී ඝාතනය කෙරුනි.

“සිදු කෙරී ගෙන යන ජාතික ක්‍රියාවලීන්” පිලිබඳ අමරසූරියගේ ප්‍රකාශය අසත්‍යයකි. එල්ටීටීඊයේ පරාජයෙන් වසර දහසයකට පසු ව, එවැනි ක්‍රියාවලීන් ඉතා සීමිත වන අතර, දඬුවම් දීම  කෙසේ වෙතත්, චෝදනා එල්ල කෙරී ඇත්තේමත් සොල්දාදුවන් අතලොස්සකට පමනි. ඉහල මට්ටමේ දේශපාලන හා හමුදා නායකයින් වෙත අනිවාර්යයෙන්ම සාපරාධයන් පිලිබඳ වගකීම් පැවරීමකට මෙහෙයවනු ඇති ඕනෑ ම අව්‍යාජ පරීක්ෂනයකට, ජවිපෙ/ජාජබ ඇතුලු සමස්ත කොලඹ දේශපාලන සංස්ථාපිතය ආන්තිවකව ම සතුරු ව සිටී.

අමරසූරියගේ සැඳහුම්වල අරමුන වූයේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නවතම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලා නොසිටීමට රජය ගත් තීරනය සම්බන්ධයෙන්, විරුද්ධ පක්ෂවලින් සහ මාධ්‍යයෙන් එල්ල වූ විවේචන අපසරනය කිරීමයි.

ඔක්තෝබර් 6දා යූඑන්එච්ආර්සී සැසිවාරයේ දී යෝජනාව ඉදිරිපත් කරන විට, ශ්‍රී ලංකාව හෝ වෙනත් කිසිදු රටක් ඡන්දයක් ඉල්ලා සිටියේ නැත. සාමාජික රටවල් හතලිස් එකක් පැමින සිටිය ද, ඡන්දයක් කැඳවා නොතිබූ බැවින්, යූඑන්එච්ආර්සී යෝජනාව “සම්මත” බව ප්‍රකාශ කෙරුනි.

විපක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොප) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,  යෝජනාව “දෙමල ඩයස්පෝරාව සතුටු කිරීමට නියමිත” බව කියමින්, ආන්ඩුව විවේචනයට ලක් කලේ ය.  එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ද ආන්ඩුව ඡන්දයක් ඉල්ලා නොසිටියේ මන්දැයි ප්‍රශ්න කලෝ ය. 

ඇත්ත වශයෙන්ම, අමරසූරිය සරලව ම ආන්ඩුවේ විවේචකයින්ට දැනුම් දෙමින් සිටියේ, වාර්ගික ගැටුමේදී කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බවට ඉදිරිපත් කරන බොරුව සමඟ ජවිපෙ/ජාජබ එකඟ වන බවයි. තවද, කිසියම් අපයෝජනයක් සිදුවී ඇත්නම්, ශ්‍රී ලංකාව ඒවා “දේශීය ක්‍රියාවලියක්”- කිසිදු ජාත්‍යන්තර හෝ ස්වාධීන විමර්ශනයක් වලක්වා ගැනීමට භාවිතා කරන මාධ්‍යක්- ඔස්සේ විසඳනු ඇත. 

අමරසූරියගේ ප්‍රකාශ මගින් යලි වතාවක්, තමන් වාර්ගික දේශපාලනයට විරුද්ධ බවත්, දෙමල ජනයා ඇතුලු සුලු ජාතීන් සමඟ “සංහිඳියාව” අවශ්‍ය බවත්, යුද්ධයේ “තුවාල සුව කිරීමට” අවශ්‍ය බවත් දිසානායක ආන්ඩුව තොරොම්බල් කරන කියාපෑම්වල පල්ල යවා තිබේ.

එක්සත් ජනපදය කොලඹ යුද්ධයට සහාය දුන් නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යටතේ යුද්ධයේ අවසන් මාසවල සිදු කරන ලද යුද අපරාධ සහ අනෙකුත් අපයෝජන විවේචනය කිරීමට පටන් ගත්තේ ය. වොෂින්ටනයට දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන මොනම තැකීමක් නොතිබූ නමුත්, රාජපක්ෂ චීනය සමඟ පැවැත්වූ සමීප සබඳතාවලට දැඩි ලෙස සතුරු ව සිටියේ ය.

සැප්තැම්බර් 10දා, එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන “ශ්‍රී ලංකා මූලික කන්ඩායම” (ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යෝජනා සකස් කිරීම පැවරී ඇති රටවල්-පරිවර්තක), එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයට රටේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ ඔවුන්ගේ නවතම යෝජනාව ඉදිරිපත් කලේ ය.

2021 දී, යූඑන්එච්ආර්සී, “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් පිලිබඳව අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රනයක් (ඕඑස්එල්ඒ)” ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයෙකු ස්ථාපිත කලේය.

ඒ වන විට බලය හෙබවූයේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ය. තමන්ගේ සහෝදර ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කර තිබූ ඔහු, යුද්ධයේ අවසන් මාසවල සිදුකෙරුනු යුද අපරාධවලට සෘජුවම වගකිව යුතු විය. එම යෝජනාව, බීජිනය සමඟ සමීප දේශපාලන සබඳතා ගොඩනඟා ගතහොත් ඔහුට මුහුන දීමට සිදුවිය හැකි ප්‍රතිවිපාක පිලිබඳ තියුනු අනතුරු ඇඟවීමක් විය.

ඔක්තෝබර් 6දා  යූඑන්එච්ආර්සී සැසිවාරයට ඉදිරිපත් කරන ලද මෙම වසරේ යෝජනාවේ අවසාන අනුවාදය, ශ්‍රී ලංකාවේ අපයෝජන සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා නොසිටි නමුත්, එය ඕඑස්එල්ඒපී කාලය තවත් වසර දෙකකට දීර්ඝ කලේය. 

ඒ සමඟම, සංහිඳියාව, බලය බෙදා හැරීම සහ දූෂන විරෝධී ප්‍රතිසංස්කරන උදෙසා ජවිපෙ/ජාජබ ආන්ඩුවේ තිබෙනවා යැයි කියන කැපවීම ගැන මෙන්ම, රටේ දරුනු ආර්ථික අර්බුදයේ බලපෑම්වලට මුහුන දීම සඳහා දරන උත්සාහයන් ද එය අගය කලේය.

අවසාන කරුන වූයේ දිසානායක ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගොරතර කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම පිලිබඳව ප්‍රධාන බලවතුන්ගේ අගය කිරීමට ලක්වීම යි. යෝජනාවේ සඳහන් වචන ගැන නිසැකවම ප්‍රීති වූ කොලඹ ආන්ඩුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයක් ඉල්ලා සිටියේ වත්, යෝජනාවට විරුද්ධවූයේ වත් නැත.

විදේශ ඇමැති විජිත හේරත් ඔක්තෝබර් 8දා පාර්ලිමේන්තුවට පැවසුවේ, කොලඹ පැවති ආන්ඩු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුකූලව කටයුතු කිරීමට අසමත් වී ඇති බවයි. “යූඑන්එච්ආර්සී  අභියෝගයට ලක් කරන ආස්ථානයකට යමින් ඡන්දයක් ඉල්ලා සිටීමෙන් අපි කරන්නේ, දේශීය යාන්ත්‍රනයන් හරහා අපගේ ගැටලු විසඳීමට ඇති අවකාශය තවදුරටත් පටු කරගැනීම,” යැයි ඔහු පැවසී ය.

සිංහල ස්වෝත්තමවාදයේ සහ දෙමල විරෝධී ජාතිවාදයේ ගිලී සිටින ජවිපෙ, මිලිටරි ප්‍රහාරය ප්‍රමානවත් තරම් ප්‍රචන්ඩ ආකාරයෙන් ගෙන නොයන්නේ යැයි  අනුප්‍රාප්තික ආන්ඩු හෙලා දකිමින්, ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න වාර්ගික යුද්ධයට උපරිම බැකිම දුන්නේ ය.

2009 දී එල්ටීටීඊයේ පරාජයෙන් පසුව, ජවිපෙ යුද අපරාධ චෝදනාවලට දැඩි ලෙස විරුද්ධ වූ අතර හමුදාව “රන විරුවන්” ලෙස  ප්‍රශංසා කිරීමට උද්‍යෝගයෙන් අත්වැල් බැඳගත්තේ ය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ කිසිදු පරීක්ෂනයක් අනවරතව ප්‍රතික්ෂේප කර ඇති මෙම පක්ෂය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2011 උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම “කාලය හා මුදල් නාස්තියක්” ලෙස හෙලා දැක්කේ ය.

2024 ජනාධිපතිවරනයට පෙර, අගෝස්තු 27දා, “අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ කිසිවෙකුට දඬුවම් කිරීමට බලාපොරොත්තුවක් (තමන්ට) නැති” බව, දිසානායක ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේ ය. ජනතා විමුක්ති පෙරමුන කිසි විටෙකත් මෙම ස්ථාවරය වෙනස් කර නැත.

අතුරුදහන්වීම් පිලිබඳ පැමිනිලි 21,000 ක් ලැබී ඇති බවත්, ඒවාට රුපියල් මිලියන 375 ක් වෙන් කිරීමත් උපුටා දක්වමින්, අතුරුදන් වූවන් පිලිබඳ කාර්යාලය (ඕඑම්පී) කඩිනම් කරන බව ආන්ඩුව කියා පායි. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය,  අපරාධකරුවන් ආරක්ෂා කරන අතරේ, සරලව ම වින්දිතයින්ගේ පවුල්වලට වන්දි ලබා දීම අරමුනු කරගත්තකි. බොහෝ වාර්තා පෙන්නුම් කරන්නේ, අතුරුදහන් වූ එක් පුද්ගලයෙකුවත්, ඔවුන්ගේ පවුල් සඳහා කිසිදු අර්ථවත් ආකාරයකින් සොයා ගැනීමට ඕඑම්පී සමත් වී නැති බවයි.

ආන්ඩුව විසින් යෝජිත සත්‍ය සහ සංහිඳියා කොමිසමේ ද ඉලක්ක වන්නේ,  ඒ හා සමානව යුද අපරාධ වලලා දැමීම යි. ශ්‍රී ලංකාවේ හමුදාපතිවරුන් හතර දෙනෙකුට බ්‍රිතාන්‍යය විසින් සම්බාධක පනවා ඇතත්, කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට එරෙහිව නඩු පවරා නොමැත. 2000 දී දෙමල ජාතිකයන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ එකම සොල්දාදුවාට පසුව ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කලේ ය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා වාඩිලෑම දිගටම පවතින අතර, පදිංචිකරුවන් සෝදිසියට යටත් කර ඇත.

පසුගිය වසරේ ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරන උද්ඝෝෂනවලදී, දිසානායක සහ අනෙකුත් ජවිපෙ/ජාජබ නායකයෝ, ඔවුන්ගේ දෙමල විරෝධී, සිංහල ස්වෝත්තමවාදී ප්‍රතිපත්ති සැඟවීමට මංමුලා සහගත උත්සාහයක නිරත වෙමින්, ජනතාව බෙදීම සඳහා ගෙන ගිය තම වාර්ගික දේශපාලනය පිලිබඳව සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට දොස් පැවරූහ.

කොලඹ  සියලුම විරුද්ධ පක්ෂ, ආන්ඩුව දෙමල ඩයස්පෝරාවට සේවය කරන බවටත් හමුදාව පාවා දෙන බවටත් චෝදනා කරමින්, ආන්ඩුවට එරෙහිව ව්‍යාජ විවේචන ඉදිරිපත් කරමින් වාර්ගික බෙදීම් හැඟීම් ඇවිස්සීමට උත්සාහ කරයි.

ඉලංගෛ තමිල් ඇරසු කච්චි ඇතුලු දෙමල ධනපති පක්ෂ, ආන්ඩුවේ අයිඑම්එෆ් කප්පාදු වැඩසටහන සමඟ සමීප ව සහයෝගයෙන් කටයුතු කරයි. ඔවුන් පලාත් සභා මැතිවරනයක් ඉක්මනින් පවත්වන ලෙස කැඳවුම්  කරන්නේ,  මෙම ආයතනවල සීමිත බලතල, නව ආයෝජන ආකර්ෂනය කර ගැනීමට සහ ඔවුන්ගේ ලාභ අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට භාවිතා කිරීමේ අපේක්ෂාවෙනි.  

කම්කරු පන්තිය බෙදීමටත්, ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමටත්, 1948 සිට දෙමල විරෝධී වෙනස්කම් කිරීම් ආයතනගත කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වෙනස්කම් කිරීම අවසන් කිරීම, යුද අපරාධ ගැන විමර්ශනය කිරීම සහ උතුරු නැගෙනහිර හමුදා අත්පත් කරගෙන සිටීම අවසන් කිරීම සඳහා ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනේ දී වාර්ගික රේඛා ඉක්මවා සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව අවශ්‍ය වේ.

එම සටන දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර ව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සහ දෙමල ඊලම්හි සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ වැඩිපිලිවෙල මත පදනම් විය යුතු ය. මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කරන එකම සංවිධානය, සමාජවාදී සමානතා පක්ෂයයි.

Loading