[මෙය Elon Musk, world’s richest man, awarded $1 trillion pay package මැයෙන් නොවැම්බර් 7 වැනි දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]
ශුද්ධ වත්කම ඩොලර් බිලියන 461 ක් හිමි, ලොව ධනවත්ම මිනිසා වන ඊලොන් මස්ක්ට ඊලඟ දශකයක කාලය සඳහා ඩොලර් ට්‍රිලියන 1 ක වැටුප් පැකේජයක් ප්‍රදානය කර තිබෙන අතර, මෙය, ප්‍රධාන විධායක නිලධාරියා (සීඕඒ), ලොව පලමු ට්‍රිලියනපතියා බවට පත් වීමට නියමිත මාවතට වඩම්මවා තිබේ.
බ්‍රහස්පතින්දා අනුමත කරන ලද ගෙවීමේ පරිමානය පිලිබඳව අදහස් දක්වමින්, පාරිභෝගික උපදේශක කන්ඩායමක් වන පබ්ලික් සිටිසන් මෙසේ ලිවීය, “ඩොලර් ට්‍රිලියනයක් යනු අදහාගත නොහැකි ප්‍රමානයකි. තත්පර මිලියනයක් යනු දින 11 ක් පමන වේ. තත්පර බිලියනයක් යනු දශක තුනක් පමන වේ. තප්පර ට්‍රිලියනයක් - අවුරුදු 30,000 කි. මේ අනුව,(මස්ක්ට ලැබුනු ඩොලර් ට්‍රිලියනයක වැටුප් පැකේජය සැලකූ කල) සති දෙකක නිවාඩුවක් සමඟ, සතියට සාමාන්‍ය පැය 40 ගානේ වැඩකරමින් එය, වසර 10 ක් පුරා ව්‍යාප්ත කලහොත්, මෙහි අර්ථය වන්නේ ඔහු (එම කාලය පුරා) සෑම පැයකටම ඩොලර් මිලියන 50 බැගින් වැටුප් ලබන බවයි.”
මස්ක්ගේ පෙර නොවූ විරූ ගෙවීම සිදු වූයේ, ඇමරිකානු පවුල් මිලියන ගනනක් කුසගින්නට ඇද දැමීමට තර්ජනය කරමින්, ට්‍රම්ප් පාලානාධිකාරිය ආහාර මුද්දර ප්‍රතිලාභ කප්පාදු කිරීමේ සැලසුම් නිවේදනය කල සතියේ ම ය.
ටෙස්ලා කොටස් හිමියන්ගෙන් සියයට 75 ක් විසින් අනුමත කරන ලද ඡන්දයකින් පසුව වැටුප් පැකේජය ප්‍රදානය කෙරුනි. පක්ෂව ඡන්දය දුන් ආයතන අතර මූල්‍ය සේවා සමාගමක් වන චාල්ස් ෂ්වාබ් සංස්ථාව සහ මෝගන් ස්ටැන්ලිගේ කවුන්ටර්පොයින්ට් ග්ලෝබල් අරමුදල ද විය. “මෙම යෝජනාවට සහාය දීම කලමනාකරනය සහ කොටස් හිමියන්ගේ අවශ්‍යතා යන කාරනා දෙකම සමපාත කරන බව අපි තරයේ විශ්වාස කරමු,” චාල්ස් ෂ්වාබ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
ෂ්වාබ් කෝපරේෂන් සහ මෝගන් ස්ටැන්ලි සමාගම්, මස්ක්ගේ වැටුප් පැකේජය කැපී පෙනෙන ලෙස අනුමත කිරීමත්, අනෙකුත් ප්‍රධාන මූල්‍ය ආයතන විසින් තිරය පිටුපස “ඔව්” ඡන්ද ලබා දීමත්, එහි පුලුල් වැදගත්කම පෙන්නුම් කරයි. මස්ක් වෙනුවෙන් දැවැන්ත ගෙවීමක් අනුමත කරමින් වෝල් වීදිය ලබාදෙන පනිවිඩයක් වන්නේ, ප්‍රධාන විධායක නිලධාරීන්ට වැටුප් ගෙවීමේදීත්, මූල්‍ය කතිපයාධිකාරය පොහොසත් කිරීම සඳහාත් කිසිදු සීමාවක් අවහිරයක් ඇත්තේ නැති බවයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන පදවි ප්‍රාප්තිය, කුප්‍රකට නාසි සැලියුට් කිරීමකින් පිලිගත් ෆැසිස්ට්වාදියෙකු වන මස්ක්, වැටුප් පැකේජය ඉල්ලා සිටීමේදී ඔහුගේ ප්‍රධාන අභිප්‍රේරනය වූයේ, මනුෂ්‍ය වර්ගයා උදෙසා ජීවිතය හා මරනය පිලිබඳ තීරන කෙරෙහි සෘජු පුද්ගලික පාලනයක් ලබා ගැනීම බව පැවසීය. “අවම වශයෙන් මට ශක්තිමත් බලපෑමක් කිරීමේ හැකියාවක් නොමැති නම්, රොබෝ හමුදාවක් ගොඩනැගීම මට පහසු කර්තව්‍යයකැයි මම නොසිතමි,” මස්ක් පැවසී ය.
මෙම ගෙවීමත් සමග මස්ක්ගේ ධනය, දැනට ඩොලර් ට්‍රිලියන 1.5 ක් වන ටෙස්ලා හි සමස්ත වෙලඳපල ප්‍රාග්ධනීකරනයට සමාන වනු ඇත. මස්ක්, ටෙස්ලා හි කොටස් වලින් සියයට 15 ක් පාලනය කරන අතර, නව කොටස් බෙදා හැරීම යටතේ එය සියයට 28 කට ආසන්න ප්‍රමානයකට ඉහල නගිනු ඇත. ඉදිරි වසර 10 තුල, මෙම කොටස්, පංගු 12කින් බෙදා හරිනු ඇත.
ඉතිහාසයේ දී මීට පෙර සීඕඒ කෙනෙකුට ලබා දී ඇති විශාලතම වැටුප් පැකේජයට වඩා දස ගුනයකින් විශාල වන මෙම වැටුප් පැකේජය සඳහා ලබා දී ඇති ප්‍රසිද්ධ සාධාරනීකරනය මෙය යි: මෙම දැවැන්ත වැටුප් පැකේජය මගින්, මස්ක් ප්‍රධාන විකුනුම් සහ කොටස් මිල ඉලක්ක කරා ලඟා වීමට දිරිමත් කිරීමට අදහස් කරන බවත්, එමඟින් සමාගමට සහ කොටස් හිමියන්ට ප්‍රතිලාභ ලැබෙන බවත් ය.
නමුත් මෙය හුදෙක් මවා පෑමක් පමනකි. ගිවිසුම මගින් ඇත්තටම කෙරෙන්නේ, නියම කර ඇති ඉලක්ක සපුරා ගැනීමට ඔහු අපොහොසත් වුව ද, ඔහුට කොටස් ප්‍රදානය කිරීමට මස්ක්ගේ ගජමිතුරන්ගෙන් සමන්විත ටෙස්ලා කාර්ය මන්ඩලයට ඉඩ ප්‍රස්ථාව සැලසීම ය. “එය ඉතා අභිලාෂකාමී ඉලක්ක කිහිපයකට බැඳී ඇති බව අදහස් කලත්, ඇත්ත වශයෙන්ම ඔහු එම ඉලක්ක සපුරා ගත්තත් නැතත් කාර්ය මන්ඩලයට අභිමතය පරිදි කොටස් ප්‍රමානය ඔහුට ප්‍රදානය කරයි,” යනුවෙන්, වැලියුඑජ් උපදේශකයින්ගේ සභාපති වන,සංගත පාලන විශේෂඥ නෙල් මිනෝව් පැවසී ය.
ටෙස්ලා සමාගම චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගෙන් වඩ වඩාත් දැඩි ගෝලීය තරඟකාරිත්වයකට මුහුන දී ඇති අතර, එහි ලාභය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂ ව සියයට 9 කින් පහත වැටී ඇත.
මෙම ඡන්දය ටෙස්ලා ඉතිහාසයේ “සම්පූර්නයෙන්ම නව පොතක්” විවෘත කරන බව මස්ක් පැවසී ය. සමාගම මානවරූපී රොබෝවරුන් නිර්මානය කිරීම කෙරෙහි නැවත අවධානය යොමු කිරීමට සැලසුම් කරමින් සිටින බව ප්‍රකාශ කරමින්, “මවිතකර විද්‍යා ප්‍රබන්ධවල එන ආකාරයේ වර්ධනීය අවස්ථාවන් අත්විඳීමටයි ඔබ සූදානම් වන්නේ,” යැයි මස්ක් කීවේ ය.
ටෙස්ලා සමාගම, එය පටන්ගත් කාලයේ පටන්ම මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින්, ස්වයංක්‍රීයව ධාවනය වන කුලී රථ සහ අර්ධ ස්වයංක්‍රීය ට්‍රක්රථ සමග ස්වයංක්‍රීය මෝටර් රථ ලඟ ලඟම ඒමට නියමිත බව පුනපුනා ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශ සාක්ෂාත්වීම නම්, නැවත නැවතත් අසමත්ව තිබේ.
කොයිහැටි වෙතත්, සැබෑ වී ඇති දේ නම්, ටෙස්ලා කොටස් මිල ගනන් අඛන්ඩව ඉහල යාම යි. එය, බ්‍රහස්පතින්දා සර්වකාලීන වාර්තාවකට ආසන්නවූ අතර, අප්‍රේල් මාසයේ සිට දෙගුන වී ඇත.
ටෙස්ලා හි විශාලතම කොටස් හිමියා වීමට අමතර ව, අභ්‍යවකාශ යානා දියත් කිරීමේ වෙලඳපොලෙන් සියයට 84 ක් පාලනය කරන අභ්‍යවකාශ යානා දියත් කිරීමේ ඒකාධිකාරය වන ස්පේස්එක්ස් සමාගමේ ප්‍රධාන කොටස්වල අයිතිය ඇත්තේ මස්ක්ට ය. එමෙන්ම, කලින් ට්විටර් ලෙස හැඳින් වූ X සමාජ මාධ්‍ය ජාලය - මස්ක් මෙය, Grok Large Language Model ඒඅයි එන්ජිම පුහුනු කිරීම සඳහා භාවිතා කරයි- අයිතිය ඇත්තේද ඔහුට ය.
මස්ක්ගේ වැටුප් පැකේජය ඉතිහාසයේ ඕනෑ ම ප්‍රධාන විධායක නිලධාරියෙකුට ලබා දුන් ඕනෑම දෙයකට වඩා දස ගුනයකට වඩා විශාල වේ. ඒඑෆ්එල්-සීඅයිඕ හි විධායක ප්‍රදානයන් පිලිබඳ දත්ත ගොනුවට අනුව, මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී සත්‍ය නාඩෙල්ලා 2024 දී ඩොලර් මිලියන 79 කට වඩා උපයා ඇත. ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් ඩොලර් මිලියන 75 ක් පමන උපයා ඇති අතර ස්ටාර්බක්ස් ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් නිකොල් ඩොලර් මිලියන 96 ට ආසන්න මුදලක් උපයා ඇත.
1965 දී සාමාන්‍ය ප්‍රධාන විධායක නිලධාරියෙකු ඉපයීම්, සාමාන්‍ය සේවකයෙකුගේ වැටුප මෙන් 20 ගුනයකි. මෙම අගය 2016 දී 122 ගුනය දක්වා ලඟා වූ අතර, 2016 වන විට 348 ගුනය දක්වා වර්ධනය විය.
පසුගිය මාස 12 තුල පමනක්, එක්සත් ජනපදයේ ධනවත්ම බිලියනපතියන් 10 දෙනා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 700කින් ධනවත් විය. මෙම කාලය තුල ඔවුන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 1.79 සිට ඩොලර් ට්‍රිලියන 2.5 දක්වා සියයට 40 කින් විශ්මයජනක ලෙස වර්ධනය විය.
මෙම සතිය මුල දී ඔක්ස්ෆෑම් පුන්‍යායතනය වාර්තා කලේ, 2020 සිට ඇමරිකාවේ ධනවත්ම මිනිසුන් දස දෙනාගේ -උද්ධමනය අනුව සකස් කරන ලද- ධනය හය ගුනයකින් වැඩි වී ඇති බව යි. 2020 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 33 ක් වූ ඊලොන් මස්ක්ගේ ධනය, එතැන් සිට ඩොලර් බිලියන 469 දක්වා ඉහල ගොස් ඇති අතර, එය 14 ගුනයක වැඩිවීමකි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මත් බිලියනපතියෙකි. එක්සත් ජනපදය ජනාධිපති ආඥාදායකත්වයක් බවට පරිවර්තනය කිරීමේ ඔහුගේ උත්සාහයේ පදනම වන මෙම මූල්‍ය කතිපයාධිකාරයේ ධනය පිම්බීමට හැකි සෑම දෙයක්ම කිරීමට ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබේ.
