ඉදිරිදර්ශන

“ප්‍රති-කොමියුනිස්ට්වාදී සතිය”: ධවල මන්දිරය සමාජවාදයට එරෙහි ව යුද ප්‍රකාශ කරයි

[මෙය “Anti-Communism Week”: The White House declares war on socialism මැයෙන් 2025 නොවැම්බර් 12 වැනි දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]

2025 ඔක්තෝබර් 6 සඳුදා, වොෂින්ටනයෙහි ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී විධායක නියෝගයකට අත්සන් කිරීමට පෙර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට කතා කරයි. (ඒපී ඡායාරූප/ජැක්ලින් මාටින්) [AP Photo/Jacquelyn Martin]

“යුරෝපයේ අවතාරයක් හොල්මන් කරයි- ඒ කොමියුනිස්ට්වාදයේ අවතාරය යි.” කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් 1847 දී ලියා, 1848 මුල් භාගයේ දී පල කරන ලද කොමියුනිස්ට් ප්‍රකාශනය ආරම්භ වන්නේ එලෙසිනි. ආසන්න වසයෙන් වසර 180කට පසු ව, හුදෙක් යුරෝපයේ පමනක් නො ව, සමස්ත ලෝකය පුරා ම පාලක පන්තීන් තුල එම අවතාරය ම යලි වතාවක් හොල්මන් කරමින් තිබේ.

1917 රුසියාවේ සමාජවාදී විප්ලවයේ සංවත්සරය යෙදී තිබුනු නොවැම්බර් 7 වැනි දා, නොවැම්බර් 2-8 සතිය ඇමරිකාවේ “ප්‍රති-කොමියුනිස්ට්වාදී සතිය” ලෙස ප්‍රකාශයට පත් කරමින්, ට්‍රම්ප් පරිපාලනය විසින් නිකුත් කෙරුනු ධවල මන්දිර ප්‍රකාශනයේ සාරභූත අර්ථභාරය මෙයයි. ““විශ්වාසය (යම් මතයක් හෝ දර්ශනයක් විශ්වාස කිරීම - පරි), නිදහස හා සෞභාග්‍යයට” තර්ජනයක් ලෙස සමාජවාදය පිහිටුවන එම ලේඛනය, “පැරනි බොරු” පුනරුච්ඡාරනය කරමින්, “නව හඬවල්” ගැන අනතුරු අඟවයි.

“විශ්වාසය අකා මකා දැමීම, නිදහස මර්දනය කිරීම සහ දුෂ්කර කාර්යයන් හරහා උපයාගත් සෞභාග්‍යය විනාශ කිරීමට යත්න දැරූ පාලන තන්ත්‍රයන් විසින් ...ජීවිත මිලියන 100කට වැඩියෙන් පැහැර ගැනීම” ගැන, “කොමියුනිස්ට්වාදය” වගකිව යුතුයි කියන ප්‍රෝඩාකාරී අවධාරනයෙන්, ධවල මන්දිර ප්‍රකාශය ආරම්භ වෙයි. 1997 දී පල කල දුෂ්කෘතියක් වන “කොමියුනිස්ට්වාදයේ කලුපොතෙන්” සම්භවය වූ මෙම “මිලියන 100” ගනන් හිලව්, දක්ෂිනාංශික දෘෂ්ටිවාදීන් විසින් අනවරත ව පුනරුච්ඡාරනය කෙරේ. මෙම “කලුපොත”, සිවිල් යුද්ධ සහ සාගතවල සිට, ස්ටැලින්වාදී නිලධරය අධිරාජ්‍යවාදය සමග සන්ධානගතව කම්කරුවන් සහ බුද්ධිමතුන් ඉලක්ක කර ගනිමින් ගෙන ගිය විරේක කිරීම් දක්වා වන, 20වැනි සියවසේ සෑම ප්‍රචන්ඩ සිද්ධියක් ම ඒකාබද්ධ කොට එක් තනි මරන සංඛ්‍යාවකට සිඳුවා, එය “කොමියුනිස්ට්වාදයට“ බැර කරයි.

“ශතවර්ෂයකට වැඩි කාලයක් පුරා, කොමියුනිස්ට්වාදය විනාශය හැර කිසිවක් ගෙන දී නැතැ” යි ප්‍රකාශනය කියා පායි. ධනවාදයේ හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශය තුල කිසිදු සඳහනක් නැත: එනම්, පලමුවැනි ලෝක යුද්ධය (මිලියන 22ක් මිය ගියහ.); හොලෝකෝස්ටය සහ හිරෝෂිමා හා නාගසාකි නගරවල පරමානු බෝම්බ හෙලීම අඩංගු වූ දෙවැනි ලෝක යුද්ධය (මිලියන 85ක් මිය ගියහ); කොරියානු යුද්ධය (මිලියන 3ක් දක්වා මිය ගියහ); වියට්නාම් යුද්ධය (වියට්නාම් වැසියන් මිලියන 3ක් සමගින් කාම්බෝජයේ හා ලාඕසයේ 370,000ක් මිය ගියහ), ඉන්දුනීසියාවේ 1965-66 මහා මනුෂ්‍ය ඝාතනය (අවම වසයෙන් එක් මිලියනයක් මරා දැමුනි) හෝ ගනන් නැති වෙනත් අපරාධ මෙයට අයත් ය.

විශේෂයෙන් ම, “සීතල යුද්ධය අවසානයේ සිට ගත වූ වසර 34 ගැන” ධවල මන්දිරය සඳහන් කරයි. ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු කාලය, ඉරාකයේ සිට ඇෆ්ගනිස්ථානය දක්වා, යුගෝස්ලාවියාවට බෝම්බ හෙලීමේ සිට ලිබියාව හා සිරියාව ආක්‍රමනය කිරීම දක්වා මෙන් ම, යුක්‍රේනය මැදි කර ගෙන රුසියාවට එරෙහි ව දැන් කර ගෙන යන එක්සත් ජනපද-නැටෝ යුද්ධය සහ ගාසාව තුල අධිරාජ්‍යවාදයේ පිටුබලය සහිත ව ඊස්රායලය කරගෙන යන ජනසංහාරය වසයෙන්, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ නිම නො වන හා තීව්‍ර වන කාලයක් පැමින ඇත. ට්‍රම්ප්ගේ ම “යුද ලේකම්“ වන පීට් හෙග්සෙත් පසුගිය සතියේ දී “මෙය 1939 වැනි මොහොතක්” යයි ප්‍රකාශ කිරීම සමගින්, අධිරාජ්‍යවාදය මානව වර්ගයා යලි වතාවක් ලෝක යුද්ධය අද්දරට ම කැටුව යමින් සිටී.

පැහැදිලි වංචාවෙන් ඔබ්බට ප්‍රකාශනයෙහි ආන්තික නරුමත්වය මෙහි දී නැගී සිටී. “කොමියුනිස්ට් පාලන තන්ත්‍රයන්”, ඒවා විසින් පීඩනයට පත් කල අයවලුන්ට “දෙවියන්-විසින් දෙන ලද අයිතීන් සහ අභිමානය” උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ධවල මන්දිර ප්‍රකාශය, “විමුක්තියේ හා මානව වටිනාකමේ ගමන් මාවත වෙනුවෙන්, කොමියුනිස්ට්වාදයට එරෙහි ව ස්ථීරසාර ලෙස නැගී සිටින” බවට සහතික වෙයි. කොමියුනිස්ට්වාදය “එකඟ නොවන්නන් නිහඬ කර, කිසියම් මතයක් විශ්වාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කර, රාජ්‍යයෙහි බලය ඉදිරියේ දනගසන ලෙස පරම්පරාවන්ට විධානය කරන” බව එම ප්‍රකාශනය පවසයි.

ඇමරිකානුවන් කෝටි ගනනකට ආහාර සලාක ප්‍රතිලාභ අහිමි කිරීමට ක්‍රියා කර ඇති, ඇමරිකානු නගරවලට මධ්‍යම භටකායන් දිගේලි කරමින් සිටින, අයිසීඊ කඩා පැනීම් හරහා සංක්‍රමනික කම්කරුවන් හා තරුනයන් වට කර අතුරුදන් කර ඇති, සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූප අහෝසි කර, ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට කුමන්ත්‍රනය කරමින් සිටින පරිපාලනයක් විසින් මෙම වාක්‍ය ලියනු ලැබේ.

වැලැක්විය හැකි කාර්මික ව්‍යසනයන් හේතුවෙන් කම්කරුවන් දිනපතා මිය යන සහ ජනගහනයෙන් පහල සියයට 90ට හිමි ධනයට වැඩි ධනයක් පොහොසත් ම සියයට 1 විසින් පාලනය කෙරෙන සමාජයක් තුල, “නිදහස” සහ “අසීරුවෙන් උපයාගත් සෞභාග්‍යය” ආරක්ෂා කරන බවට කියා පෑම, ජනගහනයේ අතිමහත් බහුතර මහජනයාගේ බුද්ධියට හා අත්දැකීමට නිගා කිරීමකි. ට්‍රම්ප්ගේ “නිදහස” යනු, සමාජය කොල්ල කෑමට, ග්‍රහලෝකය විනාශ කිරීමට හා විපාක නො ලබා ඝාතනයේ යෙදීමට, කතිපයාධිකාරයට පවතින නිදහස යි.

මේ සියලු ව්‍යාජයන්ට හා ඓතිහාසික මුසාකරනයන්ට යටින් දිවෙන්නේ, ධනවාදය කෙරෙහි වැඩෙන විරුද්ධත්වය විසින් භීතියට පත් පාලක පන්තියක සන්ත්‍රාසයන් ය. ධවල මන්දිරයේ ප්‍රකාශනයෙහි ක්ෂනික දේශපාලන සන්දර්භය වන්නේ, ස්වයං-ප්‍රකාශිත “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියෙකු” වන සොහ්රාන් මම්දානිට මිලියනයකට අධික ජනයා ඡන්දය දුන්, නිව් යෝක් නගරාධිපතිවරනයයි. මැතිවරන දිනය වන නොවැම්බර් 4 ඇතුලත් වන පරිදි “ප්‍රති-කොමියුනිස්ට්වාදී සතිය” පසු දාතම් කල අතර, “සමාජ සාධාරනත්වයේ” සහ ‘ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයේ’ භාෂාවේ ලෝගු පැලඳ සිටින්නන් “අඳුරට යන්නවුන්” යයි එය අනතුරු අඟවයි.

ධවල මන්දිර ප්‍රකාශයෙන් දවසකට පසු ව, ඇමේසන් සංගතය ස්ථාපනය කල බිලියනපති ජෙෆ් බෙසෝස් විසින් හිමිකාරීතවය දරන, වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ කර්තෘ මන්ඩලය, “ජෙනරාල්ඉසිමෝ මම්දානි“ (Generalissimo: සියලු සන්නද්ධ හමුදාවන්හි උත්තරීතර අණදෙන නිලධාරියා) ලෙස මම්දානි නම් කරමින් දුෂ්ට ප්‍රහාරයක් දියත් කලේ ය. තේරී පත් වූ නගරාධිපතිවරයා, “පන්ති හතුරන් හඳුනාගෙන ...ඉන්පසු ඔවුන් තලා දැමීම“ ගැන පෝස්ට් පත්‍රයේ හෙලා දැකීමට බඳුන් විය.

මැතිවරනයෙන් පසු ගත වූ දින කිහිපය තුල ඔවුන්ට යලි සහතික වීමට පැකිලුනු, මෘදු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන, මම්දානිගේ තේරී පත්වීම කෙරෙහි, කතිපයාධිකාරීන් සමස්තයක් ලෙස දක්වන්නේ උමතු ප්‍රතිචාරයකි.

මෙල්විල්, තම මොබි ඩික් (Moby Dick) කෘතියෙහි එන කැප්ටන් අහබ් (Captain Ahab) ගේ මුහුන වෙස් මුහුනකට සම කරමින්, එයට පිටුපසින් “ගුප්ත දුෂ්ටත්වයක්” සිටගෙන සිටි බව ලියයි. “එම ගුප්ත දෙය මම ප්‍රධාන වසයෙන් වෛර කරන දෙයයි; ධවල තල්මසාගේ ඒජන්තයා වේවා, ධවල තල්මස් ප්‍රධානියා වේවා, මම ඔහු මත වෛරය පතිත කරමි.” 

පාලක පන්තිය බියට පත්වන්නේ, මහා තල්මසෙකු නො වන මම්දානි තේරී පත්වීම ගැන නො ව, ඔහුගේ වේගවත් නැගීමට යටින් පවත්නා මහජන විඥානයේ මාරුවීම් හෙවත්, විප්ලවයේ හා ඔවුනගේ දේපොල අස්වාමික කිරීමේ අවතාරයටයි.

ඔක්තෝබර් 18දා පැවති “රජුන් එපා” විරෝධතා, ගාසා තීරය තුල ඊස්රායලය ගෙන යන ජන සංහාරයට පවතින අතිමහත් විරුද්ධත්වය, සමස්ත අප්‍රිකාව පුරා වර්තමානයේ පැතිර යන “ජෙන් සී(z)” විරෝධතා සහ එක්සත් ජනපදයේ තරුන ජනයා අතර ධනවාදය කෙරෙහි පවතින සියයට 40ක ධනාත්මක දෘෂ්ටියට සාපේක්ෂ ව, සියයට 67ක් සමාජවාදය කෙරෙහි ධනාත්මක හෝ  අපක්ෂපාතී දෘෂ්ටියක් පෙන්වන මත විමසුම් ආදී විවිධාකාරයන්ගෙන් ප්‍රකාශයට පත්වන, ධනවාදයට ඇති විරුද්ධත්වය ජාත්‍යන්තර ව වේගයෙන් වැඩෙමින් තිබීම යන්නෙන් ඔවුන්ගේ උන්මාදය පැන නගී.

මෑතක දී තම බිලියනපති සගයන්ට ක්‍රිස්තු-විරෝධියාගේ පැමිණීම ගැන අනතුරු අඟවමින් කථා කිරීමට පටන් ගත් ක්‍රිප්ටො-ෆැසිස්ට්වාදී (රහසින් ෆැසිස්ට්වාදයට සහාය දෙන නමුත් එය විවෘතව පිළි නොගන්නා-පරි) පීටර් තියෙල්ගේ ඊ-මේල් පනිවුඩයක් එලිමහනට පැමින ඇත. එම ඊ-මේල් පනිවුඩය තුල ඔහු මෙසේ අනතුරු අඟවයි: “ඔබ තරුන ජනයා නිර්ධනීකරනය කරන්නේ නම්, අවසානයේ ඔවුන් කොමියුනිස්ට්වරු බවට පත්වීම ගැන ඔබ පුදුම නො විය යුතු ය,” යනුවෙනි.

එහෙත් මෙය ධනවාදයේ හා කතිපයාධිකාරයෙහි පාලනයේ තර්කනයයි. සුපිරි-ධනවතුන් සහ මානව වර්ගයාගේ අතිමහත් බහුතරය අතර පරතරය ප්‍රගාඪ ය. ටෙස්ලා කර්මාන්තශාලාවල කම්කරුවන් පැයට ඩොලර් 18ක වැටුපෙන් පටන් ගනිද්දී හා දැරිය නො හැකි වැඩ වේගවත් කිරීම්, දොට්ට දැමීම් හා වැටුප් පහත හෙලීමට මුහුන දෙද්දී, ටෙස්ලා සංගතයේ කොටස් හිමිකරුවන් ඊලොන් මස්ක්ට ඩොලර් ට්‍රිලියන 1ක -එනම් පැයකට ඩොලර් මිලියන 50කට සමාන- වැටුප් පැකේජයක් පිරිනමා ඇත. පසුගිය දශකය පුරා, පොහොසත් ම ඇමරිකානුවන් 10 දෙනා ඔවුන්ගේ සාමූහික ධනය හය ගුනයකින් ඉහල දමා ගෙන ඇත්තේ, කෝටි සංඛ්‍යාත මහජනයා දොට්ට දැමීම්, කුසගින්න හා අධික නය බරට මුහුන දෙන තතු තුල ය.

කතිපයාධිකාරීන් වියරු වැටී ඇත. තම ධනය හා බලයට පවතින ප්‍රධාන තර්ජනය වන්නේ, කම්කරු පන්තිය තුල අව්‍යාජ සමාජවාදී ව්‍යාපාරයක් ඉස්මතු වීම බව අවබෝධ කරගන්නා ඔවුහු සමාජවාදය ගැන භීතියට පත් වෙති. 

පාලක පන්තියට අනුව, “කොමියුනිස්ට්වාදයේ සැබෑ අපරාධ” ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන්ගේ ක්‍රියාවන් නො ව, 1917 රුසියානු විප්ලවයේ ම උරුමය යි. ඉතිහාසයේ පලමු වරට, බලය ගැනීමට කම්කරු පන්තියට පවතින ධාරිතාව ප්‍රදර්ශනය කලේ, ඔක්තෝබර් විප්ලවය යි. 20වැනි ශතවර්ෂය තුල කම්කරුවන් දිනාගත් සෑම ප්‍රධාන ජයග්‍රහනයක් ම දිනාගන්නා ලද්දේ, රුසියානු විප්ලවය මගින් ආවේශ ගන්වන ලද මහජන අරගල හරහා ය. කප්පාදුව, යුද්ධය, ආඥාදායකත්වය හා දේශපාලන මර්දනය හරහා, පාලක පන්තිය විනාශ කිරීමට අධිෂ්ඨානවත් වන්නේ, මෙම උරුමය යි.

වාර්ගිකත්වයේ හා ලිංගිකත්වයේ ඉහල-මධ්‍යම පන්තික දේශපාලනය සහ ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්, සෑන්ඩර්ස්, ඔකාෂියෝ-කෝටෙස් හා දැන් මම්දානිගේ ප්‍රතිසංස්කරනවාදයේ ආවෘත-අන්තය, එනම්, ඓතිහාසික ව බංකොලොත් සමාජ හා ආර්ථික පද්ධතියක වාටිය වටා අන්ඩ දැමීමේ දේශපාලනය හෙවත්, දශක ගනනාවක් තිස්සේ “වාම“ ලෙස පෙනී සිට ඇති දේශපාලනය එක්සත් ජනපදය තුලත්, ලෝකය පුරා මත්, දැන් දිගහැරෙමින් පවතින අත්දැකීම් විසින් අපකීර්තියේ හෙලනු ලැබේ.

දැන් අවශ්‍ය වන්නේ, ට්‍රොට්ස්කිවාදයේ මාක්ස්වාදී ක්‍රියාමාර්ගය තුල මුල් බැස ඇති, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම යි. කතිපයාධිකාරීන් අස්වාමික කිරීම, කම්කරු පන්තියට බලය මාරු කිරීම සහ පුද්ගලික ලාභය වෙනුවට මානව අවශ්‍යතාවන්ට සේවය කරන පරිදි ආර්ථික ජීවිතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංවිධානය කරන සමාජවාදය සඳහා අරගලය තුල, කම්කරුවන් හා තරුනයන් ජාත්‍යන්තර ව එකමුතු කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් කරයි.

Loading