ප්‍රතිව්‍යුහකරනයට සේවක විරෝධය කොටු කිරීමට ලංවිම වෘත්තීය සමිති නායකයෝ අකුරට වැඩ කිරීමක් කැඳවති

ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) විවිධ අංශවලට අයත් වෘත්තීය සමිති 25 කැඳවා ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට දැන් සතියක් ගතවී ඇත. ලැබෙන වාර්තාවලට අනුව ලංවිම ප්‍රධාන කාර්යාලයේ, විදුලි බලාගාරවල සහ උප-මධ්‍යස්ථාන වල සේවකයන් විශාල සංඛ්‍යාවක් විරෝධතාවට සම්බන්ධව සිටිති.

2025 ජූලි 22 කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ යෙදෙන විදුලිබල කම්කරුවෝ

ආන්ඩුව, ලංවිම සමාගම් සතරකට කඩා, ඒවාට සේවකයන් අනුයුක්ත කිරීමේ පියවර ගනිමින් සිටියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) විධානයක් වන ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට ආන්ඩුවට හැකිව ඇත්තේ සියලු සමිතිවල නායකයන් ඊට මුලුමනින් ම සහයෝගය දෙන නිසාය. 22,000ක් පමන වන සේවකයෝ තම රැකියා, වැටුප් හා සේවා කොන්දේසි වලට මෙම ඊනියා ප්‍රතිසංස්කරන නිසා පහර වැදෙනු ඇතැයි අවිනිශ්චිතතාවෙන් හා කෝපයෙන් සිටිති.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය කැඳවා ඇත්තේ, ඉංජිනේරු සංගමය, තාක්ෂනික ඉංජිනේරු හා අධිකාරි සංගමය, නිදහස් සේවක සංගමය, ස්වාධීන ඉංජිනේරු සංගමය, ලංවිම කාර්මික ශිල්පීන්ගේ සංගමය, ජාතික සේවක සංගමය ඇතුලු සන්ධානයක් විසිනි.

සමිති නායකයන් විසින් ආන්ඩුවට ඉදිරිපත් කර ඇති කරුනු 24 ක ලිපියකින් ඉල්ලා ඇත්තේ, විදුලිය සේවකයන් ලංවිම යටතේ බුක්ති විඳි වැටුප් මට්ටම්, විශ්‍රාම වැටුප්, දීමනා, වැඩ කාලය හා උසස්වීම් සම්බන්ධ තත්වයන්, ප්‍රතිව්‍යුහකරනයෙන් පසුව ද ලැබෙන බව තහවුරු කරන ලෙසයි. ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාව කැඳවා ඇත්තේ, සමාගම්වල වැඩ ඇරඹීමට පෙර එම ඉල්ලීම් ලබාදෙන ලෙස බල කිරීමක් ලෙස ය.

ජවිපෙ විසින් පාලනය කරන ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේස) වර්ජනයට විරුද්ධව සිටී. එහි සාමාජිකයන් බොහෝදෙනෙක් දැනට සමිතියෙන් ඉල්ල අස්වී ඇති අතර අනෙක් සාමාජිකයන්ගෙන් සෑහෙන පිරිසක් අකුරට වැඩ කිරීමට සම්බන්ධව සිටිති. විදුලිබල සේවකයන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වය පෙන්නුම්කර තිබුනත්, සමිති නායකයන් සිටින්නේ ඊට පක්ෂපාති ව ආන්ඩුව පැත්තේ ය.

සැප්තැම්බර් 8 දින පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රිලනිපයට අයත් නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් මෙසේ කිවේය: 'ඉල්ලීම් ඉදිරිපත් කල සමිති ප්‍රතිව්‍යුහගතකරනයට විරුද්ධ යයි කිසිසේත්ම නොසිතිය යුතුයි. අපි ප්‍රතිව්‍යුහකරනයට කැමතියි. එය අකාර්යක්ෂමව, නීතියානුකූල නොවන අයුරින් සිදු කිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එලඹුනා.'

“පාරිබෝගිකයන්ට නොදැනෙන, ආන්ඩුවට පොඩ්ඩක් දැනෙන විදිහට අපි වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරනවා. සැප්තැම්බර් 16 පස්සේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වලින් ඉවත්වීම හා සෙනසුරාදා, ඉරිදා කාර්යාල වහන්න අපි තීන්දු කරලා තියෙනවා. ඊට පස්සේ බර අවිවන වර්ජනවලට යනවා,' යයි සඳහන් කල ප්‍රභාත් තම ක්‍රියා 'සැහැල්ලුවට ගන්න එපා” යයි ඔහු ව්‍යාජ සටන්කාමිත්වයක් මවාගෙන පැවසුවේය.

පාඩු ලබන රාජ්‍ය ආයතන කොටස් වෙලඳපලට යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි මාසයේ ප්‍රකාශ කර තිබෙන බවත්, සමාගම් ක්‍රියා කරන්නේ ලාභ ලැබීමේ එල්ලයෙන් රැකියා කප්පාදු කිරීම, වැඩ වේගවත් කිරීමට හෙයින් සේවකයන් ගේ අයිතීන් රැකෙන්නේ කෙසේදැයි සැප්තැම්බර් 3 දා පැවැත්වූ මාධ්‍ය සාකච්චාවක දී ලෝසවෙඅ වර්තාකරුවෙක් ප්‍රරශ්න කලේ ය.

නිදහස් සේවක සමිතියේ සභාපති ප්‍රභාත්ගේ පිලිතුර වූයේ “විදුලබල මන්ඩලයේ සේවය කරන අන්තීම සේවකයාත් ආරක්ෂා වන විදිහට කරුනු 21 ක් සම්බන්ධව වෘත්තීය සමිති හා ආන්ඩුව අතර අවබෝධතා ගිවිසුමක් අපි යෝජනා කර තිබෙනවා” යන්නයි. ඉල්ලීම් ගැන සාකච්චා කිරීමට පත්කර ඇති කමිටුවට, සැප්තැම්බර්15 සාකච්ඡාවක් දෙන බවට ඇමති පොරොන්දු වූ බවත් ඔහු කියා සිටියේ ය.

ජාමුඅ සමග ආන්ඩුව ගිවිසුම් ගතවීම හා බලශක්ති ක්ෂේත්‍රය පෞද්ගලීකරනය කිරීමේ ධනපති ආන්ඩුවල සූදානම යුක්ති සහගත කල ප්‍රභාත් මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි තාම දුප්පත් රටක්. ජාමූඅ හරහා ආධාර ලබාගෙන ඉස්සරහට යන්නේ. විශාල විදුලි ව්‍යාපෘතිවලට පිටරට ආයෝජන අවශ්‍යයි. පිටරට ආයෝජන තියෙන විට විදුලිබල මන්ඩලය විදිහට ගැටෙන අවස්ථා තියෙනවා”.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා විදේශ ආයෝජන අවශ්‍ය වන බව ප්‍රකාශ කල සමිති නායකයා දැන් රාජ්‍ය අංශයේ පවතින විදුලිය උත්පාදනය හා බෙදාහැරීම්වලට, පනත අතහැර දමා “කැබලි සමාගම් 100 ට වුවත් කඩන්න සිදුවෙයි” යයි නරුම ලෙස කියා සිටියේ ය.

ප්‍රියන්ත ප්‍රභාත් ජාමූ අරමුදල ඔලුවෙන් සිටුවයි. ජාමූඅ හරහා ලැබී ඇති ආධාරයක් නැත. ලබාදී ඇත්තේ, ඉදිරිය ගෙවිය යුතු ඩොලර් බිලියන 3ක ඇපකර නයකි. එවක ආන්ඩුව විදේශ නය ගෙවාගත නොහැකිව 2022 අප්‍රේල් මාසයේ එය අත්හිටුවීම නිසා, ජාත්‍යන්තර බැංකුකරුවන් හා අනෙකුත් නය සැපයුවන් වෙනුවෙන් ජාමුඅ ලංකාවට මැදිහත් වී එහි ආර්ථිකය [සහ සැබවින් ම දේශපාලනය ද] පාලනය කිරීම තම අතටගෙන කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට විධානය කරමින් සිටියි.

ඉන් සිදු කෙරෙන්නේ බදු අය කිරීම් මගින් හා සුබසාධන වැඩපිලිවෙල්වල් කපාහැර කම්කරුවන් හා දුගී ජනතාව මිරිකා භාන්ඩාගාරය පුරවා ගැනීමයි. රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහකරනය ද මේ වැඩපිලිවෙලේම කොටසකි. වික්‍රමසිංහ ආන්ඩුවෙන් පසු මේ කාර්ය වේගවත් කිරීම දිසානායක ආන්ඩුව භාරගෙන තිබේ. එමගින් ආන්ඩුව, 2028 සිට විදේශ නය ආපසු ගෙවීමේ කොන්දේසි නිර්මානය කරමින් සිටි.

වෘත්තීය සමිති නිලධරය මේ වැඩපිලිවෙලේ කොටස්කාරයන් ය. ඔවුහු ලංවිම ඇටවූ ප්‍රතිව්‍යුහකරන කමිටුවල සාමාජිකයන් ලෙස ක්‍රියා කරති. ඔවුන් දැන් ලංවිම පාලකයන් සහ අනාගත සමාගම්වල අධිකාරීන් සමග 'සාමූහික ගිවිසුමක්' ඉල්ලන්නේ කම්කරුවන්ගේ යහපතට යයි කිසියම් සේවකයෙකු සිතන්නේ නම් එය මුලාවකි. ඔවුන් ඔබේ යහපත වෙනුවෙන් ක්‍රියාකරන්නන් නොව ජාමුඅ සහ ආන්ඩුව වෙනුවෙන් සේවය කරන්නන්‍ ය. ඔවුන් අනාගත විදේශ ආයෝජන කැඳවා ගැනීමට ද ආන්ඩුවට පහසුකම් සැලසීමට ප්‍රතිඥා දුන් පිරිසකි; තම සමිතිවල සාමාජිකයන්ගේ උවමනාකම් වෙනුවෙන් පෙනී සිටින්නන් නොවේ.

කුමන බලපෑම දැම්මත් දැන් අරඹා ඇති වැඩපිලිවෙල අත් නොහරින බව ආන්ඩුව කියා ඇත. විදුලිබල අමාත්‍යංශ ඉහල නිලධාරියෙක් සඳහන් කලේ 'ජාතික අවශයතා මත, අප මෙම ප්‍රතිව්‍යුහකරනය ක්‍රමානුකුලව ක්‍රියාවට දමනවා.' ඊට අවනත විය නොහැකි අයට අනිවාර්ය විශ්‍රාම ගැනීම කලහැකි බව කී ඔහු මෙසේ ද පැවසුවේය: 'කීප දෙනෙකුගේ ඉල්ලීම්වල අනුව මහජනයා ප්‍රාන ඇපයට තබන්නට බෑ.'

සාධාරන ඉල්ලීම් ගනනාවක් මත තැපැල් සේවකයන් කල වර්ජනය බිඳීමට පොලිසිය හා හමුදාව යෙදිමත් සමග, සිය සාමාජිකයන් පාවාදුන් සමිති නායකයෝ ආන්ඩුව සමග සහයෝගී වුහ. ඉන් පසුව, ඇමති නලින්ද ජයතිස්ස ලංවිම හා අනෙකුත් අරගල ද එල්ල කර මෙසේ තර්ජනය කලේය: “ මේ වෙලාවෙදී අසාධාරන වැඩවර්ජනවලට ජනතාව දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් මම හිතනවා තැපැල් වැඩවර්ජනයෙන් කවුරුත් යම්කිසි ආකාරයක දෙයක් ඉගෙන ගන්න ඇති කියලා.” ඔහු 'ජනතාව' නමින් හැඳින්වුයේ ආන්ඩුවයි.

විදුලිය කම්කරුවන් තමන්ගේ ද අනෙකුත් කම්කරුවන්ගේ ද අරගලවල පාඩම් ඉගෙනගත යුතු ය. ආන්ඩුවේ වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීම අවශ්‍ය බව අවධාරනය කල එක සේවකයෙක් ලෝසවෙඅ ට පැවසුවේ ලංවිම ප්‍රතිව්‍යුහගතකිරීම නීතිගතවී ක්‍රියාත්මක වෙමින් පවතින නිසා “සමහර සේවකයින් හිතන්නේ දැන් පරක්කු වැඩියි කියලා.'

පරක්කුවක් නැත. සිදුවී ඇත්තේ, ආන්ඩුව සමිති නායකයන් ඔබ නොමග යැවීම ප්‍රයෝජනයට ගෙන එහි වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාමයි; සමාගම් හතරකට ඔබ බෙදීම ඉදිරියට ගෙනයමින් ඔබ ඒවාට අනුයුක්ත කරනු ඇත; එහෙත් එමගින් එල්ලවීමට නියමිත ප්‍රහාර වලට එරෙහිව ඔබට සටන් කිරීමට සිදුවෙයි; සටන් කල යුතුවෙයි.

ලෝසවෙඅ සහ සමාජවාදී සමානතා පක්ෂයේ අපි මෙසේ කියමු. දැන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා උද්ඝෝෂනය ආන්ඩුවේ හා ජාමුඅ ගැත්තන් වන සමිති නිලධරය අතේ නොතබා ඔබ අතට ගන්න; මෙම ඉල්ලීම් සඳහා ද කප්පාදුව මගින් එල්ලවීමට නියමිත ප්‍රහාර වලට එරෙහිව ද අරගල කල හැක්කේ ලංවිම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ආයතනයේ සෑම ස්ථානයකම ගොඩනගා ගෙන සුදානම් වීමෙන් පමනකි. ආන්ඩු-ගැති සමිති නිලධරයට මේ කොමිටිවල ඉඩක් නැත. ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වන කම්කරුවන්ට ඉදිරියට ගෙන යායුතු වැඩපිලිවෙලක් ඇත.

විදුලිය සේවකයන් මුහුන දී සිටින්නේ ද අවශේෂ කම්කරු කොටස් මෙන්ම, ජාමුඅ- ආන්ඩුවේ ප්‍රහාරවලටයි. තෙල් සංස්ථාව, තැපෑල, දුම්රිය, රාජ්‍ය බැංකු, වරාය ඇතුලු ආයතන සිය ගනනක සේවකයෝ ප්‍රතිව්‍යුහකරනයේ තර්ජනයට ලක්ව සිටිති. මින් ලක්ෂ පහක් පමන රැකියා අහෝසි වීමට නියමිත ය. රාජ්‍ය හා පුද්ගලික අංශ කම්කරුවන් වැටුප් හා සේවා තත්වයන් කප්පදුව නිසා මෙන්ම ජීවන වියදම් ප්‍රශ්නවලින් වෙලී සිටිති.

ආන්ඩුවේ හා එය නියෝජනය කරන ධනපති ක්‍රමයේ රාමුව තුල කම්කරුවන්ට තම අයිතීන් සඳහා විසඳුමක් ලබා ගත නොහැක. සත්‍යය නම්, කම්කරුවන්ගේ අයිතීන් රැක ගැනීමේ අරගලය ආන්ඩුවට හා ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් වී ඇත.

සමිති නායකයන් කම්කරුවන් දුර්මුඛ කොට ධනපති පාලනයේ අවශ්‍යතාවලට ඔවුන් යටත් කර දීමට විසිරුනු, සීමිත, හුදකලා විරෝධතා කැඳවති. ඊට එරෙහිව, කම්කරුවන් කල යුත්තේ, සිය ස්වාධීන පන්ති ශක්තිය ගොනුකර ආන්ඩුවේ ප්‍රතිපත්ති පරාජය කිරීමට හා තම අයිතීන් දිනාගැනීමට මහා වර්ජනයක් සුදානම් කිරීමේ කටයුතු ඇරඹීමයි. සියලු වැඩපොලවල ගොඩනගන කම්කරු ක්‍රියාකාරී කමිටු සිය නියෝජිතයන් හරහා සම්බන්ධීකරනය වී මේ සඳහා තීන්දු ගතයුතු ය.

සියලු රාජ්‍ය ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත්කර ගත යුතු යයි අපි කියමු. එය සියලුම බැංකු, විශාල සමාගම්, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලක කොටසකි. මෙම වැඩපිලිවෙල ක්‍රියාවට දැමිය හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි.

අප ඔබට ආධාර කිරීමට කැමැත්තෙමු. අපව අමතන්න.

දුරකථනය: 0773562327

Loading