[මෙය Sri Lankan union leaders support government restructuring of electricity board මැයෙන් 2025 සැප්තැම්බර් 02 දා පලවූ ලිපියේ පරිවර්තනයකි.]
ශ්‍රී ලංකාවේ ආන්ඩුව, ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) ආන්ඩුව සතු සමාගම් හතරකට (ආසස) බිඳ වෙන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, ඔක්තෝබර් අවසානය වන විට ඒවාට සේවකයින් අනුයුක්ත කරනු ලබයි.
ජාතික පද්ධති ක්‍රියාකාරක සමාගම, ජාතික සම්ප්‍රේෂන ජාල සේවා සැපයුම්කාරක සමාගම, ලංකා විදුලි බෙදාහැරීමේ සමාගම සහ ලංකා විදුලි උත්පාදන සමාගම යන සමාගම් පිහිටුවීම, ලංවිම කොටස් වලට කැඩීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ප්‍රධාන නියෝගයකි. විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්ට අනුව, මෙම ආයතන වසර දෙකකින් පමන තවදුරටත් සමාගම් කිහිපයකට කොටස් කරනු ඇත.
පසුගිය මාසයේ සම්මත කරන ලද නව ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත යටතේ, ආන්ඩුව සියලුම සේවකයින්ට ඔවුන් අනුයුක්ත කරනු ලබන සමාගම් සඳහන් කරමින් ලිපි නිකුත් කර ඇත.
ලංවිම බිඳ වෙන් කිරීමට එරෙහිව මන්ඩලයේ 22,000 ක ශක්තිමත් ශ්‍රම බලකාය තුල පුලුල් විරෝධයක් පවතී. සේවකයින් තම රැකියා සහ සේවා කොන්දේසි මෙන්ම 1969 දී මන්ඩලය පිහිටුවීමෙන් පසු අතීත අරගල හරහා දිනාගත් තම අයිතිවාසිකම්වලට ඇති තර්ජන පිලිබඳව විමසිලිමත් වී සිටිති. ඔවුහු ආන්ඩුවේ අනුයුක්ත කිරීමේ ලිපි පිලිගැනීමට මැලි කමක් දක්වති.
ජාමූඅ වැඩපිලිවෙලට මුලුමනින්ම කැපවී සිටින පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවට, කම්කරු පන්තියේ මෙවන් ප්‍රධාන කොටසකට පහර දීම සූදානම් කිරීමට හැකියාව ලැබුනේ වෘත්තීය සමිති විසින් නැවත නැවතත් කරන ලද පාවාදීම් හේතුවෙනි.
තමන් කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බව කලින් කියා සිටියද, ලංවිම සේවකයින් නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති නායකයෝ පසුගිය සතියේ ආන්ඩුවේ සැලසුමට සහාය දැක්වීම සඳහා එකට පෙල ගැසුනහ.
ජනතා විමුක්ති පෙරමුනට අනුබද්ධිත ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේස) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සමඟ සාකච්ඡා පවත්වා අනුයුක්ත කිරීමේ ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් එකඟතාව පල කලේ ය.
කලක් ලංවිම සේවකයින් අතර විශාලතම වෘත්තීය සමිතිය වූ ලංවිසේස යේ සාමාජිකයෝ, ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත්වීමෙන් පසු එය සිදු කල පාවාදීම් හෙලා දකිමින් ඉන් ඉවත් වූහ. පලාත් පාලන මැතිවරනයෙන් පසු 2025 ජුනි මාසයේදී කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත් වූ ජවිපෙ ප්‍රධාන නායකයෙකු වන රන්ජන් ජයලාල් තවදුරටත් වෘත්තීය සමිතියට නායකත්වය නො දෙයි. ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහි ව කිසිදු ක්‍රියාමාර්ගයක් සංවිධානය නොකරන ලෙස ආන්ඩුවේ ඉහල බලධාරීන් විසින් ජවිපෙ විසින් පාලනය කරනු ලබන අනෙකුත් වෘත්තීය සමිතිවලට ද උපදෙස් දී ඇත.
වෘත්තීය සමිති 20කට වැඩි ගනනක සන්ධානයක් මුලින් ලංවිම සේවකයින්ට අනුයුක්ත කිරීමේ ලිපි භාර නොගන්නා ලෙස උපදෙස් දුන් අතර, සාමාජිකයින්ගේ පීඩනය යටතේ සැප්තැම්බර් 1 වන දින සංකේත වැඩ වර්ජනයක් ද නිවේදනය කර තිබුනි.
කෙසේ වෙතත්, ලංවිම තාක්ෂනික ඉංජිනේරු සහ අධිකාරීවරුන්ගේ සංගමයේ සහ ලංවිම ගනකාධිකාරී සංගමයේ නිලධාරීහූ අගෝස්තු 26 වන දින විදුලිබල අමාත්‍යංශය [අධ්‍යක්ෂ ජෙනරාල්] සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව වෘත්තීය සමිති 20 සන්ධානයෙන් ඉවත් වූහ. ලංවිසේස මෙන්, ඔවුන් ද රජයේ සැලසුම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්ත පල කලහ.
සන්ධානයේ ඉතිරි සාමාජිකයන් වූ වෘත්තීය සමිති නිලධරයන් ද අනෙකුත් වෘත්තීය සමිති වලට “අරගලය පාවාදීම” ගැන චෝදනා කරමින් සහ තම විරුද්ධත්වය අත්හැර දැමීම හැර වෙනත් තෝරා ගැනීමක් නැති බව පවසමින් ඉක්මනින් ම ඒ සමග පෙල ගැසුනි. මෙම වෘත්තීය සමිතිවලට විපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය විසින් පාලනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ජාතික සේවක සංගමය ඇතුලත් වේ.
වෘත්තීය සමිති නායකයෝ, “තවදුරටත් ලංවිම සේවකයින් 22,000 ක රැකියා අහිමිකරවීමට අපට කිසිදු උවමනාවක් නැත” යි සඳහන් කල ප්‍රකාශයකින්, තම සාමාජිකයින්ට පත්වීම් ලිපි භාර ගන්නා ලෙස යෝජනා කලහ. වෙනත් වචන වලින් කිවහොත්, ලිපි භාර ගැනීම ප්‍රතික්ෂේප කරන ඕනෑ ම සේවකයෙකු ඔවුන් විසින් අතහැර දමනු ඇත. නිලධාරය නරුම ලෙස කියා සිටියේ ඔවුන් “සටන” දිගටම කරගෙන යන බව යි.
අගෝස්තු 26 වන දින නිකුත් කරන ලද රජයේ ගැසට් පත්‍රයකට අනුව, නව සමාගම්වලට සම්බන්ධ වීමට අකමැති සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් (වීආර්එස්) සඳහා ඉල්ලුම් කල හැකි ය. සේවා කාලය අනුව, රුපියල් ලත්ෂ 9 සිට ලක්ෂ 50 දක්වා වූ සොච්චම් වන්දි මුදලක් ඔවුන්ට ගෙවනු ලබයි
විදුලිබල (සංශෝධන) පනතේ අලුතින් පිහිටුවන ලද සමාගම්වල සේවකයින්ට ලංවිම යටතේ භුක්ති විඳින එම අයිතිවාසිකම් හිමිවන බව සඳහන් වුවද, ඔවුන්ගේ වර්තමාන විශ්‍රාම වැටුප් ක්‍රමය සහ දුෂ්කර අරගල මගින් දිනාගත් අනෙකුත් අයිතිවාසිකම් පිලිබඳව එහි කිසිදු නිශ්චිත සඳහනක් නොමැත.
කලින් ආන්ඩුව, මෙම මූලෝපායිකව වැදගත් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය කිරීමට දැරූ උත්සාහයන්ට එරෙහිව සටන්කාමී අරගල දියත් කල ලංවිම සේවකයින් සියලු වෘත්තීය සමිති විසින් නින්දිත ලෙස පාවා දෙනු ලැබ ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව නව නීති සම්පාදනය කරමින් ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කලේය. ඊට ප්‍රතිචාර වශයෙන්, ලංවිම සේවකයෝ 20,000 ක් කුරිරු අත්‍යවශ්‍ය මහජන සේවා සහ කලමනාකාරිත්වය විසින් ආයතනයේ සියලුම සේවකයින්ට පැනවූ නිවාඩු අවලංගු කිරීමේ නියෝග නොතකා දින තුනක අසනීප නිවාඩු විරෝධතාවක් ලංවිම සියලුම වැඩබිම්වල දියත් කලහ. වික්‍රමසිංහ ආන්ඩුව සේවකයින් 62 දෙනෙකුගේ වැඩ තහනම් කර පලිගත් අතර පසුව දැඩි කොන්දේසි යටතේ ඔවුන් නැවත සේවයේ පිහිටුවන ලදී.
ජවිපෙහි මැතිවරන පෙරමුන වන ජාජබ, පසුගිය වසරේ ජනාධිපතිවරන සහ ජාතික මැතිවරනවලදී ව්‍යාජ ලෙස ප්‍රකාශ කලේ තමන් බලයට පත් වුවහොත්, ජාමූඅ සමග එහි කප්පාදු වැඩපිලිවල ගැන නැවත සාකච්ඡා කරන බවයි. ජවිපෙට අනුබද්ධිත වෘත්තීය සමිතිද සහ අනෙකුත් වෘත්තීය සමිතිවල ඔවුන්ගේ සගයෝ ද එම බොරුව ප්‍රචාරය කලහ.
වහාම තම පොරොන්දු අතහැර දැමූ දිසානායක ආන්ඩුව ජාමූඅ රුදුරු වියදම් කප්පාදු කිරීමේ පියවරයන් සඳහා තම පූර්න කැපවීම ප්‍රකාශ කලේ ය. ලංවිම ට අමතරව, කඩිනම් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වානිජකරනය සඳහා ආන්ඩුව රාජ්‍ය ව්‍යවසායන් දුසිම් ගනනකට ප්‍රමුඛත්වය දී ඇත. මේවාට ශ්‍රී ලංකා වරාය, ඛනිජ තෙල් සංස්ථාව, තැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා දුම්රිය, රක්ෂන සංස්ථාව, ලංකා බැංකුව සහ මහජන බැංකුව ඇතුලත් වේ.
මේවා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉලක්ක කරගත් රාජ්‍ය ව්‍යවසායන් 400කට අධික සංඛ්‍යාවකින් කිහිපයක් වන අතර, මෙම ක්‍රියාවලිය මගින් අවම වශයෙන් රාජ්‍ය අංශයේ රැකියා 500,000ක් විනාශ කරනු ඇත. මෙය වේගවත් කිරීම සඳහා, ජවිපෙ/ජාජබ දිසානායක ආන්ඩුව “භාරකාර සමාගමක්” පිහිටුවීමට යෝජනා කර ඇත.
ආන්ඩුව ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ තම සැලැස්ම සකස් කල විට, වෘත්තීය සමිති නිලධරයට විරෝධතා කැඳවීමට බල කෙරිනි. ජූලි 22 වන දින ලංවිම සේවකයින් 16,000 ක් පමන අසනීප නිවාඩු වාර්තාකර විදුලිබල (සංශෝධන) පනතට එරෙහිව එක් දින විරෝධතාවක් පැවැත්වූහ. වෘත්තීය සමිති මෙම විරෝධතාව කැඳවූයේ කම්කරුවන්ගේ කෝපය විසුරුවා හැරීමට සහ ඔවුන් දේශපාලනික ව නිරායුධ කිරීමට පමනි.
ලංවිම සේවකයින් වෘත්තීය සමිති නිලධරයේ පාවාදීම් ප්‍රතික්ෂේප කර තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සූදානම් විය යුතු ය.
ඉල්ලීම් 19ක් වෙනුවෙන් සටන් කල 17,000ක් තැපැල් සේවකයෝ අගෝස්තු 17 වන දින සිට දිවයින පුරා ආරම්භ කල වැඩ වර්ජනයේ දී ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ නැගී එන කෝපය හා සටන්කාමීත්වය පැහැදිලිව පෙන්නුම් කලහ. කම්කරුවන්ව මර්දනය කිරීම සඳහා ආන්ඩුව හමුදාව සහ පොලිසිය යෙදවීමෙන් ඉක්බිතිව ආන්ඩුවේ තර්ජන ඉදිරියේ යටත් වූ තැපැල් වෘත්තීය සමිති නායකයෝ සතියකට පසු කිසිදු ඉල්ලීමක් දිනා නොගෙන වහාම වර්ජනය නතර කලහ.
සටන්කාමීත්වය පමනක් ප්‍රමානවත් නොවේ. වෘත්තීය සමිති රාමුව තුල තම අයිතිවාසිකම් සඳහා සටන් කල නොහැකි බව කම්කරුවන් තේරුම් ගත යුතුය. දිසානායක ආන්ඩුව සහ ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය ගැඹුරු වන ආර්ථික ව්‍යසනයක ගිලී සිටින අතර වැඩ කරන ජනතාව මත එහි බර පැටවීම සඳහා අධිෂ්ඨාන කරගෙන සිටි.
ධනේශ්වර ක්‍රමය සහ එය ආරක්ෂා කරන වෘත්තීය සමිති උපකරන තුල කම්කරුවන්ට විසඳුමක් නොමැති බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරයි.
සියලු රැකියා, අයිතිවාසිකම් සහ සේවා කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි ලංවිම සේවකයින්ගෙන්ද, රට පුරා රාජ්‍ය ව්‍යවසායන් සහ අනෙකුත් සේවා ස්ථානවල සේවකයින්ගෙන් ඉල්ලා සිටිමු. වෘත්තීය සමිති නිලධරයන්ට මෙම කමිටුවලට ඇතුලුවීමට ඉඩ නොදිය යුතුය.
කම්කරු පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ එකමුතුව, ආන්ඩුවේ සහ ධනපති පන්තියේ ප්‍රහාරයට එරෙහිව එක්සත් අරගලයක් දියත් කිරීමට සූදානම් විය යුතුය.
සියලුම රාජ්‍ය ව්‍යවසායන් කම්කරුවන්ගේ පාලනය යටතට ගත යුතුය. කම්කරු පන්තිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කල යුතු අතර විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, බැංකු, ප්‍රධාන සංස්ථා, කර්මාන්ත සහ වතු යනාදිය, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීම ඇතුලු සමාජවාදී ප්‍රතිපති සඳහා සටන් කලයුතුය. මේ සඳහා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීම අවශ්‍ය වේ.