රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනයට එරෙහි සසප රැස්වීමට කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් උද්‍යෝගිමත් ප්‍රතිචාරයක්

සමාජවාදී සමානතා පක්ෂය (සසප), “රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙලට එරෙහි වනු! රැකියා හා වැටුප් රැක ගැනීම සඳහා සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!' යන තේමාව යටතේ පසුගිය 06 වන බ්‍රහස්පතින්දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වී ය.

2023 ජූලි 6 වැනි දින, කොලඹ දී පැවති සසප ප්‍රසිද්ධ රැස්වීම.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිලිවෙල මත ක්‍රියාත්මකවන රුදුරු කප්පාදු පිලිවෙත් යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, වතු ඇතුලු රාජ්‍ය ව්‍යවසාය 430 ක් පෞද්ගලීකරනයට රනිල් වික්‍රමසිංහ ආන්ඩුව දැන් පියවර ගනිමින් සිටී. කම්කරුවන් දසදහස් ගනකගේ රැකියා අහිමි කෙරෙන, රැකියා කොන්දේසි තවතවත් දරුනු කෙරෙන හා මහජන සේවාවන් තවදුරටත් කප්පාදු කෙරෙන මෙම පෞද්ගලීකරන වැඩපිලිවෙලට කම්කරුවන් අතර ඇත්තේ බරපතල විරුද්ධත්වයකි.

රැස්වීමට වරාය, දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපන, වතු කම්කරු, හෝටල් ආදි ක්ෂේත්‍ර කිහිපයක කම්කරුවෝ සහ තරුනයෝ සියයකට අධික සංඛ්‍යාවක් සහභාගී වුහ. සසප නිල මුහුනු පොත හරහා තවත් 5,00ට වැඩි පිරිසක් රැස්වීමට සජීවීව සවන් දුන් අතර මේ වන විට ඊට සවන් දී ඇති පිරිස 1,500 ක් ඉක්මවා ඇත.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් කායික රැස්වීම් නතර කිරීමෙන් වසර තුනක පමන කාලයකින් පැවති මෙම රැස්වීම තුලදී ද මුඛ ආවරන පැලඳීමට හා කායික දුරස්ථභාවය පවත්වා ගැනීමට සසප පියවර ගත් අතර ඊට රැස්වීමට සහභාගීවූවන්ගෙන් ලැබුනේ පූර්න සහයෝගයකි.

සසප උප ලේකම් සමන් ගුනදාස ඇතුලු රැස්වීමේ කතාකල කථිකයන් පස්දෙනෙකුගේ ප්‍රතිපදානයන් අන්තර්ගත ලිපියක් පසුගිය 10 දා අපි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල කර ඇත්තෙමු. පහත පල වන්නේ රැස්වීමට සහභාගී වූ කම්කරුවන් සහ තරුනයන් වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාර සම්බන්ධවත්, සසප ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය සම්බන්ධවත් දැක් වූ අදහස්වලින් කිහිපයකි.

රත්මලාන ප්‍රධාන දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථානයේ රැකියාවේ නිරත දුම්රිය කම්කරුවන් කිහිප දෙනෙක් රැස්වීමට සම්බන්ධ වූයේ සසප සාමාජිකයන් ගෙයින් ගෙට ගොස් සිදු කල උද්ඝෝෂනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. වසර 12 ක සේවක කාලයක් ඇති එක් කම්කරුවෙක්, “රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනයට හා සේවක අර්ථ සාධක අරමුදල කප්පාදු කිරීමට එරෙහිව අපි එක්සත් විය යුතුයි. ඒ වගේම 'සසප ඉදිරිදර්ශනය වැඩිදුරටත් අධ්‍යයනය කල යුතු බව මම මේ රැස්වීමෙන් තේරුම් ගත්තා“ යැයි පැවසීය.

කම්කරුවන්ගේ අරගල යලි පැන නැගිමින් තිබිය දී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), පෙරටුගාමි සමාජවාදී පක්ෂය ( පෙසප) හා වෘත්තීය සමිති කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වලක්වා තියෙන්නේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට ඔවුන්ගේ පක්ෂපාතීත්වය නිසා බව එම කම්කරුවා කීවේය.

දෙමටගොඩ විශ්‍රාමික දුම්රිය කම්කරුවෙක් ජාමූඅ කප්පාදු යටතේ දුම්රිය කම්කරුවන්ට එල්ලවන ප්‍රහාර පිලිබඳව විස්තර කලේ ය. “අපේ විශ්‍රාම වැටුපත් කප්පාදු කෙරෙනවා. වෘත්තීය සමිති කම්කරුවන්ව ශ්‍රේනිවලට බෙදලා, කම්කරු පන්තියේ ශක්තිය දුර්වල කරලා. වෘත්තීය සමිති තුල අපේ අරගල ඉදිරියට ගන්නේ කොහොමද කියන සාකච්ඡාවක් නෑ. අපි සාමාජික මුදල් ගෙවනවා විතරයි. වැඩ කරන ජනතාව තමන්ගේ විසඳුම් සාකච්ඡා කරන්න ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුයි“.

වසර 40 ක සේවා කාලයක් ඇති එම කම්කරුවාට දුම්රිය දෙපාර්තමේන්තුව තුල දී නිසි උසස් වීම්, වැටුප් වැඩිවීම් සිදු නො කෙරුනු බව කියා සිටියේ ය.

වැඩි වැටුප් සඳහා සටන් කිරීම හේතුවෙන් දඩයමට ලක් වී සිටින ඕල්ටන් වත්තේ කම්කරුවන් පිලිබඳව දැන ගැනීමට හැකිවූයේ සසප උද්ඝෝෂනය මගින් බවත්, එම කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කිරීම සඳහා වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව ගෙනයන පෙත්සම් උද්ඝෝෂනයට සහාය දක්වමින් තමා ඇතුලු දුම්රිය කම්කරුවන් එයට අත්සන් තැබූ බවත් ඔහු පැවසීය.

කොලඹ සිට කිලෝමීටර් 1,00 ක් දුරින් පිහිටි වතුකරයේ හැටන් සිට පැමිනි වතු කම්කරුවන් කන්ඩායමක් රැස්වීමට සහභාගි වූහ. ඉන් එක් කම්කරුවෙක් මෙසේ ප්‍රකාශ කලේ ය: “අපිට එරෙහිව ඕල්ටන් වතු සමාගමේ හා වික්‍රමසිංහ ආන්ඩුවේ දඩයමට එරෙහිව පෙනී සිටිමින්, වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව දියත් කර තිබෙන පෙත්සමට වරාය, දුම්රිය, සෞඛ්‍ය, හෝටල් ඇතුලු අනෙකුත් අංශ කිහිපයකම කම්කරුවෝ අත්සන් කරමින් අපිට සහයෝගය දැක්වුවා අපි දැක්කා. කම්කරු පන්තියේ එක්සත්කම ගොඩ නැගෙන්නේ මෙහෙමයි. මේක අපිට අපේ අරගලය ඉදිරියට ගෙන යෑමට ධෛර්යක් සැපයුවා. අපි ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සටන් කරනවා“.

දකුනු පලාතේ සිට පැමිනි හෝටල් කම්කරුවන් පිරිසක් ද ලෝසවෙඅ වාර්තාකරුවන් සමග ඔවුන්ගේ රැකියා හා ජීවන කොන්දේසි පිලිබඳව මෙන්ම රැස්වීමෙන් උකහා ගත් කරුනු පිලිබඳව සාකච්ඡා කලේ ය.

නාලක ඒ කන්ඩායමේ සිටි විවාහක කම්කරුවෙකි. “මෙම රැස්වීම මට විශාල අත්දැකීමක් වුනා. කම්කරුවන්ගේ ඒකාබද්ධ ශක්තිය ගොනු කිරීමෙන් ආන්ඩුවේ ප්‍රහාර පරාජය කරන්න පුලුවන් කියන එකත් වෘත්තීය සමිති කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයකට, කම්කරු පන්තිය බලය ගැනීමට හතුරුයි කියන එකත් මට වැඩිදුරටත් පැහැදිලි වුනා“ යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

රුපියල් 35,000 ක් පමන වන ඔහුගේ මූලික වැටුපෙන් බැංකු නය වාරිකවලට කැපී ගිය පසු ජීවත්වීම ඉතාම අසීරු බව ඔහු කියා සිටියේ ය. “මේ දවස්වල සංචාරකයො අඩු නිසා සේවා ගාස්තු හෝ වෙනත් ආධාර අඩුවෙලා තියෙන්නේ. සංචාරකයෝ ආවත් ඒවල වාසිය තියෙන්නේ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය කරලා තියෙන මහා ව්‍යාපාරිකයන්ට විතරයි.“

රැස්වීමේ දී අනුගමනය කල සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් අගය කරමින් කතා කල තවත් හෝටල් කම්කරුවෙක් නව ප්‍රභේද බිහි වෙමින් වසංගතය යලි පැතිරීමේ අවදානම පහව ගොස් නැතැයි කියා සිටියේ ය. “අනික් පක්ෂවල, සංවිධානවල රැස්වීම්වල මේ විදිහට ඍජුව අදහස් ප්‍රකාශ කිරීමක් කෙරෙන්නේ නෑ. අනික් අතින් ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙන්නෙත් නෑ. සසප අනික් සංවිධානවලින් වෙනස් බව මට වැටහුනා විතරක් නෙමේ, කම්කරුවන්ව සමාජවාදී ඉදිරිදර්ශනයට දිනා ගැනීම කල හැකි සහ කල යුතු දෙයක් බව වැටහුනා. මම සසප සමග වැඩ කිරීමට තීන්දු කලා“ යයි ඔහු ප්‍රකාශ කලේ ය.

ලෝසවෙඅ හරහා සසප රැස්වීම පිලිබඳව දැනගත් පාසල් ශිෂ්‍යයෙකු ද රැස්වීම පිලිබඳව අදහස් දැක්වී ය. “කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක පවතින තීරනාත්මක අවශ්‍යතාවය හැම කථිකයෙක් ම අවධාරනය කලා. සමාජවාදය කිව්වම තරුනයෝ හිතන් ඉන්න පෙසප, ජවිපෙ ගැන. නමුත් ඒ පක්ෂ ධනපති දේශපාලනයට මහජනයා ගැට ගහන්න, උගුල් අටවන්න තමයි වැඩ කරන්නේ. පසුගිය මහජන අරගලයේ දී ක්‍රියාකල ආකාරය එවැනි සංවිධානවල වැඩකටයුතු ගැන හොඳ හෙලිදරව්වක් වුනා“ යයි ඔහු පැවසීය.

බන්ඩාරවෙල පරිගනක විද්‍යා ගුරුවරයෙකු වන අනිල් රැස්වීමට සසප මුහුනු පොත හරහා සවන් දී තිබේ. “යුක්‍රේන යුද්ධය මේ තරම් විනාශකාරී එකක් බව කිසිම මාධ්‍යයකින් කතා නො කිරීම තුලින් පැහැදිලි වෙන්නේ මේ රටවල පාලක පන්තිය අධිරාජ්‍යවාදය සමග තියෙන කිට්ටු සම්බන්ධය. සසප හා ලෝසවෙඅ විතරයි මානව වර්ගයා මුලුමනින්ම විනාශ කර දැමීය හැකි ලෝක යුද්ධය හා වසංගතය පිලිබඳව මහජනයා දැනුවත් කරන්නේ ඒ වෙනුවෙන් සටන් කරන්නේ“ යැයි අනිල් කීවේය.

“පසුගිය වසරේ මහජන අරගලයට මොකක් ද වුනේ කියලා මම අධ්‍යනය කරනවා. ඒ නිසා සසප රැස්වීමට සම්බන්ධ වුනා“ රත්නපුර දිස්ත්‍රික්කයේ සිට පැමිනි තවත් තරුනයෙක් ප්‍රකාශ කලේ ය. ඔහු රැස්වීම පිලිබඳව දැනුවත් වූයේ සසප මුහුනු පොතෙහි පල කල දැන්වීමක් හරහා ය.

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමකට හතුරුව, විපක්ෂයේ ධනපති පක්ෂවල අන්තර්-වාර ආන්ඩුවක වැඩපිලිවෙල ඉදිරිපත් කල ජවිපෙ, පෙසප හා වෘත්තීය සමිති නිලධරය මහජන නැගිටීම පාවාදුන්නා යයි රැස්වීමේ කථිකයන් කල පැහැදිලි කිරීම සමග එකග වූ එම තරුනයා මෙසේ ප්‍රකාශ කලේ ය: “ඇත්තටම, ගෝල්ෆේස් අරගල භූමියේ රැස්වූ සංවිධාන සියල්ල 'නිර්පාක්ෂිකයි' කියලා එකම වැඩපිලි‍වෙලක් ඉදිරිපත් කෙරුවේ. ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත්කල සසප ට ගොල්ෆේස් අරගල භූමියේ දී පහර දුන්නා කියලා මම දැන සිටියේ නෑ. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහට බලයට එන්න පාර කැපුනේ මේ සංවිධාන කරපු පාවා දීම නිසයි. වික්‍රමසිංහ කියනවා ජාමූඅ හැර විකල්පයක් නෑ කියලා. විපක්ෂයේ සංවිධාන ඒකට අභියෝග කරන්න වැඩපිලිවෙලක් නෑ“ යයි ඔහු ප්‍රකාශ කලේ ය.

චීනයේ ආර්ථික දේශපාලන ක්‍රියාකාරකම් වලට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදය ආසියානු කලාපය පුරා සිදු කරන මැදිහත්වීම් හා ලෝක යුද්ධයක් කරා ම වර්ධනය විය හැකි යුක්‍රේන යුද්ධය මෙන් චීනයට එරෙහි ප්‍රකෝපකරනයන් පිලිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කල තරුනයා “ලංකාවේ අර්බූදය ලෝක ධනේෂ්වර ක්‍රමයේ අර්බූදයේ කොටසක් කියන එක මුලුමනින්ම නිවැරදියි. ලෝක යුද්ධයට, උද්ධමනයට හා පාරිසරික විනාශයට එරෙහිව ලෝක සමාජවාදයේ ඉදිරිදර්ශනයට ජාත්‍යන්තර කම්කරු පන්තිය දිනා ගැනීමට ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක වැඩපිලිවෙල බලගතුව ඉදිරියට ගැනීම අවශ්‍ය“ යයි කියා සිටියේ ය.

Loading