ශ්‍රී ලංකාවේ සසප ප්‍රසිද්ධ රැස්වීම, වික්‍රමසිංහගේ පුද්ගලීකරන පියවරවලට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරයි

[මෙය SEP public meeting in Sri Lanka discusses how to fight Wickremesinghe’s privatisation measures යන මැයෙන් 2023 ජූලි 10 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවමින් තිබෙන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කරන ලද පුද්ගලීකරන පියවරවලට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය දේශපාලන මූලෝපාය පිලිබඳව සාකච්ඡා කිරීමට ජූලි 6 දා බලගතු මහජන රැස්වීමක් පැවැත්වූහ.

2023 ජූලි 6 වැනි දින, කොලඹ දී පැවති සසප ප්‍රසිද්ධ රැස්වීම.

කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වුනු මෙම රැස්වීමට, වරාය, සෞඛ්‍ය, දුම්රිය, වතුකරයේ කම්කරුවන් ඇතුලු 100 කට අධික පිරිසක් සහභාගි වූහ. කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවෝ, කුරුඳු කර්මාන්තයේ නියැලෙන්නෝ සහ හෝටල් සේවකයෝ, මීට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ දකුනේ සිට පැමිනියහ.

“ශ්‍රී ලංකාවේ ආන්ඩුව රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීමට විරුද්ධ වෙනු! රැකියා සහ වැටුප් සඳහා සටන් කිරීමට කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!,' යන මැයෙන් පැවැත්වුනු එය, 2020 මුලදී කෝවිඩ්-19 වසංගතය ආරම්භ වීමෙන් පසු සසප විසින් සංවිධානය කරන ලද පලමු කායිකව සහභාගී වූ රැස්වීම විය. එය සසප ෆේස්බුක් පිටුවෙහි සජීවීව විකාශනය කරන ලදී. ඊයේ දිනය (09) වන විට 1500 කට අධික පිරිසක් විසින් එය නරඹා තිබුනි.

සසප දේශපාලන කමිටු සාමාජික ඩබ්ලිව්. ඒ. සුනිල් රැස්වීමේ මුලසුන දරමින්, කෝවිඩ්-විරෝධී ආරක්ෂක අවශ්‍යතා පිලිපැදීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පල කලේය. රැස්වීමට සහභාගිවන්නන් ආරක්ෂා කිරීම සඳහා පාර ජම්බූල විකිරන උපාංගයක් භාවිතා කල අතර සියලුම සහභාගිවන්නන් පාහේ මුහුනු ආවරන පැලඳ සිටියහ.

කෝවිඩ් වසංගතය අවසන් වී ඇති බවට ආන්ඩුවේ සහ මාධ්‍යවල ප්‍රකාශ සසප ප්‍රතික්ෂේප කරන බව සුනිල් රැස්වීම අමතමින් පැවසීය. සසප කොරෝනා වෛරසය ඉතා බැරෑරුම් ලෙස සලකන අතර, 'වෛරසය අවසන් වී නැති බවටත්, තවමත් නව ප්‍රභේදවල ස්වරූපයෙන් පැතිරෙමින් පවතින බවටත්' අනතුරු ඇඟවීය.

වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් රජය සතු ව්‍යවසායන් 430 ක් පෞද්ගලීකරනය කිරීමට එරෙහිව කම්කරු පන්තියේ විරෝධය වැඩෙමින් පවතින මුත්, වෘත්තීය සමිති නිලධරයන් විසින් විරුද්ධත්වය අවහිර කරන බව සුනිල් පැවසීය. ඔහු ජාත්‍යන්තරව කම්කරු පන්ති අරගල පුපුරා යාම සහ එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී ආන්ඩුවල ලෝක යුද්ධය කරා වන ධාවනය ගැන ද සඳහන් කලේ ය.

“මෙම තත්වයට මුහුන දීම සඳහා, අපගේ පක්ෂ කම්කරු පන්තිය සමාජවාදී වැඩපිලිවෙලක් මත බලමුලු ගැන්වීමට සහ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටිනවා. ආන්ඩුවේ පෞද්ගලීකරනයට සහ අනෙකුත් ජාමූඅ පියවරයන්ට එරෙහිව සටන් කිරීමට පෙරට එන ශ්‍රී ලාංකික කම්කරුවන්, ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතු වී, සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් කල යුතුයි,’’ සුනිල් පැවසීය.

රැස්වීම ඇමතූ සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස්, වෘත්තීය සමිතිවල සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම්වල ද්‍රෝහී දේශපාලන භූමිකාව කෙරෙහි අවධානය යොමු කලාය.

සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස්.

මෙම සංවිධාන, පසුගිය වසරේ අප්‍රේල්-ජූලි මාසවල පැනනැගි රාජපක්ෂ ආන්ඩුවට එරෙහි කම්කරු පන්ති නැගිටීම පාවා දුන්නේ, එය ධනේශ්වර අන්තර්වාර ආන්ඩුවකට සහයෝගී වන පරිදි අපසරනය කරමිනි. මෙමගින් වික්‍රමසිංහට බලයට පැමිනීමටත්, දැන් මුදාහරින දැවැන්ත සමාජ ප්‍රහාරයන් මුදා හැරීමටත් හැකි වූ බව ඇය පැවසුවාය.

'මෙම ප්‍රහාර නැවැත්වීමේ මුවාවෙන්, වෘත්තීය සමිති දැන් මෙම කප්පාදු වැඩපිලිවෙල දියත් කරන ආන්ඩුවටම සාකච්ඡා සඳහා ආයාචනා කරනවා' යැයි ඇය පැවසුවාය.

ශ්‍රී ලංකා රක්‍ෂන සංස්ථාව පෞද්ගලීකරනය කිරීමෙන් පසු, සේවකයන්ට කොටස් ලබා දෙන ලෙස කලමනාකාරීත්වයෙන් ඉල්ලා සිටිමින්, එහි ඇතැම් වෘත්තීය සමිති නායකයන් ලිපියක් යවා ඇති බව පීරිස් පැවසීය. කම්කරුවන්ට තම රැකියා ආරක්ෂා කර ගැනීමට සහ අයිතීන් සඳහා සටන් කිරීමට හැකි එකම මාර්ගය වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවීම බව ඇය කීවාය.

සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා වතු කම්කරුවන් මුහුන දෙන තත්වය සමාලෝචනය කලේය. අනෙකුත් අංශවල ඔවුන්ගේ සගයන් මෙන් වතු වෘත්තීය සමිති ද කාර්මික පොලිස් බලකායක් බවට පත්ව ඇති බව පැවසූ ඔහු ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහිව සිදුවෙමින් පවතින මර්දනය ගැන සඳහන් කලේය.

ඕල්ටන් කම්කරුවන් වැඩි වැටුප් සඳහා අරගලයක් ගෙන ගිය විට, සේවකයින් 22 ක් අත්අඩංගුවට ගෙන 34 ක් රැකියාවෙන් නෙරපා හැරීමට කලමනාකාරිත්වය වෘත්තීය සමිති නිලධරය හා පොලීසිය සමග කුමන්ත්‍රනය කලේය. “වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව මෙම මර්දනයට එරෙහිව සටන් කරන අතර වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව කම්කරුවන් බලමුලු ගන්වනවා,” යැයි ඔහු පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව විසින් පටවන ලද සමාජ ව්‍යසනයට එරෙහිව පසුගිය වසරේ සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් වී සටන් කල බව දේවරාජා පෙන්වා දුන්නේය. 'දෙමල ජාතිකවාදී පක්ෂ වර්ගවාදී ඉල්ලීම් තීව්‍ර කිරීම මගින් කම්කරු පන්තිය බෙදීමට උත්සාහ කරන අතර, කොලඹ ධනේශ්වර පක්ෂ මෙන්, ඔවුන්ට අවශ්‍ය කම්කරුවන් දුර්වල කිරීමට' බව ඔහු පැවසීය.

කම්කරු පන්තිය එක්සත් බලවේගයක් ලෙස ස්වාධීනව බලමුලු ගැන්වීම හදිසි අවශ්‍යතාවයක් බවත්, ඒ නිසා සසප කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා කැඳවුම් කරන සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන බවද දේවරාජා පැවසීය.

සසජාතශි වෙනුවෙන් කතා කල සකුන්ත හිරිමුතුගොඩ, අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩුවල මහා ව්‍යාපාරික ප්‍රතිපත්ති, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවල අර්බුදය උග්‍ර කරමින්, රට පුරා හතු පිපෙන්නාක් මෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල සහ පාසල් මතුවීමට තුඩු දී ඇති ආකාරය පැහැදිලි කලේය.

සකුන්ත හිරිමුතුගොඩ

ශ්‍රී ලංකාවේ අවුරුදු 5 ත් 18 ත් අතර ලමුන්ගෙන් සියයට 6 ක් පාසල් නොයන බව හෙලි වූ ග්‍රීන්වේ ඒෂියා වාර්තාවෙන් හිරිමුතුගොඩ උපුටා දැක්වීය. විශ්ව විද්‍යාල සිසුන් සඳහා මාසිකව ලබාදෙන රුපියල් 5000 ක මහපොල සොච්චම් නය නොගෙවන බවත් අනෙකුත් කප්පාදු පියවර විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන්ට දැඩි ලෙස බලපාන බවත් ඔහු පෙන්වා දුන්නේය. යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ මිලිටරි ගැටුමට එරෙහිව සසජාතශි තව තවත් යුද විරෝධී රැස්වීම් පවත්වන බව ඔහු රැස්වීමට පැවසූ අතර මෙම උද්ඝෝෂනයට සහාය දෙන ලෙස ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.

සසප සහකාර ජාතික ලේකම් සමන් ගුනදාස සමාප්ති දේශනය පැවැත්වීය.

ගුනදාස, පසුගිය වසරේ මහජන නැගිටීමේදී වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව ගැන සඳහන් කරමින්, 'කම්කරුවන් දැන් ආන්ඩුවේ කප්පාදු ප‍්‍රහාරවලට එරෙහිව සටනට පැමිනෙමින් සිටින අතරේ, මෙම රැස්වීම කැඳවා ඇත්තේ ඔවුන්ව පාවාදීම වැලැක්වීමට සහ මෙම වර්ධනය වෙමින් පවතින අරගල ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමට,'' යයි පැවසීය.

සසප සහකාර ජාතික ලේකම් සමන් ගුනදාස

ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 70 ක් බිහිසුනු සමාජ කොන්දේසි වලට මුහුන දී ඇති බවත්, ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තු කර ඇති පරිදි ජනගහනයෙන් තුනෙන් දෙකකට තම පවුල්වලට දිනකට තුන්වේල ලබා දීමට නොහැකි බවත් කථිකයා පැවසීය.

“පුද්ගලීකරනය යන්නෙන් අදහස් කරන්නේ සියලුම රාජ්‍ය ව්‍යාපාර ආයෝජකයින් සඳහා ලාභ උපයන ආයතන බවට පත් කිරීමට ආන්ඩුව සැලසුම් කර ඇති බවයි. රැකියා සහ වැටුප් කප්පාදු කරන අතර වැඩ බර වැඩි වනු ඇත. මහජන සෞඛ්‍ය සේවාව භාවිත කරන රෝගීන්ට ප්‍රතිකාර සඳහා මුදල් ගෙවීමට සිදුවෙනවා. ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයෙන් ලබා දෙන නය කම්කරුවන්ගෙන් අයකර ගැනීමෙන් ආපසු ගෙවනු ඇතැ” යි ඔහු පැවසීය.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන අධිරාජ්‍යවාදී යුද්ධය ගැන සඳහන් කල ගුනදාස, මෙම ගැටුමේ පිරිවැය කම්කරු පන්තියෙන් උදුරා ගන්නා බව පැවසීය. මෙම සමාජ ප්‍රහාර, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ කම්කරු පන්ති අරගලවල තීව්‍ර කරන බව ද ඔහු පැවසීය.

කථිකයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ විපක්ෂ පාර්ලිමේන්තු පක්ෂ කිසිවකට හෝ ව්‍යාජ-වාම කන්ඩායම්වලට ආන්ඩුවේ කප්පාදු පියවර වලට විකල්පයක් නොමැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇප නයක් ලබා ගැනීමේදී, තම පරිපාලනය යහපත් කොන්දේසි සඳහා සාකච්ඡා කරනු ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කලේය. මෙම ප්‍රකාශ ව්‍යාජ වන අතර ජනතාව රැවටීමට සැලසුම් කර ඇති බව ගුනදාස පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාකොට එකඟතාවයකට පැමිනිය නොහැකි බව පෙන්වා දෙමිනි.

“ජනතා විමුක්ති පෙරමුන ද ජාමූඅ කප්පාදුවට කැපවී සිටිනවා. කෙසේ වෙතත්, එහි නායකයින් මහජන කෝපය ගසාකනුවස්, ජාමූඅ හි වැඩපිලිවෙලට තමන් විරුද්ධ බව මවා පෑමට උත්සාහ කරයි. ඒ සමගම, තමන් බලයව පැමිනියහොත් කඩාවැටුනු ආර්ථිකය ගොඩගන්න ජනතාවට කැපකිරීම් කරන්න සිද්දවෙයි කියලත් කියනවා” යැයි ගුනදාස පැවසීය.

ව්‍යාජ වාම පෙසප, පාර්ලිමේන්තුවෙන් පිටත බලය ගොඩනඟනු ඇතැයි ඔවුන් කියා සිටින “මහජන සභා” පිහිටුවීම සඳහා සිය ව්‍යාපාරය තීව්‍ර කර ඇත. එහෙත් මෙම කවුන්සිලවල දේශපාලන අරමුන සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වීම නොව “ධනපති ආන්ඩුවට බලපෑම් කිරීම සහ සහන ඉල්ලා සිටීම” බව කථිකයා පැවසීය.

පසුගිය වසරේ මහජන නැගිටීම සහ එහි පාවාදීම අතරතුර සසප විසින් වර්ධනය කරන ලද වැඩපිලිවෙල සඳහා සටන් වැදීමට කම්කරුවන් හා තරුනයින් පෙලගැසීමේ හදිසි අවශ්‍යතාවය ගුනදාස පැහැදිලි කලේය.

“සෑම කම්හලකම, වැඩපලකම, වතුයායකම, අසල්වැසි ප්‍රදේශයකම කම්කරුවන් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු අතර සටන තම අතට ගනිමින් ග්‍රාමීය ජනතාව තම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පෙලගස්වාගත යුතුය. මෙම කමිටු අලුත් ස්වරූපයක වෘත්තීය සමිති නම් නෙවෙයි. මෙම කමිටු තුල, කම්කරුවන්ට, දුප්පතුන්ට සහ අනෙකුත් වෙහෙසවී වැඩ කරන්නන්ට ඔවුන්ගේ වැඩපිලිවෙල සහ දියත් කල යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න පුලුවන්” යැයි ඔහු පැවසීය.

“ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවන ලෙස ද අපි ඉල්ලා සිටිනවා. මෙම බල කේන්ද්‍රය ගොඩනැගීමෙන් වික්‍රමසිංහ පාලනය බිඳ දැමීමටත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමටත් ජනතාව බලමුලු ගැන්වීමට මග පෑදෙනවා.

“එහි කර්තව්‍යය වනු ඇත්තේ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහා සමාගම්, විශාල වතු සහ බැංකු ජනසතු කිරීමයි. ධනවතුන්ගේ අතිවිශාල ධනය පැහැර ගෙන සමාජසන්තක කල යුතු අතර, අත්‍යවශ්‍ය මහජන සේවා පනත වැනි අනෙකුත් මර්දන නීති සමඟ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතුයි” ගුනදාස පැවසීය. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට සසප හා සසජාතශි සමග එක්වන ලෙස ඔහු කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රශ්නෝත්තර සැසිය අතරතුර විශ්‍රාමික දුම්රිය සේවකයෙක් පැවසුවේ, තම විශ්‍රාම වැටුප් ගෙවීම්, වර්ධක අත්හිටුවීම් හරහා කප්පාදුවලට ලක් කර ඇති බවයි. මෙවැනි ප්‍රහාරයක් ගැන සසප සිතන්නේ කුමක්ද යන්න දැන ගැනීමට අවශ්‍ය බවද ඔහු පැවසීය.

විශ‍්‍රාම වැටුප්වලට එරෙහි ප‍්‍රහාර, කම්කරු පන්තියට එරෙහි පුලුල් ප‍්‍රහාරයක කොටසක් බවත්, “මෙම පෙර නොවූ විරූ අර්බුදයේ බර ජනතාව මත පටවන තන්ත‍්‍රයට ආයාචනා කිරීමෙන් පරාජය කල නොහැකි බවත්” සුනිල් පැහැදිලි කලේය. “සසප පැහැදිලි කරන පරිදි, කම්කරුවන් ක්‍රියාකාරී කමිටු පිහිටුවා ස්වාධීනව සටන් කල යුතුයි,” ඔහු පැවසීය.

කොලඹට කිලෝමීටර් 120 ක් දකුනින් පිහිටි වෙරලබඩ නගරයක් වන හික්කඩුව ප්‍රදේශයේ සේවකයෙක් පැවසුවේ විකල්ප වැඩපිලිවෙලක් දැනගැනීමට තමා රැස්වීමට පැමිනි බවයි. “පුද්ගලීකරන වැඩසටහන අපගේ ආර්ථික ප්‍රශ්න වැඩි කරලා; ජීවත්වීම දුෂ්කර කරයි. විදුලි බිල, වතුර බිල වැඩිවෙලා ලමයි ඉස්කෝලේ යවන එක ප්‍රශ්නයක්. මේක අනිත් අයටත් ප්‍රශ්නයක්” යැයි ඔහු පැවසීය.

කොලඹ ප්‍රසිද්ධ රැස්වීමේ දී අලෙවියට තැබූ, සමාජවාදී සමානතා පක්ෂයේ පොත් පත් පිලිබඳ බලගතු උනන්දුවක්.

ඕල්ටන් වතු කම්කරුවන් 22 කුට සහ ග්‍රාමීය තරුනයින් දෙදෙනෙකුට එරෙහිව ව්‍යාජ චෝදනා මත පවත්වන නඩු විභාග ඉල්ලා අස්කර ගන්නා ලෙස බල කරන වතු කම්කරු ක්‍රියාකාරී කමිටු පෙත්සමට රැස්වීමට පැමින සිටි බොහෝ දෙනා අත්සන් කලහ. රැස්වීම අතරතුර සසප සාහිත්‍ය මේසයෙන් රුපියල් 7,500 ක් පමන වටිනා සමාජවාදී පොත්පත් අලෙවි කරන ලද අතර රුපියල් 9,600 ක් පක්ෂයේ සංවර්ධන අරමුදලට පරිත්‍යාග කර තිබුනි.

Loading