පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ තහනම් පැනවීම්: සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට එල්ල කෙරෙන දුරදිග යන ප්‍රහාරයක්

(මෙය, 'Bans at Sri Lanka university: A far-reaching attack on students’ democratic rights' මැයෙන් 2025 ජනවාරි 21 දා පල වූ ලිපියේ පරිවර්තනයකි.)

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති (වීසී) මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ජනවාරි 15 වන දින පේරාදෙනිය ශිෂ්‍ය සංගමය (පීඑස්යූ) සහ පීඨ ශිෂ්‍ය සංගම් වෙත, “සතියක කාලයක් සඳහා සිසුන් එක්රැස් කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම, විශ්ව විද්‍යාලය තුල හෝ පිටත ඕනෑම කාරනයක් සම්බන්ධයෙන් නීති විරෝධී ලෙස රැස්වීම” “සම්පූර්නයෙන්ම තහනම් කරමින්” නිර්ලජ්ජිත ප්‍රජාතන්ත්‍ර විරෝධී නියෝගයක් නිකුත් කලේය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිත දේශනය පිලිබඳව ජනවාරි 2 වන දින සිසුන් දැනුවත් කරමින් සිටින සසජාතශි උද්ඝෝෂකයෙක්

තව ද “මෙම නියෝගයට පටහැනිව ක්‍රියා කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා” බවට උපකුලපතිවරයා අනතුරු ඇඟවීය. එයින් පෙන්නුම් කර තිබුනේ සිසුන් නෙරපා දැමීමට, ශිෂ්‍යභාවය අත්හිටුවීමට හෝ නීතිමගින් ක්‍රියා කිරීමට බලධාරීන් සැලසුම් කර සිටින බවයි.

දින දෙකකට පසු, ජනවාරි 17 වන දින සවස 6 සිට ශිෂ්‍ය සංගම්වල ක්‍රියාකාරකම් තහනම් කිරීමේ නියෝගය ඉවත්කර ගනිමින් මධුජිත් තවත් ලිපියක් යවා ඇත. මන්ද, ඒ, “විශ්ව විද්‍යාලයේ සහ සෑම පීඨයකම තත්වය සන්සුන් බැවින් සහ කිසිදු ක්‍රියාකාරකමක් වාර්තා වී නොමැති” නිසා යයි ඔහු කියා තිබුනි.

පේරාදෙනිය විශ්වවිද්‍යාල බලධාරීන්ගේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී උපාමරු දැමීම් ආරම්භ වූයේ, දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ (දේවිශිසං) අනුග්‍රහය ඇතිව, “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ පැවැත්වීමට තිබූ දේශනය අවලංගු කිරීමත් සමඟ ය.

ජනවාරි 3 වන දින, වැඩබලන උපකුලපති රංජිත් පල්ලේගම එම රැස්වීමේ මාතෘකාව “ආන්ඩුවේ ප්‍රතිපත්තියට අභියෝග කරන” බැවින්, දේශනය අවලංගු කරන ලෙස විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශ ප්‍රධානියාට නියෝගයක් නිකුත්කරමින් පවසා සිටියේය.

මෙම තහනම පිටුපස සිටියේ, පුද්ගලීකරනය සහ විශ්වවිද්‍යාල අරමුදල් දැඩි ලෙස කප්පාදු කිරීම ඇතුලුව ජාමූඅ හි ඉල්ලීම් සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ) නව ආන්ඩුව යි. අගමැති කාර්යාලය රැස්වීම පිලිබඳව විමසීම් කල බවට සසජාතශි ට දැනගන්නට ලැබුනි.

ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරකම් තහනම් කිරීම ඉවත් කර ඇතත්, විශ්වවිද්‍යාල බලධාරීන් සසජාතශි දේශනයට පනවා තිබූ තහනම ඉවත් කර නැත.

විශේෂයෙන් සඳහන් කල යුතු වන්නේ, මධුජිත්, ශිෂ්‍ය රැස්වීම් වලට සම්පූර්න තහනමක් පැනවීමට කිසිදු හේතුවක් දක්වා නොතිබු බවයි. මීට පෙර ශිෂ්‍ය සංගම්වලට තහනම් පනවා තිබුනේ පුලුල් ශිෂ්‍ය නොසන්සුන්තාවයක් හෝ එවැනි නොසන්සුන්තාවයක් පුපුරා යාමට ආසන්න බවට පැහැදිලි ඇඟවීම් මධ්‍යයේ ය. මෑත මාසවලදී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ එවැනි නොසන්සුන්තාවයක් හටගෙන නොමැත.

කිසිදු පැහැදිලි කිරීමක් කර නොමැති තතුතුල, සසජාතශි රැස්වීම තහනම් කිරීමේ දුර්විපාක සම්බන්ධයෙන් සිසුන් සහ ශාස්ත්‍රාලිකයන් අතරින් සැලකිය යුතු විරෝධයක් ජනිත වීම ගැන විශ්වවිද්‍යාල බලධාරීන් උත්සුකයට පත්වීම ශිෂ්‍ය සංගම් වල ක්‍රියාකාරිත්වය තහනම් කිරීමට හේතු වූ බව නිගමනය කල හැක.

සසජාතශි උද්ඝෝෂකයෝ 2025 ජනවාරි 2 පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් සමඟ කතා කරති.

තම දේශනය තහනම් කිරීමට එරෙහිව සසජාතශි බලගතු උද්ඝෝෂනයක් දියත් කල අතර “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවට එරෙහිව සටන් කරන්නේ කෙසේද”? යන මාතෘකාව යටතේම, මහ නුවර නගරය ආසන්නයේ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීය.

සසජාතශි තහනම ඉක්මනින් ම ජාතික ප්‍රශ්නයක් බවට පත් විය. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (ෆූටා) තහනමට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කලේය. සසජාතශි ගැන සෘජුව ම සඳහන් නොකරමින් වුව, සන්ඩේ ටයිම්ස් සහ අයිලන්ඩ් වැනි පුලුල් ලෙස කියවන ජාතික පුවත්පත්, තහනම පිලිබඳ තීරු ලිපි හෝ වාර්තා පල කලේය. ආන්ඩුවේ මැදිහත්වීම පිලිබඳ ප්‍රශ්නය ද එම ලිපිවල මතු කෙරුනි.

ලකුනු දා ගැනීමේ උත්සාහයක් ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය මතු කලේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නෙකු ලෙස ආන්ඩුව පෙනී සිටීමේ කුහකත්වය ඉස්මතු කරමිනි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට එරෙහිව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ප්‍රේමදාසටමත් ඇත්තේ බියකරු වාර්තාවකි.

ජවිපෙ/ජාජබ ආන්ඩුව, සසජාතශි රැස්වීම තහනමෙන් සිදුව ඇති හානිය අවමකර ගැනීමේ ක්‍රමෝපායන්ට ගියේය. එහි මන්ත්‍රීවරියක වන ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේ දී මතුකල ප්‍රශ්නයකට පිලිතුරු දෙමින්, අගමැතිනි හරිනි අමරසූරිය, සසජාතශි රැස්වීම තහනම් කිරීමට තමා කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බවට තරයේ ප්‍රකාශ කලාය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී, උපකුලපතිවරයා මෙම රැස්වීම තහනම සාධාරනීකරනය කරමින් ජනවාරි 10 වන දින නිකුත් කල ප්‍රකාශයකින් සිද්ධිය අවසන් කිරීමට උත්සාහ කලේය. එහෙත්, ජනවාරි 14 වන දින සසජාතශි ප්‍රකාශයක් නිකුත්කර, ඔහුගේ තර්කවල විකාර සහගත බව හෙලිදරව් කලේය.

හාස්‍යජනක ලෙස, මධුජිත් ප්‍රකාශ කලේ, සසජාතශි දේශනය කිසිසේත් තහනම් නොකල බවත්, රැස්වීමේ මාතෘකාව වෙනස් කරන ලෙස ඉල්ලා සිටි බවත් ය! ඉන්පසු ඔහු, රැස්වීමකට අනුමැතිය ගැනීම සඳහා “දැඩි ලෙස” ක්‍රියාත්මක කල යුතු ක්‍රියා පටිපාටිය නොසලකා දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය ක්‍රියාකර ඇතිබව බව පෙන්වීම සඳහා දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක නොකල පටිපාටියක් හුවා දැක්වූයේය. මීට පෙර සසජාතශි විශ්ව විද්‍යාලයේ රැස්වීම් ගනනාවක් පවත්වා තිබුනද, “ජාත්‍යන්තර සංවිධානයක්” ලෙස ට දේශනයක් පැවැත්වීමට ඊට අයිතියක් නොමැති බව ද ඔහු ඇඟවීය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට එරෙහිව සටන් නොකලහොත්, එය අනෙකුත් විශ්වවිද්‍යාලවලට ද ව්‍යාප්ත කෙරනු ඇතිබව, සසජාතශි නිකුත්කල එම ප්‍රකාශය අනතුරු අඟවා සිටියේය.

හරියටම ඊට පසු දින, උපකුලපතිවරයා, සියලුම ශිෂ්‍ය ක්‍රියාකාරකම් පූර්න ලෙස තහනම් කිරීමේ ඔහුගේ නියෝගය නිකුත්කලේ, සසජාතශි, ශිෂ්‍යයන් සහ ශාස්ත්‍රඥයින් අතරින් පැනනැගුනු විවෘත විරෝධයේ කේන්ද්‍රීය ලක්ෂ්‍යයක් වීම වැලැක්වීමේ මංමුලා සහගත උත්සාහයක් වශයෙනි. ඔහු පේරාදෙනිය ශිෂ්‍ය සංගමයේ සහ සමහර පීඨ සංගම්වල නායකයින් ද හමුවූ අතර, ඉදිරි දිනවලදී කිසිදු රැස්වීමක් හෝ විරෝධතාවක් සැලසුම් නොකරන බවට ඔවුහු සහතික වූහ.

මෑත මාසවල දී පීඑස්යූ නායකයින්, දැන් ආන්ඩු බලයේ සිටින ජවිපෙ සමඟ සමීපව කටයුතු කරමින් සිටින අතර, ජවිපෙන් බිඳී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයෙන් (අවිශිබම) ඈත් වී ඇත. සසජාතශි දේශනය තහනම් කිරීමට හෝ පුලුල් තහනම් කිරීම්වලට පීඑස්යූ ව විරුද්ධ වූයේ නැත.

අවිශිබම ගැන කියන්නේ නම්, එය ශිෂ්‍ය ක්‍රියාකාරකම් තහනම් කිරීමට එරෙහිව කටින්-කොනින් යන ප්‍රකාශයක් නිකුත් කල අතර, පෙර රැස්වීමක තහනම ගැන සඳහන් කල නමුත්, සසජාතශි හි නම සඳහන් කලේ හෝ විශ්ව විද්‍යාලයේ ක්‍රියාමාර්ගවලට විරුද්ධ වූයේ හෝ නැත. තහනම අවසන් කිරීමට මැදිහත් වන ලෙස එය ෆූටා ට සහ ආන්ඩුව ට ආයාචනා කලේය.

සසජාතශි හි සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයට මූලික වශයෙන් සතුරු බැවින්, අවිශිබම සහ පීඑස්යූ ව සසජාතශි ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවීම පුදුමයක් නොවේ. මේවායේ නායකයන් අතීතයේ දී සසජාතශි සාමාජිකයින්ට එරෙහිව කායික ප්‍රහාර සහ ප්‍රකෝප කිරීම් සිදු කර ඇත.

ජනවාරි 15 වන දින, පීඑස්යූ සහ අනෙකුත් ශිෂ්‍ය නායකයින් විශ්ව විද්‍යාලය තුල සන්සුන්ව සිටීමට ප්‍රතිඥා දී උපකුලපතිවරයා ඉදිරියේ දන ගැසුවද, ඔහු ශිෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා වූ තහනම ඉවත් කලේ ඉන් දින දෙකකට පසුව ය. නැවතත්, ඔහු කිසිදු බැරෑරුම් පැහැදිලි කිරීමක් කලේ නැත: ඔහු තහනම පැනවීමට පෙර මෙන්, දැන් විශ්ව විද්‍යාලය සන්සුන් ය!

නිසැකවම, අගමැතිනි විසින් පාලනය කරනු ලබන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහල බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්නට ඇත. නව පුලුල් තහනම, දැඩි විරුද්ධත්වයක් සහ විරෝධතා ඇති කිරීමට හැකියාවක් තිබූ බැවින් එය අවලංගු කරන ලදී.

සසජාතශි (ශ්‍රී ලංකා) සාමාජිකයා 2025 ජනවාරි 2 වැනි දින පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට කතා කරයි.

ආන්ඩුව සහ විශ්වවිද්‍යාලය මෙම සිදුවීම වලලා දැමීමට කැමති වුව ද, එය සිසුන්ට මෙන්ම කම්කරුවන්ට සහ තරුනයින්ට එරෙහිව අනුගමනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදයන් පිලිබඳ බරපතල අනතුරු ඇඟවීමකි. විශ්වවිද්‍යාල බලධාරීන් විසින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා අත්තනෝමතික ලෙස පුලුල් තහනමක් පැනවීම මගින්, අනෙකුත් විශ්ව විද්‍යාලවල ද භාවිතා කල හැකි පූර්වාදර්ශයක් පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් ස්ථාපනය කර ඇත. විශේෂයෙන් ම දැන්, ආන්ඩුව විවේචනය කරන ශිෂ්‍ය දේශපාලන රැස්වීම් වලක්වමින් දැඩි පාලනයන් ක්‍රියාත්මක වේ.

එපමනක් නොව, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ තහනම අවසන් කිරීම, උපායික පසුබැසීමක් පමනි. ජවිපෙ/ජාජබ ආන්ඩුව වැඩිකල් නොයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත දැඩි කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටී. රාජ්‍ය ව්‍යවසායන් තොග පිටින් පුද්ගලීකරනය; රාජ්‍ය සේවකයින් මිලියන භාගයකට වඩා සේවයෙන් පහ කිරීම; අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා බදු වැඩි කිරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් කප්පාදු කිරීම මෙයට ඇතුලත් වේ.

ආන්ඩුව පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දීම හේතුවෙන්, නිදහස් රාජ්‍ය අධ්‍යාපනය තවදුරටත් කප්පාදුවලට මුහුන දෙයි. 2024 දී කලින් ආන්ඩුව අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 237 ක් වෙන් කලේය. ජවිපෙ/ජාජබ ආන්ඩුව, 2025 සඳහා වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 271කි. එය උද්ධමනයට කිසිසේත් නොසරිලන සුලු වැඩිවීමකි.

ශිෂ්‍ය විරෝධය දැනටමත් වර්ධනය වෙමින් පවතී. වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරනයට සහ සිසුන්ට මූල්‍ය ආධාර වැඩසටහන් ප්‍රමාද කිරීමට එරෙහිව පේරාදෙනිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල සීමිත විරෝධතා සංවිධානය කිරීමට පීඑස්යූ ට බල කෙරී ඇත.

කෙසේ වෙතත්, පීඑස්යූ සහ අවිශිබම විසින් ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය වන්නේ, සුලු සහන සඳහා ආන්ඩුවට බලපෑම් කිරීමයි. මෙම විරෝධතා කැඳවා ඇත්තේ, රාජ්‍ය අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව සිසුන්ගේ විරෝධය යටපත් කිරීමේ එල්ලය ඇතිවය. අවිශිබම සම්බන්ධ වී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව තේරී පත්වීම “ජනතා අපේක්ෂාවන් ප්‍රකාශයට පත්වීමක්” ලෙස ප්‍රශංසා කලේය.

ආන්ඩුව විසින් සමාජ කොන්දේසි වලට එල්ල කරන බිහිසුනු ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට ඇති එකම මාර්ගය සහන ඉල්ලා හිඟමනේ යාම නොවේ. සියලු ධනේශ්වර පක්ෂ, ඔවුන්ගේ වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම කන්ඩායම් වලින් ස්වාධීනව කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය බලමුලු ගන්වා සිය අයිතීන් සඳහා සටන් කිරීම බව සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරයි. සෑම විශ්වවිද්‍යාලයකම සසජාතශි ශාඛා ගොඩනඟා, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටනේදී කම්කරු පන්තිය වෙත හැරෙන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

“ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් යුත් සසජාතශි දේශනයට පනවා ඇති තහනම ඉවත් කිරීම සඳහා වන අපගේ උද්ඝෝෂනයට සහාය දෙන ලෙසත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ තහනම හෙලා දකිමින්, සසජාතශි වෙත පිටපත් සමඟ විරෝධතා ලිපි එවන ලෙසත් අපි සිසුන්, ගුරුවරුන් සහ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

වෙත: වැඩබලන උපකුලපති, පේරාදෙනිය විශ්වවිද්‍යාලය

ඊමේල්: vc@pdn.ac.lk

පිටපත්: සසජාතශි

ඊමේල්: iysseslb@gmail.com

Loading