[මෙය Sri Lanka: School development officers demand job permanency යන මැයෙන් 2025 ජනවාරි 23 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
පාසල් සංවර්ධන නිලධාරීහු (පාසංනි) සඳුදා (20) කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට, රජයේ ගුරු සේවයට ඒකාබද්ධ කරන ලෙස ඉල්ලමින් විරෝධතා දැක්වූහ. උද්ඝෝෂකයෝ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුවට අභියෝග කරන, “හරිනිත් නෑ, කමිටුත් නෑ” ආදී සටන් පාඨ රැගත්, අතින් ලියන ලද පුවරු ප්‍රදර්ශනය කලහ.
මෙම සටන් පාඨය විසින් අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අගමැතිනි හරිනි අමරසූරිය, පාසං නිලධාරීන්ගේ ගැටලුව සොයා බලන්නේ යැයි දුන් පොරොන්දුව ඉටු නොකිරීමත්, ගැටලුව විසඳීමට කැබිනට් මන්ඩලය විසින් පත් කරන ලද කමිටු දෙක ම අසමත් වීමත් විවේචනය කෙරෙයි.
සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය (එසීඑස්ඩීඕයූ) විසින් කැඳවනු ලැබූ මෙම විරෝධතාවයට, පාසංනි නිලධාරීන් 60 ක් පමන සහභාගී වූහ. රජයේ පාසල්වල වසර පහක් තිස්සේ ගුරුවරුන් ලෙස සේවය කරන, රැකියා සුරක්ෂිතභාවය සහ නිසි වැටුප් අවශ්‍ය ව සිටින පාසංනි නිලධාරීන් 16,000 ක් පමන සිටිති.
ඒසීඑස්ඩීඕයූ නායක දිනිඳු බන්ඩාරට අනුව සංගමයේ සාමාජිකයින් 12,000 ක් පමන සිටිති. අඩු සහභාගීත්වයෙන් පෙනී යන්නේ වෘත්තීය සමිතිය පාසංනි බලමුලු ගැන්වීමට කිසිදු උත්සාහයක් ගෙන නොමැති බවයි. අනුප්‍රාප්තික ආන්ඩු ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එහි සාමාජිකයින් අතර වැඩෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස එය විරෝධතාව සංවිධානය කර ඇත.
වෘත්තීය සමිති නායකයින් හිතාමතාම පාසංනි ගුරුවරුන්ගේ අරගලය මැඩපවත්වමින් එය ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුවට සහ එහි මැතිවරන පොරොන්දුවලට යටත් කර ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒසීඑස්ඩීඕයූ නායක බන්ඩාර, ගැටලුව විසඳීම සඳහා 'මැදිහත් වන ලෙස' ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටියේය. ආන්ඩුව පැහැදිලි ව ම පොරොන්දු කඩ කල පසු ව පවා, ඔහු ජනාධිපතිවරයා කෙරෙහි තම විශ්වාසය ප්‍රකාශ කරමින් මෙසේ පැවසී ය: “අපට ජනාධිපතිවරයා කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙනවා. එම විශ්වාසය තවමත් නැති වී නැහැ.”
වෘත්තීය සමිතිය මහජන විරෝධතා සංවිධානය කරන බව බන්ඩාර වාචාල ලෙස ප්‍රකාශ කලේ ය: “අපි මර්දනයට බය නැහැ. අපි සිවිල් බලවේග, ජනතාව, ග්‍රාමීය බලවේග සහ අනෙකුත් සියලු බලවේග සමඟ කොලඹට එනවා. අපි කියන්නේ, මේක ලේ වැගිරීමකින් අවසන් වීමට ඉඩ තියන්න එපා කියලා.”
දිසානායකගේ ආන්ඩුව දැනටමත් පාසංනි විරෝධතා ප්‍රචන්ඩ ලෙස මර්දනය කර ඇත. ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය (සීඑස්ඩීඕඒ) විසින් දෙසැම්බර් 2 වන දින කැඳවන ලද විරෝධතාවයකට පාසංනි ගුරුවරුන් 1,000 කට වැඩි පිරිසක් සහභාගී වූ විට, ආන්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූයේ සිය ගනනක් පොලිස් නිලධාරීන් යොදවමිනි. පොලිසිය විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහර දී හතර දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. පසුව තවත් තිදෙනෙක් ඔවුන්ගේ නිවෙස්වලදී අත්අඩංගුවට ගන්නා ලදහ. තවත් අයෙකුට තම බිරිඳ සහ පවුලේ සාමාජිකයන් බිය වැද්දවීම්වලට ලක් කෙරුනු නිසා පොලිසියට බාර වීමට බල කෙරුනි.
අත්අඩංගුවට ගත් අයට එරෙහි ව, නීති විරෝධී ලෙස රැස්වීම, රථවාහන ගමනාගමනයට බාධා කිරීම සහ පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම යන ව්‍යාජ චෝදනා එල්ල කර ඇත. ඔවුන් සියලු දෙනා ම දැන් ඇප මත නිදහස් කර ඇතත්, නීතිමය කටයුතු ඉදිරියට යන අතර, වරදකරුවන් වුවහොත්, ඔවුන්ට සිර දඬුවම් සහ/හෝ දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇත.
විරෝධතාවයට පසු දින, දෙසැම්බර් 2 වැනි දා, කැබිනට් රැස්වීමක් විසින් අගමැතිගේ නායකත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුවක් සහ “කාරනය සොයා බැලීමට” අමාත්‍යාංශ ලේකම්වරුන් සම්බන්ධ තවත් කමිටුවක් පත් කරන ලදී. එතැන් සිට මෙම කමිටු ගැන කිසිවක් අසන්නට නොලැබුනි.
මෙම සඳුදා පැවති විරෝධතාවයේදී, නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් 50 කට වැඩි පිරිසක් සහ සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි අංශ නිලධාරීන් දුසිමක් පමන යොදවා තිබුනි. විරෝධතාකරුවන් ගේ පෙලපාලිය ජනාධිපති ලේකම් කාර්යාලයට යාම පොලිසිය විසින් වලක්වන ලද අතර, නියෝජිතයින් 10 දෙනෙකුට පමනක් ඉදිරියට යාමට ඉඩ සලසනු ලැබුනි. මහජන සම්බන්ධීකරන අධ්‍යක්ෂවරයා ඔවුන් හමු වී, සති දෙකක් ඇතුලත ජනාධිපතිවරයා හෝ ඔහුගේ ලේකම්වරයා සමඟ රැස්වීමක් පවත්වන බවට නොපැහැදිලි පොරොන්දුවක් දුන්නේ ය.
සඳුදා පැවති විරෝධතාවයේ දී, ඒසීඑස්ඩීඕයූ නායක බන්ඩාර දෙසැම්බර් 2 වන දින පැවති විරෝධතාවයේදී පොලිස් ප්‍රචන්ඩත්වය හෝ පාසංනි ගොදුරු කර ගැනීම ගැන වචනයක්වත් කතා කලේ නැත. ජවිපෙ පාලනය කරන ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේසං), ලංකා ගුරු සංගමය සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ ඒකාබද්ධ ගුරු සේවා සංගමය ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති, පාසංනි ගේ ඉල්ලීම්වලට විරුද්ධ වී ඇති අතර ඒ ගැන නිහඬව සිටීමෙන් ආන්ඩුවේ දඩයමට සහාය දක්වා ඇත.
පාසල් ගුරුවරුන් සහ අනෙකුත් කම්කරුවන් පාසංනි ගුරුවරුන්ට එරෙහි ආන්ඩුවේ මෙම දඩයමට විරුද්ධ විය යුතු අතර රාජ්‍ය මර්දනය අවසන් කරන ලෙසත් සියලු චෝදනා ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටිය යුතු ය. පාසංනි ට එරෙහි ව භාවිතා කරන පොලිස්-රාජ්‍ය පියවර, ආන්ඩුව එහි දැඩි කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කරන විට භාවිතා කරනු ඇති මර්දනය පිලිබඳ කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් වූයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පූර්ව ආන්ඩුවේ ජාමූඅ කප්පාදු ඉල්ලීම් පැනවීම කෙරෙහි ඇති වූ මහජන කෝපය ගසාකමිනි. ජාමූඅ නය කොන්දේසි නැවත සාකච්ඡා කරන බවට මැතිවරන සමයේ දී පොරොන්දු වූ දිසානායක, පසුව, එහි කප්පාදු පියවර සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක කල යුතු බව ප්‍රකාශ කලේ ය.
අනුප්‍රාප්තික ආන්ඩු විසින් ඔවුන් රවටා ඇති බව පාසංනි, ලෝසවෙඅ වෙත පැවසූහ. ඔවුන් ජවිපෙ/ජාජබ ට ඡන්දය දුන්නේ එය ජනතාවගේ ගැටලු විසඳනු ඇතැයි යන අපේක්ෂාවෙන් නමුත්, එම බලාපොරොත්තු සුන් වී ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගුරුවරියක වන හේරත්, පාසංනි ගුරුවරුන්ගේ සහ අනෙකුත් සේවකයින්ගේ ගැටලු විසඳීමට තවත් කාලයක් අවශ්‍ය බවට ආන්ඩුව කරන ප්‍රකාශය හෙලා දුටුවාය. “මෙම ආන්ඩුව ජනතාවගේ ආන්ඩුවක් යැයි කියා ගත්තත්, එය පොදු ජනතාවගේ ගැටලු වලට සවන් දෙන බවක් පේන්නෙ නැහැ,” යැයි ඇය පැවසුවාය.
“මේ ආන්ඩුවට විරුද්ධ ව මුලින් ම විරෝධතා දැක්වූයේ අපි. අපට එහෙම කරන්න සිද්ධ වුනේ, පාසංනි 700 කට ආසන්න සංඛ්‍යාවක් වෙනත් අමාත්‍යාංශවලට මාරු කරන බවට ලිපි ලැබුනු නිසා. දෙසැම්බර් 2 වැනි දා පැවති විරෝධතාවයේ දී අපේ සගයින්ට එල්ල කරන ලද ප්‍රහාරයට සහ පොලිස් දඩයමට මම විරුද්ධයි. අගමැතිතුමිය පොරොන්දු වූ කමිටු කෝ?” යැයි ඇය වැඩිදුර ප්‍රකාශ කලා ය.
කුරුනෑගල දිස්ත්‍රික්කයේ පාසංනි ගුරුවරයෙක් මෙසේ පැවසී ය: “ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අඩුම තරමින් අඩක්වත් ක්‍රියාත්මක කලහොත් හොඳයි කියලා හිතලා මම මේ ආන්ඩුවට ඡන්දය දුන්නා. නමුත් ඒ [පොරොන්දු] කිසිවක් ඉටු වෙන්නේ නැහැ. අපිට ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැහැ. මම සවස් කාලයේ කුඹුරුවල වැඩ කරනවා මගේ පවුල නඩත්තු කරන්න. මට පාසල් යන වයසේ දරුවෙක් ඉන්නවා. මගේ බිරිඳට රැකියාවක් නැහැ.”
ඔහුගේ පාසලේ බොහෝ දරුවන් ආහාර නොමැතිකම නිසා ක්ලාන්ත වී පන්ති කාමරවල ඇද වැටෙන බවත්, ඔවුන්ගේ දෙමාපියන්ට තම දරුවන් රැකබලා ගැනීමට නොහැකි බවත් ඔහු පැවසී ය. “දෙමව්පියන්ගේ බලාපොරොත්තුව වන්නේ හැකි ඉක්මනින් තම දරුවන් රැකියාවකට යැවීමයි. සෑම විෂයකට ම ප්‍රමානවත් ගුරුවරුන් නැහැ. එවැනි ග්‍රාමීය පාසල්වල සේවය කරන ගුරුවරුන්ට කුඩා දීමනාවක් ලබා දෙනවා. නමුත් මම පාසල් සංවර්ධන නිලධාරියෙක් නිසා මට ඒ දීමනාව ලැබෙන්නේ නැහැ. මට ගමන් වියදම් සඳහා ම මසකට රුපියල් 8,000ක් වියදම් වෙනවා,” යැයි ඔහු පැහැදිලි කලේය.
ජනාධිපතිවරයාට සහ ආන්ඩුවට ආයාචනා කිරීම නිෂ්ඵල ය. ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීන්ට තම ඉල්ලීම් සඳහා සැබෑ අරගලයක් දියත් කිරීමට නම්, වෘත්තීය සමිති සහ සියලු ධනපති පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, අරගලය තමන්ගේ අතට ගැනීමට සිදුවේ.
පාසංනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු පියවර සහ ධනවාදයේ ගෝලීය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස නරක අතට හැරෙන ජීවන තත්වයන්ට මුහුන දෙන පාසල් ගුරුවරුන් සහ අනෙකුත් කම්කරු කොටස් වෙත හැරිය යුතුය. අවශ්‍ය වන්නේ, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ මහජන ව්‍යාපාරයකි.