මුලතිවුහි දෙමල තරුනයාගේ  මරනයට හමුදාව වගකිව යුතු බවට සැක කෙර්

පසුගිය සිකුරාදා සවස, උතුරු මුලතිව් දිස්ත්‍රික්කයේ මුතයාන්කට්ටු ගම්මානයේ වාරිමාර්ග ටැංකියක [ජලාශයක] පාවෙමින් තිබූ එදිර්මානසිංහම් කපිල්රාජ්ගේ මල සිරුර සොයා ගන්නා ලදි. 32 හැවිරිදි විවාහකයෙකු ද වන කපිල්රාජ්ගේ සිරුරේ තිබූ කැලැල් සහ තුවාල පෙන්නුම් කලේ, ඔහුට අමානුෂික ලෙස පහර දී ඇති බවයි.

එදිර්මානසිංහම් කපිල්රාජ් [Photo: Facebook]

ඔහුගේ ඥාතීන් සහ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු මාධ්‍යයට පැවසුවේ, මුතයාන්කට්ටු හි ශ්‍රී ලංකා හමුදාවේ 63 වන සේනාංක කඳවුරේ සොල්දාදුවන් ඔහු අල්ලාගෙන පහර දී ඇති බවයි.

උතුරු වන්නි ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ගම්මානය, 2009 දී බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව වසර 26 ක් තිස්සේ ගෙන ගිය වර්ගවාදී යුද්ධයේ අවසන් සටන්වලදී විනාශ විය. තාමත් එහි වාඩිලා ගෙන සිටින හමුදාව, මුතයාන්කට්ටු වැව අසබඩ විශාල හමුදා කඳවුරක් පවත්වා ගෙන යයි.

කඳවුරේ ඉඳහිට සේවය කල, එම සේවාවන් සඳහා ඇතැම් විට වැටුපක්ද ලැබූ තරුනයින් කිහිප දෙනෙකු අතරින් අයෙකි, කපිල්රාජ්.

වාර්තාවලට අනුව, කඩා ඉවත්කල ගොඩනැගිලි පරිශ්‍රයක් ශුද්ධ පවිත්‍රකොට ඒවායේ අබිලි යකඩ ඔවුන්ට ලබාගත හැකි බවට පොලඹවා ගෙන, සිකුරාදා සවස හමුදා සොල්දාදුවන් පිරිසක් ගමේ තරුනයින් පස් දෙනෙකු කඳවුරට  ගෙන්වා ගෙන තිබේ.

කඳවුරට ඇතුලත් වීමෙන් අනතුරුව, තරුනයින්ට සොරකම් චෝදනා කරමින්, ඔවුන් වටකරගත් සොල්දාදුවෝ  ලී සහ යකඩ පොලුවලින් ඔවුන්ට පහර දීමට පටන්ගෙන තිබේ. ඔවුන්ගෙන් හතර දෙනෙකු පැන යාමට සමත් වූහ.

තුවාල සහිත ව රෝහල් ගත කර සිටි එක් තරුනයෙක් මාධ්‍යයට මෙසේ පැවසීය: “ඔවුන් මාව අල්ලා ගෙන තිරිසන් විදියට ගැහුවා, යකඩ පොල්ලකින් මගේ පිටට පහර දුන්නා.  මගේ අත්වලට,  මුහුනට, නිකටට වගේම කකුල් වලටත් ගැහුවා.” ඔහු පලා යාමට සමත්වූ අයගෙන් අයෙකි.

තවත් සාක්ෂිකරුවෙකු පැවසුවේ, හමුදා සෙබලුන් කපිල්රාජ් අල්ලාගෙන දරුනු ලෙස පහර දෙන ආකාරය තමන් සියැසින් දුටු බවයි.

කපිල්රාජ් ආපසු නිවසට ආපසු නොආ තත්වය තුල, ගම්වැසියෝ රාත්‍රිය පුරා ම ඔහු සොයමින් නැවත හමුදා කඳවුරට ගියහ. එහිදී, එක් අයෙක් වැවට පැන ඇති බවත්, ඔහු එහි සිටීදැයි සොයන ලෙස කඳවුරේ අනදෙන නිලධාරියා විමර්ශකයන්ට යෝජනා කර ඇති බවත් වාර්තා වේ. කපිල්රාජ්ගේ මල සිරුර පසුදා මුතයියන්කට්ටු වැවේ තිබී සොයා ගැනිනි.

කපිල්රාජ්ගේ සහෝදරයා, සහෝදරිය සහ පියා මාධ්‍යයට පැවසුවේ, ඔහු විවාහයෙන් අනතුරුව පසුගිය වසර දෙකක කාලය තුල මුතයියන්කට්ටුහි ජීවත්වූ බවයි. ඔහුගේ නිවස තිබුනේ, හමුදා කඳවුර අසල ය. ඔහු සහ අනෙකුත් ගම්වැසියන් තම ජීවනෝපාය සඳහා මුතයියන්කට්ටු වැවේ මසුන් ඇල්ලීමට ගිය ඇතම් අවස්ථාවල යම් යම් ගැටලු - බෝට්ටු සහ ධීවර දැල් විනාශ කිරීම සහ විශේෂයෙන් බීමතින් සිටින විට අසභ්‍ය වචනයෙන් බැන අඬගැසීම යනාදිය- හමුදා සෙබලුන් විසින් සිදු කර තිබේ. 

සිකුරාදා සිදුවීම පවුලේ අය කිලෝමීටර් හයක් දුරින් පිහිටි ඔඩ්ඩුසුඩාන්හි පොලිස් ස්ථානයට වාර්තා කල නමුත් කිසිදු නිලධාරියෙකු පැමිනියේ නැති බවත්, මොනම පියවරක්වත් මේ සම්බන්ධයෙන් නොගත් බවත් කපිල්රාජ්ගේ සහෝදරයා කීවේ ය.  ඉන්පසු ඔවුන් සිදුවීම ගැන වවුනියාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ කාර්යාලයට දැනුම් දුන් අතර, රතුකුරුස සංවිධානය, එය පෙරලා කොලඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට ද දැනුම් දුන්නේ ය.

“පොලිසිය ආවේ ඊට පස්සේ. ගම්වැසියන් අපිට කිව්වා පොලිසිය මධ්‍යම රාත්‍රියේ වැවේ පතුලට කිමිදුනා කියලා,” වින්දිතයාගේ සහෝදරයා සඳහන් කලේ ය.

ප්‍රදේශවාසීන් හමුදා කඳවුරට පිටතින් එක් රැස්වීම ඇතුලු, සිද්ධිය සම්බන්ධයෙන් පලාතේ මහජන කෝපය ඉහල යමින් පැවැති තත්වය යටතේ, අවසානයේ දී පොලිසිය විසින් සොල්දාදුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනුනාහ. 

අගෝස්තු 11දා නිකුත් කරන ලද පොලිස් මාධ්‍ය ප්‍රකාශයක සඳහන් වූයේ,  තරුනයෙකුට පහරදීමේ චෝදනාව මත සොල්දාදුවෙකු අත්අඩංගුවට ගත් බවත්, පරිශ්‍රයෙන් පරන යකඩ සොරකම් කිරීමට පුද්ගලයන්ට උදව් කල බවට චෝදනා මත තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ය. පොලිස් ප්‍රකාශය, තරුනයාගේ මරනයට අදාල සිදුවීම, සොරකමට ප්‍රතිචාරයක් ලෙස හටගත් එකක් බව මවා පෙන්වීම සඳහා ගත් උත්සාහයක් ලෙස පෙනේ.

අගෝස්තු 9දා අත්අඩංගුවට ගත් සොල්දාදුවන් මුලතිව් අධිකරනයට ඉදිරිපත් කල විට, ඔවුන් අගෝස්තු 19දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය. කපිල්රාජ්ගේ පශ්චාත් මරන පරීක්ෂනය යාපනය ශික්ෂන රෝහලේ දී පවත්වන ලද අතර, එහිදී අධිකරන වෛද්‍ය නිලධාරියා විවෘත තීන්දුවක්--එනම් මරනයට හේතුව තීරනය කිරීම සඳහා වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බව තීන්දුව ලබා දුන්නේ ය.

විශේෂයෙන් දශක හතරකට ආසන්න කාලයක් මිලිටරිය අත්පත් කරගෙන සිටින උතුරු සහ නැගෙනහිර පලාත්වල එවන් ම්ලේච්ඡ ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන්,  ශ්‍රී ලංකා හමුදාව සහ පොලිසිය  කුප්‍රකට ය. වධහිංසා පැමිනවීම් සහ ඝාතන ඇතුලු තරුනයින් අත්අඩංගුවට ගැනීම් මෙම ප්‍රදේශවල නිතර වාර්තා වේ.

2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් වුව ද, හමුදා, නාවික සහ ගුවන් හමුදා භටයින් 100,000 කට අධික සංඛ්‍යාවක් තවමත් විශාල කඳවුරුවල රැඳී සිටින අතර, ජනයා, පොලිස් සහ හමුදා බුද්ධි අංශවල නිරන්තර විමර්ශනයට ලක් කෙරේ.

අතීතයේ දී මෙන්, කපිල්රාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුට නඩු පවරනු නොලැබේ යැයි ප්‍රදේශවාසීන්ට බියක් ඇත.

මෙම තරුනයාගේ මරනය සිදුවූයේ,  උතුරු පලාතේ අගනුවර වන යාපනයට ආසන්නයේ පිහිටි චෙම්මනිහි සමූහ මිනීවලක් මෙම වසර මුල දී සොයා ගැනීමෙන් පසුව, උතුරු හා නැගෙනහිර දෙමල ජනතාව අතර පමනක් නොව, රට පුරා සහ ජාත්‍යන්තර ව ද වර්ධනය වන කෝපය මධ්‍යයේ ය. කාන්තාවන්, ලමයින් සහ ලදරුවන්ගේ අස්ථි කොටස්  ඇතුලු ඇටසැකිලි සියයකට අධික ප්‍රමානයක්  සමූහ මිනීවලෙන් මේ වන විට සොයා ගෙන ඇත.

මේවා සිවිල් යුද්ධයේ දී වධහිංසා පමුනුවා මරා දැමූ -ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් 1996 දී යාපනයේ හමුදා මෙහෙයුම් අතරතුර “අතුරුදහන්” වූ- දෙමල සිවිල් වැසියන්ගේ දේහයන් යැයි විශ්වාස කෙරේ. උතුරු හා නැගෙනහිර පලාත්වල තවත් සමූහ මිනීවලවල් කිහිපයක් ද සොයාගෙන ඇත.

වැඩිවන කෝපය මධ්‍යයේ, ප්‍රධාන දෙමල ජාතිකවාදී පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), මෙම සිකුරාදා උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හර්තාලයක්  කැඳවා ඇති අතර, අනෙකුත් දෙමල පක්ෂ මෙම ක්‍රියාමාර්ගයට සහාය පල කර තිබේ.

අයිටීඒකේ සභාපති සී. සිවඥානම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන අයිටීඒකේ ලේකම් එම්. සුමන්තිරන්, ජනාධිපති දිසානායක වෙත ලිපියක් යවමින්, “බාධාවකින් තොර, බැරෑරුම් පරීක්ෂනයක් සහතික කරන ලෙසත්,  වැරදිකරුවන් නීතිය හමුවට පමුනුවන ලෙසත්” ඉල්ලා සිටියෝ ය.

“උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල අධික ලෙස හමුදාව බින්න බස්සවා තිබීමත්, ඔවුන්ගේ ප්‍රචන්ඩ හැසිරීමත්” ගැන සඳහන් කරමින්, ලිපිය, “ප්‍රමාදයකින් තොර ව අධිකතර ව හමුදාව රඳවා තිබීම ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස” දිසානායකගෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, හමුදාව “අධිකතර ව සිටීම” ඉවත් කිරීම සඳහා වන මෙම ඉල්ලීම නරුම ය. ශ්‍රී ලංකා හමුදාව මෙම පලාත්වල යොදවා ඇත්තේ,  රටේ දෙමල සුලුතරය මත ප්‍රජාතන්ත්‍ර විරෝධී, සිංහල-බහුතර ඒකීය රාජ්‍යයේ අධිකාරිය බලාත්කාරයෙන් පැටවීම සඳහා ය.

දශක ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට, විසම්මුතිය මර්දනය කිරීමට සහ ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමට වර්ගවාදී ප්‍රතිපත්ති උසිගැන්වූහ.

ඔවුන්ගේ පැත්තෙන්, අයිටීඒකේ ඇතුලු දෙමල පක්ෂ, දෙමල ජාතිකවාදය අවුලුවා ඇති අතර, එමඟින් කොලඹ භේදකාරී ප්‍රතිපත්තිවලට අනුබල දී ඇත; ඒ අතර ඔවුහු, ධනේශ්වර පාලනය බෙදා ගැනීමට සහ කම්කරු පන්තිය සූරාකෑමට උතුරු හා නැගෙනහිරට බලය බෙදා හැරීමක් බලාපොරොත්තු වෙති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, වාර්ගික යුද්ධයට සැමවිට ම විරුද්ධ සිටි අතර, උතුරු හා නැගෙනහිරින් ශ්‍රී ලංකා හමුදාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටනේ දී සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ ජාත්‍යන්තරවාදී එක්සත්කම සඳහා ද ඔවුහු කැඳවුම් කලහ. 

Loading