හොරන, පරගොඩ කිතුලගොඩ විද්‍යාලය වසා දැමීමේ සූදානමට එරෙහි ව ප්‍රදේශවාසීහු විරෝධතා දක්වති

ලමුන් අඩු පාසල් පවත්වා ගෙන යාම “සම්පත් අපතේ හැරීමක්” ලෙස අර්ථ දක්වමින්, එවන් පාසල් වසා දැමීමේ තීන්දුව 'අනිවාර්යයෙන්' ගන්නා බවට, ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසීමත් සමග, තම දරුවන් අධ්‍යාපනය ලබන කුඩා පාසල් වැසීයනු ඇතැයි යන උත්සුකය දහස් සංඛ්‍යාත දෙමාපියන් තුල වැඩී ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, ජූලි 27 වැනි දා, හොරන අධ්‍යාපන කලාපය‌ට අයත් පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ දෙමාපියන්, ආදි සිසුන් සහ ගම්වාසීන් ඇතුලු පිරිසක්, තම පාසල වසා නොදමන ලෙස ඉල්ලා, පරගොඩ පන්සල් හන්දිය අසල විරෝධතා දැක්වූහ. “පාසල් වැසීමේ අගමැති තුමියගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන හකුලා ගනු”, “විසඳුම වහන එක නොවෙයි ගොඩනගන එක”, “දරුවන්ගේ අධ්‍යාපනය අඳුරු නොකරන්න” යන සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු නිහඬ විරෝධතාවක යෙදී ගත්හ.

පරගොඬ කිතුලගොඩ කනිෂ්ට විද්‍යාලය පලමු වසර සිට සාමාන්‍ය පෙල දක්වා පන්ති පැවැත්වෙන පාසලක් වන අතර, මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු විධානයන් ක්‍රියාවට දැමීමේ දී වසා දැමීමට නියමිත ලමුන් පනහට අඩු පාසල් 1506 අතරින් එකකි.ප්‍රදේශයේ කම්කරු පීඩිතයන්ගේ දරුවන් පනහකට ආසන්න ප්‍රමානයක් එහි අධ්‍යාපනය හදාරති. ගුරු මන්ඩලය සහ කාර්ය මන්ඩලය දාහතකට ආසන්න වේ.

කිතුලගොඩ පරගොඩ විද්‍යාලයේ විදුහල්පති ඇතුලු ගුරු මන්ඩලය සහ ශිෂ්‍යයෝ පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම් වල නියැලෙමින්

මෙම විරෝධතාවය පාසල වැසීමට යන බවට ලැබුනු ආරංචියකට “කලබල වීමක්” ලෙස අර්ථ ගන්වමින්, ධනේශ්වර මාධ්‍යයන් සාවද්‍ය ප්‍රචාරයක් මුදා හලේ ය. දෙමාපියන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ උත්සුකය පදනම් විරහිත හුදු “කලබල වීමක්” නොව, ජනාධිපති දිසානායක විසින්ම කල ප්‍රකාශයකට දැක් වූ සාධාරන ප්‍රතිචාරයකි.

විරෝධතාවයට දින තුනකට පෙර ජනාධිපති දිසානායක යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරන පිලිබඳ ව පැවති පාර්ලිමේන්තු විවාදයේ දී “පාසල් පද්ධතිය පිලිබඳ ව නැවත සමාලෝචනය' කලයුතු බවත්, ලමුන් අඩු පාසල් 'වසා දැමිය යුතු” බවත් ප්‍රකාශ කලේ ය. කවර විරුද්ධත්වයක් මතු වූවද එම පාසල් වසා දැමීමට තම ආන්ඩුව අධිෂ්ඨානාත්මක ව කටයුතු කරන බව දිසානායක තවදුරටත් පැවසී ය.

“අධ්‍යාපන ප්‍රතිසංස්කරනයක” මුවාවෙන් ජාජබ ආන්ඩුව ක්‍රියාවට දැමීමට සූදානම් වන්නේ වෙලඳපොල ප්‍රතිපත්ති යටතේ නිදහස් අධ්‍යාපනයේ පූර්න පරිමාන කප්පාදුවකි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුල විදේශ ආයෝජනයන්ට ඇති බාධා ඉවත් කිරීම සහ රාජ්‍ය අධ්‍යාපනය ශ්‍රම වෙලඳපොල වෙත දිශාගත කිරීම මෙම ඊනියා ප්‍රතිසංස්කරනයේ යථා අරමුන යි.

මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට දැමෙන්නේ ග්‍රාමීය දුගී ජනයාගේ අධ්‍යාපන අයිතියට එරෙහි ව බව පරගොඩ කනිටු විදුහලේ තත්ත්වය මැනවින් නිදර්ශනය කරයි.

මෙම පාසල, බුලත් සිංහල නගරයේ සිට මොරවක මාර්ගයේ කිලෝමීටර් දහයක් පමන ගමන් කල විට හමුවන පරගොඩ පිහිටා ඇත. පරගොඩ ප්‍රදේශය, සබරගමුව පලාතට යාබද ව, කලු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගං නිම්නයේ පිහිටා ඇති අතර නිතර ජලගැලීමට ලක්වන ප්‍රදේශයකි. පාසල පිහිටා තිබෙන්නේ ජලයෙන් යට නොවන උස්බිමකය.

මීට වසර විස්සකට පෙර මෙම විදුහලේ ලමුන් සිය ගනනක් අධ්‍යාපනය ලැබූ අතර, එකල වොලිබෝල් එල්ලේ වැනි ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පහසුකම් ද පැවැතියේ ය. දශක හතරකට වැඩි කාලයක් පුරා බලයට පැමිනි ආන්ඩු අධ්‍යාපනයට කරන වියදම කපා හැරීම, වියදම දෙමාපියන් මත පැටවීම, ජීවන වියදම් ඉහල යද්දී ආදායම් පහල වැටී දෙමාපියන්ගේ ආර්ථික ශක්තිය එන්න එන්න ම දුබල වීම ආදී හේතු නිසා මෙම ගම්බද පාසල පරිහානියට පත් විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් මෙම විදුහලේ දෙමාපියන්, ආදි සිසුන් සමග සිදු කල සාකච්ඡාවල දී මෙම සමාජ යථාර්ථය වඩාත් පැහැදිලි ව ප්‍රකාශයට පත් විය.

දෙක වසරේ සහ හය වසරේ අධ්‍යාපනය ලබන දරු දෙදෙනෙකුගේ මවක සහ පාසලේ ආදි ශිෂ්‍යාවක වන සුජීවා ප්‍රියංගනී තම ලමුන් දෙදෙනා සමග ජීවිකාව සරිකර ගන්නේ අතුරුපස සෑදීමෙනි.

සුජීවා ප්‍රියංගනී - "මේ පාසල වැහුවොත් අපේ දරුවන්ට යන්න වෙන තැනක් නැහැ"

“පනහට අඩු පාසැල් වහනවා කිව්වට ආන්ඩුව දන්නේ නැහැ අපට තිබෙන ප්‍රශ්න, ගිය අවුරුද්දට දහඅට වතාවක් ගංවතුර ආවා. ඒ කාලෙට ඉස්කෝලේ යන්න බැහැ. මෙතන ඉඳන් ඇතුලට අලුත් කන්දට යනකං කිලෝමීටර් තුනයි දශම පහක් විතර දුරක් මඟ ගෙවාගෙන ලමයි මේ පාසලට එනවා. සමහර ලමයි පාසලට එන්න පිටත් වෙන්නේ උදේ පහයි තිහට විතර. අලුත් කන්දේ ඉඳන් එන ලමයින්ට වතුර කඩිති කිහිපයක් පහු කරගෙන දුෂ්කර ගමනක පාසල් එන්න සිද්ධ වෙනවා. ලමයි පාසලට දමලා අම්මලා රැකියා වලට යන්නත් සිදුවෙනවා.”

ප්‍රදේශයේ ජීවත්වන්නේ, තේ දලු කැඩීම රබර් කිරි කැපීම වැනි සම්ප්‍රදායික කර්මාන්ත මෙන්ම රබර් නිෂ්පාදන සහ ආහාර නිෂ්පාදන කර්මාන්ත වැනි අලුතින් නිර්මානය වූ කර්මාන්තවල සේවයේ නිරත පරිපීඩිත කම්කරුවන් ය.

බහුතරය කෘෂිකාර්මික කම්කරුවන් වන දෙමවුපියන්ට නගරයේ පාසලක දී දැරිය යුතු අධික අධ්‍යාපන වියදම් දැරීම අතිශය දුෂ්කර බව ද නගරයේ පාසලකට ගිය විට ඇඳුම්, කෑම බීම සහ අධ්‍යාපන වියදම් අතින් ලමුන් සහ දෙමාපියන් අසරන වෙන බව ද ඇය ප්‍රකාශ කලාය. පාසල් ශිෂ්‍යාවක සිටි සමයේ තමන් පරගොඩ පාසලේ විවාද කන්ඩායම ද නියෝජනය කල බව පැවසූ ඇය තමන් සාමාන්‍ය පෙල සමත් වූවත් ආර්ථික දුෂ්කරතා නිසා උසස් පෙල හැදෑරීමට නගරයේ පාසලකට ඇතුලු වීමට නොහැකි වූ බව කනගාටුවෙන් සඳහන් කලා ය.

නගරයේ පාසල්වල පවතින අධික තදබදය නිසා ගුරුවරුන්ට අධ්‍යාපන කටයුතුවල දී විශේෂ සහායක් අවශ්‍ය සිසුන්ට නිසි අවධානය යොමු කරලීම ද අපහසු ව ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් උපකාරක පන්ති ක්ෂේත්‍රයක් වර්ධනය වී ඇති අතර අඩු ආදායම්ලාභීන්ට මෙම ඉහල පන්ති ගාස්තු ද දැරිය නොහැකි ය. පරගොඩ පාසලේ ගුරු මන්ඩලය ප්‍රදේශයේ ආර්ථික තත්ත්වය ගැන ද වැටහීමකින් සිසුන් කෙරෙහි තම උපරිම අවධානය ලබා දෙන බව ප්‍රියංගනී සඳහන් කලා ය. ගංවතුර කාලෙට පාසලට අතපසු වූ දින වෙනුවට හවස පන්ති පැවත් වීම සහ ලමුන්ට අවශ්‍ය පොතපත සපත්තු සහ ඇඳුම් පැලඳුම් සපයා දීමට එම ගුරුවරුන් උනන්දු වන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලාය.

“විදුහල්පතිතුමා සහ ගුරු මන්ඩලය සමඟ අපේ තත්ත්වය සාකච්ඡා කරන්න පුලුවන්. නගරයේ පාසලක තදබදය වැඩියි. දක්ෂ ලමයි ටිකක් ඇදගෙන යාමයි ඒවායෙ සිදුවන්නේ. අපේ ලමයි නිකන්ම කොන් වෙයි. මං ඉස්කෝලේ යන කාලේ මේ ඉස්කෝලේ ලමයි 417 ක් හිටියා. පාසලේ පහසුකම් අඩුකිරීම නිසයි සංඛ්‍යාව අඩු වෙලා තිබෙන්නේ. මගේ ලමයා සංගීතයට දක්ෂයි. එහෙත් මේ ඉස්කෝලෙ සංගීත ගුරුවරයෙක් නැහැ. ඒ නිසා ඇයට අකමැත්තෙන් හෝ නැටුම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ක්‍රීඩා ගුරුවරයෙක් නැහැ. පරිගනක විද්‍යාගාරයක් පැවතුනත් අන්තර්ජාල පහසුකම් නැහැ.'

පරගොඩ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙල දක්වා අධ්‍යාපනය හදාරා දැනට බුලත්සිංහල පාසලක උසස් පෙල සඳහා ඇතුලත් වූ සිසුවෙකු වන රුවින් තාරක ප්‍රකාශ කොට සිටියේ පාසැල කෙසේ හෝ රැකගතයුතු බවයි.

“මේ පාසැල නැත්නම් මට අධ්‍යාපනය හදාරන්න වෙන්නේ නැහැ. මගේ අම්මට සියලු වියදම් බලාගන්න වෙලා තිබෙන්නේ තනියම. ඇය හදවත් රෝගියෙක්. ඇය කම්කරුවෙකු ලෙස ප්‍රදේශයේ විශාල බේකරි සංකීර්නයක වැඩ කරනවා. මසකට ලැබෙන රුපියල් හතලිස්දාහක පමන මුදලින් ඇගේ හදවත් රෝගයට බෙහෙත් සහ අනෙකුත් වියදම් දරා ගෙන මගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්නෙත් ඉතාම අමාරුවෙන්.” යැයි ඔහු ප්‍රකාශ කලේය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන සහ ශිෂ්‍ය අංශය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවට එරෙහි විරෝධය ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයක් තුල සංවිධානය කර ගෙන පෙරට ගත යුතු යැයි කැඳවුම් කර සිටී.

වෙලඳපොල අවශ්‍යතාවලට සේවය කරන ආන්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන ප්‍රතික්ෂේප කරනු! සැමට නොමිලේ, ගුනාත්මක රාජ්‍ය අධ්‍යාපනයක් සඳහා! යන සසප/සසජාතශි ප්‍රකාශය කියවා නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීමට ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පෙරට එන මෙන් සසප/සසජාතශි සිසුන්ගෙන් දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියි.

Loading