[මෙය, The death of autoworker Ronald Adams Sr. and the law of capitalist profit යන මැයෙන් 2025 අගෝස්තු 5දා පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනය යි.]
ස්ටෙලැන්ටිස් කම්කරු ජ්‍යෙෂ්ඨ රොනල්ඩ් ඇඩම්ස්ගේ මරනය සම්බන්ධයෙන්, ජූලි 27දා පැවැති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ ප්‍රසිද්ධ කම්කරු පරීක්ෂනය අවසානයේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති සහ සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකා එක්සත් ජනපදය) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මෙම අදහස් දැක්වීම සිදුකලේ ය.
නිපුන කාර්මික ශිල්පියෙකුවූ 63 හැවිරිදි රොනල්ඩ් ඇඩම්ස්, අප්‍රේල් 7දා ඔහු සේවයේ නිරතවූ මිචිගන්හි ඩුන්ඩී එංජින් සංකීර්නයේ හිසට ඉහලින් තිබූ දොඹකර මැස්සක් කඩාවැටී, තැලී මරනයට පත්විය. එක්සත් මොටර් රථ කම්කරු වෘත්තීය සමිතියවත්, මිචිගන්හි සේවස්ථාන ආරක්ෂනය හා සෞඛ්‍ය දෙපාර්ත මේන්තුව (මියෝෂා)වත් මෙය සිදුවූ ආකාරය පිලිබඳ මේ දක්වාමත් කරුනු පැහැදිලි කර නැත.
මෙම ස්වාධීන කම්කරු පරීක්ෂනයට කම්කරුවන්, තරුනයින් සහ අසල්වැසියන්, හිතවතුන් 100 ක් පමන සහභාගී විය. හඳුන්වාදීම, රොනල්ඩ් ඇඩම්ස්ගේ වැන්දඹුව වන ෂමේනියා ස්ටුවර්ට්-ඇඩම්ස් විසින් සිදුකෙරුනු අතර, මැක් ට්‍රක්ස් කම්කරුවෙකු සහ කක්‍රික-ජාස සාමාජිකයෙකු වන විල් ලෙහ්මන්, ලෝක සමාජවාදී වෙබ් අඩවි කම්කරු වාර්තාකරු ජෙරී වයිට් සහ අනෙකුත් මෝටර් රථ කම්කරුවෝ සහ සාමාන්‍ය සේවකයෝ බලගතු වාර්තා ඉදිරිපත් කලහ.
ස්වාධීන කම්කරු විමර්ශනය දිගට ම කර ගෙන යාමට සහ පුලුල් කිරීමට, සාමාන්‍ය කම්කරුවන්ගේ ආරක්ෂක කමිටු පිහිටුවීමට සහ කම්කරුවන්ගේ ජීවිත සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමට රැස්වීම ඒකමතිකව යෝජනාවක් සම්මත කලේ ය.
විමර්ශනයට සම්බන්ධ වීමට හෝ සේවා ස්ථානයේ සිදුවන මරන සහ අනතුරු පිලිබඳ තොරතුරු වාර්තා කිරීමට, මෙම පිටුවේ පහලින් ඇති පෝරමය පුරවන්න.
***
සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන්, රොනල්ඩ් ඇඩම්ස්ගේ පවුලට අපගේ ශෝකය ප්‍රකාශ කරන අතර ම, ඔබව සාදරයෙන් පිලිගැනීමට කැමැත්තෙමි. අද මෙහි කතා කිරීමේ දී ෂමේනියා (රොනල්ඩ් ඇඩම්ස්ගේ බිරිඳ) පල කල අදහස් සහ ධෛර්යය අපි බෙහෙවින් අගය කරන්නෙමු.
මෙය, ඔබට සහ ඔබේ පවුලේ අයට දරාගත නොහැකි අත්දැකීමක්. ඔබ අත්විඳ ඇත්තේ පිරිමැසිය නොහැකි පාඩුවක්. මෙම යථාර්ථය ලඝුකොට දැක්විය හැකි කිසිවක් ඇත්තේ නෑ. නමුත් මම හිතනවා, ඔබේ අත්දැකීම හුදකලා එකක් නොවන බව මෙම සාකච්ඡාව අතරතුර ඔබට පැහැදිලි වුනා කියලා. ඔබ අත්විඳි දේ සමග, ලෝකය පුරාම වැඩකරන ජනයාට අනන්‍යවී ගත හැකියි.
සංඛ්‍යාලේඛන මත පදනම්වී ගනිමින්, අපට නිශ්චිතව සඳහන් කල හැකි යථාර්ථය වන්නේ, අප මෙහි රැස් ව සිටි පසුගිය පැය දෙක තුල පවා, ලොව පුරා කම්කරුවන් සියගනනක්, නැතිනම් දහස් ගනනක් අනතුරු වලට මුහුන දී ඇති අතර බොහෝ දෙනෙක් මරනයට පත්ව ඇත යන්නයි.
ශෝක ප්‍රකාශ කිරීමෙන් මෙය අවසන් නොවන බව අපි දනිමු. විශේෂයෙන්ම වෘත්තීය සමිති සංවිධානවල කම්කරුවන්ගේ ඉරනම සම්බන්ධයෙන් වගකියන්නේ යැයි කියා ගන්නා උදවිය, මෙය නැවැත්වීමට කිසිවක් නොකරන බව අප දනිමු.
මීට වසර 52 කට පමන පෙර, ප්‍රධාන කර්මාන්තවල කම්කරු පන්තියේ අරගල වාර්තා කිරීමට, මම ඔහායෝ වෙත ගියෙමි. එය, සාමාන්‍ය කම්කරුවන් දැවැන්ත සටන්කාමීත්වයක් පෙන්නුම් කල කාල පරිච්ඡේදයක්. වානේ නිෂ්පාදන මධ්‍යස්ථානයක්වූ ඔහායෝහි ලොරේන් හි මා සිටිය දී, ලොරේන්හි නැෂනල් ටියුබ් කම්හලේ, රික් හර්ට්සිග් නම් තරුන සේවකයෙකුගේ මරනය පිලිබඳව ප්‍රාදේශීය පුවත්පතක පලව තිබූ ඉතා කුඩා දැන්වීමක් මට හමු වුනා.
හර්ට්සිග් මිය ගියේ ද රොනල්ඩ් ඇඩම්ස් ගේ මරනයට හේතු වූ සිදුවීමට බොහෝ සෙයින් සමාන සිදුවීමකින්; වෙනසක් ඇත්නම්, ඒ, රික් අද්දැකීම් ඉතා අඩු කම්කරුවෙකු වීමත්, රොනල්ඩ් ඉතා පලපුරුදු අයෙකු වීමත් පමනයි. දැවැන්ත උපකරනයක කොටසක් මෙම තරුන කම්කරු හර්ට්සිග් මත පතිත වීමෙන් ඔහු ක්ෂනික ව මරනයට පත්ව තිබුනා. ඔහුට වයස අවුරුදු 20 ක් වූවා පමනයි. ඔහුගේ මරනයෙන් වසරක් වියැති බිලිඳෙකු, තරුන වැන්දඹුවක සමග පවුලක් අන්ත අසරනභාවයට පත්කෙරුනා.
දැන්, එයින් වසර 52 කට පසු ද අපි සෑම දිනක් පාසා ම ඒ දේවල්ම අත්දකිමින් සිටින්නෙමු.
ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම විද්‍යාත්මක විප්ලවය, එනම් තාක්ෂනයේ දැවැන්ත දියුනුව මධ්‍යයේ අපි ජීවත් වන මුත්, කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා වඩාත්ම මූලික පූර්වාරක්ෂක පියවරයන්වත් ගෙන නොමැත. කම්කරුවෙකු විසින් සෑම දිනක ම කල යුතු භයානක ම දෙය නම් රැකියාවට යාමයි. දවස අවසානයේ දී, කර්මාන්ත ශාලාවේ හෝ රැකියා ස්ථානයේ සිදු වූ භයානක දෙයක් පිලිබඳ විනාශකාරී ආරංචියක් හදිසියේ ම නොලැබෙන බවට කිසිදු පවුලකට සහතික විය නොහැක.
මෙතෙක් අප කතා කලේ කාර්මික අනතුරු ගැන පමනයි. කර්මාන්තශාලා තුල, සේවා ස්ථානවල, අසල්වැසි ප්‍රදේශවල දිනපතා සිදුවන විෂ වීම් ගැන අපි කතා නොකරන්නෙමු. ගෝලීය උනුසුම සහ පරිසර විනාශය පිලිබඳ ගැටලුව ගැන අප කතා කලේ නැත.
“හදිසි අනතුරු” යන යෙදුම බොහෝ විට භාවිතා වේ, නමුත් එම වචනය ප්‍රමානවත් ද? අප සූදානම් වන්නේ දේවල් වෙනස් කිරීමට නම්, “අනතුරු” ලෙස හඳුන්වන දේට හේතුව තේරුම් ගැනීමට පටන් ගත යුතු අතර, මෙම අනතුරු තුල ක්‍රියාත්මක වන නීති නියාමයන් පවතින බව හඳුනා ගත යුතුය.
ඔබ කාමරය හරහා ඇවිද යන විට පය පැකිලී වැටුනහොත් එය හදිසි අනතුරක් විය හැකි ය. දිනෙන් දින, පැයෙන් පැය, මිනිත්තුවෙන් මිනිත්තුව, තත්පරයෙන් තත්පරයට නිතිපතා සිදුවන හදිසි අනතුරු සහ මරන, අති දැවැන්ත පරිමානයෙන් අප අත්විඳින විට—මේවා තවදුරටත් වචනයේ සාම්ප්‍රදායික අර්ථයෙන් හුදු හදිසි අනතුරු නොවේ; අනිවාර්යතාවකි.
මෙම ඛේදවාචක, අප ජීවත්වන පද්ධතිය සංවිධානය වී ඇති අකාරයේ නිෂ්පාදනයයි; එය හුදෙක් මේ රටට සීමා වූවක් නොව, ලෝකයේ සෑම ප්‍රදේශයකම තත්වය මෙයයි. අපගේ සමාජ ජීවිතය, අපගේ ආර්ථික ජීවිතය, මෙම ව්‍යසනයන් නොකඩවා සිදුවන ආකාරයට සංවිධානය වී ඇති අතර, ඒවා ඇති කරන ක්‍රමයට අවසාන තිත තැබීමේ මාර්ගයක් සොයා ගන්නා තෙක් ඒවා දිගට ම පවතිනු ඇත.
කුමක්ද මේ පද්ධතිය? මෙම සමාජ සංවිධානය කුමක්ද? එය, ධනේශ්වර ක්‍රමය යි. මේ සියලු ධනය පැමිනෙන්නේ කොහින් ද? අතලොස්සක් දෙනාගේ සාක්කුවල ඇති ඩොලර් ට්‍රිලියන ගනනක මුදල් පැමිනෙන්නේ කොහින් ද? ධනය හටගන්නේ, මිනිසුන්ගේ ශ්‍රමය, එනම් ශ්‍රම ශක්තිය ලෙස හඳුන්වන දේ, එනම්, ධනපතියන් වැටුප්වල රූපාකාරයෙන් කම්කරුවන්ගෙන් මිලදී ගන්නා දේ විපරිනාමය වීමෙනි.
පද්ධතියේ සමස්ත ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ මිනිස් ශ්‍රමය, ලාභය බවට, එනම්, මාක්ස් අතිරික්ත වටිනාකම ලෙස හැඳින්වූ දෙය බවට පරිවර්තනය කිරීම මත ය. ඔවුන් කම්කරුවන් සේවයේ යොදවන විට, ධනපතියන් උනන්දු වන්නේ එක් දෙයක් ගැන පමනි: මෙම කම්කරුවාට, ඔවුන්ගේ ධනයට තව කොපමන ධනයක් එකතු කල හැකි ද? යන්ත්‍ර කිසිදු මුදලක් නිෂ්පාදනය කරන්නේ නැත. ඒවා ධාවනයේ යෙදවිය යුතුය. එම යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ ද, මෙම සමස්ත පද්ධතියම ක්‍රියාත්මක කරන්නේ ද, නිෂ්පාදන ක්‍රියාවලියට එක් හෝ තවත් ආකාරයකින් වටිනාකමක් එකතු කරන්නේ ද කම්කරුවන්ගේ ශ්‍රමයයි.
ධනේශ්වර පන්තියේ දෘෂ්ටි කෝනයෙන් බලන කල, සියල්ල රඳා පවතින්නේ, ශ්‍රමය, අතිරික්ත වටිනාකම සහ ලාභය බවට පරිවර්තනය වීම මත ය. එය සාක්ෂාත් කර ගැනීම සඳහා, ඉහලම මට්ටමින් සූරාකෑම සහතික කිරීමට සෑම පියවරක්ම ගනු ඇත.
මෙම ඛේදවාචකයන් නිෂ්පාදනය කරන පද්ධතියම, කම්කරුවන්ගේ ශ්‍රමය තුලින් වටිනාකම සහ ලාභය උකහා ගන්නා, සංගතවල හිමිකාරිත්වය දරන තවත් පන්තියක අවශ්‍යතාවන් විසින් මෙහෙයවන පද්ධතියක්ය යන්න, අප තේරුම් ගත යුතු ය. ඊට ප්‍රතිචාර වශයෙන්, අපි කම්කරු පන්තිය අතර ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය. සියල්ලටම පෙරාතුව, කම්කරුවන් මෙම ක්‍රමය පිලිබඳව දැනුවත් වීම අවශ්‍යය යි: මෙම අවබෝධයේ පදනම මත, සේවා ස්ථානවල වැඩබිම්වල සිටින සාමාන්‍ය කම්කරුවන් අතට බලය මාරුකරන, වැඩ කරන ජනතාවගේ පුලුල් කොටසක අවශ්‍යතා උදෙසා සමාජයේ සංවිධානය පාලනය කරන ජාත්‍යන්තර පරිමානයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් අවශ්‍ය යි.
කාරනය කෙලින්ම කීමට අපට ඉඩ දෙන්න: අප ජීවත් වන්නේ, සෑම දිනකම—කාර්මික මරන, පරිසර දූෂනය හේතුකොටගෙන සිදුවන විෂ වීම්, දැන් අප පලස්තීනය තුල දකින ආකාරයේ සමස්ත ජනගහනය ම සමූල ඝාතනය කිරීම, යුද්ධයට සූදානම් වීම සඳහා ට්‍රිලියන ගනන් වියදම් කරන යනාදී—කිව නොහැකි තරමේ භීෂනයන් අත්දකින ලෝකයක ය. අපට වැඩ කරමින් සිටින්නේ එබඳු ක්‍රමයක් යටතේ ය.
මෙම ක්‍රමය වෙනස් කිරීමට නම්, ඒ සඳහා කම්කරු පන්තියේ මැදිහත්වීම සහ මහජන සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ සටන අවශ්‍ය වේ.
මෙම රැස්වීම සංවිධානය කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂය සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාකස) විසිනි. මෙම අරගලය ඉදිරියට ගෙනයා යමින් සංවිධානය කල යුතුය, එය ඉදිරිදර්ශනයකින් මග පෙන්වන නිසා මෙම සටන ඉදිරියට අඛන්ඩව ගෙනයනු ඇත. මෙම ගැටලුව විසඳීමට අපි පාලක පන්තිය දෙස බලා නොසිටිමු, එයට එය විසඳිය නොහැක. එය එසේ හිතුවත්, එහි එහි ක්‍රියාවන් තීරනය කරනු ලබන්නේ, එහි ආර්ථික පද්ධතියේ මෙහෙයුම විසිනි.
අද අප ඔබ ඉදිරියේ තබන පනිවිඩය නම්, මෙම සටන කර්මාන්තශාලා තුලට, සේවා ස්ථාන තුලට ගෙන යාම තීරනාත්මක බවයි; එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර ව කම්කරු පන්ති අරගලයේ බලගතු මෙවලමක් ලෙස කක්‍රික-ජාකස ගොඩනැගීමේ වැදගත්කමයි; තවද, මෙම සටන අප ජීවත් වන දේශපාලන හා සමාජ ක්‍රමයේ ස්වභාවය වෙනස් කිරීමේ අරගලයකට සම්බන්ධ කිරීමේ තීරනාත්මක වැදගත්කම යි.
ඔබට ධනවාදය සමඟ කම්කරු පන්තියේ අවශ්‍යතා ගලප්පාලිය නොහැකි ය. මෙම සමාජ ගැටලුවලින් ඕනෑ ම එකක් විසඳීමට නම්, ඒ සඳහා සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වනු ඇත. එම සත්‍යයෙන් ගැලවී යාමේ හැකියාවක් ඇත්තේ නැත.
මූලධර්මාත්කව ගත් කල, සමාජවාදය යන්නෙන් අදහස් කෙරෙන්නේ, කම්කරු පන්තිය අතට බලය මාරුකිරීම සහ පුලුල් මහජනතාවගේ අවශ්‍යතා මත පදනම්ව සමාජය ප්‍රතිසංවිධානය කිරීම යි.
මම ෂමේනියා දෙස, ඔබේ දරුවන් සහ මුනුබුරන් දෙස බලමි. ඔබ හැදී වැඩෙන ලෝකය, එවැනි භීෂන කිසිදා සිදු නොවන ලෝකයක් බවට සහතික කිරීමට අපට අවසර දෙන්න. ඔබ වැඩිහිටියන් වූ විට, ඔබේ සීයාට සහ ඔබේ පියාට සිදු වූ දේ ගැන කතා කරන විට, කම්කරු පන්තිය ඉදිරියට පැමින, සිදුවෙමින් පවතින දේ තේරුම් ගැනීමට, ලෝකය වෙනස් කිරීමට සහ එය ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කිරීමට පෙර, අතීතයේ දවස්වල සිදු වූවක් බව ඔබ පවසනු ඇත. අප සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ එයයි. මෙම ව්‍යාපාරයට සම්බන්ධවී එය ගොඩනැගීමට සහයෝගය දෙන්න.