පලස්තීන ජන සංහාරයට එරෙහිව “නිදහස් පලස්තීනයක් උදෙසා  ශ්‍රී ලාංකික සාමුහිකයේ” උද්ඝෝෂනය ගැන

ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යයවාදී බලයන්ගේ සහයෙන් ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහුගේ ෆැසිස්ට් තන්ත්‍රය පලස්තීන ජනතාව සංහාරය කිරීමට විරුද්ධව, “නිදහස් පලස්තීනයක් උදෙසා ලාංකීක සාමුහිකය” සංවිධානය කල  පිකටින් උද්ඝෝෂනයක්, පෙලපාලියක් සහ මහජන රැලියක් කොලඹ බොරැල්ල නගරයේ පැවැත්වුනි.

බොරැල්ල කනත්ත වටරවුමේ පවත්වන ලද, එම පිකටින් උද්ඝෝෂනයට 1500ක් පමන සහභාගී වූ අතර, අවසානයේ කැම්බල් පිටියේ දී පැවැත් වූ රැස්වීමට 3000ක් පමන ජනයා සහභාගී වුහ.  

“දැන් ඇති කියන්න එකතු වෙන්න”, “නිහඩතාව බිඳිමු”, “ගාසාවට බෝම්බ දැමීම නතර කරනු”, “ඝාතන සදහා දෙන සහය නතර කරමු”, “ලදරු ඝාතනයන් අපේ රටට අවශ්‍ය නොවේ”, “ඊශ්‍රායල වර්න භේදවාදී පාලනය අවසන් කරන්න”, “පලස්තීනයට විමුක්තිය” යන සටන් පාඨ සහිත පුවරු සහ පලස්තීන ධජයන් පිකටින් උද්ඝෝෂනයේ දී ප්‍රදර්ශනය කෙරින. රැස්වීමේ සංවිධායකයන් පවසා තිබුනේ, ගාසාහි ඊශ්‍රායලය ගෙන යන සංහාරයට එරෙහිව ලංකාවේ පෙර පැවති උද්ඝෝෂනවලට සාපේක්ෂව වැඩි පිරිසක් මෙවර විරෝධතාවට සහභාගී වූ බවයි. 

කෙසේ වෙතත්, අවධාරනය කල යුතු කරුනක් තිබේ. එනම්, අගෝස්තු 16දා පැවති උද්ඝෝෂනයට සහභාගි වූ සාමාන්‍ය ජනයා, ලදරුවන්, ලමුන්, ගැබිනි මවුන්, වයස්ගත පුද්ගලයන් ඇතුලු පලස්තීනුවන් දිනපතා අමුඅමුවේ ඝාතනය කිරීමේ මහා අපරාධයන් ගැන අවංකවම කෝපයට පත්වූවන් බවට කිසිදු සැකයක් නැත. ඔවුන්ට මෙම ලේ වැගිරීම්, හාමතට, ලෙඩ රෝගවලට ගොදුරු කිරීම් වහා නතර කිරීමට උවමනාව පැවති බවට ද සැක නැත. 

එහෙත්, රැස්වීමට කථිකයන් ලෙස සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) නායකයන් නිර්ලජ්ජිතව එම අවස්ථාව යොදාගත්තේ, ගාසා සංහාරයට විරුද්ධ නොවීමේ ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්තිය යුක්තියුක්ත කිරීමට යි. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) කථිකයා වූ, එම පක්ෂයේ ප්‍රමුඛ නායකයෙකු ද වන නුවන් බෝපගේ, ආන්ඩුව ආරක්ෂා කිරීමට සිය කතාව යොදා ගත්තේ ය.  

මෙම රැලියේ ප්‍රධාන කතාව ඉදිරිපත් කලේ, නියෝජ්‍ය කතානායක, ජවිපෙ/ජාජබ මන්ත්‍රී රිස්වි සාලි විසිනි. ඊශ්‍රායල් හමුදාව ගෙනයන ම්ලේච්ඡ ප්‍රහාරයන් මධ්‍යයේ දරුවන්ට දෙමව්පියන්ට එකිනෙකා අහිමි කරමින්, පලස්තීන ජනතාවට කුසගින්න, පීඩනය, දරිද්‍රතාවය සහ මරනය පමනක් උරුමකර දී ඇති බව ඔහු විස්තර කලේය.  'ජනසංහාරයට විරුද්ධ වන ලෙස මුලු ලෝකයේ ම  ජනතාවගෙන් ඉල්ලා සිටින,' බව සාලි සඳහන් කලේය. ඔහු ලෝකයට ම කතා කල  නමුත්, පලස්තීන ජනඝාතන නතර කරන ලෙස තම ආන්ඩුව කෙලින්ම ප්‍රකාශ නොකිරීම ගැන කට පියාගෙන සිටියේ ය. 

ජවිපෙ ප්‍රමුඛයෙකු වන නජිත් ඉන්දික, පලස්තීන-ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපාරයේ උප සභාපති ද වේ. එහි සභාපති, ඇමති බිමල් රත්නායක යි. රැලිය ඇමතු ඉන්දික,  උද්ඝෝෂනය මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන සටනක් ලෙස හදුන්වා දී තම ව්‍යාපාරය වසර පනහක් තිස්සේ මෙම සටන වෙනුවෙන් නායකත්වය දුන් බව ද ප්‍රකාශ කලේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක ආන්ඩුව ගෙන යන, ඊශ්‍රායලයට හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට ගැති, බියගුලු පිලිවෙත ගැන රැස්වීමට සහභාගී වූ අය අතර විරුද්ධත්වයක් පවතින බව දැනගත් ඉන්දික මෙසේ කිවේය: “ගිය සතියේ කැනඩාව පලස්තීනය වෙනුවෙන් පෙනී සිටියා කියල ඇමරිකාව සියයට 15ක අතිරේක තීරුබදු පැනෙව්වා. ලංකාවේ ආර්ථිකය තියෙන්නේ හෙල්ලි, හෙල්ලි. අපි පලස්තීන ජනතාවගේ කුසගින්න [අවසන් කිරීම] වෙනුවෙන් පෙනී ඉන්නවා, ඒ වෙනූවෙන් සටන් කරනවා, හැබැයි මේ රටේ මිනිස්සු කුසගින්නට ඇදලා දාන තීරන අපට ගන්න බැහැ. අපි ඒ දෙකම වෙනුවෙන් පෙනීසිටිනවා.”

ඉන්දිකගේ ආන්ඩුව මේ දෙකම එකට කර ඇත්තේ, නිවට ලෙස  ඇමරිකාව හා ඊශ්‍රායලය ඉදිරියේ දනින් වැටී  සිටින අතර පලස්තීන ජනයා ගැන අනුකම්පාව දක්වන ලෙස ඝාතන සිදුකරන අපරාධකරුවන්ට ම යාඥා කිරීමෙනි.  “මේ රටේ මිනිස්සු කුසගින්නේ තබා අන් රටවල ජනයාගේ කුසගින්න නිවීමට”, දිසානායක ආන්ඩුව සුදානම් නැතිබව ඉන්දික කියයි. එහෙත් ඔහුගේ ආන්ඩුව ජාමුඅ නියෝග පරිදි කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසි තලා දමන යුද්ධයක් ඉදිරියට ගෙනයමින්,  රටේ අඩකටත් වැඩි ජනකායක් කුසගින්නේ හා බාගෙට කුසගින්නේ තබා ඇත.  

කැනඩාව පලස්තීනය වෙනුවෙන් පෙනී සිටීමක් ගැන ඉන්දික කියන්නේ පචයකි. කැනඩාව එක දිගට ම නෙතන්‍යාහු තන්ත්‍රයේ ජන-විශුද්ධිකරනයට සහායදෙමින් යුද ආයුධ සැපයූ රටකි. මෑතදී එරට නව අගමැති මාර්ක් කාර්නි, රට තුල ජනයා අතර පවතින ඊශ්‍රායල ජනඝාතනයට විරෝධය යටපත් කිරීම සඳහා දරන ප්‍රයත්නයක් ලෙස, සැප්තැම්බරයේ එජා සංවිධාන රැස්වීමේදී පලස්තීනය පිලිගැනීමක් සිදු කරන බව ප්‍රකාශ කලේ ය. බ්‍රිතාන්‍යයේ, ඕස්ට්‍රලියාවේ හා ප්‍රංශයේ රාජ්‍ය නායකයන් ද එවැනිම ප්‍රකාශ කර තිබේ. 

එසේ සහාය දෙන්නේ, පලස්තීනයේ 2026 චන්දයක් පවත්වනවිට හමාස් හෝ කිසිදු එවන් සංවිධානයකට ඉඩ නොදෙන කොන්දේසිය යටතේ බව කියා ඇත. මෙම  කොන්දේසි අන්ත ප්‍රතිගාමී උගුල් ය. මේ රටවල ඊනියා සහාය ලැබෙන විට පලස්තීනය පවතිනු ඇත්තේ පලස්තීන ජනයා නැති රටක් ලෙසය.

නිදහස් පලස්තීනයක් සඳහා ව්‍යාපාරයේ සංවිධායිකාවක් වන මෙලනි ගුනතිලක පැවැත්වූ කතාවෙන්, ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති පිලිවෙත ගැන තවත් කරුනු හෙලිදරව් විය. “අපි විදේශ ඇමති හමුවුනා, අධිකරන ඇමති ඒ වගේම ජනාධිපති ලේකම් හමු වුනා. ඒ තැන්වලදී අපට අහන්න ලැබුනෙ, ‘අපි නිදහස් පලස්තීනයක් වෙනුවෙන් පෙනී ඉන්නවා, නමුත් අප ආර්ථික වසයෙන් බංකොලොත්වී ඉන්න රටක් නිසා අපට කරන්න තිබෙන දේවල් සීමිතයි’ කියන කතාව” ගුනතිලක සඳහන් කලාය. 

ඊශ්‍රායල ජනඝාතන වලට එරෙහිව ස්ටිකර් ඇලවීම නිසා පොලිස් අත්අඩංගුවට ගැනීම් මතක් කල ඇය, “ඔවුන් නිසා [ඊශ්‍රායල භටයන්} ශ්‍රී ලංකාවේ දෙන්නෙකුට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අනීතිකව හිරවෙලා ඉන්න වෙලා තියෙනවා” යැයි සඳහන් කලාය. “අයිඩිඑෆ් [ඊශ්‍රායල ආරක්ෂක බලකායේ] භටයන් නිසා අපේ නිදහස සීමා කරගන්නේ ඇයි?” දැයි ප්‍රශ්න කල ගුනතිලක ජනඝාතනවලට විද්ධවන ලෙස ද ඊශ්‍රායල භටයන්ට නොමිලේ වීසා දීම නතරකරන ලෙස තම ව්‍යාපාරය ඉල්ලා සිටින බවද කීවාය. 

ගුනතිලක ආන්ඩුව ගැන විවේචනාත්මක මුඛයෙන් මැසිවිලි කීව ද, ඇය ද ඇතුලු විරෝධතා උද්ඝෝෂනයේ සංවිධායකයන්, නියෝජ්‍ය කතානායක හා ජවිපෙ නජිත් ඉන්දික වැන්නන්ට වේදිකාවට නැගී, ආන්ඩුවේ පිලිවෙත යුක්තිසහගත කිරීමට සහ පීඩිත පලස්තීනුවන්ගේ මිතුරන් ලෙස පෙනී සිටීමට මෙම තක්කඩියන්ට අවස්ථාව සලසා තිබුනි.   

මේ සම්බන්ධයෙන් අන්ත විසකුරු ක්‍රියාකලාපයක් ඉටුකරන්නේ, ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යි. පෙසප වෙනුවෙන් රැස්වීමේ කතාකලේ එහි ප්‍රමුඛ නායකයෙක්වූ නීතිඥ නුවන් බෝපගේ යි. ඔහුගේ කතාවෙන් පෙන්නුම් කෙරුනේ, ආන්ඩුව නියෝජනය කරන්නන් රැස්වීමට වැඩමවීමට පෙසප මුලිකත්වයක් ගෙන තිබුනු බව මෙන්ම, මෙම පක්ෂය ආන්ඩුවේ ඇඟේ එල්ලීගෙන එය ආරක්ෂා කිරීමට මොනතරම් වලිකන්නේ ද යන්නයි. 

“ප්‍රගතිශීලී, සටන්කාමී , මනුෂ්‍යත්වය පිලිබඳ හැඟීමක් ඇති පුද්ගලයන්, සංවිධාන හා කන්ඩායම් රැසක්” එකතුකොට නිදහස් පලස්තීනයක් උදෙසා ශ්‍රී ලාංකා සාමුහිකය ගොඩනැගීමට තම පක්ෂය ද මුල්වූ බව බෝපගේ කීවේය. ඔහුට අනුව ආන්ඩුව  ද ඒ ගනයට අයත් ය. 

ජවිපෙ/ජාජබ ආන්ඩුව පලස්තීනය  සදහා ඉදිරිපත් කල ප්‍රකාශයේ, ඇමරිකාව සහ ඊශ්‍රායලය යන නම් සඳහන් නොවු බව කී පෙසප නායකයා එසේ ප්‍රකාශ නිකුත් කල හැකිදැයි විමතිය පල කලේය. “අපි ආන්ඩුවට කියන්නේ කොන්ද කෙලින් තියාගමු. ඔව්, ඔබ අපට අවශ්‍යයි. අපි කැමතියි මේ සටනේදී මේ වේදිකාවේ ආන්ඩුව ඉන්නවාට. අපි ඒකට පක්ෂයි. ඕනෑම අභියෝගයකින් ආන්ඩුව ආරක්ෂා කරන්න ජනතාව සුදානම්. ඒ නිසා බෙලහීන වෙන්න එපා. අධිරාජ්‍යය වාදයට යටවෙන්න එපා” යයි බෝපගේ ආන්ඩුවෙන් අයැද සිටියේය. 

ඔහු සිය යාඥාව දිගටම කරගෙන ගියේය: “අපි ආන්ඩූව නිර්දය ලෙස විවේචනය කරන්නේ මේ ආන්ඩුව වට්ටන්න, පෙරලන්න නෙවෙයි.ආන්ඩුවේ බෙල්ලෙන් අල්ලාගෙන හරි ජනතා බලයෙන් හරි පාරට ගන්න අපි සුදානම්.”

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (ජාමුඅ) ගැති, ඇමරිකානු අධිරාජ්‍යවාදය ඉදිරියේ දනින් වැටීසිටින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දක්ෂිනාංශික ආන්ඩුවේ ආරක්ෂකයන් ලෙස පෙසප පෙනීසිටීම අහම්බයක් නොවේ. ජවිපෙ අංකුරයක් වන පෙසප හා එහි නායකයන් අධිරාජ්‍යවාදයට හා ජාමුඅ එරෙහිව මොන ආඩපාලි කීවත්, දිසානායක ආන්ඩුව මහා ජනතාව පැත්තට ගැනීමට හැකි ප්‍රගතිශීලි පාලනයක් ලෙස හඳුන්වමින් එහි ආරක්ෂයෙක් ලෙස පෙනී සිටී. 

අධිරාජ්‍යවාදී රටවලට පලස්තීනුවන්ට එරෙහි ජනඝාතනය නතර කිරීම සඳහා ආයාචනා කිරීම මගින් ද, ඔවුන්ට  හා ඊශ්‍රායලයට බලපෑම් දැමීමෙන් ද මෙම විනාශය නතර කිරීමට හැකි යයි මිත්‍යාවන් පැතිරවීම වඳ මෙන්ම, මහජන ව්‍යාපාරය අවමන්ගත කරන උගුලකි. 

ඊශ්‍රායල සියොන්වාදී ප්‍රතිගාමී රාජ්‍යය, මැද පෙරදිග අධිරාජ්‍යවාදීන්ගේ, ප්‍රමුඛව ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්සියක් ලෙස තනන ලද්දේ ම කලාපයේ මෙම බලයන්ගේ අධිපත්‍යය තබා ගැනීමට යි. ඊශ්‍රායාලයක් නිර්මානය කිරීමේ සැලසුම් ගැන කුමන්ත්‍රනය සඳහන් කරමින්, ලියොන් ට්‍රොට්ස්කි, එය “ලේවැකි උගුලක්” බව පෙන්වා දුන්නේ ය. 

පලස්තීනුවන් පදිංචිව සිටි භුමිප්‍රදේශවලින් පලවා හැර, ඊශ්‍රායලය රාජ්‍ය නිර්මානය කරන විට මහා බලයන් ව්‍යාජව ප්‍රකාශ කලේ, එමගින්, නාසි ජර්මනියේ හොලෝකෝස්ට් බඳු සංහාරයන්ගෙන් යුදෙව්වන්ට ආරක්ෂාව හා සාමය ලබාදෙනු ඇති බවයි. පලස්තීන හා ඊශ්‍රායල “රාජ්‍යයන් දෙකක ද්වි-රාජ්‍ය විසඳුම” යන්න 1948 පටන්  සියොන්වාදී පාලනය පිහිටුවූ තැන් පටන් බංකොලොත් ප්‍රතිගාමී උගුලක් බව සනාත වී තිබේ.      

ඊශ්‍රායල නෙතන්යාහු තන්ත්‍රය වොෂින්ටනයේ හා අනෙකුත් බලයන්ගේ අධාරය මත, දැනට අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගාසාව ජනශුන්‍ය කිරීමට ගෙනියන ජන ඝාතන මෙහෙයුම, විශේෂයෙන්ම එක්සත් ජනපදය මැද පෙරදිග කලාපය තුල සිය බලය තහවුරු කරගැනීමේ භූදේශපාලන ධාවනය සමග බැඳී පවතින ම්ලේච්ඡ යුද මෙහෙයුමකි. එක්සත් ජනපදය ගැඹුරු අර්බුදයක් මධ්‍යයේ සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ලෝක ආධිපත්‍යය අත්කර ගැනීමට හැරී සිටියි. 

අධිරාජ්‍යවාදිනේගේ පිටුබලය මත ගෙන යන සියොන්වාදී ආන්ඩුවේ පලස්තීනු ජනඝාතන ව්‍යාපාරය නතර කල හැකි වන්නේ,  ජාත්‍යන්තරව ම ගොඩනගන කම්කරු පංතිය මුලිකත්වය ගන්නා යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමෙනි. වෙනත් කෙටි මාවත් නිෂ්ඵල ආයචානාවන් ය. 

පලස්තීන හා යුදෙව් හා මැදපෙරදිග ජනයාට ඇති විසඳුම වන්නේ, සියෝන්වාදය් ප්‍රතික්ෂේප කිරීම, ඊශ්‍රායල පාලක තන්ත්‍රය නිරායුධ කිරීම සහ පලස්තීන හා යුදෙව් ජනතාවට සමාන අයිතිවාසිකම් ලැබෙන සමාජවාදී රාජ්‍යයක් පිහිටුවීම යි. එය, කලාපයේ කම්කරු පංතිය පීඩිතයන්ගේ ද නායකත්වය ගෙන රාජ්‍යන්ගේ දේශසීමා ඉක්මවා එක්සත්වී මැදපෙරදිග සමාජවාදී රාජ්‍යයන්ගේ ෆෙඩරේෂනයක් සඳහා සටන් කිරීම හා ලෝක සමාජවාදය සඳහා සටන් කිරීම සමග බැඳී ඇති කර්තව්‍යයකි. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි සමාජවාදී සමානතා පක්ෂ, මේ පදනම මත මෙම ඉල්ලීම් සඳහා සටබ්න් කිරීමට පෙල ගැසෙන ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී:

  • ඊශ්‍රායලයට යුද අවි ප්‍රවාහනය නතර කරනු! 
  • ඊශ්‍රායලය සමග සියලු වෙලඳ හා ආර්ථික ගනුදෙනු වර්ජනය කරනු!
  • ඊශ්‍රායලයට සිය ජන සංහාරය සඳහා ආධාරකරන එක්සත් ජනපද, යුරෝපීය සහ අනෙකුත් සංගත නඩු දමා දඬුවම් කරනු!
  • ඊශ්‍රායල නිලධාරින් යුද අපරාධ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු! 
  • ගසා ජන සංහාරයට විරුද්ධත්වය දක්වන්නන් දඩයම වහා නවතනු!    

මෙම ඉල්ලීම් මත අධිරාජ්‍යවාදීන්ට හා ඊශ්‍රායල ෆැසිස්ට් තන්ත්‍රයට අයාචානා  කිරීමෙන් පලක් නැත. කල යුත්තේ, ගාසා ජන ඝාතනවලට එරෙහිව සෑම රටකම කම්කරු පන්තියේ ක්‍රියාවන්--වර්ජන, පෙලපාලි,ඇතුලු පන්ති ක්‍රියාවන් සංවිධානය කරමින් යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සහ සමාජවාදී ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීම යි.  

Loading