ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ කායික සහ මානසික සෞඛ්‍යය වඩ වඩාත් පිරිහෙමින් පවතින බව සමීක්ෂනයකින් අනාවරනය වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞස) අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යංශයන් ඒකාබද්ධ ව, දිවයිනෙහි පාසල් සිසුන්ගේ කායික සහ මානසික සෞඛ්‍යය පිලිබඳව 2024 දී සිදු කරන ලද සමීක්ෂනයක වාර්තාව, “ගෝලීය පාසල්-පාදක ශිෂ්‍ය සෞඛ්‍යය සමීක්ෂනය, ශ්‍රී ලංකාව” (Global School-based Student Health Survey, Sri Lanka-GSHS) නමින් එලි දක්වා ඇත.

8 ශ්‍රේනියේ සිට 12 ශ්‍රේනිය දක්වා සිසුන් (වයස අවුරුදු 13– 17) පිලිබඳ මෙම පාසල් පාදක සමීක්ෂනයට, දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පාසල් 40 ක් තෝරා ගෙන ඇති අතර, සිසුන් 2912 ක් එයට සහභාගි වී ඇත. මධ්‍යසාර භාවිතය, ආහාර හැසිරීම්, මත්ද්‍රව්‍ය භාවිතය, මානසික සෞඛ්‍යය, ශාරීරික ක්‍රියාකාරකම්, ආරක්ෂිත සාධක, දුම්කොල භාවිතය, ප්‍රචන්ඩත්වය සහ නොදැනුවත්වම සිදුවන තුවාල යන කරුනු සමීක්ෂනයට ලක් කෙරුනු බවත්, සිසුන්ට ලබාදුන් ප්‍රශ්නාවලියකට ඔවුන් විසින්ම ලිඛිතව සම්පාදනය කල පිලිතුරු මත නිගමන වලට එලැඹි බවත්, GSHS වාර්තාව කියා සිටී. 

මීට පෙර අවසන් වරට GSHS සමීක්ෂන වාර්තාවක් නිකුත් කෙරී ඇත්තේ 2016 දී වන අතර, එය සමග 2024 වාර්තාව සංසන්දනය කරන කල, සිසුන්ගේ කායික සහ මානසික සෞඛ්‍යය වසර අටක් තුල වඩාත් පිරිහී ඇති බව මනාව පැහැදිලි වේ. 

ලෝසෞස හි ශ්‍රී ලංකාවේ නියෝජිත, ආචාර්ය ඇලකා සිං,  පනිවිඩයක් නිකුත් කරමින් මෙසේ පවසයි: “ප්‍රධාන සොයාගැනීම්වලින් පෙන්නුම් කරන්නේ, GSHS-2016 හා සසඳන විට, මත්ද්‍රව්‍ය භාවිතය, සීනි-පැනිරස පාන වර්ග පරිභෝජනය, ශාරීරික අක්‍රියතාව, උදාසීන හැසිරීම සහ මනෝ-සමාජීය ගැටලු වල වැඩිවන ප්‍රවනතාවයි. දුම්පානය, බරපතල තුවාල, ශාරීරික සටන් සහ සයිබර් හිරිහැර කිරීම් ප්‍රතිශතයන් ඉහල යාම හේතුවෙන්, මන්දපෝෂනයට අමතරව තවත් බරක් පැටවී ඇති බව මෙම සොයාගැනීම් මගින් හෙලි කරයි.”

උසට සහ වයසට සරිලන බර නොමැතිවීම, බොහෝ සිසුන් පීඩා විඳින සෞඛ්‍ය ප්‍රශ්නයකි. සිසුන්ගෙන් සියයට 21.4 ක් අඩු බරෙන් (underweight) පෙලෙන අතර, සියයට 12.1 ක් වැඩි බරෙන් (overweight) පෙලෙති. තවත් සියයට 3.0 ක් ස්ථූලතාවයෙන් පීඩා විඳිති. 

අඩුබර බොහෝවිට මන්දපෝෂනයේ ප්‍රතිඵලයක් වන අතර, වැඩිබර සහ ස්ථූලතාව, සෞඛ්‍යමත් නොවන ආහාර නිතිපතා අනුභව කිරීම, සාවද්‍ය ආහාර රටාවන්ට හුරුවීම සහ ප්‍රමානවත් තරම් ශාරීරික ක්‍රියාකාරකම් නොමැති වීමේ ප්‍රතිඵලයකි. 

සමීක්ෂනයට සහභාගි වූ සිසුන්ගෙන් සියයට 4.3 ක්, සමීක්ෂනයට පෙර ගෙවී ගිය දින 30 තුල, නිවසේ ආහාර නොමැතිකම හේතුවෙන් නිරන්තර කුසගින්නෙන් පෙලුනු බව වාර්තා කෙරී ඇති අතර එය 2016 දී පැවති අගය වන සියයට 3.1 සිට වැඩිවීමක් පෙන්නුම් කරයි. සමීක්ෂනයට පෙර දින හත තුල ආහාර නොමැතිකම හේතුවෙන් සිසුන්ගෙන් සියයට 1.8 ක් උදෑසන ආහාරය මඟ හැර ඇත,

GSHS-2024  වාර්තාවට අනුව, සිසුන් අතර පලතුරු සහ එලවලු පරිභෝජනය “මෙතෙකුදු භයානක ලෙස අඩු මට්ටමක” පවතී. සමීක්ෂනයට පෙර සතිය තුල සිසුන්ගෙන් හතරෙන් එකක් (සියයට 24.9) පමන පලතුරු පරිභෝජනය නොකර තිබූ අතර, එම කාලය තුල සියයට 3.1 ක් එලවලු අනුභව නොකල බව ද වාර්තා විය. දිනකට තුන් වතාවක් හෝ ඊට වැඩි වාර ගනනක් එලවලු පරිභෝජනය කොට ඇත්තේ සියයට 26.1ක් පමනි. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න, මෙම සමීක්ෂනයේ සොයා ගැනීම් මත පාදක වෙමින්, පාසල් ශිෂ්‍යයන්ගේ මානසික සෞඛ්‍යය පිලිබද ගැටලු වර්ධනය වෙමින් පවතින ආකාරය ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැහැදිලි කලා ය: “සමීප මිතුරන් නොමැති සිසුන්ගේ ප්‍රතිශතය 2016 දී සියයට 5.6 සිට 2024 දී සියයට 7.5 දක්වා ඉහල ගොස් තිබෙනවා. තනිකමේ හැඟීම් ද සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබෙනවා. 2016 දී සියයට 9 ට සාපේක්ෂව 2024 දී පසුගිය මාස 12 තුල සිසුන්ගෙන් සියයට 22.4 ක් තනිකම වාර්තා කලා.”

සිසුන්ගෙන් සියයට 11.9 කට වඩා කනස්සල්ල නිසා නිදා ගැනීමට නොහැකි බව වාර්තා කල බවත්, එය 2016 දී පැවති සියයට 4.6 ට වඩා තියුනු වැඩිවීමක් බවත් ඇය පෙන්වා දුන්නාය. “සිසුන්ගෙන් සියයට 18 ක් මානසික අවපීඩන රෝග ලක්ෂන වාර්තා කලා. ඒ අතරින් වයස අවුරුදු 16-17 අතර එය සියයට 26.3 ක සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙනවා” යැයි ඇය කීවාය.

සියදිවි නසා ගැනීමට සලකා බැලූ සිසුන්ගේ ප්‍රතිශතය 2016 දී සියයට 9.4 සිට 2024 දී සියයට15.4 දක්වා ඉහල ගොස් ඇති අතර, සියදිවි නසා ගැනීමට උත්සාහ කල අය සියයට 6.8 සිට 9.1 දක්වා වැඩි වී ඇත. ආසන්න වශයෙන් සිසුන්ගෙන් තුනෙන් එකක් (සියයට 36.2) අධික පීඩාවන්ට මුහුන දී තිබුනි. නව යොවුන් වියේ සායනවලින් උපකාර පතා තිබුනේ එයින් සියයට 2.1ක් පමනි.

මෙම මානසික ගැටලු වලට හේතු කවරේදැයි වෛද්‍ය මාගොඩරත්නගෙන් ලෝසවෙඅ විමසූ විට ඇය මෙසේ කීවාය: “මම මූලික වශයෙන් විශ්වාස කරන්නෙ, ලමයි අතර ඇතිවෙලා තියෙන තරඟකාරිත්වය මේ මානසික ආතතියට හේතුව කියල. තරඟකාරිත්වය නිසා ඔවුන් ටියුෂන් පංතිවල හිරවෙලා. කිසිම කායික, මානසික විවේකයක් නෑ. ක්‍රීඩාවෙ යෙදෙන්න කාලයක් නෑ. පරිසරය සමග ගැවසෙන්න, සාහිත්‍ය කලා නිර්මානයන්හි යෙදෙන්න, ඒවා ඇසුරු කරන්න කාලයක් නෑ.”

ඉහත ගැටලු වලට විසඳුම ලෙස දකින්නේ කුමක්දැයි විමසූවිට ඇය කියා සිටියේ වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය  (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ක්‍රියාවට නැංවීමට යන “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන” මේ ගැටලු වලට විසඳුම් සමිපාදනය කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි. 

'නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන' මගින් අධ්‍යාපනයේ තරඟකාරිත්වය ඉවත්කර සිසුන්ට ගුනාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අවකාශ සලසාදෙනු ඇතැයි වෛද්‍ය මාගොඩරත්න විශ්වාසය කල ද ඉන් සිදුවනු ඇත්තේ එහි ප්‍රතිවිරුද්ධය යි.

“වෙලඳපොල අවශ්‍යතාවලට සේවය කරන ආන්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන ප්‍රතික්ෂේප කරනු! සැමට නොමිලේ, ගුනාත්මක රාජ්‍ය අධ්‍යාපනයක් සඳහා!” යන මැයෙන්, සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කල ප්‍රකාශයෙන් පෙන්වාදුන් පරිදි, “පාලක පන්තියට අවශ්‍ය වන්නේ අනාගත තරුන පරම්පරාවන් තුලින්, සංස්කෘතිකමත්, සිතනමතන සහ ස්වාධීන විවේචනාත්මක චින්තකයින් බිහිවීම වලක්වා ලාභ ශ්‍රම වෙලඳපොලකට හික්මුනු තරුනයින් බිහි කර දීමයි.”

“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන” වලට පක්ෂව තර්ක කරමින්, ජනාධිපති දිසානායක ජූලි 24 වන දා පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය: “අපි අත්කරගෙන තියෙන්නෙ ලෝකයේ අති පහලම අඩියෙ ශ්‍රම වෙලඳපොලක්. එමනිසා ආර්ථික වසයෙන් අපි ලෝකයේ දියුනු ශ්‍රම වෙලඳපොලක් අත්පත්කරගත යුතුයි.”

සැබැවින්ම, සාහිත්‍ය ඇතුලු සෞන්දර්යය වෙතට සිසුන් යොමු කරනු වෙනුවට, “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන” වලින් සිදු කෙරෙනුයේ සිසුන් එම ක්ෂේත්‍රයන්ගෙන් වඩාත් ඈත් කිරීමයි. 10 සහ 11 ශ්‍රේනිවල සිසුන් සාමාන්‍ය පෙල විභාගයේදී මුහුන දිය යුතු අනිවාර්ය විෂයයන් අතරින් සෞන්දර්යය සහ ඉතිහාසය වැනි විෂයයන් ඉවත්කර ඇති තතු යටතේ, ශ්‍රම වෙලඳපොල රැකියා ඉලක්ක කරගත් විෂයයන් පමනක් තෝරා ගැනීමට සිසුන්ට බල කෙරෙනු ඇතැයි ශාස්ත්‍රඥයින් කනස්සල්ල පල කර තිබේ.

GSHS-2024  වාර්තාව, ඉහත කරුනු වලට අමතරව, සිසුන් අතර මත් ද්‍රව්‍ය භාවිතය, ප්‍රචන්ඩත්වය සහ හදිසි අනතුරු පසුගිය අට වසර තුල වර්ධනය වී ඇති ආකාරය ප්‍රතිශතාත්මකව පෙන්වා දෙයි.

වාර්තාව, ඉහත ගැටලු වලට මෙසේ විසඳුම් ඉදිරිපත් කරයි: “ “නව යොවුන් වියේ දරුවන්ට ප්‍රතිචාර දක්වන සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම ප්‍රමුඛතාවයක් විය යුතුය. මෙයට සම්පත් වැඩි වැඩියෙන් වෙන් කිරීම, සියලුම සෞඛ්‍ය සේවා සපයන්නන් නව යොවුන් වියේ දරුවන්ට හිතකර ආකාරයෙන් සෞඛ්‍ය සේවා සැපයීම පිලිබඳව දැනුවත් කිරීම, නව යොවුන් වියේ දරුවන්ට හිතකර සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය පුලුල් කිරීම සහ නව යොවුන් වියේ සහ පාසල් ලමුන් අතර මෙම සේවාවන් පිලිබඳව පුලුල් දැනුවත්භාවයක් ඇති කිරීම ඇතුලත් වේ.”

කෙසේ නමුත්, “සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම” සඳහා “සම්පත් වැඩි වැඩියෙන් වෙන් කිරීම” වෙනුවට, ජවිපෙ/ජාජබ ආන්ඩුව සිදු කරනු ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මක කරමින්, මහජන සෞඛ්‍ය පද්ධතියේ ඉතිරි පහදු ද විනාශ කිරීමයි. 2024 දී රුපියල් බිලියන 410 ක් වූ රාජ්‍ය සෞඛ්‍ය වියදම, 2025 දී රුපියල් බිලියන 383 දක්වා කපා දැමීමෙන් එය සනාථ වෙයි. 

අනෙක් අතට, සිසුන් අතර තරඟකාරිත්වයට අති මූලික හේතුව වනුයේ, අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් පුරා ගෙනගිය කප්පාදු හේතුවෙන් පාසල් අතර වැඩී ඇති දැවැන්ත අසමානතාව සහ විශ්වවිද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතනයන්හි හා රැකියා අවස්ථාවන් හි පවත්නා ආන්තික සීමිතභාවය යි. පාලක ජවිපෙ/ජාජබ ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු, අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 සිට 2 දක්වා සීමා කර ඇත. ජාමූඅ හි කප්පාදු හේතුවෙන් මෙම තත්වයන් වඩාත් ගැඹුරුවනු ඇත.

මන්දපෝෂනය සම්බන්ධයෙන් ද තත්වය එසේම ය. දරාගත නොහැකි දැවැන්ත ජීවන වියදම සහ වැඩෙන විරැකියාව හමුවේ දරිද්‍රතාව සහ මන්දපෝෂනය දැනටමත් වේගයෙන් ඉහල නගිමින් පවතී. මෑතදී නිකුත් කෙරුනු යුනිසෙෆ් වාර්තාවකට අනුව, “ශ්‍රී ලංකාවේ දරුවන් මිලියන 2.3 ක ට ප්‍රමානවත් තරම් ආහාර නොමැත. සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සේවාවන් ඒවායේ අද්දරටම තල්ලු කරනු ලබන රටක, තම දරුවන්ට අවශ්‍ය ආහාර සැපයීමට අරගල කරන පවුල්, දිනපතා අවදි වනුයේ ආහාර මිල ඉහල යාම අත් විඳිමිනි. මෙම අර්බුදය තුල ශ්‍රී ලංකාවේ දරුවන් විශාල මිලක් ගෙවමින් සිටිති.”

මේ අතර, 2025 ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ප්‍රතිශතය සියයට 22.7 ට ඉහල නැග ඇතිබව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි. ජාමුඅ හි විධානයන් මත සිදු කෙරෙන රාජ්‍ය ආයතන පුද්ගලීකරනයෙන් සහ එක්සත් ජනපදය ප්‍රමුඛ බලයන් අතර ඇවිලී ඇති තීරු බදු යුද්ධය මගින් පැන නංවා ඇති කර්මාන්ත හැකිලීයාමෙන් ලක්ෂ සංඛ්‍යාත ජනයාට රැකියා අහිමි වී මෙම තත්වය වඩාත් උග්‍රවනු ඇත.

GSHS-2024 වාර්තාවෙන් අනාවරනය කර ඇති දැවෙන ගැටලු ජයගත හැක්කේ, මහජන සෞඛ්‍යයට, මහජන අධ්‍යාපනයට සහ රැකියා උත්පාදක ව්‍යාපෘතීන් සඳහා බිලියන සංඛ්‍යාත මුදල් සම්පාදනය කිරීමෙනි. එය කල හැක්කේ, බැංකු, මහා සමාගම් සහ වතුයායයන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන සහ විදේශ නය ආපසු ගෙවීම් ප්‍රතික්ෂේප කරන, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.

Loading