රාජ්‍ය බැංකු පෞද්ගලීකරනයට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොලඹ, ලංකා බැංකු හා මහජන බැංකු මූලස්ථාන ඉදිරිපිට අගෝස්තු මස 27 හා 28 දිනවල බැංකු සේවකයෝ සිය ගනනක් විරෝධතාවල නිරත වූහ.
දහවල් 12.30 සිට පැයකට වැඩි කාලයක් පැවති විරෝධතා ස්ථාන දෙකෙහි, ආසන්න වශයෙන් දහස බැගින් වූ බැංකු සේවකයන් සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ. මහජන බැංකු හා ලංකා බැංකු මූලස්ථානවල සේවකයන්ට අමතරව කොලඹ නගරයේ වෙනත් රාජ්‍ය බැංකුවල සේවකයෝ ද විරෝධතාවලට සහභාගි වූහ.
“ලංකා බැංකුවේ කොටස් විකිනීමේ පුනරුද කුමන්ත්‍රනය පරාජය කරනු, පනත් සංශෝධන හරහා රාජ්‍ය බැංකු විකිනීමේ කුමන්ත්‍රනය පරාජය කරනු, 1996 ට පසු විශ්‍රාම වැටුප් ක්‍රමයේ යෝජිත සංශෝධන වහා ක්‍රියාත්මක කරනු, විශ්‍රාම වැටුප් අහිමි බැංකුවලට එම අයිතීන් වහා ස්ථාපිත කරනු, එච්ඩීඑෆ්සී හා එස්එම්අයිබී බැංකුවල ගැටලු වහා විසඳනු” වැනි බැංකු සේවකයන්ගේ ඉල්ලීම් අඩංගු සටන් පාඨ පුවරු විරෝධතාවේ දී ප්‍රදර්ශනය කෙරුනි.
පැවති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින්. 2024 ජුනි 15 දින, ලංකා බැංකුවේ කොටස් විකිනීම සඳහා ගෙන ආ පනතට ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුවේ කැබිනට් මන්ඩලය පසුගිය අගෝස්තු මස 16 දා අනුමැතිය ලබා දී ඇතැයි බැංකු සේවකයෝ චෝදනා කරති. මහ බැංකු භාන්ඩාගාර ලේකම්ගේ තනි කොටස් අයිතිය යටතේ තිබුනු ලංකා බැංකුව එම පනත මගින් ලංකා බැංකුවේ රජය සතු කොටස් අයිතිය සියයට 51 ක මට්ටමට ගෙනෙන බවටත්, පසුව තවත් එහාට එම කප්පාදුව ගෙන යා හැකි බවටත් බැංකු සේවකයෝ අනතුරු අඟවති.
1996 පසු විශ්‍රාම ගිය බැංකු සේවකයන් හට ජීවත්වීමට සරිලන විශ්‍රාම වැටුපක් නො ලැබෙන බවත්, මහ බැංකුවේ උපදෙස් පරිදි රාජ්‍ය උකස් ආයෝජන බැංකුවේ ගනුදෙනු අත්හිටුවා ඇති බවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පරිගනක පද්ධතිය, කේපීඅයි දීමනාව හා බෝනස් පිලිබඳව ගැටලු මතු වී ඇති බවත් බැංකු සේවකයෝ උද්ඝෝෂනවල දී අවධාරනය කලෝ ය.
බැංකු සේවකයන්ගේ මෙම විරෝධතා කැඳවා තිබුනේ රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (රාබැඒවෘසස) විසිනි. මෙම සන්ධානය පසුගිය දිනවල රජයේ බැංකු කිහිපයකම දහවල් කාලයේ දී විරෝධතා සංවිධානය කර තිබුනි. අගෝස්තු 21 දා ඉතිරි කිරීමේ බැංකුව ඉදිරිපිට ද, අගෝස්තු 22 දා කැලනියේ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (ආර්ඩිබි) ඉදිරිපිට ද, ආගෝස්තු මාසයේ මුල් සතිවල දිස්ත්‍රික් මට්ටමින් ද විරෝධතා විරෝධතා පැවැත්වුනි.
මෙම විරෝධතාවන්ට සිය ගනනින් බැංකු සේවකයන් සහභාගිවීමෙන් පෙන්නුම් කලේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) රුදුරු කප්පාදු පිලිවෙත් මගින් තම රැකියා, සේවා කොන්දේසි, වැටුප්, දීමනා හා වෙනත් භෞතික සම්පත් කප්පාදුවට එරෙහිව සටන් වැදීමට බැංකු සේවකයන් තුල ඇති අභිලාෂයයි.
නමුත්, රාබැඒවෘසස විසින් මෙම විරෝධතා කැඳවනු ලැබුවේ, ආන්ඩුවට සීමිත විරෝධයක් දැක්වීම මගින් බැංකු සේවකයන් අතර වැඩෙන විරෝධය දියකර දැමීම සඳහා ය. පැයක පමන විරෝධතාවයෙන් පසු බැංකු සේවකයන් ඇමතූ සමිති නායකයෝ, ආන්ඩුව සාකච්ඡාවක් නොදීම සම්බන්ධයෙන් මැසිවිලි නැගූහ.
බැංකු සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පංතියට ජවිපෙ/ජාජබ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන් සම්බන්ධයෙන් මෙම සමිති නායකයෝ ඍජු ව ම වගකිව යුතුය. ඔවුහු රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ඇරඹූ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ඒ අයුරින් ම ක්‍රියාවට නගන බවට දිසානායක ඇතුලු ජවිපෙ/ජාජබ නායකයන් මහා ව්‍යාපාරික ප්‍රජාව හමුවේ දුන් සහතිකයන් පිලිබඳව බැංකු සේවකයන් ඇතුලු මහජනයා අඳුරේ තැබූහ.
එපමනක් නොව, ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමට සමිති නිලධරයේ අතිමහත් බහුතරය විවෘත ව ම ක්‍රියා කලහ. ඉන් එක් අයෙකු වන ලංබැසේස යේ මහජන බැංකු ශාඛාවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පද්මාල් කොඩිතුවක්කු විරෝධතාවයේ යෙදුනු බැංකු කම්කරුවන් අමතා මෙසේ පැවසී ය: “අපි ආන්ඩුව ගෙනාවෙ මේකටද කියල ආන්ඩුවෙන් අහන්න සිද්ධ වෙනව. … අපි ජනාධිපතිතුමාගෙන් අහනව එක බත්පත බෙදන් කාපු ඉතිහාසය අමතක වෙලා ද? සාකච්ඡාවක් නො දෙන්නේ දැන් උද්ධච්ඡ වෙලා ද?”
ආන්ඩුව සමග සාකච්ඡාවකින් ගැටලු විසඳනු ඇතැයි සමිති නායකයන් කරන ප්‍රකාශ පිලිබඳව බැංකු සේවකයන් විශ්වාසය තැබිය යුතු නැත. බලයේ සිටින ධනපති ආන්ඩු සමග සාකච්ඡා සඳහා වෘත්තීය සමිති නායකයන් මෙතරම් දඟලන්නේ ආන්ඩුවේ කවර හෝ පච පොරොන්දුවක් මත විරෝධතාවන් ඇතුලු පන්ති ක්‍රියාවන් අත්හිටුවා දැමීමටයි.
අගෝස්තු මස 17 සිට සතියක් අඛන්ඩව පැවති තැපැල් සේවක වර්ජනය ඒ සඳහා මෑත ම උදාහරනයයි. එම වර්ජනය කිසිදු ඉල්ලීමක් ජයග්‍රහනය නො කර සමිති නායකයන් නතර කරනු ලැබූවේ සේවක ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට ආන්ඩුව එකග වූ බවට නිවට ලෙස ප්‍රකාශ කරමිනි.
තැපැල් සේවකයන්ගේ නිවාඩු තහනම් කරමින් වර්ජනය නීති විරෝධි තත්වයට ගෙන ආ ජවිපෙ/ජාජබ ආන්ඩුව වර්ජනයේ යෙදෙන තැපැල් සේවකයන් බුරුතු පිටින් දොට්ට දමන බවට තර්ජනය කලේ ය. අගෝස්තු 22 වැනි දා, ආන්ඩුව වැඩවර්ජනය බිඳීමට හමුදාව යෙදවීය. වැඩවර්ජනය හේතුවෙන් කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබූ තැපැල් සහ පාර්සල් තොග, එහි වාඩිලා සිටි කම්කරුවන්ගේ විරෝධය නොතකා ම, හමුදාව ලවා එම පරිශ්‍රයෙන් බලාත්කාරයෙන් ඉවත් කිරීමට ආන්ඩුව පියවර ගත්තේ ය.
තැපැල් සේවකයන්ට එරෙහි ආන්ඩුවේ එම කඩා පැනීම යලි වතාවක් පෙන්නුම් කලේ ජාමූඅ නියෝග ක්‍රියාවට දැමීමේ දී ඊට බාධාකාරී වන කම්කරු පන්තියේ කවර හෝ පන්ති ක්‍රියාවකට ඉඩ නො තබන බව හා ඒවා තලා දැමීමට හැකි ඉහලම රාජ්‍ය මර්දනයක් දියත් කරන බවයි.
ආන්ඩුව සමග පැවති සාකච්ඡාවල දී, ඇමති නලින්ද ජයතිස්ස, ඇඟිලි සලකුනු යන්ත්‍ර භාවිතය හෝ අතිකාල ගෙවීම් සඳහා වන ඉල්ලීම කිසිදු ලෙසකින් සාකච්ඡා නොවන බවට තර්ජනය කලේ ය. එපමනක් නොව ඕනෑම සාකච්ඡාවක් තැපෑල ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා යොමු විය යුතු බව ඔහු අවධාරනය කලේ ය. එහි තේරුම, තැපෑලේ පවතින 7000ක සේවක පුරප්පාඩු නොපුරවා, කම්කරුවන් සූරාකෑම තීව්‍ර කිරීම මගින්, තැපැල් සේවය පෞද්ගලීකරනය සඳහා සූදානම් කිරීම යි.
විදුලිබල මන්ඩලය, තැපැල, බැංකු ඇතුලු සිය ගනනක් රාජ්‍ය ව්‍යවසායන් වානිජකරනය හෝ පෞද්ගලීකරනය කොට, රැකියා දහස් ගනනක් අතුගා දැමීමට නියමිත තිබියදීත්, මේ එකදු අංශයක හෝ සමිති නායකයෝ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමෙන් වැලකී සිටිති.
බැංකු සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පංතිය හමුවේ බලගතු ලෙස මතු කෙරී ඇත්තේ, ධනපති ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක අවශ්‍යතාවයි. නමුත් සමිති නිලධරය එවන් දේශපාලන සටනකට පරම සතුරුය. “අපිට දේශපාලනයක් නෑ. අපිට ආන්ඩුව පෙරලන්න අවශ්‍යතාවයක් නෑ” යනුවෙන් ඉහත විරෝධතාවයේදී පද්මාල් කොඩිතුවක්කු කල ප්‍රකාශයෙන් එය යලිත් සනාථ විය.
කම්කරු පන්තිය, පීඩිත ජන කොටස් හා තරුන ජනයාගේ සහාය ගොනු කර ගනිමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් මත ආන්ඩුවේ මහ ව්‍යාපාරික ගැති වැඩපිලිවෙලට අභියෝග කරමින් තම සටන, සමිති නිලධරය අතින් තම අතට ගත යුතුය.
ඒ සඳහා, වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය. සියලුම බැංකු, විශාල සමාගම්, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලට කැපවෙන, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටනේ කොටසක් ලෙස, මෙම කමිටු, ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ එහි ජාමූඅ හි ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් ආරම්භ කල යුතුය.