ආර්ඩීබී බැංකු සේවකයෝ විශ්‍රාම වැටුප්, ඇතුලු ඉල්ලීම් ගනනාවක් මත විරෝධතා දක්වති

ප්‍රාදේශීය සංවර්ධන බැංකු (ආර්ඩීබී) සේවකයෝ, විශ්‍රාම වැටුප්, වාර්ෂික දිරි දීමනා හා ප්‍රසාද දීමනා ඇතුලු තවත් ඉල්ලීම් ගනනාවක් මුල් කරගෙන අගෝස්තු මස 22 දා දහවල් 12.30 සිට පැයක කාලයක් කැලනියේ තම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක නිරත වූහ. ලංකා බැංකු සේවක සංගමය (ලංබැංසේසං) සහ රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (රාබැංඒවෘසස) විසින් කැඳවූ මෙම උද්ඝෝෂනයට ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (නිවස මුල්‍ය බැංකුව), රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (උකස් බැංකුව) යනාදී බැංකුවල සේවකයයින් ඇතුලු 150 ක් පමන සම්බන්ධ වූහ.

ප්‍රාදේශීය සංවර්ධන බැංකු (ආර්ඩීබී) සේවකයෝ, විශ්‍රාම වැටුප්, වාර්ෂික දිරි දීමනා හා ප්‍රසාද දීමනා ඇතුලු තවත් ඉල්ලීම් ගනනාවක් මුල් කරගෙන අගෝස්තු මස 22 දා දහවල් 12.30 සිට පැයක කාලයක් කැලනියේ තම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක නිරත වූහ.

අනෙකුත් ඉල්ලීම් අතර සටන් පුවරුවල දක්වා තිබුනේ “96 ට පසු විශ්‍රාම වැටුප් ක්‍රමයේ යෝජිත සංශෝධන වහා ක්‍රියාත්මක කරනු!“, “RDB බැංකුවේ බිඳ වැටී ඇති ආයතනික යහපාලනය වහා ස්ථාපිත කරනු!“, “HDFC සහ SMIB බැංකුවල ගැටලු වහා විසදනු!“, “කල්මරමින් සිටින සාමූහික ගිවිසුම් එකඟතා වහා ක්‍රියාත්මක කරනු!“ යනුවෙනි. දිවයින පුරා විහිදී ඇති ආර්ඩීබී ශාඛා 267 ඇතුලුව ප්‍රධාන ශාඛාවල 3,000 ක් පමන සේවය කරති.

මෙම උද්ඝෝෂනය පසුගිය සති ගනනාව තුල ප්‍රධාන රාජ්‍ය බැංකු හය වන ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව (ඉතිරිකිරීමේ බැංකුව), ඇතුලු රාජ්‍ය බැංකු සියල්ලේ සේවකයින් විසින් සිදුකරගෙන යන උද්ඝෝෂන මාලාවේ දිගුවකි.

අගෝස්තු 21 දාා කොලඹ පිහිටි ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යලය ඉදිරිපිටදී ඉහත ඉල්ලීම් මත පිකට් උද්ඝෝෂනයක් පවත්වන ලදී. ඊට පෙර අගෝස්තු 12 , 13 සහ 14 යන දිනවලදී අම්පාර, ත්‍රිකුනාමලය, මාතලේ, ගාල්ල, මාතර, මඩකලපුව, මහනුවර, සහ නුවරඑලිය ඇතුලු විවිධ ප්‍රදේශවල බැංකු සේවකයින් දහස් ගනන් සහභාගි වූ උද්ඝෝෂන මාලාවක් පැවතිනි. ජූනි 6 දා, මැයි 29 සහ 28 දිනවල ද, මාස 06ක දිරි දීමනා පැකේජයක් ලබා නොදීම හේතුවෙන් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි ලංකා බැංකු ශාඛාවන් ඉදිරිපිට එම බැංකුවේ සේවකයින් විරෝධතා පවත්වා තිබේ.

මෙම උද්ඝෝෂනවලට දහස් සංඛ්‍යාත බැංකු සේවකයින් සහභාගිවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ සමස්ත කම්කරු පන්තිය තුල තම අයිතීන් කප්පාදුවට එරෙහිව වැඩෙන විරෝධයයි.

අගෝස්තු 22 දා උද්ඝෝෂනයේ දී ද මතුපිටින් ආන්ඩුව විවේචනය කල වෘත්තීය සමිති නායකයින් විරෝධතාකරුවන් අමතා උලුප්පා දැක්වූයේ ආර්ඩීබී ඇතුලු අනෙක් බැංකු මුහුන දෙන ගැටලු හුදෙක් බැංකු බලධාරීන්ගේ මගහැරීම් නිසා සිදුවන බවයි. මෙම ගැටලු ජාමූඅ රුදුරු කප්පාදු පිලිවෙත් මත දිසානායක ආන්ඩුව ගෙනයන ආන්ඩුවේ ප්‍රතිපත්ති නිසා සිදුවන බව ඔවූහු වසන් කලහ.

ලංබැංසේසංයේ ආර්ඩීබී ශාඛා සහාපති, ශාන්ත විපුලසේන, පැවසුවේ තම ඉල්ලීම් සඳහා “බලපෑම් කරේ නැත්නම් මේක (කප්පාදුව) මේ විදිහටම යනවා.....අපි සියලු දෙනාම එකතු වෙලා ප්‍රෙශර් එකක් දුන්නේ නැත්නම් බලධාරීන් මේවා කරන්නේ නැහැ“ යනුවෙනි.

ලංබැංසේස යේ භාන්ඩාගාරික දිලීප හෙට්ටිආරච්චි රාජ්‍ය බැංකු හයක ගැටලු රැසක් මතුවී ඇති බව කිවේය. “ලංකා බැංකුවේ ලාභය මත පදනම් වෙච්ච, ඉන්සෙන්ටිව් පේමන්ට් එක පිලිබඳව ගැටලුවක් තියෙනවා. මහජන බැංකුවේ අධ්‍යක්ෂක මන්ඩලය පත් කිරීමේ ගැටලුවක් තියෙනවා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විශ්‍රාම වැටුප් පහ පාලනය සම්බන්ධ ගැටලු ගොඩක් තියෙනවා, නිවස මුල්‍ය බැංකුව හා උකස් බැංකු දෙකේ මෙහෙයුම් මේ වන විට නවත්තලා,.. ස්භාවිකව මරනයට පත් කරන බවක් පේන්නේ' යයි හෙට්ටිආරච්චි සඳහන් කලේය.

හෙට්ටිආරච්චි මෙසේ ආඩපාලියක් ද කීවේය: “මෙම ජනතාවගේ ආන්ඩුව ආවට පස්සේ තමයි වැඩියෙන්ම ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ ජනතාවගේ බැංකුවලට. .... ඒ ඉන්න සේවකයින්ගේ අනාගතය පිලිබඳ ලොකු ගැටලුවක් මතුවෙලා තියෙනවා.'

'ජනතාවාදී ආන්ඩුව' යටතේ ප්‍රශ්න වැඩිවී ඇත්තේ කෙසේදැයි නොකී ඔහු, දිසානායක ආන්ඩුව යටතේ පත්වූ ආර්ඩිබී සභාපති නිසා ගැටලු උග්‍ර වී ඇතැයි ඔහුගේ ඇඟට කපා දිසානායක පාලනය කොක්කෙන් ගලවා හැරියේය.

අනෙකුත් වෘත්තීය සමිති නායකයන් මෙන් ම, බැංකු සේවක සමිති නායකයන් ද වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව 'ජනතාවාදී ආන්ඩුවක් ලෙස හැඳින්වීම' පට්ට කෙබරයකි. පසුගිය අවුරුද්දේ මැතිවරන දෙකේ දී, ජවිපෙ/ජාජබ ට චන්දය දෙනලෙස ඉල්ලා සිටිමින් ඔවුන්ගෙන් බොහෝ දෙනා මේ ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද්දාහ.

ඔවුන් එසේ කලේ අනුර කුමාර දිසානායක තමන්ගේ ආන්ඩුවක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු වැඩපිලිවෙල ලිහිල්කර ගැනීමට සාකච්චා කරන බවට දෙසාබෑම ගැන මිථ්‍යා වපුරමිනි. ඒ අතර ම, ජාමුඅ වැඩපිලිවෙල අකුරටම ක්‍රියාවට දමන බවට මහා සමාගම් අධ්පතියන් ඉදිරියේ දී දිසානායක පිලිනදීම ඔවුහු වසන් කලහ.

ජනාධිපති දිසානායක හා ඔහුගේ පාලනය ඊනියා ජනතාවාදී පාලනයක් නොව, කලින් පවතී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව මෙන් ම ජාමුඅ ට සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ගැති දක්ෂිනාංශික ආන්ඩුවකි. ඒ ගැන කිසිවෙක් විචිකිච්චාවකින් ක්‍රියාකිරීම තමන්ම රවටා ගැනීමකි. සමිති නායකයෝ නම් හිතාමතාම සාමාජිකයන් රවටති. ලංබැසේස මධ්‍යම නායකයන් ජාමුඅ වැඩපිලිවෙල ඉහලින්ම පිලිගත් අයයි.

ජාමූඅ හි පිලිවෙත් යටතේ රාජ්‍ය ව්‍යවසායන් සියගනින් ප්‍රතිව්‍යූහකරනයට ගොදුරු කරමින් ලක්ෂ පහකට අධික රාජ්‍ය සේවකයින්ගේ රැකියාවන් අහිමි කෙරෙන පිලිවෙත් ආන්ඩුව විසින් විසින් ක්‍රමානුකුලව මුදාහරිමින් පවතී. ඒවා පැටවෙන්නේ දැනටමත් ඉහල දමමින් තිබෙන ඉහිලුම් නොදෙන ජීවන හා සමාජ වියදම් බර මතට ය. විරෝධතාකරුවන් ඇමතූ කිසිදු සමිති නායකයෙකු ආකාරය පිලිබඳව එකදු වචනයක්වත් පැවසුවේ නැත. සාමාජිකයන් ඔවුන්ට රැවටිය යුතු නැත.

මෙම “ජනතාවාදී“ ආන්ඩුවේ ඇමතියන් බවට පත්වී ඇති ජවිපෙට අනුබද්ධිත සමිතිවල නායකයින්, තමන් සමඟ අතීතයේ සටන් කර ඇති නමුත් දැන් ඔවුන් තමන් ගනන් ගන්නේවත් නැති බවටත් බැංකු සේවක සමිති නායකයෝ මැසිවිලි කීහ. ජවිපෙ සමිති නායකයන් අනෙකුත් සමිති නායකයන් සමග කරේ අත දමාගෙන විවිධ විරෝධතා සංවිධානය කලේ අවයාජව කම්කරුවන්ගේ අයිතීන් රැකීමට නොව ඔවුන්ගේ විරෝධතා කොටුකර දැමීම සඳහාය.

ලංබැංසේස යේ මුහුනුපොතට අනුව ජුනි 24 දින ජනාධිපති ලේකම්, සනත් කුමානායක, සමග “රාජ්‍ය බැංකු පද්ධතිය තුල මතු වී ඇති අර්බුද සම්බන්ධව“ ලංබැංසේස විසින් සාකච්ඡා පවත්වා මාස 2 කට ආසන්න කාලයක් ගතවුව ද මෙතෙක් කිසිදු 'සාධනීය විසඳුමක් ලැබී නැත.“ තවත් අදෝනාවක් වුයේ, මෙම ගැටලු ගැන මුදල් ඇමති ද වන ජනාධිපති දිසානායක දැනුවත් කල නමුත් ඔහු සමඟ සාකච්ඡාවක්වත් නොදුන් බවයි.

ඊට හේතුව අනෙකක් නොව රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් ද ආන්ඩුව ගෙනයන්නේ ජාමුඅ පිලිවෙත හෙයිනි. බැංකු සමිති නායකයන් ජාමුඅ ක්‍රියාමාර්ගයට එකඟ බව ද සාමාජිකයන් නොමග යැවීමට නොයෙකුත් කතා ගොතමින් ඔවුන්ගේ විරෝධය නොමග යැවීමට ක්‍රියාකරන බවද දිසානායක. දනී. ඔහු ද ජවිපෙ සමිති නායකයන් ද විපක්ෂයේ සිටින විට එසේ කරමින් බලයේ සිටි ආන්ඩුවලට මුක්කුව දුන් සැටි ජනාධිපති හොඳින් දනී.

ජූලි 4 දා ජාමුඅ නියෝජ්‍ය කලමනාකාර අධ්‍යක්ෂක, කෙන්ජි ඔකමුරා මෙසේ කියා ඇත: '[රාජ්‍ය බැංකුවල] අක්‍රිය නය දම්බන්ධ ප්‍රශ්නය විසඳීම, පාලනය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය බැංකු අධීක්ෂනය ද, [ඒවායේ] බුන්වත්බව (insolvancy) විසඳීමේ රාමුව ද නය වර්ධනය පුනර්ජීවනයටත් පුද්ගලික අංශයට ආධාරක වීම සඳහා ඉතා වැදගත්වේ.'

ව්‍යංගයෙන් කෙරෙන මේ සඳහන් කිරීම පිටුපසින් ඇත්තේ රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගත කිරීමේ නමින් පුද්ගලිකරනය දෙසට සිදුකල යුතු වෙනස්කම් ය.

තැපල් දෙපාර්තමේන්තුවේ සේවකයන් 17,000 ක් පමන ඉල්ලීම් 19 ක් මුල් කරගෙන තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ (පීටීඕඒ) සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුන යටතේ පසුගිය සතියේ වැඩ වර්ජනයක යෙදී සිටියහ. ආන්ඩුවේ ප්‍රතිචාරය වූයේ කම්කරුවන්ගේ නිවාඩු අවලංගු කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී, මර්දනකාරී ප්‍රහාරයක් දියත් කිරීමයි. තැපැල්, ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස, ආන්ඩුවේ පිලිවෙත් සමග යා නොහැකිනම් “වෙන තැනකට රස්සාවට යන්න පුලුවන්” යනුවෙන් කම්කරුවන්ට තර්ජනය කරමින් අවසන් නිවේදනයක් නිකුත් කල අතර අගෝස්තු 24 දා ආන්ඩුව පොලිසිය සහ හමුදාව යොදා ගනිමින් කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබුනු තැපැල්මලු කම්කරු විරෝධය මධ්‍යයේ රැගෙන ගියහ.

භීතියට පත්වූ සමිති නායකයින් 24 දා ජයතිස්ස සමග සිදුකෙරුනු සාකච්ඡාවලින් අනතුරුව, සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳෙන ගත හැකි යැයි සඳහන් කරමින්, තැපැල් අරගලය පාවා දෙමින් වර්ජනය නැවැත්වූහ.

ප්‍රතිව්‍යූහකරනයට, වානිජකරනයට සහ පුද්ගලීකරනයට ගොදුරු කෙරෙනු ඇති බැංකු, තැපෑල සහ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායයන් ආරක්ෂා කිරීමේ සටන, තවදුරටත් සමිති නිලධරය අතේ තැබිය නොහැක; මෙම අරගලය තමන්ගේ අතට ගැනීමට බැංකු සේවකයින් තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු වන අතර මෙම අරගල අනෙකුත් රාජ්‍ය අංශයේත් පුද්ගලික අංශයේත් කම්කරුවන් සමග ඒකාබද්ධ කල යුතුය.

සියලුම බැංකු, විශාල සමාගම්, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලට කැපවෙන, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටනේ කොටසක් ලෙස, මෙම කමිටු, ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ එහි ජාමූඅ හි ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් ආරම්භ කල යුතුය.

සමාජවාදී සමානතා පක්ෂයේ අපි ඔබ සමග සාකච්චා කිරීමට හා මෙලෙස සංවිධානය වීමට ආධාර කිරීමට කැමැත්තෙන් සිටිමු. 0773563227 දුරකතන අංකය හරහා අප අමතන්න: ඊමේල් ලිපිනය හරහා අපට ලියන්න:

Loading