ඉදිරිදර්ශන

ප්‍රංශ ආන්ඩුව බිඳ වැටීමෙන් අනතුරුව කම්කරු පන්තිය සඳහා ඉදිරි මාවත කුමක්ද?

[මෙය Which way forward for the working class after the fall of the French government? යන මැයෙන් 2025 සැප්තැම්බර් 09දා  පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

පැරිසියේ ඓතිහාසික පැන්තියන් ගොඩනැගිල්ල ඉදිරිපස පැවැත් වෙන මහජන විරෝධතාවක්

අගමැති ෆ්‍රැන්කොයිස් බයිරූගේ සුලුතර ආන්ඩුව සඳුදා (08) බිඳ වැටීමෙන් ඉක්බිති, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඊයේ රාත්‍රියේ, ඔහුගේ සමීප සහචරයෙකු වන ආරක්ෂක අමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ඔහුගේ පස්වන අගමැති ලෙස නම් කලේය. ප්‍රංශයේ ස්වෛරී නය සහ එහි මිලිටරි ගොඩනැගීම් සඳහා අරමුදල් සැපයීමට බයිරූ විසින් යුරෝ බිලියන 44 ක සමාජ කප්පාදු යෝජනා කර තිබුනි. දැන්, කම්කරුවන්ට අභිමුඛ වනු ඇත්තේ, බෙදී ගිය ඡන්දදායකයින්ගෙන් සමන්විත සහ මැක්‍රොන් කෙරෙහි වාර්තාගත ලෙස සියයට 85 ක අප්‍රසාදයක් පලකර සිටින, කිසිදු පක්ෂයකට බහුතර නියෝජනයක් නොමැති පාර්ලිමේන්තුවක තවත් දුර්වල ආන්ඩුවකි.

වෘත්තීය සමිති නිලධරයන් ලබන සතියේ විරෝධතා වැඩවර්ජන කැඳවීමත් සමග, අද (09) විරෝධතා පුපුරා යමින් පවතින අතර, ප්‍රංශය පුරා කම්කරුවෝ සහ තරුනයෝ “සියල්ල අවහිර කරනු” විරෝධතාවලට වීදි බැස සිටිති. ටෙලිග්‍රෑම්  පනිවුඩ හුවමාරු ජාලය ඔස්සේ සංවිධානය කර ඇති මෙම ප්‍රාදේශීය විරෝධතා සන්ධානය, ප්‍රධාන යටිතල පහසුකම් අවහිර කිරීමටත්, ජනගහනයෙන් තුනෙක් දෙකක් සහාය දක්වන ඉල්ලීමක් වන මැක්‍රොන්ට ඉල්ලා අස්වන ලෙසත් කැඳවුම් කරයි . අන්ත දක්ෂිනාංශික, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ රිටේලියෝ, ඔවුන්ට එරෙහි ව කැරලි මර්දන පොලිසියේ 80,000ක් බලමුලු ගන්වමින් සිටී.

කම්කරු පන්තිය, ධනේශ්වර කතිපයාධිකාරය සමස්ථයක් ලෙස ෆැසිස්ට් පාලන ක්‍රම දෙසට‍ හැරී ගැනීමකට එරෙහි ව, අරගලයකට අවතීර්න වෙමින් සිටී. ට්‍රම්ප්, වොෂින්ටනය සහ චිකාගෝ අත්පත් කර ගැනීමට හමුදා ඒකකවලට නියෝග කරන විට සහ බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂය, ගාසා ජන සංහාරයට එරෙහි විරෝධතාකරුවන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම් දියත් කරන විට, ප්‍රංශ කම්කරුවන් මෙසේ පොලිස් රාජ්‍යයකට අභිමුඛව සිටී. 'සියල්ල අවහිර කරනු' යන ඉල්ලීම්වලින් පිලිබිඹු කෙරෙන්නේ, කම්කරු පන්තියේ සම්පූර්න ශක්තිය බලමුලු ගන්වන මහා වැඩ වර්ජනයකට පමනක් ම, කප්පාදුවට සහ මර්දනයට එරෙහිව සටන් කල හැකි බවට වර්ධනය වන හැඟීමක් පවතින බව යි.

මෙම අර්බුදයෙන් මිදීමට, ධනේශ්වර කතිපයාධිකාරියේ දේපල අත්පත් කර ගැනීම සඳහා සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම්ව, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම හැර අන් මගක් නැත. කෙසේ වෙතත්, පවතින දේශපාලන ක්‍රමය තුල කිඳී ගිය කිසිදු සංවිධානයකින් එවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා කල නො හැකි ය. සටන් කිරීමට මාවතක් සොයන කම්කරුවන්ට සහ තරුනයින් සඳහා අතිමූලික කාරනය වන්නේ, සමාජවාදී වැඩපිලිවෙලක් සහ ධනේශ්වර පාලනය අවසන් කර, කම්කරු බලය ස්ථාපිත කිරීමේ විප්ලවවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් ව, සාමාන්‍ය කම්කරුවන් අතර නව අරගල සංවිධාන ගොඩනැගීම යි.

මැක්‍රොන්ට එරෙහි අරගල අවහිර කල සංවිධාන සමඟ—සියල්ලටත් වඩා, ජීන්-ලූක් මෙලෙන්ෂෝන් විසින් නායකත්වය දෙන නව මහජන පෙරමුනේ (එන්එෆ්පී) පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයන් සමඟ—ගනුදෙනු බේරා ගැනීමකට යා යුතුය. එහි වෘත්තීය සමිති නිලධාරීන් අද විරෝධතාවලට සහාය දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ, ඊයේ (08), එහි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, හරිත සහ ස්ටැලින්වාදී සාමාජිකයෝ, තාවකාලික වසයෙන් හා අසාර්ථක ලෙස මැක්‍රොන් සඳහා ඇමතිවරුන් ලෙස ඉදිරිපත් වී ගත්හ.

මහා වැඩ වර්ජනයක් සඳහා වන ඉල්ලීම් අනුමත කරමින් සහ මැක්‍රොන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින්, මෙලෙන්ෂෝන් වඩාත් රැඩිකල් ඉරියව්වක් කරා මාරු විය. කෙසේ වෙතත්, කම්කරුවන්ගේ අරගල, නව ධනේශ්වර ආන්ඩුවක් ස්ථාපනය කිරීම සඳහා හුදු මෙවලමක් ලෙස පමනක් යොදාගැනීමට ඔහු යෝජනා කරයි. බයිරූගේ වැටීමෙන් පසු වැඩිම නරඹන්නන් පිරිසක් සම්බන්ධවන  වේලාවන්හි පැවැත්වෙන රූපවාහනී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසූ පරිදි, මැක්‍රොන් වැටීමෙන් පසු ඔහුට නව ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ, “මේ රටේ යහපත් මිනිසුන්ට, ව්‍යවසායකයින්ට ... සිදුවන්නේ කුමක්ද යන්න පිලිබඳ දැක්මක්” ලබා දීමට ය.

මෙය කම්කරුවන්ට දේශපාලන උගුලකි. බයිරූගෙන් පසු බලයට පත්වන ඕනෑම ධනේශ්වර ආන්ඩුවක්, විදේශයන්හි යුද්ධ කරන අතර රට තුල ඒකාධිපතිත්වය සහ පන්ති යුද්ධය පාලනය කරනු ඇත. ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධයේ පීඩනය යටතේ, බැංකු, ගැඹුරු කප්පාදු හරහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 114ක තරම් ප්‍රතිශතයක පවතින දැවැන්ත නය කන්දරාව ගෙවන ලෙස ඉල්ලා සිටියදී පවා, ප්‍රංශ අධිරාජ්‍යවාදය සන්නද්ධ වෙමින් ද යුද්ධය දෙසට කිඳී යමින් ද සිටී.

ප්‍රංශ රාජ්‍යය  වාර්ෂිකව යුරෝ බිලියන 330 ක බදු ආදායමක් ලබයි; එහි වියදම්වලින් සියයට 71 ක්, විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ පවුල් ප්‍රතිලාභ වැනි සමාජ වැඩසටහන් සඳහා ය. නමුත් පැරිස් ආන්ඩුව, මිලිටරිය සඳහා තවත් යුරෝ බිලියන 100 ක්, නය සඳහා පොලිය ලෙස යුරෝ බිලියන 100 ක් සහ ප්‍රංශයේ නය ගෙවීම සඳහා තවත් බිලියන කීප දහයක් වියදම් කිරීමට පොරොන්දු වී තිබේ. මෙහි තේරුම, සමාජ වැඩසටහන් මුලුමනින් පාහේ අහෝසි කිරීම සහ මෙමගින් ප්‍රකෝප කෙරෙන  මහජන විරෝධය තලා දැමීම සඳහා ෆැසිස්ට්වාදී පොලිස් රාජ්‍යයක් ගොඩනැගීම යි.

ධනේශ්වරය එවැනි සැලසුම් සූදානම් කරමින් සිටී. ඇත්ත වශයෙන්ම, නව-ෆැසිස්ට්වාදී ජාතික රැලියේ (ආර්එන්) සභාපති ජෝර්දාන් බාර්ඩෙල්ලා මෑතකදී ප්‍රංශයේ ප්‍රධාන විධායක නිලධාරීන්ට ලිපියක් යොමු කලේ ය. විදේශිකයන්ගෙන් ප්‍රංශ ජනතාව ආරක්ෂා කිරීම පිලිබඳව ආර්එන් සාමාන්‍යයෙන් සිදුකරන නරුම, විදේශිකභීතික වාචාල පසෙක තබමින්, ඔහු සාමය යථා තත්ත්වයට පත් කිරීමට සහ සමාජ වියදම් යුරෝ 44 කින් නොව, යුරෝ බිලියන 100 කින් කපා හැරීමෙහිලා ස්ථාපනය කල හැකි හොඳම පක්ෂය ලෙස සෘජුවම ආර්එන් ප්‍රවර්ධනය කලේය.

කෙසේ වෙතත්, මෙලෙන්ෂොන් ජනාධිපති වුව ද ඔහුගේ ප්‍රතිපත්තිය මූලික වශයෙන් වෙනස් නොවනු ඇත. යුක්‍රේනයට හමුදා යැවීමට, පොලිසිය ශක්තිමත් කිරීමට සහ ධනේශ්වර දේපල ආරක්ෂා කිරීමට එන්එෆ්පී වැඩපිලිවෙල පොරොන්දු වේ. බලයේ සිටින විට, ප්‍රංශ ධනවාදය ස්ථාවර කිරීම සඳහා වන එහි පියවරයන්ට එරෙහි විරෝධය තලා දැමීම සඳහා එය ඉක්මනින්ම කුරිරු මර්දනයකට යොමු වනු ඇත.

යමෙකු, එන්එෆ්පී හි ග්‍රීක අනුරුව වන සිරිසා (“රැඩිකල් වාම සන්ධානය”) හි භූමිකාව සිහියට නගාගත යුතුය. යුරෝපා සංගමය පැනවූ කප්පාදුව අවසන් කරන බවටවූ පොරොන්දු මත 2015 දී තේරී පත් වූ සිරිසාව, ග්‍රීක නයට එරෙහි මූල්‍ය සමපේක්ෂනයට ප්‍රතිචාර දැක්වූයේ, යටත් වීම, ගැඹුරු කප්පාදු පැනවීම සහ සරනාගතයින් සඳහා රැඳවුම් කඳවුරු ඉදිකිරීම මගිනි.

කම්කරු පන්තිය ඓතිහාසික සන්ධිස්ථානයකට පැමින ඇති අතර, එහිදී 1930 ගනන්වල පාඩම් සහ ෆැසිස්ට්වාදයේ නැගීමට එරෙහිව කම්කරු පන්තියේ අරගල ආවශ්‍යයෙන් ම උගත යුතුය. පැහැදිලි විකල්ප දෙකක් ඉදිරිපත්ව තිබේ. එක්කෝ, කම්කරු පන්තිය තලා දැමීම සඳහා ධනේශ්වර කතිපයාධිකාරය ෆැසිස්ට්වාදී ආඥාදායකත්වයක් ගොඩනඟයි; නැතහොත් කතිපයාධිකාරීන් අත්පත් කර ගැනීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය විප්ලවවාදී අරගලයක් දියත් කරයි. මේ සඳහා වෘත්තීය සමිති නිලධරයන්ගේ යකඩ සැට්ටය බිඳ දමා, පන්ති අරගලය ක්‍රියාත්මක කිරීමට කැප වූ, සාමාන්‍ය කම්කරුවන්ගේ අව්‍යාජ සංවිධාන ගොඩනැගීම අවශ්‍ය වේ.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (කක්‍රික-ජාකස), වෘත්තීය සමිති නිලධරයන්ගෙන් බලය, සියලුම කර්මාන්තශාලා සහ සේවා ස්ථානවල කම්කරුවන් වෙත මාරු කරන ලෙස ඉල්ලා සිටී. ප්‍රංශයේ සහ යුරෝපය පුරා කම්කරුවන් එක්සත් කරන එවැනි නව ආකාරයේ පන්ති සංවිධානයක්, ෆැසිස්ට්වාදය, ජන සංහාරය සහ යුද්ධය පිලිබඳ සංගත-මූල්‍ය කතිපයාධිකාරී වැඩපිලිවලට එරෙහි ප්‍රතිරෝධය සංවිධානය කරමින්, එය පරාජය කිරීම අවශ්‍ය වේ.

ප්‍රංශයේ සමාජවාදී සමානතා පක්ෂය පහත සඳහන් ඉල්ලීම් යෝජනා කරන අතර, කක්‍රික-ජාකස සඳහා සහයෝගය ගොඩනැගීමට කම්කරු පන්තිය තුල දේශපාලන ප්‍රහාරයක් දියත් කල හැකිවන්නේ ඒ මත ය:

මහජන ඇපකර අරමුදල් අත්පත් කර ගනු, ධනේශ්වර කතිපයාධිකාරිය අස්වාමික කරනු!

සමාජ වැඩසටහන් සහ රැකියා සඳහා මුදල් නොමැති බවට වන බොරුව, කම්කරුවන්  ප්‍රතික්ෂේප කල යුතුය. ප්‍රංශයේ සහ යුරෝපය පුරා ධනේශ්වර කතිපයාධිකාරය විසින් ස්වසන්තක කර ගන්නා ලද ලද යුරෝ ට්‍රිලියන ගනනක මහජන අරමුදල් අත්පත් කර ගෙන, ඒවා රැකියා සහ සමාජ වැඩසටහන් සඳහා අරමුදල් සැපයීමට භාවිතා කල යුතුය. මේ සඳහා, කතිපයාධිකාරය අස්වාමික කිරීමටත්, යුරෝපයේ ප්‍රධාන ව්‍යවසායන් ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන මහජන උපයෝගිතා ජාලයක් බවට පත් කර ගැනීමටත්, කම්කරු පන්තියේ අරගලයක් අවශ්‍ය වේ.

මැක්‍රොන් බලයෙන් පහකරනු, පස්වන සමූහාන්ඩුවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු!

ප්‍රංශ ධනේශ්වරය, පොලිස් මර්දනය සහ වර්ජකයින් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම් මගින්, ජනතාවට එරෙහිව පාලනය දියත් කරයි. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කුමන්ත්‍රනවල මර්මස්ථානය වන, 1958 ප්‍රංශ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුතුය. අවසානයේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාර අවසන් කිරීම සඳහා, කම්කරු පන්තියේ සංවිධාන වෙත බලය පැවරීම අවශ්‍ය වනු ඇත: ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිව සමාජවාදයක් තිබිය නොහැක්කා සේ ම, සමාජවාදය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදයක් ද තිබිය නොහැක.

අධිරාජ්‍යවාදී යුද්ධය එපා, නැටෝව විසුරුවා හරිනු! මිලිටරි ගොඩනැංවීම නවත්වනු!

ජනතාවගෙන් අතිමහත් බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කරන ලද, ප්‍රංශ හමුදා යුක්‍රේනයට යැවීමේ සැලසුම් නතර කල යුතු ය. නැටෝව විසුරුවා හැර, එහි යුද්ධ අවසන් කිරීම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස, රුසියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයක් අවුලුවාලීමට තර්ජනය කරන අධිරාජ්‍යවාදී නැටෝ සන්ධානයෙන් ප්‍රංශය ඉවත් විය යුතු ය. “ඉහල තීව්‍රතාවයකින් යුත් යුද්ධයක්” සඳහා මිලිටරි වියදම් වැඩි කිරීමට, එනම් රුසියානු සහ යුක්‍රේන සොල්දාදුවන්ගේ වත්මන් භාතෘඝාතක සංහාරය වැනි සමූහ ඝාතනයන්ට සතයක්වත් නො දිය යුතු ය.

ගාසා සංහාරය නවත්වනු! ජන සංහාරයට විරුද්ධ වන අයට හිංසා පීඩා නොකරනු!

ප්‍රංශයේ සහ ජාත්‍යන්තරව කම්කරුවන් ඊශ්‍රායලයට අවි නිෂ්පාදනය සහ බෙදා හැරීම අවහිර කල යුතුය. ගාසා සංහාරයේ විරුද්ධවාදීන්ට, ව්‍යාජ ලෙස, ත්‍රස්ත විරෝධී හෝ යුදෙව් විරෝධී චෝදනා මත නඩු පැවරීම අවසන් කල යුතුය. ජන සංහාරයට වගකිව යුතු ඊශ්‍රායල නිලධාරීන්, ප්‍රංශ සහ නැටෝ නිලධාරීන් වැනි, එයට හවුල් වූ අයට එරෙහි ව නඩු පැවරිය යුතු ය.

සංක්‍රමනිකයින්ට හිංසා පීඩා කිරීම නවත්වනු! කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා!

සමාජවාදය සඳහා වන අරගලය, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා වන අරගලයෙන් වෙන් කල නොහැකි ය. සංක්‍රමනිකයින්ට හිංසා පීඩා කිරීම, සරනාගතයින් සඳහා සමූහ රැඳවුම් කඳවුරු පිහිටුවීම සහ ප්‍රංශ පාසල්වල මුස්ලිම් ඇඳුම් තහනම් කිරීම වැනි නින්දිත නීතිවලට කම්කරුවන් විරුද්ධ විය යුතුය. පාලක ප්‍රභූව, ජාතික රේඛා ඔස්සේ කම්කරුවන් බේදභින්න කිරීමට මෙන්ම, යුද්ධය හා ධනවාදයට එරෙහි යුරෝපීය අරගලයක් අවහිර කිරීමට දරන උත්සාහයන් ජය ගැනීමට සමාජවාදය සඳහා මෙම අරගලය අත්‍යවශ්‍ය වේ.

යුරෝපා එක්සත් සමාජවාදී සමූහාන්ඩු සඳහා!

ප්‍රංශයේ කම්කරුවන්ට සහ තරුනයින්ට, යුද්ධය, ෆැසිස්ට්වාදය, ජන සංහාරය සහ කප්පාදුවට එරෙහිව යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව මිලියන සංඛ්‍යාත කම්කරුවන් තුල බලගතු සගයන් සිටී. නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට බාධා කරනු ඇත. ධනවාදී යුරෝපා සංගමය, යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් මගින් විස්ථාපනය කරමින්, යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියට බලය මාරු කිරීම සඳහා, කම්කරුවන්, සාමාන්‍ය කම්කරුවන්ගේ අරගල සංවිධාන සහ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟා ගත යුතු ය.

Loading