[මෙය Build rank-and-file committees to wage struggle against Macron and war—a reply to Mélenchon මැයෙන් 13දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]
ඓතිහාසික අයවැය අර්බුදයක් සහ සැප්තැම්බර් 10දා සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කරන ලද පලමු මහජන විරෝධතාව මධ්‍යයේ ප්‍රංශ රජයේ වැටීම, ධනේශ්වර පාලනයේ අර්බුදය හෙලිදරව් කර තිබේ. නේටෝ බලවතුන් රුසියාවට එරෙහිව යලි මිලිටරිකරනය සහ යුද උන්මාදය සඳහා වියදම් වැඩි කරන විට, ප්‍රංශය සහ අනෙකුත් යුරෝපීය රටවල් රාජ්‍ය බංකොලොත්භාවයේ අද්දර වැනෙමින් සිටියි. අතිමූලික ප්‍රශ්නය වන්නේ, මහජනතාවට එල්ල වන දැවැන්ත සමාජ ප්‍රහාර සහ යුද්ධය තවදුරටත් උත්සන්න වීම නැවැත්වීමට කම්කරු පන්තියට මැදිහත් විය හැක්කේ කෙසේද යන්න යි.
මෙම අර්බුදය මගින්, දේශපාලන සංස්ථාපිතය -- සියල්ලටත් වඩා, ප්‍රංශයේ, ජීන්-ලූක් මෙලෙන්ෂොන්ගේ, නොනැවෙන ප්‍රංශය (එල්එෆ්අයි) නම් පක්ෂය-- කම්කරු පන්තියේ විරුද්ධත්වය විසුරුවා හැරීම සඳහා භාවිතා කරන යාන්ත්‍රනයන් ද හෙලිදරව් කරමින් තිබේ. “1000ක් කැපුම් විවරයක් පාදයි” යන මාතෘකාව යටතේ සැප්තැම්බර් 10දා ලියූ ඔහුගේ බ්ලොග් සටහනින් මෙලෙන්‌ෂොන් අවධාරනය කරන්නේ, ප්‍රංශයේ පුලුල් ලෙස වෛරයට පාත්‍ර වූ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉවත් කිරීමට කල යුත්තේ, ඉල්ලීම් කිහිපයක් නිකුත් කිරීම පමනක් බවයි. ඉන්පසු පුරවැසියන්ගේ විප්ලවයක් ස්වයංසිද්ධ ව දිග හැරෙනු ඇතැයි ඔහු කියා සිටී:
තත්වය මේරීමට ඉඩ දීම අපට ප්‍රමානවත් ය. ඉහල පෙලේ අස්ථාවරත්වයේ මට්ටම සනාථ කරමින්, ආන්ඩු දෙකක් දැනටමත් කඩා වැටී ඇත. හොඳ ක්‍රියාකාරී සැලැස්මක් සමඟ, අපි එයට පොඩි තල්ලුවක් ලබා දුන්නෙමු. ප්‍රතිඵලය, අප යෙදවූ මාධ්‍යයන්ට වඩා බෙහෙවින්ම වැඩිමනත් එකකි. ...
තවත් බොහෝ දේ කිරීමට උත්සාහ කිරීමෙන් වෙහෙසට පත්වීම නිෂ්ඵල ය. [ඉහල පෙලේ අය] තමන්වම අන්ධ කර ගනිමින් සිටින අතර, එලැඹෙන කැරැල්ලත් සමග ගනුදෙනු බේරාගැනීමට තමන් අසමත් බව එමගින් ප්‍රදර්ශනය කරමින් සිටී. මහජනයාගේ මනසෙහි මෝරන පුරවැසි විප්ලවය, බියපත්ව වෙව්ලන යල්පැනගිය ධනවත් ප්‍රභූන් තම රූපවාහිනීවලට ඇලී සිටිමින් පරිකල්පනය කල ආකාරයේ කුමන්ත්‍රනයකට වඩා, ස්වභාවධර්මයේ ප්‍රබල බලවේගයකට සමාන ය.
මෙය, කම්කරුවන් නලවා, නිදි කරවීමට අරමුනු කල, මුලුමනින්ම වගකීම් විරහිත, ඇත්ත වසයෙන්ම ප්‍රතිගාමී ප්‍රයත්නයකි. මහජන දේශපාලන කෝපය මූලික පිපිරීමක් ලඟා වෙමින් පවතී, නමුත් කම්කරු පන්තිය මෙයින් මතු කරනු ඇති විප්ලවවාදී අභියෝග සඳහා තමන්ගේ සූදානම ඇති කර ගත යුතු ය. ධනේශ්වර ප්‍රතිවිප්ලවය, කැරලි මර්දන පොලිසිය පමනක් නොව, බැංකුවල බලය සහ සියල්ලටත් වඩා, එල්එෆ්අයි සමඟ බැඳී ඇති වෘත්තීය සමිති නිලධරයන්ගේ බිඳ විසුරුවීමේ භූමිකාව භාවිතා කරමින්, නිර්දය ලෙස සටන් කරනු ඇත.
මැක්‍රොන්ගේ බෙහෙවින්ම අපකීර්තියට පත් විශ්‍රාම වැටුප් කප්පාදුවලට එරෙහි 2023 අරගලයේ දී මෙම නිලධරයන්ගේ කාර්යභාරය පැහැදිලි ව පෙන්නුම් කෙරුනි. දසලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වැඩ වර්ජනයට එලැඹුනු අතර, ප්‍රංශය පුරා කැරලි ඇති විය. නමුත් මැක්‍රොන් ඔහුගේ කප්පාදු නීතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, වෘත්තීය සමිති ප්‍රධානීහු විරෝධතා යටපත් කර වැඩ වර්ජන නවතා දැමූහ. කම්කරුවන්ට මෙම අනතුරු ඇඟවීම කල යුතු ය: වෘත්තීය සමිති නිලධරයන්, බලයට එන අගමැති සෙබස්තියන් ලෙකෝර්නු සමඟ ඔවුන්ගේ “මන්ත්‍රනයන්” නැවත ආරම්භ කරන විට, ඔවුන් ඇදෙමින් සිටින්නේ නැවතත් එම භූමිකාවම රඟදැක්වීමට ය.
නිලධරයන්ගෙන් තම අරගලවල පාලනය නැවත ලබා ගැනීමට, කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන අරගල සංවිධාන, වැඩපලවල, පාසල්වල සහ කම්කරු පන්තික අසල්වැසි ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය. ප්‍රංශයේ සහ යුරෝපය පුරා ධනේශ්වර පාලනයේ අර්බුදය, එල්එෆ්අයි යෝජනා කරන පරිදි, ප්‍රංශය තුල ඡන්ද පෙට්ටිය තුල දිග හැරෙන “පුරවැසි විප්ලවයකින්” විසඳිය නොහැක. යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව ක්‍රමිකව වැඩෙන සමාජවාදී විප්ලවයකට පමනක්, ධනේශ්වර කතිපයාධිකාරය අත්පත් කර ගනිමින්, ජීවන තත්වයන්හි බිඳ වැටීමක් සහ යුද්ධය තවදුරටත් උත්සන්න වීම වැලැක්විය හැකිය.
මෙලෙන්ෂොන් ඔහුගේ බ්ලොග් සටහන තුලදී “තිබෙනවායැයි කියන නය අර්බුදයක්” ගැන යලිවතාවක් සමච්චලයට ලක් කරන අතර, යථාර්ථයේ දී ගත් කල, යුරෝපයේ ධනවාදයේ ඇත්තේ මාරාන්තික අර්බුදයක ය. ස්වෛරී නය, ප්‍රංශයේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 114 ක්, ඉතාලියේ සියයට 150 ක්, ස්පාඤ්ඤයේ සියයට 104 ක් සහ බ්‍රිතාන්‍යයේ සියයට 102 කි. නැවත මිලිටරිකරනය සඳහා යුරෝ ට්‍රිලියන 1 ක් වියදම් කිරීමේ ජර්මනියේ සැලැස්ම, එහි නය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 90 දක්වා ඉහල නැංවිය හැකිය. යුරෝපය පුරා, රටවල් තම නය බැංකුවලට ගෙවීම සඳහා යුරෝ බිලියන සිය ගනනක් වියදම් කරන අතර, රුසියාව සමඟ යුද්ධයට සූදානම් වීම සඳහා තම සන්නද්ධ හමුදා නවීකරනය කිරීම සඳහා බිලියන සිය ගනනක් වියදම් කරන ලෙස ඉල්ලා සිටියි.
ප්‍රංශ අයවැය අර්බුදය, යුරෝපය පුරා කම්කරුවන්ට මතු කරන ගැටලු පැහැදිලිව විලක්ෂනය කරයි. යුරෝ බිලියන 330 ක බදු ආදායමක් මත, ප්‍රංශ රාජ්‍යය එහි වැඩිවන නය සඳහා යුරෝ බිලියන 100 ක්, මිලිටරිය සඳහා යුරෝ බිලියන 50 ක් සහ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් කරා ලඟා වීම සඳහා එහි මිලිටරි වියදම් තවත් යුරෝ බිලියන 100 කින් වැඩි කිරීමට පොරොන්දු වෙමින් සිටී. ධනේශ්වරයට යුද්ධය සඳහා වන සැලසුම් සහ බැංකුවලට දැවැන්ත ගෙවීම් සමඟ ඉදිරියට යාමට ඉඩ දෙන්නේ නම්, එය අරමුදල් කපා හැර සමාජ සුභසාධන රාජ්‍යය විනාශ කරනු ඇත. පාර්ටි ඩි ලිගලයිට් සෝෂලිස්ටෙ -පීඊඑස්- හෙවත් ප්‍රංශ සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කල ප්‍රකාශය පැහැදිලි මෙසේ පැහැදිලි කලේය :
පැහැදිලි විකල්ප දෙකක් ඉදිරිපත්ව තිබේ. එක්කෝ, කම්කරු පන්තිය තලා දැමීම සඳහා ධනේශ්වර කතිපයාධිකාරය ෆැසිස්ට්වාදී ආඥාදායකත්වයක් ගොඩනඟයි; නැතහොත් කතිපයාධිකාරීන් අත්පත් කර ගැනීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය විප්ලවවාදී අරගලයක් දියත් කරයි. මේ සඳහා වෘත්තීය සමිති නිලධරයන්ගේ යකඩ සැට්ටය බිඳ දමා, පන්ති අරගලය ක්‍රියාත්මක කිරීමට කැප වූ, සාමාන්‍ය කම්කරුවන්ගේ අව්‍යාජ සංවිධාන ගොඩනැගීම අවශ්‍ය වේ.
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (කක්‍රික-ජාකස), වෘත්තීය සමිති නිලධරයන්ගෙන් බලය, සියලුම කර්මාන්තශාලා සහ සේවා ස්ථානවල කම්කරුවන් වෙත මාරු කරන ලෙස ඉල්ලා සිටී. ප්‍රංශයේ සහ යුරෝපය පුරා කම්කරුවන් එක්සත් කරන එවැනි නව ආකාරයේ පන්ති සංවිධානයක්, ෆැසිස්ට්වාදය, ජන සංහාරය සහ යුද්ධය පිලිබඳ සංගත-මූල්‍ය කතිපයාධිකාරී වැඩපිලිවලට එරෙහි ප්‍රතිරෝධය සංවිධානය කරමින්, එය පරාජය කිරීම අවශ්‍ය වේ.
“පුරවැසි විප්ලවය” සඳහා සහ තත්වය “මේරීමට” ඉඩ දීම සඳහා මෙලෙන්ෂොන් කරන ඉල්ලීම, සමාජවාදය සහ කම්කරු බලය සඳහා වන අරගලය අවතක්සේරු කිරීමෙන්, නිලධරයන්ගේ බලපෑම තහවුරු කර ගැනීමට ඉඩදීමටත්, කම්කරු පන්තියේ බලමුලු ගැන්වීමක් අවහිර කිරීමටත් දරන උත්සාහයකි. ඔහුගේ බ්ලොග් සටහනේ, සමාජ අසමානතාවට එරෙහි මහජන “කහ කබා” විරෝධතා හෙලා දැකීම සම්බන්ධයෙන්, ස්ටැලින්වාදීන් නායකත්වය දෙන කම්කරු පොදු සම්මේලනයේ ( සීජීටී) නිලධරය තුල ඔහුගේ සහචරයින්ට ඔහු බැන අඩගසයි.
විරෝධතාවලට සහාය දක්වන ආකාරයේ නාමික මිත්‍රශීලි ඉරියව්වක් පාන ලෙස මෙලෙන්ෂොන්, වෘත්තීය සමිති නායකයින් ව දිරිමත් කරයි, එවිට, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ලෙකෝර්නු සමග ඔවුන්ගේ රහසිගත රැස්වීම් වසන් කිරීමට මෙන්ම, වෘත්තීය සමිති පාවාදීම්වලට එරෙහිව කම්කරුවන් නැගී සිටීම වැලැක්වීමට ඔවුන්ට පුලුවන. ඔහු මෙලෙස ලියයි:
සැප්තැම්බර් 10 විරෝධතා දිනය, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ දැවැන්ත මහජන ක්‍රියාමාර්ග අතර පවත්වාගෙන යන විභේදනය මගින් ඇති කරන සියලු ගැටලු විසඳන්නේ නැත. ප්‍රධාන සීජීටී (ප්‍රංශයේ විශාලතම වෘත්තීය සමිතිය-පරිවර්තක) ශාඛා සහ ප්‍රාදේශීය වෘත්තීය සමිතිවල දැඩි සහයෝගය සමඟින්, සැප්තැම්බර් 10 වන දින විරෝධතාවට එක්වීමට සොලිඩෙයාර්ස් (ප්‍රංශ වෘත්තීය සමිති ෆෙඩරේෂනයක්-පරි.) ගත් ඉක්මන් තීරනය, කහ කබා ව්‍යාපාරය පැවැති කාලයේදී පුලුල් වූ වෘත්තීය සමිති සහ බිම් මට්ටමේ විරෝධතාකරුවන් අතර පැවැති ඇතැම් බෙදීම් සමනය කිරීමට උපකාරී විය. …
මෙවර, සීජීටී සැප්තැම්බර් 10ට සහාය දැක්වීය. නමුත් සැප්තැම්බර් 18 වන දින වැඩවර්ජන සඳහා කැඳවීමෙන්, එය [සැප්තැම්බර් 10 සහ සැප්තැම්බර් 18 දින බලමුලු ගැන්වීම් අතර] තරඟයක් ස්ථාපිත කල අතර එය අරගලවල ශක්තිය දුර්වල කලේය. වාසනාවකට මෙන්, මෙය සැප්තැම්බර් 10 වර්ජනයේ සාර්ථකත්වය හෝ විරෝධතාවල මහජන ස්වභාවය වැලැක්වූයේ නැත. සෑම කෙනෙකුම මෙම කරුන ගැන මෙනෙහි කල යුතුය.
ඇත්ත වශයෙන්ම, ලෙකෝර්නු සමඟ වෘත්තීය සමිති නිලධරයන්ගේ කුමන්ත්‍රනයෙන් සහ විප්ලවයට ඔවුන් දක්වන සතුරුකමෙන් කම්කරුවන් උකහා ගත යුතු පාඩම නම්, පවතින දේශපාලන ක්‍රමයට සම්පූර්නයෙන්ම පරිබාහිරව අරගලයේ ස්වාධීන සංවිධාන ගොඩනැගීම සඳහා සම්මුති විරහිත අරගලයක අවශ්‍යතාව යි. යුරෝපය පුරාමත් ඉන් ඔබ්බේත් කක්‍රික-ජාකස ගොඩනැගිය යුතුය.
වැඩ කරන ජනතාවගේ ස්වයං-සංවිධානයට තමන් සහාය දෙන බව මෙලෙන්ෂෝන් නරුම ලෙස කියා සිටින්නේ නමුත්, එය සාක්ෂාත් කර ගැනීම සඳහා එල්එෆ්අයි කිසිදු කාර්යභාරයක් ඉටු නොකරන බව පැහැදිලි කිරීම සඳහා පමනි. ඇත්ත වශයෙන් ම, ඔහු වෑයම් කරන්නේ, තම පක්ෂය කිසිදු විප්ලවවාදී තර්ජනයක් එල්ල නොකරන බව තම පාඨකයින්ට ප්‍රතිසහතික කිරීමට ය. “ස්වයං-මූලෝපාය” සහ “ස්වයං-සංවිධානය” සඳහා මෙලෙන්ෂොන්ගේ කැඳවුම වාමාංශික ස්ථාවරයක් ලෙස ඉදිරිපත් කරනු ලැබුවද, ප්‍රායෝගිකව එය, ධනපති ක්‍රමය ආරක්ෂා වන බවට සංස්ථාපිතයට සහතික කරන අතර ම, අව්‍යාජ, ස්වාධීන සාමාන්‍ය කම්කරුවන්ගේ බලය ගොඩනැගීමේ වගකීමෙන් එල්එෆ්අයි වැලකී සිටීමට මාර්ගයකි:
“හැමෝම දන්නා පරිදි, ස්වයං-සංවිධානය යනු, මහජන අරගලය පිලිබඳ එල්එෆ්අයි හි ප්‍රියතම ආකෘතිය යි යි. ෆැසිස්ට්වාදීන්, ඔවුන්ගේ පැත්තෙන් වනාන්තරවල රහසිගත රැස්වීම් පවත්වන අතර, කලු ජාතිකයින් සහ අරාබිවරුන් දඩයම් කිරීම සඳහා-- රජය වැඩි සැලකිල්ලක් නොදක්වන-- පැරාමිලිටරි කන්ඩායම්වලින් ඔවුහු පුහුනුව ලබති... එල්එෆ්අයි සතුව සාමාජිකයන් 500කින් සමන්විත “ආරක්ෂක කාන්ඩයක්” ඇත- ආරක්ෂකයින් සහ උත්සව භාරකරුවන් ලෙස පමනක් ක්‍රියාත්මක වන ඔවුන්ගේ කාරිය වන්නේ, රැස්වීම් සුමටව පැවැත්වෙන බවත් නායකයින් ආරක්ෂිත බවත් සහතික කිරීමත් ය. (ඒ හැරුනු විට වීදිවල ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයට ඒරෙහිව සටන් කිරීමට හෝ ප්‍රහාරයට ලක්වන සංක්‍රමනික සහ කම්කරු පන්ති ප්‍රජාවන් ආරක්ෂා කිරීමට ඔවුන් සංවිධානය වන්නේ නැත-පරි.).
නමුත් කම්කරු පන්තියේ ස්වයං-සංවිධානය - එනම්, පවතින දේශපාලන ක්‍රමයෙන් මුලුමනින්ම පරිබාහිරව අරගලයේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම - සඳහා සටන් කල යුතුය. එහි නායකයා හරහා, එල්එෆ්අයි ප්‍රකාශ කරන්නේ, මෙම අරගලය එය විසින් ඉදිරියට ගෙන යනු නැති බවයි. එමෙන්ම ඔහුගේ ප්‍රකාශය පැහැදිලි කරන්නේ, මෙය, ඔහුගේම අදහසක් පමනක් නොව, ස්වාධීන කම්කරු පන්ති වැඩපිලිවෙලට එරෙහි ඔහුගේ නව ජනතා පෙරමුන ඔහු අනුගමනය කරමින් මෙම සන්ධානයට සම්බන්ධවූ අසංඛ්‍යෙ සුලු ධනේශ්වර කන්ඩායම්වල ද ස්ථාවරය බවයි. මෙම සියලු සංවිධාන කියා සිටින්නේ වෘත්තීය සමිති නිලධරයන්ට “සටන් සැලැස්මක්” ලබා දීම සඳහා පීඩනය යෙදිය යුතු බවයි.
මේ අනුව, කම්කරුවන් සහ තරුනයින් අතර වඩාත්ම කැපවූ සහ ආත්ම පරිත්‍යාගශීලී කොටස්, ස්වාධීන මාවතකට පිවිස කම්කරු පන්තිය තුල වඩාත් පුලුල් ලෙස ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීම සඳහා සටන් කල යුතුය. එවැනි අරගලයකට දේශපාලන නායකත්වය සැපයීම සඳහා ප්‍රංශයේ ගොඩනගා ගත යුතු දේශපාලන සංවිධානය (මෙලන්ෂෝන්ගේ) එල්එෆ්අයි නො ව, ප්‍රංශයේ සමාජවාදී සමානතා පක්ෂය යි.