බලශක්ති ඇමතිගේ තර්ජනයට විරුද්ධ වෙනු! ආන්ඩුවේ ප්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙලට එරෙහි ව සටන් වැදීමට ලංවිම ක්‍රියාකාරී කමිටු පිහිටුවනු!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) රුදුරු කප්පාදු පිලිවෙත් ප්‍රකාර ව, ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම) සමාගම්වලට කොටස් කර, අවසානයේ පුද්ගලීකරනය කිරීමේ ක්‍රියාවලියට එරෙහි ව ලංවිම කම්කරුවන් අතරින් මතු වී ඇති විරුද්ධත්වය නිසා ආයතනයේ වෘත්තීය සමිති නායකයන් අද සහ හෙට (සැප්තැම්බර් 17-18) ලෙඩ නිවාඩු දැමීමේ සීමිත වර්ජන ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇත. ආන්ඩුව ඊට තර්ජනාත්මක ව ප්‍රතිචාර දක්වා තිබේ. 

2025 ජූලි 22 කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ යෙදෙන විදුලිබල කම්කරුවෝ

බලශක්ති ඇමැති කුමාර ජයකොඩි සඳුදා (සැප්තැම්බර් 15) ප්‍රකාශ කලේ, දැනටමත් ලංවිම ආයතන හතරකට වෙන් කර, සේවකයන් එම ආයතනවලට බඳවා ගන්නා බව දැනුම් දී ඇති බවයි. තම රැකියා හා සේවා කොන්දේසිවල ආරක්ෂාව ගැන කිසිදු සහතිකයක් නැති මෙම වැඩපිලිවෙලට එරෙහි ව සිටින සේවකයන්ට තර්ජනය කරමින්, බලශක්ති ඇමැති කීවේ,  “එයට අකමැති සේවකයන්ට සේවයෙන් ඉවත්වී යා හැකි” බවයි.   

මෙසේ ඉවත්ව යන සේවකයන්ට රුපියල් මිලියන 5ක වන්දියක් දෙන බව ද ඔහු කීවේ ය. මෙම සොච්චම් වන්දි මුදලට එකඟ වුවහොත්, සේවකයන් අතට ලැබෙනු ඇත්තේ,  ලංවිම ට සහ බැංකු නයට කපාගත් පසු ඉතිරිවන සොච්චමක් පමනි. එතැනින් එහා ඔවුන්ගේ ජීවිත යකාට ගියාවෙන් යන්න ආන්ඩුවේ තේමා පාඨය යි. 

ලංවිම ප්‍රතිව්‍යුහකරනය සිදු කරන්නේ, ඇමති ප්‍රකාශ කරන ආකාරයෙන් කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කරදීමට නොවේ.  ලංවිම මේ ආකාරයෙන් ම පැවතියේ නම්, සැප්තැම්බර් 17දා වනවිට සේවකයන් 12,000ක් ඉන් ඉවත් කිරීමට අමාත්‍ය මන්ඩල තීරනයක් ගෙන තිබු බව ඇමති කීවේ ය. රැකියා හා සේවා කොන්දේසිවල සුරක්ෂිතතාව ගැන කිසිදු සහතිකයක් නැතිව, ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමට බලකරමින් ආන්ඩුව වෙනත් ආකාරයකින් ක්‍රියාවට දමමින් සිටින්නේ එම රැකියා විනාශය යි.  

බලශක්ති ඇමති ඇතුලු ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව මෙන්ම,  සමිති නායකයින් ද කම්කරුවන්ගේ වසන් කරන කාරනය වන්නේ, ලංවිම ප්‍රතිව්‍යුහකරනය සිදුකරන්නේ, ඩොලර් බිලියන 3 ක ඇපනයක් ලබාදීමේ කොන්දේසි ලෙස අයිඑම්එෆ් විසින් නියම කර ඇති කප්පාදු වැඩපිලිවෙල යටතේ බවයි. ලංවිම ද ඇතුලු  400කට අධික රාජ්‍ය ව්‍යවසායන් මෙලෙස  ප්‍රතිව්‍යුහකරනය කිරීමට නියමිත අතර, ප්‍රතිපලය ලෙස රැකියා ලක්ෂ 5කට වැඩි ප්‍රමානයක් විනාශ කරමින් ඉතිරි සේවකයන් මත වැටුප් කප්පාදුව හා රුදුරු සේවා  කොන්දේසි පැටවෙනු ඇත.  

රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කෙරෙන්නේ, “රාජ්‍ය -පුද්ගලික හවුල්කාරිත්වය” යටතේ රාජ්‍ය ව්‍යවසායන් තුල, දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ආයෝජන සඳහා දොර විවෘත කිරීම හරහා ය.  ඒ සඳහා භාරකාර සමාගමක් පිහිටුවීමට සහ රාජ්‍ය - පුද්ගලික හවුල්කාරිත්වය නීතිගත කරන පනතක් සම්මත කිරීමට ආන්ඩුව සැරසෙයි.

අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ආන්ඩුව විසින් ගනන් නොගැනීමෙන් පසු, සමිති නායකයින් ලෙඩ නිවාඩු විරෝධතාව කැඳවා තිබේ. ඒ සමග ම, ලංවිම කොලඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පිකට් උද්ඝෝෂන පැවැත්වීමට සමිති නායකයන් සිය සාමාජිකයන් කැඳවා ඇත. මෙම සමිති, ඉංජිනේරු සංගමය, තාක්ෂනික ඉංජිනේරු හා අධිකාරි සංගමය, නිදහස් සේවක සංගමය, ස්වාධීන ඉංජිනේරු සංගමය, ලංවිම කාර්මික ශිල්පීන්ගේ සංගමය, ජාතික සේවක සංගමය ඇතුලු සමිති 25ක සන්ධානයකි. ආන්ඩුව පිහිටුවීමට පෙර කම්කරුවන් නොමග යැවීමට පුද්ගලිකරනයට විරුද්ධ යයි බොරු දෙඩවූ ජවිපෙ ලංකා විදුලි සේවක සංගමයේ නායකයන් වත්මන් විරෝධතා ක්‍රියාමාර්ගවලට විරුද්ධ ව ආන්ඩුව හා ඇමති සමග එකට සිටී. 

ප්‍රතිව්‍යුහකරනයට එරෙහි ව තම අයිතීන් රැක ගැනීම අරභයා ලංවිම සේවකයන් අතර පවත්නා අධිෂ්ඨානයේ සහ සටන්කාමිත්වය අප ක්‍රියාකාරී කමිටු සාමුහිකය සාදරයෙන් පිලිගනී. එහෙත් එය ප්‍රමානවත් නැත. 

ජුලි 22දා, 16,000ක් පමන ලෙඩ නිවාඩු දමා දහස් ගනනක් විදුලිය සේවකයන්  ලංවිම මුලස්ථානය ඉදිරිපිට පිකට් කලා ඔබට මතක ඇත. ඉන් පසු ඔබ අකුරට වැඩ කිරීමේ යෙදුනි. දැන් ඔබ ගන්නා ක්‍රියාමාර්ගයත් සමග “කැමති නම් ඉන්න පුලුවන්, නැත්නම් විශ්‍රාම අරගෙන ගෙදර යන්න පුලුවන්!” යන ඇමතිගේ තර්ජනය එල්ල වී ඇත. ඔහු දැනුම් දී ඇත්තේ, ආන්ඩුව ප්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙල අත් නොහරින බවයි. ජනාධිපති දිසානායකගේ ආන්ඩුව, අයිඑම්එෆ් වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දී ඇත. 

ආන්ඩුවේ මෙම වැඩපිලිවෙල පරාජය නොකර විදුලිය හෝ, ප්‍රතිව්‍යුහකරනයට නම නියම කර ඇති කිසිම රාජ්‍ය සංස්ථාවක සේවකයන්ගේ අයිතීන් රැකගත නොහැක. සත්‍යය නම් සේවකයන්ගේ රැකියා, වැටුප්, සේවා කොන්දේසි රැක ගැනීමේ අරගලය ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් බවට පත්ව ඇත යන්න යි. එවන් අරගලයක් දියත්කල හැකිවන්නේ, සමිති නිලධාරින් විසින් කම්කරුවන් අධෛර්යට පත්කිරීම සඳහා කැඳවන, තැන්තැන්වලට සීමාකොට, හුදකලා කෙරුනු හා විසිරුනු  හා වටවංගුවල අද්දමින් ගෙනයන ක්‍රියා මගින් නොවේ. 

ලංවිම සමිති නායකයන් සියලු දෙනා අයිඑම්එෆ් වැඩපිලිවෙලට පක්ෂපාත ය. ඔවුන්ගේ ක්‍රියාමාර්ගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) අනුබද්ධිත, ශ්‍රී ලංකා විදුලි සේවක සංගමයේ නායක ප්‍රියන්ත ප්‍රභාත් ප්‍රභාත් විස්තර කලේ මෙසේය. “පාරිබෝගිකයන්ට නොදැනෙන, ආන්ඩුවට පොඩ්ඩක් දැනෙන විදිහට අපි වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරනවා.” අයිඑම්එෆ් වැඩපිලිවෙල ගැන සියලු සමිතිවල අදහස ප්‍රකාශයට පත් කරමින් ඔහු කීවේ, “අපි තාම දුප්පත් රටක්. අයිඑම්එෆ් හරහා ආධාර ලබාගෙන ඉස්සරහට යන්නේ. විශාල විදුලි ව්‍යාපෘතිවලට පිටරට ආයෝජන අවශ්‍යයි.” ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ කොල්ලකාරී අවශ්‍යතා වෙනුවෙන් ලෝකය පුරා මිලියන සංඛ්‍යාත ජනයා හිඟමනට ඇද දමන අයිඑම්එෆ්, දුප්පත් රටවල් කෙරෙහි සාධනීය ලෙස ක්‍රියාත්මක වන්නේ යැයි හඟවන මෙම ප්‍රකාශය, කම්කරුවන් මුලුමනින් ම ප්‍රතික්ෂේප කල යුතු ය. 

ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩපිලිවෙල පිලිගන්නා වෘත්තීය සමිති නිලධරය යටතේ කම්කරුවන්ට එයට එරෙහි ව සටන් කල නොහැක. ඔවුන් “ආන්ඩුවට පොඩ්ඩක් දැනෙන” ක්‍රියාවලට ලංවිම සේවකයන් කොටුකර ඇත්තේ, වර්ජකයන් අධෛර්යට පත්කර ආන්ඩුවේ වැඩපිලිවෙලට යටත් කර දීමට යි. මේ නායකයන්, ලංවිම සමාගම් හතරකට කඩනමින් අරඹා ඇති වැඩපිලිවෙල ක්‍රියාවට දමන කමිටුවල සාමාජිකයන් ය; දැන් ක්‍රියාවට දමන වැඩපිලිවෙලේ හවුල්කාරයන් ය. 

අපි, සැප්තැම්බර් 7 දා පටන් සතියක් පැවැති තැපැල් සේවකයන්ගේ අරගලයේ පාඩම් උකහා ගත යුත්තෙමු.  අයිඑම්එෆ් වැඩපිලිවෙලට සපථ කර ඇති ආන්ඩුව, එහි ම කොටසක් ලෙස තැපෑල ද ප්‍රතිව්‍යූහකරනය කිරීමට පිඹුරුපත් සකසමින් සිටී. ආන්ඩුවේ මෙම ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙලටත්, දශක ගනනාවක් තිස්සේ තෑපෑලේ නොවිසඳී  පවතින ගැටලු සම්බන්ධයෙන් සටන් කිරීමේ අදිටනින් යුත් තැපල් කම්කරුවන්ගේ පීඩනය නිසා වර්ජනය දියත් කිරීමට සමිති නායකයින්ට සිදුවිය. එහෙත්, එය පුලුල් අරගලයක් බවට පත්වීමෙන් වැලක්වීම සඳහා තැපැල් සමිති හිතාමතා ම එය අවශේෂ කම්කරුවන්ගෙන් වියෝ වූ හුදකලා, දියාරු සටනක් බවට පත් කලේ ය. මේ තත්වය යටතේ,  කම්කරු අරගලය බිඳීමට ආන්ඩුව හමුදාව හා පොලිසිය යෙදූ විට ඊට යටත්වූ සමිති නායකයෝ, “අන්තිම දක්වා සටන් කිරීමේ” පූච්චානම අකුලා ගත්හ. තැපැල් ඇමති නලින්ද ජයතිස්ස තැපැල් හා අනෙකුත් ආයතනවල වර්ජනවලට අත්වන්නේ ද මේ ප්‍රහහාරය ම බව අනතුරු ඇඟවීය.

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් පසුගිය වසරේ සම්මත කල  තැන් පටන් සමාජවාදී සමානතා පක්ෂය හා ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය (ශ්‍රීලංකක්‍රිකසා) ඉදිරිපත් කල වැඩපිලිවෙල වටා ලංවිම [හා අනෙකුත් සේවා ස්ථානවල ජා වැඩපොලවල] කම්කරුවන් එක්වීම තවත් පමා කල නොහැක. 

ලංවිම සේවකයන් තම අයිතීන් සඳහා අරගලය තමන් අතට ගත යුතු ය. එය කල හැක්කේ කෙසේ ද? පලමු පියවර වන්නේ, විදුලිබල මන්ඩලයේ සේවකයන් තමන්ගේ සෑම සේවා ස්ථානයක ම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම යි. වෘත්තිය සමිති නිලධරය මෙම කමිටු තුලට වැද්ද නොගත යුතු ය. කම්කරුවන් තම ඉල්ලීම් ද ඒවා සඳහා අරගලය ද ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් තීන්දු කල යුතු වේ. 

එවන් කමිටු ගොඩනගා ගැනීමෙන් තමන් මෙන් ම ආන්ඩුවේ ප්‍රහාරයට ලක් ව සිටින කම්කරුවන් වෙත අවතීර්න වී පොදු පලල් අරගලයක් සංවිධනය කරගැනීම අවශ්‍ය ය. එවන් අරගලයක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ගය අපි යෝජනා කරමු:

  • ප්‍රතිව්‍යුහකරනය/ පුද්ගලීකරනය නතර කරනු! ප්‍රතිව්‍යූහකරනයට නම නියමකර ඇති හා නැති සියලු රාජ්‍ය ආයතන කම්කරු පාලනය යටතට ගමු. 
  • රැකියා සුරක්ෂිතභාවය, ඉහල යන ජීවනවියදමට සරිලන වැටුපක්, විශ්‍රාම වැටුපක් සහ යහපත් සේවා කොන්දේසි!
  • විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු! 

මෙම අරගලය පුලුල් දේශපාලන අරගලයක කොටසකි. මන්දයත් ධනපති ක්‍රමයේ හා එය ආරක්ෂා කරන විදේශ ප්‍රාග්ධනයේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රියාකරන දිසානායකගේ ආන්ඩුවට එරෙහි අරගලයක් වන බැවිනි.  

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මේ අරගලය සඳහා ඉදිරිපත් කරන වැඩපිලිවෙලට, අප කම්කරු ක්‍රියාකාරි කමිටුව සහාය දෙයි. සියලු බැංකු, මහා සමාගම් හා වතු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමේ වැඩ පිලිවෙල ද එය ක්‍රියාවට දැමීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ද සටනකට කම්කරු පන්තිය හා ගම්බද දුගී ජනයා හා තරුනයන් ඒකරාශී කිරීමේ අරගලයක සසප යෙදී සිටී. 

මෙම ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර දක්වමින්, දැනටමත් එවන් ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට අප හා සාකච්ඡාවට එලඹ සිටින ලංවිම කම්කරුවන් අපි සාදරයෙන් පිලිගනිමු. 

අනෙකුත් සියලු රටවල මෙන් ම ශ්‍රි ලංකාවේ කම්කරුවන් මුහුන දී සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ සහ ධනපති පාලක පන්තියේ ඒකාබද්ධ ප්‍රහාරයකට ය. 

එහෙයින් තම ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුව තහවුරුකර ගැනීම සඳහා, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමග ඒකාබද්ධතාව ගොඩනගා ගැනීමට, අපි ලංකාවේ කම්කරුවන්ට යෝජනා කරන්නෙමු. 

මෙම වැඩපිලිවෙල වැදගත් දේශපාලන ප්‍රශ්න කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන ලෙසත්, ඔබේ සේවා ස්ථානයේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවන ආකාරය පිලිබඳව සාකච්ඡා කිරීමට අප හා සම්බන්ධ වන ලෙසත්, අප ඉදිරිපත් කරන ක්‍රියාමාර්ගය පිලිබඳව  උනන්දුවක් දක්වන ලංවිම ඇතුලු අවශේෂ සේවකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

අප අමතන්න:

action.committees.sl@gmail.com 

වට්ස්ඇප් 0763815909

Telephone: +94773562327

Loading