කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා, සිවිල් ශිෂ්‍යයන්ට වෛද්‍ය අධ්‍යාපනය මුදලට ලබා දීමට එරෙහි ව, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය, සැප්තැම්බර් 3 වැනි දා සවස් යාමයේ දී පන්දම් පෙලපාලියක් සංවිධානය කර තිබුනි. ගලහ මංසන්ධියේ සිට මහනුවර නගරය දක්වා වූ මෙම පෙලපාලියට විශ්වවිද්‍යාලයේ සියලු ම පීඨවල සිසුන් 2000කට අධික සිසු පිරිසක් සහභාගී වූ අතර, එය, පසුගිය වසර දෙකකට ආසන්න කාලයේ දී එම විශ්වවිද්‍යාලයේ පැවති විශාලත ම ශිෂ්‍ය විරෝධතාවය යි.
විරෝධතාවට එරෙහි ව සන්නද්ධ පොලිස් බලකායන් මග දෙපස බලමලු ගන්වා තිබුනු අතර පෙලපාලිය ආරම්භයේ දී එය නතර කිරීමට පොලීසිය උත්සාහ කල ද එය නොතකා ශිෂ්‍යයෝ විරෝධතා පාගමනේ යෙදුනාහ. සිසුන්ට මෙම විරෝධතාවයට සහභාගී වීමට එරෙහි ව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ද අනතුරු අඟවා තිබුනි.
මෙම තර්ජනයන් තිබිය දී ම ඉහල සිසු සහභාගීත්වය පෙන්නුම් කරන්නේ, නිදහස් අධ්‍යාපනයට අඛන්ඩව එල්ල කෙරෙන ප්‍රහාරයන්ට සහ දිනෙන් දින උග්‍ර වන දුෂ්කර සමාජ කොන්දේසිවලට එරෙහි ව සටන් කිරීමට ශිෂ්‍යයන් තුල පවත්නා වුවමනාවයි.
අනුප්‍රාප්තික ආන්ඩුවල වියදම් කප්පාදු හේතුවෙන් විශ්වවිද්‍යාල තුල, නේවාසිකාරගාර, දේශන ශාලා සහ විද්‍යාගාර ඇතුලු සෙසු භෞතික සම්පත්වල බරපතල හිඟයක් නිර්මානය වී ඇත. ඊට අමතරව ආචාර්යවරුන්ගේ හිඟයෙන් ද ශිෂ්‍යයෝ පීඩා විඳිති. ජීවන වියදම් ඉහල යාම හේතුවෙන්, වියදම් පියවා ගැනීම සඳහා කුලී වැඩවල යෙදීමේ සිට නානාප්‍රකාර අමතර ආදායම් මාර්ගයන්ට යොමු වීමට සිසුන්ට සිදු ව ඇත.
රනිල් වික්‍රමසිංහ-ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුව ආරම්භ කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ ද පෙරට ගෙන යාම සමාජ ජීවිතයේ සෙසු අංශවල මෙන් ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ද කොන්දේසි වඩ වඩාත් දුෂ්කර කෙරී ඇත.
ජාමූඅ කප්පාදු පිලිවෙත් මත ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට නංවන “අධ්‍යාපන ප්‍රතිසංස්කරන” නිදහස් අධ්‍යාපනයට එල්ල කරන බරපතල ම ප්‍රහාරයකි. ජාත්‍යන්තර ප්‍රාග්ධන ආයෝජන ආකර්ෂනය කර ගැනීමේ ලා සමස්ත මහජන අධ්‍යාපනය පුහුනු ශ්‍රමිකයන් බිහි කිරීමේ මාධ්‍යයක් බවට පරිවර්තනය කිරීම සහ එම ක්ෂේත්‍රය ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධනයට මුලුමනින්ම විවරකර දීම මෙහි අරමුනයි.
කෙසේ නමුත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය, නිදහස් අධ්‍යාපනයට එල්ල කෙරෙන මෙම දැවැන්ත ප්‍රහාරය මධ්‍යයේ සැප්තැම්බර් 03 විරෝධතාව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය උපාධි පිරිනැමීම ඇතුලු වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි අරගලයකට මුලුමනින්ම සිඳුවා තිබුනි.
විරෝධතාවයේ ප්‍රධාන සටන් පාඨය වූයේ “ආන්ඩුවේ සංදර්ශන ඉවරයි, වෛද්‍ය උපාධිය නැවත විකුනයි; කොතලාවල වෛද්‍ය උපාධිය විකිනීම වහා නවතනු!” යන්නයි. අනෙකුත් සියලු සටන් පාඨ මේ තේමාවට සීමා විය.
පා ගමන අවසානයේ සිසුන් අමතා කතා කල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද්‍ය මාරසිංහ සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රසුල බන්ඩාර ආන්ඩුවේ “අධ්‍යාපන ප්‍රතිසංස්කරන” ගැන වචනයක් හෝ කතා කලේ නැත. “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට රජයේ රෝහල් ශික්ෂන රෝහල් ලෙස භාවිතා කිරීමට ඉඩ දෙන කැබිනට් පත්‍රිකාව” හකුලා ගත යුතු බවට මාරසිංහ ගර්ජනා කලේ ය. “මේ අරගලය නතර කරන්නෙ කොතලාවල වෛද්‍ය උපාධිය විකුනන එක නතර කරල” යැයි පැවසූ බන්ඩාර, ඒ සඳහා වෘත්තීය සමිති ද හවුල් කර ගනිමින් ව්‍යාපාරයක් ගොඩනගන බවත්, ඊලඟ පියවර වශයෙන් සිසු විරෝධතා කොලඹ නගරයට ගෙන එන බවත් කියා සිටියේ ය.
පේරාදෙනිය මහා ශිෂ්‍ය සංගමය, අලුතින් පිහිටුවන ලද “අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම)” ට සහාය දක්වන සංවිධානයකි. මෙම අවිශිබමයට නායකත්වය දෙන සසිඳු පෙරේරා නමැත්තා, පසුගිය ජූලි මාසයේ දී එහි ආරම්භය නිවේදනය කරමින් මාධ්‍යයට පැවසුවේ, පැවති අවිශිබමය “යම් පිරිසකගේ කල්ලිවාදී අවශ්‍යතාවන් ඉටු කරන ඔවුන්ගේ ඕනෑ එපාකම්වලට දුවන නිසා”, “ශිෂ්‍ය ව්‍යාපාරයට නව පන්නරයක් ලබා දීමට” මෙම නව සංවිධානය ස්ථාපිත කරන බවයි.
නව අවිශිබම “මේ කල්ලිය” කුමක් දැයි ඔවුන්ගේ “ඕනෑ එපාකම්” මොනවාදැයි සඳහන් කර නැත. ආරම්භයේ දී ජවිපෙ දේශපාලන ග්‍රහනයේ පැවති අවිශිබමය 2011 සිට දේශපාලනික ව පාලනය කෙරුනේ ජවිපෙන් බිඳුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් (පෙසප) බව ප්‍රසිද්ධ කරුනකි.
කෙසේ නමුත්, අවිශිබම නායකත්වයන් මෙන්ම ඔවුන් මෙහෙය වූ ජවිපෙ සහ පෙසප, අවිශිබම සහ එම පක්ෂ අතර පැවති මෙම දේශපාලන සම්බන්ධය ප්‍රසිද්ධියේ පිලි නොගත්තේ ය. එය පිටුපස මූලික වශයෙන්ම පැවතියේ, ඊනියා ශිෂ්‍ය දේශපාලනය, පක්ෂ දේශපාලනයෙන් ස්වාධීන බව කියා පාමින්, කම්කරු පංතික පක්ෂ වලට ශිෂ්‍යයන් අතර මැදිහත්වීම වලකා ලීමයි.
නව අවිශිබම ජවිපෙන් මෙහෙයවෙන බව සිසුන් බහුතරයකගේ අදහසයි. නමුත්, ඉහත දේශපාලන වංචනිකත්වය අනුයමින්, එය ද තම දේශපාලන සම්බන්ධය වසන් කරයි.
කෙසේ නමුත්, නව අවිශිබමය ගොඩ නැගීමට මූලික කාරනාව වූයේ, ධනපති ක්‍රමය මුහුන දී සිටින ගැඹුරු අර්බුදය හමුවේ ධනේශ්වර ආන්ඩුවලට බලපෑම් යෙදීමෙන් ඉල්ලීම් දිනා ගැනීම තවදුරටත් කල නොහැකිවීම හේතුවෙන්, එම ධනේශ්වර දේශපාලනයේ නිරතව සිටින පෙසප නායකත්වයෙන් යුත් අවිශිබමයෙන් සිසුන් වඩ වඩාත් දුරස්ථ වීමයි. මෙම තතු තුල, ධනපති ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතික විප්ලවවාදී වැඩපිලිවෙලක් සහ නායකත්වයක් දෙසට සිසුන් යොමුවනු ඇතැයි, ජවිපෙ/ජාජබ ආන්ඩුව ඇතුලු ධනපති පාලක පංතිය ගනන් බලයි. ආන්ඩුවට එරෙහි විරෝධයක් පෙන්නුම් කරමින්, එවන් විප්ලවවාදී වැඩපිලිවෙලක් වෙත සිසුන් යොමුවීම වලකා ඔවුන් ධනපති රාමුව තුල ම කොටු කිරීම නව අවිශිබමය ගොඩ නැගීමේ යථා අරමුනයි.
අවිශිබමයන් දෙකම ඔජ වඩවන “ශිෂ්‍ය දේශපාලනයේ” කර්තව්‍යය වන්නේ සිසුන් කම්කරු පන්තික දේශපාලනයට යොමු වීමෙන් වලක්වා, ධනපති දේශපාලනය තුල රඳවා ගැනීමට සවිඥානික ව වැඩ කිරීමයි. මෙ නයින් ඊනියා නව අවිශිබමය, එය ඍජු ව ම ජවිපෙ ට සම්බන්ධ වූවා හෝ නැතා, පෙසප නායකත්වය දෙන අවිශිබමයෙන් නොවෙනස් වන බවට අපි අනතුරු අඟවන්නෙමු.
අධ්‍යාපන ක්ෂේත්‍රයට එල්ල වන ප්‍රහාරය, ජාමූඅ හි විධානයන්ට අනුව, සෞඛ්‍යය, විදුලි බලය, තැපැල් සහ වරාය ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රයන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ගෙන් වෙන් කල නොහැක. මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් මගින් පමනි.
නව අවිශිබමයේ සූදානම වන්නේ, සිසුන් එවන් දේශපාලන වැඩපිලිවෙලකට යොමුවීම වලකා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය නතර කිරීමේ අරගලයකට කොටුකොට, ඔවුන් හෙම්බත් කරමින් ආන්ඩුවේ සෙසු කප්පාදු පියවරයන්ට ඉඩ සාදා දීමයි. පසුගිය දශකවල දී, අවිශිබමය, මෙවන් වැඩපිලිවෙලවල තුලින් අනුප්‍රාප්තික ආන්ඩුවල කප්පාදු පියවරයන් පෙරට ගෙන යාටම ශිෂ්‍ය විරෝධය අවමංගත කර දුන් ආකාරය හදාරන ලෙස, සමාජ සමානතාව සඳහා ශිෂ්‍යයෝ (සසජාතශි) වන අපි සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.
සයිටම් වෛද්‍ය පීඨයට එරෙහි අරගලය තුල අවිශිබම නායකත්වය දශකයකට ආසන්න කාලයක් තුල සිදු කලේ අධ්‍යාපන කප්පාදුවට එරෙහි පුලුල් ශිෂ්‍ය විරෝධය හුදෙක් එම වෛද්‍ය පීඨයට එරෙහි අරගලයකට සිඳුවාලීමයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයේ උපාධි පාඨමාලා සහ එන්එස්බීඑම් වැනි පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ආන්ඩුව අවකාශ සකසා ගත්තේ අවිශිබම, ශිෂ්‍යයන් එලෙස අවමංගත කරන අතරවාරයේ දී ය.
සයිටම් අරගලය තුල දී සසජාතශි අවිශිබමයේ මෙම ප්‍රතිගාමී පිලිවෙතට එරෙහි ව බලගතු මැදිහත් වීමක් සිදු කල අතර එම අරගලයේ පාඩම් අද දින අරගල වලට වැදගත් න්‍යායික දේශපාලනික පදනමක් සම්පාදනය කරයි.
නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර ගත හැක්කේ සමාජවාදය සඳහා වන අරගලයේ අවියෝජනීය අංගයක් වශයෙන් පමනි. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ ශක්‍ය අරගලයක් උදෙසා, කම්කරු පංතිය මත පාදක වූ සමාජවාදී ව්‍යාපාරයක් තරුනයන් ශිෂ්‍යන් අතරේ ගොඩනැගීමට සසජාතශි සමග එකතු වන්න.