ඉදිරිදර්ශන

ට්‍රම්ප්ගේ ෆැසිස්ට් කුමන්ත්‍රනය සහ එයට එරෙහි ව සටන් කල යුත්තේ කෙසේ ද: සමාජවාදී මූලෝපායක්

[මෙය Trump’s fascist conspiracy and how to fight it: A socialist strategy යන මැයෙන් 2025 සැප්තැම්බර් 19 වැනි දා පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

චාලි කර්ක් ඝාතනයෙන් පසු ව, ගත වූ සතිය තුල, ට්‍රම්ප් පරිපාලනය ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ කුමන්ත්‍රනය තීව්‍ර කර ඇත.

ට්‍රම්ප් තන්ත්‍රයේ පිලිවෙත, ට්‍රම්ප්ගේ සමීපත ම දේශපාලන සගයෙකු වන ෆැසිස්ට් මූලෝපායඥ ස්ටීවන් බැනන් විසින් පැහැදිලි ව ප්‍රකාශ කරන ලද්දේ, “අපි සූදානම් වෙමින් සිටින්නේ යුද්ධයට නම්, අපි යුද්ධයට යමු” යනුවෙනි. ට්‍රම්ප් පරිපාලනය, ජනතාවට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට සහ ව්‍යවස්ථාපිත ආන්ඩුවට එරෙහි ව යුද්ධයක් දියත් කරමින් සිටී.

මෙම යුද්ධය මෙහෙයවෙන්නේ කර්ක් දේවත්වයට නැංවීමේ රාමුව තුල ය. පසුගිය සතිය පුරා ධවල මන්දිරය ට්‍රම්ප් පරිපාලනය පිලිබඳ සියලු විවේචන තහනම් කිරීමේ ව්‍යාපාරයක පෙරමුන ගෙන ඇත. කර්ක් පිලිබඳ විවේචනාත්මක සමාජ මාධ්‍ය සටහන් තැබීම හේතුවෙන්, ගුරුවරුන්, ගුවන් සේවා කාර්ය මන්ඩල සේවකයින් සහ තවත් අය සේවයෙන් පහ කරනු ලැබ ඇත.

සඳුදා (15), 'ජිමී කිමල් ලයිව්!' රූපවාහිනී වැඩසටහන තුල, එය ඉදිරිපත් කරන කිමල් විසින් කර්ක් ඝාතනය දේශපාලනික වශයෙන් ගසාකෑම පිලිබඳව මෘදු සහ නිවැරදි ප්‍රකාශයක් කරනු ලැබීමෙන් ඉක්බිති ව, බදාදා (17) ඒබීසී/ඩිස්නි නිවේදනය කලේ එම වැඩසටහන අත්හිටුවන බවයි. මෙම පියවර ගෙන ඇත්තේ, ධවල මන්දිරයේ සහ එහි බලාත්මක කරන්නන්ගේ පැහැදිලි නියෝගයකින් පසු ව ය. එෆ්සීසී (ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ) සභාපති බ්‍රෙන්ඩන් කාර් විකාශකයින්ට තර්ජනය කලේ, “පහසු හෝ අමාරු මාර්ගයකින් අපට මෙය කල හැකි ය” යනුවෙනි. ඩොලර් බිලියන ගනන් හුවමාරු වන සමාගම් ඒකාබද්ධ කිරීම් සහ ලාභ ආරක්ෂා කිරීමට කැප වී සිටින නෙක්ස්ස්ටාර් සහ ඩිස්නි වහ වහා ඊට එකඟ විය.

බ්‍රහස්පතින්දා (18) සම්මුඛ සාකච්ඡා වලදී කාර් ප්‍රකාශ කලේ, කිමල්ගේ වැඩසටහන අත්හිටුවීම “අවසන් අවාසනාවන්ත සිදුවීම” නොවන බවත්, “මාධ්‍ය වටාපිටාව තුල සිදුවිය යුතු දැවැන්ත වෙනසක්” කැඳවුම් කරන බවත්‍ ය. තමා ගැන “සෘනාත්මක ආවරනයන්” විකාශය කරන විකාශකයින්ගේ බලපත්‍ර අවලංගු කිරීමට නියාමකයින් කටයුතු කල යුතු බව, එදින ම, ට්‍රම්ප්ම ප්‍රකාශ කලේ ය.

දැන් පවතින තීරනාත්මක ප්‍රශ්නය නම්: ආඥාදායකත්වය කරා යන මෙම ගමන නැවැත්වීමට කල යුත්තේ කුමක් ද? මෙම ප්‍රශ්නයට පිලිතුරු දීමේ දී, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දැමීමට ට්‍රම්ප් දරන උත්සහයේ දේශපාලන සන්දර්භය, ආන්ඩුවේ ක්‍රියාවන්ට යටින් පවතින පන්ති සහ ආර්ථික අවශ්‍යතා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කල හැකි සමාජ බලවේගය සහ ට්‍රම්ප්ට එරෙහි සටන පදනම් විය යුතු දේශපාලන මූලෝපාය සහ වැඩපිලිවෙල හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.

පලමුව, දිග හැරෙමින් පවතින්නේ, මිලිටරිය, පොලිසිය, පැරාමිලිටරි සහ ෆැසිස්ට් කල්ලි මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ ගමනකට වඩා අඩු දෙයක් බවට වන සියලු ස්වයං-මුලාකාරී බලාපොරොත්තු පසෙකට දැමිය යුතු ය. චාලි කර්ක් උත්කර්ෂයට නැංවීමේ අත්‍යවශ්‍ය අරමුන වී ඇත්තේ, රටේ වඩාත් ම ප්‍රතිගාමී බලවේග ශක්තිමත් කරවන, දිවි පිදූ වීරයෙකුගේ සංකේතයක් සම්පාදනය කිරීමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු අඟවා ඇති පරිදි, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ධවල මන්දිර නියෝජ්‍ය මාන්ඩලික ප්‍රධානී ස්ටීවන් මිලර් වැනි ට්‍රම්ප්ගේ අභ්‍යන්තර කවයේ සිටින හිට්ලර් වර්නනා කරන්නෝ නාසීන් විසින් ලියන ලද නාට්‍ය පිටපත් ක්‍රියාත්මක කරමින් සිටිති. කර්ක් යනු ට්‍රම්ප් පාලන තන්ත්‍රයේ “හෝස්ට් වෙසල්” (ඝාතනය කරන ලද විශේෂ ප්‍රහාරක නාසි සෙබලෙකු) වන අතර ඔහුගේ ඝාතනය ඔවුන්ගේ කුප්‍රකට රීච්ස්ටැග් ගිනි තැබීමට සමාන වේ; ජර්මානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තැබූ එම සිදුවීම, 1933 මාර්තු මාසයේදී හිට්ලර් පූර්න බලය ලබා ගැනීම සඳහා ගසා කෑවේ ය.

ජිමී කිමල් රූපවාහිනී වැඩසටහන අවලංගු කිරීම නාසි පාලන තන්ත්‍රයේ උපායන් මත පාදක වූ තවත් ක්‍රියාවකි. හිට්ලර්ගේ ගෞරවයට හා අභිමානයට අපහාස කරන විහිලු ඇතුලු ඕනෑ ම ආකාරයක කථාවක් දැඩි දඬුවම් ලැබිය යුතු අපරාධකාරී වරදක් ලෙස සලකනු ලැබේ. 'හිට්ලර්ට කීර්තිය අත්වේවා' (හේල් හිට්ලර්) ආචාරය, මිතුරන් අතර පවා අනිවාර්ය ආචාර විධියක් බවට පත්විය.

දෙවනුව, ට්‍රම්ප් ක්‍රියා කරන්නේ හුදෙක් තම අභිමතයට නොවේ. ඔහුගේ පෞද්ගලික ගුනාංග කෙතරම් විකාර සහගත වුව ද, ඔහු නියෝජනය කරන්නේ සංගත සහ මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා ය. මෙහි දී නැවතත්, නාසි ජර්මනියට දක්වන සමානකම් භයංකර ය. ප්‍රමුඛ ජර්මානු ධනපතියන් විසින් නාසි ව්‍යාපාරයට සපයන ලද සම්පත් නොමැති ව හිට්ලර් බලයට පත්වීම කල නොහැකි බව ඓතිහාසික සත්‍යයකි. බලයට පත් වූ පසු, හිට්ලර්ගේ කුරිරු තන්ත්‍රය ජර්මානු බැංකු සහ සංගතවල අවශ්‍යතා සඳහා සේවය කල අතර, ඔවුහු ඔහුගේ ආඥාදායකත්වයට සහාය දුන්හ.

ඒ ගැන තවත් යමක් කියන්නේ නම්, ට්‍රම්ප් සහ මූල්‍ය-සංගත කතිපයාධිකාරය අතර අද පවත්නා සන්ධානය නාසි ජර්මනියේ පැවති සන්ධානයට වඩා තීව්‍ර ය. එය අතිශයෝක්තියකින් තොර ව, ප්‍රේම සම්බන්ධයක් ලෙස විස්තර කල හැකි ය. ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරය මධ්‍යයේ, පසු ගිය සතියේ ඔහුට ධවල මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයකින් උපහාර දක්වන ලද අතර, එහිදී බහු-මිලියනපතියන් සහ බිලියනපතියන් කල්ලියක් ඔහුගේ ගුන ගැයූහ. ඊටත් වඩා අසික්කිත දර්ශනයක් මේ සතියේ බ්‍රිතාන්‍යයේ වින්ඩ්සර් මාලිගයේ වේදිකා ගත විය. III වන චාල්ස් රජු අසල ට්‍රම්ප් අසුන් ගෙන සිටි රාජ්‍ය භෝජන සංග්‍රහයකට ඔහු පිලිගනු ලැබුවේ, ඇපල් හි ටිම් කුක්, ඕපන්ඒඅයි හි සෑම් ඇල්ට්මන්, මයික්‍රොසොෆ්ට් හි සත්‍යා නඩෙල්ලා, ඇල්ෆබෙට් හි රූත් පෝරට්, බ්ලැක්ස්ටෝන් හි මූල්‍යකරුවන් වන ස්ටීව් ෂ්වාස්මන්, සිටිගෲප් හි ජේන් ෆ්‍රේසර්, බ්ලැක්‍රොක් හි ලැරී ෆින්ක් සහ බෑන්ක් ඔෆ් ඇමරිකා හි බ්‍රයන් මොයිනිහාන් ඇතුලු කතිපයාධිකාරීන් පිරිසක් විසිනි.

තෙවනු ව, ට්‍රම්ප් කෙරෙහි පවතින රාජ්‍ය ගෞරවයට යටින් පවතින්නේ දරුනු ආර්ථික හා දේශපාලන ගනන් බැලීම් ය. ජනගහනයේ ඉතා සුලු කොටසක ධනය අති මහත් ලෙස සංකේන්ද්‍රනය වීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම සමඟ නොගැලපේ. තම ධනය ආරක්ෂා කර ගැනීම සහ කම්කරු පන්තිය අසීමිත ලෙස සූරාකෑම ප්‍රජාතන්ත්‍රවාදය සමඟ නොගැලපෙන බව ධනවතුන්ට ඒත්තු ගොස් තිබේ. ආඥාදායකත්වය ඔවුන්ගේ ප්‍රියතම දේශපාලන පාලන විධිය යි.

කෙසේ වෙතත්, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරිව ඇති ඕනෑම දෙයක් පෙරලා දැමීමට සහාය දැක්වීම සඳහා වන කතිපයාධිකාරයේ තර්කනය, කිසිදා නොවූ විරූ මුදල් කඳු හා පෞද්ගලික ධනය සඳහා ඔවුන්ගේ අසීමිත කෑදර කමෙන් ඔබ්බට විහිදේ. ඇමරිකානු පාලක පන්තිය ධනේශ්වර ක්‍රමයේ පැවැත්මේ අර්බුදය පිලිබඳව තියුනු ලෙස දැනුවත් අතර ඒ පිලිබඳ භීතියට පත්ව සිටී. දැන් ඩොලර් ට්‍රිලියන 40 කට ලඟා වෙමින් පවතින ජාතික නය ඔරොත්තු නොදෙන බව එය දැනුවත් ය.

ජීවන තත්වයන්ට සහ කම්කරු පන්තියේ ජීවිතවලට පවා දැවැන්ත ප්‍රහාරයක් අවශ්‍ය බව කතිපයාධිකාරීහු ඒත්තු ගෙන සිටිති. 20 වන සියවසේ මුල් දශක දෙකේ ප්‍රගතිශීලී යුගය, 1930 ගනන්වල නිව් ඩීල් සහ 1960 ගනන්වල ශ්‍රේෂ්ඨ සමාජය (Great Society) දක්වා දිවෙන සියලුම සමාජ ප්‍රතිසංස්කරන අවසන් කල යුතුය. සමාජ ආරක්ෂනය, වෛද්‍ය සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර වැනි තීරනාත්මක වැඩසටහන් සම්පූර්නයෙන්ම ඉවත් කල යුතුය. කෝවිඩ්, සරම්ප, කම්මුල්ගාය, පෝලියෝ, කක්කල් කැස්ස සහ අනෙකුත් මාරාන්තික රෝගවලට එරෙහිව එන්නත් නවතා දැමීම දක්වා විහිදෙන වෛද්‍ය විද්‍යාවට එරෙහි යුද්ධය, ලදරු හා ලමා මරන සැලකිය යුතු ලෙස ඉහල නැංවීම සහ ආයු අපේක්ෂාව අඩු කිරීම අරමුනු කර ගෙන ඇත.

කර්මාන්තශාලා, පතල්, ගබඩා, නැව් තටාකාංගන සහ අනෙකුත් සේවා ස්ථානවල හදිසි අනතුරු හා මරනවලට එරෙහිව ඕනෑම ආකාරයක ආරක්ෂාවක් සපයන රෙගුලාසි අතුගා දැමීම ප්‍රධාන අරමුනකි.

ධනේශ්වර ප්‍රභූන්ගේ දේශපාලන ගනන් බැලීම් වල තවත් සාධකයක් වන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුන දෙන භූ-දේශපාලනික අර්බුදයයි. එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික හා මූලෝපායික ස්ථානයේ දිග්ගැස්සුනු පරිහානිය තීරනාත්මක මානයන් කරා ලඟා වී තිබේ. යුද්ධය හැර, චීනයේ නැගීම සහ ඇමරිකානු ආධිපත්‍යයට අභියෝග කරන රාජ්‍ය සන්ධානයක වර්ධනය නතර කල හැකි අන් මගක් නොමැත. එක්සත් ජනපදයේ මිලිටරිකරනයට තවත් විශාල වියදම් අවශ්‍ය වන අතර, එමඟින් සමාජ වියදම් සහ වැටුප් කපා හැරීමේ පීඩනය තීව්‍ර වේ. එපමනක් නොව, යුද්ධ සූදානම් කිරීමටත්, දියත් කිරීමටත් රට තුල දේශපාලන විරුද්ධත්වය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම අවශ්‍ය වේ.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීමට යටින් පවතින වෛෂයික සාධක මේවාය. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති, පාලක පන්තියේ ප්‍රතිපත්ති වේ. මෙය, ට්‍රම්ප්ගේ පෞරුෂයේ සහ සුවිශේෂිතව, මෙම පාලන තන්ත්‍රයට එහි පරිහානිගත ලක්ෂනය ලබා දෙන ඔහුගේ මාගා කල්ලියේ නිශ්චිත ව්‍යාධිජනක ලක්ෂන නොසලකා හැරීමක් නොවේ. නමුත්, ආයුගනක සංඛ්‍යාලේඛනයන්හි (වියහැකි සිද්ධීන් සහ ඒවායේ මූල්‍යමය බලපෑම තක්සේරු කිරීම සඳහා යොදා ගැනෙන සංඛ්‍යාලේඛන) ක්‍රියාකාරිත්වයෙන් හදිසියේම ට්‍රම්ප් ඉවත් කල ද, පාලක පංතිය ඒකාධිපතිත්වය කරා යන ගමන නතර නොකරනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයටත්, කම්කරු පන්තියටත් එරෙහි යුද්ධය දිගටම පවතිනු ඇත.

සියලුම ප්‍රධාන ධනේශ්වර රටවල සමාන්තර ක්‍රියාවලීන් ප්‍රකාශයට පත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමේ වෛෂයික හේතුව මෙය බව සනාථ කරයි. යුරෝපය පුරා නව-ෆැසිස්ට් පක්ෂ ශක්තිමත් වෙමින් පවතී. ඒකාධිපතිත්වය කරා යන ගමන ගෝලීය සංසිද්ධියකි.

සිවුවනුව, කම්කරු පන්තියට එරෙහි ට්‍රම්ප්ගේ යුද්ධයේ මූලාශ්‍රය නිවැරදිව හඳුනා ගැනීම, තීරනාත්මක දේශපාලන නිගමනවලට තුඩු දෙයි. ඒකාධිපතිත්වයට එරෙහි ඕනෑම බැරෑරුම් අරගලයක ආරම්භක ලක්ෂ්‍යය වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් බිඳී ගැනීමයි. ට්‍රම්ප්ට විරුද්ධ වීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය මත විශ්වාසය තැබීම පරාජය සහතික කර ගැනීමකි.

රිපබ්ලිකන් පක්ෂය මෙන් ඩිමොක්‍රටික් පක්ෂය ද වෝල් වීදියේ, පෙන්ටගනයේ සහ සංගත-මූල්‍ය කතිපයාධිකාරයේ පක්ෂයකි. ඔවුන් සියල්ලටම වඩා බිය වන්නේ ෆැසිස්ට්වාදයේ නැගීම ගැන නොව, ධනේශ්වර පාලනයේ පදනම් වලට තර්ජනයක් විය හැකි ආකාරයේ මහජන ව්‍යාපාරයක් පහලින් පුපුරා යාම ගැනයි. මෙය, කර්ක් පිලිබඳ ෆැසිස්ට් උත්කර්ෂනයට ඩිමොක්‍රටික් පක්ෂයේ බියගුලු යටත් වීමටත්, ජිමී කිමෙල්ගේ වැඩසටහන අත්හිටුවීම සහ ට්‍රම්ප් විසින් පූර්වයේ පනවන ලද ඒකාධිපති නියෝග සියල්ල කෙරෙහි එහි නිර්ලජ්ජිත ප්‍රතිචාරයටත් හේතු විය.

කර්ක්ගේ උපන්දිනය වන ඔක්තෝබර් 14, 'චාලි කර්ක් සිහි කිරීමේ ජාතික දිනයක්' ලෙස සනිටුහන් කරන යෝජනාවක් එක්සත් ජනපද සෙනෙට් සභාව ඒකමතිකව අනුමත කල විට, ඩිමොක්‍රටික් පක්ෂයේ දනගැසීම හෙලිදරව් විය. වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ඇතුලු කවර හෝ ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකුට එයට විරුද්ධවීමේ ධෛර්යයක් තිබුනේ නැත. මූලධර්මාත්මක වශයෙන්, ඝාතනයට විරුද්ධ වීම ප්‍රමානවත් සහ දේශපාලනික වශයෙන් නිවැරදි වනු ඇත; එනම්, එක් හෝ තවත් නින්දිත පුද්ගලයෙකු ඝාතනය කිරීම කිසිසේත්ම ප්‍රගතිශීලී උනන්දුවක් නොදල්වන අතර එය කම්කරුවන් සහ තරුනයින් අතර ව්‍යාකූලත්වය වපුරනවා පමනි; ප්‍රතිගාමීන්ගේ අත් ශක්තිමත් කරනවා පමනි.

නමුත්—වර්ගවාදය, යුදෙව් විරෝධය, සිවිල් අයිතිවාසිකම්වලට විරුද්ධ වීම සහ ඒකාධිපති ප්‍රචන්ඩත්වය ප්‍රවර්ධනය කිරීම පිලිබඳ ඔහු ගේ වාර්තාව මනාව ලේඛනගත කෙරී ඇති තතු යටතේ—කර්ක් ජාතික වීරයෙකු ලෙස උත්කර්ෂයට නැංවීමට අනුමැතිය දීම නින්දිත ය. එහෙත් සැන්ඩර්ස් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ මෙම සුදුහුනු ගෑමට එක් වූහ.

ඊලඟ දවසේ, පක්ෂයේ නායකත්වය ඇතුලු ඩිමොක්‍රටික් පක්ෂයේ 90 දෙනෙක්, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේදී 'චාල්ස් කර්ක්ගේ ජීවිතයට සහ උරුමයට ගරු කරන' යෝජනාවක් සම්මත කර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමඟ ඡන්දය දුන්හ. ෆැසිස්ට් ප්‍රකෝපකරුවා 'නිදහස' සහ 'සිවිල් කතිකාව' වෙනුවෙන් දිවි පිදූවෙකු ලෙසත්, 'ජීවිතය, නිදහස, සීමා කරන ලද ආන්ඩුව සහ පුද්ගල වගකීම' සඳහා 'ප්‍රබල ආරක්ෂකයෙකු' ලෙසත් ඔජ වැඩූහ.

පස්වනුව, ට්‍රම්ප් පරාජය කිරීමේ අරගලයේ වර්ධනය පාදක විය යුත්තේ මිලියන සංඛ්‍යාත කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මත ය—නිවැරදි දේශපාලන මූලෝපායක පදනම මත බලමුලු ගැන්වුවහොත්, ට්‍රම්ප් පරාජය කර ඔහුව ධුරයෙන් පලවා හැරීමේ බලය සහිත සමාජ බලවේගය එයයි.

මෙම මූලෝපායේ ප්‍රධාන අංග වන්නේ:

1) කම්කරු පන්තිය, ඩිමොක්‍රටික් පක්ෂයෙන්, එහි සහකාරයින්ගෙන් සහ ක්ෂමාලාපකයින්ගෙන්, එනම් ඩීඑස්ඒ, බර්නි සැන්ඩර්ස්, ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සහ විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල ට්‍රම්ප් ට අසභ්‍ය වචනයෙන් බැනවැදීමෙන් ඔහු නවත්වාගත හැකිවනු ඇතැයි විශ්වාස කරන අසංඛ්‍ය මධ්‍යම පන්තික සංවිධාන සහ පුද්ගලයින්ගෙන් දේශපාලනිකව හා සංවිධානාත්මකව සම්පූර්නයෙන්ම ස්වාධීන වීම. ඉහත දැක්වූ දෑ, ට්‍රම්ප්ට එරෙහිව සටන් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය පොලඹවනු ඇතැයි බලාපොරොත්තු වන කලකිරුනු ලිබරල්වාදීන්ගේ උපක්‍රම වේ.

2) ට්‍රම්ප් තන්ත්‍රයට එරෙහිව කම්කරු පන්තිය එක්සත් කර, එහි දැවැන්ත කාර්මික හා ආර්ථික බලය බලමුලු ගැන්විය හැකි නව ආකාරයේ සංවිධානයක් ගොඩනැගීම. සමාජවාදී සමානතා පක්ෂය විසින් යෝජනා කරන ලද මෙම නව ආකාරයේ සංවිධානය කම්කරු ක්‍රියාකාරී කමිටු වලින් සමන්විත වේ. ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට ප්‍රතිරෝධය සංවිධානය කිරීම සඳහා ඒවා සෑම කර්මාන්ත ශාලාවකම, සේවා ස්ථානයකම, පාසලකම සහ අසල්වැසි ප්‍රදේශයකම ස්ථාපිත කල යුතුය. මෙම කමිටු, ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ආන්ඩුවට, ඩිමොක්‍රටිකයන් එයට දෙන අනුග්‍රහයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ ජීවන තත්වයන්ට එල්ල කරන පුලුල් ප්‍රහාරයට එරෙහිව කම්කරු පන්තියේ සියලුම කොටස් (කර්මාන්තය, සැපයුම්, ප්‍රවාහන, අවන්හල් සහ ක්ෂනික ආහාර, සමාජ සේවා, නීතිමය ආරක්ෂාව, අධ්‍යාපනය, කලා සහ සංස්කෘතිය, විනෝදාස්වාදය, වෛද්‍ය විද්‍යාව, සෞඛ්‍ය සේවා, විද්‍යාව, පරිගනක තාක්ෂනය, ක්‍රමලේඛනය සහ අනෙකුත් ඉහල විශේෂිත වෘත්තීන්හි) සහ තරුන ශිෂ්‍යයින් එක්සත් කරන ප්‍රතිරෝධයේ මධ්‍යස්ථාන බවට පත්විය යුතුය.

සංගත සඳහා කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරන සහ කම්කරු පන්තියේ සෑම ආකාරයකම ප්‍රතිරෝධයන් අවහිර කිරීමට තම බලය භාවිතා කරන වෘත්තීය සමිති නිලධරයන්ගේ ග්‍රහනය බිඳ දැමීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. මූලෝපාය, ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිලිබඳ සියලු කාරනා සම්බන්ධයෙන් කම්කරු පන්තියට ප්‍රජාතන්ත්‍රවාදීව තීරන ගත හැකි වන පරිදි, නිලධාරිවාදී පරපෝෂිතයන්ගේ කාර්යාලවලින්, වැඩපොලේ සහ රැකියා ස්ථානවල කම්කරුවන් වෙත බලය මාරු කල යුතුය.

සියලුම සේවා ස්ථාන පුරා පැතිරෙන මෙම කම්කරු ක්‍රියාකාරී කමිටු, රට පුරා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව පාදක කර ගත හැකි, සම්බන්ධීකෘත සමාජ බලයේ නව මධ්‍යස්ථාන නිර්මානය කරනු ඇත. ධනේශ්වර කතිපයාධිකාරය විසින් මෙහෙයවනු ලබන සහ පාලනය කරනු ලබන වෛරයට පාත්‍ර වූ ආන්ඩුවට එරෙහි දැවැන්ත සමාජ ව්‍යාපාරයක් තුල, විරුද්ධත්වයේ සියලු විසම කොටස් විශ්වාසයෙන් යුතුව පෙලඹවීමට සහ ඒකාබද්ධ කිරීමට, බලමුලු ගන්වන ලද කම්කරු පන්තියට හැකි වනු ඇත.

3) කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාපාරයට, සමාජ-ආර්ථික යථාර්ථයන් නිවැරදිව පිලිබිඹු කරන සහ ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ අවශ්‍යතාවලට අනුරූප වන වැඩපිලිවෙලක් අවශ්‍ය වේ. ධනේශ්වර කතිපයාධිකාරය කම්කරු පන්තියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇත. අවශ්‍ය ප්‍රතිචාරය වන්නේ සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානයකට තුඩු දෙන ආකාරයට, ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය විසින් යුද්ධ ප්‍රකාශ කිරීමයි. ප්‍රධාන කර්මාන්ත, බැංකු, උපයෝගිතා සහ ස්වාභාවික සම්පත් මත පොදු අයිතිය සහ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීම මෙයට ඇතුලත් වේ. එපමනක් නොව, ආසන්න වශයෙන් බිලියනපතියන් 900 ක් තුල අසික්කිත මට්ටම් වලින් සංකේන්ද්‍රනය වී ඇති ධනය අත්පත් කර ගත යුතුය. ධනවත්ම ඇමරිකානුවන් 400 දෙනා පමනක් ඩොලර් ට්‍රිලියන 6.6 ක ඒකාබද්ධ ධනයක් හිමිකරගෙන සිටින අතර එය පෙර වසරට වඩා ඩොලර් ට්‍රිලියන 1 කට වඩා වැඩි වර්ධනයක් නියෝජනය කරයි. මෙතරම් මුදල් හා බලය සංකේන්ද්‍රනය වීම, ප්‍රජාතන්ත්‍රවාදය නසා දමන සමාජ පිලිලයකි.

4) මෙම මූලෝපායේ වැදගත්ම අංගය—පෙර කී සියලු අංග ක්‍රියාත්මක කිරීම සහ සාක්ෂාත් කර ගැනීම රඳා පවතින්නේ එය මත ය—ජාත්‍යන්තරවාදයයි. එක්සත් ජනපදයේ කම්කරුවන්ට ඔවුන්ගේ ක්‍රියාවන් ගෝලීය කම්කරු පන්තියේ අරගල සමඟ සම්බන්ධීකරනය කර පෙලගස්වා ගත නොහැකි නම් කිසිදු ඵලදායී අරගලයක් කල නොහැක. ෆැසිස්ට්වාදයේ තර්ජනය ජාත්‍යන්තර සංසිද්ධියකි. සෑම රටකම ධනේශ්වර පාලක පන්තියට, ට්‍රම්ප්ගේ සහ හිට්ලර්ගේ පවා, ස්වයං අනුවාදයක් ඇත. ඇමරිකානු කම්කරුවන් ජාතිකවාදයේ ප්‍රතිගාමී, යල් පැන ගිය සහ ස්වයං-පරාජක දෘෂ්ටිවාදය ප්‍රතික්ෂේප කල යුතු අතර, එය ෆැසිස්ට්වාදය විසින් භාවිතා කරන වර්ගවාදය සහ ජනවාර්ගික වෛරය අවුස්සන මූලික නපුරයි. ට්‍රම්ප්, සංක්‍රමනිකයින්ට එරෙහි ම්ලේච්ඡ ප්‍රහාරයක් මුදා හැරීම මගින් ඒකාධිපතිත්වය සඳහා ඔහුගේ ධාවනය දියත් කිරීම අහම්බයක් නොවේ. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කිරීම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දැමීමේ පලමු අදියර පමනි. නගර හරහා සැරිසරන වෙස්වලාගත් අයිසීඊ නියෝජිතයන්, ට්‍රම්ප්, කම්කරු පන්තියේ සියලුම කොටස්වලට එරෙහිව මුදා හැරීමට සැලසුම් කරන ෆැසිස්ට් පැරාමිලිටරියේ පෙරටු බලඇනියයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයට, මිලිටරිවාදයට සහ යුද්ධයට එරෙහි අශමනීය විරෝධය, ඇමරිකානු කම්කරුවන්, එක්සත් ජනපදයේ දේශසීමාවලින් ඔබ්බට, තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ ජාත්‍යන්තර එකමුතුව සඳහා ගෙනයන අරගලයේ වෙන් කල නොහැකි සහසම්බන්ධයක් වෙයි. සියොන්වාදී තන්ත්‍රය, සෑහෙන දුරකට එක්සත් ජනපදය විසින් සපයන ලද ආයුධ යොදා ගනිමින් සිදු කර ඇති  ගාසා ජන සංහාරය, ධනවාදයට කෙතරම් ම්ලේච්ඡත්වයකට ගමන් කල හැකි දැයි හෙලි කරයි. සියලුම අධිරාජ්‍යවාදී බලවතුන් විසින් අනුමත කරන පලස්තීනුවන් සමූල ඝාතනය කිරීම, ධනේශ්වර කතිපයාධිකාරීන් 'තමන්ගේම' රටවල කම්කරුවන්ට එරෙහිව කිරීමට සූදානම් දේ පිලිබඳ පූර්වාපේක්ෂනයකි.

පිටුවහල් කිරීමේ සාපරාධී සහ අමානුෂික ප්‍රතිපත්තියට එරෙහිව සංක්‍රමනිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කල යුතු බව මෙම ජාත්‍යන්තරවාදී මූලෝපායෙන් ගලා එයි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියා ඇති පුරවැසිභාවයේ ජන්ම අයිතිය පිලිබඳ මූලධර්මය, සම්මුති විරහිතව ආරක්ෂා කල යුතුය. තවද, පන්ති සවිඥානික කම්කරුවා, 'ස්වදේශීයව' හෝ 'විදේශීයව' උපන්බව අතර ඇති ද්‍රෝහී සහ කුරිරු වෙනස ප්‍රතික්ෂේප කරයි. එපමනක් නොව, ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද සම්බාධක සහ තීරුබදු වලට විරුද්ධ විය යුතුය. නිෂ්පාදනයේ ගෝලීය ඒකාබද්ධතාවයේ යුගයක සම්පූර්නයෙන්ම ප්‍රතිගාමී වන ආර්ථික ජාතිකවාදයට සහාය දීමෙන්, කම්කරු පන්තියට තම රැකියා සහ අවශ්‍යතා ආරක්ෂා කර ගත නොහැක. නිෂ්පාදන බලවේගවල වර්ධනයේ ගෙල සිර කරන පමනක් නොව, න්‍යෂ්ටික ලෝක යුද්ධයේ භයානක මාවතට මානව වර්ගයා ගෙන යන ජාතික සීමාවන් සිඳ බිඳ දැමීමට බල කර සිටීමෙන් පමනක් කම්කරු පන්තියට තම අවශ්‍යතා ඉදිරියට ගෙන යා හැකිය.

ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය ආරම්භ කර ඒකාධිපතිත්වය සඳහා වූ ඔහුගේ ධාවනය දියත් කිරීමටත් පෙර සිටම, සමාජවාදී සමානතා පක්ෂය, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) පිහිටුවීම සඳහා කැඳවීමක් නිකුත් කලේය. මෙම මුලපිරීම සනාථ කර ඇතිවා පමනක් නොව, එහි වර්ධනය දැවෙන හදිසිභාවයක් අත්කර ගෙන ඇත.

5) ට්‍රම්ප් පරාජය කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ෆැසිස්ට්වාදය සහ යුද්ධය වැලැක්වීමට අවශ්‍ය මූලෝපාය, සංවිධානය සහ ක්‍රියාමාර්ග ස්වයංසිද්ධව මතු නොවනු ඇත. මෙම වැඩපිලිවල සඳහා සටන් කල යුතුය. නමුත් මෙම සටන භාරගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අධිෂ්ඨානය, අශුභවාදය සහ දිරිසුන්බව සමඟ නොගැලපේ. මෙම මනෝභාවයන් පක්ෂඝාතයට හේතු වේ. එපමනක් නොව, අශුභවාදය යථාර්ථය පිලිබඳ මතුපිටින් පෙනෙන සහ ව්‍යාජ තක්සේරුවකට නිරන්තරයෙන් සම්බන්ධ ය. කිසිවක් කල නොහැකි බව අවධාරනය කරන අතරම, ඩිමොක්‍රටිකයෝ, වෘත්තීය සමිති සහ මාධ්‍ය, සර්වබලධාරී ආන්ඩුවක් පිලිබඳ මිථ්‍යාව වගා කරති. මෙය මුසාවකි. නොමැත්තේ, මහජන විරෝධය නොව, ට්‍රම්ප්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරයට එරෙහි අරගලය මෙහෙයවීමට සහ සංවිධානය කිරීමට අවශ්‍ය දේශපාලන මූලෝපායකි.

ට්‍රම්ප්ට සහ ඔහු නියෝජනය කරන පරිහානිගත කතිපයාධිකාරයට එරෙහි අරගලයේ පදනම ලෙස සමාජවාදී සමානතා පක්ෂය මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කරයි. අපගේ වැඩපිලිවල අශුභවාදීන්, සංශයවාදීන් සහ දිරිසුන්වූවන් සඳහා නොව, කම්කරුවන්, සිසුන්, තරුනයින්, වෘත්තිකයන්, කලාකරුවන් සහ බුද්ධිමතුන් අතර සිටින සටන්කරුවන් සඳහා ය. ප්‍රමාද වීමට කාලයක් නොමැත.

මෙම ඉදිරිදර්ශනයට එකඟ වන සියලුම කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන්, සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන ලෙසත්, කම්කරු පන්තියේ බලය බලමුලු ගන්වන ලෙසත්, කතිපයාධිකාරයේ කුමන්ත්‍රනය පරාජය කරන ලෙසත්, ෆැසිස්ට්වාදය, ජන සංහාරය සහ යුද්ධයෙන් තොර සමාජවාදී අනාගතයක් සඳහා සටන් කරන ලෙසත් අපි ඉල්ලා සිටින්නෙමු.

Loading