සුලං-ටර්බයින සම්බන්ධයෙන් උතුරේ පැවති මහජන විරෝධතාවයකට පොලීසිය පහර දෙයි

[මෙය Police attack mass protest over wind-turbines in northern Sri Lanka යන මැයෙන් 2025 ඔක්තෝබර් 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මන්නාරමේ සුලං විදුලි බලාගාරයට එරෙහි විරෝධතාවයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයට විරුද්ධව පැවැත්වෙන රැලියක් [Photo: Facebook/Wasantha Mudalige]

සුලං-බල විදුලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැප්තැම්බර් 26 වන දින පැවත්වුනු සාමකාමී රාත්‍රී විරෝධතාවයකට එල්ල වූ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය හෙලා දැකීම සඳහා, ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ, මන්නාරම දිස්ත්‍රික්කයේ, සැප්තැම්බර් 29 වන දින, කම්කරුවන්, ධීවරයින්, තරුනයින් සහ කාන්තාවන් දහස් ගනනක් කඩසාප්පු සහ අනෙකුත් ආයතන වසා දමමින් මහජන විරෝධතාවයකට සහභාගී වූහ. සඳුදා පැවති විරෝධතාව මන්නාරම පුරවැසි කමිටුව විසින් සංවිධානය කරන ලද්දකි.

මන්නාරම පුරවැසි කමිටුවේ නායකයෝ, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කෙරුනු ලිපියක්, දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය පරිපාලක වෙත ඉදිරිපත් කලහ. පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂනයක් ඉල්ලා සිටි එම ලිපියෙන්, සුලං බල යෝජනා ක්‍රමය නතර කරන ලෙස ආන්ඩුවට දීර්ඝ කාලයක් කරමින් තිබූ ඉල්ලීම් නැවත අවධාරනය කෙරුනි. පදිංචිකරුවන් ව්‍යාපෘතියට විරුද්ධ වන්නේ, පරිසරයට සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයට එමගින් ඇතිවන අහිතකර බලපෑම නිසා ය.

අගෝස්තු මාසයේ දී ජනාධිපති දිසානායක මන්නාරම පුරවැසි කමිටු නායකයින් හමු වූ අතර, එමඟින් ඇති වූ පාරිසරික ගැටලු විසඳන තෙක් ව්‍යාපෘතිය ප්‍රමාද කරන බවට සහතික විය.

කෙසේ වෙතත්, සැප්තැම්බර් 26 වන දින සවස් වන විට, ඉදිකිරීම් ස්ථානයට සුලං ටර්බයින ප්‍රවාහනය කරන බව ප්‍රදේශවාසීන්ට දැනගන්නට ලැබුනි. රාත්‍රී 10 ට පමන, සාමකාමී විරෝධතාකරුවන් සිය ගනනක් රැස් වී, මන්නාරම නගරයට ඇතුලු වන ප්‍රධාන මාර්ගයේ වාඩි ලා ගෙන ගමනාගමනය අවහිර කලහ.

ව්‍යාපෘතිය නතර කරන ලෙස කල ඉල්ලීම පාවා දුන් බවට දිසානායකට චෝදනා කල විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් පොලිසිය සමඟ වාද කලහ. කුප්‍රකට විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ඇතුලු සිය ගනනක් සන්නද්ධ පොලිස් නිලධාරීහු විරෝධතාකරුවන්ට බැටන් පොලු සහ ආරක්ෂක පලිහවලින් අමානුෂික ලෙස පහර දුන්හ. පහරදීමෙන් කාන්තාවන් ඇතුලු කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුනාහ.

පොලිසිය, පසු දා, පහර දීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ඇතුලු විරෝධතාකරුවන් නව දෙනෙකුට සහ මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති දේවගැති මාකස් අඩිගලාර්ට එරෙහි ව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරනයේ නඩුවක් ගොනු කල අතර, එය නොවැම්බර් 17 වන දින විභාගයට ගැනේ.

මෙම අලුත් ම පොලිස් ප්‍රහාරය එල්ල වූයේ, විවිධ ආකාරයේ පොලිස් හිරිහැරවලට ලක් වූ මන්නාරම වැසියන් ඊට එරෙහි ව මාස දෙකකට ආසන්න කාලයක් ගෙන ගිය විරෝධතාවලින් පසු ව ය.

මන්නාරමේ සුලං බලාගාරවලට එරෙහි විරෝධතාකරුවන්ට අභිමුඛ ව සිටින පොලිසිය [Photo: Facebook/Roobam Media Groups]

මන්නාරම යනු සපත්තු පාලමක් හරහා ප්‍රධාන භූමියට සම්බන්ධ වන වර්ග කිලෝමීටර් 130 ක දූපතකි. 70,000ක් වන එහි ජනගහනයෙන් බහුතරයක් දෙමල ජාතිකයන් වන අතර සැලකිය යුතු මුස්ලිම් ප්‍රජාවක් ද සිටිති. දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි කොලඹ පාලනය ගෙන ගිය කුරිරු වාර්ගික යුද්ධයේ දී (1983-2009), එහි ජනතාව රුදුරු මිලිටරි මර්දනයකට ලක් වූහ. මන්නාරම නගරයේ විශාල සමූහ මිනීවලක් සොයා ගන්නා ලද අතර, එහි ලමුන් 29 දෙනෙකුගේ ද ඇතුලුව මිනිස් ඇටසැකිලි 346 ක් පමන තිබුනි.

මධ්‍යම පරිසර අධිකාරියෙන් (සීඊඒ) පාරිසරික බලපෑම් තක්සේරු කරන (ඊඅයිඒ) අනුමැතිය ලබා ගැනීමෙන් පසු, ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) 2019 මාර්තු මාසයේ දී ලෝක බැංකු ආධාර ඇති ව සුලං බල විදුලි ව්‍යාපෘතියේ පලමු අදියර දියත් කලේ ය.

කෙසේ වෙතත්, සුලං ටර්බයින මෙහෙයුම්, මත්ස්‍ය ගහනය අඩුවීමටත්, ඉදිකිරීම් හේතු කොට ගෙන ඇති වූ ගංවතුර හේතුවෙන් මුහුදට ජලය ගලායාම අවහිර වීමටත්, සංක්‍රමනික පක්ෂින්ගේ ජීවන රටාවන්ට බාධා ඇති වීමටත් හේතු විය. මෙහි පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය මසුන් ඇල්ලීම වන අතර, ඔවුහු තම මත්ස්‍ය අස්වැන්නේ දැවැන්ත අඩුවීමක් අත්දුටුවෝ ය. ව්‍යාපෘතියේ දෙවන අදියර යෝජනා කරන විට, මධ්‍යම පරිසර අධිකාරිය බලපෑම් තක්සේරුවක් ඉදිරිපත් කලේය. සුවිශේෂිත ව, මෙම ගැටලු පිලිබඳ ව එහි උත්සුකයන් මතු කෙරී තිබුනි.

මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා පැවති වික්‍රමසිංහ ආන්ඩුව, ඉන්දියානු බහු-ප්‍රකෝටිපති ආයෝජක ගෞතම් අදානි සතු හරිත බලශක්ති සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කලේ ය. එහි පාරිසරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා නොගෙන අත්සන් කිරීම නිසා මෙම ගනුදෙනුව මතභේදයට තුඩු දුනි.

පසුගිය වසරේ මැතිවරන ව්‍යාපාර අතරතුර, දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) පාරිසරික අවදානම් උපුටා දක්වමින් සහ එය විදේශීය සමාගමකට පැවරීම ශ්‍රී ලංකාවේ “බලශක්ති ස්වෛරීභාවයට” හානි කරන බවට තර්ක කරමින් ව්‍යාපෘතියට එරෙහි ව හඬ නැගූහ. ජවිපෙහි දිගුකාලීන ඉන්දියානු විරෝධී ස්වෝත්තමවාදය සමඟ බැඳී ඇති මෙම ජාතිකවාදී පූච්චානම් තුලින්, ඡන්ද දිනා ගැනීම සඳහා මන්නාරම ප්‍රදේශයේ මහජන විරෝධය ගසාකෑමට උත්සාහ කලේ ය.

කෙසේ වෙතත්, 2024 දී බලයට පත් වීමෙන් පසු, දිසානායක පාලනය අදානි ගනුදෙනුව පිලිබඳ තම ස්ථාවරය ආපසු හරවා ගනිමින් විදුලි මිලකරනය පිලිබඳ සාකච්ඡාවලට එලඹුනි. අවසානයේ පෙබරවාරි මාසයේ දී අදානි සමාගම ගනුදෙනුවෙන් ඉවත් විය.

මැයි මාසයේ දී දිසානායක ආන්ඩුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමූහ ව්‍යාපාරයක් වන හේලීස් සමූහය සහ එහි අනුබද්ධිත හේලීස් ෆෙන්ටන්ස් සමඟ ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කලේය. ඔවුන්ගේ මුල් ගැටලු වලට විසඳුම් නොලැබුනු බැවින්, පදිංචිකරුවෝ වහා ම නැවත විරෝධතා ආරම්භ කලහ.

අගෝස්තු 13 වන දින විරෝධතා නායකයින් දිසානායක හමු වූ අතර, විශේෂ කමිටුවක වාර්තාව සලකා බලන තුරු ව්‍යාපෘතිය නැවත ආරම්භ නොකරන බවට ඔහු ඔවුන්ට සහතික විය.

කෙසේ වෙතත්, වාර්තාව සමාලෝචනය කිරීමෙන් පසු, ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක සැප්තැම්බර් 22 වන දින බලශක්ති අමාත්‍යාංශයට ලිපියක් යවමින්, එය නැවත ආරම්භ කිරීමට අවසර දුන් බව වාර්තා වේ. ආන්ඩුවේ තීරනය පිලිබඳව දැනුම්දීමක් පවා නොලද තතු තුල, සුලං ටර්බයින ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමෙන් කෝපයට පත් නිවැසියෝ එම ප්‍රවාහනය අවහිර කිරීමට උත්සාහ කලහ.

ව්‍යාපෘතියේ පලමු අදියරේදී තම මත්ස්‍ය අස්වැන්න තියුනු ලෙස පහත වැටුනු බවට මන්නාරමේ ධීවරයෝ පැමිනිලි කරති. ඔවුන් කලෙක බහුල අස්වැන්නක් ලද ප්‍රදේශවල, විශේෂයෙන්, වෙරල තීරයේ ටර්බයින ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බලපෑමට ලක් වූ මුහුදු පත්ලේ ප්‍රදේශවල මත්ස්‍ය ප්‍රමානය අඩු වී ඇත.

මෝසම් වැසි සමයේ දී එම ස්ථානයේ සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි පේසාලේ ප්‍රදේශයේ දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වූ බව ප්‍රදේශවාසීහු වාර්තා කලහ. සුලං ටර්බයිනවල අත්තිවාරම් ස්වාභාවික ජල ධාරාවන්ට බාධා කරයි. ව්‍යාපෘතිය ඉදිකරන විට, ජල ප්‍රවාහය පහසු කිරීම සඳහා බෝක්කු නිසි ලෙස සවි කර නොතිබූ බව වාර්තා පෙන්වා දෙයි.

ප්‍රදේශයේ ඛනිජ-බහුල වැලි කැනීම ප්‍රවර්ධනය කිරීමට කොලඹ ආන්ඩුව නැවත නැවතත් දරන උත්සාහය ප්‍රදේශවාසීන්ගේ කෝපය තවත් වැඩි කර තිබේ. ඕස්ට්‍රේලියානු සමාගමක් වන ටයිටේනියම් සෑන්ඩ්ස් ලිමිටඩ් (ටීඑස්එල්) 2022 සිට මැනුම් බලපත්‍රයක් ලබාගෙන ඇත.

විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙනී යන්නේ මන්නාරම් දූපතේ ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගාර්නට් වැනි වටිනා ඛනිජ අඩංගු බවයි. කොලඹ පදනම් කරගත් සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව, භූ විද්‍යා සමීක්ෂන හා පතල් කාර්යාංශය (ජීඑස්එම්බී) ඇස්තමේන්තු කර ඇත්තේ, මෙම ප්‍රදේශයේ මෙම ඛනිජ මෙට්‍රික් ටොන් මිලියන 53 ක් අඩංගු බවයි.

පතල් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ටීඑස්එල් දැනට ජීඑස්එම්බී සමඟ සාකච්ඡා කරමින් සිටින අතර ප්‍රජා විරෝධතා හේතුවෙන් පාරිසරික බලපෑම් තක්සේරුව තවමත් අවසන් කර නොමැත. ටීඑස්එල් මේ වන විට රුපියල් බිලියන 2 ක් ආයෝජනය කර ඇති බවත්, බලපත්‍රයක් ලබා දුන් පසු රුපියල් බිලියන 24 ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවත් සමාගමේ අධ්‍යක්ෂ ජේසන් ෆෙරිස් ටයිම්ස් පුවත්පතට පැවසීය. වැඩෙන විරෝධය පිලිබිඹු කරමින්, තරුනයෝ අගෝස්තු 6 වන දින මන්නාරමේදී 'සරු පස ආරක්ෂා කරමු' යන සටන් පාඨය යටතේ විරෝධතාවක් පැවැත්වූහ.

සැප්තැම්බර් 29 වන දින පැවති මහජන විරෝධතාවයෙන් පසුව, පාලක ජවිපෙ නායකත්වයෙන් යුත් ජාජබ සමඟ සන්ධානගත වූ සිවිල් අයිතිවාසිකම් කන්ඩායමක් වන ජනෝදනය ව්‍යාපාරය, පොලිස් ප්‍රහාරය “දැඩි ලෙස” හෙලා දකිමින් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කලේ ය. “ජනතාව ජාජබ ආන්ඩුව කෙරෙහි බලාපොරොත්තු හා විශ්වාසය තබා ඇති” බවත්, එසේ වුව ද, පොලිස් ප්‍රචන්ඩත්වය අවිශ්වාසය වපුරනු ඇති බවත් එය ප්‍රකාශ කලේ ය.

ජනෝදනය ව්‍යාපාරය ප්‍රකාශ කලේ, පොලිස් ප්‍රහාරය, “[ආන්ඩුවට එරෙහි] බෙදීම් සහ සතුරුකම් ඇති කිරීමට, තවමත් පොලිසිය තුල කා වැදී ඇති කුමන්ත්‍රනකාරී බලවේග හිතාමතාම කටයුතු කරන්නේ ද යන පිලිබඳ බරපතල ප්‍රශ්නය මතු කරන” බවයි.

කෙසේ වෙතත්, දිසානායක ආන්ඩුව නවත ම ප්‍රහාරය මුදා හැරියේ, තම පරිපාලනයට එරෙහි ව රට පුරා වර්ධනය වන මහජන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයේ කොටසක් ලෙස ය. පොලිසිය ස්වාධීන ව ක්‍රියා කල බව ප්‍රකාශ කිරීම අසත්‍යයකි. හේලීස් ආයෝජනය අනුමත කිරීමෙන් පසු ආන්ඩුව තම සංගත ගනුදෙනුවලට එරෙහි ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා බලය යෙදවීමට පොලිසියට නියෝග කරනු ඇත.

සතියක් පුරා පැවති තැපැල් සේවකයින්ගේ ජාතික වැඩ වර්ජනය බිඳ දැමීම සඳහා ආන්ඩුව අගෝස්තු 24 වන දින පොලිසිය සහ හමුදාව යෙද වූ අතර පුද්ගලීකරනය සහ රැකියා කප්පාදුවට විරෝධය පල කරමින් ලංවිම සේවකයින්ට තර්ජනය කිරීම සඳහා, සැප්තැම්බර් 21 වන දින, අත්‍යවශ්‍ය සේවා පනත උපයෝගී කර ගත්තේ ය. මේ, මෑත මාසවල දී ආන්ඩුව කම්කරුවන් සහ විරෝධතාකරුවන් ප්‍රචන්ඩ ලෙස මර්දනය කර ඇති ආකාරය පිලිබඳ උදාහරන දෙකක් පමනි.

ජනෝදනය ව්‍යාපාරයේ ප්‍රකාශකයින් මන්නාරම වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ, ඔවුන්ගේ දුක්ගැනවිලි ගසාකෑමට උත්සාහ කරන “බලයට කෑදර බලවේගවලින්” පරිස්සම් වන ලෙසයි. මෙය නරුම අපගමනයකි. ඇත්ත වශයෙන් ම, බලය දිනා ගැනීම සඳහා එම දුක්ගැනවිලි ගසා කෑවේ ජවිපෙ/ජාජබ ආන්ඩුවයි—ඒ බලයට පත් වූ පසු ඔවුන් පාවා දීම සඳහා ය.

ඉලංගෛයි තමිල් ඇරසු කච්චි, දෙමල ජාතික ජනතා පෙරමුන සහ දෙමල ජාතික පක්ෂය ඇතුලු සියලුම දෙමල දේශපාලන පක්ෂවල නායකයින් පොලිස් ප්‍රහාරය හෙලා දකිමින් සහ “රාජ්‍ය ත්‍රස්තවාදයට” එරෙහි ව අනතුරු අඟවමින්, බොරු විරෝධයක් පෙන්වන ප්‍රකාශ නිකුත් කර තිබේ.

මෙම ප්‍රකාශ හිස් ය. මෙම පක්ෂ—සහ පාර්ලිමේන්තු විපක්ෂයේ අනෙකුත් අය—ආන්ඩුවේ ජාමූඅ පිටුබලය ලත් කප්පාදු ප්‍රතිපත්තිවලට සහාය දක්වමින්, ඒවා “ආර්ථික ප්‍රකෘතිය” සඳහා අත්‍යවශ්‍ය බව කියා සිටියි. මන්නාරමේ ජනතාවට එල්ල කරන ලද කුරිරු පොලිස් ප්‍රහාරය සහ කම්කරුවන් සහ දුප්පතුන් පුලුල් ලෙස මර්දනය කිරීම, ආන්ඩුව ඒකාධිපති පාලන ක්‍රම කරා මාරුවීම පිලිබඳ තවත් සාක්ෂියකි.

ආන්ඩුවේ මර්දනයට සහ එහි මහා ව්‍යාපාරික වැඩපිලිවෙලට එරෙහි ව, පරිසරය, ජීවන තත්වයන් සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සටනට, ධනේශ්වර විරෝධී සහ සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වන, වාර්ගික රේඛා කපා ගෙන එක්සත් වූ කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වේ.

Loading