2025 ගිම්හාන පාසලට කෙරුනු දේශනය

නොනවතින විප්ලව න්‍යාය සහ ට්‍රොට්ස්කිවාදයේ ප්‍රභවයෝ

පහත පලවන්නේ ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් විසින් 2025 අගෝස්තු 2 වැනි දා සිට 9 වැනි දා දක්වා පැවැත්වුනු අමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාත්‍යන්තර ගිම්හාන පාසලට The theory of Permanent Revolution and the origins of Trotskyism යන මැයෙන් පවත්වන ලද දේශනයයි. මෙය, ට්‍රොට්ස්කිවාදයේ ප්‍රභවය සම්බන්ධයෙන් කොටස් දෙකක දේශනයක පලමු කොටස වේ.

මේ දේශනයට අනුපූරක ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට්‍රොට්ස්කි විසින් ලියන ලද කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමු කොංග්‍රසයට ඉදිරිපත් කෙරුනු “ලෝකයේ කම්කරුවන් වෙත කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්‍රකාශය” සහ “නොනවතින විප්ලවය” කෘතියේ 10 වැනි පරිච්ඡේදය යන මෙම දේශනය සඳහා මුලාශ්‍රිත ලේඛන ද පල කරමු. මෙම දේශනය සමග මෙම ලේඛන ද හදාරන ලෙස අපි අපගේ පාඨකයන් දිරි ගන්වමු.

ලෝසවෙඅ ඉදිරි සතිවල දී පාසලේ සෙසු දේශන ද පල කරනු ඇත. සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් “ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල ‘ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරයට’ හිමි තැන” යන මැයෙන් පාසලට සිදු කල හැඳින්වීමේ සිංහල පරිවර්තනය අගෝස්තු 27දා පල කෙරුනි.

හැඳින්වීම

ආරක්ෂාව සහ හතර වැනි ජාත්‍යන්තරය විමර්ශනය, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය සම්බන්ධ සරල රහස් පරීක්ෂන කතාවක් නොවී ය. ට්‍රොට්ස්කි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කිරීමෙන් සහ ව්‍යාපාරය තුල සහ පිටත ස්ටැලින්වාදයත් අධිරාජ්‍යවාදයේත් භූමිකාව හෙලිදරව් කිරීමෙනුත්, ජාත්‍යන්තර කමිටුව, විප්ලවවාදී ව්‍යාපාරයේ ඉතිහාසයට එය වඩාත් ගැඹුරින් සම්බන්ධ කර ගත්තේ ය.

පැබ්ලෝවාදීන් සහ රොබට්සන් කන්ඩායමට ( සාධර්මික ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී වෙන්වී සතුරුවූ මයිකල් පැබ්ලෝ සහ ස්පාටසිස්ට් කන්ඩායමේ ජේම්ස් රොබට්සන්ගේ කන්ඩායම් දෙක-පරිවර්තක) වෙනස් ව, ජාත්‍යන්තර කමිටුව, ව්‍යාපාරයේ ඉතිහාසය සහ එම ඉතිහාසය තුල දේශපාලන පැහැදිලිකම බැරෑරුම් ව සැලකිල්ලට ගත්තේ ය, ඒ, විප්ලවවාදී නායකත්වයේ අර්බුදයත් එනයින් මානව වර්ගයේ අර්බුදයත් විසඳීමේ යතුර, හතරවන ජාත්‍යන්තරයේ අඛන්ඩතාව, එනම් බොල්ශෙවික්වාදයේ අඛන්ඩතාව තුල ගැබ් වන බව වටහා ගත් නිසා ය.

ධනේශ්වර ක්‍රමය පෙරලා දමා සමාජවාදී සමාජයක් ගොඩනැගීමට කම්කරු පන්තියට හැකි වන්නේ හජාජාක තුල ගැබ් වන, ඉදිරිදර්ශනය සහ ඓතිහාසික මූලධර්මවල පදනම මත පමනි. අපගේ ව්‍යාපාරය කෙරෙහි, ස්ටැලින්වාදීන් සහ අධිරාජ්‍යවාදීන් දක්වන මාරක වෛරයට හේතුව මෙයින් පැහැදිලි කෙරෙයි.

මේ නිසා ආරක්ෂාව සහ හතරවැනි ජාත්‍යන්තරය සම්බන්ධයෙන් වන පාසලක්, එම විමර්ශනය තුල දී ම ත් ආරක්ෂා කොට වැඩි වර්ධනය කෙරුනු එම ඉදිරිදර්ශනය---ට්‍රොට්ස්කිවාදයේ, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය-- ගෙන හැර දක්වමින් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වේ.

'2017 නව වසර සඳහා වූ ඉදිරිදර්ශනය' ඉදිරිපත් කිරීමේ දී ජෝශප් කිෂෝර් සහ ඩේවිඩ් නෝර්ත් යන සහෝදරවරු ඔක්තෝබර් විප්ලවය පාදක වූ, පහත දැක්වෙන දේශපාලන න්‍යායික පදනම් ත්‍රිත්වය සැලකිල්ලට ලක් කල හ:

1) දාර්ශනික විඤ්ඤානවාදයට හා ප්‍රති-මාක්ස්වාදී ප්‍රතිසංස්කරනවාදයට එරෙහි ව, කම්කරු පන්තියේ අධ්‍යාපනය හා විප්ලවවාදී භාවිතයේ න්‍යායික පදනම ලෙස අපෝහක හා ඓතිහාසික භෞතිකවාදය ආරක්ෂා කොට විස්තාරනය කිරීම.

2) කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීමට බාධා පැමින වූ හෝ ඊට වල කැපූ අවස්ථාවාදයේත් මාධ්‍යමිකවාදයේත් අනේකවිධ රූපාකාරවලට එරෙහි ක්ෂමා විරහිත අරගලය

3) 1917 දී බලය සඳහා අරගලය කරා බොල්ශෙවික් පක්ෂය දිශාගත කල මූලෝපායික ඉදිරිදර්ශනය, වසර බොහෝ ගනනක් තිස්සේ, තේරුම් බේරුම් කරගැනීම. මෙහි අවසානයට සඳහන් කෙරුනු ක්‍රියාවලිය තුල දී, ඊට පෙර දසකය තුල ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරනු ලැබූ නොනවතින විප්ලව න්‍යාය, ලෙනින් විසින් පිලිගනු ලැබීම, අන්තර්වාර ආන්ඩුව පෙරලා දැමීම කරා ගමන් කල මාස කිහිපයේ දී බොල්ශෙවිකයන්ගේ මූලෝපායට මග පෙන්වූ තීරනාත්මක ප්‍රගමනය විය.[1]

දෙ වැනි කාරනය සම්බන්ධයෙන් සැලකූ විට, කම්කරු පන්තියේ ස්වාධීන ඉදිරිදර්ශනය සඳහා ලෙනින්, අශමනීය අරගලයක් දියත් කලේ ය. 1890 ගනන්වල ජනතාවාදීන් එරෙහි ව තම ලේඛන තුල ලෙනින් ඒ වන විටත් මෙම ධනේශ්වර සහ සුලු ධනේශ්වර බලවේගයන්ට එරෙහි ව කම්කරු පන්තිය එහි ස්වාධීන පන්ති ආස්ථානය ගත යුතු බව අවධාරනය කර තිබුනි. කල යුත්තේ කුමක් ද කෘතිය තුල ඔහු ආර්ථිකවාදීන්ට එරෙහි ව තර්ක කලේ, ධනේශ්වර සහ සාංසිද්ධික විඥානයට එරෙහි අඛන්ඩ ප්‍රායෝගික, දේශපාලනික සහ න්‍යායික අරගලයක් තුලින් පමනක් කම්කරු පන්තියේ ස්වාධීනත්වය සාක්ෂාත් කරගත හැකි බවයි. 1903 දී, ඔහු මෙන්ෂෙවිකයන්ගෙන් භේද වූයේ මේ පදනම මත ය.

පන්ති ස්වාධීනත්වය සහ සියලු ම ආකාරයේ අවස්ථාවාදයට එරෙහි මෙම අරගලය සඳහා ඉතිහාසය සහ සමාජය සම්බන්ධයෙන් භෞතිකවාදී සංකල්පයක් නැති ව ම බැරි බව ලෙනින් වටහා ගත්තේ ය. විප්ලවවාදී පක්ෂය පන්ති අරගලය විද්‍යාත්මක ව වටහා ගන්නේ නම් පමනක්, එයට එම අරගලය තුලට මැදිහත් ව කම්කරු පන්තියේ විඥාන මට්ටම ඉහල නැංවීමට හැකි වන්නේ ය. ලෙනින් තමන්ගේ වැදගත් කෘතියක් වන භෞතිකවාදය සහ අනුභූතිවාදී විචාරය තුල මේ කරුන මෙ ලෙස දීප්තිමත් ලෙස සාරාංශ ගත කලේ ය:

මනුෂ්‍යත්වයේ ඉහල ම කර්තව්‍යය වන්නේ, ආර්ථික පරිනාමයේ (සමාජ ජීවිතයේ පරිනාමය) මෙම වෛෂයික තර්කනය යමෙකුගේ සමාජ විඤ්ඤානයට ද, සියලු ධනේශ්වර රටවල වැඩි දියුනු පන්තීන්ගේ විඤ්ඤානයට ද හැකි තාක් නිශ්චිත, පැහැදිලි හා තීරනාත්මක රටාවකට අනුයුක්ත කල හැකි පරිද්දෙන්ත එහි මූලිකාංගයන් තුලින් ග්‍රහනය කර ගැනීම යි. [2]

ලෙනින්, ට්‍රොට්ස්කි ඇතුලු ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන්ගේ ක්‍රියාකාරිත්වයේ පදනම වූයේ මෙයයි. ඔවුන් මාක්ස්වාදය වටහා ගත්තේ, ඓතිහාසික වර්ධනයන් බහාලිය හැකි අච්චුවක් ලෙස නොව, කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය වර්ධනය කිරීම උදෙසා වෛෂයික වර්ධනයන් නිවැරදි ව වටහා ගැනීමේ මෙවලමක් ලෙස යි. මේ දෘෂ්ටි ආස්ථානයෙනි, ඔවුන් 19 වැනි සියවසේ අග භාගයේ පටන් ධනේශ්වර ක්‍රමය තුල සමස්තයක් වශයෙන් සිදු ව තිබූ වෙනස්කම් විභාගයට පිවිසුනේ. රුසියාවේ දී, මෙම ප්‍රශ්න සුවිශේෂ ව තියුනු බවත් අත් කර ගත්තේ ය.

රුසියානු විප්ලවය ගැන සංකල්ප තුන

රුසියානු විප්ලවය ගැන තම දේශනය තුල දී කිශෝර් සහෝදරයා සඳහන් කල ආකාරයට “සමාජවාදයේ මූලික මූලධර්මය වන්නේ සමාජ විප්ලවය - එනම් එක් පාලක පන්තියක්, අනෙක් පන්තියෙන් විස්ථාපනය කිරීම - සිදු වන්නේ පවතින නිෂ්පාදන සබඳතාවල රාමුව තුල තව දුරටත් නිෂ්පාදන බලවේගවල වර්ධනය සිදු විය නොහැකි වන විට පමනි.”[3]

නමුත් මාක්ස්වාදය රුසියාවට සම්ප්‍රාප්ත වන විට, මෙම සන්තතීන් තවමත් පැවතියේ ලදරු අවස්ථාවක යි. මිලියන සියයක ගොවි ජනගහනයක් සිටි රුසියාව ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික විය. 1861 දී, ප්‍රවේනිදාස ක්‍රමය අහෝසි කර දමා තිබුනත්, ග්‍රාමීය සමාජ ව්‍යූහයන් තුල තව දුරටත් පැවතියේ වැඩවසම් ලක්ෂන යි. ඒවා පාලනය කෙරුනේ අතිශය ධනවත් බොහෝ විට වංශාධිපතියන් වූ ඉඩම් හිමියන් 60, 000ක් දෙනා විසිනි. ඒ සමග ම, නාගරික මධ්‍යස්ථානවල කර්මාන්ත අති නවීන විය. බොහෝ විට දහසකට අධික කම්කරුවන් පිරිසක් සේවයේ යොදවා ගත් දැවැන්ත ෆැක්ටරිවල වැඩ කල මිලියන තුනත් හතරත් අතර පමන වූ කම්කරු පිරිසක් ජාතික ආදායමෙන් අඩක් පමන නිෂ්පාදනය කලහ.

මේ තතු තුල, රුසියාවේ විප්ලවයේ ස්වභාවය සම්බන්ධයෙන් රුසියානු සමාජවාදී ව්‍යාපාරය තුල තියුනු සාකච්ඡාවන් හට ගත්තේ ය. රුසියානු විප්ලවයට පදනම සැපයූ මේ සාකච්ඡාවන් ජාත්‍යන්තර මාක්ස්වාදයට අතිශය වැදගත් වන්නේ ය. එහි දී මූලික වශයෙන් සංකල්පයන් තුනක් ඉදිරිපත් කෙරුනි.

ජියෝර්ජි ප්ලෙඛනොව්

රුසියානු මාක්ස්වාදයේ පියා වන ජියොර්ජි ප්ලෙඛනොව් ජාත්‍යන්තර සමාජවාදය උදෙසා කැප වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන පක්ෂයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය වටහා ගත්තේ ය. ධනේශ්වරය ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පෙරට ගෙන යනු වෙනුවට නිර්ධනයින්ගේ කැරැල්ලකට බියෙන් වැඩවසම් බලයන් සමග සන්ධානගත වන ආකාරය 1848 තරම් ඈතක දී ජර්මනිය තුල පැහැදිලිවී පැවැතුනි. “රුසියාවේ විප්ලවවාදී ව්‍යාපාරය ජය ගනු ඇත්තේ කම්කරුවන්ගේ ව්‍යාපාරයක් වශයෙනි, නැති නම් එය කවදාවත් ජය ගනු නැත” යනුවෙන් 1889 දී, දෙ වැනි ජාත්‍යන්තරයේ සමාරම්භක සමුලුවේ දී ප්ලෙකානොවු ප්‍රකාශ කලේ ය.

නමුත්, බටහිර යුරෝපයේ ධනපති ක්‍රමයේ වර්ධනය රූපික ව රුසියාව පැවති තත්ත්වය මත්තේ පැට වූ ප්ලෙකානොවු, ඒ නිසාවෙන් ම, රුසියාවේ විප්ලවය වටහා ගත්තේ හුදු ධනේශ්වර විප්ලවයක් වශයෙනි. විප්ලවය පෙරට ගෙන යාමට කම්කරුවන්ට සිදු වේ. නමුත් අවසාන වශයෙන් බලය ධනපති පන්තියට පවරා දී රුසියාව තුල ධනපති ක්‍රමය පූර්න ව සංවර්ධනය වන තුරු බලා සිටිය යුතු විය. මෙන්ශෙවික් නායකයෙකු වශයෙන්, ඔහු අවසාන වශයෙන් කම්කරු පන්තිය සහ ධනපති පන්තිය අතර සන්ධානයක් විවෘත ව ම ප්‍රවර්ධනය කලේ ය. 1905 විප්ලවයත් සමග ම මෙම ඉදිරිදර්ශනයේ සීමාවන් විශද විය.

ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කරයි:

1905 සිද්ධීන්, එනම්, ප්‍රථම රුසියානු විප්ලවය පුපුරා යාම, ප්ලෙකානොව්ගේ න්‍යායික ආකෘතියේ ජීව ශක්‍යභාවය පිලිබඳව බරපතල ප්‍රශ්න මතු කලේ ය. රුසියානු විප්ලවයේ අතිශයින් ම වැදගත් අංගය වූයේ සාර්වාදයට එරෙහි අරගලයේ දී කම්කරු පන්තිය විසින් ඉටු කරන ලද මුඛ්‍ය ක්‍රියාකලාපය යි. මහා වැඩවර්ජන සහ සන්නද්ධ නැගිටීමේ පසුබිම තුල රුසියානු ධනේශ්වර පන්තියේ උපමාරු ඉතා පටු හා ද්‍රෝහී බව පෙන්නුම් කලේ ය. රුසියානු ධනේශ්වරය අතර ඩැන්ටන් කෙනෙකු හෝ රොබස්පියර් කෙනෙකු සිටියේ නැත. කැඩෙට් (ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී) පක්ෂය ජැකොබින්වරුන්ට සමාන වූයේ නැත.[4]

1905 මෙම විප්ලවවාදී සිදුවීම් මැද, ලෙනින් ප්ලෙකානොව්ට විරුද්ධ වූ ආස්ථානයක් වර්ධනය කලේ ය: කම්කරු පන්තියේ සෑම ස්වාධීන පියවරක දී ම ඉඩම් හිමියන්ට සහ සාර් තන්ත්‍රයට සමීප වෙමින් ප්‍රතිචාර දැක් වූ ධනේශ්වරය කෙරෙහි ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් විසඳීමෙහිලා කම්කරු පන්තියට විශ්වාසය තැබිය නොහැකි ය.

ව්ලැදිමීර් ලෙනින්

ලෙනින් තර්ක කලේ ධනේශ්වරයෙන් ස්වාධීන ව සහ ධනේශ්වරයට එදිරි ව කම්කරු පන්තිය ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් විසඳිය යුතු යැයි කියා ය. එසේ කිරීමේ දී, ඔහු ගොවීන් සමග සන්ධානයක් මත රැඳුනේ ය. ධනේශ්වර පාර්ලිමේන්තුවාදයට එරෙහි ව, “කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයක්” ඉල්ලා සිටියේ ය. ධනේශ්වරය සමග සහයෝගී වෙනවා වෙනුවට, ග්‍රාමීය වැඩකරන ජනතාව බලමුලු ගැන්වීම වෙනුවෙන් ඔහු කැඳවුම් කලේ ය. නමුත් ලෙනින් පවා මෙම විප්ලවයේ කර්තව්‍යයන්, සියල්ලට ප්‍රමුඛ ව ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් සම්පාදනය ඇතුලු ව, ධනේශ්වර කර්තව්‍යයන් වශයෙන් හැඳින ගත්තේ ය.

ලෙනින් මෙසේ පැහැදිලි කලේ ය:

එහෙත් සැබවින්ම එය, ප්‍රජාතන්ත්‍රවාදී මිස සමාජවාදී ආඥාදායකත්වයක් නොවනු ඇත. විප්ලවවාදී වර්ධනයේ (අතරමැදි අවධීන් මාලාවකින් තොරව), ධනවාදයේ පදනම් කෙරෙහි බලපෑමට එයට නොහැකිවනු ඇත. උපරිම වශයෙන් එය, ගොවිජනතාවට වාසි වන පරිදි ඉඩම් දේපලෙහි පෙරලිකාරී යලි බෙදාහැරීමක් සිදුකරනු ද, සමූහාන්ඩුවක් පිහිටුවීම ද ඇතුලත් අඛන්ඩ හා පූර්න ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනු ද, ගම්බද පමනක් නොව කම්හල් ජීවිතය තුල ද ආසියාතික වහල්භාවයේ සියලු පීඩාකාරී අංග අතුගා දමනු ද, කම්කරුවන්ගේ ජීවන තත්වය ඉහල නැංවෙන ආකාරයෙන්, කම්කරුවන්ගේ ජීවන කොන්දේසිවල ඉහල ප්‍රගතියක් සඳහා පදනම දමනු ද, අවසාන එහෙත් වැදගත් කමෙන් නොඅඩු, විප්ලවකාරී කලබැගෑනිය යුරෝපය තුලට ගෙනයනු ද ඇත.[5]

විප්ලවය තුල සහ නව පාලන රූපය තුල බහා පන්ති සබඳතා යලි සූත්‍රගත කල නිසාත්, රුසියානු විප්ලවය යුරෝපීය විප්ලවයේ සන්දර්භය තුල ස්ථානගත කල නිසාත් ලෙනින්ගේ සංකල්පය නිසැක ව ම ඉදිරි පියවරක් විය. නමුත් ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වය සම්බන්ධ සූත්‍රය නව ආන්ඩුවේ පන්ති ස්වභාවය ගැන ප්‍රශ්නවලට පිලිතුරු සම්පාදනය නොකල අතර එය නව ආන්ඩුවේ දේශපාලනය සම්බන්ධයෙන් රූපික ආස්ථානයක් විය. 1905 තරම් ඈතක දී ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේ කම්කරු පන්තියේ පන්ති අවශ්‍යතා සහ රුසියානු පසුගාමීත්වයේ වෛෂයික කොන්දේසි අතර පැවති පරස්පවිරෝධය ,කම්කරුවන්ගේ පැත්තෙන් ස්වයං-සීමා පනවා ගැනීමකින් විසඳීමට ලෙනින්ට වුවමනා වී ඇති බවයි.

“අපගේ විප්ලවය ධනේශ්වර විප්ලවයක්‍ය” යන්න වියුක්ත ලෙස ගත් මෙන්ෂෙවිකයෝ, ඒ අනුව කම්කරු පන්තිය විසින් කල යුතු ව ඇත්තේ, තමන්ගේ සියලු උපායන් ධනේශ්වරය අතට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා ලිබරල් ධනේශ්වරයට ගැලපෙන ආකාරයෙන් හැඩ ගස්සා ගැනීමය යන නිගමනය කරා එලඹෙති; “ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිත්වය මිස සමාජවාදී ඒකාධිපතිත්වය නොවේ” යන එතරම් ම වියුක්ත සංකල්පනයකින් පටන් ගන්නා බොල්ශෙවිකයෝ, රාජ්‍ය බලය අල්ලා ගත් කම්කරු පන්තියක් තමන් මත්තේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍ර සීමාවක් අටවා ගැනීමේ නිගමනය කරා එලඹෙති.” මෙම කාරනයෙහි ලා ඔවුන් අතර ඉතා සැලකිය යුතු මතභේදයක් තිබෙන බව සත්‍යයකි. මෙන්ෂෙවික්වාදයේ විප්ලව විරෝධී අංශයන් දැනටම සම්පූර්නයෙන් එලිදරවු වී පවත්නා නමුත්, බොල්ශෙවික්වාදයේ දුබලකම් බරපතල තර්ජනයක් බවට පත් වන්නේ ජයග්‍රහනය අත්පත් කර ගත් විටක පමනි.[6]

ලියොන් ට්‍රොට්ස්කි

මේ සමග ට්‍රොට්ස්කි නොනවතින විප්ලව න්‍යායේ මූලිකාංග වැටිසන් කලේ ය. වසරකට පසු ව, ඔහු මේවා ප්‍රථිපල සහ සක්‍යතා යන කෘතිය තුල ක්‍රමානුකූල ව විස්තාරනය කලේ ය. ලෙනින් මෙන් නොව, ස්වාධීන දේශපාලන ප්‍රතිපත්තියක් ක්‍රියාවට දැමිය නොහැකි ගොවි පන්තියට කම්කරු පන්තිය විසින් මග පෙන්විය යුතු බව ට්‍රොට්ස්කි වටහා ගත්තේ ය. බලය අල්ලා ගැනීමෙන් පසු කම්කරු පන්තියට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන්ගෙන් නතර විය නොහැකි හෙයින් සමාජවාදී පියවර ගැනීමට බල කෙරෙන නිසා එම අර්ථයෙන් කම්කරු පන්තිය නායකත්වය දෙන විප්ලවය නොනවතින්නකි.

කෙසේ නමුත්, ධනවාදය තවමත් සංවර්ධනය නොවුනු ජනගහනයෙන් බහුතරය ගොවියන් වූ පසුගාමී රුසියාවේ මෙය සිදු කල හැක්කේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නැගුනි. මෙහි දී, ලෝක ආර්ථිකයේ වර්ධනය සහ රුසියාවේ ප්‍රතිවිරෝධයන්ගෙන් යුතු වූ වර්ධනය ගැන සවිස්තරාත්මක අධ්‍යයනයක් මත පදනම් වූ ට්‍රොට්ස්කි පසුගාමී රටවල විප්ලවයට පමනක් නොව, සමාජවාදී ලෝක විප්ලවයේ ම මූලෝපායට අතිශය වැදගත් වන නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය අංගය වර්ධනය කලේ ය. ඔහු රුසියානු විප්ලවය වටහා ගත්තේ හුදෙකලා වූ ජාතික සිදුවීමක් ලෙස නොව ලෝක විප්ලවයේ අංගයක් ලෙසයි.

1905 දී ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:

සියලු රටවල් මත, ආර්ථිකය පිලිබඳ තමන්ගේ ම ක්‍රමය හා තමන්ගේ ම සම්බන්ධතා පිහිටුවමින් ධනවාදය, සමස්ත ලෝකය ම එක් ආර්ථික හා දේශපාලන යාන්ත්‍රනයක් බවට පත් කර තිබේ. … මෙම කාරනය, එහි මූලාරම්භයේ සිට ම, දැන් දිග හැරෙමින් තිබෙන සිදුවීම්වල ජාත්‍යන්තර ස්වභාවය හා කම්කරු පන්තිය ඉදිරියේ විවෘත කෙරෙන ප්‍රතාපවත් බලාපොරොත්තු ගෙන හැර දැක්වී ය. රුසියානු කම්කරු පන්තිය මුලපිරූ දේශපාලන විමුක්තිය, තමන් ඓතිහාසික ව පෙර නොවූ විරූ මුදුනකට ඔසවමින්, තමන්ට ඉමහත් මාධ්‍යයන් සහ සම්පත් ලබා දෙමින්, ලෝක පරිමාන ව ධනවාදය පෙරලා දැමීමේ නායකයා බවට තමන් පත් කරන අතර, ඉතිහාසය ඒ සඳහා සියලු වෛෂයික පූර්ව කොන්දේසි නිර්මානය කර තිබේ.[7]

ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මනෝරාජ්‍යක් නොව, ගෝලීය ධනේශ්වර ක්‍රමයේ වර්ධනය ගැන අවබෝධය මත පදනම් වූවකි. 1931 දී, ට්‍රොට්ස්කි තම නොනවතින විප්ලවය කෘතිය තුල මෙම දැක්ම මෙ ලෙස කැටිකොට දැක්වූයේ ය:

“ධනේශ්වර සමාජයේ අර්බුදයට එක් මූලික හේතුවක් වන්නේ, එම ධනේශ්වර සමාජය විසින් නිශ්පාදනය කෙරුනු නිෂ්පාදන බලවේගයන් තව දුරටත් ජාතික රාජ්‍යයේ රාමුව තුල කොටු කර තැබීමට නොහැකි වීමයි. එක් අතකින් මින් ගලා එන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයි. අනෙක් අතින් ධනේශ්වර යුරෝපා එක්සත් ජනපදයක් පිලිබඳ මනෝරාජ්‍යයයි. සමාජවාදී විප්ලවය ජාතික තලය මත ඇරඹේ; ජාත්‍යන්තර තලය තුල විකසිතවේ; ලෝකතලය මත පූර්නත්වය ලබයි. මේ අනුව සමාජවාදී විප්ලවය වචනයේ නව හා පුලුල් අර්ථයකින් නොනවතින විප්ලවයක්වෙයි. එය පූර්නත්වය ලබන්නේ අපේ මුලු පෘථිවි තලය මත ම නව සමාජය ලබන අවසාන ජයග්‍රහනය තුලින් පමනි” [8]

ඩේවිඩ් නෝර්ත් 'ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා' යන තම කෘතිය තුල මෙම විශ්ලේෂනය ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායට කොපමන අතිමූලික වූයේ දැයි මෙ සේ සාරාංශගත කරයි:

'ලෝක ධනවාදයේ ඓතිහාසික වර්ධනය පිලිබඳ විශ්ලේෂනයේ හා ජාත්‍යන්තර ආර්ථික හා දේශපාලන වාතාවරනය මත රුසියාවේ වෛෂයික පැවැත්ම ආරම්භක ලක්ෂ්‍ය කොට ගත් ට්‍රොට්ස්කි, රුසියානු විප්ලවයේ සමාජවාදී වර්ධනයේ අනිවාර්ය බව පෙර දුටුවේ ය. බලය ගැනීමට සිදු වන රුසියානු කම්කරු පන්තියට සමාජවාදී ස්වභාවයේ පියවරයන් ගැනීමට ද බල කෙරෙනු ඇත. එහෙත් සමාජවාදී මාවතේ ගමන් කිරීමේ දී, රුසියානු කම්කරු පන්තිය අනිවාර්යෙන් ම ජාතික පරිසරයේ සීමා බන්ධනයට මුහුන දෙනු ඇත. කම්කරු පන්තිය මෙම උභතෝකෝටිකයෙන් ගැල වී ගන්නේ කෙසේ ද? අවසාන විග්‍රහයේ දී, තම අරගලය ම යම් සන්තතියක ප්‍රකාශනයක් වී ද එම සන්තතිය වූ යුරෝපීය හා ලෝක විප්ලවය සමග තම දෛවය සම්බන්ධ කිරීමෙනි.

ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය ලෝක විප්ලවය සම්බන්ධයෙන් යථාවාදී සංකල්පයක් ශක්‍ය බවට පත් කලේ ය. ජාතික විප්ලවයන්ගේ යුගය නිමාවකට පත් ව තිබුනි. වඩාත් නිවැරදි ව කිවහොත් ජාතික විප්ලවයන් ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ රාමුව තුල පමනක් වටහා ගත හැකි ය.[9]

රුසියාව තුල නො නවතින විප්ලවය: අප්‍රේල් ප්‍රවාදවල සිට ඔක්තෝබර් විප්ලවය දක්වා

පලමු ව ලෝක යුද්ධය සහ ධනවාදී ජාතික-රාජ්‍ය පද්ධතියේ බිඳවැටීම තුල දී තහවුරු වූ නො නවතින විප්ලව න්‍යාය, ඉන්පසු රුසියානු විප්ලවයේ දී සෑම අංශයකින් ම සනාථනය ලබා ගත්තේ ය.

1917 -1917 පෙබරවාරි විප්ලවයෙන් පසු ව නෙව්ස්කි ප්‍රොස්පෙක්ට්හි පැවති රැලියක්

ප්‍රමුඛ වසයෙන් කම්කරු පන්තිය විසින් ඒ වන විටත් ආරම්භ කර තිබූ පෙබරවාරි විප්ලවයට, විශේෂයෙන් ම බොල්ශෙවික්වරුන් විසින් අධ්‍යාපනගත කර තිබුනු කම්කරුවන් විසින් නායකත්වය දෙනු ලැබ තිබිනි. ඔවුන් තම නැගිටීම ජයග්‍රහනය කරා මෙහෙය වූ නමුත්, මධ්‍යගත පක්ෂයක් නොමැති වීම නිසා, නිර්ධන පන්තික පෙරටු බලඇනිය අතට ක්ෂනික ව බලය තැබීමට ඔවුහු අපොහොසත් වූ හ. ලිබරල් ධනේශ්වරය නායකත්වය දුන් තාවකාලික ආන්ඩුව සහ කම්කරුවන්ගේ හා සොල්දාදුවන්ගේ නියෝජිත සෝවියට් සභා අතර ද්වන්ද්ව-බල තත්ත්වයකට මෙය තුඩු දුන්නේ ය.

ට්‍රොට්ස්කි පෙර දැක තිබුනු පරිදි, විප්ලවය මැඩීමටත් සාර් ආරක්ෂා කිරීමටත් ධනේශ්වරය සෑම අතකින් ම උත්සාහ කලේ ය. සාර්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ව, කම්කරුවන් නිරායුධ කොට සෝවියට් සභා විසුරුවා හැර යුද්ධය අඛන්ඩ ව ගෙන යාමට තාවකාලික ආන්ඩුව ප්‍රයත්න දැරුවේ ය. සෝවියට් සභා තුල ආරම්භයේ දී බහුතරය දැරූ මෙන්ශෙවිකයන් සහ සමාජ විප්ලවවාදීන්, තාවකාලික ආන්ඩුවට ද විශේෂයෙන් ම යුද්ධය අඛන්ඩ ව කරගෙන යාමට ද සහයෝගය දුන්නේ, ධනේශ්වරය විප්ලවයට විවෘත ව හතුරු වෙද්දී පවා, එයට කම්කරු පන්තිය සහයෝගය දිය යුතු ය යන ඔවුන්ගේ විශ්වාසය මත පදනම් ව ය.

මෙම කොන්දේසි යටතේ, තාවකාලික ආන්ඩුව කෙරෙහි සබඳතාව සහ යුද්ධය දිගට ම කරගෙන යාම අරබයා, බොල්ශෙවික් පක්ෂය ඇතුලත චන්ඩ විවාදයක් වර්ධනය විය. ප්‍රව්දා පුවත්පතේ කර්තෘ මන්ඩලයෙහි ප්‍රධානත්වය ඒකාබද්ධ ව දැරූ කමනෙව් හා ස්ටැලින්, “කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වය” සඳහා හොඳ ම කොන්දේසි නිර්මානය කරනු වස්, බොල්ශෙවික්වරු තාවකාලික ආන්ඩුවට විවේචනාත්මක සහයෝගය දිය යුතු යයි තර්ක කලහ. යුද්ධය අඛන්ඩ ව කරගෙන යාමට සහයෝගය දීම සඳහා පවා ඔවුහු විවෘත ව ඉල්ලා සිටියහ.

අනෙක් අතට, යුද්ධය සමයේ අධිරාජ්‍යවාදය පිලිබඳ ව කල මූලික විශ්ලේෂනය හරහා ලෙනින් ඒ වන විටත් ට්‍රොට්ස්කිගේ ආස්ථානයන්ට ප්‍රවිෂ්ට වී සිටියේ ය. “අධිරාජ්‍යවාදය, ධනවාදයේ ඉහල ම අවධිය” නමැති කෘතිය තුල, “විජිත පීඩනයේ සහ ලෝක ජනගහනයෙහි අතිමහත් බහුතරයේ ගෙල ‘දියුනු රටවල්‘ අතලොස්සක් විසින් මූල්‍යමය ලෙස මිරිකන” පද්ධතියක් බවට ධනවාදය වර්ධනය වී තිබුනේ කෙසේදැයි ඔහු පැහැදිලි කලේ ය. “යුද්ධය සිවිල් යුද්ධයක් බවට හරවනු” යන ඔහුගේ සටන් පාඨය මගින් සමාජවාදී විප්ලවය සියලු යුරෝපීය රටවල් තුල න්‍යාය පත්‍රය මත පිහිටුවී ය.

1917 අප්‍රේල් 4 (17) පෙට්‍රොග්‍රෑඩ්හි ටවුරිච් මාලිගයේ දී කතා කරන ලෙනින්

රුසියාව වෙත පෙරලා පැමිනීමට පෙර ම, ලෙනින් සිය “ඈත සිට එවූ ලියුම්” තුල, තාවකාලික ආන්ඩුවට දෙන ඕනෑ ම සහයෝගයක් නිර්ධන පන්තියේ මාවත පාවා දීමක් ලෙස විස්තර කරමින්, අධිරාජ්‍යවාදී යුද්ධය අඛන්ඩ ව ගෙන යාම ප්‍රතික්ෂේප කලේ ය. ඔහු රුසියාවට ලඟා වූ වහා ම, පක්ෂය ඇතුලත අප්‍රේල් ප්‍රවාද සාකච්ඡා කලේ, තමන්ට “ට්‍රොට්ස්කිවාදය” ගැන අසාධාරන ලෙස චෝදනා නොකල යුතු ය යන පදනම මත පිහිටා ගෙන ය.

මෙම ප්‍රවාද තුල, රුසියාව පාර්ශවයෙන් ගත් කල යුද්ධය අධිරාජ්‍යවාදී කොල්ලයේ යුද්ධයක් ය යන, බොල්ශෙවික්වරුන්ගේ ආස්ථානය වෙනස් නො කල යුතු බව ඔහු අවධාරනය කලේ ය. මහජනයා අතර පවතින මනෝගතිය වුයේ යුද්ධය විප්ලවය ආරක්ෂා කිරීමක් ය යන්න නිසා ම, බොල්ශෙවික්වරුන් විසින් යුද්ධයෙහි සැබෑ පසුබිම හෙලිදරවු කරනු ලැබීම අවශ්‍ය විය. “ප්‍රාග්ධනය පෙරලා නො දමා, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සාමයකින්, හෙවත් ප්‍රචන්ඩත්වයක් මගින් පටවනු නො ලබන සාමයකින් යුද්ධය අවසන් කිරීම කල නො හැකි බව” සනාථ කිරීම අවශ්‍ය විය.

ලෙනින් “කල යුත්තේ කුමක් ද?” කෘතිය තුල ඒ වන විටත් පැහැදිලි කර තිබූ පරිදි, කම්කරු පන්තියේ සාංදෘෂ්ටික විඥානයෙන් නොව වෛෂයික කොන්දේසිවලින් ආරම්භ කල නිසා මෙය වැදගත් කරුනක් විය. පන්ති අරගලයේ තර්කනය කෙරෙන්ස්කි හා මෙන්ශෙවිකයන්ගේ ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය හෙලිදරවු කරනු ඇති බව ලෙනින් පෙන්වා දුන්නේය. තීරනාත්මක අවධියේ දී, පක්ෂයේ ක්‍රියාමාර්ගය වෛෂයික කොන්දේසි සමග අභිසරනය වීම, සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය සඳහා කම්කරු පන්තික මහජනයා දිනාගැනීමට බොල්ශෙවික්වරුන්ට හැකියාව ලබා දෙනු ඇත.

ඔහුගේ ප්‍රවාදවල දෙවන කරුනේ දී, නිර්ධන පන්තියට බලය ගැනීම සඳහා කැඳවුම් කිරීම මගින්, ලෙනින් පැහැදිලි ව ම නො නවතින විප්ලවයේ ආස්ථානයට සහයෝගය දුන්නේ ය. බොල්ශෙවික්වරු තාවකාලික ආන්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් තබා නොගත යුතු බවත්, සෝවියට් සභාවල පාලනය මගින් පාර්ලිමේන්තුවාදයට විරුද්ධ විය යුතු බවත්, ඔහු කීවේ ය. පොලීසිය, හමුදාව හා සිවිල් සේවය අහෝසි කොට ප්‍රතිස්ථාපනය කල යුතු ය.

ඉඩම් ජනසතු කිරීමට අමතර ව, සෝවියට් සභා ඍජු ව බැංකු පාලනය කල යුතු බවට ද නිෂ්පාදනය හා බෙදා හැරීම කම්කරුවන්ගේ පාලනය යටතේ පැවතිය යුතු බවට ද ලෙනින් ඉල්ලා සිටියේ ය. රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ලෙස යලි නම් කරමින්, කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් ගොඩනැගීමේ වැඩකටයුතු ආරම්භ කොට, එය සමාජ-ස්වෝත්තමවාදීන්ට හා මාධ්‍යමිකයන්ට එරෙහි ව යොමු කල යුතු විය.

ට්‍රොට්ස්කිගේ ආස්ථානය කරා ලෙනින්ගේ වර්ධනය, ඩේවිඩ් නෝර්ත් උචිත පරිදි මෙසේ සම්පින්ඩනය කරයි:

“ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය සමග ලෙනින්ගේ මූලෝපාය අභිසරනය වීම සලකුනු කෙරුනු ඔහුගේ දේශපාලන ක්‍රියාමාර්ගය, පදනම් කෙරුනේ, ප්‍රමුඛ ව ජාතික ව නිර්නිත තත්ත්වයන් සහ රුසියාව තුල පැවති අවස්ථාවන් පිලිබඳ තක්සේරුවක් මත නොවේ. කම්කරු පන්තිය මුහුන දුන් සාරභූත ප්‍රශ්නය වූයේ, ජාතික රාජ්‍යයක් ලෙස රුසියාව, සමාජවාදය වෙතට සංක්‍රමනය වීමට අවශ්‍ය, ප්‍රමානවත් ධනේශ්වර සංවර්ධන මට්ටමක් කරා ලඟා වී තිබුනේ ද යන්න නො වී ය. ඊට විපරීත ලෙස, රුසියානු කම්කරු පන්තිය මුහුන දුන් ඓතිහාසික තත්වය වූයේ, තමන්ගේ ම ඉරනම තුල, අධිරාජ්‍යවාදී යුද්ධයටත් එය පැන නගින ධනපති ක්‍රමයටත් එරෙහි ව, යුරෝපීය කම්කරු පන්තියේ අරගලය සමග නො වෙන් කල හැකි ලෙස බැඳී පැවතීමේ තත්වයයි.”[10]

නිර්ධන පන්තික පක්ෂය සඳහා ලෙනින් 1917 අප්‍රේල් මාසයේ ම ලියූ කෙටුම්පත් ක්‍රියාමාර්ගය තුල ද ඔහුගේ නව දිශානතිය පැහැදිලි ව පෙන්නුම් කෙරුනි. එය මෙසේ සඳහන් කරයි:

“යුද්ධය නිසැක ව ම ධනපතියන්ගේ අවශ්‍යතා සඳහා කෙරෙන්නක් හා එයින් ඔවුන් ධනවත් කෙරෙන නමුත්, යුද්ධය කෑදර ධනපතීන්ගේ දුෂ්ට අභිලාෂයෙහි නිෂ්පාදිතයක් නො වේ. යුද්ධය වනාහි, ලෝක ධනවාදයේ අඩසියවසක වර්ධනයේ ද එහි බිලියන ගනනක් වන හුයපට හා සබඳතාවන්ගේ ද නිෂ්පාදිතයකි. ප්‍රාග්ධනයේ බලය පෙරලා නො දමා, වෙනත් පන්තියකට එනම් නිර්ධන පන්තිය වෙත රාජ්‍ය බලය මාරු නො කර, අධිරාජ්‍යවාදී යුද්ධයෙන් විනිර්මුක්ත වී, ප්‍රචන්ඩ නො වන ප්‍රජාතන්ත්‍රවාදී සාමයක් කරා ලඟාවීම කල නො හැකි ය.

“1917 පෙබරවාරි-මාර්තු රුසියානු විප්ලවය, අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය කිරීමේ ආරම්භය විය. මෙම විප්ලවය යුද්ධය අවසන් කිරීම දෙසට ගත් පලමු පියවර වුයේ ය; එහෙත්, යුද්ධයෙහි අවසානය නිශ්චිත දෙයක් බවට පත් කිරීමට, එම විප්ලවයට දෙවන පියවරක් ගැනීම හෙවත් නිර්ධන පන්තිය අතට රාජ්‍ය බලය මාරු කිරීම අවශ්‍ය විය. සමස්ත ලෝක පරිමානයකින් ලබන “සාර්ථකත්වයක” ආරම්භය වනු ඇති මෙය, ධනපති අවශ්‍යතා පෙරමුන ඉදිරියේ ලබන සාර්ථකත්වයක් ද වෙයි; නිර්ධන පන්තියට යුද්ධයේ භීතීන්ගෙන් මානව-වර්ගයා ආරක්ෂා කර ගෙන, මානව-වර්ගයා සාමයේ ආශිර්වාදය සමගින් පුබුදාලිය හැක්කේ එම අවශ්‍යතා පෙරමුන බිඳදැමීමෙන් පමනි.”[11]

මේ ආකාරයෙන් ලෙනින් නොනවතින විප්ලව න්‍යායය සමග එක් වූ අතර, යුද්ධයේ ගමන් මාවතේ දී හා රුසියාව තුල විප්ලවයේ දී, සමාජ දේශමාමකයින් හා පීතෘ භූමියේ ආරක්ෂකයින් බවට පත් ව සිටි, අවස්ථාවාදීන්ගෙන් මුලුමනින් ම බිඳීගැනීමක් සඳහා ලෙනින්ගේ අශමනීය අරගලය පිලිබඳ ගැඹුරු අවබෝධයක් කරා ට්‍රොට්ස්කි පැමිනුනේ ය. ට්‍රොට්ස්කි මෙන්ශෙවිකයින් සමග සන්ධානයක් ප්‍රතික්ෂේප කර තිබුනු නිසා, 1917 ඔක්තෝබරයේ දී “ඔහු හොඳ ම බොල්ශෙවිකයා” යයි ලෙනින් ප්‍රකාශ කලේ ය.

කල යුත්තේ කුමක් ද? කෘතිය තුල, කම්කරු ව්‍යාපාරය තුල අවස්ථාවාදයට එරෙහි අරගලය, ඒ වන විටත් සිය ක්‍රියාමාර්ගයේ හරි මැද තබා තිබුනු ලෙනින්, 1912 දී මෙන්ශෙවිකයන්ගෙන් මුලුමනින් බිඳී වෙන්වීම සම්පූර්න කර තිබුනි. යුද්ධය පුපුරා යාමත් සමග, පීතෘ භූමියේ ආරක්ෂකයින්ගෙන් ද, විශේෂයෙන් ම ඔවුන්ගෙන් බිඳීමක් වැලැක්වීමට අවශ්‍ය වූ මාධ්‍යමිකයින් වෙතින් ද මුලුමනින්ම බිඳී වෙන්වීම සඳහා ලෙනින් ජාත්‍යන්තර ව ම බලකර සිටියේ ය.

රුසියාව තුල මෙන්ශේවිකයින් ඉටුකරන ලද ප්‍රතිවිප්ලවවාදී භූමිකාව විසින් මෙම අවශ්‍යතාව සනාථ කෙරුනි. ධනේශ්වරයට හා කලු ශතකවාදීන්ට එරෙහි ව සටන් කරනු වෙනුවට, බොල්ශෙවිකයින්ට එරෙහි ව සටන් කල මෙන්ශෙවිකයෝ ජූලි විරෝධතාවලින් පසු ව ඔවුන් දඩයම් කිරීමට සහයෝගය දුන්හ. ට්‍රොට්ස්කි සිරගත කරන ලද අතර ලෙනින්ට සැඟවීමට සිදු විය. මෙන්ශෙවිකයින්ගේ සහයෝගය ලද කෙරෙන්ස්කි, සෝවියට් බලය අහෝසි කර විප්ලවය විනාශ කිරීම සඳහා, ජෙනරාල් කොර්නිලොව් සමග පවා ඒකාබද්ධ විය. රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය ඉදිරියට ආ අතර, කෙරෙන්ස්කිට සහයෝගය දුන් මෙන්ශෙවිකයන් හා සමාජ විප්ලවවාදීන් මහජනයා අතර අපකීර්තියට පත් විය.

නෙව්ස්කි ප්‍රොස්පෙක්ට්හි පැවති පෙලපාලියකට තාවකාලික ආන්ඩුවේ භටයෝ වෙඩි තබති

මෙම කාලපරිච්ඡේදය තුල, “රජය හා විප්ලවය” නමැති අති මූලික අධ්‍යයනයට කැපවුනු ලෙනින්, එය තුල කම්කරු පන්තියට ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රනය අත්පත් කරගත හැකි ය යන ප්‍රතිසංස්කරනවාදීන්ගේ ආස්ථානයට එක හෙලා විරුද්ධ විය. මාක්ස් හා එංගල්ස් මත පදනම් වුනු ලෙනින්, රාජ්‍යයේ පන්ති ස්වභාවය පෙන්වා දෙමින්, කම්කරු පන්තිය ධනේශ්වර රාජ්‍යය සුන්කර දමා තමන්ගේ ම රාජ්‍යයකින් එය විස්ථාපනය කල යුතු බව ඔප්පු කලේ ය. මෙම කෘතිය “ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම විප්ලවයට කල විද්‍යාත්මක හැඳින්වීමක්“ ලෙස ට්‍රොට්ස්කි නිවැරදි ව විස්තර කලේ ය; එය බලය අල්ලා ගැනීම සඳහා සූදානම් වීම විය. බොල්ශෙවිකයින් විසින් මෙහෙයවන ලද කම්කරුවෝ කොර්නිලොව් කැරැල්ල පරාජය කල පසු, තවමත් “රජය හා විප්ලවය” කෘතිය ලියමින් සිටි ලෙනින් මෙසේ ලීවේ ය:

“විප්ලවයක වර්ධනයේ දී සෑම දෙයක් ම නීර්නය කරන මූලික ප්‍රශ්නය, රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය වන නිසා, එම ප්‍රශ්නය මගහැරීම හෝ පසෙකට දැමීම කල නො හැකි ය. ...

“සෝවියට් සභාවලට බලය” යන සටන් පාඨය, නිරතුරු ව ම පාහේ, ඉතා වැරදි ලෙස ගනු ලබන්නේ “සෝවියට් බහුතර පක්ෂවල කැබිනට්ටුවක්” අර්ථවත් කිරීමට යි. (එය එසේ නො වේ.) “සෝවියට් සභාවලට බලය“ යන්නෙන් අර්ථවත් වන්නේ, සමස්ත පැරනි රාජ්‍ය යාන්ත්‍රනය, එනම් සෑම ප්‍රජාතන්ත්‍රවාදී දෙයකට ම බාධාකරන නිලධාරීවාදී යාන්ත්‍රනය රැඩිකල් ලෙස ප්‍රතිස්ථාපනය කිරීම යි. එහි අර්ථය වන්නේ, මෙම යාන්ත්‍රනය ඉවත් කිරීම සහ පැරනි යාන්ත්‍රනය වෙනුවට කම්කරුවන්, සොල්දාදුවන් හා ගොවීන් වන බහුතර ජනතාවගේ සංවිධිත හා සන්නද්ධ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සෝවියට් යාන්ත්‍රනය ආදේශ කිරීම යි. හුදෙක් නියෝජිතයින් තෝරාගැනීමේ දී පමනක් නො ව, රාජ්‍ය පරිපාලනයේ දී ද ප්‍රතිසංස්කරන සහ විවිධාකාර අනෙකුත් වෙනස්කම් ඇති කිරීමේ දී ද බහුතර ජනතාවගේ ආරම්භකත්වයට හා නිදහසට අවසර දීම මෙමගින් අර්ථවත් වෙයි.[12]

ලෙනින් (1920 මැයි මාසයේ දී) ජනකායක් අමතමින්, වේදිකාවේ ඊලඟට ට්‍රොට්ස්කි සිටගෙන සිටී

ධනේශ්වරය හෝ කම්කරු පන්තිය අතර සිටින එහි ඒජන්තයින් සමග සම්මුතීන්ට හා කිසිදු අර්ධ-පියවරයන්ට එරෙහි වූ ලෙනින්ගේ දිශානතිය, නිසැක ව ම ඔක්තෝබර් විප්ලවය සඳහා පදනම් දැමී ය. ලෝක සමාජවාදී විප්ලවය දෙසට වූ ලෙනින් හා ට්‍රොට්ස්කිගේ මූලෝපායික දිශානතිය හේතුවෙන් පමනක් ම ඔවුන්ට මෙම ආස්ථානය ගත හැකි වූ අතර, ඒ මෙම යෝධ විප්ලවවාදී නැගිටීමට වෛෂයික පදනම සම්පාදනය කලේ ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් පමනක් වීම නිසා ය.

ඔක්තෝබර් විප්ලවයට ක්ෂනික ව ඉක්බිත්තේ ම, සිනොවියෙව් හා කමනෙව් බොල්ශෙවික්වරුන් බලය අල්ලා ගැනීම ප්‍රතික්ෂේප කල විට පැහැදිලි විය. රුසියාව තුල ජාතික කොන්දේසි දෙස සුවිශේෂී ලෙස බැලූ සංශයවාදියෝ, එම කොන්දේසි යටතේ විප්ලවයක් සිදු කල නො හැකි යයි සැලකූ හ. ඒ වෙනුවට ඔවුන් ඉල්ලා සිටියේ, ව්‍යවස්ථා සම්පාදක මන්ඩලය කැඳවන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් විසඳන ලෙස ධනේශ්වරයට බලකරන ලෙසත් ය. වර්ධනයේ ඉහල අවධියක දී ඔවුහු යලිත් වරක් අප්‍රේල් මතභේද පුනරුච්ඡාරනය කල හ.

රුසියාවේ වර්ධනයන් ජාත්‍යන්තර පන්ති අරගලයෙහි කොටසක් ලෙස දැකගත් නිසා, ලෙනින් හා ට්‍රොට්ස්කි ඊට මුලුමනින් ම වෙනස් නිගමනවලට එලඹුන හ.

සෝවියට් සභාවලින් බහුතරයක් බොල්ශෙවිකයෝ දිනාගෙන සිටියේත්, ඔවුන් පිටුපස හමුදාවේ සැලකිය යුතු පිරිසක් සිටින බව හා දිශානතිය පිලිබඳ ගැටුම් වඩාත් ම තියුනු ලෙස පුපුරා ගොස් ඇති බව දැන සිටියේත්, හරියට ම මෙම තත්ත්වය තුල ය. මෙම තත්ත්වය තුල, ඊට පෙර 15 වසර පුරා, ලෙනින් සහ ට්‍රොට්ස්කි සටන් වැදී තිබුනු න්‍යායික හා දේශපාලන අරගල බලපෑවේ ය. “රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද” යන්න ගැන ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත් කල හේතු තුල ඔහු පක්ෂයේ වැදගත් කම මෙසේ සම්පින්ඩනය කරයි:

“බොල්ශෙවිකයෝ, සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සඳහා සැබෑ විප්ලවවාදී පක්ෂයක් හා එවන් පක්ෂයක විස්ථාපනය කල නො හැකි ක්‍රියා කලාපයෙහි තීරනාත්මක වැදගත්කම පිලිබඳ උදාහරනයක්, කම්කරු පන්තියට ලබා දුන්නෝ ය. 1917 විප්ලවවාදී ක්‍රියාවලිය පිලිබඳ සුපරීක්ෂාකාරී අධ්‍යයනයක් මගින් නිසැක ව ම තහවුරු වන්නේ, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුතු බොල්ශෙවික් පක්ෂයේ පැවැත්ම, සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය උදෙසා තීරනාත්මක වූ බවයි. ගොවි ජනයාගේ විප්ලවවාදී නැගිටීමේ ආධාරය ලත් රුසියානු කම්කරු පන්ති ව්‍යාපාරය, 1917 දී යෝධ පරිමානයක් අත්කර ගත්තේ ය. එහෙත් ඒ වර්ෂයේ සිද්ධීන් පිලිබඳ කුමන යථා අධ්‍යයනයක් මගින් වුව ද තහවුරු කෙරෙන කාරනය නම්, කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීම බොල්ශෙවික් පක්ෂය විසින් සම්පාදනය කෙරුනු නායකත්වයෙන් තොර ව කිසිසේත් ම සිදුවිය නොහැක්කක් බව ය. ට්‍රොට්ස්කි මෙසේ එම අත්දැකීම සාරභූත ලෙස විදහා දැක්වී ය: ‘විප්ලවවාදී යුගයක දී (කම්කරු පන්ති) නායකත්වයේ ක්‍රියාකලාපය හා වගකීම අතිශයින් ම දැවැන්ත වන්නේ ය.’ මෙම නිගමනය 1917 දී වලංගු වූයේ යම් සේ ද අද දින ද එය එසේ ම වන්නේ ය. [13]

ඔක්තෝබරයේ පාඩම් කෘතිය තුල, ට්‍රොට්ස්කි මෙම අදහස මෙසේ සම්පින්ඩනය කරයි:

“එහෙත් සිද්ධීන් විසින් ඔප්පු කරනු ලැබුවේ කම්කරු පන්ති විප්ලවය මෙහෙයවීමට සමත් පක්ෂයකින් තොර ව විප්ලවය කල නොහැකි බවයි. ස්වයංසිද්ධ නැගිටීමක් මගින් කම්කරු පන්තියට බලය අල්ලා ගත නොහැකි ය...එක් දේපොල හිමි පන්තියක් තවත් දේපොල හිමි පන්තියකින් බලය උදුරා ගැනීමට සමත් වන්නේ, අවශ්‍ය වන ධන සම්පත් ද සංස්කෘතික මට්ටම ද පැරනි රාජ්‍ය යන්ත්‍රය සමග සම්බන්ධතා ද මත පදනම් වී ගැනීමට ඔවුන්ට හැකි වන නිසා ය. එහෙත් කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමේ දී තමන්ගේ පක්ෂය මිස, ඒ සඳහා යොදා ගත හැකි වෙනත් ආදේශකයක් නැත…” [14]

සෝවියට් රුසියාව සහ ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය: කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මුල් සම්මේලන හතර, 1919-1922

ඔක්තෝබර් විප්ලවය වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන් ම ජාත්‍යන්තර සිද්ධියක් විය. එක් අතකින්, ධවල හමුදාවට සහයෝගය දීමටත් කම්කරු පන්ති පාලනය පෙරලා දැමීමටත්, දුසිමකට වැඩි විදේශීය බලයන් සංඛ්‍යාවක් රුසියාවට මැදිහත් විය. අනෙක් අතින්, ඔක්තෝබර් විප්ලවයෙන් පසු ව ගෙවුනු අවුරුදු, ලෝකය පුරා නොගිනිය හැකි තරම් නැගිටීම් සහ විප්ලව දැක ගත්තේ ය.

මින් වඩාත් ම වැදගත් එක වූයේ ජර්මනියේ නොවැම්බර් විප්ලවය යි. මෙහි දී, විප්ලවවාදී පක්ෂයෙහි වැදගත්කම ඍනාත්මක ආකාරයකින් තහවුරු විය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ වාමාංශය, ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් (එස්පීඩී) ද පසු ව මාධ්‍යමික එක්සත් ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් (යූඑස්පීඩී) ද බිඳී ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමට පසුබට විය. මේ සඳහා සංකීර්න ඓතිහාසික සහ දේශපාලනික හේතු පවතින අතර ම, එහි ප්‍රතිඵලය වූයේ, අපකීර්තිමත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාධ්‍යමික එක්සත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහයෝගය ද සහිත ව, කම්කරු සභා දුබල කර නොවැම්බර් විප්ලවයේ ගෙල මිරිකීමට සමත් වීම යි.

එස්පීඩීයේ වාමාංශය අවසානයේ බිඳී 1919 ජනවාරි 1දා ජර්මානු කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) ගොඩනැගීමෙන් පසු ව, එහි නායකයන් වූ කාල් ලිබ්නෙක්ට් සහ රෝසා ලක්සම්බර්ග්, ස්පාටකස් නැගිටීමේ දී, එස්පීඩී ආන්ඩුව වෙනුවෙන්, දක්ෂිනාංශික [පැරා මිලිටරි] ෆ්‍රයිකෝප්ස් සොල්දාදුවන් විසින් ම්ලේච්ඡ ඝාතනය කරන තෙක් ගත වූයේ සති දෙකක් පමනි. ඔක්තෝබර් විප්ලවයෙන් තමන්ට අවශ්‍ය පාඩම් උකහාගත් ධනේශ්වරය, තමන්ගේ පාර්ශවයෙන් බර්ලින් නගරය පුරා මෙසේ පෝස්ටර් ඇලවී ය: “ඔවුන්ගේ නායකයින් මරා දමනු!“ මෙම සිද්ධිය ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනයේ දී සාකච්ඡා නො කිරීමට තරම් වැදගත් කරුනක් වේ.

ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් ඝාතනය කිරීමෙන් සති හතකට පසු ව, කොමින්ටර්නයේ ආරම්භක සම්මේලනය පැවැත්වුනි. ඔක්තෝබර් විප්ලවයෙන් සහ ජර්මනිය තුල අත්දැකීම්වලින් පාඩම් උකහා ගත් ලෙනින් සහ ට්‍රොට්ස්කි, විප්ලවය පැතිරවීමට හැකියාව ලබා දීමටත්, ලෝක සමාජවාදී විප්ලවය යථාර්ථයක් බවට පත් කිරීමටත්, සෑම රටක් තුල ම බොල්ශෙවික් පක්ෂයේ ආදර්ශය අනුයන කොමියුනිස්ට් පක්ෂ ගොඩනැගිය යුතු ය යන නිගමනය උපුටා ගත් හ. ට්‍රොට්ස්කි රචනා කල කොමින්ටර්නයේ ආරම්භක ප්‍රකාශය මෙසේ සඳහන් කරයි:

අපගේ කර්තව්‍ය වන්නේ, කම්කරු පන්තියේ විප්ලවවාදී අත්දැකීම සාමාන්‍යකරනය කිරීම ද අවස්ථාවාදය හා සමාජ-ස්වෝත්තමවාදය ඛාදනීය මිශ්‍රනයේ උපාමරු විරේක කර දැමීම ද ලෝක නිර්ධන පන්තියේ සියලු අව්‍යාජ විප්ලවවාදී පක්ෂවල ප්‍රයත්නයන් ඒකාබද්ධ කිරීම ද එමගින් ලෝකය පුරා කොමියුනිස්ට් විප්ලවයේ ජයග්‍රහනයට උදව්කිරීම හා එය ඉක්මන් කිරීම යි.

පලමුවන ජාත්‍යන්තරය අනාගත වර්ධනයේ ගමන් මාවත පෙර අඟවා එහි මාර්ගයන් පෙන්නුම් කලේ නම්; දෙවන ජාත්‍යන්තරය, මිලියන ගනන් කම්කරුවන් එක් රැස්කර සංවිධානය කලේ නම්; තුන්වන ජාත්‍යන්තර යනු විවෘත මහජන ක්‍රියාකාරීත්වයේ, විප්ලවවාදී සාක්ෂාත්කරනයේ හා ජයග්‍රහනයේ ජාත්‍යන්තරය යි. [15]

මේවා හුදු වචන නො වී ය. අවස්ථාවාදීන් හා මාධ්‍යමිකවාදය කෙරෙහි ඕනෑ ම ආකාරයක ඇල්මැරුනු ආකල්පයක් දැක්වීම වැලැක්වීම අරමුනු කරගත් ඉතා නිශ්චිත සංවිධානාත්මක මූලධර්ම කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් අනුමත කෙරුනු අතර, එම මූලධර්ම කොමින්ටර්නයේ සාමාජිකත්වය සඳහා කොන්දේසි 21 තුල ප්‍රකාශයට පත් කෙරුනි. මෙම කොන්දේසි අනුමත කල දෙවන සම්මේලනයේ ප්‍රකාශය අවිනිශ්චිත නො වන භාෂාවෙන් මෙසේ සඳහන් කලේ ය:

කොමියුනිස්ට් ජාත්‍යන්තරය ලෝක නිර්ධන පන්තියේ විප්ලවවාදී අධ්‍යාපනයේ පක්ෂය යි. නිර්ධන පන්තිය, ධනේශ්වර ආඥාදායකත්වය සඳහා වහන්තරාවන් වන නීත්‍යානුකූලවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික ආරක්ෂාව ආදිය වැලඳ ගෙන දන ගැසීමට පොලඹවමින්, එය විවෘත ව හෝ වක්‍ර ව කම්පනයට පත්කරන, දිරිසුන් කරන හා දුර්වල කරන සියලු සංවිධාන හා කන්ඩායම් කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් ප්‍රතික්ෂේපකර සිටී.

නිර්ධන පන්තියේ ආඥාදායකත්වය සිය ක්‍රියාමාර්ගයට ඇතුලත් කරගැනීමෙන් පසු ව, ඓතිහාසික අර්බුදයට සාමකාමී විසඳුමක් මත පැහැදිලි ව රඳා සිටින පිලිවෙතක් අඛන්ඩ ව අනුගමනය කරන සංවිධාන ද කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුලට වැද්දගත නො හැක. හුදෙක් සෝවියට් ආකාරයේ සංවිධානය පිලිගැනීමෙන් කිසිවක් විසඳෙන්නේ නැත. සංවිධානයේ සෝවියට් රූපාකාරය කිසිදු ප්‍රතිහාර්යමය බලයක් දරා නො සිටී. විප්ලවවාදී බලය රඳා පවතින්නේ නිර්ධන පන්තිය තුල ම ය. බලය අල්ලා ගැනීම කරා නිර්ධන පන්තිය නැගී සිටිය යුතුය, සෝවියට් සංවිධානය නිර්ධන පන්තිය හස්තයේ පවතින අවිස්ථාපනීය උපකරනය ලෙස එහි ගුනවත් භාවයන් හෙලිදරවු කෙරෙනුයේ එවිට හා එවිට ම පමනි.[16]

අවස්ථාවාදීන් කෙරෙහි වූ අශමනීය ආකල්පය කොමින්ටර්නයේ කොන්දේසි විරහිත ජාත්‍යන්තරවාදය සමග ඍජු අන්තර්ක්‍රියාකාරීත්වයේ පැවතුනි. ඒ වන විටත්, එහි ආරම්භක ලියවිල්ල තුල, අවස්ථාවාදය හා ජාතිකවාදය අතර සබඳතාව පෙන්වා දී, කම්කරු පන්තියේ ස්වාධීන ආස්ථානය මිස වෙනක් කිසිවකට ඉඩ නො දෙන සැබෑ ජාත්‍යන්තර පක්ෂයක් පිලිබඳ සංකල්පය සමග එහි පවතින විසමතාවය පෙන්වා දෙන ලදී:

1889 තරම් ඈත දී, පැරිස් සම්මේලනය තුල මෙම පක්ෂ එකතු වී දෙවන ජාත්‍යන්තරයේ සංවිධානය නිර්මානය කල හ. එහෙත්, එම කාලපරිච්ඡේදය තුල, කම්කරු ව්‍යාපාරයේ ගුරුත්ව කේන්ද්‍රය මුලුමනින් ම ජාතික පස මත, ජාතික රාජ්‍ය රාමුව ඇතුලත, ජාතික පාර්ලිමේන්තුවාදයේ කක්ෂය ඇතුලත් රැඳී පැවතියේ ය. ප්‍රතිසංස්කරනවාදී සංවිධානාත්මක ක්‍රියාකාරීත්වයේ දශක ගනන, සමස්ත නායක පරම්පරාවකට උපත ලබා දුන් අතර, ඔවුන්ගෙන් බහුතරය සමාජ විප්ලවයේ ක්‍රියාමාර්ගය වචනයෙන් පිලිගනිමින් ක්‍රියාවේ දී එය අත්හලේ, ධනේශ්වර රාජ්‍යයට කීකරු ලෙස අනුගත වීමක් තුල, ප්‍රතිසංස්කරනවාදයේ ගිලී යමිනි. දෙ වන ජාත්‍යන්තරයේ නායක පක්ෂවල අවස්ථාවාදී ස්වභාවය මුලුමනින් හෙලිදරවු කරනු ලැබිනි; ඓතිහාසික සිද්ධිවල පෙර ගමන කම්කරු-පන්තික පක්ෂවලින් විප්ලවවාදී අරගල ක්‍රම ඉල්ලා සිටි මොහොතක එය ලෝක ඉතිහාසයේ විශාලතම කඩා වැටීමට තුඩු දන්නේ ය. 1870 යුද්ධය, පලමුවන ජාත්‍යන්තරය එහි සමාජ-විප්ලවවාදී ක්‍රියාමාර්ගය පිටුපස තවමත් මහජන බලය වාත්තු කරගෙන නො තිබුනු බව හෙලිදරවු කරමින්, එයට මාරක පහරක් එල්ල කලේ යම් සේ ද එසේ ම 1914 යුද්ධය විසින් දෙවන ජාත්‍යන්තරය මරා දමනු ලැබුවේ, කම්කරු මහජනතාවගේ බලවත් ම සංවිධාන පවා ධනේශ්වර රාජ්‍යයේ සහායක උපකරන බවට පරිවර්තනය වී තිබුනු පක්ෂ විසින් ආධිපත්‍යය දරන ලද බව හෙලිදරවු කරමිනි![17]

1889 තරම් ඈත දී, පැරිස් සම්මේලනය තුල මෙම පක්ෂ එක්‍ රැස් වී දෙවන ජාත්‍යන්තරයේ සංවිධානය නිර්මානය කල හ. එහෙත්, එම කාලපරිච්ඡේදය තුල, කම්කරු ව්‍යාපාරයේ ගුරුත්ව කේන්ද්‍රය මුලුමනින් ම ජාතික පස මත, ජාතික රාජ්‍ය රාමුව ඇතුලත, ජාතික පාර්ලිමේන්තුවාදයේ කක්ෂය ඇතුලත් රැඳී පැවතියේ ය. ප්‍රතිසංස්කරනවාදී සංවිධානාත්මක ක්‍රියාකාරීත්වයේ දශක ගනනක්, සමස්ත නායක පරම්පරාවකට උපත ලබාදුන් අතර, ඔවුන්ගෙන් බහුතරය සමාජ විප්ලවයේ ක්‍රියාමාර්ගය වචනයෙන් පිලිගනිමින් ක්‍රියාවේ දී එය නිශ්ක්‍රමනය කලේ, ධනේශ්වර රාජ්‍යයට කීකරු ලෙස අනුගත වීමක් තුල, ප්‍රතිසංස්කරනවාදයේ ගිලෙමිනි. දෙවන ජාත්‍යන්තරයේ නායක පක්ෂවල අවස්ථාවාදී ස්වභාවය මුලුමනින් හෙලිදරවු කරනු ලැබිනි; ඓතිහාසික සිද්ධිවල ගමන කම්කරු-පන්තික පක්ෂවලින් විප්ලවවාදී අරගල ක්‍රම ඉල්ලා සිටි මොහොතක එය ලෝක ඉතිහාසයේ විශාලතම කඩාවැටීමට තුඩු දන්නේ ය. 1870 යුද්ධය, පලමුවන ජාත්‍යන්තරය එහි සමාජ-විප්ලවවාදී ක්‍රියාමාර්ගය පිටුපස තවමත් මහජන බලය වාත්තු කරගෙන නො තිබුනු බව හෙලිදරවු කරමින්, එයට මාරක පහරක් එල්ල කලේ යම් සේ ද එසේ ම 1914 යුද්ධය දෙවන ජාත්‍යන්තරය මරා දැම්මේ, කම්කරු මහජනතාවගේ බලවත් ම සංවිධාන පවා ධනේශ්වර රාජ්‍යයේ අතිරේක උපකරන බවට පරිවර්තනය වී තිබුනු පක්ෂ විසින් ආධිපත්‍යය දරන ලද බව හෙලිදරවු කරමිනි! (17)

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ නියෝජිතයෝ 1919 තම ප්‍රථම සම්මේලනයේ දී

කොමියුනිස්ට් ජාත්‍යන්තරය, ජාත්‍යන්තරවාදය යනු කම්කරුවන් අතර හුදු සහෝදරත්වයක් ලෙස සරල ව අවබෝධ කරගත්තේ නැත. ඒ වෙනුවට, එය විප්ලවය අවබෝධ කරගත්තේ, ලෝක වර්ධනයන්ගේ හා සමස්ත ව්‍යාපාරයෙහි අත්දැකීමේ කොටසක් ලෙස, සෑම තනි රටක් තුල ම කම්කරු පන්තියෙහි අත්දැකීම්වල නිවැරදි අවබෝධ කරගැනීමක් හරහා ඉෂ්ට කරගත හැකි ජාත්‍යන්තර ක්‍රියාදාමයක් ලෙස පමනකි. එය හුදු ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් නො වී ය; එය ලෝක විප්ලවයේ ඉදිරි දර්ශනය විය. බොල්ශෙවික්වරු රුසියානු ඉදිරි දර්ශනය කොමින්ටර්නයේ අනෙක් ශාඛාවන් මත බලයෙන් පටවමින් සිටින්නේ ය යන චෝදනාවට දැක්වූ ප්‍රතිචාරයේ දී ට්‍රොට්ස්කි මෙය දීප්තිමත් ලෙස විස්තර කලේ ය:

“අපේ ආස්ථානයෙන්, ලෝක ආර්ථිකය දැකගනු ලබන්නේ, ලෝක නිර්ධන පන්තික විප්ලවය විකසනය වන පදනම සහිත ඓන්ද්‍රීය ඒකකයක් ලෙස යි; සමස්ත ලෝක ආර්ථික සංකීර්නය මාක්ස්වාදයේ විද්‍යාත්මක විධික්‍රමවලින් විශ්ලේෂනය කරමින් ද අතීත අරගලවල සියලු අත්දැකීම් උපයෝගී කරගනිමින් ද කොමියුනිස්ට් ජාත්‍යන්තරය සිය දිශානතිය ලබාගනී. ඇත්ත වසයෙන් ම, සෑම රකට ම සංවර්ධනයට එයට ම සුවිශේෂී ලක්ෂන තිබෙන බව බැහැර කරනු වෙනුවට ඒවා අපේක්ෂා කරන මෙය, එම සුවිශේෂිත තත්ත්වයන්ට ඒවායේ ම සුවිශේෂයන් පවතින බව අවබෝධ කරගනී. එහෙත්, මෙම සුවිශේෂී භාවයන් නිවැරදි ව තක්සේරු කරනු වස්, ඒවාට ඒවායේ ජාත්‍යන්තර සන්දර්භය තුලින් ප්‍රවිෂ්ට වීම අවශ්‍ය වේ.[18]

විප්ලවවාදී මූලෝපායක් වර්ධනය කිරීම සඳහා, සෑම රටක් තුල ම ව්‍යාපාරයෙහි ඓතිහාසික අත්දැකීම් හරහා සමස්ත ලෝක තත්ත්වය අවබෝධ කරගැනීම, භෞතිකවාදය සහ අනුභූතිවාදී විචාරය තුල ලෙනින්ගේ කැඳවුමෙහි සංයුක්තීකරනය වන අතර, අද දක්වා අපගේ පක්ෂයෙහි පදනම ලෙස එය රැඳී පවතී.

මෙහි දී ද, කොමින්ටර්නය නිශ්චිත සංවිධානාත්මක නිගමන උකහා ගත්තේ ය. කොන්දේසි 21න් එකක් වූයේ, කොමින්ටර්නයේ හා එහි විධායක කමිටුවේ අධිකාරය යටතේ වැඩ කිරීම යි. පලමු වරට, මේ ආකාරයෙන් සැබෑ ජාත්‍යන්තර පක්ෂයක් නිර්මානය කර තිබුනි. දෙවන සම්මේලනයට සූදානම් වෙමින්, ට්‍රොට්ස්කි මෙසේ ලීවේ ය:

“කොමියුනිස්ට් ජාත්‍යන්තරය කම්කරුවන්ගේ ජාතික පක්ෂවල අංක ගනිතමය එකතුවක් නො වන බව අපි යලිත් කියා සිටිමු. එය ජාත්‍යන්තර නිර්ධන පන්තියේ කොමියුනිස්ට් පක්ෂයයි. ඍජු ව ප්‍රශ්න කිරීමට ජර්මානු කොමියුනිස්ට්වරුන්ට අයිතියක් හා වගකීමක් ඇත: තුරාටි (2) ඔවුන්ගේ පක්ෂයෙහි සාමාජිකයෙකු වන්නේ කවර පදනමක් මත ද? ස්වාධීන ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ප්‍රන්ස සමාජවාදී පක්ෂය තුන්වන ජාත්‍යන්තරයට ඇතුල්වීම පිලිබඳ ප්‍රශ්නය විමර්ශනය කිරීමේ දී, රුසියානු කොමියුනිස්ට්වරුන්ට, ඔවුන්ගේ දෘෂ්ටි ආස්ථානයෙන්, දිය කර හැරීමට හා විසුරුවා හැරීමට එරෙහි ව අපේ ජාත්‍යන්තර පක්ෂය ආරක්ෂා කර ගැනීමට එවන් කොන්දේසි මතු කිරීමට අයිතියක් හා වගකීමක් තිබේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සාමාජිකත්වයට ඇතුල් වන සෑම සංවිධානයක් ම, එහි ප්‍රතිඵලයක් ලෙස, රුසියානු බොල්ශෙවික්වරුන්, ජර්මානු ස්පාටසිස්ට්වාදීන් ආදීන්ගේ න්‍යායයට ක්‍රියාකාරී බලපෑමක් කිරීමේ අයිතිය හා අවස්ථාව අත්පත් කරගනී.”[19]

කොමින්ටර්නයේ ප්‍රකාශ, සාකච්ඡා හා පලමු සම්මේලන හතර දෙස සමස්තයක් ලෙස බැලීමේ දී, අද දින අපට පමනක් සුවිශේෂී වන හා අප පමනක් භාවිතා කරන භාෂාවක් කෙනෙකුට මුන ගැසේ. එනම්, අරගලය සඳහා ඍජු ව ලියමින් සහ මෙම වර්ධනයට සියලු දෙනාගේ ශක්තිය සමගින් මැදිහත් වන අතර ම, වෛෂයික පන්ති-ගතිකය සහ ලෝක වර්ධනය විනිවිදීමට පවතින තීව්‍රතර අභිලාෂයකි. එ ද සෑමවිට ම ක්‍රියාමාර්ගය දියකර හැරීමට සෑම ජාතික පීඩනයට අනුගත වීමට දරන සියලු ප්‍රයත්නයන් කෙරෙහි සම්මුති විරහිත වෙමිනි.

තුන්වන හා හතරවන සම්මේලනවල දී, විප්ලවීය උදම් රල තාවකාලික ව පහ වී ගොස් ඇති බව හඳුනාගත් කොමින්ටර්නය, එසේ වුව ද ධනවාදයට යුද්ධයට කලින් පැවති ස්ථාවරත්වය කරා ආපසු පැමිනීමට නොහැක්කේ මන් ද හා නව කුනාටු පැමිනෙමින් තිබෙන්නේ මන් ද යන්න ගැන බැරෑරුම් විශ්ලේෂන ඉදිරිපත් කලේ ය. මෙම කොන්දේසි යටතේ, පන්ති අරගල රල ධාරාව තුල කොමියුනිස්ට් පක්ෂවලට උපාය සකස් කර ගත හැක්කේ කෙසේ ද යන්නට සුවිසල් අවධානයක් දුන් කොමින්ටර්නය, පන්තියේ විශ්වාසය දිනා ගැනීම සහ ප්‍රතිසංස්කරනවාදී සංවිධානවලින් කම්කරු ජනතාව බිඳ ගැනීම ගැන අවධානය යොමු කලේ ය. තුන්වන සම්මේලනයේ අර්ථභාරය ට්‍රොට්ස්කි පහත පරිදි සම්පින්ඩනය කලේ ය:

“තුන්වන සම්මේලනය ධනේශ්වර පාලනයේ ආර්ථික පදනම් වැඩිදුර බිඳී විසිරී යාම සටහන් කරගත්තේ ය. එහෙත්, නිර්ධන පන්තියේ බාධක රහිත ප්‍රහාරයක් හරහා, ධනේශ්වරයේ මරනය ස්වයංක්‍රීය ව මින් ගලා ඒ යයි වැඩිදියුනු කම්කරුවන කිසිදු බොලඳ සංකල්පයක් පවත්වා ගැනීමට එරෙහි ව, එය ඒ අතර ම බලගතු ලෙස අනතුරු ඇඟවී ය. අද දින තරම් වෙන කවරදාක වත්, ස්වයං-ආරක්ෂනය පිලිබඳ ධනේශ්වරයේ පන්ති සහජාසය, ආරක්ෂාවේ හා ප්‍රහාරයේ බහුවිධ විධික්‍රම සමගින් සන්නද්ධ ව සිටියේ නැත. කම්කරු පන්තියේ ජයග්‍රහනය සඳහා ආර්ථික පූර්ව-කොන්දේසි එය අතේ පවතී. මෙම ජයග්‍රහනය අසාර්ථක වීම සහ ආසන්න අනාගතයේ දී මෙම ජයග්‍රහනය සිදු නො වීම සමස්ත ශිෂ්ටාචාරය ඛාදනය කිරීමට හා පිරිහීමට පත් කිරීමට තර්ජනය කරයි. එහෙත් මෙම ජයග්‍රහනය අත්පත් කරගත හැක්කේ, සටන් කුසලතා පූර්න ලෙස පවත්වාගෙන යාමත්, සියල්ලට ඉහලින් කම්කරු පන්තියේ බහුතරය පලමුව දිනා ගැනීම මගින් පමනි. තුන්වන සම්මේලනයේ ප්‍රධාන පාඩම මෙය යි.”[20]

1923 දී ජර්මනිය තුල යලි වතාවක්විප්ලවවාදී තත්ත්වයක් වර්ධනය වූ විට, නායකත්වය පිලිබඳ මෙම ප්‍රශ්න ක්ෂනික ව යලි මතුවීමට නියමිත විය. කොමින්ටර්නය තුල සිදු වූ සාකච්ඡා, ඒ වන විටත්, මාක්ස්වාදීන් සහ සෝවියට් සංගමය තුල වැඩෙමින් පැවති නිලධරය අතර වර්ධනය වන ගැටුම් පිලිබඳ ප්‍රකාශනයක් විය. දැන් ජෝ ඒ පිලිබඳව ගැන කතා කරනු ඇත.

ජාත්‍යන්තර ත්‍රස්තය හා ඓතිහාසික මඩගැසීම හරහා, මෙම සම්ප්‍රදාය අතුගා දැමීම ස්ටැලින්ට නො හැකි වූ බව සටහන් කරමින්, මගේ ප්‍රතිපදානය සමාප්ත කිරීමට මම කැමැත්තෙමි. එම සම්ප්‍රදාය අපගේ ව්‍යාපාරය තුල ජීවත් වෙයි. 'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' විමර්ශනයෙහි වැඩ කටයුතු සමගින්, වර්කර්ස් ලීගය හුදෙක් මෙම ඉතිහාසයට පවතින බැඳීම් ශක්තිමත් කරගත්තා පමනක් නො ව, මෙම අරගලයෙහි ඓතිහාසික අර්ථභාරය අවබෝධ කරගනිමින් සහ එහි වෙඩිමුර ස්ටැලින්වාදීන්ට හා අධිරාජ්‍යවාදීන්ටත්, සියල්ලට ඉහලින් සංශෝධනවාදීන්ටත් එරෙහි ව යොමු කරමින් හොඳ ම සම්ප්‍රදායයෙන් යුතු ව ඉදිරියට ද ගෙන ගියේ ය. කම්කරු පන්තියේ ස්වාධීනත්වය සඳහා වන විප්ලවවාදී අරගලයෙන් සහ ඔක්තෝබර් විප්ලවයේ සහ කොමින්ටර්නයේ සම්ප්‍රදායයන්ගෙන් සෑම අයුරකින් ම පැබ්ලෝවාදීන් භේද වී සිටි බව එය ප්‍රදර්ශනය කලේ ය.


[1]

නෝර්ත්, ඩේවිඩ් සහ කිශෝර් ජෝසෙෆ්, “සමාජවාදය සහ රුසියානු විප්ලවයේ ශත සංවත්සරය: 1917-2017,” රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන්ද? වෙලුම 1, පිටු 16-17 (කොලඹ: කම්කරු මාවත ප්‍රකාශකයෝ 2017)

[2]

රුසියානු විප්ලවය සහ නොනිමි විසි වැනි සියවස තුල උපුටා දක්වා ඇත, පිටු 268-269; වී. අයි. ලෙනින්, භෞතිකවාදය සහ අනුභූතිවාදී විචාරය, එකතු කල කෘති, 14 වෙලුම, (මොස්කව්: ප්‍රගති ප්‍රකාශකයෝ, 1968), 325 පිටුව

[3]

රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන්ද? වෙලුම 1 පිටුව 118, කම්කරු මාවත ප්‍රකාශකයෝ 2017

[4]

නෝර්ත්, ඩේවිඩ්, ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා, පි. 18 (කොලඹ: කම්කරු මාවත ප්‍රකාශකයෝ, 2012

[5]

රුසියානු විප්ලවය සහ නොනිමි විසිවැනි සියවස, පිටු 324-325, කොලඹ-කම්කරු මාවත ප්‍රකාශකයෝ 2016

[6]

රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන්ද? වෙලුම 1, පිටුව 124 උපුටා දක්වා ඇත. කොලඹ: කම්කරු මාවත ප්‍රකාශකයෝ 2017

[7]

රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස පිටුව 338, කොලඹ: කම්කරු මාවත ප්‍රකාශකයෝ

[8]

නො නවතින විප්ලව න්‍යායට හැඳින්වීමක්, ලියොන් ට්‍රොට්ස්කි, 52 පිටුව, කම්කරු මාවත ප්‍රකාශකයෝ 1992

[9]

නෝර්ත්, ඩේවිඩ්, ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා, පි. 22-23 (කොලඹ: කම්කරු මාවත ප්‍රකාශකයෝ, 2012

[10]

නෝර්ත්, ඩේවිඩ්, “රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද”, රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද?, 1 වෙලුම, 41 පිටුව, (කම්කරු මාවත ප්‍රකාශන)

[11]

ලෙනින්, “අපේ විප්ලවයේ දී නිර්ධන පන්තියේ කර්තව්‍යයෝ”, 67 පිටුව, එකතු කල කෘති, 24 වෙලුම, මොස්කව්, 1964

[12]

ලෙනින් එකතු කල කෘති, 25 වෙලුම, 366-368 පිටු, (මොස්කව්, 1964)

[13]

නෝර්ත්, ඩේවිඩ්, “රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ ද,” රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද? 1 වෙලුම,

[14]

ඔක්තෝබරයේ පාඩම්, පි. 19, (කම්කරු මාවත ප්‍රකාශන, 1996 අප්‍රේල් මුද්‍රනය)

[15]

ට්‍රොට්ස්කි, ලියොන්, “ලෝකයේ කම්කරුවන්ට කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්‍රකාශය”

[16]

ට්‍රොට්ස්කි, ලියොන්, “දෙවන ලෝක සම්මේලනයේ ප්‍රකාශය

[19]

ට්‍රොට්ස්කි, ලියොන්, “කොමින්ටර්නයේ එලඹෙන සම්මේලනය ගැන

[20]

ට්‍රොට්ස්කි, ලියොන්, “තුන්වන සම්මේලනයේ ප්‍රධාන පාඩම

Loading