සෑම රටකම සිසුන්ට නිදහස් භාෂනයේ අයිතිය තිබේ! ශ්‍රී ලංකාවේ සසජාතශි සංවිධානය වාරනය කිරීමට විරුද්ධ වනු!

[මෙය Students in every country have the right to free speech! Oppose the censorship of the Sri Lankan IYSSE! යන මැයෙන් 2025 ජනවාරි 09 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

'ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?' යන මැයෙන්, ශ්‍රී ලංකාවේ සසජාතශි අනුග්‍රහය ඇතිව පැවැත්වීමට නියමිත ව තිබූ දේශනය අවලංගු කිරීමට විරෝධය පල කරමින්, එක්සත් ජනපදයේ සමාජ සමානතාවය උදෙසා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය විසින් පහත ප්‍රකාශය නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අපගේ සහෝදරවරුන්ගේ දේශනය තහනම් කිරීම, එක්සත් ජනපදයේ සසජාතශි දැඩි ලෙස හෙලා දකී. ශ්‍රී ලංකාවේ සිසුන්ට සහ තරුනයින්ට නිදහසේ කතා කිරීමටත්, තම රට මුහුන දෙන අර්බුදය පිලිබඳව කියැවෙන සමාජවාදී ඉදිරිදර්ශනයකට සවන් දීමටත් අයිතියක් ඇත.

2023 ඔක්තෝබර් 26 වන දින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සසජාතශි සාහිත්‍ය මේසයට රැස්වුනු සිසුන්

කුමන දේශපාලන අදහස්වලට අවසර දිය යුතුද යන්න නියම කිරීමට, ශ්‍රී ලංකා ආන්ඩුවට, විශ්වවිද්‍යාල පරිපාලකයින්ට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (ජාමූඅ) අයිතියක් නැත. ලොව පුරා සිටින කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට සහ තරුනයින්ට වත්මන් සිදුවීම්, ආන්ඩුවේ ප්‍රතිපත්ති සහ දේශපාලන ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට සෑම අයිතියක්ම තිබේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික සහ අත්‍යවශ්‍ය නිදහසකි.

ජනවාරි 3 වන දින, ශ්‍රී ලංකාවේ සසජාතශි, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී 'ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?' යන මැයෙන් දේශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබුනි. සසජාතශි රැස්වීම සඳහා සියලු නිසි අවසරයන් ලබාගෙන තිබූ අතර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (දේවිශිසං) විසින් එය අනුමත කර තිබුනි. අවසාන මොහොතේ, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා රැස්වීම පැවැත්වීම වැලැක්වීමට මැදිහත් විය.

අවලංගු කිරීම පිලිබඳව සසජාතශි වෙත දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු සහ දේවිශිසං හි භාන්ඩාගාරික සුමුදු වලාකුලුට අනුව, වැඩබලන උපකුලපතිවරයා නියෝග කලේ, සසජාතශි 'රැස්වීම ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බව නොපෙනෙන පරිදි කතාවේ මාතෘකාව සංශෝධනය කර ඒ අනුව ප්‍රචාරය කල යුතු ය; එසේ නොවුවහොත්, ඉහත රැස්වීම වහාම අත්හිටුවීමට සිදුවන බව මෙයින් සැලකිය යුතුය,' යනුවෙනි.

ශ්‍රී ලංකාවේ සසජාතශි මාතෘකාව වෙනස් කිරීම ප්‍රතික්ෂේප කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස රැස්වීම අවලංගු කරන ලදී. අවලංගු කිරීමට ප්‍රතිචාර දක්වමින් සසජාතශි මෙසේ ලිවීය, “මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට විරුද්ධ වීමට අපි කැපවී සිටිමු. මෙම වැදගත් රැස්වීම පැවැත්වීම සඳහා වන සටනට සහාය දෙන ලෙස, සසජාතශි සිසුන්ගෙන්, විශ්ව විද්‍යාල බුද්ධිමතුන්ගෙන් සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටී. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ලද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල බලධාරීන් සහ ආන්ඩුව හෙලා දකින ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.”

ශ්‍රී ලංකාවේ සසජාතශි වෙත ලැබුනු වාර්තාවලින් පෙනී යන්නේ, රැස්වීම අවලංගු කිරීමේ තීරනය අගමැති සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ කාර්යාලයෙන් ලැබුනු බවයි. ජනතා විමුක්ති පෙරමුන සහ ජාතික ජන බලවේග සන්ධානය (ජවිපෙ/ජාජබ) විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකා ආන්ඩුව රැස්වීම අවහිර කිරීමට මැදිහත් වූයේ, එය ජාමූඅ නය ආපසු ගෙවීමේ බර කම්කරු පන්තිය මත පැටවීමේ තම උත්සාහයට බාධාවක් වන බැවිනි.

ශ්‍රී ලංකාවේ සසජාතශි ප්‍රකාශ කල පරිදි, පනිවිඩය පැහැදිලිය: “ආන්ඩුවට අභියෝග නොකරන්නේ නම් ඔබට උරැස්වීම් පැවැත්විය හැකිය!”

මාතෘකාවේ තීරනාත්මක වැදගත්කම සැලකිල්ලට ගෙන සසජාතශි රැස්වීම අසල පිහිටි මහනුවර නගරයේ පැවැත්වීමට තීරනය කලේය. මෙම වාරනයට එරෙහිව සටන් කිරීමට සහ කම්කරුවන්ට සහ සිසුන්ට සමාජවාදී ඉදිරිදර්ශනයකට සවන් දීමට සහ ජාමූඅ විසින් රට මත පටවනු ලබන කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීමට අපගේ සහෝදරවරු අධිෂ්ඨාන කරගෙන සිටිති.

ශ්‍රී ලංකාව ප්‍රධාන දේශපාලන හා ආර්ථික අර්බුදයකට මැදිව සිටී. මෙම කුඩා කොදෙව්ව, බොහෝ දුරට ජාමූඅ සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලට ඩොලර් බිලියන 35 ක පමන නයක් දරයි. 2021 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ නය සංචිතය ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටුනු විට, එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදුලි කප්පාදුව පනවන අතරතුර ආහාර, ඖෂධ සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සම්පත් වෙත කම්කරු පන්තියට ප්‍රවේශ වීම කපා හරින ප්‍රධාන කප්පාදු පියවර සඳහා සැලැස්මක් ප්‍රකාශයට පත් කලේය.

2022 අප්‍රේල් මාසයේදී රට නය පැහැර හැරීමෙන් පසු, කම්කරුවන්, සිසුන් සහ ග්‍රාමීය දුප්පතුන් සම්බන්ධ කරගත් මහා වැඩවර්ජන සහ විරෝධතා පුපුරා ගියේය. විරෝධතා විප්ලවීය විය හැකි බවට තර්ජනයක් එල්ල වූ අතර, එම ව්‍යාපාරය විසුරුවා හැරීමේ උත්සාහයක් ලෙස රාජපක්ෂ ඉල්ලා අස්විය. ඔහු වෙනුවට, අධිරාජ්‍ය ගැති රූකඩයක් බවට ප්‍රසිද්ධ රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පත් කරගන්නා ලදී.

ජනාධිපති ලෙස වික්‍රමසිංහ, ජාමූඅ සමඟ ආන්ඩුව විසින් ඊටත් වඩා ම්ලේච්ඡ කප්පාදු පියවර පනවනු ලැබිය යුතු කොන්දේසිය සහිත ඇප නයක් ලබා ගැනීමට සාකච්ඡා කලේය. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය, ධනේශ්වර මූල්‍යකරුවන්ට බෙහෙවින් සූරාකෑමට හැකි, වඩා වාසිදායක ලාභ ප්‍රභවයක් බවට පත් කිරීම මෙහි අරමුනයි.

මෑතකදී තේරී පත් වූ ජවිපෙ/ජාජබ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාලනය කරන වත්මන් ආන්ඩු බලයට පත් වී ඇති සන්දර්භය මෙයයි. 2024 ශ්‍රී ලංකා මැතිවරනයේ දී, ජවිපෙ පූර්ව ආන්ඩුවේ ජාමූඅ-ගැති ප්‍රතිපත්තිවලට විරුද්ධ වන බව ප්‍රකාශ කරමින් සහ ඇප නය නැවත සාකච්ඡා කිරීමට පොරොන්දු වෙමින් මැතිවරන පොරොන්දු මාලාවක් ඉදිරිපත් කලේය.

කෙසේ වෙතත්, දැන් බලයේ සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව පෙර ආන්ඩුව මෙන් ම දක්ෂිනාංශික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින අතර ජාමූඅ හි කප්පාදු සැලසුම් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටී. මෙයට බදු වැඩි කිරීම, විදුලිය සඳහා ප්‍රවේශය සීමා කිරීම සහ සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ඇතුලු සියලු සමාජ වියදම් කපා හැරීම ඇතුලත් වනු ඇත.

ශ්‍රී ලංකාවේ සසජාතශි රැස්වීම සහ කම්කරු පන්තියට කප්පාදු සැලැස්ම ප්‍රතික්ෂේප කරන ලෙසට එය කරන ඉල්ලීම, ජවිපෙ/ජාජබ ආන්ඩුවට, ඔවුන්ගේ ශ්‍රී ලාංකික ධනේශ්වර අනුග්‍රාහකයන්ට සහ රට කොල්ලකෑමට සූදානම් කරන ජාමූඅ වැනි අධිරාජ්‍යවාදී මූල්‍යකරුවන්ට සෘජු තර්ජනයකි. මෙම රැස්වීම තහනම් කිරීම, ශ්‍රී ලංකාවේ සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන් සහ සිසුන් ඔවුන්ගේ ඉදිරිදර්ශනයට සවන් දීම බලහත්කාරයෙන් වැලැක්වීමේ උත්සාහයකට මුහුන දුන් පලමු අවස්ථාව නොවේ.

2023 නොවැම්බර් මාසයේදී, එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ පොදුජන ප්‍රගතිශිලී සේවක සංගමයේ (පොප්‍රසේසං) සභාපති සහ ලේකම් ඉන්දික පෙරේරා සහ සුරංග පියවර්ධන විසින් ශ්‍රී ලංකාවේ සසප සාමාජිකයින් දෙදෙනෙකුට පොලුවලින් පහර දෙන ලදී. සසප සාමාජිකයෝ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සහ කොලඹදී, ට්‍රොට්ස්කිවාදයේ සියවස් සංවත්සරය වෙනුවෙන් පැවැත්වුනු, ඇමරිකාවේ සසප ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් අමතන ලද ප්‍රසිද්ධ රැස්වීම් සඳහා උද්ඝෝෂනය කරමින් සිටියහ.

සසජාතශි අනෙකුත් සාමාජිකයින් සහ ශාඛා ද ඒ හා සමාන ප්‍රහාරයන්ට ලක්වේ. යුක්‍රේනයේ දී, සසජාතශි සමඟ දේශපාලන සහයෝගීතාවයෙන් සිටින බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ සාමාජිකයෙකු වන බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගෙන සිරගත කර ඇත්තේ, ඔහුගේ සමාජවාදී දේශපාලන අදහස් සහ යුද්ධයට එරෙහි වීම නිසා ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) යුක්‍රේනය තුල සම්පූර්නයෙන්ම තහනම් කර ඇත.

සැප්තැම්බර් මාසයේදී, මිචිගන් විශ්ව විද්‍යාලය තුල, සසප ජනාධිපති අපේක්ෂක ජෝසප් කිෂෝර් සහභාගී වන රැස්වීමක් ප්‍රවර්ධනය කරමින් සිටියදී, සසජාතශි සහ සසප උද්ඝෝෂකයින්ට, විශ්ව විද්‍යාල පොලිසිය විසින් කැඳවීම් නියෝග නිකුත් කරන ලදී. එක්සත් ජනපදය පුරා, ප්‍රධාන විශ්ව විද්‍යාල පරිශ්‍රයන් පලස්තීනුවන්ගේ අඛන්ඩ ජන සංහාරයට විරුද්ධ වන සිසුන් සහ කන්ඩායම් විරේක කර දමමින් සිටී.

ශ්‍රී ලංකාවේ සසජාතශි ට එල්ල කරන ලද ප්‍රහාරය ලොව පුරා සිදුවෙමින් පවතින ප්‍රධාන දක්ෂිනාංශික මාරුවක කොටසකි. සෑම රටකම පාහේ, මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම්වලට එරෙහි සියලු දේශපාලන විරුද්ධත්වයන් මැඩපැවැත්වීම සඳහා ඒකාධිපති ක්‍රමවේද සූදානම් කරමින් පවතී. පේරාදෙනිය විශ්ව විද්‍යාලය එහි තීරනය ආපසු හරවා, රැස්වීම ඉදිරියට ගෙන යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටීමට සහයෝගය දක්වන ප්‍රකාශ ලියන ලෙස අපි එක්සත් ජනපදයේ සියලුම සිසුන්, තරුනයින් සහ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

සසජාතශි ට පිටපත් යොමුකරමින්, විශ්වවිද්‍යාල බලධාරීන්ට යවන විරෝධතා ලිපි පහත සඳහන් ලිපිනයන්ට යැවිය හැකිය:

වෙත: වැඩබලන උපකුලපති, පේරාදෙනිය විශ්වවිද්‍යාලය

ඊමේල්: vc@pdn.ac.lk

පිටපත්: සසජාතශි

ඊමේල්: iysseslb@gmail.com

Loading