දිනය සහ වේලාව: අගෝස්තු 25 වැනි දා, සඳුදා සවස 7ට
රැස්වීමට මෙ තැනින් ලියාපදිංචි වන්න.
සමාජවාදී සමානතා පක්ෂය (සසප), අගෝස්තු 25 වැනි දා සඳුදා 17 000ක් තැපැල් කම්කරුවන් විසින් ගෙන යනු ලබන තීරනාත්මක වර්ජන සටන මුහුන දෙන දේශපාලන ප්‍රශ්න සහ එම සටන ජයග්‍රහනය කරා ගෙන යාමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය සාකච්ඡා කිරීමට අන්තර්ජාල රැස්වීමක් පවත්වයි. සමස්ත කම්කරු පන්තියට ම වැදගත් වන මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, තැපැල් කම්කරුවන් ඇතුලු සෙසු සියලු ම අංශවල කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට, තරුනයන්ට, බුද්ධිමතුන්ට සහ ග්‍රාමීය ජනතාවට සසප කැඳවුම් කර සිටියි.
අතිකාල දීමනා, ස්ථිර පත්වීම්, පුරප්පාඩු වහා ම පිරවීම, කල් පසු වූ උසස් වීම් ලබා දීම, තැපැල් ප්‍රවාහනයේ ගැටලු විසඳීම, පලමු පන්තියේ නිලධාරීන්ට වැටුප් වර්ධක තුන ඇතුලත් වන ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින්, අගෝස්තු 17 වැනි දා, ඉරිදා, තැපැල් කම්කරුවෝ වැඩ වර්ජනයට එලඹුනහ.
ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ජන බලවේග ආන්ඩුව (ජවිපෙ/ජාජබ ආන්ඩුව) තැපැල් වර්ජනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ තර්ජන ගර්ජනවලින් සහ මාධ්‍යයේ අනුග්‍රහය ලබමින් දියත් කල දුෂ්ඨ අවලාද ව්‍යාපාරයකිනි: තැපැල් කම්කරුවන්ගේ නිවාඩු අවලංගු කරමින් පන්ති ක්‍රියාමාර්ගය නීති විරෝධී කර ඇත; විෂයභාර ඇමති නලින්ද ජයතිස්ස කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවක දී කම්කරුවන්ගේ ඉල්ලීම් 19න් 17ක් ම ඉටු කර හෝ ඉටු කරමින් පවතින බවට පචයක් ඇද බාමින් ඉතුරු ඉල්ලීම් දෙක වන පැමිනීම සලකුනු කිරීමේ ඇඟිලි සලකුනු යන්ත්‍ර ඉවත් කිරීම සහ අතිකාල දීමනා ඉල්ලීම් ලබා දිය නොහැකි බව තදින් කියා සිටියේ ය. එයට එකඟ වීමට නොහැකි තැපැල් කම්කරුවන්ට වෙන තැන්වල රැකියා සොයා ගන්නා ලෙසට ඔහු තර්ජනය කලේ ය.
අගෝස්තු 22 වැනි දා, ආන්ඩුව වැඩවර්ජනය බිඳීමට මිලිටරිය දිගේලි කලේ ය. හමුදා භට කන්ඩායමක් කැරලි මර්දන පොලිසියේ ආධාරය ලබමින් කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසී තිබූ තැපැල් සහ පාර්සල් තොගය වාඩිලා සිටින කම්කරුවන්ගේ විරෝධය නොතකා ම එම පරිශ්‍රයෙන් බලාත්කාරයෙන් ඉවත රැගෙන ගියේ ය. තව ද, ආන්ඩුව වර්ජිත කම්කරුවන් එක පොදියට දොට්ට දමන බවට තර්ජනය කර ඇත.
මෙම වර්ධනයන් පැහැදිලි ව ම පෙන්නුම් කරන්නේ ජවිපෙ/ජාජබ ආන්ඩුව තැපැල් වර්ජනය බිඳීමට අධිෂ්ඨාන කර සිටින බවයි. මෙම වර්ජනය බිඳීමෙහිලා ආන්ඩුවේ කවර හෝ සාර්ථකත්වයක් කම්කරු පන්තියේ සෙසු කොටස්වලට ද එරෙහි ව එහි අත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත. රාජ්‍ය ව්‍යවසායන් 400කට අධික ප්‍රමානයක් පෞද්ගලීකරනය/ප්‍රතිව්‍යූහකරනය ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ගොරතර කප්පාදු විධානයන් ඉදිරියට ගෙන යාමට එයට කම්කරු පන්තියේ ඕනෑ ම ආකාරයක පන්ති අරගලයක් කුරිරුත ම ආකාරයෙන් මර්දනය කිරීමට ඕනෑ කර තිබේ.
මේ නිසාවෙන් තැපැල් කම්කරුවන්ගේ වර්ජනය හුදෙකලා කිරීමට ඉඩ නොතැබිය යුතුයි. සමස්ත කම්කරු පන්තිය ම වර්ජනය බිඳීමේ ආන්ඩුවේ දුෂ්ඨ ප්‍රහාරයට එරෙහි ව තැපැල් කම්කරුවන්ගේ ආරක්ෂාවට තමන් බලමුලු ගන්වා ගත යුතු වෙයි. වැඩවර්ජිත තැපැල් කම්කරුවන් මුහුන දී සිටින්නේ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකටයි. තැපැල් වෘත්තීය සමිති කියා සිටින ආකාරයට ආන්ඩුවට බලපෑම් දැමීමෙන් කම්කරුවන්ගේ ඉල්ලීම් දිනා ගත නොහැකි ය.
මෙම ක්‍රියාමාර්ගය කැඳ වූ තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුනේ වෘත්තීය සමිති නිලධාරීහු වර්ජනය හුදෙකලා තත්ත්වයක පවත්වා ගෙන යති. ඔවුහු තැපැල් කම්කරුවන්ගේ ආරක්ෂාවට කම්කරු පන්තියේ සෙසු කොටස් කැඳවීමට මොන යම් ම හෝ කැඳවීමක් සිදු කර නැත. එසේ ම, සෙසු අංශවල වෘත්තීය සමිති නායකත්වය ද ආන්ඩුවේ මර්දනය අභියෝගයකින් තොර ව ම තැපැල් කම්කරුවන් මත පතිත වීමට ඉඩ හරිමින් මුනිවත රකිමින් සිටියි.
අවශ්‍ය වන්නේ, ජාමූ අරමුදලේ කප්පාදු විධානයන් ඇතුලු ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව මූලික සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට සමස්ත කම්කරු පන්තියේ ම ඒකාබද්ධ ප්‍රති-ප්‍රහාරයකි. වැඩවර්ජිත තැපැල් කම්කරුවෝ කම්කරු පන්තියේ සෙසු කොටස් වෙතට යොමු වී ගත යුතු ව ඇත. කම්කරුවන්ට වෘත්තීය සමිති නිලධරය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකියි. ඔවුහු සෑම ෆැක්ටරියක ම, කාර්යාලකයක ම, වැඩපලක ම සහ නිවහන් ප්‍රදේශයක ම වෘත්තීය සමිති නිලධරයෙන් සහ ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව තමන් ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු වෙයි.
තරුනයන් සහ ග්‍රාමීය දුගීන් රැලි කර ගනිමින් ආන්ඩුවේ කප්පාදු සහ මර්දනකාරී පියවරවලට එරෙහි ව ඔවුන්ගේ මූලික සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට කම්කරු පන්තියේ ඒකාබද්ධ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු වෙයි. එම ව්‍යාපාරය ධනේශ්වර පාලනය පෙරලා දමා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමට කැප වූ කම්කරු ගොවි ආන්ඩුවක් පිහිටු වීමේ අරගලයකට වර්ධනය කල යුතු වෙයි. මේ අරගලයේ දී, ශ්‍රී ලංකාවේ කම්කරුවෝ දකුනු ආසියාවේ සහ ලෝකයේ තම පන්ති සහෝදර සහෝදරියන් සමග පාලක පන්තීන්ගේ අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුව සහ ආඥාදායක පාලනයන්ට එරෙහි ව සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර ව්‍යාපාරයක් තුල ඒකාබද්ධ විය යුතු වේ.
සඳුදා පැවැත් වෙන සසප අන්තර්ජාල රැස්වීම මේ ක්‍රියාමාර්ගය ගැන සාකච්ඡා කරනු ඇත. මේ රැස්වීමට සහභාගී වන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
දිනය සහ වේලාව: අගෝස්තු 25 වැනි දා, සඳුදා සවස 7ට
රැස්වීමට මෙ තැනින් ලියාපදිංචි වන්න.