ජනාධිපතිගේ තර්ජන නොතකා විදුලිබල මන්ඩල සේවකයෝ අරගලය තීව්‍ර කරති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) රුදුරු කප්පාදු පිලිවෙත් ප්‍රකාර ව, ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම) සමාගම්වලට කොටස් කර, අවසානයේ පුද්ගලීකරනය කිරීම දක්වා යන ප්‍රතිව්‍යූහගත ක්‍රියාවලියට එරෙහි ව ලංවිම කම්කරුවන් අතරින් පුපුරා ගිය වෘත්තීමය ක්‍රියාමාර්ගය ආන්ඩුව සලිත කර ඇත.

ප්‍රතිව්‍යූහකරනයට එරෙහි කම්කරුවන් අතර නැගන වෛරය හේතුවෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ  හා බලශක්ති ඇමැතිගේ තර්ජන නොතකා, සැප්තැම්බර් 17-18 ලෙඩ නිවාඩු දැමීමේ සීමිත වර්ජන ක්‍රියාමාර්ගයක් නිවේදනය කිරීමට වෘත්තීය සමිති නායකයින්ට බල කෙරුනි. 

සැප්තැම්බර් 17දා ප්‍රතිව්‍යුහකරන පනතට එරෙහිව කොලඹ ලංවිම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරත කම්කරුවන්ගෙන් කොටසක්

ආන්ඩුව මෙන් ම ලංවිම සමිති නායකයින් ද කම්කරුවන්වන්ගේ කෝපය පුලුල් අරගලයක් බවට පරිවර්තනය වීම වැලක්වීමට ගන්නා වෑයම් නොතකා මෙම දින දෙකේ දී, කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වීමට දහස් ගනන් කම්කරුවෝ සම්බන්ධ වූහ. 

වෘත්තීය සමිතිවලට අනුව සේවකයන් 15,000කට වැඩි ප්‍රමානයක් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති අතර දෙවැනි දිනයේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයට සම්බන්ධ වූ 7000කට අධික සේවකයන් ද සමග දින දෙකේ දී 10,000ක් පමන පවතින වැසි සහිත කාලගුන තත්වය ද නොතකා උද්ඝෝෂනයට සම්බන්ධ වූහ.  

තමන්ගේ රැකියා හා සේවා කොන්දේසි පමනක් නොව, ඉතිරි ව පවතින ප්‍රමුඛ රාජ්‍ය ආයතනයක් ලෙස විදුලි බල මන්ඩලය ද ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමට ලංවිම කම්කරුවන් දක්වන අධිෂ්ඨානය නිසා කුපිත වී සිටින දිසානායක, කම්කරුවන්ට කෙලින් ම තර්ජනය කරමින් සැප්තැම්බර් 17 වැනි දා කොලොන්නාව  ලංකා ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්නයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින්, ආන්ඩුවේ ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙල අඛන්ඩ ව ගෙන යන බව කීවේ ය. 

කලින් පැවැති රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ පනතක් සම්මත කර තිබූ බවත්, එය “රටේ බලශක්ති ක්ෂේත්‍රයේ ස්වාධිපත්‍යයට බලපෑමක් ඇති කරන” නිසා එය අහෝසි කොට නව පනත ගෙනා බව කියමින් තම ආන්ඩුවේ ප්‍රතිව්‍යූහගත සැලසුම යුක්ති සහගත කලේ ය. 

දිසානායක තම ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සම්මත කරගත් විදුලි පනත 2024 වසරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් සම්මත කල එකට වඩා සාධනීය එකක් බව කීමට අසීරු වෑයමක නිරත විය. ඒ, තමන් සම්මත කල පනත “රටේ බලශක්ති ස්වාධිපත්‍ය ආරක්ෂා කරන” බවත් ලංවිම “කාර්යක්ෂම කරන” බවත් කියමිනි; එය “අපරාධයක්ද” යැයි ජනාධිපති ප්‍රශ්න කලේ ය. කලින් පනත ගෙන ආ වෙලාවේ “නිද්‍රාශීලි වෙලා සිටියේ” යැයි කියමින් කම්කරුවන්ට ගැරහූ ඔහු,  දැන් පනතට එරෙහි ලංවිම කම්කරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න කරමින්, “එහෙම වැඩ කරන්න බෑ” යැයි තර්ජනාත්මක ව සඳහන් කලේ ය. 

මීට පෙරාතුව, සැප්තැම්බර් 15 වැනි දා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ප්‍රතිව්‍යූහකරනයට අකැමැති සේවකයන්ට අස්වී යා හැකි යැයි සිදු කල ප්‍රකාශය, දිසානායක යලි තහවුරු කලේ ය. මෙම වැඩපිලිවෙලට “අකුල් හෙලන්න කාටවත් බෑ” යැයි ජනාධිපති කීවේ ය.

තම ආන්ඩුවේ පනත, වික්‍රමසිංහගේ ආන්ඩුව 2024 ජූලි මාසයේ සම්මත කල පනතට වඩා වෙනස් බවත් ලංවිම විකුනන්නේ නැති බවටත් දිසානායක කියන කතාව සම්පූර්න බේගලයකි. කවරාකාරයෙන් පලිප්පුලා තිබුනත්, පනත් දෙකේ ම අරමුන ලංවිම කොටස් කර විකුනා දැමීම යි. 

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරන කාර්යාංශයේ අධ්‍යක්ෂ පුබුදු නිරෝෂන හැඩිගල්ලගේ ‍දෙරන රූපවාහිනය සමග පැවැති සාකච්ඡාවක් උපුටා දක්වමින් ලංකා නිව්ස් වෙබ් අඩවිය සැප්තැම්බර් 18 වැනි දා වාර්තා කලේ, “2025 අංක 14 දරන විදුලිබල ක්ෂේත්‍ර සංශෝධිත පනතේ සියලු ම වගන්ති ක්‍රියාත්මක වෙන නියමිත දිනයේ සිට ලංකා විදුලිබල මන්ඩලය ඈවර වී අහෝසි වන” බවයි.  

නව සමාගම් යටතේ සේවයට යාමට කැමැති කම්කරුවන්ට, තම රැකියා හා සේවා කොන්දේසිවල ආරක්ෂාව ගැන කිසිදු සහතිකයක් නැති අතර, “ස්වේච්ඡාවෙන් විශ්‍රාම” ගෙන ඉවත් වීමට කැමැති සේවකයන්ට, ඔවුන් ලබා ගෙන තිබෙන සියලු ම නය කපා ගැනීමෙන් පසු ඉතිරිවන මුදල පමනක් වන්දි විදියට ලබා දෙනු ලැබේ.  

ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට 18-19 පැවැති උද්ඝෝෂනවල දී වර්ජකයන් අතර මැදිහත්වූ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) උද්ඝෝෂකයන් හා කතා කල විදුලි සේවකයන් ගනනාවක් ම මෙම ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ පිටුපස ඇති ප්‍රෝඩාව ගැන සඳහන් කලහ. 

වාරියපොල නඩත්තු අංශයේ සේවකයෙක් කීවේ, තමන් අර්ථ සාධක අරමුදලින් ගත් නිවාස නයෙන් රුපිලය් ලක්ෂ 25ක් පමන මන්ඩලයට නය තිබෙන බවයි. ඔහු විශ්‍රාම යන්නේ නම් එවිට ඔහුට ලැබෙනුයේ, ලක්ෂ 50 ක යෝජිත වන්දි මුදලෙන් අඩක් හෝ ඊටත් අඩු මුදලකි. “මේක උගුලක්. අපි කොච්චර බලාපොරොත්තුවෙන් ද මන්ඩලයට බැඳුනේ. ඒ ඔක්කොම දැන් බිඳ වැටෙනවා” යැයි ඔහු කීවේ ය. 

අකුරැස්ස බෙදා හැරීම් අංශයේ කම්කරුවෙක්,  ජනාධිපතිගේ හා බලශක්ති ඇමතිගේ “අකමැති නම් ගෙදර යනු” තර්ජන හෙලා දුටුවේ ය. “එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න කාටවත් අයිති නෑ. අපි ආවේ කලින් යන්න නෙවෙයි. අපි ආවේ ලංකා විදුලිබල මන්ඩලයේ කැමැත්තෙන් වැඩ කරන්නයි. වීආර්එස් (ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම) එකට කැමැති මිනිස්සු මේකෙ නැහැ”. තවත් කම්කරුවන් ගනනාවක්ම මේ සමාන අදහස් දක්වමින්, ආන්ඩුවේ පනත පරාජය කිරීමේ අදිටන පෙන්නුම් කලහ. 

දෙදින සීමිත වර්ජන ක්‍රියමාර්ගයට හා විරෝධතාවන්ට කම්කරුවන්ගේ දැවැන්ත සහභාගීත්වය වෘත්තීය සමිති පවා සොලවා ඇත. දිසානායකගේ තර්ජනයෙන් කම්කරුවන් තවත් ප්‍රකෝප කර ඇති තත්වය යටතේ, කම්කරුවන්ගේ වැඩෙන විරුද්ධත්වය වාෂ්ප කර දැමීමේ එල්ලය ඇති ව, වෘත්තීය සමිති නායකයින් තවත් ක්‍රියාමාර්ගවලට යන බව නිවේදනය  කර ඇත. ශ්‍රී ලංකා විදුලිබල තාක්ෂනවේදීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ 19 සිකුරාදා ඩේලිමිරර් පුවත්පතට කීවේ, වර්ජනයේ “තෙවැනි අදියර” සැප්තැම්බර් 21 වැනි දා රාත්‍රියෙන් අරඹා 24 වැනි දා දක්වා ගෙන යන බවත්, “ජනාධිපතිගේ ප්‍රතිචාරය මේ විදිය ම නම්, තත්වය තවදුරටත් උත්සන්න වෙනු ඇති” බවත් ය.

ඔහුගේ ප්‍රකාශයෙන් සේවකයන්ට ඇඟවූයේ තවත් බලපෑම් දැමීමෙන් ආන්ඩුව නම්මා ගැනීමට හැකි ය යන මිථ්‍යාවකි. 

වෘත්තීය සමිති නායකයන් දිගින් දිගට ම අවධාරනය කරන්නේ, ප්‍රතිව්‍යූහකරනයට තමන් පක්ෂ බවයි. ඒ අතර ඔවුන් මවා පෙන්වීමට උත්සහ කරන්නේ කම්කරුවන් ද එලෙස පක්ෂ බවයි. සමිති නායකයින්ගේ මූලික ප්‍රශ්නය නම්, මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව සිද්ධ වෙන ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවලට තමන් සක්‍රීය ව දායක කර නොගැනීමයි. 

සැප්තැම්බර් 18 වැනි දා මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්, ඒකාබද්ධ විදුලි සේවක සංගමයේ සභාපති චරිත ශ්‍රී චින්තක, දිසානායකට “ජනාධිපති සහෝදරයා” යැයි ආලවන්තකම් පාමින් ගැටලුව “සාමකාමී ව විසඳාගන්න” තමන් කැමති බව නැවත නිවේදනය කලේ ය. තමන් ද ඇතුලු විදුලි බල මන්ඩලයේ සියයට 95ක් ඡන්දය දුන්නේ, මෙම ආන්ඩුව බලයට ගෙන ඒමට බව ද ඔහු සඳහන් කලේ ය.

සමිති නායකයින් විසින් වර්ජකයන් අතට ලබා දී තිබූ පිකට් බෝඩ් එකක තිබූ “ප්‍රතිව්‍යූහගතකරනය නිවැරැදි ව සිදු කරනු ”  යන සටන් පාඨය කම්කරුවන් මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙලට කොටුකර දීමේ සමිති නායකයින්ගේ උත්සාහයකි. 

කම්කරුවන් මෙය තේරුම් ගත යුතු ය: ඔවුන්ගේ අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාරය එන්නේ, ආන්ඩුවේ අයිඑම්එෆ් ගැති වැඩසටහනෙනි. ආන්ඩුවට එරෙහි ව කවර වාචාල දෙඩවූවත් වෘත්තීය සමිති නායකයින් එක හෙලා ම මෙම වැඩසටහන අනුමත කරන්නවුන් ය.  එවන් වෘත්තීය සමිති නිලධරය සමග ඔබට එම ප්‍රහාරවලට එරෙහි ව සටන් කල නොහැක. 

ඔවුහු කම්කරුවන් අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කල යුතු නිසා කම්කරුවන්ට අයිඑම්එෆ් නැති ව බැරි බව කියති. කුමන ආර්ථිකයක් ද? මෙම තර්කයේ අරමුන වන්නේ,  ධනේශ්වර ක්‍රමය තුල කම්කරුවන්ට තමන්ගේ ගැටලු විසඳා ගත හැකි ය යන අදහස පැටවීම යි. මෙය උගුලකි.

වර්ජනයට මග පෙන්වමින්, කම්කරු ක්‍රියාකාරී කමිටු එකමුතුව සැප්තැම්බර් 17 වැනි දා “බලශක්ති ඇමතිගේ තර්ජනයට විරුද්ධ වෙනු! ආන්ඩුවේ ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙලට එරෙහි ව සටන් වැදීමට ලංවිම ක්‍රියාකාරී කමිටු පිහිටුවනු!” යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකර, සිය ගනනින් වර්ජක ලංවිම කම්කරුවන් අතර පත්‍රිකාවක් වසයෙන් බෙදා හල ප්‍රකාශයේ දී පහත වැඩපිලිවෙල ඉදිරිපත් කලේ ය: 

ලංවිම සේවකයන් තම අයිතීන් සඳහා අරගලය තමන් අතට ගත යුතු ය. එය කල හැක්කේ කෙසේ ද? පලමු පියවර වන්නේ, විදුලිබල මන්ඩලයේ සේවකයන් තමන්ගේ සෑම සේවා ස්ථානයක ම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම යි. වෘත්තිය සමිති නිලධරය මෙම කමිටු තුලට වැද්ද නොගත යුතු ය. කම්කරුවන් තම ඉල්ලීම් ද ඒවා සඳහා අරගලය ද ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් තීන්දු කල යුතු වේ. 

එවන් කමිටු ගොඩනගා ගැනීමෙන් තමන් මෙන් ම ආන්ඩුවේ ප්‍රහාරයට ලක් ව සිටින කම්කරුවන් වෙත අවතීර්න වී පොදු පලල් අරගලයක් සංවිධනය කරගැනීම අවශ්‍ය ය. එවන් අරගලයක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ගය අපි යෝජනා කරමු:

ප්‍රතිව්‍යූහකරනය/ පුද්ගලීකරනය නතර කරනු! ප්‍රතිව්‍යූහකරනයට නම නියමකර ඇති හා නැති සියලු රාජ්‍ය ආයතන කම්කරු පාලනය යටතට ගමු. 

රැකියා සුරක්ෂිතභාවය, ඉහල යන ජීවනවියදමට සරිලන වැටුපක්, විශ්‍රාම වැටුපක් සහ යහපත් සේවා කොන්දේසි!

විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු! 

මෙම අරගලය පුලුල් දේශපාලන අරගලයක කොටසකි. මන්දයත් ධනපති ක්‍රමයේ හා එය ආරක්ෂා කරන විදේශ ප්‍රාග්ධනයේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රියාකරන දිසානායකගේ ආන්ඩුවට එරෙහි අරගලයක් වන බැවිනි.

එය සියලු බැංකු, මහා සමාගම් සහ වතු ඇතුලු ආර්ථික මර්මස්ථාන කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍ර පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩපිලිවෙලට කැප වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒ්මේ සටනකි. එම අරගලයේ දී ශ්‍රී ලංකාවේ කම්කරුවන්, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමග එක් වෙමින්, තමන් මෙන් ම ගෝලීය ප්‍රාග්ධනයේ හා පාලක ධනපති ආන්ඩුවට ප්‍රහාරයන්ට මුහුන දී සිටින තම ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුකම ගොඩනගා ගත යුතු ය. 

ලංවිම කම්කරුවන්ගේ අරගලය සාර්ථක ව ඉදිරියට ගෙන යාමට ඇති එක ම තථ්‍ය වැඩපිලිවෙල මෙයයි.

Loading