[මෙය The real issue in the government shutdown: Mobilize the working class against Trump’s dictatorship! යන මැයෙන් 2025 ඔක්තෝබර් 01 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ධනේශ්වර කතිපයාධිකාරයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරන ට්‍රම්ප් පරිපාලනය, දැවැන්ත දොට්ට දැමීම් සහ සමාජ වැඩසටහන් වලට එල්ල කෙරෙන ප්‍රහාර ඇතුලු කම්කරු පන්තියට එරෙහි පෙර නොවූ විරූ ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා, මේ සතියේ ආන්ඩුව වසා දැමීම යොදා ගනිමින් සිටී. ආන්ඩුව වසා දැමීමේ කේන්ද්‍රයේ පවතින්නේ මිලිටරි-පොලිස් ආඥාදායකත්වයක් ගොඩනැගීමයි.
කම්කරු පන්තිය මෙම අර්බුදයට මැදිහත් වී, ට්‍රම්ප් පරිපාලනය බලයෙන් පහ කිරීමටත්, එහි සාපරාධී කුමන්ත්‍රන අවසන් කිරීමටත් තම දැවැන්ත සමාජ බලය බලමුලු ගැන්විය යුතු ය. ට්‍රම්ප්ගේ අඛන්ඩ කුමන්ත්‍රනයට එරෙහි ව ඕනෑ ම මහජන බලමුලු ගැන්වීමකට විරුද්ධ වන ඩිමොක්‍රටික් පක්ෂයට, මෙම අරගලය යටත් කිරීමට හෝ ඒ පිලිබඳ තීරන ගැනීමට හෝ ඉඩ දිය නොහැක.
පොලිස්-රාජ්‍ය ප්‍රචන්ඩත්වයේ සහ සංක්‍රමනික විරෝධී මර්දනයේ උපකරනවල හැර, අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල ෆෙඩරල් සේවකයින් 750,000 ක් පමන සේවයෙන් පහ කල හැක. පරිපාලනය විසින් සෑම දෙපාර්තමේන්තුවකට ම “වියදම් අඩු කිරීම් බලාත්මක කිරීමට” (ආර්අයිඑෆ්), එනම්, “ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාවන්ට අනුකූල නොවන” වැඩසටහන් ඉලක්ක කර ගනිමින් සමූහ වශයෙන් සේවයෙන් පහ කිරීම්වලට සූදානම් වන ලෙස නියෝග කර ඇත. ට්‍රම්ප්ගේ අයවැය අධ්‍යක්ෂ රසල් වොට්, බදාදා (01), රිපබ්ලිකන් පක්ෂය සමඟ කල සංවාදයක දී පැවසුවේ, මෙම සේවයෙන් පහ කිරීම් “තව දිනකින් හෝ දින දෙකකින්” ආරම්භ වන බවයි.
මෙහි ප්‍රතිවිපාක, සෘජු ව ම බලපෑමට ලක් වූ සේවකයින්ට පමනක් නොව, තවමත් ආන්ඩුවෙන් සැපයෙන සීමිත සේවාවන් මත යැපෙන මිලියන සංඛ්‍යාත ජනතාවට ද විනාශකාරී වනු ඇත.
වොට්ගේ මූලෝපාය වන්නේ, ට්‍රම්ප්ගේ බලය තහවුරු කිරීම සඳහා හෙරිටේජ් පදනම සැලැසුමි කල, “ප්‍රොජෙක්ට් 2025” හි මූලධර්ම ක්‍රියාත්මක කිරීමයි; වොට් එහි සම-කර්තෘත්වය දැරී ය. කොංග්‍රසයේ ව්‍යවස්ථාපිත “මූල්‍ය බලය” මකා දමමින්, ආන්ඩුවේ වියදම් තීරනය කිරීමට ජනාධිපතිවරයාගේ “අයිතිය” ස්ථාපිත කිරීම මගින් විධායක අංශයේ බලය පුලුල් කිරීම මෙයට ඇතුලත් වේ.
වත්මන් ක්‍රියාවන්, ට්‍රම්ප් නැවත බලයට පත් වීමෙන් පසු දැනටමත් සිදු වෙමින් පවතින ප්‍රහාරයේ දැවැන්ත තීව්‍ර වීමකි. බලයට පත් වූ දා සිට මේ දක්වා රාජ්‍ය අංශයේ රැකියා 200,000-300,000 ක් අතු ගා දැමූ ඔහුගේ පරිපාලනය, මහජන සෞඛ්‍යය කප්පාදු කරමින් සහ පාරිසරික හා සේවා ස්ථාන ආරක්ෂන රෙගුලාසි අහෝසි කරමින් සිටින අතර, අධ්‍යාපන දෙපාර්තමේන්තුව අහෝසි කිරීමට පියවර ගනිමින් සිටී.
වැඩිවන නය බරට සහ ගැඹුරු වන ආර්ථික අර්බුදයකට මුහුන දෙමින්, ට්‍රම්ප් පරිපාලනය, මිලියන ගනනක් යැපෙන මූලික සමාජ වැඩසටහන්—මෙඩිකෙයා, මෙඩිකේඩ් සහ සමාජ ආරක්ෂනය—කප්පාදු කිරීමට සූදානම් වෙමින් සිටින අතර, ඩබ්ලිව්අයිසී (කාන්තාවන්, ලදරුවන් සහ ලමුන් සඳහා විශේෂ අතිරේක පෝෂන වැඩසටහන), ආහාර මුද්දර සහ දුප්පතුන් සඳහා වන අනෙකුත් අත්‍යවශ්‍ය ආධාර වැඩසටහන් මෙහි දී ඉලක්ක කෙරේ.
ෆැසිස්ට්වාදී මිලිටරි-පොලිස් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ කුමන්ත්‍රනය පිටුපස ඇති පන්ති අන්තර්ගතය මෙයයි. ආන්ඩුව වසා දැමීමේ ආසන්නයේ දී, ට්‍රම්ප් සහ “යුද ලේකම්” පීට් හෙග්සෙත් ක්වන්ටිකෝ හි ජෙනරාල්වරුන් සහ අද්මිරාල්වරුන්ගේ රැස්වීමක් කැඳවූ අතර, එහිදී ට්‍රම්ප් සහ හෙග්සෙත්, නිලධාරී බලකායේ පක්ෂපාතිත්වය ඉල්ලා සිටිමින්, එක්සත් ජනපද නගර, මිලිටරි මර්දනය සහ ප්‍රචන්ඩත්වය සඳහා “පුහුනු භූමියක්” ලෙස සේවය කල යුතු බව ප්‍රකාශ කලහ.
“අභ්‍යන්තර සතුරා” හෙලා දැකීම, ට්‍රම්ප් ඇමරිකානු නගරවලට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කිරීම සහ “රැඩිකල් වම” හෙලා දැකීම, තම වැඩපිලිවෙල කම්කරු පන්තිය තුල මහජන විරෝධයක් අවුලුවනු ඇති බවට ධනේශ්වර කතිපයාධිකාරයේ පිලිගැනීම ප්‍රකාශයට පත් කරයි.
මෙම තත්වයන් යටතේ, ඇත්ත වශයෙන් ම, ඩිමොක්‍රටික් පක්ෂයට, වැඩෙන තත්වය ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමට කිසිසේත් ම නොහැකි අතර, එය එයට අකමැති වේ. සෙනෙට් සභාවේ සුලුතර නායක චක් ෂුමර් සහ මන්ත්‍රී මන්ඩලයේ සුලුතර නායක හකීම් ජෙෆ්‍රිස්, බදාදා බයාදු ලෙස, මෙසේ ප්‍රකාශ කලේය: “පිරිවැය අඩු කරන සහ රිපබ්ලිකන් සෞඛ්‍ය සේවා අර්බුදයට විසඳුම් ලබා දෙන ආකාරයෙන් ආන්ඩුව නැවත විවෘත කිරීම සඳහා ද්විපාර්ශ්වික ඉදිරි මාවතක් සොයා ගැනීමට ඩිමොක්‍රටිකයෝ තවමත් සූදානම් ව සිටිති. නමුත් අපට විශ්වාසදායක සහකරුවෙකු අවශ්‍යයි.”
ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් ඩිමොක්‍රටික් පක්ෂය “දේශීය අන්තවාදීන්ගේ” පක්ෂයක් බව කියද්දී පවා, ඩිමොක්‍රටික් පක්ෂය නිරන්තරයෙන් ට්‍රම්ප් සමඟ යම් එකඟතාවයක් සොයමින් සිටී. එපමනක් නොව, මෙම ගැටලුව සෞඛ්‍ය සේවා පිලිබඳ ගැටුමක් ලෙස ඉදිරිපත් කිරීම ම විකාරයකි. මහා පරිමානයෙන් සේවයෙන් පහ කිරීම සහ ඒකාධිපතිත්වය සඳහා රාමුව සකස් කිරීම සඳහා වසා දැමීම භාවිතා කරන බව ඔවුහු දනිති. අර්බුදය සාමාන්‍ය අයවැය සටනක් ලෙස සැලකීමෙන්, ඔවුහු කෙලින්ම ට්‍රම්ප්ගේ අත ශක්තිමත් කරමින් සිටිති—ඔවුහු එය දනිති.
ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් කතා කරමින් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත බදාදා පස්වරුවේ කතුවැකියක් ප්‍රකාශයට පත් කලේය. “වසා දැමීමේ සැබෑ අවදානම” හඳුනා ගැනීමේ අභිප්‍රායක් මවා පාමින් ටයිම්ස් පුවත්පත කියා සිටියේ, “දෙපාර්ශ්වය ම සටන් කරන්නේ, ඇමරිකානුවන්ට දැරිය හැකි මිලකට ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවාවක් තිබිය යුතු ද, නැද්ද යන්න පිලිබඳව” බවයි.
ඇමරිකානු නගර අත්පත් කර ගැනීම, විපක්ෂය සාපරාධීකරනය කිරීම සහ ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීම සඳහා ට්‍රම්ප්ගේ හමුදා යෙදවීමේ පියවර ගැන කිසිදු සඳහනක් කිරීම ටයිම්ස් පුවත්පත මග හැරියේය. එය අවසන් වූයේ ශෝකජනක ආයාචනයකිනි: “වසා දැමීමක් වලක්වා ගැනීමට දැන් ප්‍රමාද වැඩියි, හැකි ඉක්මනින් ආන්ඩුව නැවත විවෘත කිරීම ජනාධිපතිවරයාට සහ කොංග්‍රසයට පැවරී ඇති වගකීමකි—එසේම එය ලබන වසරේ ඇමරිකානුවන්ට සෞඛ්‍ය රක්ෂනය සඳහා අධික මුදලක් ගෙවීම වැලැක්වීමට කැපවී සිටී.”
ටයිම්ස් කතුවරුන් 1930 ගනන්වල ජර්මනියට රැගෙන ගියේ නම්, පොදු සුභසාධන වැඩසටහන් සඳහා කැපවීම, “රාජ්‍ය නායකත්ව පදවියේ” සිටින්නා වන හිට්ලර්ගේ “යුතුකම” බවට උපදෙස් දෙනු ඇත! එපමනක් නොව, සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයින් ට්‍රම්ප් සමඟ “සටන්” කරන බවට කරන ප්‍රකාශය බොරුවකි.
සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය “සාකච්ඡා” කරන්නේවත්, “සටන් කරන්නේවත්” නැත. ඔවුන්ගේ සැබෑ සහ එක ම උත්සුකය සහ තිරය පිටුපස සාකච්ඡාවල මාතෘකාව වන්නේ, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයයි. පන්ති ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය කාරනා සම්බන්ධයෙන්, වෝල් වීදියේ සහ මිලිටරි-බුද්ධි අංශයන්ගේ පක්ෂයක් වන ඩිමොක්‍රටික් පක්ෂය එකඟ ය.
ට්‍රම්ප් පරිපාලනයේ අත්‍යසාමාන්‍ය, සාපරාධී සහ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් සැලකිල්ලට ගත් විට, මූලික ප්‍රශ්නය වන්නේ ඔහුව බලයෙන් ඉවත් කරන්නේ කෙසේ ද යන්නයි. 2019 දී ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙන ආවේ, ඔහුගේ ෆැසිස්ට් තර්ජන නිසා නොව, යුක්‍රේනයට ආයුධ යැවීම ප්‍රමාද කිරීම නිසා ය. 1974 දී රිචඩ් නික්සන් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට හේතු වූ වෝටර්ගේට් අර්බුදය නොතැකිය යුතු දෙයක් බවට පත් කරන ට්‍රම්ප් පරිපාලයේ ක්‍රියාවන් සම්බන්ධයෙන් අද ඩිමොක්‍රටික් පක්ෂයෙන් දෝෂාභියෝගයක් පිලිබඳ යෝජනාවක් පවා නොමැත. මෙයමත්, ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට සහයෝගී වීමේ ක්‍රියාවකි.
වෘත්තීය සමිති පැත්තෙන් ගත් කල, ඔවුන්ගේ යාන්ත්‍රනයට තමන්ගේ ම ස්වාධීන ප්‍රතිපත්තියක් නොමැත. එය ක්‍රියා කරන්නේ එහි නායකයින්ගේ විශේෂ පක්ෂපාතිත්වය මත පදනම්ව, ඩිමොක්‍රටික් පක්ෂයේ හෝ ට්‍රම්ප් පරිපාලනයේ අන්ඩක් ලෙස ය.
ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති ලිස් ෂූලර් බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින්, වසා දැමීමට ප්‍රතිචාර දැක්වූයේ, ට්‍රම්ප් “වගකියන පරිපාලනයක් වෙනුවට වියවුල් බව සහ වේදනාව තෝරා ගැනීම” විවේචනය කරමිනි. ඇය ප්‍රකාශ කලේ, “පරිපාලනයට කම්කරු ව්‍යාපාරයේ පනිවිඩය පැහැදිලි ය: වැඩට බහින්න. ආන්ඩුවට අරමුදල් සපයන්න. සෞඛ්‍ය සේවා අර්බුදය විසඳන්න. වැඩ කරන ජනතාවට ප්‍රමුඛත්වය දෙන්න.” ට්‍රම්ප් ඇමරිකානු නගරවලට එරෙහි ව හමුදාව යොදවන බවට තර්ජනය කරන අතරේ, ෂූලර් ඔහුගෙන් “වැඩට බහින්න” යැයි ඉල්ලා සිටී!
රජයේ සේවකයින් නියෝජනය කරන ඒඑෆ්ජීඊ සහ ඒඑෆ්එස්සීඑම්ඊ, පරිපාලනයේ ක්‍රියාවන් “නීති විරෝධී”, “සදාචාර විරෝධී” සහ “අයුතු” බව ප්‍රකාශ කරමින්, එම ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන් ... නඩුවක් ගොනු කරන බව නිවේදනය කලහ. ඒඑෆ්එස්සීඑම්ඊ සභාපති ලී සෝන්ඩර්ස් පැවසුවේ, කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය සමිතිය “හැකි සෑම දෙයක් ම” කරන බවයි, නමුත් මෙයට සේවකයින්ගේ කිසිදු සැබෑ ක්‍රියාවක් ඇතුලත් නොවේ.
වෘත්තීය සමිති යාන්ත්‍රනය සඳහා, කේන්ද්‍රීය මූලධර්මය සහ විශ්වාසයේ වගන්තිය වන්නේ, ඕනෑ ම සහ සියලු තත්වයන් යටතේ, කම්කරුවන් කිසිවක් නොකල යුතු බවයි. මෙම යාන්ත්‍රනය ක්‍රියාත්මක වන්නේ, තමන් නියෝජනය කරන බව කියා සිටින කම්කරු පන්තියේ ඕනෑ ම අරගලයක් අවහිර කරමින් සංගතවල සහ රාජ්‍යයේ නියෝග ක්‍රියාත්මක කිරීමට යොදවා ඇති කාර්මික පොලිස් බලකායක් ලෙස ය.
ට්‍රම්ප් මිලිටරි ආඥාදායකත්වයක් සහ කම්කරු පන්තියට එරෙහි ව යුද්ධයක් සඳහා කුමන්ත්‍රනය කරන විට කම්කරු පන්තියට නිෂ්ක්‍රීය ව බලා සිටිය නොහැක! සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, මහජන, සාමූහික ක්‍රියාවන් හරහා ආන්ඩුවේ වසා දැමීමට සහ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට ප්‍රතිචාර දක්වන ලෙසයි.
වසා දැමීමේ දී ඩිමොක්‍රටික් පක්ෂයේ උපාමාරු කුමක් වුවත්, ට්‍රම්ප් තවමත් බලයේ සිටින අතර, ඔහුගේ පරිපාලනයට අයත් සියලු ම අපරාධකරුවෝ මහා ව්‍යාපාර වෙනුවෙන් කැප වූ පාලනය දිගට ම කරගෙන යනු ඇත. දස දහස් ගනන් හෝ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට රැකියා අහිමි වී ඇත.
කම්කරු පන්තිය තමන්ගේම වැඩපිලිවෙලක් සමඟ මෙම පෙර නොවූ විරූ අර්බුදයට මැදිහත් විය යුතු ය. මේ සඳහා සංවිධානය වීම අවශ්‍ය වේ. සසප, සැප්තැම්බර් 19 වන දින, “ට්‍රම්ප්ගේ ෆැසිස්ට් කුමන්ත්‍රනය සහ එයට එරෙහි ව සටන් කල යුත්තේ කෙසේ ද: සමාජවාදී මූලෝපායක්” යන මැයෙන් වූ සිය ප්‍රකාශයේ පැහැදිලි කල පරිදි, කම්කරු පන්තියේ මූලෝපායේ කේන්ද්‍රීය අංගයක් විය යුත්තේ:
ට්‍රම්ප් තන්ත්‍රයට එරෙහි ව කම්කරු පන්තිය එක්සත් කර, එහි දැවැන්ත කාර්මික හා ආර්ථික බලය බලමුලු ගැන්විය හැකි නව ආකාරයේ සංවිධානයක් ගොඩනැගීම. සමාජවාදී සමානතා පක්ෂය විසින් යෝජනා කරන ලද මෙම නව ආකාරයේ සංවිධානය කම්කරු ක්‍රියාකාරී කමිටු වලින් සමන්විත වේ. ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට ප්‍රතිරෝධය සංවිධානය කිරීම සඳහා ඒවා සෑම කර්මාන්ත ශාලාවක ම, සේවා ස්ථානයක ම, පාසලක ම සහ අසල්වැසි ප්‍රදේශයක ම ස්ථාපිත කල යුතු ය. මෙම කමිටු, ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ආන්ඩුවට, ඩිමොක්‍රටිකයන් එයට දෙන දුස්සහායට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ ජීවන තත්වයන්ට එල්ල කරන පුලුල් ප්‍රහාරයට එරෙහි ව කම්කරු පන්තියේ සියලු ම කොටස් (කර්මාන්තය, සැපයුම්, ප්‍රවාහන, අවන්හල් සහ ක්ෂනික ආහාර, සමාජ සේවා, නීතිමය ආරක්ෂාව, අධ්‍යාපනය, කලා සහ සංස්කෘතිය, විනෝදාස්වාදය, වෛද්‍ය විද්‍යාව, සෞඛ්‍ය සේවා, විද්‍යාව, පරිගනක තාක්ෂනය, ක්‍රමලේඛනය සහ අනෙකුත් ඉහල විශේෂිත වෘත්තීන්හි) සහ තරුන ශිෂ්‍යයින් එක්සත් කරන ප්‍රතිරෝධයේ මධ්‍යස්ථාන බවට පත්විය යුතු ය.
බලගතු මහජන කම්කරු පන්ති ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) පිහිටුවා ඇත.
වෘත්තීය සමිති නිලධරයන්ගේ ග්‍රහනය බිඳ දැමීමට, බලය කම්කරුවන් අතට ම මාරු කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සම්බන්ධීකෘත සමාජ බලයේ නව මධ්‍යස්ථාන නිර්මානය කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු නිර්මානය කිරීම අත්‍යවශ්‍ය වේ. ආඥාදායකත්වය, යුද්ධය සහ ධනේශ්වර සූරාකෑමට එරෙහි ව සමාජවාදය සඳහා කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම ඉදිරි මාවතයි.