ප්‍රතිව්‍යූහකරනයට එරෙහි ව තම රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා අරගලයේ යෙදී සිටින ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන් ආරක්ෂා කරමින්, එම අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට, “ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි වනු! ලංවිම සේවකයින්ගේ අරගලය ආරක්ෂා කරනු!” මැයෙන්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකස) ඔක්තෝබර් 4දා බලගතු ඔන්ලයින් රැස්වීමක් පැවැත් විය.
සැප්තැම්බර් 4 වෙනි දා සිට ලංවිම සේවකයන් නිරත ව සිටින “අකුරට වැඩ කිරීමේ” විරෝධතා උද්ඝෝෂනය මාසයක් ඉක්මවා ඉදිරියට ඇදෙමින් පවතී. මෙම උද්ඝෝෂනයේ කොටසක් ලෙස, සැප්තැම්බර් 17 සහ 18 දින වල අසනීප නිවාඩු වාර්තා කල ඔවුහු, කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) රුදුරු කප්පාදු වැඩපිලිවෙල යටතේ, සියලු ම ලංවිම සේවකයන් රාජ්‍ය සමාගම් හතරකට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
විදුලි සේවක අරගලය, අයිඑම්එෆ් කප්පාදු යටතේ ප්‍රතිව්‍යූහකරනයට හා පෞද්ගලීකරනයට නියමිත 400 ක් ඉක්මවූ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන්හි කම්කරුවන්ගේ ද සටන් අවුලුවන ගිනි පුලිඟුවක් වනු ඇතැයි භීතියටපත් ලංවිම වෘත්තීය සමිති, සෙසු කම්කරුවන් සමග ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම සිතාමතා වලක්වා ඇත. ඔවුන් ආන්ඩුවට යෝජනා කරන්නේ ප්‍රතිව්‍යූහකරන ක්‍රියාවලියට තමන් ද සහභාගි කර ගන්නා ලෙසයි.
සූම් තාක්ෂනය ඔස්සේ පැවැත් වූ සසප/කක්‍රිකසා රැස්වීමට, විදුලිය, සෞඛ්‍යය සහ අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන්, ශිෂ්‍යයින් සහ සසප ආධාරකරුවන් ඇතුලු 60 ක පමන පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සහභාගී වූහ. සසප නිල ෆේස්බුක් ගිනුමේ ද සමගාමී ව විකාශය වූ රැස්වීමේ වීඩියෝව මේ වනවිට 2000කට ආසන්න ප්‍රමානයක් නරඹා ඇත.
යාපනය මෙන්ම වතුකරය ද ඇතුලු අනෙකුත් ස්ථාන වලින් දෙමල භාෂාව කතා කරන කම්කරුවන් සම්බන්ධ වූ හෙයින්, රැස්වීමේ සියලුම කතා සහ සාකච්ඡාවන් දෙමල බසට ද පරිවර්තනය කරන ලදී.
රැස්වීමේ මුලසුන හෙබ වූ සසප සාමාජිකයකු සහ ලංවිම විශ්‍රාමික සේවකයෙකු වන පීඑම් ප්‍රනාන්දු රැස්වීමට සහභාගීවූවන් පිලිගනිමින්, මෙම අරගලය තුල දී වෘත්තීය සමිති නිලධරය සහ ආන්ඩුව ඉටු කරන ක්‍රියාකලාපයන් කෙටියෙන් පැහැදිලි කලේ ය .
විදුලි කම්කරුවන් අතර වැඩෙමින් පවතින නොසන්සුන්තාවය හමුවේ, ලංවිම සමිති නායකයන්, කම්කරුවන් නව උගුලක සිර කිරීම සඳහා ධනපති සහ අධිරාජ්‍ය ගැති ඒජන්සියක් වන ජාත්‍යන්තර කම්කරු සංවිධානය වෙතට හැරී ඇති ආකාරය පැහැදිලි කල ප්‍රනාන්දු, ඊට විපරීත ව විදුලි කම්කරුවන් හැරිය යුත්තේ, ජාත්‍යන්තර පංති සගයන් ඇතුලු සෙසු කම්කරු පන්තිය වෙතට බව අවධාරනය කලේ ය.
රැස්වීමේ ප්‍රධාන කතාව කරනු ලැබුවේ සසප සහකාර ලේකම් සමන් ගුනදාස විසිනි.
ඔහු තම කතාව ආරම්භ කලේ විදුලි කම්කරුවන්ගේ සටන “අද වන විට අවිනිශ්චිත තත්වයකට” මුහුන දී ඇතිබව පවසමිනි. “විදුලි බල කම්කරුවන්ගේ සටන බිඳ දැමීමට, ආන්ඩුව සැප්තැම්බර් 21 වන දා අත්‍යවශ්‍ය සේවා කොන්දේසි පැනවූවා. එහි අර්ථය තමයි මේ කම්කරුවන්ගේ සටනට එරෙහි ව රාජ්‍ය බලය උපරිම වශයෙන් යෙදීම” යනුවෙන් සඳහන් කල ඔහු, ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ විවිධ උපකරන වන නීතිය, උසාවි-පොලිසි-හිරගෙවල් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ප්‍රහාරාත්මක ව යොදා ගෙන ඇති අකාරය පෙන්වා දුන්නේ ය.
ආන්ඩුව, පසුගිය අගෝස්තු මාසයේ පැවති තැපැල් සේවකයින්ගේ වැඩ වර්ජනයට එරෙහි ව මිලිටරිය යොදවා, මධ්‍යම තැපැල් හුවමාරුවෙන් තැපැල්මලු අරගෙන යාමෙන් පසු ව, තැපැල් සමිති ආන්ඩුව සමඟ සාකච්ඡා කල බව කියමින් කිසිම ඉල්ලීමක් දිනා නොගෙන, වර්ජිත තැපැල් සේවකයින් වැඩට දැක්කූ ආකාරය විස්තර කල ඔහු එම අන්තරාය මේ වන විට සටනේ යෙදෙන විදුලි සේවකයින්ගේ සටන මත ලඹ දෙන බව කියා සිටියේ ය.
මෙම ආන්ඩුව උපරිම බලය යොදා අරගල මැඩීමට ඉදිරියට පැමින ඇති ආකාරය පැහැදිලි කල ගුනදාස, “විදුලි බල කම්කරුවෝ විතරක් නෙමේ සියලු ම කම්කරුවන් තේරුම් ගත යුතු කාරනාව වන්නේ රාජ්‍ය සේවකයින් ඇතුලු කම්කරු පන්තිය මත ආන්ඩුව යුද ප්‍රකාශ කර තිබෙන බව“ යැයි පැවසී ය. “අයිඑම්එෆ් වැඩපිලිවෙලට මුලුමනින් ම බැඳිල තිබෙන නිසා කිසි ම ලෙසකින් අඩියක් පස්සට තියන්න ආන්ඩුවට පුලුවන් කමක් නැහැ කියන එක කම්කරුවන් තේරුම් ගත යුතු යැ”යි ඔහු තවදුරටත් කියා සිටියේ ය.
“වෘත්තීය සමිති නිලධරය විසින් යෝජනා කෙරෙන ආකාරයට කම්කරුවන්ගේ රැකියාවන්, වැටුප්, වැඩපල කොන්දේසි කැපීම පිලිබඳව ආන්ඩුව සමඟ සාකච්ඡා කරල, ඇවිටිලි කරල, බලපෑම් කරල, ලබාගැනීමක් කිසිසේත් කරන්න බැරි බව මෙම යුද්ධ ප්‍රකාශ කිරීමේ අරමුන බව විදුලි බල මෙන්ම අනිකුත් කම්කරුවන් අවබෝධ කර ගැනීම ඉතා අවශ්‍ය” යැයි කතිකයා අවධාරනය කලේ ය.
වෘත්තීය සමිති නිලධරයේ භූමිකාව ගැන වැඩිදුරටත් කතා කරමින් “අත්‍යවශ්‍ය සේවා නියෝග දාපු ගමන් මොකක්ද අපි දැක්කේ, අර බෙරිහන් දීදී හිටපු අපි දැන් සටන් තෝරමින් ඉන්නවා යයි මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරපු වෘත්තීය සමිති පසු බස ඇති ආකාරය නොවෙයිද” යැයි ඔහු ප්‍රශ්න කලේ ය.
ලංවිම වෘත්තීය සමිති සූදානම් වන්නේ කුමක් සඳහාද යන්න පිලිබඳ යම් හෝ සැකයක් ඇත්නම්, තැපැල් වෘත්තීය සමිති නායකයන්ගේ භූමිකාව දෙස විමසිල්ලෙන් බැලිය යුතු බව පැවසූ ඔහු, තැපැල් සමිති නායකයන් තැපැල් අරගලය පාවා දීම සඳහා සාකච්ඡාවක් ඉල්ලා ආන්ඩුව ඉදිරියේ දනින් වැටුනු බවත් පෙන්වා දුන්නේ ය. දැන් මෙම පාවාදීමේ ප්‍රතිඵලයක් ලෙස ආන්ඩුව “තැපෑල ප්‍රතිව්‍යූහකරනය ආරම්භ කරලා තියෙනවා. මේ විදිහට ම තමයි විදුලි බල කම්කරුවන්ගේ සටන පාවා දීම සඳහා වැඩකටයුතු සිදුවෙමින් පවතින්නේ” යැයි ගුනදාස කියා සිටියේ ය.
සමිති නායකයන් මුල සිට ම ප්‍රතිව්‍යූහකරනයට එකඟතාව පල කරමින් ජාමූඅ වැඩ පිලිවෙල කරපින්නා ගත් අයුරු විස්තර කල ගුනදාස ලංවිම රාජ්‍ය සමාගම් හතරකට කැඩීම පුද්ගලීකරනයේ මූලික ම පියවර බවත්, “ඊලඟට රාජ්‍ය සමාගම් වල කොටස් විකුනමින් සමාගම් ආයෝජකයන්ට පවරන” බවත් පැවසී ය. එමගින් කම්කරු අයිතීන් රැකීමට නොව, “ධනපතියන්ගෙ ලාභ මඩි තර කරන තැන්” බවට මෙම සමාගම් පත් කරමින් විදුලි කම්කරුවන් දරුනු සූරා කෑමකට ලක් වෙනු ඇති බවත් කතිකයා පැහැදිලි කලේ ය.
ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමෙන් ලංවිම පුද්ගලීකරනය නතර කල හැකි බව පවසා කම්කරුවන් මුලා කල ජවිපෙට අනුබද්ධිත වෘත්තීය සමිති, රට පුරා පත්‍රිකා බෙදමින් ප්‍රතිව්‍යූහකරනය වනාහි දූෂන වැලැක්වීමේ පියවරක් විනා වෙන වෙනත් කිසිම දෙයක් නොවන බවට බොරු ප්‍රචාරයක් ගෙනයන ආකාරය ද, ගුනදාස පැහැදිලි කලේ ය.
ලෝක ධනේශ්වර අර්බුදය උග්‍ර වී ඇති අද වැනි යුගයක වෘත්තීය සමිතිවල නොහැකියාව ගලා එන්නේ “සමිති නායකයන්ගේ පුද්ගලික කුහකත්වයෙන්” එහා ගිය, සමිති වල උපතේ සිට ම ඒ්වායේ ගැබ් ව ඇති, ධනපති ක්‍රමය සමඟ පවත්නා අවියෝජනීය සබඳතාව මගින් බව ගුනදාස කියා සිටියේ ය.
ධනපති රාජ්‍යයට බැඳුනු, ශ්‍රේනි වලට වෙන්වුනු, ස්ථිර සේවකයින්ට පමනක් සීමා වුනු කම්කරු දෙපාර්තමේන්තුවේ නීති මඟින් මෙහෙයවෙන සමිති වලින් ස්වාධීන වී, “විදුලි බල මන්ඩලයේ ඉංජිනේරුවන්ගේ සිට පහලම ශ්‍රේනියේ කම්කරුවා දක්වා නියෝජනය වන” සහ වැඩ කරන ජනතාවගේ මූලික අයිතිවාසිකම් මත පදනම් ව ගොඩ නගන ක්‍රියාකාරී කමිටු මඟින් සියලු දෙනා ම ඒ්කාබද්ධ කිරීමේ අවශ්‍යතාවය කතිකයා පැහැදිලි කලේ ය.
මෙම ක්‍රියාකාරී කමිටු, විදුලි කම්කරුවන්ගේ මෙන්ම අනෙකුත් කම්කරුවන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමේ, හදිසි සහ අත්‍යවශ්‍ය සංවිධාන රූපය බව ඔහු අවධාරනය කලේ ය.
“ලෝක ආර්ථිකය ම අද මුහුන දීල තියෙන ගැඹුරු ආර්ථික අර්බුදය ඇතුලෙ අතිශයින් ම දුර්වල ආර්ථිකයක් වන ලංකාවෙ ආර්ථිකය නූල් පටකින් තමයි එල්ලෙන්නේ” යැයි පැවසූ ගුනදාස, ගාසා ජන සංහාරය හා යුක්‍රේනය මැදි කර ගනිමින් නැටෝව රුසියාවට එරෙහි ව දියත් කර ඇති යුද්ධයෙන් ද, ජනාධිපති ට්‍රම්ප් විසින් දියත් කර ඇති වෙලඳ යුද්ධයෙන් ද මෙම අර්බුදය වඩාත් ගැඹුරු කොට, 2022 මහජන නැගිටීම වැනි තත්වයක් යලි පැන නැංවීමට ඇති ඉඩකඩ පෙන්වා දුන්නේ ය.
කම්කරු පන්තිය අතට දේශපාලන බලය ලබා ගනු වස්, සමාජවාදී දේශපාලන වැඩ පිලිවෙලක් මත කම්කරු පංතිය බලමුලු ගැන්වීමට සහ ඒ වටා ගම්බද ගොවි ජනයා රැලි කර ගැනීමට, කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවා ගැනීමේ අවශ්‍යතාවය පිලිබඳව අවධානය යොමු කරමින් සහ එම වැඩපිලිවෙල සාක්ෂාත් කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ අත්වැල් බැඳ ගනිමින් බව අවධාරනය කරමින් ඔහු කතාව අවසන් කලේ ය.
අනතුරු ව, ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ සහ අදහස් දැක්වීමේ වාරය ආරම්භ විය.
“මේ දවස්වල කරන අත්අඩංගුවට ගැනීම් සහ (රග්බි ක්‍රීඩක) තාජුඩීන් ගේ මරනය ආපහු මතුපිටට ගැනීම දේශපාලන නොහැකියාව වහගන්න ආන්ඩුවෙන් කරන දෙයක් විදිහට ද දකින්නෙ, නැත්නම් සත්භාවයෙන් සිදුවෙන දෙයක්ද?” යනුවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් විය.
එයට පිලිතුරුදුන් ගුනදාස, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරයන්ට විරුද්ධ ව වැඩෙන මහජන කෝපය වෙනතකට යොමු කිරීම මෙම “සංදර්ශනවල” එක් අරමුනක් බව පැහැදිලි කලේ ය. කෙසේ නමුත් ප්‍රධානත ම අරමුන වන්නේ, ලංකාවේ ආර්ථික අර්බුදය, ලෝක ධනපති අර්බුදයේ කොටසක් බව වසන් කොට, එය දූෂනයේ සහ වංචාවේ ප්‍රතිඵලයක් ලෙස පෙන්වා, වැඩෙන මහජන කෝපය ධනවාදයට එරෙහි ව යොමුවීම වැලැක්වීමයි. වංචාව සහ දූෂනයට එරෙහි ව ජවිපෙ කලක සිට ගෙනයන උද්ඝෝෂනයේ අරමුන එයයි.
“ශිෂ්‍ය දේශපාලනය කම්කරු සටන්වලට මැදිහත් විම සිදු විය යුතු දෙයක්ද?, එහෙම මැදිහත් වීමේ වැදගත් කම මොකක්ද?' යනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නැගූ ප්‍රශ්නයට ගුනදාස දුන් පිලිතුරේ සාරාංශය මෙසේ ය:
'ශිෂ්‍ය දේශපාලනය' යනු, ශිෂ්‍යයන්ට ස්වාධීන සමාජ බලයක් ඇතැයි යන ව්‍යාජය මත පාදක වූ ප්‍රතිගාමී සංකල්පයකි. සැබැව්න්ම, ශිෂ්‍යයන් නිෂ්පාදනයට දායක නොවන තතු තුල, ඔවුනට ස්වාධීන සමාජ බලයක් නොමැත. එම ස්වාධීන සමාජ බලය ඇත්තේ, සැබෑ නිෂ්පාදකයා වන්නාවූද, නිෂ්පාදන ක්‍රියාවලියේදී ගෝලීයව ඒකාග්‍රව සිටින්නාවූ ද, ජාත්‍යන්තර කම්කරු පංතියට පමනි.
නිදහස් අධ්‍යාපන අයිතිය ඇතුලු ඕනෑම අයිතියක් තහවුරු කල හැක්කේ, කම්කරු පංතිය සතු දැවැන්ත සමාජ බලය මෙහෙයවීමෙනි. ශිෂ්‍යයන් මේ කරුන වටහා ගනිමින් කම්කරු පංතිය දෙසට හැරී කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වැදිය යුතුය. 'ශිෂ්‍ය දේශපාලනයෙන්' කෙරෙනුයේ මෙය වලකාලීමයි.
ඒ අනුව ශිෂ්‍යයන් කල යුත්තේ, 'ශිෂ්‍ය දේශපාලනය' හරහා කම්කරු සටන්වලට මැදිහත් විම නොව, 'ශිෂ්‍ය දේශපාලනයෙන්' මුලුමනින්ම බිඳී, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුනෙන්, කම්කරු සටන් වලට මැදිහත් වීමයි.
තුන්වන ප්‍රශ්නය වූයේ, 'පක්ෂය සමාජය දැනුවත් කරන්න ගන්න බලාපොරොත්තු වෙන ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග මොනවාද?' යන්න වන අතර, එයට පිලිතුරු දෙනු ලැබුවේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ ජාතික කර්තෘ කේ.රත්නායක විසිනි.
සමාජය දැනුවත් කිරීම සඳහා හතරවන ජාතන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලොව පුරා එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිංහල, දෙමල, ඉංග්‍රීසි ඇතුලු වෙනත් භාෂා වලින් ලිපි පල කිරීම ගැන සඳහන් කරමින් රත්නායක මෙසේ කියා සිටියේ ය: “මේ වෙබ් අඩවිය තමයි මූලිකව කම්කරු පන්තිය, තරුනයන් හා අවශේෂ බුද්ධිමතුන් සහ අවශේෂ ජනයා දැනුවත් කිරීම සඳහා අපි පාවිච්චි කරන මූලික ආයුධය හැටියට තියෙන්නේ“
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවන ලිපිවල, “දේශපාලන වර්ධනයන් සම්බන්ධයෙන්, න්‍යායික සහ විධික්‍රමාන්විත ප්‍රශ්න, ඉතිහාසය සහ කලාව සම්බන්ධයෙන්' සාකච්ඡා කරන බව පැවසූ ඔහු, 1998 ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ලක්ෂ ගනනක්ද අනෙකුත් භාෂාවලින් ද විශාල ලිපි සංඛ්‍යාවක් පලකර ඇති බව ද පැවසීය.
“දිනපතා යන ලෝක වර්ධනයන් සම්බන්ධව කම්කරු පන්තිය, අනෙකුත් පීඩිත ජනයා, දුගී ජනයා මුහුන දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් නිතිපතා සාකච්ඡා කරන“ මෙම වෙබ් අඩවිය, ශිෂ්‍යයන් තරුනයන් සහ බුද්ධිමතුන් සඳහා විවෘත බවත් පැවසූ රත්නායක, මෙම රැස්වීමමත්, ලංවිම කම්කරුවන් යෙදී සිටින අරගලයේදී මුහුන දෙන වැදගත් දේශපාලන ප්‍රශ්න සම්බන්ධව, ලංවිම සහ අවශේෂ කම්කරුවන් දැනුවත් කිරීමේ මාධ්‍යයක් බව පැහැදිලි කලේය.
ලංකා විදුලිබල මන්ඩලයේ “මතුවෙලා තියෙන ප්‍රශ්නය සහ අරගලය ලංකාවේ කම්කරු පන්තිය සහ අනෙකුත් ජනතාව මුහුන දෙන සෑම ප්‍රශ්නයකම සාරාර්ථයක් පවතිනවා“ යැයි ඔහු පැවසීය.
වැඩිදුර කියවන්න
- “ප්‍රතිව්‍යූහකරනයට විරුද්ධ ව සටන් කරන්න වෘත්තීය සමිති සුදානම් නැහැ, නව සංවිධානයක් අවශ්‍යයයි”: ලංවිම කම්කරුවෙක්
- විදුලිබල කම්කරුවන් ආරක්ෂා කිරීමට සසප ගෙනයන උද්ඝෝෂනයට විශ්වවිද්‍යාල සමිති නායකයා එරෙහි වෙයි
- “ප්රතිව්යුහකරනයට සහ ආන්ඩුවේ මර්දනයට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍යයි” යැයි ලංවිම කම්කරුවෝ පවසති