ඉදිරිදර්ශන

විදුලිබල සේවක අරගලය දෙවන මසට අවතීර්න වෙයි: ඉදිරි මාවත කුමක් ද?

ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) සේවකයින් විසින්, සැප්තැම්බර් මස 4 දින ආරම්භ කරන ලද “අකුරට වැඩ කිරීමේ” විරෝධතාවය, දෙවන මසට අවතීර්න වී ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානය මත, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ක්‍රියාවට නංවා ඇති ලංවිම ප්‍රතිව්‍යූහකරනය යටතේ, තම රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ අනෙකුත් අයිතීන් වලට එල්ල කෙරී ඇති තර්ජනයට එරෙහිව ලංවිම සේවකයෝ අරගලයට පිවිස සිටිති. ලංවිම, පලමුව රාජ්‍ය සමාගම් හතරකට කඩා පසුව, පුද්ගලීකරනය කිරීම ආන්ඩුවේ එල්ලය යි.

සැප්තැම්බර් 17දා ප්‍රතිව්‍යුහකරන පනතට එරෙහිව කොලඹ ලංවිම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරත කම්කරුවන්ගෙන් කොටසක්

විරෝධතාව කැඳවා ඇති “ලංවිම සියලු වෘත්තීය සමිති” නම් වූ සන්ධානය ප්‍රතිව්‍යූහකරනයට විරුද්ධ නැත; ඔවුන් ඉල්ලා සිටින්නේ, එය “නීත්‍යානුකූල ව” සහ “විධිමත් ව” ක්‍රියාත්මක කරන ලෙස සහ එතුල සේවකයන් ගේ අයිතීන් සුරක්ෂිත කරන ලෙසයි. නව සමාගම් යටතේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ සහතිකයක් සහ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවකයන් ට රුපියල් මිලියන 7 ක උපරිම වන්දියක් ඇතුලු ඉල්ලීම් 24 ක් සමිති සන්ධානය ඉදිරිපත් කර තිබේ. 

මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ජවිපෙ/ජාජබ ආන්ඩුව, තම වැඩපිලිවෙලින් අඩියක් හෝ පසුපසට නොගන්නා බව දැඩි ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එය තර්ජනාත්මකව ප්‍රකාශ කරතිබෙනවා පමනක් නොවේ; ජනාධිපති දිසානායක සැප්තැම්බර් 24 දා, විදුලිබල මන්ඩලය මත රුදුරු අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි ප්‍රකාශයට පත්කොට, එහි සේවා අවහිර කිරීම හා නතර කිරීම සිරගත කිරීම ඇතුලු දඬුවම් පැමිනවිය හැකි වරදවල් බවට පත්කර තිබේ.

ලංවිම සමාගම් වලට බෙදීම ඇතුලු සියලු පියවර, 400ක් පමනවන රාජ්‍ය ව්‍යවසායන් සියල්ල ප්‍රතිව්‍යුහකරනය කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) පනවා ඇති නියෝගවලින් ප්‍රමුඛ තම එකක් වේ. ඔක්තෝබර් 9 දා කොලඹ පැවති මාධ්‍ය හමුවකදී, ශ්‍රී ලංකාවට පැමින සිටින ජාමූඅ හි දූත පිරිසේ නායක ඉවාන් පැපජෝර්ජියෝ මෙසේ කියා සිටියේය: “අපි ලංවිම විසුරුවා හැරීම වටා ඇති වර්ධනයන් සහ 2026 සහ ඉන් ඔබ්බට බලශක්ති අංශයට සිදුවීමට නියමිත පරිනාමය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සිටිමු.” 

ලංවිම ප්‍රතිව්‍යූහකරනයේ අනිවාර්ය අවශ්‍යතාව අවධාරනය කරමින් ඔහු මෙසේ කීවේය: “එමගින්, ඕනෑම පුද්ගලික සමාගමක් මෙන්ම, වානිජමය පදනම මත ක්‍රියාකිරීම සහතික කෙරෙන අතරම ස්ථිර සහ මෙහෙයුම සඳහා සුදුසු මූල්‍යමය තීන්දු ගනු ඇත.” 

ලංවිම සේවකයන්ගේ අරගලය ගැන සඳහන් නොකලත්, ඒ ගැන හොඳින්ම දන්නා ජාමුඅ නිලධාරියා එහි විධානය මතක් කලේ ආන්ඩුවට පමනක් නොව වෘත්තීය සමිති නායකයන්ටත් යලි දැනුම්දීම සඳහායි. විදුලිබල සේවකයන් මුහුන දී සිටින්නේ, හුදෙක් දිසානායක ආන්ඩුවට පමනක් නොව, අන් සියල්ලටමත් වඩා. ඊට විධාන පනවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලටයි. එහි නිර්දේශ පරිදි, තව දින කිහිපයකින් ආන්ඩුව විදුලි ගාස්තු සියයට 7කින් ඉහල දැමීමට නියමිත ය. 

ආන්ඩුව විසින් සිය ඉල්ලීම් මුලුමනින් ම ප්‍රතික්ෂේප කර ඇතත්, ලංවිම සියලු සමිති වෙනුවෙන් ඔක්තෝබර් 8 දා මාධ්‍ය ඇමතු ලංවිම ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ කියා සිටියේ, තම අරගලයේ “සිවුවෙනි අදියර” දැන් ක්‍රියාත්මක කොට ඇති බවයි. ඊට අනුව, ඔක්තෝබර් 6 දා සිට, බලශක්ති අමාත්‍යවරයාගේ සිට ලංවිම සභාපතිවරයා සහ උප සභාපතිවරයා දක්වා පාර්ශව සමඟ කිසිදු සම්බන්ධතාවක් නොපැවැත්වීමට ඉංජිනේරු සංගමය පියවර ගෙන ඇතිබව පැවසේ.

ආන්ඩුව මෙතෙක් “සාධනීය ප්‍රතිචාර ලබාදී නැත” යි මාධ්‍ය හමුවේ දී ප්‍රකාශකල පරාක්‍රමසිංහ තව දින 10ක් කල් දී යහපත් ප්‍රතිචාර නොලැබුනොත්, “දැඩි ක්‍රියා මාර්ග වෙත යෑමට සාකච්ඡා කරනවා” යයි සඳහන් කලේ මෙම ක්‍රියාමාර්ග පිලිබඳව කිසිදු පැහැදිලි කිරීමක් නොකරමිනි. 

සමිති, කම්කරු කොමසාරිස්වරිය සහ ලංවිම පාලනාධිකාරිය සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත් “ඉදිරියේදී අවබෝධතා ගිවිසුම් සහ ඉදිරි ලියකියවිලි සකස් කිරීමේදී සහාය දීමට” කම්කරු කොමසාරිස් පොරොන්දුවූ බව පැවසූ පරාක්‍රමසිංහ, කෙසේවෙතත් තමන්ට ඇත්තේ වැඩවර්ජනයකට නොගොස් විසඳා ගැනීමට හැකි සුලු ගැටලුවක් බව කීවේය. 

මේ වටවංගු ප්‍රකාශ පටහැර ගත් කල්හි සමිති නායකයන් කියන්නේ කුමක් දැයි තේරුම් ගත හැකිය.

ප්‍රතිව්‍යුහකරනයෙන් තම අයිතීන්ට එල්ල වියහැකි ප්‍රහාර ගැන විදුලිබල කම්කරුවන් නොසන්සුන්වීම නිසා සීමිත ක්‍රියාමාර්ග වලට එලඹුනු වෘත්තීය සමිති නිලධරය දැන් ඒවා එකින්එක අත්හරින්නට ද ආන්ඩුවේ/ජාමුඅ වැඩපිලිවල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොන්දේසි සකස්කර දීමට ද ක්‍රියාත්මක වෙමින් සිටිති. මන්ද? ආන්ඩුවේ හා ජාමූඅ වැඩපිලිවෙලට හා ඒ අනුව ප්‍රතිව්‍යුහකරනයට පක්ෂව සිටින මෙම නායකයන්ට ඊට එරෙහිව යන ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි ය. 

සීමිත ඉල්ලීම් මත ඉතා සීමිත ක්‍රියාමාර්ග ගැනීමෙන් තම සමිති සාමාජිකයන්ගේ නොසන්සුන්තාව පාලනය කරගැනීමට ලංවිම සමිති නායකයෝ ක්‍රියාකලහ. නමුත්, ඒවා ආන්ඩුව සහ ජාමුඅ සමග ගැටීමක් බවට පරිවර්තනය වීම නිසා සමිති නායකයෝ බියපත්ව සිටිති.

තවත් කරුනකට අවධානය යොමුකල යුතුය. ජනාධිපති දිසානායක කුරිරු අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවූයේ සැප්තැම්බර් 24 දාය. නමුත් ලංවිම සමිති නායකයන් මේ නියෝග වහා ඉවත් කරන ලෙස ඉල්ලා නැත. එවෙනුවට කර ඇත්තේ පසුබැසීම වේගවත් කිරීමයි. එමෙන් ම කිසිදු වෙනත් වෘත්තීය සමිති නායකයෙක් මෙම මර්දන නියෝග ඉවත්කරන ලෙස ඉල්ලා හෝ විදුලිබල සේවකයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වනබව හෝ කියා නැත. 

වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රය කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රැකගැනීමේ ඒකාබද්ධ අරගලයක් ගොඩනැගීමට මුලුමනින්ම සතුරුව සිටිති. එවන් අරගලයක් ආන්ඩුව සමග මුහුනට මුහුන ගැටෙන අරගලයක් වන හෙයිනි. මේ සියලු සමිති නායකයකයෝ ධනපති ක්‍රමයට හා රාජ්‍යයට මුලුමනින්ම ගැටගැසී සිටිති.

කම්කරුවන් අස්වැසීම සඳහා ඔවුහු පසුගිය දිනවල තවත් උප්පරවැට්ටි දැමූහ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ජාකස) අධාරය පතා හැරී සිටින ලංවිම සමිති නායකයෝ එය ලවා පීඩනය යෙදීමෙන් ආන්ඩුව තම ඉල්ලීම් දීමට නම්මාගත හැකිවෙතැයි යන මිත්‍යාවක් කම්කරුවන් අතර වපුරති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒජන්සියක් වන ජාකස ආන්ඩු සහ මහ ව්‍යාපාරිකයන් ද සමිති නිලධරයන් ද අතර සමථයට මැදිහත්වන ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවලට සේවය කරන සංවිධානයකි. 

ලංවිම සේවකයන්ට, දෙවන මාසයට එලඹ ඇති තම වත්මන් අරගලයේ ද, වෙසෙසින් ම ,පසුගිය අවුරුද්දේ පටන් ප්‍රතිව්‍යූහකරනයේ තර්ජනයට එරෙහිව ගෙනගිය උද්ඝෝෂන වල ද ශේෂ පත්‍රය පිරික්සා බලා තම අයිතීන් රැකගැනීමේ අරගලය වර්ධනය කිරීමට හැරීම තවත් කල්දැමිය නොහැකි ය. 

ලංවිම අරගලයේ පාඩම් මොනවාද? 

පලමුවැන්න, ජාමුඅ අඥාවන් හා ඒවා ක්‍රියාවට දමන ආන්ඩු යටතේ, අද දින නම් ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ, එය විසින් ක්‍රියාවට දමන ප්‍රතිව්‍යුහකරනයෙන් රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් හා අනෙකුත් අයිතීන්ට එල්ලවන තර්ජනයට විසඳුම් ලබාගත නොහැක. ප්‍රතිව්‍යුහකරනය යනු මෙම අයිතීන් කපාදමා ලාභ උපයාගැනීම සඳහා අවශ්‍ය ආකාරයට ලංවිම විසුරුවා හැර අලුත් සමාගම් පිහිටුවීමයි. 

දෙවැන්න, ප්‍රතිව්‍යුහකරනය අර්බුද ග්‍රස්ත ධනපති පන්තියේ හා ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයයි. ධනපති ක්‍රමය තුල ඊට විකල්පයක් නැත. 

තුන්වැන්න, ආන්ඩුව මෙන් ම සියලුම විරුද්ධ පක්ෂ ද ජාමුඅ ක්‍රියාමාර්ගය මුලුමනින් ම පිලිගනිති. එයින් මතුවන ප්‍රශ්න හා මහ ජනතාවන්ට සිදුවන අපහසුතාවන් ගැන ඔවුන් කරන ප්‍රකාශ, හුදෙක් ම මහජනතාවගේ විරුද්ධතාවයන් දේශපාලන වාසියට ගසාකෑම සඳහා දරන නරුම උත්සාහයන් ම වේ. 

සතර වැන්න, ජාමුඅ වැඩපිලිවෙල ද ඒ අනුව සිදුකරන ප්‍රතිව්‍යුහකරනය ද පිලිගන්නා වෘත්තීය සමිති නිලධරය ලංවිම සේවකයන් පිටවීමක් නැති අවෘත අන්තයකට ගෙනැවිත් කොටුකර ඇති බවයි. 

සියලු විදුලි සේවකයන් මෙම උගුල බිඳ දැමිය යුතුය; තම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් දිනාගතහැකි ක්‍රියාමාර්ගයකට එලඹිය යුතුය. තවදුරටත් ඔවුන් වෘත්තීය සමිතිවලට තමන්ගේ බැඳීම අවභාවිතාවට ලක්කරමින් පාවාදීමේ මාවතේ ගෙනයන සමිති නායකයන්ට තවත් ඉඩ නොදිය යුතුය. 

මෙය සිදුකල හැක්කේ කෙසේ ද? 

එය අභූත දෙයක් නොවේ; කම්කරුවන් තමන්ගේ අයිතීන් සඳහා අරගලය කිරීමට තමන්ගේ සංවිධාන ලෙස සාමාජිකයන්ගෙන් පමනක් සැදුම් ලත් කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම ආයතනයකම වැඩබිම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ද පිහිටුවා ගත යුතුවේ. 

අප මෙම ලිපියේ කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ අවශ්‍යතාව විදුලිබල සේවකයන් වෙත යොමුකලත්, එය සියලු කම්කරුවන් සඳහා වන වැඩපිලිවෙලකි. රාජ්‍ය හා පුද්ගලික අංශවල සියලු සේවකයෝ ජාමුඅ විසින් උසිගන්වනු ලැබ ඇති, ධනපති ක්‍රමයේ අර්බුදය තමන් මතට පැටවීමේ ප්‍රහාරයන්ට මුහුන දී සිටිති. එවන් කමිටු ගොඩනගා ගැනීමෙන් තමන් මෙන් ම ආන්ඩුවේ ප්‍රහාරයට ලක් ව සිටින කම්කරුවන් වෙත අවතීර්න වී පොදු පලල් අරගලයක් සංවිධානය කරගැනීම අවශ්‍ය ය. එවන් අරගලයක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ගය අපි යෝජනා කරමු:

“ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි වනු! ලංවිම සේවකයින්ගේ අරගලය ආරක්ෂා කරනු!” මැයෙන්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකස) ඔක්තෝබර් 4දා බලගතු ඔන්ලයින් රැස්වීමක් පැවැත් විය. මෙම රැස්වීමේ ප්‍රධාන කතාව කල සසප සහකාර ලේකම් සමන් ගුනදාස, කම්කරුවන්, ඔවුන්ගේ සටන, ද්‍රෝහී නිලධරය අතින් තම අතට ගැනීමේ අවශ්‍යතාව ගැන මෙසේ පැවසුවේය: 

“ධනපති රාජ්‍යයට බැඳුනු, ශ්‍රේනි වලට වෙන්වුනු, ස්ථිර සේවකයින්ට පමනක් සීමා වුනු, කම්කරු දෙපාර්තමේන්තුවේ නීති මඟින් මෙහෙයවෙන, වෘත්තීය සමිති වලින් සේවකයන් බැඳ තබා ඇති ඒවායේ නායකත්වයන්ගෙන් ස්වාධීන ව, ලංවිම ඉංජිනේරුවන්ගේ සිට පහලම ශ්‍රේනියේ කම්කරුවා දක්වා නියෝජනය වන සහ වැඩ කරන ජනතාවගේ මූලික අයිතිවාසිකම් මත පදනම් ව ගොඩ නගන ක්‍රියාකාරී කමිටු මඟින් සියලු දෙනා ම ඒ්කාබද්ධ කිරීම අත්‍යවශ්‍ය යි. එම වැඩපිලිවෙල සාක්ෂාත් කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ අත්වැල් බැඳ ගැනීමෙනි.”

ලංකාවේ කම්කරුවන් හැරිය යුත්තේ, සමිති නායකයන් උජාරුවෙන් හුවාදක්වනු ලබන, ලෝක ධනවාදය වෙනුවෙන් ක්‍රියා කරන ජාත්‍යන්තර කම්කරු සංවිධානය වෙත නොව, ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත ය. අනෙකුත් රටවල කම්කරුවන් ද තම අයිතීන් රැක ගැනීම සඳහා මහා වර්ජන ඇතුලු පන්ති ක්‍රියාවන්ට එළඹ ඇත. පසුගිය සතියේ, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුලු රටවල කම්කරුවෝ මිලියන ගනනින් ගාසාවේ ජන සංහාරය නතර කිරීමට බලකරමින් වර්ජන දියත් කලහ. 

ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව සඳහා, දැනටමත් ගොඩනැගීම අරඹා ඇති “කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය” සමග ලංකාවේ කම්කරුවන් තම ක්‍රියාකාරී කමිටු මගින් එක්විය යුතු බව ගුනදාස ඉහත දැක්වූ සසප රැස්වීමේ දී කියා සිටියේය. 

මෙම පදනම් මත පහත සඳහන් ඉල්ලීම්. මත අරගලයක් සංවිධානය කිරීමට පෙරට එන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු. 

  • ප්‍රතිව්‍යූහකරනය/ පුද්ගලීකරනය නතර කරනු! ප්‍රතිව්‍යූහකරනයට නම නියමකර ඇති හා නැති සියලු රාජ්‍ය ආයතන කම්කරු පාලනය යටතට ගමු. 
  • රැකියා සුරක්ෂිතභාවය, ඉහල යන ජීවන වියදමට සරිලන වැටුපක්, විශ්‍රාම වැටුපක් සහ යහපත් සේවා කොන්දේසි!
  • විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු! 

මෙම වැඩපිලිවෙල සාක්ෂාත් කල හැක්කේ, මහා වතු, බැංකු හා මහා සමාගම් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීමෙන් පමනි. මෙම අරගලය සඳහා, කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් සහ ධනපති පන්තියේ සියලු කන්ඩායම් වලින් බිඳුනු, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සසප සමග එක්වන ලෙස අපි ඉල්ලමු. 

Loading