ඉදිරිදර්ශන

රජුන් එපා, නාසි ෆියුරර්ස් එපා! ට්‍රම්ප්ගේ ඒකාධිපතිත්වයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

[මෙය, No Kings, No Nazi Führers! Mobilize the working class against Trump’s dictatorship! මැයෙන් ඔක්තෝබර් 16දා එක්සත් ජනපද සසප පලකල ප්‍රකාශයේ පරිවර්තනය යි.]

2025 ජුනි 14 වන සෙනසුරාදා ලොස් ඇන්ජලීස් නගරයේ පැවැති “රජුන් එපා” විරෝධතාවකට බැනරයක් අතැති ව විරෝධතාකරුවන් දහස් ගනනක් එක්වෙති. [AP ඡායාරූපය/රිචඩ් වොගල්] [AP Photo/Richard Vogel]

අද (ඔක්තෝබර් 18දා) එක්සත් ජනපදය පුරා, සෑම ප්‍රධාන නගරයක ම සහ බොහෝ කුඩා නගරවල මෙන් ම අනෙකුත් රටවල “රජුන් එපා” (“නෝ කිංග්ස්”) විරෝධතා රැලි 2,500 කට වඩා පැවැත්වීමට නියමිත ය. මෙම විරෝධතාවලට සහාය දක්වන සමාජවාදී සමානතා පක්ෂය, ඒවාට හැකි තරම් පුලුල් සහභාගීත්වයක් සඳහා කැඳවුම් කරයි. අවසන්වරට, ජුනි 14දා පැවැති “රජුන් එපා” විරෝධතා, මිලියන 10ක අධික ජනතාවක් ආකර්ෂනය කරගත්, ඇමරිකානු ඉතිහාසයේ විශාලත ම එක් දින දේශපාලන විරෝධතාව ලෙස සලකනු ලබයි.

මෙම විරෝධතා පැවැත් වෙන්නේ, ජනාධිපති ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීම සඳහා ට්‍රම්ප් පාලන තන්ත්‍රය විසින් උග්‍රකරමින් පවතින කුමන්ත්‍රනයක කොන්දේසි යටතේ ය. ඔක්තෝබර් 18ට පූර්ව දිනවල දී, පාලනයේ නිලධාරීහු සහ ප්‍රමුඛ රිපබ්ලිකානුවෝ, විරෝධතා “ඇමරිකානු වෛරී රැලියක්” ලෙස හෙලා දුටුහ. එමෙන් ඔවුහු,  විරෝධතාකරුවන් “ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගසමින්, ඒවා සංවිධානය කරන අයට එරෙහි ව පරීක්ෂන ආරම්භ කරන බවට තර්ජනය කලහ. ට්‍රම්ප්ට ඔහුගේ ඍජු අන යටතේ එක්සත් ජනපදය පුරා හමුදාව යෙදවීමට පුලුල් බලතල ලබා දෙන, කැරලි පනත ක්‍රියාත්මක කිරීමට ද ධවල මන්දිරය කැසපොට ගසමින් සිටී. 

වොෂින්ටන් ඩී.සී., චිකාගෝ, ලොස් ඇන්ජලීස්, පෝට්ලන්ඩ් සහ මෙම්ෆිස් ඇතුලු ප්‍රධාන ඇමරිකානු නගරවල ජාතික ආරක්ෂක භටයින් දැනටමත් යොදවා ඇත. රටේ තුන්වන විශාලතම නගරය වන චිකාගෝ හි, පදිංචිකරුවන් පොලිසිය, අයිසීඊ සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගේ ඒකාබද්ධ කක්ඩායමක් විසින් දිනපතා එල්ල කරන ප්‍රහාරවලට මුහුන දෙමින් සිටින අතර, ජාතික ආරක්ෂකක භටඛන්ඩ, තවදුර   ක්‍රියාමාර්ග ගැනීම සඳහා සූදානමින් එහි යොදවා ඇත.

ධවල මන්දිරයෙන් නැගෙන භාෂාව සිවිල් යුද්ධයේ භාෂාව යි. ට්‍රම්ප් “ඇතුලත සතුරාට” එරෙහි ව හමුදාව භාවිතා කරන ලෙස කැඳවුම් කර තිබේ. ධවල මන්දිරයේ නියෝජ්‍ය මාන්ඩලික ප්‍රධානී ස්ටීවන් මිලර්, ඩිමොක්‍රටික් පක්ෂය පවා “දේශීය අන්තවාදී සංවිධානයක්” ලෙස විස්තර කර ඇත. ට්‍රම්ප්, ධවල මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීමට විවෘත ව කුමන්ත්‍රනය කරන නව නාසිවාදීන්ට, ක්‍රිස්තියානි ජාතිකවාදීන්ට සහ අන්ත දක්ෂිනාංශික ප්‍රචාරකයින්ට විවෘත කර තිබේ.

දිග හැරෙමින් ඇත්තේ, තාවකාලික අපගමනයක් හෝ ක්ෂනික ව වියැකී යන සංසිද්ධියක් නොවේ. “සාමාන්‍ය තත්ත්වයට නැවත පැමිනීමක්” සිදු නොවනු ඇත. ට්‍රම්ප් පාලනයත් සමඟ, ඇමරිකානු පාලක පන්තිය ව්‍යවස්ථාමය පාලන ක්‍රමවලින් බිඳී වෙන් වෙමින් සිටී.

තීරනාත්මක ප්‍රශ්නය නම්: කල යුත්තේ කුමක් ද? ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය පරාජය කල හැකි වන්නේ කෙසේ ද?

ඔක්තෝබර් 18දා විරෝධතා, එක්සත් ජනපදය තුල ෆැසිස්ට්වාදී ආඥාදායකත්වයක් පිහිටු වීමට ට්‍රම්ප් පාලනය දරන උත්සාහයන්ට එරෙහි දැවැන්ත විරුද්ධත්වය පිලිබිඹු කරයි. “රජුන් එපා” යන කේන්ද්‍රීය සටන් පාඨය ප්‍රකාශයට පත් කරන්නේ, ඒකාධිපතිත්වයට එරෙහි දැවැන්ත මහජන වෛරය යි (ට්‍රම්ප් පාලන තන්ත්‍රයේ නව-නාසි වැඩසටහනේ වර්තමාන සන්දර්භය තුල, “ෆියුරර්වරු එපා” --ෆියුරර් -නාසි ජර්මනියේ හිට්ලර්ගේ නායකත්වය අඟවන අරුත දෙන වචනය-- යන්න අපි එයට එකතු කරන්නෙමු). කෙසේ වෙතත්, ඒකාධිපතිත්වය නැවැත්වීමට වෛරය සහ කෝපය ප්‍රමානවත් නොවේ. අත්‍යවශ්‍ය ම සහ වඩාත් ම තීරනාත්මක වන්නේ, මෙම අරගලය මෙහෙය වීම සඳහා පැහැදිලි වැඩසටහනක් සහ දේශපාලන මූලෝපයකි.

ට්‍රම්ප්, කතිපයාධිකාරය සහ යුද්ධය

ට්‍රම්ප් පරාජය කර ඉතිහාසයේ කුනු කූඩයට යැවීමට නම්, මුලින්ම මෙම දාමරික කල්ලිය නියෝජනය කරන්නේ කුමක්දැයි තේරුම් ගැනීම අවශ්‍ය වේ. ට්‍රම්ප් හුදු තක්කඩි පුද්ගලයෙකු නොව, ඇමරිකානු ධනවාදී කතිපයාධිකාරයේ දේශපාලන නියෝජිතයා ය. ඔහු මූල්‍ය සමපේක්ෂනය, පරපෝෂිතභාවය සහ කම්කරු පන්තිය අත්විඳින නිමක් නැති දරිද්‍රතාවය හරහා දශක ගනනාවක් තිස්සේ පොහොසත් වී ඇති පාලක පන්තියක පුද්ගලාරෝපනයයි.

තම කාලයේ දී හිට්ලර් බලයට පත් කරනු ලැබුවේ ජර්මානු පාලක පන්තියේ බලවත් ම කොටස් විසිනි. ෆියුරර් කෙනෙකු වීමේ අභිලාෂයෙන් පසුවන ට්‍රම්ප් සම්බන්ධයෙන් ගත් කල, පසුගිය මාසයේ ප්‍රමුඛ තාක්ෂනික ක්ෂේත්‍රයේ බිලියනපතියන් සමඟ රැස්වීමක් පැවැත් වූ අතර, එහි දී ඔහු ඔවුන්ගේ ධනය තවදුරටත් පුලුල් කිරීම සඳහා “බොහෝ පහසුකම් සම්පාදනය කිරීමට” පොරොන්දු විය. මයික්‍රොසොෆ්ට් හි බිල් ගේට්ස්, ඇපල් හි ටිම් කුක්, ඇල්ෆබෙට් (ගූගල්) හි සුන්දර් පිචායි සහ සර්ජි බ්‍රින්, මෙටා (ෆේස්බුක්) හි මාර්ක් සකර්බර්ග් සහ ඕපන්ඒඅයි හි සෑම් ඇල්ට්මන් ඇතුලු කතිපයාධිකාරීහු  ඔහුගේ “ඇදහිය නොහැකි නායකත්වය” ගැන අතිශයෝක්තියෙන් වර්නනා කරමින් ප්‍රතිචාර දැක්වූහ.

“රජුන් එපා” විරෝධතාවලට ආසන්නයේ පසුගිය බදාදා, ට්‍රම්ප්, ධවල මන්දිරයේ කතිපයාධිකාරීන් දුසිම් ගනනකගේ තවත් රැස්වීමක් පැවැත් වීය. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවකට අනුව , අනාගත උත්සවවල දී බිලියනපතියන් වයින් සහ රසමසවුලින් සන්තර්පනය කෙරෙන සාද පැවත්වීමට භාවිතා කරනු ඇති  ධවල මන්දිරයේ බෝල්‍ රූම් එකක් ඉදිකිරීම සඳහා ඔවුන් ලබා දුන් “අතිවිශාල මුදල් ආධාර ප්‍රමානයන්” සඳහා ට්‍රම්ප් ඔවුන්ට ස්තූති කලේය. “අද රාත්‍රියේ අපට මෙම කාමරයේ බොහෝ අති සාර්ථක දක්ෂ පුද්ගලයන් මුන ගැහෙනවා. එමෙන් ම ඔබ මූල්‍ය අරමුදල් දුන් නිසා, අපි ඔබව සමරන්නෙමු,” යැයි ට්‍රම්ප් මහතා කතිපයාධිකාරීන්ට පැවසී ය.

දේපල වෙලඳාම් ජාවාරම්කරුවෙකු ලෙස කටයුතු කල කාලය තුල බැංකු මගින් දූෂිත මෙහෙයුම් සඳහා මුදල් යෙද වූ ට්‍රම්ප්, ඔවුන්ගේ මිනිහා ය. ඔහුගේ දූෂනය, නොසැලකිලිමත්කම සහ ප්‍රචන්ඩත්වයට ඇති නැඹුරුව ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපේ. සාම්ප්‍රදායික, නෛතික, ව්‍යවස්ථාමය සහ අවිහිංසාවාදී විසඳුම් අත ලඟ නොමැති, උත්සන්න වන ආර්ථික, සමාජීය සහ භූ දේශපාලනික අර්බුද මාලාවක් සමග ගනුදෙනු බේරා ගැනීම සඳහා ඔහු තෝරා ගනු ලැබ ඇත. පෙර නොවූ විරූ නය සහ ලෝක වෙලඳපොලවල ඩොලරයේ වටිනාකම අඛන්ඩ ව ඛාදනය වීම හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකයේ පදනම් කුනු වී ඇත. සියල්ලටත් වඩා ඔවුන් භීතියට පත් ව ඇත්තේ, සමාජයේ අසීමිත කුඩා කොටසක් අත ධනය ජුගුප්සාජනක ලෙස සංකේන්ද්‍රනය වීමට එරෙහි ව මහජන විරෝධය වැඩෙමින් තිබීම ගැනයි.

ධනවත් ම ඇමරිකානුවන් 400 දෙනා දැන් ඩොලර් ට්‍රිලියන 6.6 කට වඩා පාලනය කරන අතර, ජනගහනයෙන් අතිමහත් බහුතරයක් ඉහල යන උද්ධමනය හා ඛාදනය වන ජීවන තත්වයන්ට මුහුන දී සිටී. එක්සත් ජනපදයේ ගෘහස්ථ නය, වාර්තාගත ඩොලර් ට්‍රිලියන 18.39 ක් කරා ලඟා වී ඇති අතර, ඩොලර් ට්‍රිලියන 1.2 කට වැඩි ක්‍රෙඩිට් කාඩ් නය සහ ඩොලර් ට්‍රිලියන 1.6 ක ශිෂ්‍ය නය ද එයට ඇතුලත් වේ. එවැනි සමාජ අසමානතා මට්ටම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම සමඟ පෑහෙන්නේ නැත.

ට්‍රම්ප්ගේ වාචාල දෙඩවිලි කෙතරම් නොසැලකිලිමත්, විකාර, නොගැලපෙන සහ අභූත සහගත ලෙස පවා පෙනී ගියත්, ඔහුගේ ප්‍රතිපත්තිවල සියලු අංශ සම්බන්ධ කරන තර්කනයක් තිබේ: එනම්, ඒවායේ ඉලක්කය වන්නේ, එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තර ව ඇමරිකානු ධනවාදයේ බංකොලොත්භාවයේ ප්‍රතිවිපාක කම්කරු පන්තිය මත පැටවීම යි.

උදාහරනයක් වශයෙන්, දැනට ක්‍රියාත්මක වන රජයේ වසා දැමීම, ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කිරීමට, සමාජ වැඩසටහන් බිඳ දැමීමට සහ මිලියන සංඛ්‍යාත සේවකයින්ගේ සෞඛ්‍ය සේවා, නිවාස සහ විශ්‍රාම ප්‍රතිලාභ අහිමි කිරීමට පහර දීමේ ආයුධයක් ලෙස යොදාගනිමින් තිබේ. සමාජ ආරක්ෂනය, මෙඩිකෙයා සහ මෙඩිකෙයිඩ් වැනි සෞඛ්‍ය රක්ෂනාවරන කප්පාදු කිරීමට පියවර දැනටමත් සූදානම් කෙරෙමින් පවතී.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි යුද්ධය, විදේශයන්හි අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය පුපුරා යාමෙන් නො වෙන් කල හැකි ය. නිකොලස් මධුරෝගේ ආන්ඩුව පෙරලා දැමීමේ අරමුනින් ඝාතන සහ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ ව්‍යාපාරයක් පුලුල් කරමින්, ට්‍රම්ප් පාලනය වෙනිසියුලාවේ අප්‍රසිද්ධ මෙහෙයුම් සිදු කිරීමට සීඅයිඒ සංවිධානයට රහසිගතව අවසර දී තිබේ. මෑත සතිවල දී, එක්සත් ජනපද හමුදා වෙනිසියුලානු වෙරලට ඔබ්බෙන්වූ යාත්‍රාවලට පහර දී, “මත්ද්‍රව්‍ය විරෝධී” මෙහෙයුම් මුවාවෙන් පුද්ගලයින් 27 දෙනෙකු ඝාතනය කර තිබේ.

ගාසා තීරයේ ට්‍රම්ප්ගේ ඊනියා “සටන් විරාමය” යනු දස දහස් ගනනක් පලස්තීනුවන්ගේ ඇටකටු සහ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් මත නව යටත් විජිතවාදී ජනාවාසයකට වඩා අඩු දෙයක් නොවේ. මෙම අපරාධ සලකුනු කරන්නේ,  මැද පෙරදිග, නැගෙනහිර යුරෝපය, ලතින් ඇමරිකාව සහ පැසිෆික් කලාපය ආවරනය කරමින් දැන් ලෝක යුද්ධයේ ආරම්භක අදියරවලට ඇතුලත් ව ඇති, දශක ගනනාවක් තිස්සේ උත්සන්න කෙරෙමින් පැවැති අධිරාජ්‍යවාදී යුද්ධයේ නව අවධියකි. ධනේශ්වර පන්තියට රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන අතරම විදේශයන්හි ලෝක යුද්ධ කල නොහැක; ආඥාදායකත්වය අධිරාජ්‍යවාදයේ දේශීය මුහුනුවර යි.

ඩිමොක්‍රටික් පක්ෂයේ කාර්යභාරය

දේශපාලන සංස්ථාපිතය තුල බරපතල විරෝධයක් නොමැතිකම මගින් පෙන්නුම් කෙරෙන්නේ, ට්‍රම්ප්  ක්‍රියාත්මක වන්නේ  හුදෙක් තමා වෙනුවෙන්  පමනක් නොවන බවයි. ඇමරිකානු ධනවාදයේ සෑම ආයතනයක් ම ඔහුගේ ඒකාධිපති න්‍යාය පත්‍රය අනුමත කර හෝ එයට අනුගත වී හෝ ඇත.

දෙවන ට්‍රම්ප් පරිපාලනයේ මාස නවය තුල, ඩිමොක්‍රටික් පක්ෂය විරුද්ධ පක්ෂයේ බලවේගයක් නොව, (ට්‍රම්ප්ට) සහයෝගය සහ අනුබලදීමේ බලවේගයක්‍ ය යන්න කිසිදු සැකයකින් තොර ව ඔප්පු වී තිබේ.

2024 මැතිවරනයට පෙර, ට්‍රම්ප් ඒකාධිපතියෙකු ලෙස පාලනය කිරීමට සැලසුම් කරන බවට ඩිමොක්‍රටික් පක්ෂය අනතුරු ඇඟවීය. ඔවුහු ට්‍රම්ප්  ෆැසිස්ට්වාදියෙකු ලෙස පැහැදිලිවම හැඳින්වූහ. නමුත් දැන්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්ලජ්ජිත ව උල්ලංඝනය කරන සාපරාධී  ආන්ඩුවකට මුහුන දී සිටින ඩිමොක්‍රටික් පක්ෂය, ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කිරීම සඳහා උපාය මාර්ගයක් තබා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අසමත් ය. ට්‍රම්ප් කැරලි පනත ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අතර, ඩිමොක්‍රටික් පක්ෂය ඇතුලු විපක්ෂය සාපරාධීකරනය කිරීමට උත්සාහ කරන විට, සෙනෙට් සභාවේ සුලුතර නායක චක් ෂුමර් සහ මන්ත්‍රී මන්ඩලයේ සුලුතර නායක හකීම් ජෙෆ්‍රිස් “ද්විපාර්ශ්විකත්වය” සඳහා කනිපින්දන් ගසමින්  සිටියි. රජයේ වසා දැමීම අවසන් කිරීමට සහ “සෞඛ්‍ය සේවා වඩාත් දැරිය හැකි මිලකට” ලබා දීමට “එකට වැඩ කරන ලෙස” ඔවුන් ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් අයැද සිටින අතර, ඒකාධිපතිත්වය සඳහා උත්සන්න වන කුමන්ත්‍රනය ගැන කිසිවක් නොකියයි.

ඩිමොක්‍රටික් පක්ෂයේ “වාම” අංශයේ නියෝජිත, වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් විශේෂයෙන්ම බියගුලු භූමිකාවක් ඉටු කරයි. මෙම සටනට නායකත්වය දීම සඳහා කිසිදු උපාය මාර්ගයක් ඉදිරිපත් නොකර ඔහු “කතිපයාධිකාරයට එරෙහි ව සටන් කිරීම” ගැන කතා දොඩවයි. හිස් වාචාල පිපිරීම් වලින් ට්‍රම්ප් පරාජය නොවනු ඇත. සැන්ඩර්ස් මහජන විරෝධයක් සඳහා කිසිදු ඉල්ලීමක් හෝ පාලනය ඉවත් කිරීම සඳහා කිසිදු ඉල්ලීමක් නිකුත් කර නැත. ඇමරිකාවේ ඩිමොක්‍රටික් සෝෂලිස්ට් සාමාජික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සහ දැන් නිව්‍ යෝර්ක් නගරයේ නගරාධිපති අපේක්ෂක සොහ්රාන් මම්දානි වැනි පුද්ගලයින් සමඟ ඔහුගේ සම්පූර්න කාර්යභාරය වන්නේ, වැඩෙන මහජන විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස ගාල්කරවීම යි.

ඩිමොක්‍රටික් පක්ෂයේ එකකට එකක් වෙනස් ප්‍රකාශවලින් අනුමාන කල හැකි තාක් දුරට, එහි ඕනෑ ම මුලෝපායක් සම්පූර්නයෙන් ම සමන්විත වන්නේ 1) ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරනයට ආයාචනා කිරීම සහ, 2) 2026 මැතිවරනයේදී කොංග්‍රසයේ පාලනය නැවත ලබා ගැනීම වටා යි. ශ්‍රේෂ්ඨාධිකරනය මත විශ්වාසය තැබීමේ විකාරය ස්වයං-ප්‍රත්‍යක්ෂ ය. 2026 මැතිවරනවල ප්‍රතිඵලය එනතෙක් බලා සිටින අතර, ඒවා පැවැත්වුව ද, එසේ වනු ඇත්තේ,  මිලිටරි සහ ෆැසිස්ට් පැරා මිලිටරි හමුදා එක්සත් ජනපද නගරවල වීදිවල මුර සංචාරයේ යෙදෙන අතරතුර සහ ඡන්ද මධ්‍යස්ථානවලින් පිටත අයිසීඊ ගෙස්ටාපෝ භටයින් ඡන්දදායකයින්ට තර්ජනය කරමින් සිටින තත්වයක යැයි විශ්වාස කිරීමට හොඳ හේතු තිබේ.

ඩිමොක්‍රටිකයන්ගේ බෙලහීනතාව මුල්බැස ඇත්තේ, ඔවුන්ගේ පන්ති අවශ්‍යතා තුල ය. ඩිමොක්‍රටිකයන් සහ රිපබ්ලිකන්වරුන් අතර කුමන උපායික ආරවුල් පැවතුනත්, පක්ෂ දෙක ම ධනේශ්වර ධනය ආරක්ෂා කිරීම, අධිරාජ්‍යවාදී යුද්ධය දියත් කිරීම සහ මහජන විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා එක්සත් වී සිටියි. ධනේශ්වර පාලනයේ පදනම්වලට අභියෝග කරන කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ මහජන ව්‍යාපාරයක් මතුවීම ගැන ඩිමොක්‍රටිකයෝ බිය වෙති. ට්‍රම්ප් සමඟ ඔවුන්ගේ මතභේද සැමවිටම කේන්ද්‍රගත වී ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ඔහුගේ ෆැසිස්ට් ප්‍රහාරය මත නොව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියේ අංශ මත, විශේෂයෙන් යුක්‍රේනයට එරෙහි ව රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය මත ය.

වෘත්තීය සමිතිවල යාන්ත්‍රනය සම්බන්ධයෙන් ගත් කල, ට්‍රම්ප් පාලනය කම්කරු පන්තියට එරෙහි ව යුද්ධයක් දියත් කරන විට එය කිසිවක් නොකරයි.  ඒඑෆ්එල්-සීඅයිඕහි කොන්ද පන නැතිකම අනුව විනිශ්චය කරන විට, වෘත්තීය සමිති මුලින් ම මතු වූයේ ධනේශ්වර සූරාකෑමට සහ දේශපාලන මර්දනයට එරෙහි අරගලයේ සංවිධාන ලෙස බව කිසිවෙකුට කිසිදා දැනගත නොහැකි වනු ඇත. ඒඑෆ්එල්-සීඅයිඕහි සහ එයට අනුබද්ධ සංවිධානවලට කම්කරු පන්තිය ආරක්ෂා කිරීම සඳහා කිසිදු ස්වාධීන ප්‍රතිපත්තියක් නොමැත.

කිසිදු ප්‍රතිරෝධයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කරන අතරම, වෘත්තීය සමිති නිලධරය ප්‍රතිචාර දක්වන්නේ, “ද්විපාර්ශ්විකත්වය” සහ “සම්මුතිය” සඳහා අඳෝනාසහගත ආයාචනා සමගිනි. එක්සත් මෝටර් රථ කම්කරුවෝ සමිතිය සහ ටීම්ස්ටර්ස් ඇතුලු මෙම උපකරනයේ කොටස්, ට්‍රම්ප්ගේ ආර්ථික ජාතිකවාදය සහ වෙලඳ-යුද ප්‍රතිපත්ති පිලිබඳ වැඩසටහන සමඟ විවෘත ව පෙල ගැසී සිටියි.

ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය නැවැත්වීමේ සමාජවාදී වැඩසටහන

ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහි ව විරෝධය පෙලගැස්වීම සඳහා පැහැදිලි සහ හදිසි ඉල්ලීම් පෙරට ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය, “රජුන් එපා” පෙලපාලිවලට සහභාගී වන සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. මේවාට ඇතුලත් විය යුත්තේ:

  • ට්‍රම්ප් පාලන තන්ත්‍රය බලයෙන් ඉවත් කිරීම සහ එහි ෆැසිස්ට්වාදී උපකරන විසුරුවා හැරීම.
  • ඇමරිකානු නගරවලින් සියලු ම හමුදා වහා ම ඉවත් කර ගැනීම සහ මහජන ජීවිතය මිලිටරිකරනය කිරීම නිමාවකට ගෙන ඒම.
  • සංක්‍රමනික කම්කරුවන්ට හිංසා පීඩා කිරීම සහ පිටුවහල් කිරීම අවසන් කිරීම සහ අයිසීඊ සහ ඩීඑච්එස් අහෝසි කිරීම.
  • වෙනිසියුලාවට සහ අනෙකුත් රටවලට එරෙහි සියලු තර්ජන සහ ආක්‍රමනශීලී ක්‍රියාවන් වහා ම අවසන් කිරීම සහ ඇමරිකානු යුද යන්ත්‍රය විසුරුවා හැරීම.
  • බිය ගැන්වීම් හෝ වාරනයක් නොමැති ව ආන්ඩුවට එරෙහි ව විරෝධතා දැක්වීමට, සංවිධානය වීමට සහ කතා කිරීමට ඇති අයිතිය ඇතුලුව නිදහස් භාෂනයේ සහ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
  • සමූහ දොට්ට දැමීම්, සමාජ වැඩසටහන් කප්පාදු කිරීම සහ ජීවන තත්වයන් විනාශ කිරීමට නිමාවක්.

පාලක පන්තියට හෝ එහි දේශපාලන නියෝජිතයින්ට කරන ආයාචනා මගින් මෙම ඉල්ලීම් සාක්ෂාත් කරගත නොහැකි ය. ඒවාට එක්සත් හා සවිඥානික දේශපාලන බලවේගයක් ලෙස ක්‍රියා කරන, කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමක් ඉල්ලා සිටී. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාරයට විරුද්ධ වීමට සහ ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය බිඳ දැමීම සඳහා මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමට කම්කරුවන් සාමූහික ව සංවිධානය විය යුතු ය.

මෙම අරගලය සම්බන්ධීකරනය කිරීම සඳහා සෑම වැඩබිමක ම, කර්මාන්ත ශාලාවක ම සහ අසල්වැසි ප්‍රදේශයක ම සාමාන්‍ය කම්කරුන්ගේ කමිටු පිහිටු වීමට සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කරයි. මෙම කමිටු කම්කරු පන්තියේ සෑම කොටසක් ම - ගුරුවරුන් සහ හෙදියන්, මෝටර් රථ සහ සැපයුම් සේවකයින්, රාජ්‍ය සේවකයින්, තරුනයින් සහ සිසුන් - තනි, බලගතු ව්‍යාපාරයකට ඒකාබද්ධ කල යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රැකියා, වැටුප්, සෞඛ්‍ය සේවා සහ සමාජ සමානාත්මතාව සඳහා වන සටනට සම්බන්ධ කරන ප්‍රතිප්‍රහාරයක පදනම බවට ඒවා පත්විය යුතු ය.

එක්සත් ජනපදයේ ඒකාධිපතිත්වයට එරෙහි අරගලය වර්ධනය කිරීමේ දී, එහි ජාත්‍යන්තර මානයන් තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. සියලු ආකාරයේ ජාතිකවාදී පටු අදහස් වලින් බිඳීම අවශ්‍ය වේ. කම්කරු පන්තියේ ප්‍රබලතම ශක්තිය රඳා පවතින්නේ, එහි ජාත්‍යන්තර ස්වභාවය තුල ය. ඇමරිකානු කම්කරුවන් තමන් ගෝලීය කම්කරු පන්තියක කොටසක් ලෙස දැක ගත යුතු අතර, ට්‍රම්ප්ට එරෙහි තම සටන ගෝලීය පරිමානයෙන් කම්කරු පන්තියේ ව්‍යාපාරය සමඟ සම්බන්ධ කිරීමට සවිඥානික ව උත්සාහ කල යුතු ය. නිෂ්පාදන ක්‍රියාවලියේ සියලු අංශ ගෝලීය ආර්ථික ජාලයන් විසින් පාලනය කරනු ලබන යුගයක, කම්කරු පන්තියේ මූලෝපාය, ජාත්‍යන්තර විය යුතුය.

ඒකාධිපතිත්වය, අසමානතාවය සහ ධනේශ්වර සූරා කෑමට එරෙහි ගෝලීය අරගලයක දී කර්මාන්ත හා ජාතික දේශසීමා හරහා කම්කරුවන් එක්සත් කිරීම සඳහා සසප, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සංධානය (අයිඩබ්ලියුඒ-ආර්එෆ්සී) ගොඩනැගීමට නායකත්වය දෙයි. එක්සත් ජනපදයේ ඒකාධිපතිත්වය ස්ථාපිත කිරීම, සෑම තැනක ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වල ගෙල සිර කිරීම සනිටුහන් කරනු ඇත. ප්‍රතිචාරය ජාත්‍යන්තර විය යුතු අතර, සෑම මහාද්වීපයකම කම්කරුවන් අධිරාජ්‍යවාදී යුද්ධයට සහ සමාජ ප්‍රතික්‍රියාවට එරෙහි පොදු අරගලයක් තුල එක්සත් කල යුතු ය.

1930 ගනන්වල සමස්ත ඓතිහාසික අත්දැකීම පෙන්නුම් කලේ, ෆැසිස්ට්වාදයට එරෙහි සටන ධනවාදයට එරෙහි සහ සමාජවාදය සඳහා වන අරගලයෙන් නොවෙන් කල හැකි බවයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා මූල්‍ය කතිපයාධිකාරය අස්වාමික කිරීම සහ සංස්ථා සහ බැංකු ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන්ගේ පාලනය යටතේ පොදු උපයෝගිතා බවට පරිවර්තනය කිරීම අවශ්‍ය වේ. කීප දෙනෙකු අත සංකේන්ද්‍රනය වී ඇති අතිමහත් ධනය පුද්ගලික ලාභය සඳහා නොව මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කල යුතු ය.

පසුගිය “රජුන් එපා” විරෝධතාවට සහභාගී වූ බොහෝ දෙනෙක් ඇමරිකානු විප්ලවයෙන් ආශ්වාදයක් ලැබුවෝ වූහ. 1775 දී ඇමරිකානු යටත් විජිතවාදීන්ගේ මහා නැගිටීම, බ්‍රිතාන්‍ය රජතුමා බොස්ටන්, නිව්‍ යෝර්ක් සහ ෆිලඩෙල්ෆියා හි කුරිරු පාලනයට එරෙහි විරෝධය බිය ගැන්වීමට සහ මර්දනය කිරීමට හමුදා යෙදවීමෙන් කුපිත කෙරුනු බව සිහිපත් කිරීම අවශ්‍ය වේ. දැන්, නිදහස් ප්‍රකාශනයේ 250 වන සංවත්සරයට අප ලඟා වන විට, මිනිසාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා විප්ලවවාදී කැපවීමේ ආත්මය නැවත පන ගැන්විය යුතු ය. මේවා සැබවින්ම, ශ්‍රේෂ්ඨ ටොම් පේන් සදානුස්මරනීය ලෙස ලියා ඇති පරිදි, “මිනිසුන්ගේ ආත්මයන් පරීක්ෂා කරන කාලයන්” වේ.

පාලක පන්තිය එම විප්ලවයෙන් ස්ථාපිත කරන ලද සහ 1861 සහ 1865 අතර කාලයේ ඒබ්‍රහම් ලින්කන් විසින් නායකත්වය දුන් වහල් ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ මහා අරගලයේ දී නැවත තහවුරු කරන ලද සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම -- දැන් රැකියාවක් සහ ජීවත්වීමට සුදුසු ආදායමක්, ආහාර, නිවාස, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය සඳහා ඇති අයිතිය යන-- සමාජ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙනියන කම්කරු පන්ති ව්‍යාපාරයක වර්ධනයෙන් වෙන් කල නොහැකි ය. මෙම අයිතිවාසිකම් ධනේශ්වර ලාභ ක්‍රමය සමඟ පෑහෙන්නේ නැත.

මෙම අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා සහ ෆැසිස්ට්වාදයට හා ම්ලේච්ඡත්වයට ඇද වැටීම නැවැත්වීම සඳහා, කම්කරු පන්තිය බලය තමන්ගේ අතට ගත යුතු අතර, සමාජවාදී පදනම් මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කරමින්, සමාජ සමානාත්මතාව මත පදනම් වූ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල යුතුය. සමාජවාදී සමානතා පක්ෂය සහ එහි තරුන සංවිධානය වන සමාජ සමානාත්මතාවය සඳහා ජාත්‍යන්තර තරුන හා ශිෂ්‍යයෝ (සසජාතශි), කම්කරුවන්, තරුනයින් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ සමාජ සමානාත්මතාව ආරක්ෂා කිරීමට කැපවී සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ: කර්මාන්තශාලා, සියලුම වැඩබිම්, පාසල් සහ අසල්වැසි ප්‍රදේශවල සාමාන්‍ය සාමාජිකයින්ගේ කමිටු ගොඩනැගීම සඳහා මෙම සටනට උරදෙන ලෙසයි‍.

සසපට බැඳී කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලය සමාජවාදය සඳහා සවිඥානික ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන ලෙස, මෙම මූලෝපායට එකඟ වන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading