ඉදිරිදර්ශන

ඇමරිකා ගිනි කන්ද පුපුරා යාමක: එක්සත් ජනපදයේ සිදු වෙමින් ඇත්තේ කුමක් ද?

එක්සත් ජනපදයේ උත්සන්න වන දේශපාලන අර්බුදය, ධනවාදයේ තියුනු වන කඩා වැටීම තුල මුල් බැසගත්, මිලිටරිය හා ෆැසිස්ට් බලවේග මත පදනම් වූ ආඥාදායකත්වයක් කරා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වේගවත් ධාවනය මගින් සංලක්ෂිත වේ. 

ට්‍රම්ප් තන්ත්‍රය විසින් එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව ඇතුලු සියලු නීති රීති බිඳ දමමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දමන පියවර වාර්තා නොවන දිනයක් නැත. දස ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවන් රුදුරු මර්දනයකට ගොදුරු කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පාගා දැමීම, දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කිරීම, නගර හා ප්‍රාන්ත රාජ්‍යවලට මිලිටරිය දිගේලි කිරීම එලෙස ගෙන ඇති පියවර කිහිපයක් පමනි. ජාත්‍යන්තර ව ගත් කල්හි, ට්‍රම්ප් පාලන තන්ත්‍රය තීරු බදු යුද්ධය දියත් කිරීම, ගාසාවේ ඊශ්‍රායල ජනඝාතක ආක්‍රමනයට සහය දීම ඇතුලු ව ලෝකය සිය අනසකට ගැනීමේ යුද ධාවනය ද වෙනිසියුලාවේ මෙන් තන්ත්‍ර මාරු මෙහෙයුම් ද වේගවත් කර ඇත. 

හෙට, ඔක්තෝබර් 18 දා ට්‍රම්ප්ගේ මෙම ප්‍රහාරවලට එරෙහි ව දස ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානු කම්කරුවන්, තරුනයන් හා අවශේෂ ජනයා “රජුන් එපා” යන සටන් පාඨය යටතේ වීදි බැසීමට නියමිත ය.

ලෝක ධනවාදයේ කේන්ද්‍රයේ පිහිටි එක්සත් ජනපද අර්බුදයේ ගිනිකන්ද පුපුරා යාම වේගයෙන් සිදු වන්නේ එලෙස වුව ද, ලංකාවේ පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) හා අනෙකුත් සියලු ධනපති පක්ෂ ද ඒවා වටා භ්‍රමනය වන ව්‍යාජ වාම සංවිධාන ද, එපමනක් නොව, ජනමාධ්‍ය හා විශ්ලේෂන ලියන පන්ඩිතයෝ ද අමුසොහොනක නිස්ශබ්ධතාවයකින් සිටිති.  

ඉන් ප්‍රදර්ශනය කෙරී ඇත්තේ, ට්‍රම්ප් ආන්ඩුවේ ඒකාධිපති මැර පිලිවෙත්වලට තමන්ගේ ගැතිකම හා අනුමැතිය පමනක් නොව මෙරට වැඩ කරන ජනයා මතට එල්ල කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) මුර්ග කප්පාදු වලට එරෙහිව වර්ධනය වන කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජන නැගිටීම් තලා දැමීම සඳහා ආඥාදායක පිලිවෙත් කරා පැන ගැනීමට එමඟින් ලබා ගත හැකි තල්ලුව පිලිබඳ ගනන් බැලීමකි.

ධනපති සංස්ථාපිතය මෙන්ම ව්‍යාජ වම ද එම කඩා වැටීම මෙරට ජනයාගෙන් දිගින් දිගට ම වසන් කිරීමේ උත්සාහය, තියුනු කප්පාදු වලට ලක් කර ඇති මෙරට වැඩ කරන ජනතාව සිය ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන්ගෙන් වෙන් කරමින් ධනපති-ජාතිකවාදී මඩ ගොහොරුව තුල ගිල්වීමේ ව්‍යායාමයේ කොටසකි. කම්කරුවන්, තරුනයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගයන සියලු දෙනා මෙය ප්‍රතික්ෂේප කල යුතු ය.  

මීට ප්‍රතිකූල ව,සමාජවාදී සමානතා පක්ෂය (සසප), සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතාශී) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws.org) ලංකාවේ කම්කරු, තරුන ජනයා වෙත අවධාරනය කරන්නේ ඇමරිකාව තුල වේගයෙන් වර්ධනය වන තත්ත්වය ගැන තියුනු අවධානය යොමු කරන ලෙසයි. ඒ, ඇමරිකාවේ වර්ධනයන් හැම රටකට ම බලපාන නිසා මෙන් ම, ඒ හා සමාන ව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දැමීමක යෙදෙමින් ඒකාධිපති, ෆැසිස්ට් පාලන ක්‍රම තහවුරු කර ගැනීමට අනෙකුත් රටවල පාලක පන්තීන්ගේ හැරී ගැනීම ද ඉන් ප්‍රකාශයට පත්වන නිසා ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ව නටබුන් වූ යුරෝපය හා ජපානය ඇතුලු ගෝලීය ධනපති පද්ධතිය යලි පන ගන්වා ගත හැකි වූයේ ඇමරිකාවේ ආර්ථික ශක්තිය මතිනි. පසුගිය දශක පහක පමන කාලය තුල ලෝක ධනපති ක්‍රමය තුල නෛසර්ගික ව වැඩෙන පරස්පර විරෝධයන් හේතු කොටගෙන ඇමරිකානු ආර්ථික ශක්තිය එහි ප්‍රතිවිරුද්ධය බවට පත් ව ඇත. අද එරට ලොව ප්‍රධානත ම නයකාර රට බවට පත් ව ඇත්තේ, පුපුරා යාමට ආසන්න ඩොලර් ට්‍රිලියන 37කට අධික නය කන්දක් ගොඩගසා ගනිමිනි. 

රට තුල ඇත්තේ දැවැන්ත සමාජ අසමානතාවයකි. ධන කුවේර කතිපයාධිකාරින් සියයට 1 තමන් අතේ එක්සත් ජනපදයේ සමස්ත ධනයෙන් තුනෙන්-එකක්, එනම්, ඩොලර් ට්‍රිලියන 49ක් ගොඩ ගසාගෙන ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන්නේ මේ සුපිරි ධනවත් අතලොස්සකගේ වුවමනාවන් ය. ට්‍රම්ප් වැඩකරන ජනතාව වෙත එල්ල කරන රුදුරු ප්‍රහාර ඔහුගේ පුද්ගලික කෘරකමේ ප්‍රතිඵලයක් නොවේ. සමාජය මුදුනේ සිටින ධන කුවේරයන්ගේ වුවමනාවන් ඉටු කිරීමේ දී, මෙම පාලක පන්තියට පහලින් සිටින දැවැන්ත වැඩ කරන ජනතාවගේ කිසිදු සමාජ හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකට ඉඩ තැබිය නොහැකි ය. තම අයිතීන් සඳහා නැගී සිටින කම්කරු පන්තිය තලා දැමීමට ට්‍රම්ප් පන්ති යුද්ධය ප්‍රකාශයට පත් කර ඇත්තේ මේ තතු තුල ය. 

එමෙන් ම ලොව සුපිරි මිලිටරි බලවතා ලෙස වාර්ෂික ව ඩොලර් ට්‍රිලියන 10ක පමන ප්‍රමානයක් මිලිටරියට වෙන් කරමින් හා එය ඉහල දැමීමේ ක්‍රියාමාර්ග යෝජනා කරමින් චීනය, රුසියාව, මැද පෙරදිග හා ලතින් ඇමරිකාව ඇතුලු ව ලොව පුරා සිය මිලිටරි ආධිපත්‍ය තහවුරු කර ගැනීමට ක්‍රියාත්මක වී සිටින ට්‍රම්ප් ආන්ඩුව තුන්වන ලෝක යුද්ධයක විනාශය ලෝක ප්‍රජාව ඉදිරියේ ලෙලවමින් සිටියි. මෙම මිලිටරි වියදම් මිරිකා ගන්නේ කම්කරු පන්තියෙනි. 

එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයට ට්‍රම්ප් සැප්තැම්බර් 23 කල කතාව “පලමුව ඇමරිකාව” යන්න ප්‍රකාශ කරමින්, යුද්ධයට හා ආක්‍රමනයට තර්ජනය කරමින් සහ ඔහුගේ පරිපාලනයේ සාපරාධී ක්‍රියාවන් සිංහකරනය කරමින් කල ෆැසිස්ට් ඝෝෂාවක් විය. ඔහු ඉරාන හමුදා අන දෙන නිලධාරීන් ඝාතනය කිරීම ගැන පුරසාරම් දොඩමින් වෙනිසියුලාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ඕනෑ ම අයෙකු සුන්කර දැමීමට තර්ජනය කලේ ය.

ට්‍රම්ප් කතිපයාධිකාරයේ පාලන තන්ත්‍රයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහර දීමට අත් නිදහස් කර දෙමින් ආන්ඩුවේ කුමත්‍රනයේ හවුල්කාරයන් වී සිටින්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. ට්‍රම්ප් ඒකාධිපතිත්වයට එරෙහි ව මහජන විරෝධය බලමුලු ගැන්වීමට ඩිමොක්‍රටික් පක්ෂය හා වෘත්තීය සමිති නිලධරයා භීතියට පත් ව සිටින්නේ කම්කරු පන්ති මහජන ව්‍යාපරය අරගලයට ඒම සමාජවාදී හා විප්ලවවාදී කර්තව්‍යන් මතු කරන හෙයිනි. 

ලෝක ආර්ථික-දේශපාලන අර්බුදයෙන් බැට කන දුර්වල ආර්ථිකයක් පවතින ලංකාවේ 2022 දී, ජීවත්වීමේ මුලික කොන්දේසි තලා දැමීමට එරෙහිව මිලියන ගනන් කම්කරුවන්, දුගීන් හා තරුනයන් සහභාගිවූ මහජන අරගලයට වල කැපීමට, අනෙකුත් ධනපති පක්ෂ, වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග ජවිපෙ/ජාජබ දැනුවත්වම වැඩකලේය. පලමුව, රනිල් වික්‍රමසිංහට බලයට ඒමට පාරකපා, ඔහුගෙන් නිලය තමන් අතට ගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු ක්‍රියාමාර්ගය කම්කරුවන් දුගීන් මත පටවමින් සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීමට, අත්‍යවශ්‍ය සේවා නියෝග, මාර්ගගත සුරක්ෂිතත නීති ඇතුලු මර්දන නීති උසිගන්වන අතර මිලිටරිය හා පොලිසිය දමා විරෝධතා මඩින දිසානායක ආන්ඩුව මෙන්ම කුජීත ධනපති පක්ෂ හා සමිති නිලධරය ද ට්‍රම්ප්ගේ ක්‍රියා දෙස තලුමරමින් බලා සිටිනවා නිසැකය. 

ජනාධිපති ලෙස පලමුවරට එක්සත් ජනපදයට සිදු කල සංචාරයේ දී දිසානයක, ජනාධිපති ට්‍රම්ප් සමඟ ඡායාරූපයකට පෙනී සිටියේය. ලෝකයට ම තර්ජනය කරමින්, ඊශ්‍රායලය සිදුකරන ජනඝාතන අනුමත කරමින් ෆැසිස්ට් වාචාල කතා දෙඩවූ ට්‍රම්ප් සමග එකට සිට ගැනීමට, කලකට පෙර වෙසෙසින්ම ඇමරිකානු අධිරාජ්‍ය විරෝධී හඬ තැලීම්වල යෙදුනු දිසානායකට කිසිදු අපුලක් අවුලක් තිබුනේ නැත. ඒකාධිපති පාලනයක් දිසාවට හැරී සිටින දිසානායකට ඇමරිකාවේ ට්‍රම්ප් හා කලාපයේ අගමැති මෝදී වැනි ප්‍රතිගාමී පාලනයන්ගෙන් සරන අවශ්‍ය ය. 

[Photo: President’s Media Division]

ඇමරිකාව තුල ආඥාදායකත්වයට එරෙහි අරගලය දේශපාලන සංස්ථාපිතයට භාර දිය නොහැක. ආඥාදායක පාලනයක් නතර කලහැකි හැකි එකම සමාජ බලවේගය වන කම්කරු පන්තියේ ස්වාධීන ජාත්‍යන්තර දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීම ඒ සඳහා අවශ්‍ය වේ. 

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සටන් වදින්නේ ඒ් සඳහාය. හතරවැන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එක්සත් ජනපද ශාඛාව වන සසප, ලංකාවේ සසප සහෝදර පක්ෂයයි. මෙම මුලෝපාය සඳහා සටන් කිරීමේදී, ඩිමොක්‍රටික් පක්ෂය වැනි ධනපති පක්ෂ, එහිම අන්ඩක්වන ඩිමොක්‍රටික් සෝෂලිස්ට් එලයන්ස් සහ බර්නි සැන්ඩර්ස් ඇතුලු ව්‍යාජ වම හා වෘත්තීය සමිති නිලධරයෙන් කම්කරු පන්තිය සම්පූර්නයෙන්ම බිඳී සංවිධානය වීමක් අවශ්‍ය වේ. 

හෙට දින ඇමරිකාවේ ට්‍රම්ප් පාලනයට එරෙහිව පැවැත්වෙන මහජන විරෝධයට 'රජුන් එපා! නාසි එකාධිපතියන් එපා! ට්‍රම්ප් ඒකාධිපතිත්වයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!' නමින් එක්සත් ජනපද සසප විසින් පලකර ඇති ඉදිරිදර්ශනය සමාජවාදී ක්‍රියාමාර්ගයක් විස්තාරනය කරමින් පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත:

  • ට්‍රම්ප් පරිපාලනය බලයෙන් ඉවත් කිරීම හා එහි ෆැසිස්ට් තන්ත්‍රය විසුරුවා හැරිම
  • ඇමරිකාවේ නගරවලින් සියලු හමුදා ඉවත්කිරීම සහ මහජන ජීවිතය මිලිටරිකරනය කිරීම අවසන් කිරීම සංක්‍රනික කම්කරුවන් පිටුවාහල් කිරීම සහ ඔවුනට හිංසා කිරීම නතර කිරීම, සහ සංක්‍රමනික හා රේගු නීති බලාත්මක කිරීමේ ආයතනයත් දේශීය ආරක්ෂක ආයතනයත් අහෝසිකිරීම
  • වෙනිසුලාවට හා අනෙකුත් රටවලට එරෙහි ආක්‍රමනකාරී තර්ජන වහා නතර කිරීම හා ඇමරිකානු යුද යාන්ත්‍රනය විදුරුවා හැරිම
  • බියගැන්විමකින් හෝ වාරනයකින් තොරව ආන්ඩුවට එරෙහිව විරෝධතා දැක්වීමට, සංවිධානය වීමට සහ කතා කිරීමට ඇති අයිතිය අතුලුව නිදහසේ අදහස් පල කිරීමට ඇති අයිතිය සහ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම
  • දොට්ට දැමීම්, සමාජ වැඩසටහන් කප්පාදුව හා ජීවන කොන්දේසි විනාශ කිරීම නතර කිරීම

මෙම ඉල්ලීම් පාලක පන්තියට හා ඒවායේ නියෝජිතයන්ට කන්නලවු කිරීමෙන් දිනාගත නොහැකි බව සඳහන් කරන එම ඉදිරිදර්ශනය, කම්කරු පන්තිය දැනුවත් ඒකාබද්ධ දේශපාලන බලවේගයක් ලෙස මැදිහත්වීම ජයග්‍රහනය සඳහා අවශ්‍ය බව අවධාරනය කරයි. එය කම්කරු පන්තිය මෙහෙයවීම සඳහා සෑම වැඩපොලකම හා නිවහන් පෙදෙස්වල කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා අරගලය ඒකාබද්ධ කරන ලෙස ඉල්ලා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීම සඳහා කරන අරගලය ට්‍රම්ප් පාලනය පෙරලා දැමීම සඳහා මහා වර්ජනයක් සුදානම් කිරීම දක්වා පෙරට යාම අවශ්‍යවේ. 

එම ඉදිරිදර්ශනහි මෙසේ ද සඳහන් වේ. 'එක්සත් ජනපදයේ ආඥාදායක පාලනයකට එරෙහි අරගලයෙදී, එහි ජාත්‍යන්තර පරිමානය අවබෝධකරගැනීම අත්‍යවශ්‍ය ය. ජාතිකවාදී පටු ග්‍රාම්‍ය වූ සියලු රුපාකාරයන්ගෙන් බිඳීම අවශ්‍යවේ. කම්කරු පන්තියේ යෝධ ශක්තිය රඳා ඇත්තේ එහි ජාත්‍යන්තර ස්වභාවය මතය. ඇමරිකානු කම්කරු පන්තිය තමන් ගෝලීය කම්කරු පන්තියේ කොටසක් ලෙස දැක ගනිමින් ට්‍රම්ප්ට එරෙහි සටන ගෝලීය පරිමානයේ කම්කරු පන්තික ව්‍යාපාරය සමග එකමුතු කිරීමට ප්‍රයත්න දැරිය යුතුය. නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අංශයක් ම ගෝලීය ජාලයක් මගින් පාලනය වන තතු තුල කම්කරු පන්තියේ මුලෝපාය ජාත්‍යන්තර මූලෝපායක් විය යුතුය.'

එක්සත් ජනපදයේ සසප එම අරගලය මගින් සමාජවාදී පිලිවෙත් කිර්යාවට දැමීම හා ගෝලීය වශයෙන් සමාජවාදී නිෂ්පාදනයට පදනම දැමීමද විස්තාරනය කරමින් විසිවෙනි සියවසේ කම්කරු පන්තියේ මුලෝපායික පාඩම් මත පදනම් වීමේ අවශ්‍යතාව අවධාරනය කර තිබේ.  

ලංකාවේත් දකුනු ආසියාවේත් කම්කරු පන්තියට තම අරගලය වර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයේ යන වර්ධනයන් සහ ට්‍රොට්ස්කිවාදී පක්ෂය දියත්කර ඇති අරගලය වටහා ගැනීම තීරනාත්මකය. ඇමරිකාවේ කම්කරුවන් ට්‍රම්ප්ගේ කතිපයාධිකාරි ආඥාදායකත්ව ධාවනයට එරෙහි අරගලය කලාපයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයේ කොටසකි. 

ඇමරිකාව තුල යන දේශපාලන වර්ධනයන් පිලිබඳව මාක්ස්වාදී විශ්ලේෂනය සම්පාදනය කරන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝක ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws.org) විසිනි. එය දිනපතා කියවන ලෙසත් අප සමග මාක්ස්වාදී- ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය සාකච්ඡා කිරීමට ඉදිරිපත්වන ලෙසත් අපි ඔබෙන් ඉල්ලමු. 

Loading