ඉදිරිදර්ශන

ඔක්තෝබර් 18දා “රජුන් එපා” විරෝධතා සහ ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහි අරගලය

[මෙය The October 18 “No Kings” demonstrations and the fight against Trump’s dictatorship මැයෙන් 2025 ඔක්තෝබර් 20දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]

රාජ්‍ය කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති ජෝර්ජ් වොෂින්ටන්ගේ ප්‍රතිමාව අසල, ඉන්දියානාපොලිස්හි “රජුන් එපා” විරෝධතාවේ කොටසක්

ඔක්තෝබර් 18 සෙනසුරාදා පැවැත්වුනේ “රජුන් එපා” විරෝධතාවල දෙවන රැල්ලයි. මෙම උද්ඝෝෂනවල දී, ට්‍රම්ප් පරිපාලනයේ ආඥාදායක මෙහෙයුමට එරෙහි ව සටන් කිරීමට පවතින අධිෂ්ඨානය පෙන්නුම් කිරීමටත්, එම ඒකාධිපති පාලන තන්ත්‍රයේ ඉහල නිලධාරීන් විසින් ඔවුන්ට ප්‍රති-කොමියුනිස්ට්වාදී මඩගැසීම් කෙරෙහි අතෘප්තියත් පෙන්නුම් කිරීමටත් මිලියන ගනනක් තරුනයන්, කම්කරුවන්, වෘත්තිකයන් හා විශ්‍රාමික ජනයා වීථිවලට ඇදී ආවෝය. 

එක්සත් ජනපදය පුරා ප්‍රාන්ත හා පුරවරයන්හි වෙන් වෙන් ව පැවති 2,700ට අධික විරෝධතා රැලි, සාමූහික ව ගත් කල, රටේ ඉතිහාසයේ දැවැන්ත ම දේශපාලන විරෝධතාවලින් එකක් විය. මෙම විරෝධතාවලට මිලියන හතක් මහජනයා සහභාගි වූ බව සංවිධායකයන් තක්සේරු කල අතර, එය ජුනි මාසයේ පැවති “රජුන් එපා” රැලිවල පලමු වටයේ සහභාගීත්වයට වඩා මිලියන දෙකකින් වැඩි ය.

නිව් යෝක්, බොස්ටන්, චිකාගෝ, ලොස් ඇන්ජලීස් සහ වොෂින්ටන් ඩීසී ඇතුලු ප්‍රධාන පුරවරයන්වල දී ලක්ෂ ගනනින්  සහභාගී වූ මහජන පෙලපාලි පවත්වන ලද අතර, රටපුරා කුඩා නගර හා නගරවල දී දහස්, දසදහස් හා ලක්ෂ ගනනින් සම්බන්ධ වූ තවත් රැලි පැවැත්වූහ. යුරෝපයේ ලන්ඩන්, පැරිස්, බර්ලින්, මැඩ්රිඩ්, ස්ටොක්හෝම් සහ රෝමයේ ද තවත් කුඩා පුරවර දුසිම් ගනනක දී ද දහස් ගනන් දෙනා සමාන්තර රැලිවලට සම්බන්ධ වූහ.

රැලිවල සහභාගීත්වයේ පරිමානය හා පලල, ට්‍රම්ප් වනාහි අභියෝග කල නො හැකි දේශපාලන පතාක යෝධයෙකි යන, සංගත මාධ්‍ය සහ ඩිමොක්‍රටික් පක්ෂය විසින් දිරිමත් කෙරෙන නිල ආඛ්‍යානය කීතු කර දමයි. ඔක්තෝබර් 18දා වීදිවල දී හෙලිදරවු කෙරුනු යථාර්ථය වන්නේ, ට්‍රම්ප් හා ඔහුගේ ෆැසිස්ට්වාදී කැබිනට් චරිත, දැවැන්ත හා වැඩෙමින් පවත්නා මහජන විරුද්ධත්වයකට මුහුනලා සිටින බවයි.

විරෝධතාකරුවෝ- ඔවුන්ගෙන් බොහෝමයක් පැමිනියේ නිවසේ සිට ම තනාගත් විරෝධතා පුවරු අතැති ව ය-  ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීම, සංක්‍රමනිකයන්ට එරෙහි ප්‍රහාරය, නගරවලට මිලිටරි භටයන් දිගේලි කිරීම, මධ්‍යම ආන්ඩුවේ කම්කරුවන් මහා පරිමානයෙන් දොට්ට දැමීම සහ සමාජ වැඩසටහන් බිඳ දැමීම යනාදිය හෙලා දුටුහ.  එ මෙන් ම ඔවුහු, ගාසා ජන සංහාරය, මහා දරිද්‍රතාව මධ්‍යයේ කතිපයාධිකාරය ධනාඪ්‍ය වීම සහ ආඥාදායකත්වය හා යුද්ධය දෙසට වන වේගවත් ධාවනයට ද විරුද්ධත්වය පල කලහ.

ට්‍රම්ප්, උප ජනාධිපති ජේඩී වෑන්ස්, කථානායක මයික් ජොන්සන් හා ධවල මන්දිර මාධ්‍ය ලේකම් විසින් විරෝධතාවන්ට කල් තබා මඩ ගැසීම, සෙනසුරාදා වීදිබට ජනයා කෝපගැන්වූවා මිස, බියට පත් කිරීමට සමත් වූයේ නැත. සිදු වූ එක ම දේ නම්, විරෝධතාකරුවන් “හමාස් ආධාරකරුවන්,”  “ඇන්ටිෆා ත්‍රස්තවාදීන්” , “නීති-විරෝධී පිටස්තරයන්” හා  “ඇට්ටර අපරාධකරුවන්”  යනාදී ලෙස උමතු සහගත හෙලා දැකීම මගින්, සහභාගීවන්නන්ගේ ප්‍රමානය තව තවත් ඉහල යාම යි.

මෙම විරෝධතාවන්ට අනුප්‍රානය සැපයූ මනෝගතීන් පවතින්නේ, ඩිමොක්‍රටික් පක්ෂය ඇතුලත ප්‍රකාශයට පත්වන ඕනෑ ම දේකට වඩා ගව්ගානක් වමෙනි. මහජනයා ගැටුමට එමින් ඇත්තේ, හුදෙක් ෆැසිස්ට්වාදී ට්‍රම්ප් පරිපාලනය සමග පමනක් නො ව, ධනපති කතිපයාධිකාරයේ ම තවත් කොටසක් නියෝජනය කරන ඩිමොක්‍රටිකයන් සමග ද වේ.

ෆොක්ස් නිව්ස්හි මාරියා බාටිරෝමෝ සමග පැවති කලින් පටිගත කරන ලද සාකච්ඡාවක් තුල, “අමතක කරන්න එපා: මට කැරලි මර්දන පනත භාවිතා කල හැකි යි” යැයි ප්‍රකාශ කරමින්, ඉරිදා ට්‍රම්ප් මෙම විරෝධතාකරුවන්ට ඔහුගේ පිලිතුර දුන්නේ ය. ක්‍රියාත්මක කිරීමට ඉතා ආසන්න ව තිබෙන බව පාලනානාධිකාරියේ ඉහල නිලධාරීන් විසින් ඉඟි කර ඇති මෙම පනත යොදාගැනීම, ජනාධිපතිවරයාගේ නියෝගය යටතේ, ක්‍රියාන්විත මිලිටරි හමුදා දිගේලි කිරීමට බලය ලබා දෙයි. ඩිමොක්‍රටික් පක්ෂයෙන් පාලනය කරන ප්‍රාන්ත වෙත ඍජු ව තර්ජනය කල ට්‍රම්ප්, සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත ජාතික ආරක්ෂක භටකායන් යැවීමට සැලසුම් කරමින් සිටින බවට ඇඟවුම් කලේ ය.

ඔහුගේ නාසි හැදියාව හා බුද්ධිමය පහත් භාවයට ගැලපෙන ආකාරයට, ට්‍රම්ප් විරෝධතා දිනයට ප්‍රතිචාර දැක්වූයේ නිවැරදි ව කියන්නේ නම් කුනුහරුපයෙනි. ෆියුරර් (ජර්මන් බසින් විශේෂයෙන්ම හිට්ලර්ට සම්බන්ධව “නායකයා” අරුත දෙන වචනයකි) කෙනෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටින ට්‍රම්ප්, ඔටුන්නක් පැලඳ, “ට්‍රම්ප් රජු” යන වචනවලින් විච්චූරන කෙරූ ගුවන් යානයක් පදවමින්, ටයිම්ස් චතුරස්‍රයේ විරෝධතාකරුවන්ට ගුවනින් අශුචි වත් කරමින් ඉගිලෙන වීඩියෝවක්, ඔහු ඔහුගේ සමාජ මාධ්‍ය ගිනුමේ බෙදා හැරියේ ය. වෑන්ස් විසින් පලකරන ලද තවත් වීඩියෝවක් (කෘතීම බුද්ධිය යොදා සැකසූ) ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලනඥයන් ට්‍රම්ප් ඉදිරියේ හිස පාත්කරද්දී, තම බලය පෙන්වමින් ඔටුන්නක් පැලඳ කොපුවෙන් කඩුවක් ඇදීම චිත්‍රනය කලේ ය.

මම සෑම සතියක දී ම “මාක්ස්වාදයේ හා සමාජවාදයේ අන්තරායන් ගැන ඔබ සමග කතා කිරීමට කැමතියි” යි ඒබීසී නිවුස් සේවයේ “දිස් වීක්“ සම්මුඛ සාකච්ඡා වැඩසටහනේදී සඳහන් කරමින් කොංග්‍රස් කතානායක මයික් ජොන්සන් ඇමරිකානු පාලක පන්තියේ ගැඹුරුතම භීතීන් ප්‍රකාශයට පත් කලේ ය. “එය අනතුරුදායක දෘෂ්ටිවාදයක්, ඒක ඇමරිකානු-විරෝධියි. ඒ වගේම එය, අප පෙනී සිටින සෑම දෙයකට ම එරෙහි ව යනවා” යි ඔහු තව දුරටත් කීවේ ය. සීමිත ප්‍රතිසංස්කරන වැඩසටහනක් (මෙය ඔහු  විසින් වේගයෙන් ප්‍රතික්ෂේප කරමින් සිටී)  ඉදිරිපත් කරමින් තරඟ වදින සෝරාන් මම්දානි නිව් යෝක් නගරාධිපති ලෙස  තේරී පත්වීමේ හැකියාව ගැන  පෙන්නුම් කරමින්,  “ඩිමොක්‍රටික් පක්ෂය තුල මාක්ස්වාදයේ නැගීම” ගැන ජොන්සන් අනතුරු ඇඟවූයේ ය.

ප්‍රචන්ඩත්වයේ තර්ජන සමගින්, ට්‍රම්ප් හා රිපබ්ලිකන් ෆැසිස්ට්වාදීන් විසින් ඔක්තෝබර් 18 විරෝධතා ප්‍රචන්ඩ ලෙස හෙලා දැකීම, වර්ධනය වන විරුද්ධත්වය හා මහජනයාගේ දේශපාලනික රැඩිකලීකරනය වීම ගැන ධනපති කතිපයාධිකාරීන්ට පවතින භීතිය ප්‍රකාශයට පත් කරයි. විරෝධයේ සෑම ප්‍රකාශ වීමක් තුල ම ඔවුහු සමාජවාදී විප්ලවයේ අවතාරය දැක ගනිති. ඔවුන්ගේ ෆැසිස්ට්වාධී ලෝක දෘෂ්ටියට අනු ව, ඇමරිකානු පාලක පන්තියේ පැරැනිත ම ධනපති පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේ බෙලහීන ප්‍රතිසංස්කරනවාදී ආයාචනා පවා දැකගනු ලබන්නේ, කැරලිකාරීත්වය අවුලුවන හා සමාජවාදය යුක්ති යුක්ත කරන දේවල් ලෙසිනි.

සත්‍ය වසයෙන් ම කිසිවකට සත්‍යයෙන් දුරස්විය නො හැක. සෙනසුරාදා පැවති මහජන විරුද්ධත්වයට ගැඹුරින් ම හතුරු ව සිටින ඩිමොක්‍රටික් පක්ෂය, එහි වැදගත්කම අවතක්සේරු කිරීමට කඩිනමින් ක්‍රියාත්මක වෙමින් සිටී. බොහෝ දුරට ට්‍රම්ප්ගේ ආර්ථික හා සමාජ වැඩපිලිවෙල ම දරා සිටින එය , ට්‍රම්ප්ට එරෙහි කිසිදු මහජන ව්‍යාපාරයකට විරුද්ධ ය.

ඩිමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පුවත්පත වන නිව් යෝක් ටයිම්ස් ඉතා ම පැහැදිලි ව මෙය ප්‍රකාශයට පත් කලේ, ඉරිදා උදෑසන තම වෙබ් අඩවියේ නොසැලකිලිමත් ලිපි දෙකක් මුල් පිටුවේ කුඩාවට  පල කරමිනි.

එහි මුද්‍රිත සංස්කරනයේ ඒ17 පිටුව මත පලකරන ලද, “ආයෙමත් ට්‍රම්ප් එපා!: රට පුරා විරෝධතාකරුවෝ ජනාධිපතිවරයා හෙලා දකිති” මැයෙන් පල කල පලමු ලිපිය, විරෝධතාවල තරම පිලිබඳ කිසිදු තක්සේරුවක් නොදුන් අතර, විරෝධතාවල යෝධ පරිමානය දැනුම් දීමට ද කිසිදු ප්‍රයත්නයක් නොදැරී ය. “දහස් ගනන් ජනයා ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට විරෝධය පලකරද්දී, වෑන්ස් නාවික භටයන්ගේ ශක්තිය මුදා හරියි” යන දෙවන ලිපිය, “සිය බලය රජෙක් මෙන් භාවිතා කරන්නේ යයි ඔවුන් චෝදනා කල ජනාධිපතිවරයෙකුට එරෙහි ව රට පුරා දහස් ගනන් ජනයා විරෝධය පලකරති” (අවධාරනය ඈඳිනි) මවිතය පලකරමින් ලීවේ ය. ඉරිදා හවස වන විට, මෙම ලිපි දෙක පවා ටයිම්ස්හි මුල් පිටුවෙන් ඉවත් කෙරී තිබුනි. 

ඔක්තෝබර් 18 විරෝධතාවන් සූදානම් වෙමින් පවතින කාලයේ දී, ඩිමොක්‍රටික් නායකයෝ එවැන්නක්  සිදු වෙමින් පවතින බව පවා නො තකා හැරියෝ ය. විරෝධතාවල මුව විට දී පමනක්, ඒවා කොතරම් විශාල වේදැයි පැහැදිලි වූ විට, පක්ෂ නායකයෝ ඇල් මැරුනු සහයෝගී ප්‍රකාශ නිකුත් කලහ. සෙනෙට් බහුතර නායක චක් සූමර්, නිව් යෝක් නගරයේ වෘත්තීය සමිති නිලධාරීන් අතර පෙලපාලි යන ඔහුගේ ම ඡායාරූප පලකලේ “ඇමරිකාව තුල අපට ආඥාදායකයින් නැත” යි දියාරු ලෙස ප්‍රකාශ කරමිනි- මෙය, ඩිමොක්‍රටික් පක්ෂයේ සහයෝගීත්වයෙන් ට්‍රම්ප් ආඥාදායකයෙකු ලෙස කටයුතු කිරීම කෙරෙහි පරස්පර විරෝධී ප්‍රකාශයකි. 

ඩිමොක්‍රටිකයන්ගේ මැදිහත් වීමේ මුලුමහත් ඉලක්කය වන්නේ, විරුද්ධත්වය වාෂ්ප කරමින් මිලියන ගනනගේ මහා කෝපය තම පක්ෂයේ ම ප්‍රතිගාමී, යුද-ගැති හා ධනවාදයට ගැති න්‍යාය පත්‍රය පිටුපසට ගාල්කරවා ගැනීම යි. නායක ඩිමොක්‍රටිකයන් එක්සත් ජනපද ඉතිහාසයේ විශාලත ම විරෝධතා ව්‍යාපාරය කිසි දිනක සිදු නොවූ දෙයක් ලෙස සලකමින් විරෝධතාවට පසු දින එය ක්‍රියාකල ආකාරයෙන් මෙය වඩාත් විශද විය.

ඒබීසීහි විකාශය වන “මේ සතිය” වැඩසටහනේ දී, ජොන්සන්ට පසු ව පෙනී සිටි කොංග්‍රස් සුලුතර නායක හකීම් ජෙෆ්‍රීස්, විරෝධතා, ට්‍රම්පගේ කෘතිම බුද්ධි ප්‍රචාරන වීඩියෝවන් හෝ ජනාධිපතිගේ ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම සඳහා කර ගෙන යන කුමන්ත්‍රනය ගැන සඳහන් නො කලේ ය. ඒ වෙනුවට, ඔහු මුලුමනින් ම යොමු වූයේ “ද්විපාක්ෂික හවුල්කාරිත්වය” ගැන හා ආන්ඩුව වසා දැමීම අවසන් කිරීම සඳහා රිපබ්ලිකානුවන් සමග “සාකච්ඡා කිරීම” ගැන වූ ඇවටිලිවලට ය. “අපට එකට වාඩි වී, පිරිවැය එකඟතාවක් ක්‍රියාත්මක කිරීමට ද්විපාක්ෂික මාවතක් සොයාගැනීමට අවශ්‍ය  යැයි” ජෙෆ්‍රීස් කීවේ, ඇෆෝඩබල් කෙයා පනතේ සහනාධාර ගැන ට්‍රම්ප් සමග “එකගතාවකට” එලැඹීමේ හැකියාව ගැන කූත්තු කරමිනි. 

ඩිමොක්‍රටික් පක්ෂය ඇතුලත “වාම“ ලෙස පෙනී සිටින සියල්ලෝ -සියල්ලට ඉහලින් සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස්- ඉටුකරන්නේ, විශේෂයෙන්ම ගඳ ගහන ක්‍රියා කලාපයකි. පලමුව වර්මොන්ට්හි කුඩා රැස්වීමක් ඇමතීමට කල සැලැස්මෙන් පසු, වොෂින්ටන් ඩීසීහි ප්‍රධාන රැලියට උඩින් පැනීමට සෑන්ඩර්ස් අවසන් මිනිත්තුවේ ගත් තීරනය, මිලියන ගනනකගේ වැඩෙන රැඩිකලීකරනය පෙරලා ඩිමොක්‍රටික් පක්ෂයේ ආරක්ෂිත සීමාවන් තුලට හරවා යැවීමට  ගනන් බලා සිදු කල මැදිහත් වීමක් විය.

සෑන්ඩර්ස්ගේ කතාව එහි ශුද්ධත ම රූපයෙන් වාචාල දෙඩවිල්ලක් - කිසිදු දේශපාලනික අන්තර්ගතයකින් තොර ව කල සදාචාරවාදී ආයාචනාවන් හා බිලියනපතියන් ව හෙලාදැකීම්වල සංක්ෂේපයක් විය. “නිදහස,”  “ප්‍රජාතන්ත්‍රවාදය” සහ ඒකාධිපතිත්වයේ අන්තරාය සඳහන් කල ද ධනවාදය හෝ සමාජවාදය ගැන ඔහු කිසිදු විටක සඳහන් කලේ නැත. “වැඩකරන පවුල් වෙනුවෙන් සටන් කිරීම” ගැන සෑන්ඩර්ස් කතා කල ද තමන් යෝජනා කරන්නේ කවර වර්ගයේ අරගලයක්දැයි ඔහු යෝජනා නො කලේ ඔහු එවැන්නක් යෝජනා නො කරන නිසා ය.

සෑන්ඩර්ස් කල වඩාත් ම වැදගත් ප්‍රකාශය වූයේ මෙයයි: “මගේ රිපබ්ලිකන් සගයන්ට මම කියන්නේ, මාස ගනනක් දිග ඔබේ නිවාඩුවෙන් ආපසු පැමින, සාකච්ඡා කිරීම ආරම්භ කරන්න; ඇමරිකානු සෞඛ්‍යාරක්ෂන පද්ධතිය විනාශ කිරීමට ඉඩ නොදෙන්න. මේ (ආන්ඩුව) වසා දැමීම අවසන් කරන්න.”  මෙම “සගයන්” වන්නේ ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී සම-කුමන්ත්‍රනකරුවන් ය. ආන්ඩුව කැරලි මර්දන පනත ක්‍රියාත්මක කර, මහජනයාට විරුද්ධ ව මිලිටරිය දිගේලි කිරීමට කටයුතු කරද්දී “සාකච්ඡාවේ” හවුල්කරුවන් ලෙස ඔවුන්ට ඇමතීම හුදෙක් බොලඳකමක් පමනක් නොවේ. එය දේශපාලනික ව සහයෝගීවීමේ ක්‍රියාවකි. 

ඊලඟට ඇත්තේ, විරෝධතාවන් රූපික ව අනුමත කලේ වී නමුත්, විරෝධතාවන් සඳහා සිය සාමාජිකයන් බලමුලුගැන්වීමට ප්‍රයත්නයක් නො දැරූ වෘත්තීය සමිති යාන්ත්‍රනයයි. එසේ වෙතත්, බොහෝ කම්කරුවෝ ස්වේච්ඡාවෙන් විරෝධතාවන්හි සහභාගි වූහ.

නිව් යෝක් නගරයේ කම්කරු කන්ඩායමක් සැලකිය යුතු ආකාරයකින් සංවිධානය කොට නොතිබුනි. එයට යාබද නගරයක වෙන ම පැවැත්වූ “කම්කරු රැලියට” සුලු සහභාගීත්වයක් පැවැති අතර, ඒ, නිලධරයන්ගේ ආධිපත්‍යය යටතේ මිස, සාමාන්‍ය කම්කරුවන්ගේ සහභාගීත්වයෙන් තොර ව ය. එක්සත් මෝටර් කම්කරු සමිතිය (යූඒඩබ්ලිව්), විරෝධතාවන්ට අනුමැතිය නො දුන් අතර, ඇමරිකානු මෝටර් කර්මාන්තයේ ඓතිහාසික මධ්‍යස්ථානය වන ඩිට්‍රොයිට්හි සාමාජිකයන් බලමුලුගැන්වූයේ නැත. ශෝන් ෆේන් යටතේ පවතින යූඒඩබ්ලිව් යාන්ත්‍රනය, ට්‍රම්ප් පරිපාලනයෙහි ආර්ථික ජාතිකවාදයේ හා වෙලඳ යුද්ධයේ වැඩසටහන සමග විවෘත ව පෙලගැසී ඇත. 

 “රජුන් එපා”  විරෝධතා නියෝජනය කරන්නේ අර්ථභාරී දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යයකි. ජුනි මාසයේ පැවති අවසන් විරෝධතාවන්ගේ පටන්, ආඥාදායකත්වයක් ගොඩනැගීම සඳහා ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය වේගවත් වී ඇත්තේ, රට පුරා යෝධ විරුද්ධත්වයක් ජනනය කරමිනි. “මට දැන් ඩිමොක්‍රටික් පක්ෂය ගැන ලොකු විශ්වාසයක් නැහැ” යි ප්‍රකාශ කල ගොඩනැගිලි කම්කරුවෙක් ගෙන් උපුටා දක්වමින්, එන්බීසී සටහන් කල පරිදි ට්‍රම්ප්ට පවතින හතුරුකම, ඩිමොක්‍රටික් පක්ෂයේ සිටින ඔහුගේ ඒකාබද්ධතාකරුවන් වෙත ද වේගයෙන් විස්තාරනය වේ.  තවත් කම්කරුවෙක් මෙසේ කීවේය: “විශාල වසයෙන්, ඩිමොක්‍රටික් පක්ෂය ද සංගත අවශ්‍යතා විසින් මිලට ගන්නවා, සාමාන්‍ය වැඩකරන ජනයා වෙනුවෙන් පෙනී සිටිමට එම පක්ෂය අසමත්”.

එවන් මනෝගතීන් වාර්තා කිරීම සංගත මාධ්‍යවලට පැහැදිලි ව ම අසාමාන්‍ය වේ. වඩාත්ම අත්‍යසාමාන්‍ය වූයේ, බ්‍රිතාන්‍ය ද ගාඩියන් පුවත්පතේ එක්සත් ජනපද සංස්කරනයේ වාර්තාව වන අතර, එය මෙසේ සටහන් කලේ ය: “වාමාංශික කන්ඩායම් පැහැදිලි දේශපාලන ක්‍රියාමාර්ගයක් සහ සංයුක්ත ඉල්ලීම් පැහැදිලි ව හඬනැගීමට  කැඳවුම් කර තිබේ. රජුන් එපා, නාසි නායකයින් එපා! ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලුගන්වනු! යනුවෙන් ඔක්තෝබර් 15දා පල කල ප්‍රකාශයක් තුල, ‘රජුන් එපා’ යන කේන්ද්‍රීය සටන් පාඨය ඒකාධිපතිත්වය කෙරෙහි යෝධ මහජන හතුරුකම උච්ඡාරනය කරතියි කී සමාජවාදී සමානතා පක්ෂය, ‘ආඥාදායකත්වය නැවැත්වීම සඳහා කෝපය හා සාහසිකත්වය පමනක් ප්‍රමානවත් නො වේ’ යි අනතුරු ඇඟවී ය.”

මෙම මහජන ශ්‍රාවකත්වය ඉදිරියේ “පැහැදිලි දේශපාලනික ක්‍රියාමාර්ගයක් හා සංයුක්ත ඉල්ලීම්” තැබූ එක ම සංවිධානය සමාජවාදී සමානතා පක්ෂය ය යන්න වෛෂයික සත්‍යයකි. සසප සාමාජිකයෝ හා ආධාරකරුවෝ මෙන් ම සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝහි සාමාජිකයෝ  එක්සත් ජනපදය පුරා දුසිම් ගනනක් ස්ථානවල දී අත් පත්‍රිකා දසදහස් ගනනක් බෙදාහැරියෝ ය.

ද ගාඩියන් විසින් ඉහත දී උපුටා දක්වන ලද ප්‍රකාශය රැගත් අත් පත්‍රිකා ස්ථානයෙන් ස්ථානයට පෙලපාලිකරුවන් විසින් උනුසුම් ව පිලිගනු ලැබී ය. ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී කුමන්ත්‍රනය සහ එයට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද: සමාජවාදී මූලෝපායක් නමැති සසප මෑත දී පල කල ප්‍රකාශය ඇතුලත් නව පොත් පිංචක පිටපත් සිය ගනනක් ද  හොඳින් අලෙවි විනි.

ගාසාවේ ජනසංහාරයට එරෙහි මහජන විරෝධතාවල අත්දැකීම තීරනාත්මක පාඩමක් සම්පාදනය කරයි. ලොව පුරා කෝටි ගනන් දෙනා සහභාගි වූ එම විරෝධතාවල පරිමානය නො තකා, සංහාරය නැවැත්වීමට ඒවා අසමත් වී ඇත්තේ, එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂය ඇතුලු පාලක පන්තියේ පක්ෂවලට එම විරෝධාවන් දේශපාලනික ව යටත් වී තිබීම නිසා ය. 

ට්‍රම්ප්ට හා ෆැසිස්ට්වාදයට එරෙහි සටනේ දී, ඩිමොක්‍රටික් පක්ෂය වෙත කරන ඕනෑ ම යටත් වීමක් මුලුමනින් ම මාරාන්තික වේ. රැලිවල දී මහා පරිමානයෙන් බෙදා හරින ලද සසප ප්‍රකාශය විස්තර කරන පරිදි, ට්‍රම්ප් පාලන තන්ත්‍රය අපසරනයක් නො ව, රෝගාතුර සමාජ පර්යායක නිෂ්පාදිතය යි. එය කතිපයාධිකාරයට අයත්, කතිපයාධිකාරය විසින් පාලනය කරන, කතිපයාධිකාරය සඳහා ක්‍රියාත්මක වන ආන්ඩුවකි. ට්‍රම්ප් “තෝරාගනු ලැබ ඇත්තේ, සාම්ප්‍රදායික, නෛතික, ව්‍යවස්ථාමය හා සාමකාමී විසඳුම් නැති, තීව්‍ර වන ආර්ථික, සමාජ හා භූ-දේශපාලනික අර්බුදයන් මාලාවක් සමග ගනුදෙනු කිරීමට යි.”

වර්තමාන අර්බුදයේ ප්‍රතිඵලය රඳා පවතින්නේ, එක ම සැබෑ විප්ලවවාදී සමාජ බලවේගය වන කම්කරු පන්තිය, ස්වාධීන ව, සවිඥානික ව, තමන්ගේ ම ක්‍රියාමාර්ගය සහිත ව දේශපාලන තත්ත්වයට මැදිහත් වන්නේ ද යන්න මත ය. මිලියන ගනන් වීදි බට අතර බොහෝ කම්කරුවන් සහභාගි වූ නමුත්, පන්ති අරගලයේ විධික්‍රම හරහා කම්කරු පන්තිය තවමත් ස්වාධීන ව තත්වයට මැදිහත් වී නැත.

සෑම වැඩපොලක, පාසලක හා නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා සසප සටන් කරයි. ට්‍රම්ප් ආන්ඩුව විසින් ක්‍රියාත්මක කෙරෙමින් පවතින පොලිස් රාජ්‍ය පියවරයන්ට එරෙහි ව, කම්කරුවන්ගේ ආර්ථික හා සමාජ අවශ්‍යතා පමනක් නො ව, ඔවුන්ගේ අතිමූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වල ආරක්ෂාව ද මෙම කමිටු ඒවා අතට ගත යුතු ය. සියලු කර්මාන්ත හා දේශසීමා හරහා කම්කරුවන්ගේ අරගල එක්සත් කිරීමට, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රිකජාස) හරහා එම ක්‍රියාකාරී කමිටු ජාතික ව හා ජාත්‍යන්තර ව සම්බන්ධීකරනය කල යුතු ය.

තමන්ගේ ම ස්වාධීන පදනමක් මත කම්කරු පන්තිය දේශපාලන අරගලයට ඇතුල් වීම, සමස්ත තත්ත්වය ම පරිවර්තනය කරනු ඇත. ආඥාදායකත්වයට හා යුද්ධයට විරුද්ධ නමුත්, පැහැදිලි දේශපාලන විකල්පයක් රහිත මිලියන ගනන් දෙනාට, එය විප්ලවවාදී ආකර්ශන ධ්‍රැවයක් සම්පාදනය කරනු ඇත.

ක්‍රියාත්මක වන ඓතිහාසික, දේශපාලනික හා පන්ති බලවේග ගැන පැහැදිලි අවබෝධයකින්, කම්කරුවන්ගේ හා තරුනයන්ගේ වර්ධනය වන ව්‍යාපාරය සන්නද්ධ කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදිමින් සිටී. එක්සත් ජනපදයේ ආඥාදායකත්වයට එරෙහි සටන, අධිරාජ්‍යවාදී යුද්ධයට, සමාජ අසමානතාවට සහ ධනවාදී සූරාකෑමට එරෙහි ව ලොව පුරා කම්කරුවන්ගේ අරගලයෙන් වෙන් කල නො හැකි ය. ඉදිරි මාවත වැටී ඇත්තේ, සමාජවාදය සඳහා පොදු අරගලයක් සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය එකමුතු කිරීම තුල ය.

Loading