[මෙය The class issues in the New York City mayoral election යන මැයෙන් 2025 ඔක්තෝබර් 29 දා පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි. මෙම ලිපිය පලවූයේ, ඩිමොක්‍රටික් සෝෂලිස්ට් අපේක්ෂක සොහ්රාන් මම්දානි, නොවැම්බර් 4දා මැතිවරනයෙන් ජයගැනීමට පූර්වයෙනි. ]
නිව් යෝර්ක් නගරයේ මැතිවරන දිනයට ඇත්තේ සතියකටත් අඩු කාලයකි, ඒ සඳහා පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම් (early voting) දැනටමත් ආරම්භ වී ඇත. මත විමසුම්වලින් පෙනී යන්නේ, ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඇමරිකා (ඩීඑස්ඒ) පක්ෂ සාමාජික සොහ් රාන් මම්දානි තේරී පත් වනු ඇති බවයි; එමඟින්, සමාජවාදියෙකු යැයි කියා ගන්නා කෙනෙකු, ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානය සහ වෝල් වීදියේ නිවහන වන, එක්සත් ජනපදයේ විශාලතම නගරයේ නගරාධිපති ධුරයට ගෙනෙනු ඇත.
ජුනි මාසයේ පැවති ඩිමොක්‍රටික පක්ෂයේ ප්‍රාථමික මැතිවරනයේ දී, නගරයේ දේශපාලන සංස්ථාපිතයේ ප්‍රියතම අපේක්ෂකයා වූ හිටපු ආන්ඩුකාර ඇන්ඩෲ කුඕමෝ පරාජය කිරීමට, පසුගිය වසර තුල කිසිවෙකු පාහේ නොදැන සිටි මම්දානි නම් අයෙකු නැගී සිටියේ ය. එතැන් පටන්, ඡන්ද විමසීම් වල දී, මම්දානි සිටින්නේ, ස්වාධීන අපේක්ෂකයෙකු බවට මාරු වූ කුඕමෝ සහ රිපබ්ලිකන් වාචාලයෙතු වන කර්ටිස් ස්ලිවාට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියෙනි.
මම්දානිගේ මැතිවරන ව්‍යාපාරයට ලැබෙන පුලුල් සහයෝගය, ඇල්බනි හි ඇන්ඩෲ කුඕමෝ, සිය ධුර කාලය පුරාවට ම අනුකම්පා විරහිතව ක්‍රියාත්මක කල ඩිමොක්‍රටික් පක්ෂයේ සංගත-ගැති දේශපාලනය කෙරෙහි ගැඹුරු වෛරයක් පිලිබිඹු කරයි. ට්‍රම්ප්ට ඩිමොක්‍රටික් පක්ෂය දක්වන සහයෝගය කෙරෙහි පිලිකුලෙන් පසුවන කම්කරුවෝ සහ තරුනයෝ, අසමානතාවේ දැවැන්ත මට්ටම්, ඉහල යන ගෙවල් කුලී, හිඟන මට්ටමේ වැටුප්, නිමක් නැති යුද්ධ, ගාසා තීරයේ ජන සංහාරය සහ අයිසීඊ සංක්‍රමනික වැටලීම් වලට එරෙහිව සටන් කිරීමට මාර්ගයක් සොයමින් සිටිති.
නිව් යෝර්ක්හි මැතිවරනය පැවැත්වෙන්නේ, එක්සත් ජනපදය තුල ෆැසිස්ට්වාදී ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම සඳහා කතිපයාධිකාරයේ ප්‍රමුඛ කොටස්වල සහාය ඇතිව, ට්‍රම්ප් පරිපාලනය තුල උත්සන්න වන කුමන්ත්‍රනයක් මධ්‍යයේ ය. රට පුරා මිලිටරි හමුදා යෙදවීම හෝ යෙදවීමට සැලසුම් කිරීම සහ ආන්ඩුවේ වසා දැමීම හරහා කම්කරු පන්තියට එල්ල කරන දැවැන්ත ප්‍රහාරය මෙයට ඇතුලත් ය.
මම්දානි ජයග්‍රහනය කලහොත්, වහාම, ට්‍රම්ප්ගේ කම්කරු පන්තියට එරෙහි යුද්ධයේ ඊලඟ සටන් බිම නිව්යෝර්ක් නගරය බවට පත්වනු ඇත. පසුගිය සතියේ, ජනාධිපතිවරයා, ඉදිරියේදී සිදුවීමට නියමිත දේ පිලිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, පහල මෑන්හැටන්හි ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට මිලිටරි උපකරනවලින් සන්නද්ධ අයිසීඊ මැරයන් යොදවා, සංක්‍රමනිකයන් සහ රටවැසියන් එක ලෙසට ම පැහැරගෙන ගියේ ය. නැවත නැවතත් මම්දානිව ෆැසිස්ට් වහරෙන් හෙලා දකින ට්‍රම්ප්, ඔහු හඳුන්වන්නේ, “සියයට සියයේ කොමියුනිස්ට් උම්මත්තකයෙකු” ලෙසට ය. උපතින් ම එක්සත් ජනපද රටවැසියෙකු වන මම්දානි පිටුවහල් කරන ලෙස කොංග්‍රසයේ රිපබ්ලිකන් පක්ෂය ඉල්ලා තිබේ.
ඔක්තෝබර් 18දා “රජුන් එපා” පෙලපාලිවලට මිලියන ගනනක් ජනයා ගලා ඒමෙන් ප්‍රකාශ වූ පරිදි, ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහිව පුලුල් හා වැඩෙන විරෝධයක් පවතී. මම්දානි විසින් ආයාචනා කර ඇත්තේත්, ඔහු ඉහලට ඔසවා ඇත්තේත් මෙම ජනප්‍රිය මනෝභාවයන් ය.
කෙසේ වෙතත්, මම්දානිට හෝ ඔහුගේ කිසිදු ප්‍රතිවාදියෙකුට ඡන්දය දෙන ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා නොසිටී. කතිපයාධිකාරයට සහ ආඥාදායකත්වයට එරෙහි සටනේ ඉදිරි මාවතක් නියෝජනය නොකරන මම්දානිගේ වේදිකාව සහ වැඩපිලිවෙල දේශපාලන උගුලකි.
පලමුවෙන්ම, මූලධර්ම පිලිබඳ මූලික ප්‍රශ්න තිබේ. අපේක්ෂකයෙකුට ඡන්දයක් ඉල්ලා සිටීමේ දී, යමෙකු, ඔහුගේ දේශපාලන වැඩපිලිවල පිලිබඳ වගකීම භාර ගත යුතු ය. සමාජවාදියෙකු ලෙස ඔහු මවාපෑව ද, මම්දානි ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලනඥයෙකි; ඩිමොක්‍රටික් පක්ෂය ධනවාදී පක්ෂයකි; වෝල් වීදියේ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පක්ෂයකි. සියලු දේශපාලන අත්දැකීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ, ඩිමොක්‍රටික් පක්ෂයේ රාමුව තුල කම්කරුවන්ට සහ තරුනයින්ට එක් පියවරක් හෝ ඉදිරියට තැබිය නොහැකි බවයි.
මෙම මැතිවරනයේ නිශ්චිත කරුනු කාරනා සම්බන්ධයෙන්, සමස්තයක් ලෙස ඩීඑස්ඒ සමඟ එක්ව, මම්දානි හිතාමතාම සහ සවිඥානිකව උත්සාහ කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය වමට තල්ලු කර, එය කම්කරුවන්ගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා වාහකයක් බවට පත්කර ගත හැකි බවට වන බොරුව ප්‍රවර්ධනය කරමින්, විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂයේ අත යටට ගාල් කිරීමට යි. කෙසේ වෙතත්, මම්දානිගේම මැතිවරන ව්‍යාපාරය මෙය දේශපාලන ප්‍රෝඩාවක් බව හෙලි කරයි.
පසුගිය මාස පහ තුල, මම්දානි, සෑම උත්සාහයක් ම දරා ඇත්තේ, තමා විරුද්ධ බව කියන බිලියනපතියන් ම සැනසීම සඳහා ය. ගාසා තීරයේ සිදු වෙමින් පවතින ජන සංහාරය මධ්‍යයේ, ඔහු පලස්තීනුවන් ආරක්ෂා කිරීමේ ආස්ථානය ආපසු හරවමින්, ඊශ්‍රායලයට පැවැත්මට අයිතියක් ඇති බවත්, හමාස් සංවිධානය අවි බිම තැබිය යුතු බවත් ප්‍රකාශ කලේ ය.
දක්ෂිනාංශික පීඩනයට හිස නමමින්, පසුගිය සතියේ මම්දානි නිවේදනය කලේ, බිලියන ගනනක උරුමක්කාරියක් වන ජෙසිකා ටිෂ්, නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස පත් කිරීමට සැලසුම් කරන බවයි. මෙය මහා ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇති අතර, පුපුරන සුලු සමාජ තත්වයන් මධ්‍යයේ, රාජ්‍යයේ සන්නද්ධ මෙවලම පාලනය කිරීමේ දී, ඒ සඳහා විශ්වාසවන්ත පුද්ගලයෙකු නායකත්වය දරනු ඇති බව සංකේතාත්මකව පෙන්නුම් කරයි.
මම්දානි කතිපයාධිකාරයට විරුද්ධ වීමට ආයාචනා කරයි; නමුත් ඔහුගේ වැඩපිලිවල ලිබරල් ප්‍රතිසංස්කරන කිහිපයක් සඳහා කරන විනීත ඉල්ලීමකට වඩා වැඩි දෙයක් නොවේ: ඒවා නම්, නගරයේ කුලී නිවැසියන්ගෙන් අඩක් සඳහා කුලී ඉහල යාම්වල විරාමයක්; සමහර මගීන්ගේ ප්‍රවාහන වියදම්වල සුලු අඩු කිරීමක් සහ ධනවතුන් මත සුලු බදු වැඩි කිරීමක් මගින් රැස්කර ගන්නා අරමුදල් යෙදවීමෙන්, රාජ්‍ය අරමුදල් මත රඳා පවතින ලමා රැකවරනය පුලුල් කිරීම යනාදිය යි. මෙය බලාත්මක කල ද, මෙම ප්‍රතිපත්ති, කම්කරු පන්තිය මුහුන දෙන ඓතිහාසික පරිමානයේ ගැටලු විසඳීමට කිසිවක් නොකරනු ඇත.
එසේ වුව ද, මම්දානි ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ කොටස්වල ප්‍රහාරයට ලක්ව ඇත. ඔවුන්ගේ ප්‍රියතම අපේක්ෂකයා වන කුඕමෝ, මම්දානිගේ යෝජනා මනස්ගාත ලෙස හෙලා දැක ඇති අතර, මම්දානි ඉස්ලාමීය ජිහාඩ්වාදියෙකු ලෙස හංවඩු ගසමින්, ඔහුට විරුද්ධව දරුනු මඩ ව්‍යාපාරයක් දියත් කර තිබේ. නිව්යෝර්ක්හි එක්සත් ජනපද සෙනෙට් නියෝජිත කන්ඩායම, පක්ෂයේ ප්‍රාථමික මැතිවරන ජයග්‍රාහකයා අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇත; මන්ත්‍රී මන්ඩලයේ සුලුතර නායක හකීම් ජෙෆ්‍රිස් මම්දානිට තම අනුමැතිය ලබා දීම පසුගිය සතිය දක්වා ම අත්හිටුවා තිබුනි.
ඩිමොක්‍රටික් පක්ෂයේ කූටෝපායන්ට අනුව, නිව් ජර්සි හි නාවික නියමු මිකී ෂෙරිල් සහ වර්ජිනියාවේ සීඅයිඒ නිලධාරිනී අබිගේල් ස්පාන්බර්ගර් වැනි ආන්ඩුකාර අපේක්ෂකයින් 2026 මධ්‍ය-වාර මැතිවරනයේ ආදර්ශ රූප ලෙස ප්‍රවර්ධනය කරන අතරම, මම්දානිට බාධා කිරීම අරමුනු කර ගත්තකි.
පසුගිය ඉරිදා ක්වීන්ස් හි පැවති මහජන ප්‍රචාරක රැලියේ දී, ආන්ඩුකාර කැතී හොචුල් නිදහස් කර හැරීමට වේදිකාවට නැගි මාම්දානි, එසේ කිරීමට උවමනාවක් නොතිබියදී පවා, “ධනවතුන්න්ට බදු ගසනු” යනුවෙන් සටන් පාඨ කියමින් කෑ කෝ ගසන 13,000 ක් පමන වූ ප්‍රේක්ෂක පිරිස සන්සුන් කිරීම සඳහා දෑත් එසවීමෙන්, ඩීඑස්ඒ ඩිමොක්‍රටිකයින් අවධාරනය කලේ, ඩිමොක්‍රටික් පක්ෂය බේරා ගැනීමට එය උත්සාහ කරන ආකාරය යි.
මම්දානි අනුගමනය කරන්නේ බර්නි සැන්ඩර්ස් සහ මෑතකදී ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් විසින් සකස් කරන ලද දේශපාලන රැවටීමේ එම මාවත ම ය—ඔවුහු දෙදෙනාම ඉරිදා මැතිවරන රැලියේ දී මම්දානි සමඟ වේදිකාවේ පෙනී සිටියහ.
දශකයකට ආසන්න කාලයක් තිස්සේ, විරෝධයේ අකුනු සන්නායකයක් ලෙස සේවය කර ඇති සෑන්ඩර්ස්, ධනවාදය කෙරෙහි වැඩෙන සතුරුකම, නැවත නැවතත් ඩිමොක්‍රටික් පක්ෂයේ ආවෘත අන්තතයට යොමු කරයි. 2016 සහ 2020 යන දෙවාරයේදී ම ජනාධිපති ධුරයට තරඟ කල ඔහු, “දේශපාලන විප්ලවයක්” පිලිබඳව දුන් ව්‍යාජ පොරොන්දු මත ඡන්ද මිලියන ගනනක් ලබා ගෙන, වෝල් වීදිය සහ පෙන්ටගනය තෝරාගත් අපේක්ෂකයින් වන හිලරි ක්ලින්ටන් සහ ජෝ බයිඩන් අනුමත කලේය. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, සැන්ඩර්ස් නැවත නැවතත් ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ පෙල ගැසී ඇති අතර, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයට සහ ඊශ්‍රායලයට අරමුදල් සැපයීමට සහාය දක්වයි.
මම්දානිගේ සහායක ඩීඑස්ඒ සාමාජිකාවක වන ඔකාසියෝ-කෝර්ටෙස් ද, තමන් ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිට ඇත්තේ, පාලක පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් විශ්වාසවන්ත ආරක්ෂකයෙකු බව ඔප්පු කිරීමට පමනි. 2022 දී දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජනයක් නීති විරෝධී කිරීමට ඡන්දය දුන් ඇය, ගාසා තීරයේ ජන සංහාරය මධ්‍යයේ ඊශ්‍රායලයට අරමුදල් සැපයීමට සහාය දැක් වූ අතර, “වැඩිහිටියන් වී” යුද අපරාධකරු බයිඩන් පිටුපස පෙල ගැසෙන ලෙස ඇගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියා ය.
එක්සත් ජනපදයේ සංස්ථාපිත ධනේශ්වර දේශපාලනයේ රාමුව තුල ඩීඑස්ඒ වඩ වඩාත් ඍජු කාර්යභාරයක් ඉටු කරමින් සිටී. එපමනක් නොව, මෙය එක්සත් ජනපදය තුල පවතින ජාත්‍යන්තර ප්‍රවනතාවක ප්‍රකාශනයකි. වසර ගනනාවක් තිස්සේ, බ්‍රිතාන්‍යයේ ජෙරමි කෝබින් වැනි පුද්ගලයින්, රට තුල කප්පාදු සහ විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධය ක්‍රියාත්මක කරන ධනේශ්වර දේශපාලන පක්ෂ සඳහා වාම ආවරනයක් සපයා ඇත. “වාමාංශික යුදෙව් විරෝධය” යැයි කියනු ලබන දඩයම් එක්සත් ජනපදයේ සංස්ථාපිත ධනේශ්වර දේශපාලනයේ රාමුව තුල, ඩීඑස්ඒ වඩ වඩාත් සෘජු කාර්යභාරයක් ඉටු කරමින් සිටී. එපමනක් නොව, මෙය එක්සත් ජනපදය තුල ජාත්‍යන්තර ප්‍රවනතාවක ප්‍රකාශනයකි. වසර ගනනාවක් තිස්සේ, බ්‍රිතාන්‍යයේ ජෙරමි කෝබින් වැනි පුද්ගලයින් රට තුල කප්පාදු සහ විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධය ක්‍රියාත්මක කරන ධනේශ්වර දේශපාලන පක්ෂ සඳහා වාම ආවරනයක් සපයා ඇත.
ග්‍රීසියේ දී සිරිසා අත්දැකීම, බලයට පත්වීමේ දී ව්‍යාජ-වමේ භූමිකාව පෙන්නුම් කරයි. 2015 ජාතික මැතිවරන ජයග්‍රහනය කිරීමෙන් මාස කිහිපයක් ඇතුලත, “රැඩිකල් වාම සන්ධානය” යුරෝපීය බැංකු අත්පත් කර ගැනීමට දුන් පොරොන්දු ප්‍රතික්ෂේප කර, පොදු ජනමත විචාරනයක ප්‍රතිඵල නොතකා හැර, බැංකුකරුවන් විසින් ඉල්ලා සිටි කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කලේ ය. එමඟින් එය මුලපිරීම අන්ත දක්ෂිනාංශිකයින්ට භාර දුන්නේ ය. එවැනි අත්දැකීම් රටින් රටට අසංඛ්‍යාත වාරයක් පුනර්කරනය වී ඇත.
මම්දානි ජයග්‍රහනය කල ද, ඔහු විසින්ම නායකත්වය දරන නගරාධිපති ධුරයක් හෝ කුඕමෝ විසින් නායකත්වය දරන නගරාධිපති ධුරයක් අතර ඇත්තේ ඉතා සුලු වෙනසක් පමනක් බව, දැනටමත් ඔහුගේ මැතිවරන ව්‍යාපාරය තුල පෙන්නුම් කෙරී තිබේ.
කම්කරුවන් සහ තරුනයින් අතර මම්දානි කෙරෙහි ඇති සහයෝගය—ඒකාධිපතිත්වය, අසමානතාව සහ යුද්ධයට එරෙහි විරෝධය—මම්දානිගේ ව්‍යාපාරය හරහා හෝ ඩිමොක්‍රටික් පක්ෂයේ රාමුව තුල සාක්ෂාත් කරගත නොහැකි අතර, එලෙස සාක්ෂාත් කරගත නොගනු ද ඇත. ජුනි මාසයේදී මම්දානිගේ ප්‍රාථමික ජයග්‍රහනයෙන් පසු සමාජවාදී සමානතා පක්ෂය ලියූ පරිදි:
එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල පවතින ප්‍රමුඛ ප්‍රවනතාව යොමු ඇත්තේ, දේශපාලන රැඩිකලීකරනයට සහ ධනවාදයට එරෙහි විරෝධය දෙසට බව සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කර ඇත. නිව්යෝර්ක් නගරාධිපති මැතිවරනය මෙම තක්සේරුව සනාථ කිරීමකි. කෙසේ වෙතත්, අපි එම ඇඟවීම ඉටුවීම සඳහා වරදවා වටහා නොගනිමු. මම්දානිගේ ජයග්‍රහනයේ අර්ථභාරය සසප හඳුනා ගත්ත ද, ඔහුගේ මැතිවරන සාර්ථකත්වය, රාජ්‍යයේ ස්වභාවය, ඩිමොක්‍රටික් පක්ෂයේ පන්ති ස්වභාවය සහ ඇමරිකානු ධනවාදයේ ප්‍රචන්ඩකාරී සහ පීඩාකාරී ස්වභාවය වෙනස් කිරීමට හේතු වනු ඇතැයි යන මිත්‍යාවට අනුගත නොවේ.
පසුගිය මාස හතරේ වර්ධනයන් මෙම තක්සේරුව මුලුමනින්ම සනාථ කර තිබේ. ට්‍රම්ප් ඒකාධිපතිත්වය සඳහා වූ තම කුමන්ත්‍රනය ප්‍රචන්ඩ ලෙස තීව්‍ර කර ඇත. මේ අතර, ඔහුව නැවැත්වීමට කිසිවක් කර නොමැති ඩිමොක්‍රටික් පක්ෂය, ඒ වෙනුවට, රැකියා, සමාජ වැඩසටහන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීමේ දී එය සමග සහයෝගයෙන් කටයුතු කරයි. ඔවුන්ගේ පැත්තෙන්, මම්දානි සහ ඩීඑස්ඒ, අර්බුදයට වගකිව යුතු ධනේශ්වර සංස්ථාපිතය පිටුපසට මහජන විරෝධය හරවා යැවීමට කටයුතු කරමින්, තම සමස්ත ඉදිරිදර්ශනයේ බංකොලොත්භාවය පෙන්නුම් කර ඇත.
යුද්ධයට, ආඥාදායකත්වයට සහ සමාජ අසමානතාවට එරෙහි සටන, “ප්‍රගතිශීලී” ඩිමොක්‍රටිකයින්ගේ මායාවන් හෝ ඇමරිකානු ධනවාදයේ පවතින දේශපාලන ආයතනවලට ආයාචනා කිරීමෙන් ඉදිරියට යා නොහැකි බව සසප අවධාරනය කරයි. ඒ සඳහා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. බලය අල්ලා ගැනීමටත්, බිලියනපතියන් අත්පත් කර ගැනීමට සහ පුද්ගලික ලාභය නොව සමානාත්මතාව, සාමය සහ සමාජ අවශ්‍යතාවේ පදනම මත සමාජය නැවත ගොඩනැගීමටත් කම්කරු පන්තිය—එනම් සමාජයේ අති බහුතරය—සවිඥානික දේශපාලන බලවේගයක් ලෙස සංවිධානය විය යුතු ය.
සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය මැදිහත් විය යුතු ය. ඒකාධිපතිත්වයට, යුද්ධයට සහ අසමානතාවට විරුද්ධ වන සියලුම කම්කරුවන්, සිසුන් සහ තරුනයින්ගෙන් සසප ඉල්ලා සිටින්නේ මෙම සටනට පිවිසෙන ලෙසයි.
වැඩිදුර කියවන්න
- ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමෙරිකා සාමාජික සොහ්රාන් මම්දානි, නිව් යෝක් නගරාධිපති ධුරය සඳහා පක්ෂ ප්‍රාථමික මැතිවරනය ජයගැනීමේ දේශපාලන ඇඟවුම්
- රජුන් එපා, නාසි ෆියුරර්ස් එපා! ට්‍රම්ප්ගේ ඒකාධිපතිත්වයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!
- ඔක්තෝබර් 18දා “රජුන් එපා” විරෝධතා සහ ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහි අරගලය
