පසුගිය ඉරිදා (නොවැම්බර් 02) යටියන්තොට කිරිපෝරුව වත්තේ පිහිටි රබර් කිරි සැකසුම් කම්හල තුල යන්ත්‍රයක් පුපුරා යාමෙන් තරුන කම්කරුවෙකු මරනයට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලැබීම, ධනපති ලාභ උදෙසා කම්කරු ජීවිත බිලි දීමේ මෑත ම උදාහරනවලින් එකකි.
සිද්ධිය පිලිබඳ විමසා බැලීමට කිරිපෝරුව වත්තට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට, මියගිය අයගේ ඥාතීන්, තුවාල ලැබූ කම්කරුවෙකු හා අවශේෂ කම්කරුවන් ගනනාවක් සමග කතා කිරීමට අවස්ථාව ලැබිනි.
කිරිපෝරුව වත්ත, තේ සහ රබර් මිශ්‍ර ව වගා කරන හෙක්ටයාර් 580ක වතු යායකි. එය පාලනය කරනු ලබන කැලනි වැලි ප්ලාන්ටේෂන්ස් සමාගම සහ වතුයායේ පිහිටි රබර් සැකසුම් කම්හල පාලනය කරනු ලබන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම යන දෙකම, බහුජාතික සංගතයක් වන හේලීස් සමාගම් සමුහයට අයත් වේ. හේලීස් සමාගම් සමුහයේ සම සභාපතිත්වය දරනුයේ, ප්‍රමුඛ ශ්‍රී ලාංකික බිලියනපති ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා සහ මොහාන් පන්ඩිතගේ විසිනි.
අනතුරෙන් මරනයට පත්වූ රජිනිකාන්ත වයස 25ක අවිවාහක තරුනයෙකි. ඔහුගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් විවාහ වී වෙන ම ජීවත් වෙති. දිගුකාලීන රෝගීන් වන තම මව සහ පියා-- මුත්තු කුමාර සුබ ලක්ෂ්මී (41) සහ වඩිවේල් කාන්ත රූබන් (51)- රැකබලාගනු ලැබුවේ පවුලේ එක ම උපයන්නා වූ රජිනිකාන්ත විසිනි.
ඔහුගේ සහෝදර සේවකයින් පැවසූ ආකාරයට, රජිනිකාන්ත කම්හලේ සේවයට බැඳී ඇත්තේ අඩු වයසින් වන අතර, වසර එක හමාරකට පෙර ඔහුගේ සේවය ස්ථිර කිරීමට පෙර වසර හතරක් අස්ථිර සේවකයෙකු ලෙස එහි සේවය කර තිබිනි.
අවමංගල්‍යයේ වියදම් කම්හල් කලමනාකාරිත්වය මගින් දරා තිබෙන අතර, වන්දියක් ලබා දෙන බව ද එය පවසා ඇත. මෙම මරනය සම්බන්ධව 10දා උසාවියට පැමිනෙන ලෙස දන්වා ඇති බවත් රජිනකාන්තගේ සහෝදරයා කීවේ ය.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ වී. ශ්‍රී ස්කන්ධරාජා (47) සහ සුලු තුවාල ලැබූ පුෂ්පනායගම් යාබද කරවනැල්ල රෝහලට ඇතුලත්කර තිබේ. ප්‍රතිකාර ලැබූ පුෂ්පනායගම් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. ස්කන්ධරාජාගේ වම් අතේ ඇඟිලි තුනක් අකර්මන්‍ය වී තිබෙන අතර, වෛද්‍යවරු පවසා ඇත්තේ, ස්නායු කැපී යාම එයට හේතුව බවයි. ඔහු ලෝසවෙඅ වාර්තාකරුවන්ට කීවේ, අත සෙලවීමට නොහැකි වන පරිදි ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා ඇති නිසා අඩුගනනේ මාස කිහිපයක් ගත වන තුරු රැකියාවක නිරත වීමට නොහැකිවන බව යි.
ස්කන්ධරාජා ගේ බිරිඳ රැකියාවක් නොකරන අතර ඔවුනට දරු දෙදෙනෙකු සිටී. පවුලේ එක ම උපයන්නා ඔහු ය. “අපිව රක්ෂනය කරලා තිබුනද කියලා දන්නේ නැහැ. නමුත් වන්දියක් ගෙවනවා කියලා ෆැක්ටරිය කියනවා” යැයි ඔහු කීවේ ය.
අනතුර සිදුවන අවස්ථාවේ ස්කන්ධරාජා වැඩ කරමින් සිට ඇත්තේ පිපිරූ යන්ත්‍රය අසල ම ය. ඔහු සමග තවත් දෙදෙනෙකු වැඩකරමින් සිට ඇත. “අපි උදේ 7.00 ට වැඩ ආරම්භ කලා. තුන්වන යන්ත්‍රයට රබර් කිරි පිරවීමට බටය දාන කොට විශාල සද්දයක් ආවා. මම වැටුනා. රජිනිකාන්ත විසි වෙලා හිටියා. ඉන් පසුව අපි රෝහලට ගෙනාවා,” යැයි ස්කන්ධරාජා ලෝසවෙඅ වාර්තාකරුවන්ට කීවේ ය. “මට ගිය මාසයක් ම වැඩ තිබුනේ නැහැ. එදා තමයි වැඩට ගියේ කිරි ලීටර් දහදාහක් එනවා කියලා එදා මට එන්න කිව්වා,” ඔහු තවදුරටත් පැහැදිලි කලේ ය.
රජිනිකාන්ත එතැන ම මිය ගියේ, පුපුරා ගිය යන්ත්‍රයේ විසි වී ගිය කොටස් ඔහුගේ පපුව ප්‍රදේශයට සහ මුහුනට වැදී සිදු වූ බරපතල හානි නිසා වන්ට ඇති බවත්, ඔහුගේ එක් අතක් කැපී වෙන් වී තිබූ බවත් සිද්ධිය ඇසින් දුටු කම්කරුවෝ ප්‍රකාශ කලහ. “අනතුර දැන ගෙන ෆැක්ටරියට දුව යන විට යන්ත්‍ර කොටස් දසත විසිරී තිබූනා. මීටර් දෙසීයක් පමන ඈතට විසි වී තිබූ කොටසක් ඈත තිබූ පොල් ගසකට වැදීමෙන් එහි ගෙඩි පවා බිම වැටී තිබුනා. ඒකෙන් පේනවා කොතරම් බලයකින් මැෂිම පුපුරා ගිහින්ද කියන එක,” මියගිය තරුන කම්කරුවාගේ මිතුරෙකු ලෝසවෙඅට විස්තර කලේ ය.
අනතුර සිදු වූ ස්ථානය සහ එම යන්ත්‍ර නිරීක්ෂනය කිරීමේ අදහසින් ලෝසවෙඅ වාර්තාකරුවන් කම්හලට ගිය ද, එහි සාමාන්‍යාධිකාරී චන්දන වන්නිආරච්චි ඊට අවසර නොදුනි.
මෙම කම්හලේ නිෂ්පාදනය කරනු ලබන්නේ, වෛද්‍ය අත්වැසුම් ඇතුලු ආරක්ෂිත අත්වැසුම් සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන, ලේටෙක්ස් නමින් හඳුන්වන සාන්ද්‍රිත රබර් කිරි ය. කේන්ද්‍රාපසරන (centrifuge) යන්ත්‍ර මගින් සිදු කෙරෙන සැකසුම් ක්‍රියාවලියේ දී, රබර්වල ඇති ජලය ඉවත් කෙරේ.
මල නොබැඳෙන වානේ වලින් නිපදවා ඇති ලීටර් 250ක් පමන ධාරිතාවක් සහිත බඳුනකට, කේන්ද්‍රාප්‍රසරනයට ලක් කරනු ලබන රබර් දියර බහාලයි. එක් යාන්ත්‍රික ක්‍රියාවලියක් සඳහා පැය දෙකක් පමන ගතවන බවත් ඉන්පසු යන්ත්‍රයේ රත් වූ වානේ කේතු පිරිසිදු කොට නැවත සවි කිරීමෙන් පසු නව වටයක් සඳහා ක්‍රියාවලිය ආරම්භ කල යුතු බවත් පැය හතරකට වරක් විවේක කාලයක් ලැබෙන බවත් කම්කරුවෙක් සඳහන් කලේ ය.
කම්කරුවන් ලෝසවෙඅට පැවසූ පරිදි, මේ ක්‍රියාවලිය සඳහා පුපුරා ගිය යන්ත්‍රයට සමාන යන්ත්‍ර හතක් පමන කර්මාන්ත ශාලාවේ පිහිටුවා ඇති නමුත්, ක්‍රියාත්මක තත්වයේ පවතින්නේ ඒවායින් හතරක් පමනි. මෙම යන්ත්‍ර සුලු නඩත්තු කිරීම් සහිතව දශක තුනක් පමන වැඩෙහි යොදවා තිබේ.
නිසි ආරක්ෂක පියවරයන් සහ නඩත්තුවක් නොමැතිකම නිසා එවැනි යන්ත්‍රයක් පුපුරා යාමට ඉඩ ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. විශේෂයෙන්, වේගය ඉක්මවා යනවිට ස්වයංක්‍රීයව යන්ත්‍රය නතර කිරීමේ පද්ධති, කම්පන සහ උෂ්නත්ව සංවේදක, සහ පිපිරීම්-ප්‍රතිරෝධී ආවරන වැනි ආරක්ෂක අංග අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, කම්කරුවන් පැවසුවේ මෙම ආරක්ෂක විධිවිධාන බොහොමයක් නොමැති බවයි.
කම්කරුවන්ගේ ජීවිත වලට වඩා තම ලාභය කෙරෙහි උත්සුක වන කම්හල හිමි ධනපතියන්, එවන් නවීනතම ආරක්ෂිත උපාංග සහිත යන්ත්‍ර මිලදී ගැනීමට මුදල් යොදවා නැති බව, සිදුවීම පෙන්නුම් කරයි.
ස්කන්ධරාජා පැවසූ ආකාරයට කම්හලේ කම්කරුවන් 20ක් පමන සේවය කරන අතර, එක් දිනකට කම්කරුවන් හතර දෙනෙකුට පමනක් වැඩමුර ක්‍රමයට සේවයේ යොදා ගනු ලැබේ. යන්ත්‍රවල වැඩ නොකරන දිනවල දී එම කම්කරුවෝ රබර් වත්තේ වැඩෙහි යොදවනු ලැබෙති. උදේ 7 සිට රාත්‍රි 10 පමන වනතෙක් වැඩ කලොත්, රුපියල් 2700 ක් පමන ලැබෙන බව කම්කරුවෙක් පැවසුවේ ය.
වාර 10ක ඉලක්කය (ලීටර් 250x නිෂ්පාදන වට10= රබර් කිරි ලීටර් 2500) සම්පූර්න කරන කම්කරුවෙකුට, සාමාන්‍ය දෛනික වැටුප වන රුපියල් 1350 මෙන් හතර ගුනයක වැටුපක් හෙවත් රු.5400ක වැටුපක් ලබාදෙයි. ආන්තික දරිද්‍රතාව හේතුවෙන් කම්කරුවෝ මෙම ඉලකැඩෙන කාර්යයට යොමු වෙති.
එක සැකසුම් වාරයක් සඳහා පැය දෙකක් ද, සෑම නිෂ්පාදන වාරයකට ම පසු යන්ත්‍රය ගලවා පිරිසිදු කිරීමට අඩුම ගානේ පැයක් ද ගතවන බැවින්, මෙය අතිශයින්ම අපහසු ඉලක්කයක් බව පැහැදිලි ය. එක් දිනක් තුල ඉලක්කය සැපිරීමට නොහැකි වුවහොත්, ඊලඟ දිනයේ එය සපුරා ලීමට සිදුවේ. එසේ කලත්, කම්කරුවාට ලැබෙන්නේ රු.5400ක් පමනි.
මෙලෙස උපරිම ධාරිතාවෙන් යන්ත්‍රය ක්‍රියා කරන විට, එය අධික රත් වීමකට ලක්වන බවත්, එවිට ආරක්ෂක ඇඳුම් සහිතව වැඩ කිරීමේ හැකියාවක් නැති බවත් කම්කරුවෝ විස්තර කලහ. එවන් අධික රත් වීමක දී යන්ත්‍රය අක්‍රීය කරවන ලෙස දන්වන අනතුරු අඟවන සංඥා ද එදින නිකුත් වී නැත.
මෙහි යාන්ත්‍රික ක්‍රියාවලිය හෝ යොදාගන්නා රසායනික ද්‍රව්‍ය පිලිබඳ කම්කරුවන්ට ඇත්තේ සුලු අවබෝධයකි. අත්වැසුම් සහ මුහුනු ආවරන ලබා දී තිබූ බව කම්කරුවන් සඳහන් කලත්, කම්කරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ සක්‍රීය ක්‍රියාවලියක් ලාභ පිපාසිත ෆැක්ටරි පාලකයන් විසින් පවත්වා ගෙන ගොස් නැති බව මෙම බිහිසුනු අනතුර මගින් පෙන්නුම් කරයි.
තුවාල ලබා සිටින ස්කන්ධරාජා ගේ ඥාතියෙකු වන රියදුරෙකු සඳහන් කලේ යන්ත්‍ර නිසි පරිදි නඩත්තු කලේ නම් මෙවැනි අපරාධයක් වලක්වා ගැනීමට අවස්ථාව තිබූ බවයි. වතු පාලකයන්ට අවශ්‍ය වී ඇත්තේ, “පුලුවන් තරම් ලාභ ගැනීම” බවත් “වැඩ කරන මිනිස්සු ගැන නොසිතන” බවත් ඔහු තව දුරටත් සඳහන් කලේ ය.
රැකියාවෙන් ඉවත් වී සිටින ස්ත්‍රී කම්කරුවෙක් සඳහන් කලේ, වත්තේ වැඩ කල දිනවලට නිසි පරිදි වැටුප් ලබා නොදීම නිසා වතු පාලකයන් සම්බන්ධයෙන් දැඩි කලකිරීමෙන් යුතුව රැකියාවෙන් ඉවත් වූ බවයි. කිසිදු කම්කරුවෙකුගේ අයිතීන් ආරක්ෂා නොකරන වතු පාලකයන්ගෙන් මෙම වින්දිතයන්ට යුක්තියක් ඉටුවේයැයි තමා නොසිතන බව ඇය තවදුරටත් සඳහන් කලා ය.
කම්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිලිබඳ තැකීමක් කම්හල් පාලනාධිකාරියට නොමැති බව සනාථ කරමින්, තම මිතුරාගේ වියෝව පිලිබඳව ශෝකයෙන් සහ කෝපයෙන් කතාකල තරුන කම්කරුවෙක් කියා සිටියේ, තමා අවුරුදු කිහිපයක් කම්හලේ වැඩ කිරීමෙන් පසුව ශ්වසනාබාධයක් වැලඳී රෝගාතුර වූ බවයි. ඇමෝනියා ආඝ්‍රානය නිසා දීර්ඝ කාලීන ව රෝගී තත්වයෙන් පසුවන තවත් කම්කරුවන් ගනනාවක් සිටින බව ද ඔහු ප්‍රකාශ කලේ ය.
මෙම කම්හල අයත් ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගම මිනිස් ජිවිත නොතකා ලාභ පිපාසයෙන් කටයුතු කිරීම ගැන කුප්‍රකට ය. එම සමාගමට අයත් වැලිවේරියේ පිහිටි රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමට එරෙහිව 2013 වසරේ දී විරෝධතා දැක්වූ ජනයාට එරෙහිව මිලිටරිය යෙදවූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව, තරුනයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කලේ ය.
මේ පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය (සසප) පැවත් වූ ස්වාධීන කම්කරු පරීක්ෂනය මගින් තහවුරු කෙරුනේ, කම්හල් පාලනය කිසිදු විද්‍යාත්මක පාලනයකින් තොරව කම්හලේ විෂ රසායන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැර ඇති බවයි.
මහජන විරුද්ධත්වය මධ්‍යයේ වැලිවේරිය උද්ඝෝෂකයන්ට වෙඩි තැබූ මිලිටරි නිලධාරීන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනුනද වත්මන් ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනබලවේගය ආන්ඩුව බලයට පැමිනි වහාම, අධිකරනය උක්ත හමුදා නිලධාරීන් චෝදනා වලින් නිදහස් කලේ ය.
ජවිපෙ/ජාජබ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමමින් දෙස් විදෙස් ආයෝජකයන්ට වඩාත් හිතකර කොන්දේසි සකසමින් සිටින අතර එහි මිල ගෙවීමට සිදුව ඇත්තේ දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට ය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නවතම වාර්තාවන්ට අනුව, ශ්‍රී ලංකාව තුල වසරකට 60-80 අතර (දල වසයෙන් මාසයකට 5-6ත් අතර) කම්කරුවන් දරුනු කාර්මික අනතුරුවලින් මරනයට පත්වෙයි.
- 2025 අගෝස්තු 8 වන දින, කොලඹ වරාය ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සිදු වූ අනතුරකින් 51 හැවිරිදි ප්‍රයිම් මූවර් රියදුරෙකු මිය ගියේ ය.
- 2025 අගෝස්තු අග දී කොලඹ තදාසන්න ප්‍රදේශයක් වන සපුගස්කන්ද, මාකොල හි සිදු වූ කාර්මික අනතුරකින් රත්නපුරයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේ ය.
- පසුගිය සතියේ බදාදා, මස්කෙලිය මවුස්සාකැලේ තේ කම්හලක කම්කරුවෙකු තේ අඹරන යන්ත්‍රයකට අසු වී මරනයට පත් විය.
ලාභ පිපාසිත ධනපති ක්‍රමය කම්කරු ජීවිත නොතකයි. කම්කරුවන්, ස්වාධීන ව සංවිධානය වෙමින් මෙම ලාභ පිපාසිත ක්‍රමය පෙරලා දැමීම සඳහා සූදානම ඇති කර ගත යුතුය. මේ සඳහා ධනපති ගැති වෘත්තීය සමිති නිලධරයෙන් සහ සියලු ධනපති, පක්ෂවලින් බිඳී වෙන්වී ස්වාධීන ව සංවිධානය විය යුතු ය. සටන තම අතට ගැනීම සඳහා තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
