ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව පසුගිය සතියේ සිට ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) රජය සතු සමාගම් හතරකට බිඳ වෙන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි සේවකයින්ගේ සියලු ක්‍රියාමාර්ග නවතා දැමූ එහි වෘත්තීය සමිති නිලධරය, නව සමාගම්වලට අනුයුක්ත වීමට කැමැත්ත පල කරමින් ලංවිම බලධාරීන්ට තමන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට සේවකයන් පෙලඹූහ. ඔක්තෝබර් 27 වන විට බොහෝ සේවකයන් තම අයදුම්පත් බලධාරීන්ට භාර දී තිබුනි.
මෙම තත්වය පුදුමයට කරුනක් නොවේ. මන්ද අනෙකුත් ආයතන සහ සේවා ස්ථානවල සමිති නායකයන් මෙන් ම, ධනේශ්වර ගැති ලංවිම වෘත්තීය සමිති නායකයෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරනු ලදුව ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන, ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙලට සහාය දක්වති. දැනට ඇති ප්‍රශ්නය ආන්ඩුව එය කරන ආකාරය බව ඔවුහු කියති.
ආයතනය සමාගම් හතරක් බවට පරිවර්තනය කිරීමේ දිනවකවානු කවදාද යන්න හෝ නව සමාගම්වල සේවකයින්ගේ තත්ත්වය කුමක් වේද යන්න ආන්ඩුව පැහැදිලි කර නොමැත. සේවකයින් 2,100 ක් පමන ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය (වීආර්එස්) තෝරා ගෙන ඇත. කෙසේ වෙතත්, ඔවුන්ට ඔවුන්ගේ වන්දි ලැබෙන්නේ කවදාද යන්න පිලිබඳව ද කිසිදු ඇඟවීමක් නොමැත.
ප්‍රධානතම රාජ්‍ය ව්‍යවසායක් වන ලංවිම සේවයේ නිරත 22,000 කට අධික ශ්‍රම බලකාය දැන් තමන්ගේ රැකියාවන්ට අනාගතයේ සිදුවන්නේ කුමක්ද යන්න ගැන දෙගිඩියාවෙන් පසුවෙයි.
1969 දී එවකට පැවති ආන්ඩුව විසින් විදුලිබල දෙපාර්තමේන්තුව ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය කරමින් ලංවිම නිර්මානය කරන ලදී. 1977 දී දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දුන් දා සිට, අනුප්‍රාප්තික ආන්ඩු ද ලංවිම පෞද්ගලීකරනය කිරීමට ක්‍රමානුකූලව උත්සාහ කලහ.
විදුලිබල මන්ඩලයේ සමහර කොටස් රාජ්‍ය හවුල්කාරිත්වයක් සහිතව අර්ධ වශයෙන් පුද්ගලීකරනය කරනු ලැබ ඇත. කෙසේ වෙතත්, සේවකයින්ගේ අඛන්ඩ ප්‍රතිරෝධය හේතුවෙන් විදුලිබල උත්පාදනයේ සහ බෙදා හැරීමේ මූලික අංශය බිඳ දැමීමට ආන්ඩුවලට නොහැකි විය. පසුගිය වසර 56 තුල කම්කරුවෝ අරගල හරහා තම ජීවන තත්ත්වය වැඩිදියුනු කර ගැනීමට සැලකිය යුතු ජයග්‍රහන ලබා ගත්හ.
ජාමූඅ රුදුරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේ කොටසක් ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ ලංවිම බිඳ වෙන් කිරීම පලමු වතාවට සිදුවෙමින් පවති. ඔහුගේ පූර්වගාමියා වූ රනිල් වික්‍රමසිංහට සම්පූර්න කිරීමට නොහැකි වූ කටයුත්ත දිසානායක සිදු කරමින් සිටී.
මෙම කප්පාදු වැඩපිලිවෙල වික්‍රමසිංහ විසින් සාකච්ඡා කරන ලද පුලුල් ජාමූඅ හි වැඩපිලිවෙලේ කොටසකි. මෙම වැඩපිලිවෙල 2023 මාර්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 3 ක විස්තීර්න නය පහසුකමේ කොන්දේසි සමඟ බැඳී ඇත.
2022 දී ශ්‍රී ලංකාවේ ඇති වූ පෙර නොවූ විරූ ආර්ථික බිඳ වැටීම, එනිසා විදේශ නය පැහැර හැරීම සහ මාස හතරක මහජන නැගිටීම් වලින් පසුව කොලඹ ආන්ඩුව ඇපකර නයක් ලබා ගැනීම නිවේදනය කලේ ය. විදේශ නය ආපසු ගෙවීම සඳහා සහ ආයෝජකයින්ගේ ලාභ ඉහල නැංවීම සඳහා කොන්දේසි නිර්මානය කිරීමේ දී කිසිදු පසුබැසීමක් සිදු නොවිය යුතු බවට ජාමූඅ නියෝග කලේ ය.
ජාමූඅ වැඩපිලිවෙල යටතේ, ප්‍රධාන පියවරක් වන්නේ රාජ්‍යය සතු ව්‍යවසායයන් 400කට වැඩි ප්‍රමානයක් ප්‍රතිව්‍යුහගත කිරීමයි - එනම් දුසිම් ගනනක් වසා දැමීම හා අනෙක්වා වානිජකරනය හෝ පෞද්ගලීකරනය කිරීමයි.
ප්‍රතිව්‍යුහගතකරනයට එරෙහිව ලංවිම සේවකයින්ගේ අරගලයේ පාඩම්, සියලු රාජ්‍ය ව්‍යවසයන්හි සේවය කරන 500,000 ක් පමන දෙනාට පමනක් නොව තමන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා අරගලයට එන අනෙකුත් සේවකයින්ට ද අත්‍යවශ්‍ය වේ.
2024 ජනවාරි මස මුල දී වික්‍රමසිංහ ආන්ඩුව ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතක් ප්‍රකාශයට පත් කල අතර ජූලි මාසයේ දී එය පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගත්තේ ය. කම්කරුවන්ගේ විරෝධය හේතුවෙන් ඔහුට එම වැඩපිලිවෙල සම්පූර්න කිරීමට නොහැකි විය.
ජවිපෙ/ජාජබ, සමගි ජන බලවේගය (සජබ) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති ඇතුලු ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය, අසනීප නිවාඩු විරෝධතා ඇතුලු සීමිත ක්‍රියාමාර්ග කැඳවූ අතර, වික්‍රමසිංහ ආන්ඩුවට තම වැඩපිලිවෙල අත්හැරීමට බලපෑම් කල හැකි බවට ඔවුහු මිත්‍යාවන් වැපුරූහ. රජයේ මර්දනය සහ ජාමූඅ වැඩපිලිවෙල පරාජය කිරීමට කම්කරුවන් එක්සත්කොට ස්වාධීනව බලමුලු ගැන්වීමට නිලධරය විරුද්ධ වූහ.
පසුගිය වසරේ ජනවාරි මාසයේ දී, එවකට ජනාධිපතිවරයා විසින් පනවන ලද කුරිරු අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි සහ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීම නොතකා, කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දස දහස් ගනනක් සේවකයෝ විරෝධතා දැක්වූහ. මෙම කුරිරු නීති යටතේ, ලංවිම සේවකයින් 62 දෙනෙකුගේ වැඩ තහනම් කර, පරීක්ෂන පවත්වා, සේවාවන් අත්හිටුවීම් තහවුරු කෙරුනි.
මෙම අරගල වර්ධනය වීම පිලිබඳව වික්‍රමසිංහ ආන්ඩුව හා පාලක පන්තිය මෙන්ම ඊට සේවය කිරීමට ඉදිරිපත්ව සිටි ජවිපෙ නායකයෝ ද බිය පත්වුහ. පසුගිය වසරේ ජූලි මාසයේදී, ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායක සහ වත්මන් කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍ය ලාල් කාන්ත “ජනතාවට පීඩාවට පත්කරන” වැඩ වර්ජන ඇතුලු සියලු කාර්මික ක්‍රියාමාර්ගයක් තම පක්ෂයට අනුබද්ධිත වෘත්තීය සමිති නතර කල යුතු බවට නියෝග කලේ ය.
එවැනි ක්‍රියාවන්, ජවිපෙ/ජාජබ විසින් දියත් කර තිබෙන ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරන උද්ඝෝෂනවලට හානි කරන අතර “ප්‍රතිගාමී බලවේගවලට' උපකාරී වනු ඇතැයි ද ඔහු පැවසීය. ලංකා විදුලි සේවක සංගමයේ නිලධරය ඇතුලු සියලුම ජවිපෙට අනුබද්ධ වෘත්තීය සමිති වහා ම සියලු ක්‍රියාමාර්ග නතර කලහ. ජවිපෙ වෘත්තීය සමිති තම ආන්ඩුව යටතේ මෙම කම්කරු විරෝධී තහනම දිගට ම පවත්වා ගෙන යයි. අනෙකුත් සමිති නායකයෝ ද එම පිලිවෙතම ගෙන යති.
වික්‍රමසිංහ ගෙන ආ විදුලිබල පනත අවලංගු කිරීම සහ පෞද්ගලීකරනය නැවැත්වීම සිය මැතිවරන ව්‍යාපාරයේ දී ඡන්දය ගසා කෑම සඳහා ජනාධිපති දිසානායක දුන් ව්‍යාජ පොරොන්දු අතර විය. කෙසේ වෙතත්, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සම්පූර්නයෙන්ම කැප වී සිටින ඔහුගේ පාලනය එම පොරොන්දු සියල්ල කුනු කූඩයට දමා ඇත.
දිසානායක ආන්ඩුව, වික්‍රමසිංහ පාලනය විසින් සම්මත කරගත් විදුලිබල පනතේ සමහර වගන්තිවල සුලු සංශෝධන සිදුකර ලංවිම විසුරුවා හැරීමේ ක්‍රියාවලියම ආරම්භ කර ඇත. නව සංශෝධිත පනතේ සඳහන් වනුයේ ලංවිම සම්පූර්නයෙන්ම රජයට අයත් සමාගම් හතරකට බෙදනු ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම වෙනස්කම් බාහිර ආටෝපයක් බවත්, අනාගතයේ දී තමන් පෞද්ගලීකරනයට සහ රැකියා අනාරක්ෂිත භාවයට මුහුන දෙන බවත් සේවකයෝ නිවැරදිව වටහා ගත්හ. ඇත්ත වශයෙන්ම, ජවිපෙ/ජාජබ ආන්ඩුව සැප්තැම්බර් මාසයේ දී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව පනත් කෙටුම්පතක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ යටතට ආන්ඩුව සතු සියලුම ව්‍යාපාර ගෙන එනු ඇත. මෙය, මෙම කෙටුම්පත පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත වූ විට එය රාජය් ආයතන පෞද්ගලීකරනය සඳහා ඉදිරි පියවරක් වනු ඇත.
ජවිපෙ වෘත්තීය සමිති නායකයන් ආන්ඩුවට මුලුමනින්ම සහාය දෙන අතර, අනෙකුත් ලංවිම වෘත්තීය සමිති නිලධරයෝ දිසානායක ආන්ඩුවේ පියවරයන්ට එරෙහිව සීමිත කාර්මික ක්‍රියාමාර්ග කැඳවූහ.
සැප්තැම්බර් 17 සහ 18 යන දිනවල කොලඹට රැස් වූ සේවකයින් 20,000 ක් පමන සටන්කාමී ලෙස ලංවිම ප්‍රතිව්‍යුහ කරනය ගැන තම විරෝධය පල කලහ. විරෝධතාකරුවන්ට එරෙහිව කඩාපැන්න දිසානායක, විරෝධතාවල යෙදෙන සේවකයින් සේවයෙන් පහ කර ඔවුන්ට දඬුවම් කල හැකි කුරිරු අත්‍යවශ්‍ය සේවා විධිවිධාන සැප්තැම්බර් 21 වනදා සිට ක්‍රියාත්මක කලේ ය.
විදුලිබල මන්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව කම්කරුවන්ගේ විරෝධය මධ්‍යයේ, ශ්‍රී ලංකාව සඳහා ජාමූඅ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ඔක්තෝබර් 9 වන දින මාධ්‍ය වෙත මෙසේ පැවසී ය: “මෙය [ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම] විස්තීර්න නය පහසුකම් වැඩපිලිවෙලේ අත්තිවාරම් ගල්වලින් එකකි. එමගින්, ඕනෑ ම පුද්ගලික සමාගමක් මෙන් ම, වානිජමය පදනම මත ක්‍රියා කිරීම සහතික කෙරෙන අතර ම ස්ථිර සහ මෙහෙයුම සඳහා සුදුසු මූල්‍යමය තීන්දු ගනු ඇත.”
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලු තම පිලිවෙතට අනුකූලව ආන්ඩුව ක්‍රියාත්මක වන්නේද යන්න මත තම නය මුදලේ ඊලඟ වාරිකය නිදහස් කරන බව ඔහු පැවසී ය. මෙම ප්‍රකාශය ලංවිම සේවකයින්ගේ විරෝධතාව ඇතුලුව ජාමූඅ හි වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන් අතරින් පැන නගින විරෝධයන්ට එරෙහිව එල්ල කෙරුනු තර්ජනයක් විය.
ආන්ඩුවේ තර්ජනයට යටත් වූ වෘත්තීය සමිති නිලධරය තම ක්‍රියාවන් අකුරට වැඩ කිරීමේ උද්ඝෝෂනයට සීමා කලේ ය.
තවද, ඔවූහු පහත සඳහන් ඉල්ලීම් ඇතුලත්ව ඉල්ලීම් 24 ක් සකස් කලහ, එනම්: භාවිතයට නොගත් වෛද්‍ය නිවාඩු සඳහා ගෙවීමක්; ආරවුල් විසඳීම සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ අධීක්ෂනය යටතේ යාන්ත්‍රනයක්; නය පහසුකම් අඛන්ඩව පවත්වාගෙන යාම; සියයට 25 ක වැටුප් වැඩිවීමක්; සහ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් කලමනාකරනය කිරීම සඳහා වෙනම සමාගමක් පිහිටු වීම.
ඔක්තෝබර් 13 වන දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෘත්තීය සමිති නායකයින් සමඟ සාකච්ඡාවක් පවත්වා ඒවා විසඳීමට “පොරොන්දු” විය. වෘත්තීය සමිති නායකයෝ වහා ම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අත්හිටුවා, සේවකයින්ගේ ප්‍රතිරෝධය අවසන් කලහ. පසුව, අමාත්‍යවරයා සමහර ඉල්ලීම් විසඳීමට ඇති සූදානම පිලිබඳව වෘත්තීය සමිතිවලට දැනුම් දුන් නමුත් වීආර්එස් ක්‍රමයේ වන්දි වැඩි කිරීම ප්‍රතික්ෂේප කලේ ය.
අධිකරනයෙන් සහන ලබාගත හැකිය යන මිත්‍යාව ප්‍රවර්ධනය කරමින් කම්කරුවන් පීලි පැන්නවීමේ තවත් ක්‍රියාවක් ලෙස, වෘත්තීය සමිති නිලධරය නව සමාගම්වල සේවකයින්ගේ රාජකාරි පැහැදිලිව නිර්වචනය කරමින් ලිපි නිකුත් කරන ලෙස ආන්ඩුවට නියෝග කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරනයේ නඩුවක් ගොනු කලේ ය. වෘත්තීය සමිතියේ සූත්‍රයට අනුව වීආර්එස් යටතේ ගෙවීම් වැඩි කරන ලෙස ආන්ඩුවට දනවන ලෙස ද ඔවුහු අධිකරනයෙන් ඉල්ලා සිටියහ.
ඔක්තෝබර් 24 වන දින අභියාචනාධිකරනය ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කලේ ය.
ලංවිම සේවකයින්ට සහ සමස්තයක් ලෙස කම්කරු පන්තියට නැවතත් ලැබී ඇති කටුක පාඩම නම්, තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සටන්කාමීත්වය සහ අධිෂ්ඨානය ප්‍රමානවත් නොවන බවයි. මෙම ප්‍රහාරවලට මුහුන දීම සඳහා කම්කරුවන්ට තමන්ගේ අයිතීන් තහවුරු කෙරෙන පැහැදිලි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය ය.
ගෝලීය වශයෙන් තීව්‍ර වන ධනවාදයයේ ආර්ථික අර්බුදයට කම්කරුවෝ මුහුන දී සිටිති. මෙම ආර්ථික අර්බුදයේ බර ඔවුන්ගේ පිට පැටවීම සඳහා ජාත්‍යන්තර නය හිමියන් නියෝජනය කරන ජාමූඅ හි කප්පාදුවලට ඔවුහු මුහුන දී සිටිති. දිසානායක ආන්ඩුව මෙම ප්‍රහාර පැනවීමට කැප වී සිටී.
සජබ, ශ්‍රීලනිප, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, සහ දෙමල සහ මුස්ලිම් ධනපති පක්ෂ ඇතුලු සියලු ම විරුද්ධ පක්ෂ, ජාමූඅ ප්‍රතිපත්තිවලට සහාය දෙයි. ජනතාව මත බර පැටවීම සම්බන්ධයෙන් ඔවුන් ආන්ඩුව විවේචනය කරන්නේ නම්, එය වර්ධනය වන විරෝධය තම වාසියට ගසාකෑම සහ යටපත් කිරීම සඳහා ම පමනි.
ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්ගේ සටන මෙම කප්පාදු වැඩපිලිවෙලට සම්පූර්නයෙන්ම සහාය දෙන වෘත්තීය සමිති නිලධරය යටතේ කල නොහැක. වෘත්තීය සමිති නායකයින් විසින් ලංවිම සේවකයින් පාවා දීම සියලුම කම්කරුවන්ට දැඩි අනතුරු ඇඟවීමකි.
ජාමූඅ කප්පාදු පිලිවෙත් සහ ආන්ඩුවේ මර්දනයට එරෙහිව සටන් කිරීමට නම්, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් බිඳී කම්කරුවන්ගේ එක්සත් අරගලයක් ස්වාධීනව බලමුලු ගැන්වීමේ අත්‍යවශ්‍යතාවය මතු වේ.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය ආරම්භයේ සිටම ලංවිම අරගලය සමඟ එක පෙලට සිටියේ ය. ධනේශ්වර ගැති නිලධරයන්ගෙන් සහ ධනපති පක්ෂවලින් ස්වාධීනව, තමන්ගේ අවශ්‍යතා සඳහා තම සටන සංවිධානය කිරීම සඳහා කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුයි අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියෙමු.
බලධාරීන් නැවත නැවතත් කියා සිටියේ තමන්ට 5,000 ක් පමන සුලු සේවක සංඛ්‍යාවක් සමඟින් ලංවිම පවත්වාගෙන යා හැකි බවත්, කාර්යක්ෂමතාව වැඩි කල යුතු බවත් ය. නව සමාගම්වල නව තාක්ෂනයන් භාවිතා කිරීමත් මගින් රැකියා සහ සේවා කොන්දේසි කප්පාදු කිරීමේ මෙම උත්සාහය ගෙන යනු ඇත. මෙමගින් නිසැකවම “පිරිවැය අඩු කිරීම” සහ ලාභ මිරිකා ගැනීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ තිබේ.
ආන්ඩුව සහ කලමනාකාරිත්වය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා මෙම නව සමාගම්වල වෘත්තීය සමිති පිහිටුවීමට වෘත්තීය සමිති නිලධරයන් සැලසුම් කර ඇත. කම්කරුවන් මෙම නිලධරයන් කෙරෙහි විශ්වාස නොතැබිය යුතු බවත්, ඔවුන් මත නොයැපිය යුතු බවත් අපි කියා සිටිමු.
ලංවිම සේවකයින්, තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සටන් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කිරීමට ඔබේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය.
අර්බුද-ග්‍රස්ත ධනේශ්වර ක්‍රමය තුල තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත නොහැකි බව අපි ලංවිම සහ අනෙකුත් කම්කරුවන්ගේ අවධානයට යොමු කරමු. තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ අරගලය දිසානායක ආන්ඩුවට, සහ සමස්ත ධනපති පන්තියට සහ ජාත්‍යන්තර නයහිමියන්ගේ අවශ්‍යතා නියෝජනය කරන ජාමූඅ වැඩපිලිවෙලට එරෙහි දේශපාලන අරගලයකි.
මෙම සටන සඳහා අවශ්‍ය වන වැඩපිලිවෙල වන්නේ, සියලු ම රාජ්‍යය සතු ව්‍යවසායන්, බැංකු, විශාල සමාගම් සහ වතු, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීමයි. සියලු විදේශ නය ලබා ගෙන ඇත්තේ ධනපති පන්තියේ අවශ්‍යතා සඳහා ය. කම්කරුවන් එම නය ගෙවීම ප්‍රතික්ෂේප කල යුතු ය. කම්කරු පන්තිය, ග්‍රාමීය දුගීන් පෙලගස්වා මෙම සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කල යුතු ය.
ජාත්‍යන්තර සමාජවාදය සඳහා කම්කරු පන්තියේ එක්සත් ජාත්‍යන්තර සටනක කොටසක් ලෙස මෙම අරගලය වර්ධනය කල යුතු ය. ශ්‍රී ලංකාවේ ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමට එක්වීම අවශ්‍යය.
මෙම අරගලයට නායකත්වය දෙන මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීම සඳහා, ඉහත වැඩපිලිවෙල පිලිබඳව අප සමඟ සාකච්ඡා කර ( 0773562327) සසපට එක්වන ලෙස, අපි කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.
