ලෝකයේ කම්කරුවන්ට කොමියුනිස්ට් ජාත්‍යන්තරය ඉදිරිපත් කරන ප්‍රකාශනය

මොස්කව් නුවරදී පැවැත්වුනු කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්‍රථම ලෝක සම්මේලනයට ලියොන් ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කල “ලෝකයේ කම්කරුවන්ට කොමියුනිස්ට් ජාත්‍යන්තරය ඉදිරිපත් කරන ප්‍රකාශනය” ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ නැවත පල කරයි. 1919 මාර්තු 6 වෙනි දා පැවැත් වුන සම්මේලනයේ අවසාන සැසියේ දී මෙම ප්‍රකාශනය ඒකමතික ව සම්මත කරන ලදී. එය, මේහ්රිං පොත්හලෙන් ඔබට ලබාගත හැකි, ට්‍රොට්ස්කිගේ “කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමු පස් වසර” නම් කෘතියේ පලමු වෙලුම තුලද අඩංගුය.

1917 දී ලියොන් ට්‍රොට්ස්කි

සමාජවාදී සමානතා පක්ෂය, 2025 වසරේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර ගිම්හාන පාසැලට, ක්‍රිස්ටෝෆ් වෑන්ඩ්‍රීයර් විසින් ඉදිරිපත් කල දේශනයට අතිරේක කියවීම් වශයෙන් අපි මෙම ප්‍රකාශනය නැවත පල කරමු. මෙ තැනින් මෙම ලේඛනය ඉංග්‍රීසි බසින් කියවිය හැකි ය.

මෙම ලිපි මාලාවේ කොටසක් ලෙස, ලියොන් ට්‍රොට්ස්කි ගේ ප්‍රධානත ම ලියවිලි සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලියවිලි ද, විශේෂයෙන් ම, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ පරීක්ෂනයට අදාල ලියවිලි ද ඉදිරියේ දී නැවත පල කෙරෙනු ඇත.

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමු සම්මේලනයට යුරෝපයෙන් සහ ඉන් එපිට රටවල සිට නියෝජිතයන් 51 දෙනෙක් සහභාගි වූහ. එයින් 35 දෙනෙක් පූර්න ඡන්ද බලය සහිත අය වූ අතර ඉතිරි 16 දෙනා උපදේශක (අදහස් පල කල හැකි නමුත් පූර්න ඡන්ද බලය රහිත -පරිවර්තක) නියෝජිතයන් ලෙස සහභාගි වූහ. පලමු ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශවයේ ආන්ඩු විසින් පැන වූ බරපතල බාධක - එනම් මග ඇහිරීමේ සිට ඍජු මර්දනය දක්වා වූ විවිධ බාධක - නිසා, ඉතාලිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඇතුලු රටවල්වල නියෝජිතයන්ගේ සහභාගීත්වය එක්කෝ ප්‍රමාද කරන ලදී, නැත්නම් සපුරා වලක්වන ලදී.

දින ගනනක් තිස්සේ නියෝජිතවරු අලුත් ජාත්‍යන්තරයක් පිහිටු වීම, එහි ක්‍රියාමාර්ගික දිශානතිය, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයට සහ මාධ්‍යමික ප්‍රවනතාවන්ට එරෙහි අරගලය සහ අධිරාජ්‍යවාදයට සහ මිත්‍ර පාර්ශවයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන කරුනු ගැන වාද කලහ. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ අරමුනු සහ මූලධර්මයන් පැහැදිලි කෙරුනු ට්‍රොට්ස්කි ප්‍රකාශනය තුල සම්මේලනයේ කේන්ද්‍රීය නිගමනය අන්තර්ගත විය.

රුසියානු නියෝජිත පිරිසට ලෙනින්, ට්‍රොට්ස්කි, සිනොවියෙව්, බුකාරින්, සහ චිකෙරින් අයත් වූහ. වොරොව්ස්කි සහ ඔසින්ස්කි විකල්ප නියෝජිතයෝ ලෙස සහභාගි වූහ.

ලෝකයේ කම්කරුවන්ට කොමියුනිස්ට් ජාත්‍යන්තරය ඉදිරිපත් කරන ප්‍රකාශනය

වසර 72 කට පෙර, කොමියුනිස්ට් පක්ෂය, නිර්ධන පන්ති විප්ලවයේ ශ්‍රේෂ්ඨතම පුරෝගාමීන් වූ කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් විසින් ලියන ලද ප්‍රකාශනයක ස්වරූපයෙන් තම ක්‍රියා මාර්ගය ලෝකය ඉදිරියේ තැබීය. කොමියුනිස්ට්වාදය අරගලයේ මාවතට යම්තම් ප්‍රවේශ වනවාත් එක්කම පවා, එයට, තම මරනීය සතුරා නිවැරදිව හඳුනා ගත් දේපල හිමි පන්තීන්ගේ ක්‍රෝධයටත් උගුල් ඇටවීම්වලටත් බොරු ප්‍රචාර හා දඩයමටත් මුහුන දෙන්නට සිදු විය. ශත වර්ෂයෙන් තුන් කාලක් පමන තිස්සේ කොමියුනිස්ට්වාදයේ වර්ධනය සංකීර්න මාවත් ඔස්සේ ඉදිරියට ගියේ ය: ප්‍රචන්ඩ නැගීම් සමග අතිනත ගෙන පරිහානි කාල පැමිනියේ ය. සාර්ථකත්වයන් සමග කටුක පරාජයන් පැමිනියේ ය. නමුත් සමස්තයක් ලෙස, කොමියුනිස්ට් ප්‍රකාශනය විසින් කල් තියා පුරෝකථනය කල මාවත ඔස්සේ කරුනු සිදු විය, අවසාන තීරනාත්මක අරගලයේ යුගය පැමිනියේ සමාජවාදී විප්ලවයේ දූතයන් විසින් අපේක්ෂා කල හා බලාපොරොත්තු වූවාට වඩා පමා වීය. එහෙත් එය පැමින තිබේ. අද සෝවියට් මොස්කව් නුවර දී රැස් වී සිටින, යුරෝපයේ, ඇමෙරිකාවේ සහ ආසියාවේ විවිධ රටවල විප්ලවකාරී නිර්ධන පන්තික ජනයාගේ නියෝජිතයන් වන කොමියුනිස්ට්වාදී අප, වසර 72 කට පෙර කල් තියා දැක ඔප්පු කරන ලද්දා වූ එම ව්‍යාපාරයේ උරුමකරුවන් සහ මල්පල ගන්වන්නන් හැටියට සලකමු. අපේ කාර්යය වන්නේ කම්කරු පන්තියේ විප්ලවීය අත්දැකීම්වලට යටින් දිවෙන පොදු නීති සාමාන්‍යකරනය කර ගැනීමත්, ව්‍යාපාරය ඇතුලතින් ඛාදනය කරන අවස්ථාවාදයේ හා සමාජ දේශමාමකත්වයේ විසකුරු මිශ්‍රනය ව්‍යාපාරයෙන් අතුගා දැමීමත් ලෝක නිර්ධන පන්තියේ සියලු නිර්ව්‍යාජ විප්ලවවාදී පක්ෂවල ආයාසයන් එක්සත් කිරීමත් මගින් ලෝකය පුරා කොමියුනිස්ට් විප්ලවයේ ජයග්‍රහනය සඳහා මග සෑදීම හා එය ඉක්මන් කිරීම ය.

කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්

***

යුරෝපය සුන්බුන් වලින් හා දුම් දමමින් තිබෙන නටඹුන්වලින් වැසී ගිය අද, ඉතිහාසයේ සිටි නරකම ගිනි තැබීමේ උම්මත්තකයෝ, යුද්ධයට වගකිව යුතු අපරාධකරුවන් කවුදැයි සොයති. ඔවුන්ගේ සේවකයන්, එනම්, මහාචාර්යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීන්, මාධ්‍යකරුවන්, සමාජ දේශමාමකයන් ආදී ධනේශ්වරයේ සෙසු දේශපාලන පිම්පියෝ ඔවුන් පසුපසින් එති.

ලෝක අධිරාජ්‍යවාදයේ ප්‍රධාන කඳවුරු දෙක තුල සහ පොදුවේ සියලු ධනපති රටවල දේපල හිමි පන්තීන් තුල පවත්නා ලාභය සඳහා වන නොසංසිඳෙන කෑදරකම හේතුවෙන් අධිරාජ්‍යවාදී යුද්ධයක් ඇතිවීමේ අනිවාර්යතාව, අවුරුදු බොහෝ ගනනක් තිස්සේ සමාජවාදී ව්‍යාපාරය විසින් පුරෝකථනය කරන ලදී. යුද්ධය පුපුරා යාමට දෙවසරකට පෙර බේසල් සම්මේලනයේ දී සියලුම රටවල වගකිව යුතු සමාජවාදී නායකයෝ, එලඹෙන යුද්ධයේ සාපරාධී වගකීම අධිරාජ්‍යවාදයට පවරමින්, යුදවාදයේ අපරාධවලට කම්කරු පන්තියේ දඬුවම ලෙස ධනේශ්වරයේ හිස මත සමාජවාදී විප්ලවය පතිත කරලීමට තර්ජනය කලහ. පසුගිය පස් වසරේ අත්දැකීම් වලට පසුව, එනම් ඉතිහාසයට පසුව, ජර්මනියේ විලෝපික ගිජුකම සම්පූර්නයෙන්ම හෙලිදරව් වී තිබෙන අද දවසේ, මිත්‍ර පාර්ශවයේ අපරාධ ජර්මනියේ අපරාධ වලට නොදෙවෙනි බව හෙලිවෙමින් පවතී. මිත්‍ර පාර්ශ්වයේ ආන්ඩු අනුව යමින්, රාජ්‍ය සමාජවාදීහු බලයෙන් පහ කරනු ලැබ සිටින ජර්මනියේ කයිසර් රජු තුලින් යුද අපරාධකරුවා දකිති. ඒ මදිවාට, 1914 අගෝස්තුවේ දී හොහෙන්සොලර්න් රජතුමාගේ “ධවල පුස්තකය” අවසාන දේව භාෂිතය ලෙස පිලිගෙන සිටි ජර්මනියේ සමාජ දේශමාමකයෝ ඔවුන් මෙතෙක් කල් වහලුන් මෙන් සේවය කල, බලයෙන් පහ වී සිටින ජර්මන් රජ පරපුර ප්‍රධාන යුද අපරාධකරු බව දැන් කියති. ඔවුන්ගේ අපේක්ෂාව මේ කාරනයේදී තමන්ගේ ම සාපරාධීභාවය වසා ගැනීමත් ජයග්‍රාහී පාර්ශ්වයේ තුරුලට රිංගා ගැනීමත්‍ ය. සිදු වී ගෙන යන දේවල් වලින් ද රාජ්‍ය තාන්ත්‍රික හෙලිදරව් කිරීම් වලින්ද පෙනී යන්නේ ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ, ඉතාලියේ සහ එක්සත් ජනපදයේ පාලක පන්තිවල අප්‍රමාන සාපරාධීත්වය, පෙරලා දමනු ලැබූ රොමනොව්, හොහෙන්සොලර්න් සහ හැප්ස්බර්ග් රාජ පරම්පරාවන්ගේ සහ එම රටවල ධනපති කල්ලි වල සාපරාධීත්වයට නොදෙවෙනි බවයි.

ලෝක යුද්ධය මුවවිටටම එන තෙක්ම ඉංග්‍රීසි රාජ්‍ය තාන්ත්‍රිකය තම රහස්‍යභාවයේ කඩතිරය එසවූයේ නැත. ලන්ඩනයේ ආන්ඩුව, තමන් යුද්ධයට අවතීර්න වීමට යන බව හෙලි කිරීමට බිය වූයේ බ්‍රිතාන්‍යයන්ද තමන්ට එරෙහිව සටනට එනබව දැනගෙන ජර්මානුවන් යුද්ධය නැවැත්වීමට ඉඩ තිබේය යන සැකය නිසා ය. ලන්ඩනයට යුද්ධය උවමනා විය. ඔවුන් මෙලෙස හැසිරුනේ, ඉංග්‍රිසින් යුද්ධයට සහභාගි වෙතැයි පැරිස් (ප්‍රංශය) හා පෙට්‍රොග්‍රෑඩ් (රුසියාව) ආශාවෙන් බලාසිටිද්දී, තමන් යුද්ධයට සම්බන්ධ නොවී අපක්ෂපාතීව සිටිනු ඇත යන බලාපොරොත්තුව බර්ලිනයට (ජර්මනියට) සහ වියනාවට (ඕස්ට්‍රියාවට) දීමටය.

දශක කීපයක් මුලුල්ලේ සූදානම් කරන ලද යුද්ධය, මහා බ්‍රිතාන්‍යයේ සෘජු සහ දැනුවත් ප්‍රකෝපකරනයන් මගින් දියත් කරන ලදී. බ්‍රිතාන්‍යය ගනන් බැලුවේ ප්‍රංශයට හා රුසියාවට හති වැටී, තමන්ගේ පරම සතුරා වන ජර්මනියටත් හති වැටෙන තුරු යුද්ධය ගෙන යාමට ප්‍රමානවත් වන තරමට පමනක් ආධාර ප්‍රංශයට සහ රුසියාවට ලබා දීමටය. නමුත් සිදුවූයේ අනෙකකි. ජර්මන් යුදවාදයේ දැවැන්ත බලය එවැනි නාමික ආධාර වලින් මැඩලිය හැක්කක් නොවීය; ඊට කෙලින්ම බ්‍රිතාන්‍යය යුද්ධයට බැසීම අවශ්‍ය කලේය. මහා බ්‍රිතාන්‍යය ඇගේ පෞරානික සම්ප්‍රදාය අනුව යමින්, සිය බලාපොරොත්තුව වූ, සතුටෙන් කාරියට බසින තුන්වන පාර්ශ්වයක ආගමනය එක්සත් ජනපදයට භාර විය.

අමෙරිකානුවන් යුරෝපීයයන්ගේ රුධිරය කොටස් වෙලඳපොලේ සමපේක්ෂන ජාවාරම්වල යෙදවීම වලකාලීමට බ්‍රිතාන්‍යය

ඒක පාර්ශ්විකව ගත් තීන්දුවට පහසුවෙන්ම එකඟවීමට වොෂින්ටනය කැමති වූයේ ඒ වෙනුවට අමෙරිකානු ධනපතියන්ට රිසිසේ “ජාත්‍යන්තර නීතිය” උල්ලංඝනය කරමින් සුවිසල් ලාභ ගරා ගැනීමට මිත්‍ර පාර්ශවයන් රටවල් ඉඩ දුන් බැවිනි.

කෙසේ වෙතත්, ජර්මනියේ දැවැන්ත යුද ශක්තිය ඉදිරියේ වොෂිංටන් ආන්ඩුවට තම ව්‍යාජ මධ්‍යස්ථභාවය අත හැරීම ගැන දෙවරක් සිතන්නට සිදුව තිබුනි. එක්සත් ජනපදය තමන් වෙත පවරා ගත්තේ, ඊට පෙර සිදු වූ යුද්ධවල දී සමස්ත යුරෝපය සම්බන්ධයෙන් එංගලන්තය විසින් ඉෂ්ඨ කරමින් සිටි සහ මෑත ම යුද්ධයේ දී ඇය ඉටු කිරීමට තැත්කල රාජකාරියයි. එනම්, තමන්ට උපරිමයෙන් වාසි ලැබෙන අවස්ථාවල දී පමනක් යුදමය මැදිහත් වීම් කරමින්, එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට එරෙහි ව පිහිටුවා දුබල කිරීමයි. සූදුවේ දී අමෙරිකානුවන් ඔට්ටු අල්ලන හැටියට නම් විල්සන්ගේ (එක්සත් ජනපද ජනාධිපති වුඩ්රෝ විල්සන්) ඔට්ටු එතරම් ඉහල ඒවා නොවූ නමුත් එය අවසාන සූදුව නිසා ඔහුට ජය සහතික විය.

පලමුවන ලෝක යුද්ධයේ අගල් සටන්

යුද්ධයේ ප්‍රතිඵල වශයෙන්, සාගින්නේ රුදාව, අධික ශීතය නිසා විඳීමට සිදුවන වෙහෙස, වසංගත රෝග, සහ සමාජ වනචාරිත්වය ආදී ස්වරූපවලින් ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධතාවන් මනුෂ්‍ය වර්ගයාට අභිමුඛ විය. දරිද්‍රතාවයේ න්‍යාය සහ ධනවාදයේ සිට සමාජවාදය දක්වා ක්‍රමික විකාශනය පිලිබඳව සමාජවාදී ව්‍යාපාරය තුල තිබුනු ශාස්ත්‍රීය මතභේදය මෙයින් නිට්ටාවටම අවසන් විය. සියලු ප්‍රතිරෝධතාවන් සමනය වී ඇත යන න්‍යාය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනඥයන් සහ පන්ඩිතයන් දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තියේ ජීවන තත්වය ඉහල ගොස් ඇති බවට සැබෑ සහ කාල්පනික සාක්ෂි ලෝකයේ සෑම මුල්ලකින්ම ඇහිඳිමින් සිටියහ. ධනේශ්වර මහාචාර්ය වරුන්ගේත් සමාජවාදී අවස්ථාවාදයේ මහ නිලමක්කාරයන්ගේත් අපහාසාත්මක හඬ තැලීම් මැද මහා පරිමාන දරිද්‍රතාව පිලිබඳ න්‍යාය මිහිදන් කරන ලද්දේ යයි සලකන ලදී. වර්තමානයේ මෙම දරිද්‍රතාව සමාජමය මානයකින් පමනක් නොව ජීව විද්‍යාත්මක හා කායික විද්‍යාත්මක මානයකින් එහි තැති ගන්වනසුලු යථාර්ථයෙන් අප ඉදිරියේ නැගී සිටී.

අධිරාජ්‍යවාදී යුද්ධයේ මහා ව්‍යසනය, වෘත්තීය සමිති සහ පාර්ලිමේන්තු අරගල මගින් ලබාගත් ජයග්‍රහන සියල්ල අතු ගා දමා ඇත. යුද්ධය විසින් රුධිරය හා කසල තුල වල දැමූ එකී ආර්ථිකමය එකඟතාවන් හා පාර්ලිමේන්තු සම්මුති සේම, මෙම යුද්ධයමත් ධනවාදයේ අභ්‍යන්තර ප්‍රවනතාවන්ගේ නිෂ්පාදිතයකි. මනුෂ්‍ය වර්ගයා යුද්ධයේ අගාධයට ඇද දැමූ මූල්‍ය ප්‍රාග්ධනයම යුද්ධය තුලදී ව්‍යසනකාරී පරිවර්තනයක් අත්කර ගත්තේය. නිෂ්පාදනයේ භෞතික පදනම මත කඩදාසි මුදලේ රඳා පැවැත්ම සම්පූර්නයෙන්ම අවුල් කර දමා ඇත. කඩදාසි මුදල්, ධනේශ්වර වෙලඳ භාන්ඩ සංසරනයේ මාර්ගය සහ නියාමකයා හැටියට එහි වැදගත්කම වඩ වඩාත් අහිමි කර ගනිමින් අන් සතු දේ පවරා ගැනීමේ, බලයෙන් අයිතිකර ගැනීමේ සහ පොදුවේ යුද ආර්ථික ප්‍රචන්ඩත්වයේ අවියක් බවට පරිවර්තනය වී ඇත්තේය.

කඩදාසි මුදලේ මෙම කඩා වැටීම ධනේශ්වර වෙලඳ භාන්ඩ සංසරනයේ පොදු මාරාන්තික අර්බුදය පිලිබිඹු කරයි. යුද්ධයට පෙරාතු දශකවල දී ම, ආර්ථික ජීවිතයේ ප්‍රධාන ක්ෂේත්‍රවල නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ නියාමකයා හැටියට නිදහස් තරඟය විසින් ඉටුකල කාර්යය, සංගත හා ඒකාධිකාරයන් විසින් විස්ථාපනය කරනු ලැබ තිබුනි; යුද්ධ කාලය තුල දී මෙම නියාමන-අධ්‍යක්ෂන කාර්යය එම ආර්ථික කන්ඩායම් වලින් උදුරා කෙලින්ම මිලිටරි-රාජ්‍ය බලයේ හස්තයට මාරු කර තිබුනි.

අමුද්‍රව්‍ය බෙදාහැරීම, බාකු හෝ රුමේනියානු තෙල්, ඩොන්බාස් ගල් අඟුරු, යුක්‍රේනයේ තිරිඟු, ආදිය පාවිච්චි කිරීම, ජර්මනියේ දුම්රිය එන්ජින්, බඩු කෝච්චි- පෙට්ටි සහ මෝටර් වාහන ආදියේ ඉරනම, සාගතයෙන් පෙලෙන යුරෝපයට ආහාර ද්‍රව්‍ය සලාක කිරීම ආදී ලෝක ආර්ථික ජීවිතයේ සියලු මූලික ප්‍රශ්න නියාමනය කරන ලද්දේ වෙලෙඳපොලේ නිදහස් තරඟය විසින් හෝ වානිජ සංගත විසින් නොව, තම අඛන්ඩ පැවැත්ම සහතික කර ගැනීම වෙනුවෙන් මිලිටරි බලය සෘජු ලෙස යෙදවීම මගිනි. රාජ්‍ය බලය මුලුමනින්ම මූල්‍ය ප්‍රාග්ධනයේ බලයට යටත් කිරීම මිනිස් වර්ගයා අධිරාජ්‍යවාදී යුද්ධයේ මෙම මිනිස් ඝාතනය දක්වා කැඳවා ගෙන පැමිනියේනම්, මෙම ඝාතනය තුලින් මූල්‍ය ප්‍රාග්ධනයට රාජ්‍යය පමනක් නොව තමන්ම පවා මිලිටරිකරනය කරන්නට හැකි වී තිබේ; ලෙයින් සහ යකඩයෙන් හැර අන් අයුරකින් එහි මූලික ආර්ථික කාර්යයන් තවදුරටත් කිරීමට එය අසමත්‍ ය.

ලෝක යුද්ධයට පෙර සමාජවාදය කරා ක්‍රමයෙන් සංක්‍රමනය වීම වෙනුවෙන් සංයමයෙන් ක්‍රියා කරන ලෙස කම්කරු පන්තියෙන් ඉල්ලා සිටි අවස්ථාවාදීහු, යුද්ධ කාලය තුල දී සිවිල් සාමය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පන්ති කීකරුකම ඉල්ලා සිටියහ. දැන් ඔවුහු නැවතත් - මෙවර යුද්ධයේ කුරිරු ප්‍රතිවිපාකයන් ජය ගැනීම වෙනුවෙන් - ස්වයං-අත්හැරීමේ යෙදෙන ලෙස කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිති. මෙම දේශනා වැඩකරන බහුතර ජනයා පිලිගතහොත්, අලුත් වූද වඩා සංකේන්ද්‍රනය වූද මෘග ස්වරූපවලින් ධනවාදී වර්ධනය - නව යුද්ධයක අනිවාර්යතාව සමග - පරම්පරා ගනනක ඇටකටු මත පැටවෙනු ඇත. මානව වර්ගයාගේ වාසනාවකට මෙය සිදු විය නොහැක.

ධනවාදී ලිබරලුන් එතරම් විරෝධය පෑ ආර්ථික ජීවිතයේ රාජ්‍යකරනය දැන් සිදු වී හමාරය. මෙතැන් සිට නැවත ආපසු යාමක් නැත - නිදහස් තරඟයේ යුගය කරා පමනක් නොව සංගත, සමාගම් සමූහ සහ වෙනත් ආර්ථික බූවල්ලන්ගේ යුගය කරාවත් දැන් ආපසු යා නොහැක. අද තිබෙන එකම ප්‍රශ්නය මෙයයි: රාජ්‍යකරනය වූ නිෂ්පාදනය මෙතැන්-සිට කරගෙන යන්නේ කවුද - අධිරාජ්‍යවාදී රාජ්‍යයද නැත්නම් ජයග්‍රාහී නිර්ධන පංතික රාජ්‍යය ද?

වෙනත් වචන වලින් කිවහොත්: ජාතීන්ගේ සංගමය යන සමාගම් නාමය යටතේ, තමන්ගේ පාලනය පවත්වා ගෙන යාම වෙනුවෙන් “ජාත්‍යන්තර” යුද හමුදාවක සහ “ජාත්‍යන්තර” නාවික හමුදාවක ආධාරය යටතේ ලෝකය පුරාම සමස්ත නිර්ධන පංතියට විලංගු ලන අතරේ එක් ජන කොටසක් කොල්ලකමින් හා ගෙල මිරිකමින් තවත් ජන කොටසකට කටු වීසි කරන ධනපති කල්ලිවල බන්ධිත වහලුන් බවට සමස්ත මනුෂ්‍ය වර්ගයාම පත් වෙනවාද? එසේ නැත්නම්, යුරෝපයේ සහ ලෝකයේ වෙනත් ප්‍රදේශවල දියුනු රටවල්වල කම්කරු පන්තිය, සමාජවාදී මූලධර්මයන් මත පුනර්ජනනය කිරීම සඳහා, කඩා කප්පල්කොට නටබුන් බවට පත්කර තිබෙන ආර්ථිකය සියතට ගන්නවා ද?

අද අප ජීවත්වෙමින් සිටින අර්බුද සමය කෙටි කල හැක්කේ, පසුගිය දේවල් ගැන නොසිතන, පරම්පරාවෙන් උරුම කර ගත් වරප්‍රසාද හෝ දේපල හිමිකම් වලට ගරු නොකරන, සාගින්නෙන් පෙලෙන ජනතාව මුදාගැනීමේ අවශ්‍යතාව තම ආරම්භක ලක්ෂ්‍යය කරගත්, අවුරුදු කීපයක දී යුද්ධයෙන් සිදු වූ විශාල තුවාල සුව කිරීමට පමනක් නොව පෙර නොවූ විරූ ඉහල තලයකට මානව වර්ගයා ඔසොවා තැබීම සඳහා සියලු බලයන් සහ සම්පත් බලමුලු ගන්වන, සියලු දෙනා වැඩට කැඳවීමේ බලය නීතිගත කෙරෙන, කම්කරු විනය නීති පද්ධතියක් ස්ථාපනය කෙරෙන, නිර්ධන පංති ආඥාදායකත්වයක් තුලින් පමනකි.

***

ධනේශ්වර සංවර්ධනයට සුවිසල් තල්ලුවක් දුන් ජාතික රාජ්‍යය දැන් නිෂ්පාදන බලවේගවල වැඩිදුර වර්ධනය සඳහා පටු වැඩි ය. මෙය, යුරෝපයේ ප්‍රධාන රටවල් විසින් වට කරනු ලැබ, ලොව අනෙකුත් ප්‍රදේශ පුරා විසිර පවතින කුඩා රාජ්‍යයන්හි තත්වය අතිශය අවදානම් තත්වයට පත් කරයි. ලබාදුන් සේවා සඳහා ගෙවීම ලෙස හෝ උපායමාර්ගික ආරක්ෂක වැටක් ලෙස හෝ ලොකු රාජ්‍ය වලින් ගැලවුනු කැබලි ලෙස හෝ විවිධ කාලවල බිහිවූ මේ කුඩා රාජ්‍ය සතුව තමන්ගේම පාලක පරම්පරාවන්, පාලක පෙලැන්ති, අධිරාජ්‍යවාදීන් ලෙස කෙරෙන මවාපෑම් සහ රාජ්‍ය තාන්ත්‍රික කූටෝපායන් ආදිය තිබේ.

යුද්ධයට පෙරාතු කාලයේ දී මොවුන්ගේ මනෝරාජික ස්වාධීනත්වය රඳා පැවතියේ යුරෝපීය සමතුලිතතාවය මතයි, එනම් අධිරාජ්‍යවාදී කඳවුරු දෙක අතර අඛන්ඩ ප්‍රතිවිරුද්ධත්වය මතයි. යුද්ධය මෙම සමතුලිතතාවය බිඳ දමා ඇත. මුල දී ජර්මනියට ඉමහත් ප්‍රමුඛතාවක් ලබා දීම මගින් යුද්ධය කුඩා රාජ්‍යයන්ට බලකර ඇත්තේ ජර්මන් යුදවාදයේ ත්‍යාගශීලී තටුව යට තම විමුක්තිය සොයා ගැනීමට ය. ජර්මනිය යුද්ධයෙන් කුඩුකර දැමීමෙන් පසුව, මේ කුඩා රාජ්‍ය වල ධනේශ්වර පංතිය සහ ඔවුන් එකිනෙකාගේ ජාතිමාමක ඊනියා “සමාජවාදී” කල්ලි ජයග්‍රාහී මිත්‍ර පාර්ශවය දෙසට තම මුහුනු හරවා, විල්සන්ගේ ක්‍රියාමාර්ගයේ කුහක කරුනු තුලින් තම අනාගත ස්වාධීන පැවැත්ම සහතික කර ගැනීමට උත්සාහ කිරීම ආරම්භ කලහ. ඒ සමගම කුඩා රාජ්‍ය සංඛ්‍යාව වැඩි විය; ඔස්ට්‍රෝ-හන්ගේරියානු රාජාන්ඩුව බිඳ වැටීම තුලින් සහ කලින් තිබුනු සාර්වාදී අධිරාජ්‍යයේ බිඳ වැටීම සමග කැඩී ගිය කැබලි අලුත් රාජ්‍ය බවට පත්වීම වශයෙනි. මේ කුඩා රාජ්‍ය බිහිවූ සැනින්ම දේශසීමා පිලිබඳ ප්‍රශ්නය උඩ එකිනෙකාගේ බෙල්ලට පැන්නාහ. ඒ අතරවාරයේ මිත්‍ර පාර්ශවයේ අධිරාජ්‍යවාදීන්, පැරනි සහ අලුත් කුඩා රාජ්‍යයන්, පොදු වෛරය හෝ පොදු නොහැකියාව මත කන්ඩායම්ගත කරමින් සිටියහ. සුලු කලකට පෙර යුරෝපීය “මධ්‍යම අධිරාජ්‍යයේ” අධිරාජ්‍යවාදීන් කල ආකාරයටම මිත්‍ර පාර්ශවයේ අධිරාජ්‍යවාදීන් ද කුඩා දුර්වල රාජ්‍යයන් පාගා ගෙන ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය කරන ගමන්ම, එම රටවල ජනතාව හාමතයට සහ විනාශයට ඇද දමන ගමන්ම, අද යුරෝපය පුරාමත් ලොව අනෙකුත් තැන්වලත් පාගා දමා තිබෙන ජාතීන්ගේ ස්වයං නිර්න අයිතීන් ගැන නොකඩවාම කතා කරති.

1919 මැයි 27 වන දින පැරිස් සාම සමුලුවේදී “මහා සිවු” ජාතීන්ගේ ප්‍රධානීන්. වමේ සිට දකුනට: ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ්, විටෝරියෝ ඔර්ලන්ඩෝ, ජෝර්ජස් ක්ලෙමෙන්සියෝ සහ වුඩ්රෝ විල්සන්

කුඩා රාජ්‍යවල ජනතාවන්ට නිදහසේ පැවතීමේ අවස්ථාව සහතික කල හැක්කේ, පොදු ආර්ථික සැලැස්මක පදනම මත ඉතා සමීප ආර්ථික සහයෝගීතාවකින් සියලු ජනයා එක්සත් කරන, ඒකාබද්ධ සහ කේන්ද්‍රගත යුරෝපීය සහ ලෝක ආර්ථික සැලසුම් වලට කවර හෝ හානියකින් තොරව දුබලම හා කුඩාම රටවලට ද තම ජාතික සංස්කෘතික කටයුතු ස්වාධීනව කරගෙන යාමට ඉඩ සලසන, සියලු රටවල නිෂ්පාදන බලවේග ජාතික දේශසීමාවල බන්ධනයෙන් මුදා හරින නිර්ධන පංතික විප්ලවයට පමනි.

පුලුල් ලෙස ගත් කල, යටත් විජිත බෙදාගැනීම සඳහා කෙරුනු යුද්ධයක් වූ පසුගිය යුද්ධය, ඒ අතරේම යටත් විජිතවල ආධාරයෙන් කරන ලද යුද්ධයක් ද විය. යටත් විජිත වල ජනගහනයන් පෙර නොවූ විරූ පරිමානයෙන් යුරෝපීය යුද්ධයට ඇද ගන්නා ලදී. ඉන්දියානුවන්, නීග්‍රෝවරුන්, අරාබීන් සහ මැඩගස්කර වැසියන් යුරෝපීය භූමිවල සටන් කලහ. කුමක් වෙනුවෙන් ද ? එංගලන්තයේ සහ ප්‍රංශයේ වහලුන් ලෙස දිගටම සිටීමේ අයිතිය වෙනුවෙනි. මෙතරම් පැහැදිලි ලෙස යටත් විජිත තුල ධනේශ්වර පාලනයේ නීචත්වය හඬගා පෙන්වන අවස්ථාවක් පෙර නොවීය; අද තරම් තියුනු ලෙස යටත්විජිතවාදී වහල්භාවය පිලිබඳ ගැටලුව ඉස්මතු කර පෙන්වන අවස්ථාවක් පෙර නොවී ය.

සියලුම යටත්විජිත තුල විවෘත සන්නද්ධ නැගිටීම් ගනනාවක් හා විප්ලවීය කැලඹීම් එතැන් සිට පැන නැංගේ ය. යුරෝපය තුලමත්, අයර්ලන්තය, තමන් තවමත් වහල් රාජ්‍යයක තත්වයේ පවතින බවත් තමන් වහල් රටක වැසියන් ලෙස සලකන බවත් ලේ වැකි වීදි සටන් මගින් සංඥා කරමින් සිටී. මැඩගස්කරයේ, ඇනෑමයේ (මධ්‍යම වියට්නාමය) සහ වෙනත් තැන්වල දී යුද්ධය පවතිද්දී ම යටත් විජිත ජනයාගේ නැගිටීම් ධනේශ්වර සමූහාන්ඩුවේ භට පිරිස් විසින් මර්දනය කරන ලද්දේ එක් වරක් පමනක් නොවේ. ඉන්දියාවේ දී, විප්ලවවාදී රැල්ල එක් දිනකට හෝ බැස ගියේ නැති අතර එය, ඉංග්‍රීසි ආන්ඩුව විසින් බොම්බායේ වීදි වලට සන්නද්ධ රථ යැවීමෙන් ප්‍රතිචාර දැක්වූ ආසියාවේ දැවැන්තම වැඩ වර්ජන දක්වා පැතිර ගියේය.

මෙලෙස යටත් විජිත පිලිබඳ ප්‍රශ්නය පැරීසියේ රාජ්‍ය තාන්ත්‍රික සමුලුවේ න්‍යාය පත්‍රය මත පමනක් නොව යටත් විජිත තුලමත් එහි පූර්න පරිමානයෙන් දිග හැරී තිබේ. හොඳම තතු යටතේ, විල්සන්ගේ ක්‍රියා මාර්ගයේ කර්තව්‍යය වන්නේ යටත් විජිත වහල්කරනයේ ලේබල් මාරු කිරීම පමනි. යටත් විජිත වල විමුක්තිය ගැන සිතිය හැක්කේ දියුනු රටවල කම්කරු පන්තියේ විමුක්තිය සමග ඒකාබද්ධව පමනකි. ඇනෑම්, ඇල්ජියර්ස් සහ බෙංගාලයේ පමනක් නොව පර්සියාවේ සහ ආමිනියාවේත් කම්කරු සහ දුගී ගොවි ජනතාව තමන්ගේ ස්වාධීන පැවැත්ම සඳහා අවස්ථාව ලබා ගනු ඇත්තේ එංගලන්තයේ සහ ප්‍රංශයේ කම්කරුවන් ලොයිඩ් ජෝජ් සහ ක්ලෙමන්කෝ ගෙදර යවා තමන් අතට රාජ්‍ය බලය ගන්නා හෝරාවේ දී ය. වර්තමානයේ පවා වඩා සංවර්ධනය වූ යටත් විජිතවල අරගලය දේශ විමුක්තියේ ධජය යටතේ සිදුවුවත් එය පැහැදිලිව නිර්වචනය වූ සමාජමය ස්වභාවයක් අත්කර ගනී. ධනවාදී යුරෝපය, ලෝකයේ ඉතාම පසුගාමී කොටස් ධනේශ්වර සම්බන්ධතාවන්ගේ සුලිය තුලට ප්‍රචන්ඩ ලෙස ඇද ගත්තේ නම්, සමාජවාදී යුරෝපය, තම තාක්ෂනයෙන්, තම සංවිධාන ශක්තියෙන්, සහ තම දෘෂ්ටිමය බලපෑමෙන් සැලසුම්ගත සහ සංවිධාන ගත ආර්ථිකයකට සංක්‍රමනය වීමට අලුතින් විමුක්තිය ලැබූ යටත් විජිත වලට ආධාර කරනු ඇත.

ආසියාවේ සහ අප්‍රිකාවේ යටත් විජිතවල වහල් ජනයිනි! යුරෝපයේ නිර්ධන පංති ආඥාදායකත්වයේ හෝරාව ඔබේ විමුක්තියේ ද හෝරාව වනු ඇත.

සමස්ත ධනපති ලෝකයම, නිදහස සහ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරතැයි කොමියුනිස්ට් වරුන්ට චෝදනා කරයි.

මේවා අසත්‍යයන්‍ ය. බලය ලබා ගැනීමෙන් අනතුරුව නිර්ධන පන්තිය කරන්නේ, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ විධික්‍රම පාවිච්චියට ගැනීමේ සම්පූර්න නොහැකියාව හෙලිදරව් කර නවතම සහ වඩා ඉහල මට්ටමේ කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අවශ්‍ය කොන්දේසි නිර්මානය කරමින් එය පිහිටුවීම පමනකි. ධනේශ්වර වර්ධනයේ සම්පූර්න ක්‍රියාදාමය, විශේෂයෙන්ම එහි අවසාන අධිරාජ්‍යවාදී යුගයේ දී, ජාතීන් සමහන් කල නොහැකි කඳවුරු දෙකකට බෙදීම මගින් පමනක් නොව බොහෝ සුලු ධනේශ්වර තට්ටු සහ නිර්ධන පන්තියේ ඉතාම දුගී පහල තට්ටු ආර්ථික අකර්මන්‍යතවයට සහ දේශපාලන අක්‍රිය තත්වයට ඇද හෙලීම මගින් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය කඩාකප්පල් කිරීමට කටයුතු කර ඇත.

ඓතිහාසික වර්ධනය විසින් අවස්ථාව ලබාදී තිබෙන රටවලදී කම්කරු පන්තිය දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයේ තන්ත්‍රය ධනවාදයට එරෙහි ව සංවිධානය වීම සඳහා පාවිච්චි කර ඇත. නිර්ධන පංතිය විප්ලවය සඳහා කොන්දේසි තවමත් මුහුකුරා ගොස් නැති රටවල්වලදී එම දෙයම අනාගතයේ දී සිදුවනු ඇත. සමස්ත යුගයන් ම ඓතිහාසික වර්ධනයට පිටුපසින් තබමින් ධනවාදය, ගම්බදව පමනක් නොව නගරබදව සිටින පුලුල් අතරමැදි ජනතාව හිර කර තබා ඇත. ගමේ පල්ලියේ මුදුන් කොතට ඔබ්බෙන් කිසිවක් දකින්නට තවමත් අසමත් බැවේරියා සහ බේඩන්වල ගොවියන් ද තමන් නිපදවන වයින්වලට වෙනත් දේ කලවම් කර විකුනන මහා පරිමාන ධනපතියන් නිසා බංකොලොත්භාවයට ඇද දමා සිටින ප්‍රංශයේ කුඩා වයින් නිෂ්පාදකයන් ද බැංකු කරුවන් හා කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් විසින් වංචා කර සූරාකනු ලබන ඇමරිකානු කුඩා ගොවියන් ද ආදී ධනේශ්වර සංවර්ධනයේ ප්‍රධාන ධාරාවෙන් පසුපසට තල්ලු කර දමා සිටින සියලු සමාජ ස්ථර, දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයේ තන්ත්‍රය හැටියට නම් රාජ්‍යයේ ගමන් දිසාව තීන්දු කිරීමට කැඳවනු ලැබේ. නමුත් එය කඩදාසියට පමනකි. සැබෑ ලෝකයේ දී, ජනතාවන්ගේ ඉරනම තීන්දු කරන සියලු මූලික ප්‍රශ්නවල දී තීන්දු ගනු ලබන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපසින් සිටින මූල්‍ය කතිපයාධිකාරයන් විසිනි. එදා යුද්ධය පිලිබඳ ප්‍රශ්නයේ දී තිබුන තත්වය එයයි, අද සාමය පිලිබඳ ප්‍රශ්නයේදී ද තිබෙන තත්වය එයයි. මූල්‍ය කතිපයාධිකාරයන් තම ප්‍රචන්ඩ ක්‍රියාවන්ට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට තවමත් කරදර වන තරමට ම, තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ධනේශ්වර රාජ්‍යය සතුව සියලු අවි ආයුධ තිබේ; එනම් බොරු ප්‍රචාර, වාචාල කථිකයන්, උගුල් ඇටවීම්, මඩ ගැසීම්, අල්ලස, ත්‍රස්තවාදය ආදී සියවස් ගනනක සිට උරුම කරගත්, ධනපති තාක්ෂනයේ ආශ්චර්යයන් විසින් ගුනිත කරන ලද පන්ති වහල් ක්‍රමයේ ආයුධ තිබේ.

ධනපති ක්‍රමය සමග ජීවිතයත් මරනයත් අතර අවසාන සටනේ නිරතව සිටින නිර්ධන පංතියෙන්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ නීති රීති පිලිපදින ලෙස ඉල්ලීම, හරියට, තම ගෙල සිඳ දැමීමට තැත්කරන්නෙකු සමග සටනක නිරත මිනිසෙකුගෙන්, සතුරා විසින් පනවන ලද්දාවූත් ඔහු විසින් නොපිලිපදින්නාවූත් ප්‍රංශ මල්ලව පොරවල කෘතිම හා සීමාකාරී නීති රෙගුලාසි පිලිපදින ලෙස ඉල්ලීම වැනිය.

නිෂ්පාදන බලවේග සහ ප්‍රවාහනය පමනක් නොව දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතන ද ලෙයින් පෙඟුනු සැකිලි බවට පත්ව ඇති මේ විනාශයේ රාජධානිය තුල සැම දේටම වඩා කම්කරු පන්තියේ අභ්‍යන්තර බැඳීම් ශක්තිමත් කරන්නාවූත් මානව වර්ගයාගේ අනාගත සංවර්ධනය උදෙසා විප්ලවවාදීව මැදිහත්වීමට හැකියාව ලබා දෙන්නාවූත් යාන්ත්‍රනයක් සාදා ගැනීමට නිර්ධන පන්තියට බලකෙරී තිබේ. එකී යාන්ත්‍රනය කම්කරු සෝවියට් සභා විසින් නියෝජනය කරයි. පැරනි පක්ෂ, වෘත්තීය සමිති වල පැරනි සංවිධාන වල ඉහලම සම්මේලන ආදියට නව යුගය විසින් ඉල්ලා සිටින කර්තව්‍යයන් ඉෂ්ඨ කිරීම තබා ඒවා වටහා ගැනීමටවත් හැකියාව නැත. නිර්ධන පන්තිය විසින් අලුත් පන්නයේ සංවිධානයක්, වෘත්තිය හෝ දැනට ලබා ගෙන ඇති දේශපාලන වර්ධනය ගැන නොසලකන සියලු වැඩ කරන ජනතාව අඩංගු වන පුලුල් සංවිධානයක්, අඛන්ඩ නවෝත්පාදනයට හා ව්‍යාප්තියට ඉඩ සලසන, නොකඩවාම අලුත් ස්තර ආකර්ෂනය කර ගැනීමට සමත් සුඛනම්‍ය සංවිධානයක්, නිර්මානය කර තිබේ. තම සංවිධානයේ දොරටු පුලුල් ලෙස විවෘත කර නගරයේත් ගමේත් නිර්ධන පංතියට සමීප සියලු වැඩ කරන ජනයා තමා වටා ඒකරාශි කර ගැනීමට එයට හැකිය. ඒ වෙනුවට යොදාගත හැකි වෙනත් සංවිධානයක් නැති කම්කරු පන්තියේ මෙම ස්වයං පාලන සංවිධානය, රාජ්‍ය බලය සඳහා අරගලයේ සහ එය සාක්ෂාත් කර ගැනීමේ සංවිධානය හැටියට විවිධ රටවල අත්දැකීමෙන් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර එය අපේ යුගයේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රහනය සහ නිර්ධන පන්තියේ ආයුධයයි.

1917 විප්ලවය සමයේ පෙට්‍රොග්‍රෑඩ් සොල්දාදුවන්ගේ සෝවියට් සභාවේ සැසියක්

වැඩකරන ජනතාව දැනුවත් ජීවිත ගත කරන රටවල්වල කම්කරුවන්ගේ, සොල්දාදුවන්ගේ සහ ගොවි නියෝජිතයන්ගේ සෝවියට් සභා දැන් ගොඩනැගෙමින් පවතින අතර එසේ ගොඩනැගීම දිගටම සිදු වනු ඇත. සෝවියට් සභා ශක්තිමත් කිරීම, ඒවායේ අධිකාර බලය වැඩි කිරීම සහ ඒවා ධනේශ්වර රාජ්‍ය තන්ත්‍රයේ ඇටවුම් වලට ප්‍රතිවිරුද්ධව පිහිටුවීම - අද දවසේ සියලු රටවල පංති විඥානයෙන් යුක්ත සහ අවංක කම්කරුවන්ගේ වැදගත්ම කර්තව්‍යයයි. යුද්ධයේ රුදුරු දුක් වේදනා, සාගින්න, දේපල හිමි පන්තියේ ප්‍රචන්ඩත්වය සහ තම පැරනි නායකයන්ගේ ද්‍රෝහිත්වය මගින් තමා වෙත පමුනුවා තිබෙන කුනු වීමෙන් කම්කරු පන්තියට මිදිය හැක්කේ සෝවියට් සභා මාර්ගයෙනි. වැඩ කරන ජනයාගේ බහුතරය, සෝවියට් සභා වටා පෙලගැස්වීමට සමත් වන සියලු ම රටවල කම්කරු පන්ති වලට එම සභා මාර්ගයෙන් සහතික වශයෙන්ම පහසුවෙන්ම රාජ්‍ය බලය ගැනීමට හැකි වනු ඇත. බලයට පැමිනීමෙන් පසු කම්කරු පන්තිය, වර්තමානයේ රුසියාවේ සිදුවන්නාක් මෙන් රටේ ආර්ථික හා සංස්කෘතික ජීවිතයේ සියලු ක්ෂේත්‍ර මත තම ආධිපත්‍යය පතුරවනු ඇත. අධිරාජ්‍යවාදී රාජ්‍යය ස්ථාපිත කිරීම, සාර්වාදී රාජ්‍යයේ සිට ඉතාම “ප්‍රජාතන්ත්‍රවාදී” රාජ්‍යය දක්වා ම, සිදුවන්නේ අධිරාජ්‍යවාදී මිලිටරි පද්ධතිය ස්ථාපිත කිරීම සමග සමගාමීවය. අධිරාජ්‍යවාදය විසින් කැඳවනු ලැබූ මිලියන සංඛ්‍යාත හමුදා නඩත්තු කිරීම කල හැක්කේ නිර්ධන පංතිය කීකරු ලෙස ධනේශ්වර ආධිපත්‍යයේ වියගස යටතේ සිටින තාක් දුරට පමනකි. ජාතික එකමුතු කමේ ඉරිතලා යාම අනිවාර්යයෙන්ම හමුදාවේ ඉරිතලා යාම සනිටුහන් කරයි. මුලින්ම රුසියාවේදී ද ඉන්පසු ජර්මනියේ සහ ඔස්ට්‍රියා-හන්ගේරියාවේ ද සිදු වූයේ එයයි. අනික් අධිරාජ්‍යවාදී රටවල් තුලත් එය ම සිදුවනු ඇතැයි අපේක්ෂා කල හැකි ය. ඉඩම් හිමියාට එරෙහි ව ගොවියාගේ නැගිටීම, ධනපතියාට එරෙහි ව කම්කරුවාගේ නැගිටීම, රාජාන්ඩුවාදී හෝ “ප්‍රජාතන්ත්‍රවාදී” නිලධාරි තන්ත්‍රයට එරෙහිව එකී දෙගොල්ලාගේම නැගිටීම යන ඒවා පිටුපසින් සොල්දාදුවන් අන දෙන්නන්ට එරෙහි නැගිටීමක්ද පසුව හමුදාවේ නිර්ධන පංතික කොටස් සහ ධනේශ්වර පංතික කොටස් අතර ගැඹුරු බෙදීමක්ද ජනිත කරනු ඇත. එක් ජාතියක් තවත් ජාතියකට එරෙහිව පිහිට වූ අධිරාජ්‍යවාදී යුද්ධය එම අවධිය පසු කොට එක් පන්තියක් තවත් පන්තියකට එරෙහිව පිහිටුවීම දක්වා පැමින ඇත.

සිවිල් යුද්ධයට හා “රතු ත්‍රස්තවාදයට” එරෙහිව ධනේශ්වර ලෝකය ගසන ලතෝනි දේශපාලන අරගලවල ඉතිහාසයේ දක්නට ලැබුනු දුෂ්ටතම කුහකත්වයයි. මනුෂ්‍ය වර්ගයා විනාශයේ කට ලඟටම ගෙන ආ සූරාකන්නන් කල්ලිය වැඩ කරන ජනතාවගේ සෑම ඉදිරි පියවරකටම ප්‍රතිරෝධය පෑවේ නැත්නම්, කුමන්ත්‍රන හා ඝාතන සංවිධානය කලේ නැත්නම්, ඔවුන් භුක්ති විඳින චොෟර වරප්‍රසාදයන් දිගටම පවත්වාගෙන යාම හෝ ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා පිටතින් හමුදා කැඳවූයේ නොමැති නම් සිවිල් යුද්ධයක් ඇති වන්නේ නැත.

කම්කරු පන්තිය මත සිවිල් යුද්ධය පටවන ලද්දේ එහි මරනීය සතුරන් විසිනි. සමස්ත මානව වර්ගයාගේම අනාගතය වන තමාමත්, තමාගේ ම අනාගතයත් අත්හැර දැමීමකින් හැර, ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයෙන් පිලිතුරුදීමේ ලා කම්කරු පන්තිය අසමත් විය නොහැක.

කොමියුනිස්ට් පක්ෂ කිසිවිටෙකත් කෘත්‍රිම ලෙස සිවිල් යුද්ධ අවුලුවන්නේ නැති අතර දෘඪතර අවශ්‍යතාව නිසාම සිවිල් යුද්ධ පැන නැංගහොත් ඒවායේ කාලය හැකි තරම් කෙටි කිරීමටත් ඊට ගොදුරු වන සංඛ්‍යාව හැකි තරම් අවම කර ගැනීමටත් සියල්ලටම වැඩියෙන් නිර්ධන පන්තියේ ජයග්‍රහනය සහතික කර ගැනීමටත් ඔවුහු බලාපොරොත්තු වෙති. ධනපති පන්තිය නිසි වේලාවේ දී නිරායුධ කිරීමේත් කම්කරුවන් නිසි වේලාවට සන්නද්ධ කිරීමේත් කම්කරු බලය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වේලාවට කොමියුනිස්ට් හමුදාව පිහිටුවා, එහි සමාජවාදී ගොඩනැංවීම නොකෙලසෙන බව තහවුරු කිරීමේත් අවශ්‍යතාව එතැනින් පැන නගී. ඇතුලතින් සහ පිටතින් එල්ල වන සියලු ප්‍රහාර වලින් කම්කරු පන්තියේ ජයග්‍රහනය රැක ගන්නා මහ පවුරක් සේ පැන නැගි සෝවියට් රුසියාවේ රතු හමුදාව එවැනි ය. සෝවියට් හමුදාව සෝවියට් රාජ්‍යයෙන් වෙන් කල නොහැක.

තම කර්තව්‍යයේ ජාත්‍යන්තර ස්වභාවය වටහාගනිමින් දියුනු කම්කරුවෝ සංවිධානගත සමාජවාදී ව්‍යාපාරයේ මුල්ම පියවරවලදීම එය ජාත්‍යන්තර පරිමානයෙන් එකමුතු කිරීම ආරම්භ කලහ. 1864 වර්ෂයේ ලන්ඩනයේ දී පලමු ජාත්‍යන්තරය විසින් ආරම්භක පියවර ගන්නා ලදී. ජර්මනියේ හොහෙන්සොලර්න් රජ පරපුරේ පාලනයට උපත දුන් ප්‍රංශ - පෘසියානු යුද්ධය පලමු ජාත්‍යන්තරයේ කටයුතු කඩාකප්පල් කල මුත් ජාතික කම්කරු පක්ෂවල සංවර්ධනයට එය රුකුලක් විය. 1889 තරම් ඈතදී, මෙම පක්ෂ පැරිස් කොන්ග්‍රසයේ දී රැස් වී දෙවන ජාත්‍යන්තරයේ සංවිධානය නිර්මානය කලහ. එකල කම්කරු ව්‍යාපාරයේ ගුරුත්ව කේන්ද්‍රය ප්‍රධාන වශයෙන්ම පිහිටා තිබුනේ ජාතික සීමාවන් තුලය; ප්‍රධාන වශයෙන්ම ජාතික රාජ්‍යවල රාමුව තුලය; ජාතික කර්මාන්තවල අත්තිවාරම මතය; ජාතික පාර්ලිමේන්තුවාදයේ ක්ෂේත්‍රය තුල ය. ප්‍රතිසංස්කරනවාදී සංවිධාන කටයුතු සිදු වුනු දශක ගනනක කාලය, වාචිකව සමාජ විප්ලවයේ ක්‍රියා මාර්ගය පිලිගත් එහෙත් ක්‍රියාවෙන් එය ප්‍රතික්ෂේප කල, ධනේශ්වර රාජ්‍යයට කීකරු ලෙස අනුගත වූ, ප්‍රතිසංස්කරනවාදයේ එරුනු, නායකයන් පරපුරකට උපත දුන්නේ ය. දෙවන ජාත්‍යන්තරයේ ප්‍රධාන පක්ෂ වල අවස්ථාවාදී ස්වභාවය මුලුමනින්ම හෙලිදරව් වී තිබේ; එය, ඓතිහාසික සිදුවීම් වල ගමනේ දී කම්කරු පංතික පක්ෂ වලින් අරගලයට විප්ලවවාදී විධික්‍රම ඉල්ලා සිටි මොහොතේ දී ලෝක ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීමට හේතු විය. 1870 යුද්ධය, පලමුවෙනි ජාත්‍යන්තරයේ සමාජ-විප්ලවවාදී ක්‍රියා මාර්ගයට බහුජන පදනමක් තවමත් නොමැති බව හෙලිදරව් කරමින් ඊට මරනීය ප්‍රහාරය එල්ල කලා සේ ම 1914 යුද්ධය, දෙවන ජාත්‍යන්තරයේ දැවැන්ත සංවිධාන ධනේශ්වර රාජ්‍යයේ සහකාර සංවිධාන බවට පත් ව ඇති බව හෙලිදරව් කරමින් එයට මරනීය ප්‍රහාරය එල්ල කලේ ය.

මෙම කාරනය, අද ඉතාම පැහැදිලි ලෙස එලිපිටම ධනපති කඳවුරට ගොස් සිටින, ධනේශ්වරයේ විශ්වාසවන්ත නියෝජිතයන් හා භාරකාරයන් බවට පත්ව සිටින, කම්කරුවන්ගේ හොඳම අලුගෝසුවන් බවට පත්ව සිටින සමාජ-දේශ හිතෛෂීනට පමනක් නොව දෙවන ජාත්‍යන්තරය යලි පිහිටුවීමට, එනම් එහි ප්‍රධාන සමුලුවල පටුකම, අවස්ථාවාදය සහ විප්ලවීය බෙලහීනත්වය යලි පිහිටුවීමට අපේක්ෂා කරන නිශ්චිත හැඩහුරුවක් නැති අස්ථායි “සමාජවාදී කේන්ද්‍රයට” ද අදාල වේ.

ජර්මනියේ ස්වාධීන පක්ෂය, ප්‍රංශයේ සමාජවාදී පක්ෂයේ වර්තමාන බහුතරය, රුසියාවේ මෙන්ෂෙවික් කන්ඩායම, එංගලන්තයේ ස්වාධීන කම්කරු පක්ෂය සහ වෙනත් සමාන කන්ඩායම් ඇත්ත වශයෙන් උත්සාහ කරමින් සිටින්නේ යුද්ධයට පෙර දෙවන ජාත්‍යන්තරයේ පක්ෂ විසින් දරා සිටි ස්ථානය හිමි කර ගැනීමටය. සම්මුතිය හා සහජීවනය පිලිබඳ අදහස් රැගෙන ඉදිරියට පැමිනි ඔවුහු, තමා සතු සියලු මාර්ග පාවිච්චි කරමින් නිර්ධන පංතියේ ජවය මොට කොට අර්බුදය පවතින කාලය දිගු කිරීම මගින් යුරෝපයේ ආපදාවන් දෙගුන කලහ. “සමාජවාදී කේන්ද්‍රයට” විරුද්ධ අරගලය, අධිරාජ්‍යවාදයට එරෙහි ව සාර්ථකව සටන් කිරීමේ පූර්ව අවශ්‍යතාවකි.

යල් පැනගිය සමාජවාදී පක්ෂවල උදාසීනත්වය, බොරු, සහ දූෂනය පසෙකට අතුගා දමා තුන්වන ජාත්‍යන්තරය තුල එක්සත්ව සිටින කොමියුනිස්ට්වාදීන් වන අප, බෙබූෆ්ගේ සිට කාල් ලීබ්නෙක්ට් හා රෝසා ලක්සම්බර්ග් දක්වා වූ වීරෝධාර සටන්කරුවන් දීර්ඝ පරම්පරාවක් ජීවිත පරිත්‍යාගයෙන් කල සටන්වල සෘජු උරුමකරුවන් ලෙස සලකමු.

කාල් ලීබ්නෙක්ට් හා රෝසා ලක්සම්බර්ග්

පලමු ජාත්‍යන්තරය, ඓතිහාසික වර්ධනය සිදුවන ආකාරය පෙරදැක ඉදිරිමග සලකුනු කලා නම්, දෙවන ජාත්‍යන්තරය මිලියන ගනන් කම්කරුවන් ඒකරාශි කොට සංවිධානගත කලා නම්, තුන්වන ජාත්‍යන්තරය වනාහී, විවෘත ජන අරගලවලත් විප්ලවීය සාක්ෂාත්කරනයේත් ජාත්‍යන්තරයයි.

ධනේශ්වර ලෝක පර්යාය සමාජවාදී විවේචනයෙන් ඇති තරම් බැට කා තිබේ. ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂයේ කාර්ය භාරය වන්නේ මෙම ලෝක පර්යාය බිඳ දමා ඒ වෙනුවට සමාජවාදී ලෝක පර්යායක් ඉදි කිරීමයි. අපි, සියලු රටවල වැඩ කරන මිනිසුන් හා ස්ත්‍රීන්, දැනටම ප්‍රථම ශ්‍රේෂ්ඨ ජයග්‍රහනයන්ගේ ධජය බවට පත් වී ඇති කොමියුනිස්ට් ධජය යටතේ එක්සත් වන ලෙස කැඳවා සිටිමු.

ලෝකයේ කම්කරුවනි, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහිව, රාජාන්ඩු ක්‍රමයට එරෙහිව, වරප්‍රසාදිත උරුමක්කාරයන්ට එරෙහිව, ධනේශ්වර රාජ්‍යයට හා ධනේශ්වර දේපල වලට එරෙහිව, සියලුම ආකාරවල පන්ති පීඩන හා ජාතික පීඩනවලට එරෙහිව, අරගලය සඳහා එක්වව්!

කම්කරුවන්ගේ සෝවියට් සභාවල ධජය යටතේ, රාජ්‍ය බලය හා නිර්ධන පංති ආඥාදායකත්වය සඳහා අරගලයේ ධජය යටතේ, තුන්වන ජාත්‍යන්තරයේ ධජය යටතේ, ලෝකයේ කම්කරුවනි, එක්වව්!

Loading