ඉදිරිදර්ශන

ආහාර මුද්දරවලට එරෙහි ට්‍රම්ප්ගේ තර්ජන: පන්ති යුද්ධයේ අවියක්

[මෙය Trump’s threats against food stamps: A weapon of class war යන මැයෙන් 2025 ඔක්තෝබර් 28 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2025 ඔක්තෝබර් 21 වන අඟහරුවාදා, වොෂින්ටනයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී [AP Photo/Manuel Balce Ceneta]

ආන්ඩුව වසා දැමීම (විධායකයේ ක්‍රියාකාරිත්වයට අරමුදල් සපයන හෝ බලය පවරන ප්‍රධාන පනත් කෙටුම්පත් ව්‍යවස්ථාදායකය විසින් සම්මත නොකිරීම හේතුවෙන් ආන්ඩුවේ වැඩකටයුතු නතරවීම - පරිවර්තක) අවසන් කිරීමට ඩිමොක්‍රටිකයින් යටත් නොවන්නේ නම්, නොවැම්බර් 1 වන දින ආහාර මුද්දර අරමුදල් කල් ඉකුත් වීම බලාත්මක කිරීමට ඉඩ දෙන බවට ට්‍රම්ප් පරිපාලනය කල ප්‍රකාශය, අතිශය කෲර ය. ට්‍රම්ප් පිටුපස සිටින කතිපයාධිකාරය කොටස් වටිනාකම්වල වාර්තාගත ඉහල යාම සමරන අතරතුර, තුතිදන් උත්සව මාසය (month of Thanksgiving) තුල ඇමරිකානුවන් මිලියන ගනනකට කුසගින්නේ සිටීමට සිදුවිය හැක.

ප්‍රධාන රාජ්‍ය ආහාර ආධාර වැඩසටහන වන 'අතිරේක පෝෂන ආධාර වැඩසටහන' (එස්එන්ඒපී) දිගටම ගෙන යාම සඳහා ඩොලර් බිලියන 6 ක හදිසි සංචිත භාවිතා නොකරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගිය සතියේ නිවේදනය කලේ ය.

ට්‍රම්ප් පරිපාලනය, එස්එන්ඒපී මත යැපෙන මිලියන 42 ක ජනතාවගේ ජීවිත, දේශපාලනික බ්ලැක්මේල් කිරීමක් (ඉල්ලීම ඉටු නොකලහොත් දරුනු ප්‍රතිඵල ලැබෙන බවට කරන තර්ජනය-පරිවර්තක) ලෙස යොදා ගනිමින් සිටී. ප්‍රදානලාභීන්ගෙන් තුනෙන් දෙකක් දරුවන් සිටින පවුල්වල අය වෙති. මෙම වැඩසටහන, 2023 දී, මිලියන 3 ක ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට ඇස්තමේන්තු කර තිබුනි. දැනටමත්, එක්සත් ජනපද කුටුම්බවලින් සියයට 5 ක් “ඉතා අඩු ආහාර සුරක්ෂිතතාවයෙන්” පෙලෙන බවට වර්ගීකරනය කර ඇත; මෙය, අනුභව කරන ආහාර ප්‍රමානය අඩු කිරීමට හෝ සියලු දෙනා එක්ව ආහාර වේල් මඟ හැරීමට හෝ තල්ලු කෙරුනු කුටුම්බ සමිබන්ධයෙන් ආන්ඩුවේ මෘදූක්තියකි; සැර බාල කිරීමකි. ආහාර මුද්දර අරමුදල් කල් ඉකුත් වුවහොත් (නතර කල හොත්) මෙම සංඛ්‍යා නාටකාකාර ලෙස ඉහල යනු ඇත.

හදිසි-තත්ව අරමුදල් භාවිතා නොකිරීමේ තීරනය බලධාරීන් විසින් සාධාරනීකරනය කර ඇත්තේ, කොංග්‍රසයේ අවසරයකින් තොරව එවැනි පියවරක් ගැනීම “නීති විරෝධී” වනු ඇති බවට වන ව්‍යාජ හේතු මත ය.

මෙය සත්‍යයක් වුව ද, මීට පෙර කිසිදාක ට්‍රම්ප් එයින් නතර කෙරී නැත. එය, එක්සත් ජනපද නගරවල සොල්දාදුවන් යොදවා ඇති විට සහ ධවල මන්දිරය වෙනිසියුලාවට එරෙහිව යුද්ධයට සූදානම් වන විට, ඔවුන්ගේ පක්ෂපාතිත්වය සහතික කර ගැනීම වෙනුවෙන් ගෙවීමට, බිලියනපති මිතුරෙකුගෙන් ලැබුනු ඩොලර් මිලියන 130 ක පරිත්‍යාගයක් සමඟ, අතිරේකව, ෆෙඩරල් අරමුදලෙන් ඩොලර් බිලියන 8 ක් හරවා යැවීමෙන් ඔහුව වලක්වාලූයේ නැත. එම පරිත්‍යාගය මෙන්ම, ධවල මන්දිරයේ නව බාල්-නැටුම් ශාලාවක් ඉදිකිරීම සඳහා තාක්ෂනික ක්ෂේත්‍රයේ බිලියනපතියන්ගෙන් ලැබුනු ඩොලර් මිලියන 300 ක පරිත්‍යාගය, කතිපයාධිකාරය සහ ආන්ඩුව අතර පැවති කවර හෝ බෙදුම්කඩනයක් අකාමකා දැමීම ප්‍රකාශයට පත් කරයි.

දේශපාලන අවියක් ලෙස, හිතාමතාම කුසගින්න භාවිතා කිරීම සම්බන්ධයෙන්, ඉතිහාසයේ වඩාත් ම කුරිරු පාලන තන්ත්‍රවල පූර්වාදර්ශයන් පවතී. අද, නෙතන්යාහු ආාන්ඩුව, ගාසා තීරයේ ජන සංහාරයේ ප්‍රධාන මෙවලමක් ලෙස කුසගින්න භාවිතා කරයි. හිට්ලර් රසිකයෙකු වන ට්‍රම්ප්, දෙවන ලෝක යුද්ධ සමයේ දී නැගෙනහිර යුරෝපයේ මිලියන ගනනක් කුසගින්නේ තැබීම සඳහා නාසි තන්ත්‍රය විසින් ක්‍රියාත්මක කරන ලද “කුසගිනි සැලැස්ම” හොඳින් දනී.

ට්‍රම්ප් එක්සත් ජනපදය තුල පන්ති යුද්ධයේ අවියක් ලෙස කුසගිනි තර්ජනය භාවිතා කරන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඉදිරි දින කිහිපය තුල කුමක් සිදු වුවද, දැන් පෙනෙන්නට තිබෙන නිර්දය උදාසීනත්වය නිසැකව ම පැහැදිලිය. කුප්‍රකට නාසි වාක්‍ය ඛන්ඩය භාවිතා කරන්නේ නම්, ට්‍රම්ප්ට අවශ්‍ය වූවහොත්, එස්එන්ඒපී ප්‍රතිලාභීන් මිලියන 42 න් බොහෝ දෙනෙකු—ලමයින්, වැඩිහිටියන්, ආබාධිතයන්— “ජීවත් වීමට නුසුදුසු ජීවිත” ලෙස සලකා කුසගින්නේ සිටීමට සලස්වනු  ඇත.

ආහාර මුද්දර පිලිබඳ නිවේදනය නිකුත් කිරීමත් සමගම වාගේ, ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන ස්ටීව් බැනන්, ට්‍රම්ප් 2028 දී ව්‍යවස්ථාපිත කාල සීමාවෙන් ඔබ්බට ද ධවල මන්දිරයේ තබා ගැනීමේ කුමන්ත්‍රනයක් පවතින බව ප්‍රසිද්ධියේ තහවුරු කලේය.

“අපි දේශපාලන යුද්ධයක නියැලී සිටින්නෙමු,” යනුවෙන් බැනන් පැවසුවේ, ඔවුන්ගේ මූලෝපාය, “ආයතන අල්ලාගෙන ඒවා පිරිසිදු කිරීම” බව පැහැදිලි කරමිනි. ට්‍රම්ප් විසින්ම “ඩිමොක්‍රටික” සහ “අර්ධ-කොමියුනිස්ට්” වැඩසටහන් අහෝසි කිරීමේ ඔහුගේ අභිප්‍රාය ප්‍රකාශ කර ඇති අතර, ඔහු එයින් අදහස් කර ඇත්තේ, මිලියන ගනනක් දෙනාගේ දිවි ගැටගසා ගැනීමට උපකාරී වන සීමිත සුභසාධන සහ හිමිකම් පියවරයන් ය.

වසා දැමීම සිදුවෙමින් පවතින්නේ පූර්ව සැලැස්මකට අනුව ය: විධායකය පුද්ගලික පාලනය යටතට ගැනීම, කොංග්‍රසයේ මූල්‍ය බලය පැහැර ගැනීම සහ අර්බුදය කඩතුරාවක් ලෙස භාවිතා කරමින්, රාජ්‍ය ශ්‍රම බලකාය තුල සිටින විරුද්ධවාදීන් ඉවත් කිරීම සඳහා ය.

වසා දැමීමට පෙර පවා, ගිම්හානයේ දී සම්මත කරන ලද ට්‍රම්ප්ගේ “බිග් බියුටිෆුල් බිල්” පනත, ආහාර මුද්දරවලින් ඩොලර් බිලියන 180 ක් කපා දැමූ අතර, නව සුදුසුකම් සීමාවන් යටතේ ලබන මාසයේ මිලියන 20 කට අධික ජනතාවකට, යම් ප්‍රමානයක හෝ සියලුම ප්‍රතිලාභ අහිමි වීමට නියමිතය. මෙඩිකේඩ් හි ඩොලර් බිලියන 800 කට වඩා කප්පාදු ද නීතියට ඇතුලත් විය. සහනදායක සත්කාර පනත යටතේ, පුද්ගලික සෞඛ්‍ය රක්ෂනය සඳහා ඉහල දමන ලද වාරික බදු සහන ද කල් ඉකුත් වීමට නියමිත අතර එය වාරිකවල දැවැන්ත වැඩිවීම් වලට තුඩු දෙනු ඇත.

පසුගිය සතියේ වොෂින්ටනයේ වර්ධනය වන මංමුලා සහගත තත්වය විදහා පෙන්වන සිදුවීම් දැකගත හැකි විය. තාවකාලිකව නිවාඩුගන්වා ඇති හෝ සේවයෙන් පහ කරන ලද රාජ්‍ය සේවකයෝ සිය ගනනින්, නොමිලේ ආහාර බෙදන ස්ථාන (food pantries) ඉදිරිපිට පෙල ගැසී සිටියහ. අද දින තම වැටුප පලමු වරට ශූන්‍ය වන (zero-dollar paychecks) ගුවන් ගමනාගමන පාලකවරු, කාර්ය මන්ඩල හිඟය හේතුවෙන්, රට පුරා ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් සමඟ පොරබදමින් සිටිති.

මෙය එක් මිනිසෙකුගේ නිෂ්පාදනයක් නොවේ. එය, මිනිස් ජීවිතයේ මූලික අවශ්‍යතා සමඟ පවා නොගැලපෙන ධනේශ්වර පාලක පන්තියක ප්‍රතිඵලයකි.

කොටස් වටිනාකම් ඉහල යද්දී සහ බිලියනපතියන්ගේ ධනයට ඩොලර් ට්‍රිලියන ගනන් එකතු වෙද්දී, ඇමරිකානු ධනවාදය බංකොලොත්භාවයේ ලක්ෂ්‍යයට ලඟා වෙමින් සිටී; නව අවපාතයක තර්ජනය මතු වෙමින් පවතින අතර රාජ්‍ය නය ඔරොත්තු දිය නොහැකි මට්ටම් කරා ලඟා වෙමින් තිබේ.

පාලක පන්තියේ විසඳුම වන්නේ, අර්බුදයට මුදල් ගෙවීම සහ වෙලඳපොලවල් සහ සැපයුම් දාමයන් අල්ලා ගැනීම සඳහාත්, රුසියාවට සහ චීනයට එරෙහිව නව යුද්ධ සඳහා අරමුදල් සැපයීම සඳහාත් කම්කරුවන් දරිද්‍රතාවයට ඇද දැමීමයි. ඉදිරි වසර කිහිපය තුල රැකියා මිලියන භාගයක් ස්වයංක්‍රීයකරනය කිරීමට ඇමසන් සැලසුම් කරයි. මෙම වසරේ මුලු දොට්ට දැමීම් සංඛ්‍යාව මිලියන 1 කට ආසන්න වෙමින් පවතින අතර එය වාර්තාගත ඉහලම මට්ටම්වලින් එකකි.

සමාජ විප්ලවයේ වැඩෙන තර්ජනය ගැන පාලක පන්තිය භීතියට පත්ව සිටී. සඳුදා (27) නියෝජිත මන්ත්‍රී මන්ඩල කථානායක මයික් ජොන්සන් විසින් ඉදිරිපත් කරන ලද කුරිරු අවසාන නිවේදනයෙන් මෙය ප්‍රකාශ විය. ඔහු ඩිමොක්‍රටික් පක්ෂයෙන් මෙසේ ඉල්ලා සිටියේ ය: “මම මගේ ඡන්දදායකයින් කුසගින්නේ තබන්නද? නැතහොත්, මම මාක්ස්වාදීන් සතුටු කරන්නද?”

ඇත්ත වශයෙන්ම, ඩිමොක්‍රටික් පක්ෂය, ට්‍රම්ප්ට එරෙහි ව කිසිවක් කරන ලෙස කිසිවෙකුගෙන් ඉල්ලා නොසිටින්නේ, සැබෑ සමාජ ව්‍යාපාරයක් ධනවාදයට ම එරෙහි අරගලයක් බවට පත්වනු ඇතැයි බියෙනි. ආහාර මුද්දර කල් ඉකුත්වීමට ආසන්නව තිබීමට ප්‍රතිචාර වශයෙන්, විටෙක ඔවුහු ට්‍රම්ප්ට බැනවදිති; විටෙක නිවටකම් පාති.

වෘත්තීය සමිති නිලධරය ද කම්කරු පන්තිය තුල විරෝධය නිර්වින්දනය කිරීමට කටයුතු කරමින් සිටී. ඇමරිකානු රජයේ සේවකයින්ගේ සම්මේලනය (ඒඑෆ්ජීඊ) විසින් සඳුදා (27) නිකුත් කරන ලද ප්‍රකාශයේ, ආහාර මුද්දර හෝ ට්‍රම්ප් ගැන නාමික ව හෝ සඳහන් කර නැත. එය, මෙම ව්‍යසනය සඳහා වන සියලු වගකීම් “කට්ටිවාදී දේශපාලනයේ” නොපැහැදිලි භාෂාවට දිය කර හරිමින්, “ඇමරිකානු ජනතාවගේ ගැටලු විසඳන්නේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කිරීම ආරම්භ කරන ලෙස අපගේ නායකයින්ට [අවධාරනය ඈඳිනි]” කැඳවුමි කර සිටී.

ඒකාධිපතිත්වයට සැබෑ තර්ජනය පැමිනෙන්නේ පහලිනි. කම්කරුවන්ගේ සෑම කොටසක් තුලම රැඩිකලීකරනයක් වර්ධනය වෙමින් පවතී. තීරනාත්මක කාරනය වන්නේ, ට්‍රම්ප්ටත්, ඔහුව නිර්මානය කල ධනේශ්වර ක්‍රමයටත් එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

කම්කරුවන් රටේ බහුතරය සහ සියලු ධනයේ මූලාශ්‍රය පමනක් නොවේ. ධනේශ්වර සූරා කෑමට එරෙහි ඔවුන්ගේ අරගලය, සමානාත්මතාවයේ සහ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ධාරකයා බවට කම්කරු පන්තිය පත් කරමින්, විප්ලවවාදී අරගලයක් දෙසට වර්ධනය වනු ඇත. ට්‍රම්ප් “අභ්‍යන්තර සතුරා” සමඟ සටන් කිරීම ගැන කතා කරන විට, ඔහු සියල්ලටත් වඩා එයින් අදහස් කරන්නේ කම්කරු පන්තියයි.

ට්‍රම්ප්ගේ සැබෑ සමාජ පදනම වන කතිපයාධිකාරයේ අනභියෝගී වරප්‍රසාදවලට එරෙහිව යොමු වූ දැවැන්ත ව්‍යාපාරයකින් මෙපිට ඇමරිකානු සමාජයේ අර්බුදය විසඳිය නොහැක. කම්කරුවන්—රැකියා අයිතිය, ප්‍රමානවත් ආහාර, සෞඛ්‍ය සේවා, ස්ථාවර පාරසරික පද්ධතියක් සහ ශිෂ්ටසම්පන්න මිනිස් ජීවිතයක් සඳහා වන සියලු මූලික අවශ්‍යතා යන මේ—අහිමි කල නොහැකි සමාජ අයිතිවාසිකම් හිමිකර ගැනීමේ ඉල්ලීම සමඟ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඒකාබද්ධ කල යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය “‘රජුන් එපා’ විරෝධතාවලින් පසු: ඉක්බිති කුමක් ද?” යන ප්‍රකාශය තුල මෙ ලෙස පැහැදිලි කලේ ය: “දැන් කර්තව්‍යය වන්නේ ඊලඟ විරෝධතාව දක්වා උදාසීනව බලා සිටීම නොව, සමාජවාදය වෙනුවෙන් කම්කරු පන්තියේ ව්‍යාපාරයක් සඳහා වන සටනේ දී, මෙම විරුද්ධත්වය ලීවරයක් ලෙස භාවිතා කිරීමයි.”

Loading